පුරවැසි කොලම

පසුගිය දිනවල අනුරාධපුර, පොලොන්නරුව, මොනරාගල ආදී වියළි කලාපීය ගොවිබිම්වල ජනතාව, විශේෂයෙන්ම බඩඉරිඟු ගොවීන් අතර කතාබහට ලක්වූ සේනා දළඹුවාගේ ආක්රමණය දැන් ජාතික මට්ටමේ මාතෘකාවක් බවට පත්වී ඇත. ඒ නිසා ඒ පිළිබඳව විවිධ මතවාද, අදහස් සහ චෝදනා බහුලව අසන්නට ලැබේ. එක් රැයකදී අක්කර සිය ගණනක භෝග වගාවක් කා දැමිය හැකි සහ බෝග ප්රභේද සිය ගණනකට පහර දිය හැකි මේ ආක්රමණිකයාට අදාළව නිසි කල නිසි පියවර නොගත් බවට කෘෂිකර්ම බලධාරීන්ට එරෙහිව එක් පැත්තකින් චෝදනා එල්ලවෙයි. එහිදී ඔවුන් විසින් ප්රකාශයට පත්කළ අධ්යාපන පත්රිකාවද මහජනයා විසින් හාස්යයට ලක් කෙරේ. එම පත්රිකාව මගින් ආක්රමණිකයාට උපත දෙන සලඹයාගේ චර්යාවන් අනුව එම වැඩිහිටි පළිබෝධකයා හඳුනාගැනීම සහ පාලනය කිරීම පිළිබඳ උපදෙස් ලබා දී නොමැති වීම ඊට හේතුවයි. ඊට අමතරව දළඹුවා බහුලව පැතිර යන ප්රදේශවලවල රජය මගින් සිදුකෙරෙන මැදිහත්වීම කුමක්දැයි එහි සඳහන් වන්නේ නැත. එම පත්රිකාව මගින් මහජනයාගෙන් ඉල්ලා සිටින්නේ දුටුතැන පර්යේෂණ මූලස්ථානයට දැනුම් දෙන ලෙස පමණි.

කෙසේවෙතත් Fall Army Worm ලෙස ඉංග්රීසි භාෂාවෙන් හඳුන්වන සේනා දළඹුවාගේ ආක්රමණයක් සිදු විය හැකි බවට කෘෂිකර්ම බලධාරීන් විසින් ජනමාධ්ය හරහා මහජනයාට අනතුරු ඇඟවීම් නිකුත් කරන ලදී. ඒ 2018 මැයි මාසයේදී ශ්රී ලංකාවට භූගෝලීයව ඉතා සමීප ඉන්දියාවේ තමිල්නාඩුවේ මෙම පළිබෝධකයා පැතිරීම වාර් තා වූ අවස්ථාවේදීය. ඇත්ත වශයෙන්ම පලිබෝධ ආක්රමණය වාර්තා වන්නේ මැයි මාසයේ දී වුවත් ඒ පිළිබඳව ශ්රී ලංකාවේ ගොවීන් දැනුවත් කරන්නේ අගෝස්තු මාසයේදී ය. ඒ වනවිට අම්පාර, අනුරාධපුර සහ පොලොන්නරුව ආදී ප්රදේශවල ගොවීන් මෙම ආක්රමණයට හුදකලාව මුහුණ දෙමින් සිටියහ. මීට පෙර 2016දී සේනා දළඹුවා හෙවත් ආමි පනුවාගේ ආක්රමණ හේතු කොටගෙන අප්රිකානු මහද්වීපයේ රටවල් 40ක අක්කර සිය දහස් ගණනින් භෝග වගා විනාශ විය. එම නිසා මෙම කෘමි පලිබෝධකයාගේ භයානක කම පිළිබඳව අදාළ ආයතන වලට අවබෝධයක් නොතිබුණා යැයි පිළිගත නොහැක. විශේෂයෙන්ම අන් කුමන පළිබෝධකයකුට වඩා සේනා දළඹුවාට රටක අස්වනු තොග ඉතා බරපතළ ලෙස අනතුරට ලක් කිරීමේ විභවයක් තිබෙන බවට ලෝක ආහාර සංවිධානය විසින් නිවේදනය කොට තිබුණි. එම තත්ත්වය ලෝක ආහාර සුරක්ෂිතතාවයට බරපතල අභියෝගයක් වන බවට තීන්දු කළ එම සංවිධානය විසින් ලෝකය පුරා සිදුකෙරෙන පාලන වැඩසටහන් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 19ක මුදලක් වෙන් කළ බව වාර්තා විය. එම මුදලින් ඩොලර් මිලියන 9ක් සාමාන්යයෙන් කරන වැඩසටහන් සදහා සහ මිලියන 12ක් විශේෂ පාලන වැඩසටහන් සඳහා යොදවන බව වාර්තා වුවත් ශ්රී ලංකාවට අදාළව එම සංවිධානයේ මැදිහත්වීම කුමක්දැයි වාර්තා වන්නේ නැත.

