පුරවැසි කොලම

ත‍්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත්කරමින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් මාතලේ අලූවිහාරේ ඓතිහාසික රජමහා විහාරයේදී සිදුකළ ප‍්‍රකාශය මගින් එතුමා විසින් ත‍්‍රිපිටක සද්ධර්මය ආරක්‍ෂා කිරීම සඳහා පියවර ගැනීම මහා ඓතිහාසික ජාතික වගකීමක් සහ යුතුකමක් ලෙස හුවා දක්වා ඇත. මෑත කාලීනව මහා සංඝරත්නයට, බුදුන් වදාළ ධර්මයට සහ සමස්තයක් ලෙස සම්බුද්ධ ශාසනයට එරෙහිව නොනවත්වා එල්ල කෙරෙන අභියෝග දෙස බලන විට එතුමාගේ මතය පිළිබඳව විවාද කිරීමට අවශ්‍යතාවයක් ඇති නොවේ. විශේෂයෙන්ම මෑත කාලීනව යම් චීවරධාරීන් ප‍්‍රමුඛ සංවිධානාත්මක පිරිසක් විසින් ත‍්‍රිපිටක ධර්මය ආශ‍්‍රිතව පාලි සංස්කෘත සහ සිංහල වචනවලට විකෘති අර්ථ නිරූපන ලබා දෙමින් ධර්මය විකෘති කිරීම මගින් කරනු ලබන විනාශය දෙස බලන විට ප‍්‍රමිතිගත මූලික ත‍්‍රිපිටකය ආරක්ෂා කිරීම රජයේ ප‍්‍රධාන වගකීමක් බව පිළිගැනීමට සිදු වේ. එය ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මගින් සහතික කොට ඇති තත්වයකි.

එම විනාශය වැලැක්වීම සහ ඊට එරෙහිව පියවර ගැනීම සඳහා එතුමා විසින් යොදාගෙන ඇති උපක‍්‍රමය වන්නේ ත‍්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කිරීමය. නමුත් ත‍්‍රිපිටකය සංකල්පයක් වශයෙන් ජාතික උරුමයක් ලෙස නම් කිරීම මගින් පමණක් ප‍්‍රශ්නය විසඳෙන්නේ නැත. එහි දී එසේ නම් කරන භෞතික වස්තුව කුමක් දැයි නිශ්චිතව සඳහන් කළ යුතු වන අතර එය දෘඪ ග‍්‍රන්ථ ස්වරූපයෙන් සහ ඉලෙක්ට්‍රොනික මුදු පිටපත් ලෙස ආරක්ෂා කිරීම සඳහා නීතිමය ක‍්‍රියාමාර්ග ගත යුතුය. මේ වනතුරු අනාවරණය වී නැතත් බොහෝ විට එතුමා විසින් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට එම වගකීම නිල වශයෙන් භාරදී තිබෙනවා විය හැක. එසේ වුවත් ත‍්‍රිපිටකය ලෙස හඳුන්වන විවිධ ප‍්‍රකාශන තිබිය හැකි බැවින් නිශ්චිත ප‍්‍රකාශනය කුමක් දැයි නම් කිරීම ද වැදගත් වෙයි.

දැනට දැනගැනීමට ඇති පරිදි මහානායක හිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ ධර්මධර භික්ෂූන් වහන්සේ විසින් ඉල්ලා සිටින්නේ 1956 දී අතිපූජ්‍ය වැලිවිට සෝරත, බලංගොඩ ආනන්ද සහ ලබුගමුවේ ලංකානන්ද මහ තෙරුන් වහන්සේ විසින් පාලි භාෂාවෙන් සිංහලයට පරිවර්තනය කළ සම්බුද්ධත්ව ජයන්ති ත‍්‍රිපිටකය ලෙස හැඳින්වෙන ග‍්‍රන්ථ සමූහය එසේ ප‍්‍රමිතිගත හෙවත් මූලික ග‍්‍රන්ථ ලෙස නම් කළ යුතු බවයි. නමුත් ජනාධිපතිතුමා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයේ එසේ නිශ්චිත නම් කිරීමක් සිදු කොට නොමැති බව වාර්තාවේ. ඊට අමතරව 1981 දී අළුවිහාර රජමහා විහාරයේ දීම ආරම්භ කොට වසර දහයක් තිස්සේ 1991 දක්වා නැවත සංස්කරණය කොට තල්පත්වල සටහන් කළ පාලි ත‍්‍රිපිටකය ද එසේ නම් කළ යුතු බවට තර්ක කළ හැක. එසේම එදා ක‍්‍රිස්තු පූර්ව පළමු සියවසේදී වලගම්බා රජු දවස වසර 12 ක් තිස්සේ පැවති ‘බැමිණිටියාසාය’ නම් වූ දුර්භික්ෂයට මුහුණ දීමෙන් පසුව ඉතා දුෂ්කර තත්ත්වයන් යටතේ මුඛ පරම්පරාගත ත‍්‍රිපිටක සද්ධර්මය පාලි භාෂාවෙන් තල්පත්වල සටහන් කිරීමට කටයුතු කළ මහා සංඝ පීතෘවරුන්ගේ දායකත්වය ද ජාතියේ සදාකාලික ගෞරවයට පාත‍්‍ර කිරීම අත්‍යවශ්‍ය වේ.

