පුරවැසි කොලම

තුන්කොන් සටනකට ජී එල් ද?

February 2, 2019 1:59 am | Lanka Lead News

මහා සංධානයක් හදන බව වාසුදේව නානායක්කාර කියනවා. එයට මාස එකහමාරක්
පමණ යයි කියා ඔහු හිතනවා. ඒකට කමක් නැහැ. ඒත් හුඟක් කල් ගන්න බැහැ.
වාසුදේව ජාතිකවාදියෙක් නො වෙයි. අද පාර්ලිමේන්තුවේ හා පොදුවේ දේශපාලනයේ
ජාතිකවාදීන් කී දෙනකු ඉන්නවා ද? ඒ නිසා ජාතිකවාදීන්ගෙන් පමණක් සමන්විත
සංධානයක් හදන්න බැහැ. එහෙත් ජාතිකවාදී මත මහා සංධානයේ මත විය යුතුයි.
ඒකීය රාජ්‍යය නැවත පිහිටුවීම, ඉංගිරිසි ආණ්ඩුවේ 1892 නීතිය හා පැරණි
රජවරුන්ගේ ප්‍රතිපත්ති මත පිහිටා බූද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන රාජ්‍යයක් ඇති
කිරීම, දහතුන හැකිනම් අහෝසි කරන ව්‍යවස්ථාවක් සම්මත කිරීම, 13 වෙනුවට 13-
ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම, දිස්ත්‍රික් සභා මත පදනම් වූ පරිපාලන ව්‍යුහයක්
සකස් කිරීම, දේශීය දැනුමට තැන ලබා දීම, සිංහල වෙදකම, සිංහල ගොවිකම නගා
සිටුවීම, ආදායම් පරතරය අඩු කිරීම, රාජ්‍ය අංශය ශක්තිමත් වූ දේශීය ආර්ථිකයක්
ඇති කිරීම, දේශීය නිෂ්පාදන වර්ධනය කිරීම, කාන්තාවන් හා ළමයින් ආරක්‍ෂා කිරීම,
කාන්තාවන් හැකිතාක් ගුරු වෘත්තියට හා වෙද හෙද වෘත්තීන්ට සීමා කිරීම,
ඔවුන්ගේ සේවාකාල හැකිතාක් පාසල් සේවාකාල සමග සමපාත කිරීම, එසේ
නොමැති විට එයට සරිලන අතිකාල ගෙවීම් කිරීම, රණවිරුවන්ට නිසි ගෞරවය ලබා
දීම, බුද්ධි අංශය හා රටේ ආරක්‍ෂාව ශක්තිමත් කිරීම, රණවිරුවන්ට සාමාන්‍ය හා
හමුදා නීතිය යටතේ පමණක් අවශ්‍ය තැන්වල නඩු පැවරීම, රණවිරුවන් ඊනියා
ජාත්‍යන්තර උසාවිවලට කිසි සේත්ම ඉදිරිපත් නොකරන බවට නීති සම්පාදනය කිරීම,
මෙරට ඊනියා තිස්අවුරුදු යුද්ධයක් නොතිබූ බවත් තිබුණේ දෙමළ ජාතිවාදය පරාජය
කිරීම සඳහා අභ්‍යන්තර සටන් මෙහෙයුම් පමණක් බවත් පිළිගැනීම, එය අභ්‍යන්තර
