පුරවැසි කොලම

පසුගිය සති කිහිපය තුළ අපේ රටේ දේශපාලන ක්‌ෂේත්‍රය තුළ ඇතිවූ හැලහැප්පීම් දෙස බැලූ සමහරු කියන්නේ හොරු අල්ලන්නට ආ අයත් හොරු බවට පත් වී ඇති බවයි. ජනතාව ඉල්ලූ හොරුන්ට දඬුවම් වෙනුවට ආණ්‌ඩුව දෙන්නට සැරසෙන්නේ ජනතාව නොඉල්ලූ නව ව්‍යවස්‌ථාවක්‌ යෑයි ද සමහරු කියති. ජනතාව නඟන මේ ප්‍රශ්න අපි ප්‍රකට දේශපාලන විචාරක, ප්‍රවීණ සාහිත්‍යධර ගුණදාස අමරසේකරයන්ට යොමු කළෙමු. මේ ඔහු ඊට දුන් පිළිතුරුයි.

මේ ආණ්‌ඩුව බලය ලබාගත්තේ පසුගිය රජයේ හොරුන් අල්ලන බවට පොරොන්දු වෙලා. හොරු අල්ලන්න ආපු අයත් හොරු කියලයි දැන් ජනතාව කියන්නෙ. මේ ගැන ඔබ මොකද හිතන්නෙ?

මම මේ ගැන එතරම් පුදුම වෙන්නෙ නෑ. මොකද හැත්තෑහතෙන් පසු ආපු හැම ආණ්‌ඩුවක්‌ ගැනම මේ චෝදනාව ඉදිරිපත් කරන්න පුළුවන්. හොරකම, දූෂණය ඒ හැම ආණ්‌ඩුවකම තිබුණා. චන්ද්‍රිකා කුමාරතුංග චෞර රැජින වශයෙන් අභිෂේක ලැබුවා. උසාවියෙන් දඩගැහුම් කෑවා. මහින්ද රාජපක්‌ෂ රජයෙත් හොරුන් දූෂිතයන් ඕනතරම් හිටියා. ඒත් මේ බැඳුම්කර හොරකම වගේ මහා මංකොල්ලයක්‌ කවදාවත් සිද්ධ වුණේ නෑ. මං හිතන්නෙ නෑ වෙන කිසිම රටකත් මේ වගේ හොරකමක්‌ සිදුවෙලා ඇති කියල. මේක ගිනස්‌ පොතට යන්න ඕනෑ. මේ කරලා තියෙන්නෙ මේ රටේ මුළුමහත් ආර්ථිකයේ හදවත උලාකෑම.

රවි කරුණායක බිල්ලට දීලා මේ මංකොල්ලය වසන් කරන්න හදන බව ඇතැම් අය කියනවා. ඒක ඇත්තද?

