ප‍්‍රධාන පුවත්

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය ගැන ප්‍රශ්න කිරීමට ඔබ හා බිරියගෙන් රහස් පොලිසිය පැය 3ක් පමණ ප්‍රශ්න කළා. මොකද එ.ජා.ප.යට කරපු චෝදනා දැන් ඔබගේ පැත්තට කැරකිලා එනවද?

ඔය සිද්ධියට අදාළව ඉන්දියානු ජාතිකයෙක් අත්අඩංගුවට පත් වෙනවා. ඒ ඉන්දියානු ජාතිකයා මාව මුණගැහීමේ බලාපොරොත්තුවෙන් අපේ නිවෙසට පැමිණෙනවා. ඒ වගේම තවත් අවස්ථාවකදී මාව මුණගැහීමේ බලාපොරොත්තුවෙන් පක්‍ෂ මූලස්ථානයට ගිහින් තියෙනවා. එතැනදී කාර්යාලයේ රැඳී සිටිය මොහොමඩ් මුසම්මිල් සහෝදරයා හමුවී කතා කරලා තියෙනවා.

ඝාතන කුමන්ත්‍රණය ගැනද?

මාව ඝාතනය කරන්න තිබෙන සැලසුමක් ගැන. මට ඇති මරණ තර්ජන පිළිබඳව. විශේෂයෙන්ම ඉන්දියාවේ හින්දු අන්තවාදී සංවිධාන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මකයි. ඒ අයගේ ඉලක්කයක් බවට මාව පත් වෙලා කියලා. ඒ ගැන වැඩි විස්තර කියන්න මාව මුණගැහෙන්න අවශ්‍යයි කියලයි තිබුණේ. නමුත් මම ඔහුව මුණගැහෙන්න කැමැත්තක් දැක්වූයේ නැහැ. ඒ සිද්ධිය වෙලා ටික දවසකට පසුව තමයි නාමල් කුමාරගේ නිවෙස අසලදී මේ පුද්ගලයා අත්අඩංගුවට පත් වෙන්නේ. ඔහුගේ රුව රූපවාහිනියෙන් පෙනෙන කොට අපේ අසල්වැසියන් කියලා තියෙනවා ඒ පුද්ගලයා සමහර දවස්වලට පැය 3 – 4 මගේ නිවෙසට එන පාරේ රැඳී සිටිය බව. මම මේ තොරතුරු මාධ්‍ය මඟින් අනාවරණය කළා. ඒ වගේම ‘තෝමස්’ කියන පුද්ගලයා ගැනත් තොරතුරු හෙව්වා.

තොරතුරු විමසුවේ නාමල් කුමාරගෙන්ද?

මම නාමල් කුමාරව දන්නේ නැහැ. මම තෝමස් ගැන හෙව්වේ වෙන විදියකට. ඔහු රෝ ඔත්තු සේවයට සම්බන්ධ වෙලා ඉඳලා හයිද්‍රාබාද්වලින් පස්සේ ලංකාවට ඇවිත් තියෙනවා. 2015 ජනවාරි 8ට පෙර. මේ විස්තර මම හොයා ගත්තේ කොහොමද කියන එක සහ තවත් කරුණු ටිකක් දැනගන්නයි රහස් පොලිසිය එන්න කිව්වේ. මම ඒ තොරතුරු රහස් පොලිසියට කිව්වා.

2015 ජනවාරි 8ට පෙර නම් ඉන්දියානු ජාතිකයා ලංකාවට ආවේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය සැලසුම් වුණේ ජනාධිපතිවරයා ඡන්දයට ඉදිරිපත් වීමට පෙර සිටද කියන සැකය මතු වෙනවා?

නැහැ. ඔය කතා මතු වෙන්නේ නාමල් කුමාර හඬපට සමඟ ඉදිරිපත් කළ මාධ්‍ය ආවරණයෙන් පසුව. ඒ ගැන රහස් පොලිසිය තොරතුරු සොයාගෙන නියෝජ්‍ය පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට ගත්තනේ.

නාමල් කුමාර සහ ඔබ අතර සම්බන්ධතාවක් නැද්ද?

කිසිසේත්ම නැහැ. ඔහු පොලිස් ඔත්තුකරුවෙක්.

ඔක්තෝබර් 26 ආණ්ඩු පෙරළියට මූලික හේතුව ලෙස පෙන්වන්නේ ඝාතන කුමන්ත්‍රණය. අන්තිමට ආණ්ඩුව පෙරළී කුමන්ත්‍රණයත් පැරදුණා. මේ කාරණා සියල්ලේ බැඳීමක් තියෙනවා කිව්වොත්? අන්තිමට ජනාධිපති ඝාතනය ගැන පරීක්‍ෂණත් ඔප්පු කර ගන්න බැරි වෙයිද දන්නේ නැහැ?