කටයුත්තක් නිසා කිසිම අයුරකින් ජාත්‍යන්තරය සහභාගි කර නොගැනීම, ඊශ්‍රායලය
මෙන් කටයුතු කරමින් ජෙනීවාහි ඊනියා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම
නොසලකා හැරීම, දෙමළ කතාකරන ජනයා සඳහා වෙල්ලාලයන් නොවන අයගේ
නායකත්වයෙන් දේශපාලන පක්‍ෂ ඇති කිරීමට දෙමළ කතාකරන ජනයා දිරිමත්
කිරීම, යථා කාලයේ දී ඒ පක්‍ෂ ද සංධානයට එකතු කර ගැනීම, වෙල්ලාල නායකයන්
සමග කරන ගණුදෙනු (ඩීල්) දේශපාලනය අහෝසි කර සෘජුව ම දෙමළ කතාකරන
ජනයා සමග දේශපාලන සම්බන්ධකම් ඇති කර ගැනුම, මුස්ලිම් ජනයා
සම්බන්ධයෙන් ද අනුරූප ක්‍රියා පිළිවෙත් අනුගමනය කිරීම, සංධානයට උපදෙස් හා
අනුශාසනා ලබා ගැනීම සඳහා මහා සංඝයා වහන්සේලාගෙන් පමණක් සමන්විත
මණ්ඩලයක් පත් කිරීමට ත්‍රෛනිකායික භික්‍ෂූන් වහන්සේට ආරාධනා කිරීම, පොදුවේ
ගතහොත් බටහිරයන් හා ඉන්දියාව එක් වී දෙමළ ජාතිවාදය යොදා ගනිමින් සිංහල
බෞද්ධ සංස්කෘතිය නැසීමට බැරිනම් දුර්වල කිරීමට දරණ සකලවිධ උත්සාහයන්
පරාජය කර නන්දිකඩාල් දේශපාලන විසඳුම දෙමළ ජාතිවාදයට දුන් විසඳුමක් ලෙස
පිළිගැනීම, දැනට ඇති විජාතික අධ්‍යාපනය ක්‍රමය වෙනුවට මෙරටට සුදුසු ජාතික
අධ්‍යාපන ක්‍රමයක් සකස් කිරීම, ජාතික අධ්‍යාපන ආයතනයක් ඇති කර
ආධ්‍යාත්මිකව හා වෙනත් ක්‍රමවලින් ප්‍රත්‍යක්‍ෂ දැනුම ලබා ගැනීමට සුදුස්සන් පුහුණු
කිරීම හා අවශ්‍ය අවස්ථාවල සිංහල බෞද්ධ චින්තනය මත පදනම් ව දැනුම
නිර්මාණය කිරීමට පහසුකම් සැලසීම, බටහිර සංස්කෘතික ආර්ථික හා දේශපාලනික
ආධිපත්‍යයට, විශේෂයෙන් බටහිර දැනුම් ආධිපත්‍යයට යට නො වීම, පෙර
රජදරුවන් කළාක් මෙන් සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන ලබා දී එය
වර්ධනය කිරීම, සිංහල බෞද්ධ නොවන ජනයාට තම සංස්කෘතීන් ආරක්‍ෂා කර
ගනිමින් සිංහල බෞද්ධ සංස්කෘතිය සෙවණේ පෞද්ගලික අයිතීන් රැක ගනිමින්
ජීවත්වීමට අවශ්‍ය පරිපාලන කටයුතු සම්පාදනය කිරීම ආදිය හැකිතාක් සංධානයේ

