පුරවැසි කොලම

පසුගිය මස 23 වැනි ඉරිදා දිවයින පුවත්පතේ පළ වූ උපතේ සිට මරණය තෙක්ම එජාප රකින ජේවීපිය යන ලිපියට පිළිතුරක්, වඩා නිවැරැදිව පවසන්නේ නම් ඌන පූරණයක් සැපයිය යුතු යැයි තීරණය කළෙමි.

ඒ සඳහා බලපෑ හේතු දෙකක් ඇත. ඉන් පළමුවැන්න නම් ජේවීපි ය මරණය හමුවේ එජාපය රකින බවට පිළිගන්නා නමුදු උපතේ සිට එසේ වූවා යැයි මා කිසිසේත්ම පිළිනොගන්නා නිසාය. ජවිපෙ ඉතිහාසයේ ඇත්තේ නිශේධනීය උරුමයක් පමණක්ම නොව එහි සාධනීය උරුමයක් ද පවතින නිසා වර්තමාන කටයුතු පිළිබඳව විවේචනයන් ඇති කාහට වුවද ඉතිහාසය වෙනස් කොට ලිවීමට නොතැබිය යුතු යැයි විශ්වාස කිරීමයි.

දෙවැන්න, ජවිපෙ ඉතිහාසය පිළිබඳ උරුමය, අයිතිය, එහි සාධනීය දායකත්වය ආරක්‍ෂා කිරීමට, ඒ වෙනුවෙන් පෙනී සිටීමට වත්මන් ජවිපෙ නායකත්වයට කිසිදු වුවමනාවක් නැතැයි මා ඉතා හොඳින් දන්නා නිසාය. ජවිපෙ තුළ පිළිබිඹු වන ඉතිහාසයේ නිශේධනීය කටයුතු කිසිවක් අහම්බෙන් සිදුවූයේ නැත. ඒ වටපිටාව අමතක කර දමා එදා ජවිපෙ කි‍්‍රයාකාරීත්වය විග‍්‍රහ කළ නොහැක. ‘සනත් දේවින්ද මහතා ලියූ ලිපියේ ජවිපෙ කි‍්‍රයාකාරීත්වය හා වටපිටාව පූර්ණ වූද සාධාරණ විග‍්‍රහයක් සිදුවී නොමැති බව මගේ විශ්වාසයයි.

ජවිපෙ ඉතිහාසය වෙනුවෙන් හඬක් අවදි කිරීමට මට ඇති හැකියාව හා සදාචාරාත්මක අයිතිය කුමක් දැයි කෙනකු ප‍්‍රශ්න කළ හැක. මුලින්ම ඒ ගැන පැහැදිලි කර ලියැවුණු කරුණුවලට ප‍්‍රති අදහස් දැක්වීමට අදහස් කරමි.

1971 දී සිදුවූ මර්දනයට පසුව ජවිපෙ ගොඩනැඟූ ආකාරය පිළිබඳව, එවකට අවුරුදු පහළොවක් වූ මා සාක්‍ෂිකාරයෙක් පමණක් විය. මගේ පියා ඒ සඳහා කළ මැදිහත්වීම පිළිබඳව ද මා සාක්‍ෂිකරුවෙකි. නමුත් 1977 නැවත ජවිපෙ ගොඩනැඟීමේදී එවකට වෛද්‍ය ශිෂ්‍යයෙක් වූ මා එහි සෘජු කොටස්කාරයෙක් විය. 1983 පක්‍ෂ තහනමට පසු 4 වන තට්ටුවේ මාස හයක් ගත කොට පැමිණි මා, 1983 දී පක්‍ෂය ගොඩනැඟීමේ භාරදූර කටයුත්ත යම් පමණක කොටස්කරුවෙක් විය. නීතිවිරෝධී හා සදාචාර විරෝධී ලෙස සිදු කළ ජවිපෙ තහනම යටතේ කළ නීතිමය කටයුතු බෙහොමයකට ද මා කොටස්කරුවකු වූ නිසාම. 1988 දී මහ දවාලෙ රාජගිරියේ දී පැහැරගනු ලැබ ගම්පහ වධකාගාරයේ මාස නමයක් කටුක වේදනා මැද පක්‍ෂය රැකි, එතැනින් නොනැවතී 1989- 1991 සිදුවූ දැවැන්ත මර්දනය හමුවේ යළි පක්‍ෂය ගොඩනැගීමට මැදිහත් වූ ඉතාම අල්ප වූ දෙනාගෙන් කෙනකු ද වෙමි.

