දේශීය පුවත්

ශ්‍රි ලංකාව සහ සිංගප්පුරුව අතර අත්සන් තබා ඇති නිදහස් වෙළද ගිවිසුමේ සංශෝධන කිහිපයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිංගප්පුරු අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී තිබේ.

එම ගිවිසුම අත්සන් කිරිමේ දි ශ්‍රි ලංකා පාර්ශවයෙන් අඩුපාඩු කිහිපයක් සිදුව ඇති බවත් ඉදිරියේදී ඒ පිළිබඳව කටයුතු කරන බවත් ජනාධිපතිවරයා සිංගප්පුරු අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

සිංගප්පුරුවේ දෙදින නිළ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිංගප්පුරු අග්‍රාමාත්‍ය ලී සියෑන් ලුංග් මහතා සමඟ අද(25) දහවල් පැවති සාකච්ඡාවේ දී මේ බව දැනුම් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

දෙරට අතර පවතින වෙළඳ , සංචාරක සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ සබඳතා තව දුරටත් ඉහළ නංවා ගැනීම පිළිබඳව මෙහි දී නායකයින්ගේ විශේෂ අවධානය යොමුව තිබේ.

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් තබා ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව ද මෙහි දී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ එය සකස් කිරීමේ දී ශ්‍රි ලංකා පාර්ශ්වයෙන් අඩු පාඩු කිහිපයක් සිදුව තිබෙන බවත්, ඒ සඳහා අවශ්‍ය සංශෝධන කිහිපයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවත් ය. ඉදිරියේ දී ඒ පිළිබඳව කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.

එමෙන්ම කලාපයට පමණක් නොව ලෝකයටම තර්ජනයක් වී ඇති මත්ද්‍රව්‍ය අභියෝගය ජය ගැනීම සඳහා එක්ව කටයුතු කිරීම පිළිබඳව ද මෙහිදී නායකයන්ගේ අවධානය යොමු වූ අතර මත් උවදුර මැඬලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළට උපරිම සහය ලබාදෙන බව සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් සිංගප්පූරුවේ විවිධ ක්ෂේත්‍රවල රැකියාවල නියුතුව සිටින අතර ඔවුන්ගේ සහ එරට උසස් අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන්ගේ සුබසාධනය වෙනුවෙන් සිංගප්පූරු රජය දක්වන සහය පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහි දී සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා වෙත සිය ස්තූතිය පළ කළේය.

මේ අතර ඇස්ටෝනියාවේ පරිසර අමාත්‍යවරයා මෙන්ම එක්සත් ජාතින්ගේ පරිසර කමිටුවේ සිව්වන සැසිවාරයේ සභාපතිවරයා වන (Slim kiisler) මහතා ද අද ජනාධිපතිතුමා හමුවී සාකච්ඡා පැවැත්වීය.

පරිසරය ආරක්ෂා කර ගනිමින් තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනමහතාගේ මගපෙන්වීමෙන් ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළ මෙහි දී අමාත්‍යවරයාගේ පැසසුමට ලක් විය.

පරිසර සංරක්ෂණය වෙනුවෙන් ලෝකයටම ආදර්ශයක් සපයමින් වැදගත් පියවර රැසක් තබා ඇති ශ්‍රී ලංකා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, පරිසර අභියෝග ජය ගැනීම පිළිබඳව අද දින පැවති සමුළුවේ දී ඉදිරිපත් කළ යෝජනා පිළිබඳව ද සිය ස්තූතිය පළ කළ අමාත්‍යවරයා ඒවා අන්තර්ජාතික වශයෙන් ඉතා වැදගත් යෝජනා වනු ඇති බව සඳහන් කළේය.

මේ අතර ලබන මාර්තු මාසයේ දී නයිරෝබිහි පැවැත්වෙන එක්සත් ජාතින්ගේ පරිසර සැසියේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වන ලෙස ද ජනාධිපතිතුමා වෙත ඇරයුම් කළේය.

කාලගුණික දේශගුණික විපර්යාස හේතුවෙන් මතුවන අභියෝග ජය ගැනීමේ දී මෙන්ම පරිසර සංරක්ෂණ වැඩපිළිවෙළේ දී එක්සත් ජාතින්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට ලබා දෙන සහය මෙහි දී අගය කළ ජනාධිපතිතුමා පොලිතින් තහනම වැනි දැඩි නීති රීති ක්‍රියාවට නංවමින් පරිසරය සුරැකීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගෙන යන පුළුල් වැඩපිළිවෙළ පිළිබඳවත්, පරිසරය ආරක්ෂා කිරිම වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගනිමින් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ පිළිබඳවත් අමාත්‍යවරයා දැනුවත් කළේය.

ඇස්ටෝනියාව සහ ශ්‍රී ලංකාව අතර මේ වන විටත් පවතින ද්විපාර්ශ්වික සබඳතා නව ක්ෂේත්‍ර ඔස්සේ වර්ධනය කර ගැනීම පිළිබඳව ද මෙහි දී අවධානය යොමු විය.

– ජනාධිපති මාධ්‍ය ඒකකය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More