ලෝක ආහාර සංවිධානය එසේ සේනා දළඹු උවදුර මැඩලීම සඳහා බරපතල මැදිහත් වීමක් සිදු කරන බවක් පෙනුනද ඇමෙරිකාවට ආවේනික පලිබෝධකයෙක් අප්රිකාවේ බරපතළ ලෙස පැතිරෙන්නේ කුමන හේතු සහ කුමන වැරදි නිසා දැයි වාර්තාවක් නිකුත් කොට නැත. නමුත් වාණිජ ගුවන් ප්රවාහනය හරහා මෙම දළඹුවාගේ සලබයා ඇමරිකාවේ සිට අප්රිකාවට ඇතුල් වන්නට ඇති බවට මත පළවේ. ලෝකයේ පාලනය කිරීමට අපහසුම පළිබෝධකයකු ලෙස සැලකෙන සේනා දළඹුවාගේ පැතිරීම පිළිබඳව ලෝකය මීට වඩා දැනුවත් විය යුතු බවට විවාදයක් නැත. නමුත් දළඹුවා ගොවිබිම්වල පැතිරෙන විට නගන ඝෝෂාව නිරෝධාන අංශවල පූර්ව ක්රියාකාරීත්වය තුළ දක්නට නැත. සලබයාට කිලෝමීටර් 100ක් වුවත් එක රැයකදී පියඹා යා හැකියයි කියා ඇඟ බේරා ගැනීමට ඉඩක් නැත. ගුවන් සහ මුහුදු ප්රවාහන සේවා හරහා සලබයා පැතිරීමේ අවදානම පිළිබඳ අප රට සැලකිලිමත්ව කටයුතු කළ බවට සාක්ෂි නොමැති බව එම අංශවල අභ්යන්තර තොරතුරු දන්නා විද්වත්හු පිළිගනිති.

මෙම සලඹයාට විවිධ දේශගුණික තත්වයන් යටතේ ආරක්ෂාකාරීව ජීවත් වීමේ සහ පැතිරීමේ හැකියාව තිබෙන බැවින් සහ පළිබෝධනාශක වල්ට ඔරොත්තු දීමේ හැකියාව තිබෙන බව ඔප්පු වී ඇති බැවින් තත්ත්වය ඉතා භයානකය වේ. විශේෂයෙන්ම සලඹයා එක් වසරකදී ජීවීන චක්ර 06ක් මගින් බෝ කිරීම් සිදුකරන නිසා සහ දළඹුවා හෙවත් කීට හෙවත් ලාවා අවස්ථාවේදී බෝග කා දැමීමේ වේගය ඉතා අධික බැවින් තත්ත්වය වඩාත් භයානක වේ. පවතින තත්වය යටතේ ඉතා වේගයෙන් භෝග වගාවක් හා දැමිය හැකි දළඹුවන් රෑනක් එකා බැගින් අහුලා එකතු කොට විනාශ කිරීමට ගොවියා අසමත් වේ නම් එම කා දැමීම දින විස්සක් සිට හතළිහක් දක්වා කාලයක් තිස්සේ පැවතිය හැක. එසේ මහා විනාශයක් සිදු කිරීමෙන් පසුව පොළොවට වැටී දින තුන හතරක් වැනි කෙටි කලකදී පිලවා අවස්ථාව ගෙවා දමා නැවත සලඹයා ලෙස පියඹා යමින් ඉතා කෙටි කාලයක දී මහා භූමියක පැතිරීමේ හැකියාව මෙම පලිබෝධකයාට ඇත.