එ් සඳහා ඒ මහා දුෂ්කර ක‍්‍රියාවට දායක වූ මහතෙරුන් වහන්සේලා පිළිබඳව සහ අදාළ ක‍්‍රියාවලිය පිළිබඳ ඉතිහාසය සටහන් වී ඇති ‘‘නිකාය සංග‍්‍රහය’’ සහ ‘‘පූජාවලිය’’ වැනි ග‍්‍රන්ථ මෙන්ම මහා වංශය ද ජාතික උරුමයන් ලෙස නම් කිරීම වැදගත් විය හැක. විශේෂයෙන්ම බුද්ධෝත්පත්තිය ශ්‍රී ලංකාවේදී සිදුවූ බවට ව්‍යාජ මත පළකරමින් මහාවංශයට අභියෝග කරන තත්ත්වයක් යටතේ සද්ධර්මය පමණක් නොව ඉතිහාසය විකෘති කිරීම වැළැක්වීම ද අද යුගයේ ජාතික වගකීමක් ලෙස සැලකිය හැක. එසේ නැතහොත් තවත් වසර 100කට පසුව උපදින පරම්පරාව විසින් අසන හෝ කියවන ඉතිහාසය සහ ධර්ම කරුණු සම්පූර්ණයෙන්ම කණ පිට හරවා තිබීම වැළැක්විය නොහැකි බවට කිසිදු සැකයක් නැත. ඊට හේතුව එ් සඳහා දැනුවත්ව සහ සංවිධානාත්මක ව්‍යාපාරයක් දියත් වී තිබීමය.

කෙසේවෙතත් විවිධ ග‍්‍රන්ථ ප‍්‍රකාශනයන් මගින් සම්බුද්ධ ධර්මය, ඉතිහාසය හෝ බෞද්ධ සාහිත්‍යය විකෘති කිරීම වැළැක්වීම සඳහා යම් ග‍්‍රන්ථ ප‍්‍රමාණයක් ජාතික උරුමයක් ලෙස හෝ මූල ග‍්‍රන්ථ ලෙස නම් කිරීම සහ නීතියෙන් පිළිගැනීම පමණක් සෑහෙන්නේ නැත. ජනාධිපතිවරයාට එවැනි නම් කිරීම් සිදු කිරීමට සහ එ්වා ගැසට් මගින් ප‍්‍රකාශයට පත් කිරීමට බලයක් ඇත. එ් පිළිබඳ විවාදයක් නැත. එසේ යම් ග‍්‍රන්ථ ජාතික උරුමයක් ලෙස නම් කර තිබියදී අදාළ ප‍්‍රකාශනවල අන්තර්ගතය සූක්ෂමව විකෘති කරමින් විවිධ නාමකරණ යටතේ ප‍්‍රකාශන නිකුත් කිරීමට නීතියෙන් බාධාවක් නැත. නීතියේ පවතින එම මහා සිදුර වසා දැමිය හැක්කේ මහා සංඝරත්නයේ දීර්ඝ කාලීන ඉල්ලීමක් වන ආගමික ප‍්‍රකාශන නියාමන පනත පාර්ලිමේන්තුව මගින් වහා සම්මත කිරීම මගිනි. ජනාධිපතිතුමා විසින් පත් කිරීමට නියමිත අධීක්ෂණ කමිටුවට නීතිමය ආවරණය ලබා දීම සඳහා ද එවැනි පනතක් අවශ්‍ය වේ.