මෙහිදී රවි කරුණායකගේ දුව ඇසූ ප්‍රශ්නය – අපේ තාත්ත විතරද මේකට වගකියන්න ඕන – අපිත් ඇසිය යුතුයි. මම දකින හැටියට රවි කරුණානායක මෙහිදී රඟපෑවෙ සුළු කොටසක්‌. මේ මංකොල්ලය ඉතා සූක්‌ෂ්ම ලෙස සංවිධානාත්මක ලෙස කරපු මංකොල්ලයක්‌. ඒක ඉර හඳ සේ පැහැදිලියි. සිංගප්පූරුවේ සිටි මේ රටේ පුරවැසියෙක්‌ නොවන අර්ජුන ගෙන්නලා මහ බැංකුවේ අධිපතිකම දුන්නෙ මොකටද? ඒකට සුදුසු අයෙක්‌ මේ රටේ සිටියෙ නැද්ද? පුරවැසියෙක්‌ නොවන ඔහුට මේ රටේ නීතිය බලපානවද? ඩිව් ගුණසේකර හෙබවූ පළමු කෝප් වාර්තාවේ මේක ගැන කරුණු හෙළිවුණු වෙලාවෙ ආණ්‌ඩුව මොකද කළේ? ජනාධිපති සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. යළිත් මේ චෝදනාව මතුවුණු වෙලාවේ අගමැති රනිල් මොකද කළේ? සිරිකොතේ හෙංචයියන් වන නීතිඥයන් තුන් දෙනෙක්‌ ඒ ගැන සොයන්න පත් කරලා කිසිම වරදක්‌ සිදුවී නැති බව කිව්වා. ඒ විතරක්‌ නෙමෙයි ඔහුට සුපුරුදු පරිදි ප්‍රශ්න අහන මන්ත්‍රීන්ට සරදමකුත් කළා. ‘තමුසෙල කතා කරන්නෙ බොන්ඩ් ස්‌කෑම් ගැන ද ඡේම්ස්‌ බොන්ඩ් ගැනද’ කියල ඇහුවා. මේ විදිහට බැලුවාම මේක ඉතාමත් හොඳ සැලැස්‌මකට අනුව කරපු හොරකමක්‌ බව කාට වුණත් පේන්න ඕනෑ. ජනතාවගෙන් බේරෙන්න බැරි තැන තමයි මේ කොමිසම පත් කළේ. කොමිසම, මේ තිරය පිටුපස කතාව, රවිගෙ දුව අහපු ප්‍රශ්නයට උත්තර සපයා ඇතිය කියා මම විශ්වාස කරනවා. මෙතැනදී පුදුමයට හේතුව තමයි ඇමරිකාව සහ බටහිර රටවල් මේ ගැන කතා නොකිරීම. ඒකෙන් පේනවා ඔවුන් රාජපක්‍ෂලාගේ දූෂණ ගැන කතා කළේ මොන අරමුණින් ද කියල.

මේ වගේ මංකොල්ලවලට මේ නව ලිබරල්වාදී විවෘත ආර්ථිකයත් වග කියන්න ඕන නේද?

සත්තකින්ම ඔව්. මේ ක්‍රමය තුළ දූෂිත දේශපාලකයන්ට ව්‍යාපාරිකයන් හා එක්‌ව මාෆියා හදාගෙන සොරකම් කරන්න අවස්‌ථා ලැබෙනවා. ජපානයෙත් මේක සිදු වුණා. සිංගප්පූරුවේ මේක සිදුකළ ඇමැතියා සියදිවි නසාගත්තා. අද දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනිය රිමාන්ඩ් හිරභාරයේ ඉන්නවා. නොදියුණු දිළිඳු රටවල් තුළ මෙවැනි මංකොල්ලවලට වැඩි ඉඩකඩක්‌ තියෙනව. ලී ක්‌වාන් යූ, මොහොමඩ් මහතීර් වැනි අවංක නායකයන් හිටියොත් පමණයි මේවා මැඬපවත්වන්න පුළුවන්. නැත්නම් වෙන්නෙ අර බුදුගුණාලංකාරයේ සඳහන් කර ඇති දෙයයි.

රජුන් අදමිටුවත්
මැති මැතිඳෝද එපවත්
දැක උන්ගේ පුවත්
බමුණු ගහපතියෝද එගනිත්

රජවරුන් අධර්මිෂ්ට වන විට මැති ඇමැතිවරුද එබඳු පැවතුම් ඇතිකර ගන්නා බවත්, ඒ තොරතුරු ලබන බ්‍රාහ්මණ ගෘහපතීහු ද අධර්මයම අනුගමනය කරන බවත් බුදුගුණාලංකාරයේ දැක්‌වෙනවා. මේ රටේ අද සිදු වන දරුණු අපරාධවලින් පෙන්නුම් කරන්නේ දැන් මේ රටත් ඒ තත්ත්වයට පත්වෙලා තියෙන බව නේද?

ආණ්‌ඩුව හම්බන්තොට වරාය, ත්‍රිකුණාමලයේ වරාය, මත්තල ගුවන් තොටුපොළ පිටරැටියන්ට බදු දෙන්න හදනවා. එය කරන්නෙත් මේ නව ලිබරල් ධනවාදී ආර්ථික ප්‍රතිපත්තිය මතම නේද?