ඒ ඉතිහාසය දීර්ඝ ලෙස කතා කිරීමට මෙය වෙලාව නොවේ. නමුත් ඒ පෙරවදන මා මේ ලියන ලිපියටත් අත්‍යවශ්‍ය පූර්විකාවකි. අසා දැනගෙන නැවත ලියැවෙන ඉතිහාසය හා ඉතිහාසයේ ජීවමාන කොටස්කරුවකු ලෙස එකී ඉතිහාසය ගැන කතා කිරීමත් වෙනස් තත්ත්වයන්ය. ඒ නිසා මේ එකී ඉතිහාසයට කරන සාධාරණයයි.

‘‘රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ එජාප ආණ්ඩුව විසින් මරා දමන ලද රෝහණ විජේවීර ගමනායක ඇතුළු නායකයන් හා 67000 අධික සාමාජිකයන් හා සාමාජිකාවන්ගේ සෝසුසුම් අඳෝනාවල යුක්තිය රනිල් වික‍්‍රමසිංහ විසින් පෙරළා ඉටු කරනු ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් සාමාජික සාමාජිකාවන් කෙසේ වුවද පුරවැසියන් ලෙස අපි බලා සිටිමු’’ මේ කියමන සමග මා සීයට සීයක්ම එකඟයි. සුමන්දිරන් විසින් එල්ටීටීඊ සාමාජිකයන් වෙනුවෙන් කිසිදු අබමල් රේණුවක දෙගිඩියාවකින් තොරව පෙනී සිටිද්දී, වත්මන් ජවිපෙ නායකත්වය මරා දැමූ තම සගයන් වෙනුවෙන් මංචාඩියක් හෝ පෙනී නොසිටීම අහම්බයක් නොවන බවට විශ්වාස කරමි. ඒ සඳහා පාර කපනු ලැබුවේ 1988 -89 වකවානුවේදී ම බවද මා තරයේ විශ්වාස කරන අතර ඒ සඳහා කරුණු කාරණා සාක්‍ෂි සහිතව බොහෝ දෑ මා මෙතෙක් ප‍්‍රසිද්ධියේ නොකී බොහෝ දෑ ඉදිරියේදී කීමට බලාපොරොත්තු වෙමි. මෙම ලිපිය ඒ සඳහා නොවේ. ඉතිහාසය සරදම වන්නේ විජේවීර ඇතුළු දහස් ගණනක් ජීවිත පූජා කළ විජේවීර ගමනායක ඇතුළු අව්‍යාජ නායකයන් හා සාමාජික සාමාජිකාවන් දිවි හිමියෙන් පෙනී සිට ආරක්‍ෂා කළේ ඒකීය රාජ්‍ය සංකල්පය හා බලය බෙදීමට එරෙහි වීම තඹදොයිතුවකට මායිම් නොකිරීම වත්මන් ජවිපෙ වග බලා ගෙන ඇති නිසාය.

ජවිපෙ උපන්ගෙයි සිටම යූඑන්පී අතකොළුවක් නොවුණ බවට මට ජීවමාන සාක්‍ෂි රාශියක් ඇත. ඒවා සමහරක් ඔබ හා බෙදා ගැනීමට දරන උත්සාහයයි.