මේ පරීක්‍ෂණ ඔප්පු කර ගන්න බැරි තැනට ඇවිත් කියලා අපි හිතන්නේ නැහැ. පොලිස්පතිවරයා එම තනතුරේම රැඳී සිටියදී ඔහුට එල්ල වන චෝදනාවක් නිවැරැදිව විභාග වෙයි කියලා බලාපොරොත්තු වෙන්න අමාරුයි. කෙසේ වෙතත් මේ ගැන බරපතළ කරුණු අනාවරණය වෙලා තිබෙන නිසාත් නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. එහෙම බලනකොට මේ කාරණාවල ඇත්තක් නැත්තෙමයි කියන්න බැහැ.

මේ කතා ආණ්ඩු පෙරළන්න හදපු කුමන්ත්‍රණයේ සැලැසුමක් නොවෙයිද?

ආණ්ඩු පෙරළන්න කුමන්ත්‍රණයක් කළේ නැහැ.

ආණ්ඩුව පෙරළන්න නාමල් කුමාර එක්ක හදපු ගේමක් කියලයි ඔබේ පාර්ශ්වවලට මේ චෝදනා එල්ල වෙන්නේ?

නාමල් කුමාරව අපි කවුරුත් දන්නේ නැහැ. එයා පොලිස් ඔත්තුකරුවෙක්. එයා පොලිසියෙන් වැටුප් ගන්න කෙනෙක්. පොලිසියෙන් වැටුප් ලබන කෙනෙක් කරුණු අනාවරණය කළාම හඬපට සමඟ ඒ ගැන සමාජයේ බැරෑරුම් අවධානයක් ඇතිවෙන එක වළක්වන්න බැහැ. නාමල් කියන්නේ පොලිසියට සම්බන්ධ කෙනෙක්. අපට සම්බන්ධ කෙනෙක් නෙවෙයි.

මේ සියලු කුමන්ත්‍රණ පරදා එ.ජා.ප. නායකයා නැවත අගමැති වෙනවා. ඉන්පසු එ.ජ.නි.ස. කියන්නේ අපි පුළුල් සන්ධානයකට යනවා කියා. කෝ ඒ පුළුල් සන්ධානය. එළියට නොපෙන්නුවාට සන්ධානය ඇතුළෙත් ප්‍රශ්නනේ?

අපි ආණ්ඩු පෙරළිය කුමන්ත්‍රණයක් විදියට හඳුන්වන්නේ නැහැ. ඒ වගේම අපි පරාජය වුණෙත් නැහැ. පරාජය වෙන්නේ අපි හිටපු තැනින් පහළට වැටුණා නම්. මහින්ද රාජපක්‍ෂ පස්වැනි විධායක ජනාධිපතිතුමා ඒ ආණ්ඩුව හදන්න කලින් හිටපු විපක්‍ෂ නායකයා නෙවෙයි. ඒ ආණ්ඩුව හදලා දින 50කට ආසන්න කාලයකදී බිඳ වැටෙන කොට ඔහු නතර වෙන්නේ විපක්‍ෂ නායක තනතුරේ. එතකොට අපි හිටපු තැන ඉඳන් ඉහළට ඇවිත් මිසක් පහළට වැටිල්ලක් වෙලා නැහැ.

ඒ කියන්නේ 2004 හිටපු තැනට ඇවිත්. අගමැති වෙන්න සිහින දැකලා අගමැති වෙලා දින 50න් විපක්‍ෂ නායක වීම ජයග්‍රහණයක් වෙන්නේ කොහොමද?

මම කිව්වේ ඔක්තෝබර් 26ට පෙර අපි හිටියේ විපක්‍ෂයේ වුණාට විපක්‍ෂ නායක ධුරය අපට තිබුණේ නැහැ. විපක්ෂයේ සංවිධායක ධුරය තිබුණේ ජ.වි.පෙ. අතේ. ඒක අද සන්ධානය අතේ. ඒ නිසා ප්‍රධාන විපක්‍ෂයකට හිමි වරප්‍රසාද අපි අද භුක්ති විඳිනවා. විපක්ෂ නායක කාර්යාලය, විපක්‍ෂ නායක නිල නිවෙස මේ ඔක්කොම අපි දේශපාලන කටයුතු වෙනුවෙන් යොදා ගන්නවා. ඒ අතරම රටේ ජනාධිපතිවරයත් ඉන්නේ විපක්‍ෂය එක්ක. එතකොට අපි හිටපු තැනට වඩා බලවත් තැනක ඉන්නවා.

ඇත්තටම ආණ්ඩුව පෙරළලා බලය ගන්නවා වෙනුවට ඔය කියන බලවත් තැන හදා ගන්නද ඒක කළේ?

නැහැ නැහැ. ආණ්ඩුව පෙරළුවේ ආණ්ඩුව ගන්න. ආණ්ඩුව අරගෙන ගෙනියන්න බැරි වුණා කියලා අපි වැටිලා තියෙන්නේ හිටපු තැනින් පහළට නෙවෙයි. හිටපු තැනින් උඩට.

අපරාදේ හිටපු තැනින් උඩට එන්න ගහපු ගේම නිසා පෙබරවාරි 10 ගත්ත ජනප්‍රියතාව නැති වුණා විතරයි වුණේ?