මම හිතන්නෙ ඒ ආර්ථික ක්‍රමයේ අවසාන අවස්‌ථාව තමයි ඔය බදුදීම්වලින් පෙන්නුම් කරන්නේ. දිළිඳු රටක්‌ ඔය ආර්ථික ක්‍රමයට ගියාම සිදුවන අනිවාර්ය ප්‍රතිඵලය තමයි, ආයෝජනය කරපු එකාටම – ණයකාරයාටම තමන්ගෙ ගේ දොර වතුපිටි ලියාදෙන්න වෙන එක. ඒකයි මේ දැන් සිද්ධ වෙන්නෙ. 99 අවුරුදු බදුදීම කියන්නෙ සින්නක්‌කරදීම හංගන්න සුද්දා අපට කියාදීපු පදයක්‌.

හම්බන්තොට දෙන්න සිද්ධ වුණේ බිලියනයක්‌ වැනි සුළු මුදලක්‌ ලබාගන්න කියලයි විපක්‌ෂය කියන්නෙ?

ඒක ලබාගත්තෙ නැත්නම් තමුන් ණය නොදෙන බව අයි.එම්.එµa. එක කියා හිටියා. චීනෙන් ඔය මුදල ගත්තෙ නැත්නම් ආණ්‌ඩුව ගෙනියන්න බෑ කියල මහ බැංකු අධිපතියත් කියා හිටියා.

චීනයට ඕක විකුණන්නෙ නැතුව ඔය වරාය පවත්වාගෙන යන්න අපට බැරිද?

සත්තකින්ම පුළුවන්. ඇත්තවශයෙන් චීනයෙන් ගත්තු ණයවලින් සෑහෙන කොටසක්‌ අපි දැනටමත් ගෙවල තියෙනවා. ඔය වරාය සතුව පවතින උපයීමේ ශක්‌තිය අනුව අවුරුදු දහයක්‌ තුළ අපට මුළු ණයම ගෙවල ඉවර කරන්න පුළුවන්. මේ ආණ්‌ඩුවට අමු කැවිලා. බලයේ එල්ලිල ඉන්න ගේ දොර නෙමෙයි අම්ම අප්ප වුණත් විකුණන්න සූදානම්. ආණ්‌ඩුවට අමු කැවිල නැත්නම් හම්බන්තොට චීනෙට දීල චීනෙ පරම හතුරා වන ඉන්දියාවට හම්බන්තොටට අල්ලපු වැටේ තියෙන මත්තල ගුවන් තොටුපළ දෙයිද?

මේ ‘වෙළෙඳාමෙන්’ අනාගතයේ භයානක ප්‍රතිඵල ඇතිවෙයි කියලද ඔබ හිතන්නෙ?

මේක නිසා අනාගතයේ මේ රට යුද පිටියක්‌ වුණොත් මම පුදුම වෙන්නෙ නෑ. මේ කලාපයේ තිබෙන බල අරගලය තුළ එවැන්නක්‌ වීමට හොඳටම ඉඩ තියෙනවා.

නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒම පිළිබඳව ඔබ මුල සිටම විරුද්ධත්වය ප්‍රකාශ කළ කෙනෙක්‌. එයට ඒකාබද්ධ විපක්‌ෂය අතගැසීමත් ඔබ තරයේ හෙළා දැක්‌කා. නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒම ඔබ දැඩිව ප්‍රතික්‌ෂේප කරන්නෙ ඇයි?

