පුරවැසි කොලම

මැතිවරණ තේරීම් බාර නිලධාරීන් විසින් විවිධ හේතු දක්වමින් ප්‍රාදේශීය සභා නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම්ට විරුද්දව මේවනවිට පෙත්සම් අටක් අභියාචනා අධිකරණයට යොමු වී ඇත. ඒවා සියල්ලම පාහේ ප්‍රතික්ෂේප වී ඇත්තේ දිනයක් යොදා නොතිබීම හෝ වැරදි දිනයත් යෙදීම හෝ ස්ත්‍රී පුරුෂභාවය වැරදියට යෙදීම වැනි සරල හේතු මතය. උදාහරණයක් ලෙස මහරගම නගර සභාව සඳහා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප කෙරෙන්නේ ස්ත්‍රී පුරුෂභාවය වැරදියට සඳහන් කිරීම නිසාය. නමුත් අදාළ කාන්තාවගේ නම කාන්තා නියෝජනය විශේෂයෙන් සදහන්කොට ඇත. ඊට අමතරව ජාතික හැදුනුම්පත් අංකය මගින්ද ස්ත්‍රී පුරැෂ භායට තහවුරැවේ. ඒ අනුව ස්ත්‍රී පුරුෂභාවය වැරදියට සඳහන් කිරීම් මගින් කාන්තා නියෝජනය වෙනස් වූවා යැයි තර්ක කළ නොහැක. එවැනි සුළු වැරදි මත සමස්ත නාමයෝජනා ලැයිස්තුව ඉතා යාන්ත්‍රික ආකාරයට ප්‍රතික්ෂේප කිරීම සාධාරණීයකරණය කළ හැක්කේ කෙසේද?

ඉහළ උපදෙස් මත අදාළ පටිපාටිය යාන්ත්‍රිකව අකුරටම ක්‍රියාත්මකත්මක කළ තේරීම්භාර නිලධාරියා විසින් අදාළ ප්‍රදේශයේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය බරපතළ ලෙස අභියෝගයට ලක්කොට ඇත. ඒමගින් අපේක්ෂකයින්ගේ පමණක් නොව ඡන්දදායකයාගේද පරමාධිපත්‍ය බලය උදුරා ගෙන ඇති අතර සමස්ත ඡන්ද ප්‍රතිඵලයේ විකෘතියක්ද ඇති කරයි. සර්වජන ඡන්ද බලය යනු ජනතා පරමාධිපත්‍යයේ මූලිකම සහ වැදගත්ම අංගයක් බවට විවාදයක් නැත. මහජනයා තමා සතු පරමාධිපත්‍ය බලය විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ආයතන වලට පවරා දෙන්නේ සර්වජන ඡන්ද බලය යොදා ගනිමිනි. ඒ නිසා එම බලය රැකීමට ඒ සියලු ආයතන උපරිමයෙන් බැඳී සිටියි. ඉතා සරල, සුළු හේතුවක් මත එම බලයට යම් ආයතනයක් හෝ පුද්ගලයෙක් විසින් අභියෝග කරන්නේ නම් එය බරපතළ තත්වයක් නොවේද. විශේෂයෙන්ම ඉර හද යට ඇති සියලු යුක්තිය සහ ධර්මය ගැන ජනමාධ්‍ය හරහා දේශන පවත්වන බලවත් නිල්ධාරියකු මැතිවරණ කොමිසමේ සභාපති ලෙස කටයුතු කරන තත්වයක් තුළ එය වඩාත් කනගාටු දායක වේ.