එම පනත බෞද්ධ ආගමික ප‍්‍රකාශන නියාමනයට පමණක් සීමා නොකළ යුතු අතර එය අන්‍ය ආගම්වලට අදාළව ප‍්‍රසිද්ධ කරන ලේඛන සඳහා ද වලංගු විය යුතුය. විශේෂයෙන්ම වර්තමානයේ පාසල් විෂය මාලාවලට පෙළපොත් ලෙස හඳුන්වාදී ඇති යම් ආගමික ඉගැන්වීම් සහිත ප‍්‍රකාශන මගින් ආගමික ප‍්‍රචණ්ඩත්වය සාධාරණීකරණය කෙරෙන බවට චෝදනා එල්ල වී ඇති තත්ත්වයක් යටතේ සියලූ ආගමික ප‍්‍රකාශන නියාමනය කිරීම වැදගත් වේ. එසේ කිරීම වැදගත් වන්නේ යම් බලවත් සංවිධානාත්මක ක‍්‍රියාවලියක් මගින් ආගමික ඉගැන්වීම් විකෘති කිරීම යුද්ධමය අවියක් ලෙස භාවිතා කිරීම නිසාය. කෙසේ වෙතත් ආගමික ප‍්‍රකාශන යන්නට සාහිත්‍ය ඇතුළත් නොවේ. එ් නිසා ඊනියා නිදහස් සාහිත්‍යවේදීහු, නිදහස් මාධ්‍යවේදීන් එ් පිළිබඳව කලබල විය යුතු නැත. කෙසේ වෙතත් සම්බුද්ධ ධර්මය පමණක් නොව මහා සංඝරත්නය සහ සමස්තයක් ලෙස සම්බුද්ධ ශාසනය මුහුණදෙන අභියෝගවලට නීතියෙන් පමණක් පිළිතුරු සෙවිය නොහැකි බව ජනාධිපතිතුමා ප‍්‍රමුඛ පාලකයන් මෙන්ම මහා සංඝරත්නය ද තේරුම් ගන්නවා නම් එය ජාතියේ අනාගතයට ඉතා යහපත් වනු ඇත.

විශේෂයෙන්ම එදා වලගම්බා රජ දවස ත‍්‍රිපිටකය ග‍්‍රන්ථාරූඪ කළ මහතෙරුන් වහන්සේ විසින් ඉටුකළ මහා ශාසනික සහ සමාජයීය භූමිකාව සමග සැසඳීමේදී අද දක්නට ලැබෙන පරිහානිය වචනවලට හැරවිය නොහැකි තරම් වේදනාකාරී බවට විවාදයක් නැත. අද අප රටේ මහා සංඝරත්නය ජාතියේ මුර දේවතාවා ගේ භූමිකාව ස්වකැමැත්තෙන්ම අත් හරින ආකාරය ඛේදජනකය. එදා රටේ ව්‍යවස්ථාදායකය පමණක් නොව සිවිල් අධිකරණය ලෙස ද ක‍්‍රියා කළේ මහා සංඝරත්නයයි. රජුට අර්ථයෙන්, ධර්මයෙන් මග පෙන්වනු ලැබුවේ මහා සංඝරත්නයයි. නමුත් අද මහා සංඝරත්නයේ යම් පාර්ශව විසින් බුද්ධ නීතිය රාජ නීතියට යටත් කරන ලෙස හෙවත් බුද්ධ නීතිය ක‍්‍රියාත්මක කිරීම සඳහා රාජ නීතියේ සහාය ලබාදෙන ලෙස ඉතා අසරණ ලෙස රජුන්ගෙන් ඉල්ලා සිටීම කෙතරම් ඛේදජනකද?

කෙසේ වෙතත් මෑත කාලීනව රජය විසින් බුද්ධ නීතිය රාජ නීතියේ පීඩාකාරී හස්තය විසින් හැසිරවීම සඳහා කතිකාවත් පනත නමින් නීතියක් සම්මත කිරීමට උත්සාහ කළ අවස්ථාවේ දී මහා සංඝරත්නය පොදු මතයක සිට ඊට එරෙහි විය. එහිදී ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් සඳහන් කළේ සියලූ නිකායන් සඳහා එක් කතිකාවතකට එකඟ වන තත්ත්වයක් යටතේ පමණක් එවැනි නීතියක් ගැන සලකා බැලිය හැකි බව ය. එ් සඳහා පොළොන්නරු යුගයේ මහා පරාක‍්‍රමබාහු රජු සමයට ආපසු යෑමට සිදුවන බැවින් එය නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් ඉල්ලා සිටීම වැනි තත්ත්වයකි. නමුත් පවතින නිකාය ති‍්‍රත්වයෙන් එක් නිකායකට අයත් යම් දේශපාලන උනන්දුවක් සහිත භික්ෂූන් වහන්සේලා සමූහයක් ඊට වෙනස් මතයක් ඉදිරිපත් කරමින් තම නිකායට පමණක් කතිකාවතක්් අවශ්‍ය බවට ඉල්ලීමක් ඉදිරිපත් කොට ඇත.