1971 ජවිපෙ සන්නද්ධ නැගිටීමට එරෙහිව අපරාධ යුක්ති කොමිෂන් සභාවේ විභාගයෙන් 13 වැනි සැකකාර දොන් පටබැඳි නන්දසිරි විජේවීර හෙවත් රෝහණ විජේවීර කිසිදු නීත්‍යානුකූල හෝ සදාචාරාත්මක වගකීමක් භාර නොගත් බව ඔහු ලියූ ලිඛිත විරෝධය (අප මරා දැමුවද අප නඟන හඬ සදා නොමියනු ඇත) මොනවට පැහැදිලි කර ඇත. පක්‍ෂය තාවකාලික ලෙස පසුබෑමකට ලක් කොට නිහඬ වන ලෙස යාපනය බන්ධනාගාරයේ රඳවා සිටි ඔහු බැලීමට ගිය නීතිඥ එඞ්මන් සමරක්කොඩි, හා මහ නඩුවේ සැකකාරයෙක් වූ වනාතමුල්ලේ ඔස්මන් සිල්වාගේ මව හරහා පණිවුඩයක් එවා තිබිණි. කම්බන් ෂොක් මැතිනිය නමින් හැඳින්වූ ඔස්මන්ඞ් සිල්වාගේ මවගේ කටින්ම පසු කලෙක මම මේ පිළිබඳව අසා ඇත්තෙමි.

එදා සිදුවූයේ ද පසු කලෙක මෙන්ම පක්‍ෂයේ බලය ඔහුගෙන් ගිලිහී කුමන්ත‍්‍රණකරුවන් අතට පත්වී තිබීමය.

සිරගතව සිටි ජවිපෙ නායකයා එක් දහස් නවසිය හැත්තෑ හතේදී නිදහස්වීමට බලපෑ සැබෑ පදනම වූයේ අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා පනත යටතේ සිරගත කළ සිටි විදේශ විනිමය වංචාකරුවන් නිදහස් කිරීමට ජයවර්ධන අගමැතිවරයාට තිබූ වුවමනාව මිසක 1971 සැකකරුවන් නිදහස් කිරීමට තිබූ වුවමනාව නොවේ.

ප‍්‍රධාන දේශපාලන ප‍්‍රවාහයට බට ජවිපෙ පරණ වමට බරපතළ ලෙස පහර දුන් බව සත්‍යයකි. පරණ වම, දේශපාලන වශයෙන් හා සදාචාරාත්මක වශයෙන් පිරිහීමට ලක් වි ඇති බවත් එසේ වුවද එහි පහළ ස්ථරයේ ඒ වනවිටත් වඩා වාමවාදී සාධාරණ මිනිසුන් ලෙස ජීවත්වන බවත් විජේවීර දැඩි ලෙස විශ්වාස කළේය. ඔවුන්ගෙන් කොටසක් ගලවගෙන ජවිපෙ ගොඩනැඟීම ඔහුගේ ප‍්‍රධාන අරමුණ විය. එසේම ඊළඟට රටට ආදරය කරන ජනතාව පෙළ ගැසී සිටි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයෙන් කොටසක් ගලවාගෙන ජවිපෙ ගොඩනැගීමද ඔහුගේ අරමුණ වූ අතර ‘‘කැපුවත් කොළ’’ යූඑන්පී පහළ සාමාජිකයා ගලවා ගැනීමට ඔහු වැඩි බරක් නොදැරීය.

1977 සිටම ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයට පිවිසි ජවිපෙට නිදහසේ දේශපාලනය කිරීමට ඉඩ දුන්නා යැයි කියන කියමන මා තරයේ ප‍්‍රතික්‍ෂේප කරන ප‍්‍රධාන හේතුවක් ඇත. එනම් එවකට ශී‍්‍ර ලංකා මානව අයිතීන් සුරැකීමේ සංවිධානයේ ප‍්‍රධාන ලේකම්වරයා වශයෙන් කටයුතු කළ මට දවසකට අඩුම තරමින් ජවිපෙ සාමාජිකයන් නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම් හතරක් පහක්වත් වාර්තා වීමයි. පෝස්ටර් අලවන විට, පත්තර විකුණන විට, පන්ති පවත්වන විට, බොහෝ දුරට ඔවුන් අත්අඩංගුවට ගනු ලැබීය. 1983 පක්‍ෂ තහනම යටතේ මා පළ කළ ‘UNP තරු පහේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නිරුවත’ නමැති වාර්තාවේ නම් ගම් සහිතව 3600 ට වඩා එසේ අත්අඩංගුවට ගත් අයගේ විස්තර මා සටහන් කළ අතර එම වාර්තාව ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් ලෝ ඒෂියා යන සංවිධානවලට පමණක් නොව තානාපති කාර්යාවලට ද බෙදා හරින ලදී. තවද ජවිපෙ ප‍්‍රසිද්ධ රැස්වීම්වලට ද බරපතළ ප‍්‍රහාර එල්ල විය. කැකිරාවේදි එවකට එහි මන්තී‍්‍ර මහින්දසෝමගෙන් මැර ප‍්‍රහාරවලට ලක් වීමට ජවිපෙට සිදුවු අතර වරකදී පෙරළා පහර දීම නිසා මහින්දසෝම මන්තී‍්‍රවරයා මාස ගණනාවක් රෝහල් ගත කළේය. එසේම මහියංගනයේ සී. පී. ජේ. සෙනෙවිරත්නගෙන් තංගල්ලේ ජිනදාස වීරසිංහ වැනි මන්තී‍්‍රවරුන්ගේ නිරන්තර පහරදීම් මැද දේශපාලනය කිරීමට ජවිපෙට සිදුවිය.