මැතිවරණ කොමිසමේ පළමු සහ මූලික වගකීම වන්නේ පරමාධිපත්‍යය බලය සුරක්ෂිත කිරීම සහ එම බලය වඩාත් නිවැරදිව, සාධාරණව සහ යුක්ති සහගතගත ව යොදා ගැනීම සහතික කිරීම ය. ඒ සඳහා අදාල යාන්ත්‍රණය සකස් කිරීම සහ එය අකුරටම මෙහෙයවීම පමණක් සෑහෙන්නේ නැත. ඒ සදහා දාර්ශනික මගපෙන්වීම ලබා දෙන ප්‍රතිපත්තිමය ප්‍රවේශයක් හඳුන්වා දීම ද ඉතා වැදගත් වේ. මැතිවරණ කොමිසම මගින් තම පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරනවා ගැනීම් සඳහා ඡන්ද දායක‍යෝ බිලියන ගණන් මුදල් වැය කරති. එම නිසා මැතිවරණ නීති වල වගන්ති මගින් කුමන තාක්ෂණික මඟ පෙන්වීම්ක් ලබා දුන්නද එම නීතියේ මූලික උත්තරීතර අරමුණට අගතියක් නොවන ලෙස එම වගන්ති ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමිසම බැඳී සිටියි. මැතිවරණ කොමිසම යනු හුදු මෙහෙයුම් සහ නියාමන වගකීමක් පමණක් සහිත ආයතනයක් නොවේ. ඒ මඟින් ඡන්ද දායකයාට සහ අපේක්ෂකයාට තම පරම පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීම් සඳහා අවශ්‍ය අධ්‍යාපනය ලබාදීම සහ ඊට අවශ්‍ය වන මග පෙන්වීම සහ පහසුකම් සැලසීම ද සිදු සිදුකළ යුතුය.

මැතිවරණ කොමිසම අර්ධ අධිකරණ බලතල සහිත ආයතනයක් වූව ද ඊට අධිකරණ බලය හෝ පොලිස් බලය පැවරී නැත. පොලීසියට වුවද දැන් බරපතල සමථකරණ වගකීමක් පැවරී ඇත. ඒ නිසා පරමාධිපත්‍ය බලය ආරක්ෂා කිරීම සඳහා මැතිවරණ කොමසම විසින් ද සමථකරණය සහ වැරදි නිවැරදි කිරීම් සඳහා පහසුකම් සැලසීමද සිදු කළ යුතුය. නමුත් එය ඉහළ නිළධාරීන් තම නිල වාහන වලින් බැස ගොස් පාරෙ එල්ලා තිබෙන බැනර් කටවුට් තමා අතින්ම කඩා දැමීම තරම් අලංකාර නැත. වෙනත් වචන වලින් කියන්නේනම් ප්‍රතිපත්තිමය වෙනස්කම් කිරීම මහ පාරේදි මහජනයා අත්පුඩි ගසන අලංකාර වැඩ තරම් පහසු වන්නේ නැත. කෙසේ වෙතත් බුද්ධිමය දායකත්වය මගින් ඉටුකළ යුතු දේ සදහා ශාරීරික මැදිහත් වීමට මෙන් මහජන ඉල්ලීමක් ද නැත. ඒ නිසා මැතිවරණ ක්‍රමය තුල පවතින මූලික වැරදි දිගින් දිගටම පවතින අතර ඒ මගින් දිගින් දිගටම පරමාධිපත්‍යය හෑල්ලුවට ලක් වේ. දේශපාලකයින් විසින් ජනතා පරමාධිපත්‍ය හෑල්ලුවට ලක්කරන්නේ පෙරළා එම පරමාධිපත්ත්‍යටම පින් සිදුවන්නටය. එය ඓතිහාසික සත්‍යයකි. නමුත් දේශපාලනඥයන්ගෙන් වරම් ලබාගන්නා නිල්ධාරීන්ට පරමාධිපත්‍ය විකෘති කිරීම්ට අයිතියක් නැත.
සර්වජන ඡන්ද බලය නැමැති න්‍යාය අනුව ඡන්දය දීම හෝ ඉල්ලීම් සඳහා අධ්‍යාපන මට්ටම පූර්ව සුදුසුකමක් හෝ කොන්දේසියක් ලෙස යොදාගත නොහැක. එවැනි දේ සිදු වූයේ 1931 ට පෙර අධිරාජ්‍යවාදී පාලන සමය තුළය. මැතිවරණ නීති හෝ නාමයෝජනා ඉදිරිපත් කිරීම්ට අදාළ පටිපාටි පිළිබඳ අබමල් රේණුවකවත් දැනුමක් නොමැති අයෙකුට වුවද මැතිවරණයකදී තරග කිරීමට අයිතිය තිබේ. එවැනි අපේක්ෂකයින්ට අවශ්‍ය දැනුම ලබා දීම සහ ඔවුනට උදව් කිරීම මැතිවරණ කොමිසමේ මූලික වගකීමක් වේ. තර්කයක් ලෙස ගත් විට එවැනි අපේක්ෂකයෙකු හෝ කණ්ඩායමක් විසින් සිදු කරන සුළු වරදක් මත ඔවුන් ගේ පරමාධිපත්‍ය බලය උදුරා ගැනීමට මැතිවරණ කොමිසමට අයිතියක් නැත. එය ඉතා යාන්ත්‍රික සහ නූතන ලෝකයට වලංගු නොවන දරදඬු දුප්පත් පරිපාලන සංස්කෘතියක පමණක් සිදුවිය හැකි දෙයකි .