අලුත් ව්‍යවස්‌ථාවක්‌ ගෙන එන්න උවමනා වුණේ කාටද? මේ රටේ මිනිස්‌සුන්ට වුවමනා වුණාද? උවමනාවක්‌ තිබුණා නම් ඒ ගැන කියා සිටි යූඇන්පියට ඒ සඳහා අවශ්‍ය බලය ජනතාව දෙනව නේද? යූඇන්පියට ලැබුණෙ ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට නොහැකි බලයක්‌. ආසන 105 යි. නව ව්‍යවස්‌ථාව ගෙන ඒමේ උවමනාව තියෙන්නෙ මේ රටේ මිනිස්‌සුන්ට නෙමෙයි, ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන්ට සහ ඉන්දියාවටත් උන්ගෙන් යෑපෙන මේ රටේ ඉන්න එන්ජීඕ නඩයටත්, දෙමළ ඩයස්‌පෝරාවටත්, දෙමළ ජාතිවාදීන්ටත්, සම්බන්ධන් සහ විග්නේෂ්වරන් ආදීන්ටයි. සෝභිත හාමුදුරුවන්ටත් ඒ පිස්‌සුව තිබුණා. මම අවුරුදු ගාණක්‌ සෝභිත හාමුදුරුවෝ ඉතා ළඟින් ආශ්‍රය කරලා තියෙනවා. උන්වහන්සේගේ මානසිකත්වය ගැනත් මට අවබෝධයක්‌ තියෙනවා.

ඔබ හිතන විදිහට ඔබ කියන ඔය බටහිර බලවතුන් ඇතුළු පිරිස අපේ රටට නව ව්‍යවස්‌ථාවක්‌ ඕනෑ කියල කියන්නෙ ඇයි?

ඔවුන් කියන්නෙ සංහිඳියාව ඇතිකිරීමට අවශ්‍ය බලය බෙදීම සඳහා නව ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍ය බවයි. මේක පදනම් විරහිත අමූලික බොරුවක්‌. අපි 13 දුන්නේ ඔය බොරුවට රැවටිලා. ඒකෙන් ඇතිවුණේ සංහිඳියාව නෙමෙයි ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය රජවීම. මේ රටට නව ව්‍යවස්‌ථාවක්‌ ඉල්ලන හැම දෙනාටම ඕන එකම එක දෙයයි. එනම් පෙඩරල් දීල රට බෙදා වෙන් කරන්නයි. ඇමරිකාව ප්‍රධාන ඉන්දියාවට සිය බල අරගලයේදී ඒක ඉතාම අවශ්‍යයි. මෙහි එන හැම සුද්දම මේක මන්තරයක්‌ වගේ ජප කරන්නෙත් ඒක නිසයි. මහින්ද රාජපක්‌ෂගේ රජය කුමන්ත්‍රණයක්‌ කරලා ගෙදර ඇරියෙත් මේ අරමුණ සාක්‌ෂාත් කරගන්නයි.

ඔබේ මේ කතාවේ පසුබිම කුමක්‌ද?

මේ රජය බලයට ගෙන ආවේ අන්තර්ජාතික කුමන්ත්‍රණයකින් බව කියන්නේ මම නෙමෙයි. ඉන්දියාවේ හිටපු හමුදා නායක අශෝක්‌ මේතා මහතා. ඔහු ඒ පිළිබඳ දීර්ඝ විස්‌තරයක්‌ හින්දු පුවත්පතට සපයා තිබුණා. ජනාධිපති ඡන්දයට මාස 18 කට පෙර එංගලන්තයේදී ආරම්භ කළ මේ කුමන්ත්‍රණය ඊට පසු ඉන්දියාව හරහා ලංකාවට සේන්දු වී ඊට රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා කුමාරතුංග, මාදුළුවාවේ සෝභිත හිමි සහභාගි කරවාගත් සැටි අශෝක මේතා විස්‌තර කර තිබෙනවා. ඔවුන් මෛත්‍රිපාල සිරිසේන මහතා අපේක්‌ෂකයා වශයෙන් තෝරා ගත්තේ ඡන්දයට මාස දෙකකට පළමුවයි. අශෝක්‌ මේතා කළ මේ අනාවරණය ගැන ලිපියක්‌ තිස්‌ස විතාරණ මහතා විසින් 2015.08.30 දින ඉරිදා අයිලන්ඩ් පත්‍රයේ පළවුණා. එහි පරිවර්තනයක්‌ ඉරිදා ලංකාදීපයේත් පළ වී තිබුණා. මේවගේ කුමන්ත්‍රණයකින් බලයට ඇවිත්, ජනතාව ප්‍රතික්‌ෂේප කරපු මන්ත්‍රී රොත්තකට වරදාන දීල හදාගත්තු ආණ්‌ඩුවකුයි දැන් මේ රටට මේ නව ව්‍යවස්‌ථාවක්‌ ගේන්න යන්නෙ. ඒකයි අපට පිළිගැන්වීමට හදන්නෙ. මහින්ද රාජපක්‌ෂ බලයෙන් පහ කළේ මේ කුමන්ත්‍රණයේ අරමුණ වන රට බෙදීම සාර්ථක කරගන්නයි. මේ ව්‍යවස්‌ථාවේ නිර්මාතෘ ජයම්පති වික්‍රමරත්න ඒක ලන්ඩනයේ පැවති උත්සවයක” කියා තිබුණ. මහින්ද රාජපක්‌ෂ ඉන්න තුරු දෙමළ මිනිස්‌සුන්ට සාධාරණය ඉටු කළ නොහැකි බව ඔහු එහිදී කියා තිබුණා. මේ නව ව්‍යවස්‌ථාව ගෙන ඒම අපි එකහෙළා ප්‍රතික්‌ෂේප කළ යුතුයි. ෙත්‍රෙනිකායික නායක ස්‌වාමීන්වහන්සේලා ඒ කටයුත්තට විරුද්ධ වුණේ මේ පසුබිම ගැන උන්වහන්සේලාට අවබෝධයක්‌ ඇති නිසයි.