ජවිපෙ දේශපාලනය යූඑන්පි ආණ්ඩු යටතේ කිසි විටෙකත් රතු පලසක් මත කළ දේශපාලනයක් නොවීය. අඩුම තරමින් රැස්වීමක් පැවැත්වීමට හෝ් ඉඩමක් හෝ ලබා ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේය.

නමුත් ජවිපෙ සැබෑ යූඑන්පී විරෝධී සටන අත නොහැරියේය. 1982 ජනාධිපතිවරණයේදී ජවිපෙ උතුරේත් දකණේත් එකම දේශපාලන ස්ථානයක සිට තම උපරිම ශක්ති ප‍්‍රමාණය යොදා කටයුතු කළේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ජනාධිපති සටන දියාරු කර ඇති මොහොතකය. 1982 ජනාධිපතිවරණයේදි ජවිපෙන් යූඑන්පිය අවශ්‍යතාවය ඉටු කළ බව පැවසීම ඉතාමත් අසාධාරණය. නිර්පාක්‍ෂික පොදු අපේක්‍ෂකයකු හරහා ජයවර්ධන ජනාධිපතිවරයා පරාජය කිරීමට ජවිපෙ ගත් ප‍්‍රබල උත්සාහය පිළිබඳ මා පෞද්ගලික සාක්‍ෂිකරුවෙකි. මෛති‍්‍රපාල සේනානායක, චන්ද්‍රා ගන්කන්ද, ධර්මදාස වන්නිආරච්චි, එච්. ආර්. පියසිරි වැනි උදවිය හමුවීමට ජවිපෙ නායකයා ගිය ගමන්වලට මාද එක්වී ඇත. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය කර ඇර තිබූ මොහොතක කොබ්බෑකඩුව මහතාගේ ජනාධිපති සටන අතට ගත්තේ විජය කුමරාතුංගය. මෙහිදී කොබ්බෑකඩුව මහතා ලබා ගත්තේ 39% ඡන්ද ප‍්‍රතිශතයක් පමණක් වූ අතර රෝහණ විජේවීරයන් 4.1 ක ප‍්‍රතිශතයක් ලබා ගත්තේය. මේ දෙකේ එකතුව 43% කි. ජයවර්ධන ජනාධිපතිවරයා 52.9% ප‍්‍රතිශතයක් ලබා ගත්තේය. මෙම තත්ත්වය යටතේ විජේවීර විසින් යූඑන්.පී විරෝධී ඡන්ද කැඞීම හරහා ජයවර්ධන මහතා ජයග‍්‍රහණය කරා යන මතය පදනම් විරහිතය. මෙම මැතිවරණයේදී සමස්ත වශයෙන් සියයට 81ක් ද ප‍්‍රකාශ කොට තිබුණේය. ඒ අනුව ඡන්දදායකයා දුර්මුඛ වීමක් ජවිපෙ ඡන්ද ව්‍යාපාරයේ සිදුවී නැති බවද පැහැදිලිය.

එම ජනාධිපතිවරණයේදී විජේවීරයන් සමග රට පුරා ගමන් කළ මා, ජවිපෙ UNP විරෝධී ස්ථාවරයේ දැඩි ලෙස සිට ඡන්ද සටන මෙහෙයවූ බව ඉඳුරාම දනිමු.