නමුත් ඉන්දියාව වැනි රටක මැතිවරණ කොමිසමේ සභාපතිවරයා තම නිලධාරීන්ට උපදෙස්දෙස් දෙන්නේ කිසිවිටෙක සුළු වැරදි මත නාමයෝජනා ප්‍රතික්ෂේප නොකරන ලෙසය. සුළු වැරදි ඇත්නම් ඒවා නිවැරදි කර ගැනීම සඳහා පූර්ව උපදෙස් දීමට ද එම නිලධාරීන් බැඳී සිටියි. උදාහරණයක් ලෙස යම් අපේක්ෂකයෙකුට තම නාමයෝජනා භාරදීමට පෙර එහි යම් වැරදි ඇත්ද යන්න දැනගැනීම සඳහා ඉන්දියාවේ මැතිවරණ කොමිසම විසින් පහසුකම් සලසා ඇත. නමුත් එසේ උපදෙස් දෙන්නේ සුළු වැරදි ඇත්නම් ඒවා නිවැරදි කර ගැනීම සදහා පමණි. නාමයෝජනා වල නම් ‘‘ටිපෙක්ස් “ දමා මකා ඒ මත වෙනත් නම් යෙදීම අනුමත කරන ලෙස එම නිලධාරීන්ට උපදෙස් ලැබෙන්නේ නැත. එම නිසා එම නිලධාරීන් විසින් අපේක්ෂකයන්ට ලබා දෙන සුළු උපදෙස් මගින් මැතිවරණයට අපේක්ෂකයින්ට අගතියක් සිදු වන්නේ නැත. නමුත් එමගින් නාමයෝජනා යෝජනා ප්‍රතික්ෂේප වීම අවම වේ. ඉන්දියාවේ පවතින ආකාරයේ දියුණු මැතිවරණ කොමිසමක් අප රටේ ස්ථාපිත කිරීම සඳහා නීතිමය වශයෙන් බාධා නොමැත. එහෙත් නිලධාරීන්ගේ මානසික බාධක ඊට එරෙහිව පවතින ප්‍රධාන පරිපාලන බාධාව බවට සැකයක් නැත.

