දේශීය පුවත්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරලාගල පුරාවිද්‍යා රක්ෂිත භූමියේ පිහිටි ඉපැරැණි දාගැබක මුදුනට නැඟ ඡායාරූප ලබාගෙන සමාජ මාධ්‍ය (ෆේස්බුක්) ඔස්සේ ප්‍රසිද්ධ කිරීමේ චෝදනාව මත සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ…ඔළුවිල්හි අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ ශිෂ්‍යයන් අටදෙනා ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහරින්නැයි කළ ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කළ කැබිතිගොල්ලෑව දිසා මහෙස්ත්‍රාත් එච්.කේ. මාලින්ද හර්ෂන ද අල්විස් මහතා ඔවුන් පෙබරවාරි මස 05දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ඊයේ (24දා) නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ අම්පාර ඔළුවිල් අගින්දිග විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන දුම්මලසූරිය පදිංචි, පිරි මොහොමඩ් සාමිල් අංල (25), එරාවුර්හි පදිංචි අබ්දුල් සලාම් මොහොමඩ් රිකාස් (25), හොරොව්පොතාන පදිංචි අබ්දුල් ෆාසික් මොහොමඩ් (28), පුත්තලම පදිංචි හලීල් මොහොමදු හලීල් (25), අක්කරයපත්තු පදිංචි මොහොමට් ඊබ්‍රහිම් සිෆාම් මොහොමඩ් (25), කල්මුණේ පදිංචි මොහොමඩ් රියාස් මොහොමඩ් රවුෆික් අසාර් (25) සයින්දමරදු පදිංචි අබ්දුල් අසීෆ් දිල්හාන් (25) හා එරාවුර් පදිංචි තාරිස් මොහොමදු සබ්රාස් (25) යන සිසුන් කණ්ඩායමයි.

සැකකරුවන්ට මේ මස අවසානයේ විශ්වවිද්‍යාලයේ අවසන් විභාගයට පෙනී සිටීමට තිබෙන බැවින් ඔවුන් ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහරින ලෙස සැකකාර සිසුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් අයැද සිටියත් එම ඉල්ලීම විනිසුරුවරයා තරයේ ප්‍රතික්ෂේප කළේය.

විභාගය සඳහා පෙනී සිටින සිසුන්ව එදිනට බන්ධනාගාර ආරක්ෂාව යටතේ විභාගයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පහසුකම් සපයන ලෙස දන්වමින් අනුරාධපුර බන්ධනාගාර අධිකාරි රෝහණ ගලප්පත්ති මහතාට විනිසුරුවරයා නියෝග කළේය.

සැකකාර සිසුන් පිරිස අධිකරණයට ඉදිරිපත් කළ හොරොව්පොතාන පොලිසියේ නඩු මෙහෙයුම් අංශය අධිකරණයට කියා සිටියේ ආන්දෝලනාත්මක සිද්ධියත් සමඟ සැකකරුවන් පිරිස හඳුනාගෙන ඔවුන් පෙරේදා (23දා) රාත්‍රියේ හොරොව්පොතාන පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් මඟින් ත්‍රිකුණාමලය හා අම්පාර ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවන් ඉකුත් 05දා හෝ ඊට ආසන්න දිනයකදී හොරොව්පොතාන කිරලාගල පුරාවිද්‍යා රක්ෂිතයට විනෝද චාරිකාවක් සඳහා පැමිණි අවස්ථාවේ ඔවුන් පුරාවිද්‍යා ස්ථානයක් වශයෙන් නම් කර තිබෙන ඉපැරැණි ස්තූපය මතට නැඟී ඡායාරූප ලබාගෙන සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ මුදාහැර ඇති බවයි. මේ හේතුවෙන් රටේ දැඩි ආන්දෝලනයක් පවතින බවත්, සිද්ධිය සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ අවසන්වී නැති බවත්, පොලිසිය අධිකරණයට දැන්වීය. සැකකරුවන්ට ඇප ලබාදීමෙන් විරෝධතාවක් මතුවීමට ඉඩ ඇති බැවින් ඔවුන්ට ඇප ලබාදීමට විරෝධය පළ කරන බව පොලිසිය අධිකරණයට දැන්වීය.

සැකකරුවන් ඡායාරූප ලබාගෙන ඇති ස්ථානය පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථානයක්ද යන්න අනාවරණය කර ගැනීම සඳහා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වාර්තාවක් කැඳවන ලෙස නියෝග කළ විනිසුරුවරයා සැකකරුවන් මේ මස 05දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියම කෙළේය. අත්අඩංගුවට ගත් සැකකාර සිසුන් හත්දෙනා පුරාවිද්‍යා පනතේ 31(අ) යටතේ අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර එය ඇප ලබාදීමට නොහැකි වරදක් බව පනතේ සඳහන් වේ.

උතුරුමැද පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ එල්.පී.එස්.පී. සඳුන්ගහවත්ත යන මහත්වරුන්ගේ නියෝග මත පොලිස් අධිකාරි තිළිණ ගමගේ මහතාගේ මෙහෙයවීමෙන් හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව මහතා ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.
පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් ආචාර්ය පී.බී. මණ්ඩාවල මහතාත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීමට කලාප භාර පුරාවිද්‍යා නිලධාරි ආර්.එම්. සුමිත් බණ්ඩාර මහතාට උපදෙස් ලබාදී තිබූ අතර ඒ මහතා සිද්ධිය සම්බන්ධයෙන් හොරොව්පොතාන පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබිණි.

මේ සම්බන්ධයෙන් උතුරුමැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක පුරාවිද්‍යා ආරක්ෂණ විශේෂ පොලිස් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජේකෝන් මහතා ප්‍රමුඛ පොලිස් කොස්තාපල්වරුන් වන පෙරේරා (23118), වීරකෝන් (36446), ගුණසේන (48314), ඉලංගසිංහ (75184) හා පොලිස් සැරයන් රියැදුරු කුමාර (33787) යන නිලධාරීහු වෙනම විශේෂ පරීක්ෂණයක් සිදුකරති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More