දැන් එම ඉල්ලීමට අනුව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ අනුදැනුම යටතේ එම නිකායට අදාළව පමණක් සම්මත කිරීම සඳහා කතිතාවත් පනත් කෙටුම්පතක් සකස් කොට ඇත. නුදුරු දිනකදී එය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට ගැසට් කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවට යොමු කිරීමට නියමිත බවද වාර්තා වේ. එම පනත් කෙටුම්පතට අනුව එ් නිකායේ භික්ෂූන් වහන්සේලා විසින් නොපිරිහෙලා විනයානුකූලව අනුගමනය කළ යුතු ක‍්‍රියා කලාපයන් සහ එ්වා උල්ලංඝනය කිරීමට අදාළව පරීක්ෂණ සිදුකරන ආකාරය සහ ඊට අදාළ දඬුවම් සියල්ල පනත යටතේ නිශ්චිතව දැක්විය යුතුය. එම ප‍්‍රතිපාදන අඩංගු විය යුත්තේ අදාළ නිකාය විසින් ඉදිරිපත් කරන කතිකාවත තුළය. නමුත් පනතේ 3(2* වගන්තිය අනුව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට කතිකාවතෙහි ආකෘතිය නිර්දේශ කිරීමේ නාමයෙන් එහි අන්තර්ගතයට බලපෑම් කිරීමේ ඉඩක් ඇත. එසේම පනත 9(1* ආ වගන්තිය අනුව ඊට අදාළ නිර්නායක නියෝග ලෙස පැනවීමේ බලය අමාත්‍යවරයා සතුවේ.

එ් අනුව එම පනත මගින් රාජ නීතිය විසින් බුද්ධ නීතිය යටත් කිරීම සඳහා ප‍්‍රතිපාදන සලසා ඇත. පනත් කෙටුම්පත් 3(2* වගන්තිය අනුව කාරක සංඝ සභාව හෙවත් සංඝාධිකරණය මගින් දඬුවම් කරනු ලබන භික්ෂූන් වහන්සේ පිළිබඳව සහ අදාළ වැරැුදි පිළිබඳව කොමසාරිස්වරයාට වාර්තා කළ යුතුය. එම නිසා සම්බුද්ධ ශාසනයට එරෙහිව සංවිධානාත්මකව ක‍්‍රියාත්මක වන එන්.ජී. ඕ. බලවේගවලට තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ එම තොරතුරු ලබාගත හැක. ඒ අනුව මහා සංඝරත්නයට මඩ ගැසීමේ ව්‍යාපාරය හරහා වැඩි වැඩියෙන් මුදල් ගරා ගැනීමේ අවස්ථාව ද මෙම පනත මගින් ඔවුන්ට උදාකර දෙයි. එසේම පනතේ 8 (3* වගන්තිය අනුව චෝදනා වලට පාත‍්‍ර වන අදාළ නිකායේ මහා සංඝරත්නය විසින් බුද්ධ නීතිය පිළිපැදීම ප‍්‍රතික්ෂේප කරන අවස්ථාවලදී දිසා අධිකරණය මගින් අදාළ දඬුවම් බලාත්මක කළ හැක. එවැනි තත්වයකදී ඊට එරෙහිව අභියාචනාධිකරණයේ පිහිට පැතීමට භික්ෂූන් වහන්සේලාට අවස්ථාව ලැබේ. එසේම එ් තත්වය හරහා කාරක සංඝ සභාවේ මහා තෙරුන් වහන්සේ අධිකරණයේ සාක්ෂි කූඩුවට නැංවීමේ බලයද එන් ජී ඕ කාරයන් අතට ලැබේ.

එ් අනුව සද්ධර්මය විකෘති කරමින් සහ මහා සංඝරත්නයට මෙන්ම සම්බුද්ධ ශාසනයට එරෙහිව ක‍්‍රියාත්මක වන සංවිධානාත්මක වඳුරු රැුළකට ඉනිමං බැඳීමක් මෙම පාර්ශවීය කතිකාවත් පනත මගින් සිදුවේ. අනිත් පැත්තෙන් ගත්විට ධර්ම විනයට අදාළ ව පමණක් නොව ශාසනික සහ විහාර සම්ප‍්‍රදායට අදාළව ද දඬුවම් ලබන එම නිකායේ භික්ෂූන් වහන්සේට එරෙහිව රාජ නීතිය යටතේ දඬුවම් බලාත්මක කිරීමේ දී ඇති වන තත්ත්වය කුමක්ද? එවැනි තත්වයක් විශේෂයෙන් තරුණ භික්ෂූන් වහන්සේට කෙතරම් පීඩාකාරී වනු ඇත්ද? එම හේතුව මත අදාළ නිකාය තුළ ශාසනය හැර යන භික්ෂූන් වහන්සේගේ ප‍්‍රතිශතය ඉහළ යෑමට බෙහෙවින් ඉඩ ඇත. ඊට අමතරව නිකායන් දෙකක් අතර භික්ෂූන් වහන්සේට වෙනස් ආකාරයට සැලකීම මගින් සංඝ භේදයට ද ඉඩ සැලසෙයි. එහිදී ගිහියෙක් ලෙස ජනාධිපතිවරයා සහ අදාළ අමාත්‍යවරයා සහ වගකිවයුතු නිලධාරීන් සංඝභේදයට අනුබල දීම මගින් ආනන්තරිය පාපකර්මයකට දායක වේ. එසේම පනත සම්මත කිරීමට පෙළඹවීම් කරන භික්ෂූන් වහන්සේද ආනන්තරිය පාප පාපකර්මයට ගොදුරු වන බවට තර්ක කළ හැක.