1982 දෙසැම්බර් මාසේ පැවැති කළගෙඩි ලාම්පු සෙල්ලම හරහා දියත් කළ ඡන්දය කල් දැමීම සඳහා පැවැත්වූ ජනමත විචාරණ සම්පූර්ණ අභියෝගය භාරගැනීමට ජවිපෙට සිදුවූයේ ජනාධිපතිවරණයේදි මෙන්ම ජනමත විචාරණයේදීද ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ඇල්මැරුණු තත්ත්වයක පසුව බැවිනි. ඒ තුළ එවකට පැවැති අභ්‍යන්තර බල අරගලයක් නක්සලයිට් චෝදනා හරහා විජය කුමාරතුංගයන් දැඩි මර්දනයට ලක් කිරීම තුළ ඇතිවූ හිඩැස පිරවීමේ වගකීම භාර ගැනීමට සිදුවූයේ ජවිපෙටය. ජවිපෙ UNP විරෝධී අරගලය සැබෑ ලෙසම කළ බව අවධාරණය කරමි. ජනාධිපති ඡන්දයේදීත් ජනමත විචාරණයේදිත් මා රෝහණ විජේවීරයන් සමඟ මුළු රටේ අඟලක් නෑර ගමන් කළ නිසා මා එයට ජීවමාන සාක්‍ෂිකරුවෙකි.

මේ සියලූ තර්ජන මර්දන දුර්වල කිරීම් හමුවේ වුවද ඡන්දය කල් දැමීම සඳහා ලැබුණේ සියයට 54 ක ඡන්ද ප‍්‍රතිශතයක් පමණකි. සමස්ත ආසන 168 න් 120 ක් පමණක් ඡන්දය කල් දැමීමට පක්‍ෂව ලැබුණු අතර ආසන හතළිස් අටක් එයට එරෙහිව ඡන්දය දී තිබිණි. එම සෑම ආසනයක්ම ජවිපෙට සෑහෙන සංවිධානාත්මක පදනමක් තිබූ ආසන විය. මෙම ප‍්‍රතිඵලයේදී ජනාධිපතිවරණයේදී ජනාධිපති ලබාගත් සියයට 52.9 ඡන්ද ප‍්‍රතිශතය වර්ධනය කර ගැනීමට හැකි වූයේ 54% දක්වා පමණි.

යම් ආකාරයක හුදකලාවක් තුළ වුවද ජයවර්ධන රාජ්‍ය තන්ත‍්‍රයේ දැඩි මර්දනකාරී හස්තය හමුවේ ජවිපෙ තම උපරිම ශක්ති ප‍්‍රමාණයන් UNP විරෝධී සටනේ රැඳුන බව අමතක නොකළ යුතුය.

ඉන් අනතුරු ජවිපෙ UNP ඡන්ද කල් දැමීමේ මංකොල්ලයට එරෙහිව උසාවි ගියේය. එසේ කළේ ජවිපෙ පමණි. එම යූඑන්පී විරෝධී සැබෑ කැපවීම නිසා. ජවිපෙ තහනම දක්වා වූ වන්දියක් ගෙවීමට එයට සිදුවිය. 83 කළු ජූලිය දඩමීමා කරගෙන ජයවර්ධන ආණ්ඩුව ජවිපෙ තහනම් කළේ ජවිපෙ සැබෑ යූඑන්පී විරෝධී අරගලය තමන්ගේ උර මතට අරගෙන තිබූ නිසාය. ඒ නිසාම මේ මර්දනය ජවිපෙ වෙත එල්ල විය. එක් අතකින් ජනමත විචාරණ කළගෙඩි ලාම්පු සෙල්ලමට විරුද්ධව දැවැන්ත මෙහෙයුමත්, 1983 මැයි රැලියේ ශක්තියත් දැක කලබල වූ ජනාධිපතිවරයා ජවිපෙ තහනම් කිරීමට කළු ජූලිය යොදා ගත්තේය.