අප රටේ නිලධාරීන් තමා සම්ප්‍රදායානුකූල නොවන බව පෙන්වීමට මාධ්‍ය මඟින් ප්‍රබල උත්සාහයක් ගත්තත් ඔවුන් ප්‍රායෝගිකව තම කාර්යාල තුළ හැසිරෙන්නේ ‘‘අති සම්ප්‍රදායානුකූලව ය.“ අප රටේ නිල්ධාරිවාදී සම්ප්‍රදායන් හෙවත් මනෝභාවයන් නියාමනයට හෝ පාලනයට වැඩි බරක් දක්වයි. ඒ තුළ ඔවුන් සෑම විටම පෙළඹෙන්නේ කෙසේ හෝ වරදක් තිබේ දැයි සොයා බලා මහජන ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම්ට ය. ඒ නිසා ඔවුන් වැඩි බරකින් කටයුතු කරන්නේ යමක් ප්‍රතික්ෂේප කිරීමට වැරැද්දක් හෝ හේතු සොයා ගැනීමට මිස වැරදි සිදු නොවීම සඳහා වගබලා ගැනීමට නොවේ. නමුත් එම ක්‍රියාවලිය තුළ ශ්‍රී ලංකාවේ දී සෑම දේශපාලන පක්ෂයක් විසින් ම සිදුකරන බලවත් වරදක් නොසලකා හැරීම හාස්‍යජනක තත්ත්වයකි.
යම් පක්ෂයක බලයලත් නිලධාරියා ඉදිරිපිටදී නාමයෝජනා පත්‍රයට අත්සන් තබන අපේක්ෂකයෙකුට නොදන්වා ඔහුගේ නම ටිපෙක්ස් මගින් මකා දමා ඒ වෙනුවට වෙනත් අපේක්ෂකයකු ගේ නම ඇතුල් කිරීම කෙතරම් සදාචාර විරෝධී තක්කඩි ක්‍රියාවක් ද? නමුත් මැතිවරණ කොමිසම එම ක්‍රියාව ඉතා උපේක්ෂාවෙන් ඉවසා සිටීම පුදුම සහගතය. බැංකුවකින් රැ 100 ක් ආපසු ගැනීම සඳහා ඉල්ලුම් කරන පත්‍රිකාවක් මත ලියන ලද යමක් ‘‘ටිපෙක්ස්“ යොදා මකා දමා නැවත උඩින් ලියා ඇත්නම් වෙනත් පෝරමයක් පුරවාගෙන එන ලෙස බැංකු නිලධාරියා ඉල්ලා සිටිනු ඇත. දිනය යොදා නොමැතිනම් දිනය යොදා ගෙන එන ලෙස ඉල්ලා සිටීමට මැලිවන නිලධාරීන් එවැනි බරපතළ වැරදි ඉවසා සිටින්නේ පවතින දූෂිත දේශපාලන සංස්කෘතිය රැකීම පරමාධිපත්‍යය රැකීමට වඩා ඔවුන්ට වැදගත් වන නිසාද? මැතිවරණ කොමිසමට තම වැරදි නිවරදි කර ගන්නා මට්ටමකට නිහතමානි මනෝ භාවයකින් යුතුව කටයුතු කරනවා නම් ඔවුන් විසින් නිවැරදි කළ යුතු පළමු වර ද එම ‘‘ටිපෙක්ස් ක්‍රිඩාව“ නොවේද? ඒ බව එම ක්‍රිඩාව නිසා නම් කැපී ගිය සිය දහස් ගණනක් අපේක්ෂකයින් විසින් සහතික කරනු ඇත.

කෙසේවෙතත් මැතිවරණ කොමිසමේ නළුවන් මාධ්‍ය හමුවේ ‘‘සීරියස්“ භූමිකාවක් ඉදිරිපත් කළත් එදිනෙදා පරිපාලනයේ දී ඔවුන් රඟදක්වන්නේ ‘‘ප්‍රහසන“ බව නොකියා ම බැරි ය. නමුත් රටේ පැත්තෙන් ගත්විට ඒ ප්‍රහසන අවසන් වන්නේ ඛේදවාචකවලින් බවටද සැකයක් නැත. උදාහරණයක් ලෙස මැතිවරණ කොමිසමේ ප්‍රධාන වගකීමක් වන දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ දී එම පක්ෂවල ව්‍යවස්ථාවල කුමක් සඳහන් වන්නේ දැයි සොයා බැලීම ඉතා වැදගත් වේ. නමුත් එම ප්‍රධාන වගකීම් නිසි ලෙස ඉටු නොවන බවට ප්‍රභල සාක්ෂි ඇත. මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරි ඉදිරිපත් වූ පෙත්සමකට අනුව (නඩු අංක – එස්.සී/ විශේෂ /03 / 2014 ) ඉලංකෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ එම ව්‍යවස්ථාව මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වන සංශෝධනයේ ප්‍රතිපාදන බරපතළ ලෙස උල්ලංඝනය වේ. එම පක්ෂ ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ 1976 වඩුක්කොඩෙයි යෝජනාව තම ව්‍යවස්ථාවේ කොටසක් ලෙස පිළිගන්නා බවය. නමුත් එම යෝජනාව නිශ්චිතව ව්‍යවස්ථාවේ ලේඛනගත කොට නැත. එය ඉතා සූක්ෂම උපක්‍රමශීලී කපටි ක්‍රියාවකි.