ඒ අපේ විරුද්ධවාදීන් හිත සතුටු කරන්න කියන කතා. ඒගොල්ලෝ එහෙම කතා කියන එක හොඳයි. එහෙම පොඩි සතුටක් ගන්න හරි එහෙම කතා කියන එක හොඳයි.

ඔබ කොහොම කීවත් පෙබරවාරි 10 ජයග්‍රහණය ඔක්තෝබර් 26 හෑල්ලු කර ගත්තේ බලෙන් ආණ්ඩු පෙරළන්න ගිහින්ද?

නැහැ ඒක අපේ විරුද්ධවාදීන් හදන මතයක්. අපට ඡන්දය දුන්න ජනතාව වැඩි වෙලා මිසක් අඩු වෙලා නැහැ. එදා අපි කොට්ඨාස විශාල සංඛ්‍යාවක් දින්නට ඡන්ද ප්‍රතිශතයක් හැටියට සියයට 42යි.

ඉතින් අපි ඒ සීමාව අභිභවා යන්න ඕනි. දැන් අපට විරුද්ධ පක්‍ෂ නායකකමක් ලැබිලා තියෙනවා. ආණ්ඩුවට තිබුණා තුනෙන් දෙකේ බලය අහිමි කරලා තියෙනවා. ඒ තත්ත්වය යටතේ කලින්ට වඩා වැඩි ශක්තියකින් ආණ්ඩුවට එරෙහි සටන ඉදිරියට ගෙනියන්න අපට පුළුවන් වෙලා තියෙනවා.

ආණ්ඩු බලය ගත්තාම බහුතරය හදාගන්න බැරි වුණේ ඇයි?

බහුතරය හදාගන්න බැරි වුණේ හේතු කිහිපයක් මතයි. සමහර විට අපේ කඳවුරෙන්ම බහුතරය හැදීමට එරෙහි යම් යම් ක්‍රියාකාරකම් සිදු වුණා. අපට එන්න හිටපු සමහරුන්ව අධෛර්යට පත් කළා. තව ගන්න පුළුවන් අයව ගන්න බැරි වාතාවරණයක් තිබුණා. ඒ වගේම බැඳුම්කර හොරකමෙන් ලැබුණු සල්ලි තොගයක් වගේ තිබුණා නම් මොන ප්‍රශ්න තිබුණත් 113 හදන්න පුළුවන්කම තිබ්බා.

එ.ජා.ප.යේ කිහිප දෙනෙක් එ.ජ.නි.ස.යට ආවට අනෙක් අය ආවේ නැත්තේ ඔවුන් පක්‍ෂය එක්ක හිටපු නිසයි. ඔබලාගේ පාර්ශ්වයෙනුත් සල්ලි විසි කළා. ඒත් පලක් වුණේ නැහැ ඒකයි ඇත්ත? දෙමළ සන්ධානය ළඟත් අන්තිමට දණ ගැහුවා. ඒත් වැඩේ හරි ගියේ නැහැ?

නැහැ. නැහැ. මන්ත්‍රිවරු ගන්න අපි සල්ලි විසි කළේ නැහැ. ඒ වගේම දෙමළ සන්ධානය ළඟ දණ ගහලා 113 හදා ගන්න උත්සාහ කළේ නැහැ.
ජනාධිපති ලේකම් කාර්යාලයට දෙමළ සන්ධානය ගෙනත් මොනවද සාකච්ඡා කළේ?

ජනාධිපති ලේකම් කාර්යාලයට දෙමළ සන්ධානය ඇවිත් සාකච්ඡා කළේ දෙමළ සන්ධානයේ සහාය ගන්න නෙවෙයි. ජනාධිපතිතුමා ඔවුන් සමඟ සාමාන්‍ය දේශපාලන කාරණා විතරයි සාකච්ඡා කළේ.
හැබැයි සහාය ඉල්ලුවා?

සහාය ඉල්ලන්න පුළුවන්නේ. ඒ අය සහාය දෙන බව දැන දැනත් සහාය ඉල්ලන්න පුළුවන්.

113 නැහැ කියලා දැන දැනත් මේ විදියට අමාරුවේ වැටුණේ ඇයි?

113 හදාගන්න තමයි හැදුවේ. ඒත් බැඳුම්කර සල්ලියි දෙමළ ඩයස්පෝරා සල්ලියි නිසා ඒක බැරි වුණා. තව හේතු ඊට බලපෑවා.

ඉදිරි අය – වැයෙන් ආණ්ඩුව පෙරළන්න එ.ජ.නි.ස. සූදානම් බව කියනවා. ඒත් පසුගිය සැරෙත් ඒක කරන්න තිබුණා. බලයට ඇති ආශාව නිසා ඒක විනාශ වුණා?

මහින්ද මහත්තයයි – මෛත්‍රිපාල සිරිසේන මහත්තයයි ඒ වැඩේ කළේ බොහොම අවබෝධයෙන්. අපි කවුරුත් ඒ මොහොත වෙනකම් දැන හිටියේ නැහැ අගමැති විදියට මහින්ද මහත්තයා දිවුරුම් දෙනවා කියා.

