මුහුණු පොතෙන්

සුළු ජාතීන් ගේ ස්වයං නීර්ණ අයිතිය වෙනුවෙන් පෙනී සිටි රෝහණ විජේවීර, රට බෙදීමට එකඟ නොවූ බව ප්‍රකට ය.

දැන් ගැටලුවක් මතු කළ හැකි ය. ඒ, දයා පතිරණ ඝාතනය කරනු ලැබීම ප්‍රශ්න කරමිනි.

දයා පතිරණ ද ස්වයං නීර්ණ අයිතිය වෙනුවෙන් පෙනී සිටි අයෙකි.

කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රථම වසරේ ඉගෙන ගන්නා අවස්ථාවේ අපට දයා පතිරණ ගේ මුල් ම දේශනය සවන් දීමට ලැබුණේ, ජීම් එක උඩ තිබෙන එක් ශාලාවකදී ය. ඔහු දෙමළ ජනතාව ගේ ස්වයං නීර්ණ අයිතිය වෙනුවෙන් පෙනී සිටින බව, එහිදී අපට කීවේ ය.

ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයා වශයෙන් එකල දයා පතිරණ කටයුතු කළ අතර, මගේ අධ්‍යයන කණ්ඩායමේ සිටි බොහෝ සිසුහු පිරිසක් ඒ අනුව, ස්වාධීන ශිෂ්‍ය සංගමයට එකතු වූහ. ඊට තවත් හේතුවක් වූයේ, ස්වාධීන ශීිෂ්‍ය සංගමයේ දෙවැනි නායකයා ව සිටි කේ.එල්.ධර්මසිරි ගේ සොහොයුරා ද අප ගේ කණ්ඩායමේ සිටි නිසා ය.

විශ්වවිද්‍යාලයට පැමිණ මාස තුනකින් පමණ පසු, මම වාණිජවිද්‍යාවේදී ඉංග්‍රීසි මාධ්‍ය ප්‍රථම කණ්ඩායම හා එක් වූ හෙයින්, සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදෑරූ, ස්වාධීන ශිෂ්‍ය සංගමයට බැදුණු පිරිස සහ මා අතර දුරස්තබවක් ඇති විණි.

ඒ අතරේ මම විශ්වවිද්‍යාලයීය කලා සංස්කෘතික කටයුතුවලට සම්බන්ධ වූ අතර, ජිම් කැන්ටිමේ ‘රිද්මය’ නමින් බිත්ති පුවත්පතක් ආරම්භ කළෙමි. එයට බෙහෙවින් විශ්වවිද්‍යාලය තුළ අවධානයක් යොමු වුණු අතර, වරක් දයා පතිරණ පැමිණ මා හට ස්වාධීන ශිෂ්‍ය සංගමයට බැඳෙන ලෙස ආරාධනා කළේ ය. එහෙත් මම එය ප්‍රතික්ෂේප කළෙමි. මගේ ප්‍රතික්ෂේප කිරීම ඔහු විසින් පිළිගැනුණු අතර, ජිම් එකේ බිත්ති පුවත්පත පවත්වා ගෙන යෑම පිළිබඳ ව බාධාවක් නො කරන බව ද පැවසුවේ ය.

දයා පතිරණ ඝාතනය වූයේ එයින් සති කිහිපයකට පසු ව ය.

බිත්ති පුවත්පත පවත්වා ගෙන යෑමට දයා පතිරණ මට දුන් අවසරය පිළිබඳ ව මා තුළ අදටත් ගෞරවයක් තිබෙන අතර, ඔහු ඝාතනය කෙරුණු පසු, මා විසින් නිර්මාණය කරන ලද ‘රිද්මය’ බිත්ති පුවත්පත අදටත් සුරැකි ව මා සන්තකයේ තිබේ.

එය ඓතිහාසික බිත්ති පුවත්පතක් වන්නේ දයා පතිරණ ගේ ඝාතනයත් සමඟ 88/89 භීෂණ සමය නිල වශයෙන් ආරම්භ වූ නිසා ය.

ජවිපෙ අවශ්‍යතාව මත දයා පතිරණ ඝාතනය කිරීමට සරත්, සුදුමල්ලි, මහීපාල, ගාමීණී, කොස්තා ආදීන් පැමිණි බව සඳහන් වන අතර, ඔහු මරා දැමෙන්නේ අත්තනෝමතික තීරණයකට අනුව ය.

ඔවුන් ගේ මතුපිට අවශ්‍යතාව වී තිබුණේ, උතුරේ දෙමළ අරගලය පිළිබඳ ව දයා පතිරණ දැරූ ආස්ථානය ප්‍රශ්න කිරීම ය. යටිපෙළ අරුත වූයේ, කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලනික බලය අල්ලා ගැනීමට, ජවිපෙට තිබුණු ප්‍රධාන බාධාව වන දයා පතිරණ, අවසන් කිරීම බව සඳහන් ය.

‍දයා පතිරණ ඝාතනය කිරීම වූ කලි, ඔවුන් විසින් ගන්නා ලද අමනෝඥ ම තීරණයක් වන්නේ, එය ලක්ෂයක පමණ ජවිපෙ කාඩර්වරුන් ඇතුළු මුල්පෙළේ නායකයන් ද, රෝහණ විජේවීර ද, ඝාතනය වීම දක්වා වූ මහා සාපයක් බවට පසුකාලීන ව පත් වූ නිසා ය.

දයා පතිරණ ගේ ඝාතනයෙන් පසු ඔහු ගේ මළසිරුර ඉදිරිපිටදී කේ.එල්.ධර්මසිරි විසින්, ලෙයින් පළිගැනීම සපථ කරන ලද බව කියනු ලැබේ.

රන්ජන් විජේරත්න, පාර්ලිමේන්තුවේදී, ජවිපෙ ආයුධ බලයෙන් මර්දනය කෙරෙන බවට පොරොන්දු දුන්නේ, කේ.එල්.ධර්මසිරි ගේ එකී සපථ කිරීමෙන් පසුව බව ද ප්‍රකට ය.

අද, ජවිපෙ අනුර කුමාර දිසානායක, විජිත හේරත්, බිමල් රත්නායක,නලින්ද ජයතිස්ස .. වැන්නන් කටයුතු කරන ආකාරයෙන් අපට නො තේරෙන්නේ එදා, ඝාතක කණ්ඩායම් විසින් දයා පතිරණ ඝාතනය කරන ලද්දේ කවර අරමුණක් සඳහා ද යන්න ය.

අද, ජවිපෙ නායකයෝ, එජාපෙ සමඟ එකතු වී රට බෙදීම දක්වා කටයුතු කරමින් සිටිති. එදා දයා පතිරණ ඝාතනය කිරීම සිදුවූයේ ඔහු ඒ අදහස අනුව කටයුතු කිරීම නිසා ය.

එජාපෙ 40වැනි සංවත්සරයේදී ‘කොළඹ විශ්වවිද්‍යාලයේ කොටි ඉන්නවා’ යැයි ජේ.ආර්. කී ආකාරය මට මතක ය. දයා පතිරණ ගේ ඝාතනය සිදු වූයේ එයින් සති කිහිපයකට පසු ය.

දයා පතිරණ ගේ ඝාතකයන් ගේ නම් අතර, ජවිපෙට සම්බන්ධ අය ද සිටිති.

අද කටයුතු සිදුවෙමින් තිබෙන ආකාරයට, දයා පතිරණ ගේ පවුලේ උදවියට වන්දියක් ගෙවිය යුතු නැද්ද?

– කුමාර ලියනගේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More