ඒකාබද්ධ විපක්‌ෂය මේ ව්‍යවස්‌ථා සම්පාදනයට අත නොගැසිය යුතු බව ඔබ කියන්නෙ ඇයි?

මේ ආණ්‌ඩුව බලයට පැමිණි විදිහ, මේ කුමන්ත්‍රණය ඔවුන් දන්නෙ නැද්ද? මේ ව්‍යවස්‌ථාවේ අරමුණ ඔවුන් දන්නෙ නැද්ද? තමුන් මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලයක්‌ බවට පත්කරනවා කියල රනිල් වික්‍රමසිංහ කී විට එයින් ඔහු අදහස්‌ කළේ ඊට අවශ්‍ය නීත්‍යනුකූලභාවය ලබාදීම බව ඒකාබද්ධ විපක්‌ෂයට වැටහුණේ නැද්ද? ඔවුන් මේ අතගසන්නේ ජාතියේ මළගම සනිටුහන් කරන මල්වඩමට බව ඔවුන්ට පෙනුණේ නැද්ද? ඔවුන් තවමත් ඒ මල්වඩමට අතගසාගෙන ඉන්නේ ජාතියේ අවසාන කටයුතු සිදුවන හැටි බලාගන්නද?

විමල් වීරවංශ මහතාගේ පක්‌ෂය මෙයින් අයින්වුණේ ඒ නිසාද?

මේ නව ව්‍යවස්‌ථාව මර උගුලක්‌ බව විමල් වීරවංශ මුල සිටම දැන සිටියා. ඔහුට මෙයින් ඉවත්වෙන්න තිබුණේ මීට කලින්. කොහොම වුණත් දැන් රනිල් වික්‍රමසිංහට කියන්න බෑ මේක මුළු පාර්ලිමේන්තුවම එකතු වී හදපු ව්‍යවස්‌ථාවක්‌ කියල.

විමල් වීරවංශගේ ඉවත්වීම එයට බලපාන්නේ නැතැයි කථානායකවරයා ප්‍රකාශ කළා නේද? කතානායකතුමා ඒ ගැන නීති උපදෙස්‌ ලබාගත් බවත් කියා තිබුණා?

ඒ නීති උපදේශ එතුමා ලබාගන්න ඇත්තේ කැකිල්ලේ රඡ්ජුරුවන්ගෙන් වෙන්න ඕන.

ඔබ හිතන විදිහට මේ ආණ්‌ඩුවට මේ නව ව්‍යවස්‌ථාව සම්මත කරගන්න පුළුවන් වෙයිද?