ඇත්තටම මේ ගැන පූර්ව සාකච්ඡාවක් වුණා නම් බොහෝ විට ඔය වැඩේ ඔයිට වැඩිය හොඳට සාර්ථකව කරන්න පුළුවන් කියන මතයේ මමත් ඉන්නවා. නමුත් ඒ දේ වුණා. ඊට පස්සේ 113 හදන්න බැරි වුණේ ඒ දේවල් එහෙම වුණු නිසා නෙවෙයි. 113 හැදීමේ හැකියාව අපට ඕන තරම් තිබුණා. උඩින් කිව්ව කාරණාවලට අමතරව අභ්‍යන්තර සාධකත් බලපෑවා. අභ්‍යන්තර සාධකවලින් බලපෑ කාරණා නිසා තමයි 113 වැඩිපුරම හදාගන්න බැරි වුණේ.

ඔබ කාටද ඔයා චෝදනා කරන්නේ?

කාටද කියන එක නෙවෙයි වැදගත්. එහෙම දෙයක් සිදු වුණා කියන එකයි වැදගත්.

මහින්ද මහත්තයාට අගමැතිකම දුන්නේ ඊළඟ ජනාධිපති අපේක්‍ෂකත්වය මෛත්‍රි මහත්තයාට ගන්න. එහි ප්‍රතිඵල විදියට නේද සන්ධාන ඇතුළේ ගැටුම් ඇති වෙලා තියෙන්නේ?

මම ඔය ගැන මහින්ද රාජපක්‍ෂ මහත්තයාගෙන් පෞද්ගලිකව විමසුවා. එතුමා මට දුන්න පිළිතුර තමයි එවැනි එකඟතාවක් ඇති වෙලා නැහැ කියලා. එතුමා කොයිම අවස්ථාවකවත් එහෙම පොරොන්දුවක් දීලා නැහැ. නමුත් සමහර වෙලාවට මෛත්‍රිපාල ජනාධිපතිතුමා එහෙම බලාපොරොත්තුවක ඉන්නවාද දන්නේ නැහැ.

ශ්‍රී ල.නි.ප.ය කියන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතා තමයි ඊළඟ ජනාධිපති අපේක්‍ෂකයා කියා? එතැනයි ගැටලුව තියෙන්නේ?

ශ්‍රී ල.නි.ප.යේ අයට තමන්ගේ නායකයා තමයි ජනාධිපති අපේක්‍ෂකයා කියන්න අයිතියක් තියෙනවා. ඒ වගේම අපට අයිතියක් තියෙනවා ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා තමයි අපේ අපේක්‍ෂකයා කියලා කියන්න.

තව කෙනකුට තව අය ගැන කියන්න අයිතිය තියෙනවා. කාට මොන අයිතිය තිබුණත් දිනන්නයි අපි ඉත්තෙක් දාන්නේ. පරදින්න නෙවෙයි. දිනන්න පුළුවන් අපේක්‍ෂකයා කවුද කියලා මුළු රටට දන්නවා. දිනන්න පුළුවන් අපේක්‍ෂකයා දාලා ජයග්‍රහණය කරනවා හැරෙන්න පරදින අපේක්‍ෂකයා දාලා 2019 අග අපට උරුම විය යුතු රටම ලැබිය යුතු ජයග්‍රහණය වළකා ගන්න කවුරුත් සූදානම් නැහැ.

මෛත්‍රිපාල සිරිසේන මහත්තයා දැම්මොත් පරදින බව දන්නවා. එහෙමද?

මෛත්‍රිපාල මහත්තයාගේ නම විතරක් නෙවෙයි, තව නම් තියෙනවා. ඔය කොයි අපේක්‍ෂකයා දැම්මත් දිනන්න පුළුවන් කෙනයි අපි දාන්නේ. ඉතින් ගෝඨාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්තුමාට කියා තිබෙනවා මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා සූදානම් වෙන්න කියා දන්වපු බව. ඉන් පෙනෙනවා එතුමට තමයි මහින්ද මහත්තයාගේ ආශීර්වාදය තියෙන්නේ.

එ.ජ.නි.ස.ය එ.ජා.ප.යට චෝදනා කළාට වැඩිපුර අර්බුද තියෙන්නේ එ.ජ.නි.සයේ බවයි තේරෙන්නේ. කොහොම කීවත් ඇතුළේ ගැටුමක් තියෙනවානේ?

අපේක්‍ෂකත්වය පිළිබඳ යෝජනා ගොඩක් තිබ්බට නරක නැහැ. නම් 100ක් කීවත් දාන්න වෙන්නේ එක නමයි. එක එක යෝජනා මතුවීම ප්‍රශ්නයක් නෙවෙයි.

පසුගිය සති කිහිපයේ ව්‍යවස්ථාව ගැන කතා කළා. දැන් ඒ ගැන සද්ද නැහැ. එ.ජා.ප.ය පුන පුනා කියන්නේ ව්‍යවස්ථාවක් හෝ කෙටුම්පතක් හෝ නැති බවයි. ඒකීය රටක් තුළ බලය බෙදෙන වැඩපිළිවෙළක් සාකච්ඡා වුණා පමණයි කියා. නමුත් ඔබ රටට කිව්වේ රනිල් රට බෙදනවා. රට කෑලි කඩනවා. විකුණනවා කියායි. ඒක හරිද?