ප්‍රතිපත්ති විය යුතුයි. මාතෘකා සිතට ආ පිළිවෙළට පමණක් ලියූ බව සඳහන් කළ
යුතුයි.
අද මෙරට ආණ්ඩු කරන්නේ මූලික වශයෙන් එංගලන්තයෙන් මෙහෙයවෙන
ඇංග්ලිකන් මෙතෝදිස්ත සංස්කෘතික හවුලකින්. ඉන් සිංහල ජාතියටවත් දෙමළ කතා
කරන ජනයාටවත් මුස්ලිම් ජනයාටවත් සෙතක් සැලසෙන්නේ නැහැ. මෙය හුදෙක්
ඉංගිරිසි කතා කරන ඇංග්ලිකන් මෙතෝදිස්ත සංස්කෘතියේ පුද්ගලයන්ට පමණක්
සෙත සලසන ආණ්ඩුවක්. සංධානයේ නායකත්වය මහින්ද හා මෛත්‍රිපාල දැරිය යුතු
වන අතර බණ්ඩාරනායක නමට හිමි තැන අහිමි නොකිරීමට කටයුතු කළ යුතුයි.
බටහිරින් හා ඉන්දියාවෙන් මෙහෙයවෙන, ආධාර ලබන රනිල් සුමන්තිරන් ආණ්ඩුව
පළවා හැරිය හැක්කේ මෛත්‍රිපාල මහින්ද නායකත්වයෙන් ඇති කෙරෙන
සංධානයකින් පමණයි.
එවැනි සංධානයක් ඇති නොවුණහොත් අප ඊයේත් කී පරිදි තුන්කොන් සටන් ඉදිරි
ජනාධිපතිවරණයෙහි දී මැතිවරණවල දී ඇති වෙනු නිසැකයි. එයින් පැහැදිලි ව ජය
ගැනීමට පොහොට්ටුවෙන් තරග කරන අපේක්‍ෂකයන්ට හැකි යැයි සිතිය හැක්කේ
දේශපාලන අන්ධයන්ට පමණයි. පොහොට්ටුවට තුන්කොන් සටනක් තිබූ පසුගිය
පෙබරවාරියේ පැවති පළාත් පාලන මැතිවරණයේත් සියයට පනහක ඡන්දයක්
ලැබුණේ නැහැ. අධිතක්සේරුවක සිටිමින් තුන්කොන් සටන්වලට අපේක්‍ෂකයන්
ඉදිරිපත් කිරීමෙන් සිදුවන්නේ අපේක්‍ෂකයන් නන්නත්තාර කිරීම පමණයි. තුන්කොන්
සටනක දී ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් ඉදිරිපත් කරන්නේ තවත්
නන්නත්තාර වීමට ඉඩක් නැති ජී එල් පීරිස් ද? අප දන්නා තරමින් ගෝඨාභය
රාජපක්‍ෂ තවමත් සිය එක්සත් ජනපද රටවැසිකම ඉවත් කර ගැනීමට කටයුතු කර
නැහැ.
මේ අවස්ථාවේ කළ යුත්තේ ජනාධිපතිවරණයේ හා මැතිවරණවල අපේක්‍ෂකයන්
කවුදැයි කතා කරන එක නොව සංධානය ඇති කර ගැනීමටත් නව ව්‍යවස්ථාව හෝ
සංශෝධන හෝ විස්ස හෝ සම්මත කර ගැනීමට විරුද්ධව ශක්තිය ඒකරාශි
කිරීමටත් කටයුතු කිරීමයි. සංධානයේ ජනාධිපති අපේක්‍ෂකයා අවශ්‍ය වූ විට තීරණය
කරගන්න පුළුවන්. දැන් ම ඒ ගැන කලබල වෙලා ගෝඨාභය ද මෛත්‍රිපාල ද
වෙනත් අයකු ද යනුවෙන් සකච්ඡාවක් ආරම්භ කර සංධානය කඩාකප්පල් කළ යුතු
නැහැ. හෙට කළ යුතු දේ අද කතා කර හෙට නැති කර නොගෙන අද කළ යුතු දේ
අද කරන්න ඕන. එවිට හෙට කළ යුතු දේ හෙට පැහැදිලි වේවි.
තුන්කොන් සටන්වලින් කිසිවකුටවත් පැහැදිලි ජයක් ලබා ගන්න බැහැ.
ජනාධිපතිවරණයක දී නම් සියයට පනහක් හා එකක් ඡන්ද ගැනීමට කිසිවකුටවත්
නොහැකි වේවි. සංධානයක් ඇති කර නොගත්තොත් රට ටික කලක් අරාජික වී පසුව
ඇංග්ලිකන් මෙතෝදිස්ත ආධිපත්‍යය තහවුරු වී දශක කිහිපයකින් රට ම ඇංග්ලිකන්
මෙතෝදිස්ත සංස්කෘතික ප්‍රභේදයේ කිඳා බසිවි. තුන්කොන් සටන්වලින් බණ්ඩාරනායක
නාමය පමණක් නොව රාජපක්‍ෂ නාමය ද ඉතිහාසයෙන් අතු ගෑවී යන බව අප
තේරුම් ගත යුතුයි. 1989 දී බණ්ඩාරනායක ඝාතනයට අවුරුදු තිහක් පිරුණු දා පළමු
බණ්ඩාරනායක සමරු දේශනය පැවැත්වීමට මට ආරාධනය කළ මහින්දට, එනම්
පනස්හයේ බලවත් ම පුතාට, ඉන් තිස්අවුරුද්දකට පසු පනස්හයේ දරුවන්වත්
පියවරුන්වත් ඉතිහාසයට යැවීමට අවශ්‍යතාවක් තිබෙන්න විධියක් නැහැ.

මහාචාර්ය නලින්ද සිල්වා



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More