මේ ව්‍යවස්‌ථා නිර්මාණය පිටුපස ඉන්න විජාතික බලවේග තමන් භාර දුන් කොන්ත්‍රාත්තුව මේ ආණ්‌ඩුව ලවා 2020 ට පෙර ඉටුකරගනීවි. එහෙම නොකරවාගන්න නම් මේ ආණ්‌ඩුව පත් කළේ අහවල් එකකටද?

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක්‌ සහ ජනමත විචාරණයක්‌ නැතිව නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන එන්නෙ කොහොමද?

සිරිසේන ජනාධිපතිතුමා එය කරන හැටි මට පේන විදිහට මම ඔබට කියන්නම්. තව ටික දවසකින් එතුමා “මම ඔය එක එක කොමිටිවල ඉන්න ඈයො ගෙනෙන රට බෙදන යෝජනා පිළිගන්නෙ නෑ. ඒවා විසිකරනවා. මම කරන්නෙ අලුත් දෙයක්‌ නෙමෙයි, තිබෙන 13 සංශෝධනයම බලාත්මක කරන එක පමණයි. ඒකට අවශ්‍ය සංශෝධන ටිකකුත් කරනවා” කියල සිංහ ස්‌වරයෙන් අභීත ප්‍රකාශයක්‌ කරයි.

එතකොට ඔය ආණ්‌ඩුකාරයා අගමැති යටතට පත්කිරීම, ජාතික ප්‍රතිපත්ති සම්පාදනය පළාත් සභාවලට දීම වැනි දේ කරන්න ගියොත් වර්තමාන ව්‍යවස්‌ථාව උල්ලංඝනය වෙනවා නේද?

ඇඟට පතට නොදැනී ව්‍යවස්‌ථාව උල්ලංඝනය කිරීම සිරිසේන ජනාධිපතිතුමාට හුරුපුරුදු දෙයක්‌. ඉන්න අගමැති අස්‌කර අලුත් අගමැතිවරයෙක්‌ පත්කර, අගවිනිසුරුවරයා භූතාත්මයක්‌ බවට පත්කර කිහිප අවස්‌ථාවක්‌ම ව්‍යවස්‌ථාව උල්ලංඝනය කළ එතුමාට තව එක සැරයක්‌ ඒක උල්ලංඝණය කිරීම කඡ්ජක්‌ද? ඒ ටිකත් කරලා එතුමා කියන්න යන දේත් මට හිතාගන්න පුළුවන්. මම කිසිම අලුත් දෙයක්‌ කළේ නෑ. මම කළේ මහින්ද රාජපක්‌ෂ පොරොන්දු වුණු 13 ප්ලස්‌ ක්‍රියාත්මක කිරීමයි.

ඒකද ඔබ දකින මේ ගමනේ අවසානය?

13 ප්ලස්‌ ක්‍රියාත්මක කළාට පසු සියලු දෙනාම, ඩයස්‌ පෝරාව, දෙමළ ජාතිවාදීන්, ඇන්ජීඕ නඩය, ඇමරිකාව, බ්‍රිතාන්‍යය මේ සියලු දෙනාම එක හඬින් අත්පුඩි ගසමින් ජනාධිපතිතුමාට ආශීර්වාද කරාවි. එවිට පස්‌වනක්‌ ප්‍රීතියෙන් පිනායන අගමැතිතුමා ව්‍යවස්‌ථා සම්පාදක සභා තොමෝ සාමදානයෙන් රැස්‌වී, සාමදානයෙන් සාකච්ඡා කර, සාමදානයෙන් අවසන් කර සතුටින් විසිර ගියාය කියා උදාන වාක්‍යයත් ප්‍රකාශ කරාවි.

ඔබ මේ නව ව්‍යවස්‌ථාව දිහා බොහොම අසුබවාදීව බලන්නේ ඇයි?

අසුබවාදීව බලන එක සුබවාදීව බලා පසුතැවිලි වෙනවාට වඩා හොඳයි නේද?

සාකච්ඡා කළේ – පාලිත සේනානායක 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More