මම නෙවෙයි ඒක කිව්වේ. සුමන්තිරන් මන්ත්‍රිවරයායි. ඔහු එක්තරා රූපවාහිනි නාළිකාවක් සමඟ කළ සජීවී දේශපාලන වැඩසටහනකදී පිළිගත්තා මේකෙන් රට බෙදෙන්න පුළුවන් කියා. ඊට අමතරව ඔහු මේක කෙටුම්පතක් විදියට හැඳින්වුවා. ඔහු මේකේ ෆෙඩරල් ලක්‍ෂණ තියෙනවා කියා පිළිගත්තා. එතකොට කවුද බොරු කියන්නේ. අපිද බිල්ලා මවලා තියෙන්නේ. සුමන්තිරන්ගේ අදහස් අනුව බලන්න ඒක මොකක්ද කියලා.

රනිල් වික්‍රමසිංහලා, අනුර දිසානායකලා සිංහල සමාජය රවට්ටන්න මේකේ තියෙන්නේ යෝජනාවක්වත් කෙටුම්පතක්වත් නෙවෙයි කියනවා. මේකට 2/3ක් නැත්නම් සම්මත කරන්න බැහැ කියලා, 2/3 ක් නැත්නම් ඇයි මේක ඉදිරිපත් කරන්නේ.

රටට ව්‍යවස්ථාවක් ඕනෑ. සුළු ජාතීන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ඕනෑ. එහෙම නම් මොකක්ද ඔබතුමාලාගේ යෝජනාව?

අද රටේ තියෙන ලොකුම ප්‍රශ්නය ව්‍යවස්ථා සංශෝධන ප්‍රශ්නය නෙවෙයි. ඕක මේ රට දුර්වල කරන්න බලාගෙන ඉන්න බලවේගවලට විතරයි. මේ වන විට අරලියගහ මැඳුරේ කාර්යාලයක් පිහිටුවා ගෙන තියෙනවා මිලේනියම් චැලෙන් කොපරේෂන් කියන ආයතනය. එම සමාගම ඇ.එ.ජ. සහශ්‍ර අභියෝගතා සමාගම.

එහි ප්‍රධානියා වන්නේ ඇ.එ.ජ. රාජ්‍ය ලේකම්. බලගතු ආයතනයක්. මේ ආයතනයේ ශ්‍රී ලංකාවට අදාළ ආයතනය තියෙන්නේ අරලියගහ මන්දිරය ඇතුළේ. ඔවුන් යෝජනාවක් සම්මත කරගෙන තියෙනවා ඇමෙරිකානු ආයෝජන සඳහා පහසු වාතාවරණයක් ඇති කරන්න. ඉඩම් අඩු තක්සේරු කරලා වටිනාකම තීරණය කරන්න. ඉඩම් බැංකුවක් හදන්න. රජයේ ඕනෑම ඉඩමක් ඒ බැංකුවට ගේන්න. ආයෝජකයා ඉල්ලන පමාවෙන් ඒ ඉඩම් දෙන්න. ත්‍රිකූණාමලය හා කොළඹ වරාය යා කරලා විශේෂ ආරක්‍ෂක පටියක් නිර්මාණය කරන්න. එය දිස්ත්‍රික්ක පහක් හරහා යනවා. දිග කිලෝමීටර 200ට වැඩියි. යන්නේ රට හරහා මුදුනේ. ආණ්ඩුව දුර්වල කරලා ඒකට තීන්දු ගන්න බැරි කරලයි මේ වැඩ කරන්නේ.

රටේ ජනාධිපති කෙනෙක් ඉන්නවානේ. එතුමාට පුළුවන්නේ මේවාට විරුද්ධ වෙන්න?

රටේ ජනාධිපතිගේ බලය කොල්ලකාලා තියෙන්නේ. අභියාචනාධිකරණයේ සභාපතිව පත් කර ගන්න ජනාධිපතිට බැහැ. ඒක ව්.ට්.ර්ණී කාරයෝ අතට පත් වෙලා. එහෙම නම් රටට අහිතකර තීන්දු ගන්න වෙලාවේදී ඒකට විරුද්ධ වෙන්න බැරි නම් එහෙම ව්‍යවස්ථා සංශෝධන රටට වැඩක් නැහැ. ඒක නෙවෙයි වෙන්නේ රට දුර්වල කරලා ඇමෙරිකාව අපේ රට කොල්ලකන එකයි. ත්‍රිකුණාමලයේ අක්කර 33,000ක ඇමෙරිකානු කලාපයක් හදන්න යනවා. ඒක ඇතුළේ ගුවන් හමුදා කඳවුරකට අවශ්‍ය පහසුකම් හදනවා. ඒවා කරන්නේ ව්‍යවස්ථා සංශෝධනය පෙරට දාගෙන.