අහිංසක දෙමළ ජනතාව පෞද්ගලිකවම මැදිහත්වී බේරාගත් මා හටද 1983 තහනම යටතේ හතරවැනි තට්ටුවේ මාස හයක් ගත කිරීමට සිදුවිය. මා සමඟ පක්‍ෂ ලේකම් ලයනල් බෝපගේ භාණ්ඩාගාරික සෝමරත්න කළුආරච්චි ඇතුළු විසි දෙනකු පමණ රඳවා තබනු ලැබීය. මුලින්ම තහනමට ලක්වූ වමේ පක්‍ෂ තහනම ඉවත් වුවද ජවිපෙ තහනම දිගටම පවත්වාගෙන යන ලදී. තහනම ඉවත් කර ගැනීමට ජවිපෙ දැරූ උත්සාහයේදී මා පෞද්ගලිකව දන්නේ තහනම යටතේ කළ ගමන් සඳහා විජේවීර සමග නොයෙකුත් උදවිය හමුවීම කළමනාකරණය කිරීමට මාද මැදිහත් වූ නිසාය.

එතැනින් නොනැවතුණ ජයවර්ධන ආණ්ඩුව ජවිපෙ මුල්ම සාමාජිකයන් ඝාතනය කළේ 1986 දී ය. ඒ අනුරාධපුර කාර්මික විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සරත් නමැත්තාය. අල්පෙනිත්තක හෝ එකතු නොකළ යුගයකය. පසුව මගේ සමීපතම හිතවතෙකු වූ සත්‍යපාල වන්නිගම ඝාතනයට ලක්විය.

1980 ජූලි වැඩ වර්ජනය කඩාකප්පල් කළ බවට ජවිපෙට එල්ල වන චෝදනාව පදනම් විරහිත ය. ඒ වන විට වෘත්තීය සමිති ව්‍යාපාරය තුළ දැවැන්ත පදනමක් ජවිපෙට නොතිබිණි. යම් හෝ පදනමක් තිබුණේ එච්. එන්. ප‍්‍රනාන්දු සභාපති ලෙස සිටි ලංකා ගුරු (980) තුළ පමණි. ප‍්‍රතිපත්තිමය වශයෙන් ජූලි වැඩ වර්ජනය නුසුදුසු එකක් බවට මතයක් දැරුවද වෘත්තීය සමිති නායකයන් හා සාමාජිකයන් බොහෝ දෙනා ඒ සඳහා සහභාගි වූහ. ලංකා ගුරු සංගමයේ ඉදිරි පෙළ නායකයන් වූ එච්. එන්. ප‍්‍රනාන්දු, පයස් හෙට්ටිආරච්චි, ජයන්ත සිරිවර්ධන, පී. පී. පෙරේරා යන ගුරු සංගම් නායකයන් පමණක් නොව සාමාජිකයන් ද සහභාගි වූ අතර කළුතර දිස්ති‍්‍රක්කයේ අදත් ජීවත් වන නිහාල් වීරසූරිය ගුරුවරයා පවා වැඩ වර්ජනය කළ අතර අදටත් ඔහුගේ රැකියාව යළි ලැබී නැත. මීට අමතරව ලිපිකරු සේවා සංගමයේ ඉදිරි පෙළ නායකයන් හෝ ගාමිණී විජේගුණසේකර සහ යාපා වැනි අය ද වැඩ වර්ජනයට සහභාගි වී රැකියා අහිමිවීම තුළ ජවිපෙ පූර්ණ කාලීනයන් වශයෙන් වැඩ කළ බව මා හොඳින් දනිමි.