නමුත් මැතිවරණ කොමිසමේ නිලධාරීන් තමා ලියාපදිංචි කරන පක්ෂවල ව්‍යවස්ථාවන් මගින් රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය වේ දැයි සොයා බලන්වා නම් එවැනි කූට ක්‍රියා හඳුනාගත හැක. ඒ අනුව අදාළ නිලධාරීන් විසින් හෝ ආයතනයේ ප්‍රධානියා විසින් වරදක් ඇතැයි හැඟෙන ව්‍යවස්ථා ලේඛන කියවා ඇත්නම් සහ ඒ තුල සැකකටයුතු හෝ කුතුහලය දනවන යමක් වේ නම් ඒ පිළිබඳව විමසා සිටීමේ හැකියාව ඇත. එනම් එම පක්ෂයේ ව්‍යවස්ථාවේ කොටසක් ලෙස පිළිගෙන ඇති වඩුක්කොඩෙයි යෝජනාව ලිඛිතව ව්‍යවස්ථාවට අමුණා එවන ලෙස ඉල්ලා සිටීමේ හැකියාව ඇත. විශේෂයෙන්ම වඩුක්කොඩෙයි යෝජනාව මගින් රට බෙදීම සඳහා මහජනයා පොළඹවන බවට සමාජයේ දැනුම්වත් භාවයක් තිබෙන බැවින් එසේ විමසා සිටීමේ අවශ්‍යතාවය මතු වේ. මැතිවරණ කොමිසම තම වගකීම් හරිහැටි ඉටු කළා නම් එම පක්ෂයට තම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට සිදුවනු ඇත. එසේ නොමැතිනම් එම පක්ෂයේ ලියාපදිංචිය අහෝසි කිරීමට හෝ ඒ පිළිබදව නීතිපතිගේ මතය විමසා සිටීමට අවශ්‍ය වේ. මැතිවරණ කොමිසමක් තම වගකීම් ඉටු නොකළ බැවින් ඉහත සඳහන් කළ ආකාරයට සාමාන්‍ය පුරවැසියකුට ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතීමට සිදුවිය. එහෙත් යම් තාක්ෂණිකික ගැටලුවක් මත එම පෙත්සම් නිෂ්ප්‍රභා විය.

ඒ අනුව දැන් පවතින තත්ත්වය තුල අද වන විටත් රට බෙදීම සඳහා සෘජුව ජනතාව පෙළඹවන ව්‍යවස්ථාවක් සහිත පක්ෂයක ලියාපදිංචිය මැතිවරණ කොමිසම් විසින් පවත්වාගෙන යමින් සිටියි. ඒ මඟින් මේ රටේ ව්‍යවස්ථාව බරපතළ ලෙස උල්ලංඝනය වේ. එසේ නම් රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නේ මැතිවරණ කොමිසම විසින්ය. යම් පුරවැසියෙකු විසින් ඉහත සඳහන් කළ පෙත්සම එහි අඩංගු තාක්ෂණික ගැටලූව නිවැරදි කොට එය නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළහොත් මැතිවරණ කොමිසමද වගඋත්තරකාරයකු බවට පත් වේ. එය වළක්වාගත හැක්කේ මැතිවරණ කොමිසමේ ඉහළ නිලධාරීන් විසින් අදාළ පක්ෂයේ ව්‍යවස්ථාව කියවා බලා නිසි පියවර ගැනීම මගින් පමණි. විශේෂයෙන්ම එම පක්ෂය විසින් ප්‍රාදේශීය සභා මැති මැතිවරණයටද අපේක්ෂාකයින් ඉදිරිපත් කොට ඇති බැවින් නාමයෝජනා වල සුළු වැරදි සෙවීමට පෙර මෙම බරපතළ වරද පිළිබඳව සොයා බැලිය යුතුව තිබුණි. මැතිවරණ කොමිසමේ ඉහළ නිලධාරීන් මාධ්‍ය සංදර්ශන පැවැත්වීම සඳහා වැය කරන කාලයෙන් බිඳක් එම මූලික වගකීම් ඉටුකිරීම සඳහා යෙදවිය නොහැකි ද?

වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More