ඉඩම් බැංකු යටතට උතුරේ ඉඩම් අරගෙන ඉල්ලන ඉල්ලන රටට දෙන්නයි මේ හදන්නේ. ඒ නිසා අද ස්වදේශිකයා මුහුණ දීලා ඉන්න බරපතළම අවදානම තමයි සහජාත මවු පොළොව ඔවුන්ට අහිමි වීම. ඒ කාරණා පරාජය කරන්න අපි දේශපාලනය කරනවා මිසක් රනිල් වික්‍රමසිංහ මහත්තයා දෙමළ ජනතාවට තියෙනවා කියා ඉන්න ප්‍රශ්නයට සාපේක්‍ෂව දේශපාලනය කරලා වැඩක් නැහැ.

රටේ පවතින ආර්ථික පිරිහීමත් එක්ක ඉන් ගොඩ ඒමට මෙවැනි යෝජනාවලට යන්න වෙනවා එ.ජ.නි.ස.ය රට පාලනය කළත් මේ අත්දැකීම්වලට මුහුණ දෙන්න වෙනවා. ඒකනේ ඇත්ත?

අපි 2015දී මේ අයට දුන්නේ ආර්ථික වශයෙන් පිරිහුණු රටක් නොවෙයි. සියයට 6.50 වැඩි ආර්ථික වර්ධනයක් තියෙන රටක්. ණය බර සියයට 72කට වඩා අඩු කළ රටක්. රටේ ව්‍යාපාර හොඳින් පැවැති රටක්. මිනිසුන් අතේ සල්ලි ගැවසුණු රටක්. යුද්ධය අවසන් කළ රටක්. එහෙම රටක් අරගෙනත් මෙහෙම නම් යුද්ධය පැවැති කාලේ මේ අය රට පාලනය කළා නම් කොහොම නටයිද? සේනා දළඹුවාට මුහුණ දෙන්න බැරි රටක්. දළඹුවා බඩඉරිඟු කනකොට කියනවා බඩඉරිඟු වවන්න එපා කියලා. එදා යුද්ධ කාලයේ බස්වල බෝම්බ තියන කොට කියයි බස්වල යන්න එපා කියලා. මේක එ.ජා.ප. ආණ්ඩුවේ බැරිකම, ප්‍රතිපත්තිවල තියෙන හතුරුකම හින්දයි මේ රට ප්‍රපාතයට වැටෙන්නේ.

ඔබ කියන විදියට මේ ආණ්ඩුව හරි නැත්නම් ආණ්ඩුව පෙරළා දන්නේ නැත්තේ ඇයි?

එකවරක් උත්සාහ කළා. ඒක යම් කිසි දුරකට සාර්ථක වුණා. විපක්‍ෂයේ බලවත් කණ්ඩායම ලෙස ඉදිරියේදී ඊට සැලසුම් හදලා කලින් අවස්ථාවේ සිදු වූ අඩුපාඩු මොනවද කියා බලලා ඒවා නිවැරැදි කරගෙන වැඩේ කරනවා.

ඔබතුමන්ලා කාලයෙන් කාලයට බොහෝ සටන් පාඨ කියනවා. නමුත් ඒවා සදාකාලික නැහැ, ඒවා ජනතා ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින්නක් නෙවෙයි, ඔබලාගේ පැවැත්ම සඳහා පමණයි කියා චෝදනාවක් එල්ල වෙනවා?

ප්‍රතිවාදීන් තමයි ඔය චෝදනා කරන්නේ. අපි එක මතයක ඉඳගෙන එක දෘෂ්ටියක ඉඳගෙන රටට ජාතියට හිතවාදීවයි දේශපාලනය කරලා තියෙන්නේ.

ජේ.වී.පී. එකේ හිටපු විමල් වීරවංශ එදා කියපු දේවලුයි අද කියන දේවලුයි අතර කිසි වෙනසක් නැහැ. එදත් අපි ව්.ට්.ර්ණී න්‍යාය පත්‍රයට විරුද්ධයි. අදත් විරුද්ධයි. අපි බෙදුම්වාදයට විරුද්ධයි. ස්වදේශිකයා වල්මත් කරලා විදේශීයකරණයට ලක් කරනවට එදත් අදත් විරුද්ධයි. අපේ ප්‍රතිපත්තිවල හරයාත්මක වශයෙන් වෙනසක් වෙලා නැහැ. අපි ඉන්න දේශපාලන ව්‍යාපාරයේ නම වෙනස් වුණත් මූලික අදහස් රාමුව ඇතුළේ අපි ඉන්නවා.

ඔබ කීව කාරණා හැමදාම කිව්වා. නමුත් ඒවා ක්‍රියාත්මක වෙලා නැහැ. හුදෙක් ඒවා දේශපාලන මත විතරයි. ජනතාව කියන විදියට ඔබලාට ඇත්තේ බොරු සටන් පාඨ විතරයි?

එහෙම හිතන අය ලංකාවේද ජීවත් වෙන්නේ කියලා හිතා ගන්න බැහැ. සටන් විරාම ගිවිසුම ගැහුවේ රට රකින්නද? රට බෙදන්නද? අන්තර්කාල ස්වයං පාලන ආණ්ඩුව ගෙනාවා නම් රට බෙදෙනවාද? රට රැකෙනවාද?