1983 ට පෙර හා ආවෘත්ත මර්දනයටත් තහනමින් පසු විවෘත මර්දනයකට ලක්වූ ජවිපෙ යම් ප‍්‍රතිශතයක් යටිබිම්ගතව මෙම මර්දනයනට එරෙහිව සන්නද්ධ කි‍්‍රයාමාර්ගයන්ට තල්ලූවී ගිය බව සැබෑවකි. නමුත් එහි සම්පූර්ණ වගකීම ජවිපෙ මත පැටවීම සාධාරණ නොවන බව මගේ මතයයි. ඊට හේතුව විවිධ ආකාරයේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ගමනක නිරත වී සිටි ජයවර්ධන ආණ්ඩුව, සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ හෝ ප‍්‍රජා අයිතිය අහෝසි කර විජය කුමාරතුංගයන් නැක්සලයිට් චෝදනාව යටතේ සිරකර සෝමපාල ජූලි වැඩ වර්ජනයේ දී මරා දමා, යාපනය සංවර්ධන සභා ඡන්දයේදී ඡන්ද මංකොල්ලයේ යෙදී පසුව උතුරේ මර්දනය දියත් කර එසේම දෘශ්‍යාබාධිත විරෝධතාකරුවන්ට පහරදීම එවැනි කටයුතු හරහා එම තත්ත්වය නිර්මාණය කළ බව මගේ විශ්වාසයයි. එම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ගමනේ අවාසනාවන්ත දිගුව දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරය හා ජවිපෙ සන්නද්ධ අරගලය බව අකැමැත්තෙන් වුවද පිළිගැනීමට සිදුව ඇත. ඒ තුළ අප වන් බොහෝ දෙනකු ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුව තුළ රැඳෙමින් ජයවර්ධන ආණ්ඩුවට එහි මර්දනයට එරෙහිව කටයුතු කිරීමට ඉදිරිපත් වුවද අවසානයේ මර්දනයේ වඩාත් කුරිරු සාපරාධී වධබන්ධනවලට මුහුණදීමට සිදු වූයේ අපටය. ගම්පහ වධකාගාරයේ ධර්මචක‍්‍රය කැරකි කැරකි දස වධ බන්ධනවලට මුහුණදී පසුව අත්අඩංගු යටතේම ජයවර්ධන ජනාධිපතිවරයාගේ නිවසටද රැගෙන ගිය මා කිසිදු සදාචාරාත්ම වැටීමකට ලක් නොවී යටත් නොවී, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ රැඳීමට උත්සාහ කළ ජනතා විමුක්ති පෙරමුණ මෙතැනට තල්ලූ කිරීම පිළිබඳ ජයවර්ධන ජනාධිපතිවරයාගේ මූණටම තදින් දොස් පවරා සිටි බවට අදටත් ජීවමාන සාක්‍ෂි ඇත. මෙම හමුවේදී ද මා දුටුවේ ජයවර්ධන ජනාධිපතිවරයාගේ දැඩි ජවිපෙ විරෝධී ස්ථාවරයක්. මෙවන් තත්ත්වයක් තුළ මා එදා නියෝජනය කළ ජනතා විමුක්ති පෙරමුණ දැනුවත් හෝ නොදැනුවත්ව යූඇන්පියට කඬේ ගිය බවට නැගෙන චෝදනාව හද කකියන සුළුය.

ජවිපෙ, එජාප විරෝධී න්‍යාය පත‍්‍රයට එකතු කළ බලවත්ම දායකත්වය විජේවීරයන් තහනම යටතේ ලියූ ජාතික ගැටලූවට විසඳුම යන ලියවිල්ලයි. අදටත් වලංගු බෙදුම්වාදයේ සමස්ත න්‍යායපත‍්‍රයට එරෙහිව ලියැවුණ එම විග‍්‍රහය, මෙරට කිසිදු විද්වතකු අතින් අදටත් නොලියැවුණු UNP විරෝධී පමණක් නොව සමස්ත බටහිර බලවේග හා NGO විරෝධයේ සැබෑ පිළිබිඹුවයි.