රාජ නීතිය ඉදිරියේ වරදකරුවන් වූ භික්ෂූන් වහන්සේට දඬුවම් ලබාදී ඇති අවස්ථා ඉතිහාසයේ සඳහන්වේ. පවතින තත්ත්වය යටතේ පවා භික්ෂුත්වයෙන් නෙරපනු ලබන භික්ෂුවක් තවදුරටත් චීවරය දරමින් සිටීම නීතිය යටතේ වරදකි. ඊට එරෙහිව සාමාන්‍ය නීතිය යටතේ ක‍්‍රියාමාර්ග ගැනීමට පවතින තත්වය යටතේ පවා බාධාවක් නැත. නමුත් බුද්ධ නීතිය අනුව කටයුතු නොකරන භික්ෂූන් වහන්සේට බුද්ධ නීතිය රාජ නීතියට යටත් කිරීම මගින් දඬුවම් කරන ලෙස මහා සංඝරත්නය විසින් රජුගෙන් ඉල්ලා සිටි අවස්ථා පිළිබඳව අප අසා නැත. සාමාන්‍ය මහ ජනයාගේ දැනුම අනුව සහ නිකාය කතිකාවත් අනුව භික්ෂූන් වහන්සේ විසින් විනය හෝ සම්ප‍්‍රදාය කඩ කරන අවස්ථාවල දඬුවම් කිරීමේ බලය අදාළ සංඝ සභාව සතුවේ. එම දඬුවම් ක‍්‍රියාත්මක කිරීමේ බලය හෙවත් භික්ෂූන් වහන්සේ විසින් දඬුවම් පිළිගැනීම් සඳහා පෙළඹවීමේ බලය ද එම සංඝ සභාව සතුවේ.

එසේනම් එය බුද්ධ නීතිය අනුව ක‍්‍රියාත්මක වන සංඝාධිකරණයකි. ඒ අනුව රාජ නීතිය බලපැවැත්වෙන සංඝාධිකරණයක් පිහිටුවීමේ වුවමනාව කුමක් ද? එසේ නැතහොත් පවතින සංඝ අධිකරණයේ නියෝග ක‍්‍රියාත්මක කිරීම සඳහා රාජ නීතිය යටතේ විශේෂ විධිවිධාන හෙවත් නව පනතක් අවශ්‍ය වන්නේ කුමක් නිසාද? එසේ විය හැක්කේ සංඝාධිකරණය විසින් ලබාදෙන දඬුවම් ක‍්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ආධ්‍යාත්මික සහ සදාචාරමය ශක්තිය සහ බලය එම අධිකරණයට නොමැති නිසා ද එසේ නැතිනම් මහා සංඝරත්නය විසින් එම අධිකරණය හෝ එහි තීන්දු පිළිනොගන්නා නිසාද? එසේත් නැතිනම් එ් දෙකම නිසා ද? මහා සංඝරත්නය විසින් තම ඓතිහාසික භූමිකාව නැවත අත්පත් කරගැනීම මගින් විසඳිය යුතු ප‍්‍රශ්නයක් කෙටි මාර්ග හරහා රජු මගින් විසඳා ගැනීමට උත්සාහ කිරීම තුළින්ම ප‍්‍රශ්නයේ බරපතළකම පැහැදිලි වේ. එම වරද නිවැරදි කිරීමේ අවස්ථාව දැන් රජුට ලැබී ඇත. රජු විසින්් එම වරද කතිකාවත් පනත් ඉල්ලා සිටින මහා සංඝරත්නයට පහදාදීම ද මහා ඓතිහාසික පුණ්‍ය කර්මයක් බවට විවාදයක් නැත.

වෛද්‍ය වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More