ජිනීවා මානව හිමිකම් යෝජනාව අමු අමුවේ එකඟ වෙලා මේ අය හැදුවේ රටේ ආරක්‍ෂාව සලසන්නද? වනසන්නද? කොටින්ට ගහලා පුපුරවන්න බැරි වුණ සාලාව අවි ගබඩාව පිපිරුවේ හමුදාවේ අවි බලය අඩු කරන්න ඕන කියලා ජිනීවා යෝජනාවේ තියෙන නිසාද නැති නිසාද

ආරක්‍ෂක හමුදාව සතු බර අවි ත්‍රිකුණාමල නාවික හමුදාව ලව්වා මුහුදට ගිහින් දැම්මේ ජිනීවා යෝජනාවලට අනුවයි. එමඟින් ජාතික ආරක්‍ෂාව බිල්ලට ගිහින් නැද්ද. අද මේ රටේ බුද්ධි අංශ නොදැන පුත්තලමේ වත්තක තියලා අහුවුණේ මොනවාද?

බුදු පිළිම කඩන තරම් මානසික තත්ත්වයක් මුස්ලිම් තරුණයා තුළ ඇති කරපු අන්තවාදයක් ක්‍රියාත්මක වෙනවා. එහිදී හම්බ වුණු පුපුරන ද්‍රව්‍ය ගෙන ආවේ මොනා පුපුරන්නද? අල්ලාගත් තරුණයන් දෙදෙනාගේ තාත්තලාගේ ගෙවල්වලින් එළියට ආවේ මොනවද? උතුරේ එල්.ටී.ටී.ඊ.ය නැවත අවදි වෙනවා. අද රහස් පොලිසිය මේවා හොයන්නේ නැහැ. ඒ අය හොයන්නේ අපි ගැන. රනිල් වික්‍රමසිංහ කළේ වසර 3 1/2 ඇතුළේ රාජ්‍ය දුර්වල කිරීම පමණයි.

ඊළඟ ජනාධිපතිවරණයේදී දිනන්න පුළුවන්ද?

ඔව්. අපි ඉහළින්ම දිනනවා. ඉන්පසු රටේ අලුත් පරිච්ඡේදයක් ඇතිවේවි. පිළිවෙළක් ඇති රටක් රාජ්‍ය සේවයේ තිබෙන මහජන හිතවාදී නොවන ලක්‍ෂණ නැති කරපු රටක්, පාතාලය, කුඩුකාරයන්ගේ මතයට නොනමන පොලිසියක් ඇති රටක්, මහජන හිතකාමී පොලිසියක්, රැකියා අවස්ථාව වැඩි කරන වපසරියක් හදනවා. ඒ නිසා එවැනි පරිවර්තනයකට අපි අවතීර්ණ වෙනවා.

ඒ අනුව දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කර වසර 10ක් මේ වසරට උදා වෙනවා. නමුත් රටක් ජාතියක් හැටියට අපිට කනගාටු විය යුතුයි. මන්ද වසර තිහක් පැවැති යුද්ධය පරාජය කරලා සියලු ජාතීන්ට සාමකාමීව ජීවත් වෙන්න හදලා වසර 10ක් යන්න ඉස්සර දිවිපිදූ වීරයන්ගේ සොහොන් කොත්වල ගෞරවය ලැබෙන විදියට නෙවෙයි මේ රට ඇවිත් තියෙන්නේ. අද අන්තවාදය හිස ඔසවනවා.

දෙමළ ජාතික සංධානය ආණ්ඩුව හයි ජැක් කරගෙන ඉන්නවා. ඕකයි අද තත්ත්වය. ඒ නිසා මේ රට නැවත ගොඩනඟන්න පුළුවන් තියුණු හැරවුම තමයි ජනාධිපතිවරණයේදී සිදු වෙන්නේ.

සජිත් ප්‍රේමදාස මහත්තයා නිවාස ඇමැති ලෙස ගම්මාන 160 ගණනක් හැදුවා. ඔබ හැදුවේ ගෙවල් තුනයි කියා චෝදනා එල්ල වෙනවා. ඇත්තටම ඔබ ගෙවල් කීයක් හැදුවද?

මම දන්නේ නැහැ. එතුමාගේ නිවාස අධිකාරියේ ඉන්න සභාපති තමයි අය – වැය ඉදිරිපත් කරන්න අපට දුන්නේ. අපි කිව්වේ නිවාස දස ලක්‍ෂය ගම්මාන නෙවෙයි. ගම්මාන නම් අපිත් විශාල ප්‍රමාණයක් හැදුවා. ගම්මාන කියන්නේ ගෙවල් 15 – 20ක් හදලා ගම්මානයක් කියනවා. ඕකයි ඇත්ත. නමුත් මෙහි ගෙවල් හදනවට වඩා විශාල මුදලක් යන්නේ ප්‍රචාරණයට. කෝටි ගණන් සල්ලි ඒ වෙනුවෙන් වියදම් කරනවා. අපි ප්‍රචාරණයට ඔය තරම් මුදල් වියදම් කළේ නැහැ.