මීළඟට ලියුම්කරු විසින් ජවිපෙට එල්ල කර ඇති චෝදනාව වන්නේ ජවිපෙ පේ‍්‍රමදාස ජනාධිපතිවරයා බලයට ගෙන ඒමට කටයුතු කළ බවයි. 1988 දී අත්අඩංගුවෙන් නිදහස් වූ පසු ආරක්‍ෂක හේතූන් මත ජවිපෙ සමඟ මගේ තිබූ ඍජු සම්බන්ධය බොහෝ සෙයින් ඈත් වී තිබූ නිසා මෙම කරුණ පිළිබඳ දැඩි අවධාරණයකින් යුතුව කරුණු කිමට මට නොහැක. එහෙත් පේ‍්‍රමදාස ජනාධිපතිවරයා ජනාධිපතිවරයාට වඩා දුර්වල පාලකයකු වන නිසා ඔහු පරාජය කිරීම වඩා පහසු කටයුත්තක් යන මිථ්‍යාව තුළ ජවිපෙ සමහරුන් සිටි බවට අසා ඇත. ඒ කෙසේ වුවද ජවිපෙ පේ‍්‍රමදාස ජනාධිපතිවරයා බලයට ගෙන ඒමට සෘජු ලෙස මැදිහත්වූ බව පෞද්ගලිකව විශ්වාස නොකරමි. ජවිපෙ දැඩි බලපෑම් නොවන්ට ජයවර්ධන ජනාධිපතිවරයා තුන්වැනි වටයටත් තරග කිරීමට බොහෝ ඉඩකඩ තිබිණි. ජවිපෙ ස්ථාවරය වූයේ කල් දැමූ මහ මැතිවරණයත් ජනාධිපතිවරණයත් එකට තැබිය යුතු බවයි. 1989 ජනාධිපතිවරණය වර්ජනය කිරීමට බලපෑ ප‍්‍රධාන හේතුව ද එයයි. කෙසේ වුවද එම ජනාධිපතිවරණය කඩාකප්පල් කිරීම සඳහා ගත් දැඩි කි‍්‍රයාමාර්ග පිළිබඳව අද මෙන්ම එදත් මාගේ දැඩි අප‍්‍රසාදය මෙන්ම විරෝධය ප‍්‍රකාශ කොට ඇත. එම අවිචාර සමයේ සිදුවූ නිශේධනීය කි‍්‍රයාදාමයන් කිසිවකුට සුදු හුණු ගෑමට මම ලිපි හරහා කිසිසේත්ම උත්සාහ නොකරන බව ද අවධාරණය කළ යුතුව ඇත.

සනත් දේවින්ද මහතාගේ ලිපියේ වඩාත්ම වැදගත් කොටස වන්නේ එහි අවසාන කාර්තුවයි.

‘සිරිසේන කුරේ මහතා සෝමවංශ අමරසිංහ මහතාව රටින් පිටමං කර ජීවිතය රැක දුන්නේ එජාපය වෙනුවෙන් කළ යුතුකමට කෘතවේදීත්වය පළ කරමිනි’ යන ප‍්‍රකාශය පිළිබඳව වත්මන් සමාජය තුළත් ජවිපෙ පහළ සාමාජිකත්වය ඇතුළතත් වඩා ගැඹුරු සාකච්ඡාවක් ඇති විය යුතු බව මගේ දැඩි විශ්වාසයයි. සෝමවංශ අමරසිංහ මහතා අද ජීවතුන් අතර නොමැති නිසා මෙන්ම ඔහු වෙනුවෙන් අද ජවිපෙ කිසිසේත්ම පෙනී නොසිටින නිසාත් ඔහු පිළිබඳව ලියැවෙන හැම දේම අතිශයින් සදාචාරාත්මක විය යුතුය යන පදනමේ සිටිමින් මම ඉහත යෝජනාව ඉදිරිපත් කරමි. 1976 දී හයිඞ්පාක් රැලිය හරහා ජවිපෙ නැවත දේශපාලනය ආරම්භ කළ දා සිට 1993 ඔහු එංගලන්තයට ගෙන්වා ගන්නා දා දක්වා ඔහුට ඉතාමත්ම සමීපව සිටි මා, ඔහු වෙනුවෙන් ධර්මචක‍්‍රයේ කැරකුණු මා, ඔහු රටින් පිටව ගිය පසු ලංකාවට එවූ පළවැනි පණිවුඩකරුවා වන රියාද් හි සේවය කළ ජයවර්ධන සොයුරා සහ පසුව ජවිපෙ මාතර මන්තී‍්‍රවරයා බවට පත් ජිනදාස කිතුලගොඩ සොයුරා සමග එකතුවී ජවිපෙ අළු දූවිලි තුළින් නැවත ගොඩනැඟීම සඳහා මරණය දැක දැක කැපවූ මා හට හැමදේ ඉතා පරිස්සමෙන් කීමට සිදුව ඇත.

ලබන සතියට
මහාචාර්ය අතුල සුමතිපාල



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More