අපි හැදුවේ මහල් නිවාස. ලුනාව, කොරලවැල්ල. බොරැල්ලට ගියාම ඒ මහල් නිවාස බලාගන්න පුළුවන්. ඒ වගේම අපි හලාවත හැදුවා සනීපාරක්‍ෂක කම්කරුවන් වෙනුවෙන් නිවාස ව්‍යාපෘතියක්. වතුකරයේ ජනතාව වෙනුවෙන් නිවාස සංකීර්ණයක් අපි හැදුවා. අපට තියෙන භූමිය පරිස්සමින් කළමනාකරණය කරන්නයි මහල් නිවාස හැදුවේ. තැන තැන පොඩි පොඩි නිවාස හැදුවට අපි නැවත යන්නේ අතීතයට. ඒ නිසා අපි දේශපාලන නායකයන් විදියට අලුත් විදියටයි යා යුත්තේ. නමුත් අද වෙන්නේ ඉඩම් අයිති මිනිසුන්ගේ අතේ සල්ලිත් වියදම් කරලා ණයක් දීලා ගේ හදා ගත්තට පස්සේ සජිත් ප්‍රේමදාස හැදුවා කියා පෙන්වන එක වැරැදියි. ඒ නෙවෙයි නායකත්වය.

ඔබ හදපු ගෙවල් දුන්නේ ඥාතීන්ට කියායි චෝදනා එල්ල වෙන්නේ?

ඒ ඕනෑම චෝදනාවකට මම උත්තර දෙන්න ලෑස්තියි. ඒ නිසා මම නැවත වරක් එතුමාට අභියෝග කරනවා වාද කරන්න එන්න කියා.

ජනාධිපතිවරයා සිංගප්පූරු ගියේ සිංගප්පූරු ගිවිසුම නැවත යාවත්කාලීන කිරීමට කියා මත පළ කරනවා. ඔබතුමාලාගේ පාර්ශ්වයේ අය තමයි වැඩිපුර ජනාධිපතිවරයා සමඟ ගියේ. මේක ඇත්තද?

සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර වෙළෙඳ ගිවිසුම අස්සන් කළේ එ.ජා.ප.ය. ජනාධිපතිතුමා ඒකට කමිටුවක් දැම්මා. ඒ කමිටුවේ කියනවා නිසි ක්‍රියාමාර්ග අනුගමනය නොකර කැබිනට් අනුමැතිය නැතිව ගිවිසුමක් අස්සන් කළා කියන්නේ බරපතළ කරුණක්. මෙවර ජනාධිපතිතුමා සිංගප්පූරු ගිය වෙලේ එරට ජනාධිපතිවරයාට කියා තිබුණේ ගිවිසුමේ වැරැදි තියෙනවා ඒ තැන් සංශෝධනය කළ යුතු කියායි.

ආණ්ඩුව ගත්ත වෙලේ බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ සිංගප්පූරු ගිවිසුම දැන් හරි. පොඩි වගන්ති දෙකක් වෙනස් කරන්න විතරයි ඕන කියලා? එතකොට ඔබ කියන කතාව වෙනස් නේද?

වගන්ති දෙකකින් ඒ හානිය අවම කරගන්න පුළුවන් කියලා මම නම් හිතන්නේ නැහැ. බන්දුල ගුණවර්ධන නෙවෙයි කවුරු කීවත් ඒක වැරැදි කතාවක්. ගිවිසුම බරපතළයි. මේ රටේ වෘත්තිකයෝ ඒ ගැන ඕන තරම් කරුණු පෙන්නලා දීලා තියෙනවා. අපි විපක්‍ෂය විදියට මේ ගිවිසුම ගහපු මලික් සමරවික්‍රමට විරුද්ධව විශ්වාසභංගයක් ගේන්න ඕන.

ඔහු නීතියට පටහැනිව අස්සන් කළ ගිවිසුම ගැන තොරතුරු පාර්ලිමේන්තුව තුළ අනාවරණය කරගන්න ඕන. ඒ විතරක් නෙවෙයි ව්‍යවස්ථා සභාව බලන්න. ව්‍යවස්ථා සභාව එක්තරා ආගමික නිකායකට මුල සිට බැඳුණු හෝ පසුව බැඳුණු පුද්ගලයන්ගේ නම් තමයි අධිකරණ ක්‍ෂේත්‍රයේ පුරප්පාඩුවලට ආවොත් පිළිගන්නේ. අපි මේ ගැනත් විවාදයක් ඉල්ලුවා. ඒක දෙනවා කියා පොරොන්දු වුණා. එම විවාදයේදී නම් ගම් සහිතව හැමදේම ඔප්පු කරනවා. ඕනෑම ආගමක් අදහන්න තියෙන නිදහසට ගරු කළ යුතුයි. නමුත් සංවිධානාත්මක එක් කණ්ඩායමකට පමණක් නම් ඒ තනතුරු ලැබෙන්නේ ඒක සාධාරණ නැහැ.

ප්‍රගීත් සම්පත් කරුණාතිලක



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More