ඒ අනුව ආහාර සුරක්ෂිතතාවයට වැඩිම හානිය සිදු කළ හැකි පළිබෝධකයා සේනා දළඹුවා ලෙස හැඳින්වීමේ වරදක් නැත. අප්රිකාවේ දී ඉතා කෙටි කලක දී අක්කර සිය දහස් ගණනක් භෝග වගා විනාශ කිරීමට මෙම පලිබෝධකයාට හැකි වන්නේ එම හැකියාව නිසාය. මෙම දළඹුවා ප්රධාන වශයෙන්ම බඩ ඉරිඟු වගාවට වැඩි කැමැත්තක් දැක්වුවද එම වගාව වැඩෙන තෙක් වෙනත් බෝග වර්ග 80ක් මත යැපෙමින් තම ජීවන චක්රය පවත්වා ගැනීමේ හැකියාව එම පළිබෝධකයාට ඇත. ඇමරිකාවේ මුලින්ම කපු වගාව ආශ්රිතව දක්නට ලැබූ මෙම පළිබෝධකයා ගේ වර්තමාන භූමිකාව ඒ ආකාරයට පුළුල් වී ඇත. ඒ නිසා මෙම පළිබෝධකයා උවමනාවෙන් පැතිරවීම මගින් යම් රටක ආහාර සුරක්ෂිතතාවය බරපතළ ලෙස අනතුරට ලක් කිරීමේ හැකියාව ඇත. නමුත් එවැන්නක් සිදු විය හැකි බව හෝ යම් බලවේගයකට එවැනි උවමනාවක් තිබෙන බවට සාක්ෂි දක්නට නැත.

එසේ වුවත් පසුගිය දිනවල මහජනයා අතර එවැනි මත වාද සාකච්ඡාවට ලක්විය. විශේෂයෙන්ම මීට පෙර සාමාන්ය මතවාදයක් ලෙස පැතිරී තිබෙන කෘෂිරසායන සමාගම් විසින් තම නිෂ්පාදන විකුණාගැනීම සදහා පලිබෝධ හඳුන්වා දෙන බවට වන චෝදනාව මෙම අවස්ථාවේදීත් එල්ල වන බවක් අසන්නට ලැබේ. එහෙත් එම චෝදනාව මෙම අවස්ථාවේදී සෘජුව එල්ල කළ නොහැක. ඊට හේතුව මෙම පළිබෝධකයාගේ පැතිරීම සාපේක්ෂව පලිබෝධනාශක ප්රචලිත කිරීමක් දක්නට නොලැබීම ය. ඊට අමතරව මේ වනතුරු නිශ්චිත ප්රතිඵලදායක පාලන ක්රමයක් හඳුන්වාදීමට කෘෂිකර්ම බලධාරීන් පවා අසමත් වී ඇති තත්ත්වයක් තුළ එවැනි චෝදනාවක් එල්ල කිරීම සාධාරණ නොවේ. නමුත් මෙම උවදුරේ බලවත්කම නිසා නව සොයා ගැනීමක් සඳහා විශාල වෙළඳ පොළක් විවෘත වන බවට විවාදයක් නැත. පවතින තත්වය යටතේ කෘෂිකර්ම බලධාරීන් විසින් බිම් මට්ටමේ දී ගොවීන් සමඟ ඍජුව බද්ධ වන වැඩසටහනක් දියත් නොකළහොත් සමාගම්වල අලෙවි නියෝජිතයන් විසින් තමාට ලාභදායී එහෙත් මහජන සෞඛ්යයට සහ පරිසරයට ඉතා හානිදායක පලිබෝධනාශක හඳුන්වාදීමේ ප්රබල ඉඩක් විවර වනු ඇත.

කෙසේ වෙතත් යම් පලිබෝධකයකු හෝ රෝගයක් පැතිරීමට සැලැස්වීම මගින් නව වෙළඳපොලක් සොයා ගැනීම දුෂ්ට වාණිජ ක්රියාවක් වුවත් එවැනි ක්රියාවක් ජීවවිද්යාත්මක අවි භාවිතයක් ලෙස හැදින්විය නොහැක. එසේ වුවත් එමගින් එම වාණිජ වාසියට අමතරව මහජන සෞඛ්යය ආපදා තත්වයකට හෝ බරපතළ ආහාර හිගයට එම රටට මුහුණදීමට සිදුවුවහොත් ඒ මගින් දේශපාලන සහ යුදමය වාසි යම් බාහිර බලවේගයකට ලැබේනම් එවැනි තත්ත්වයකදී ජීවවිද්යාත්මක අවි යන වචනය යොදා ගත හැක. ඇත්ත වශයෙන්ම ජීවවිද්යාත්මක අවි සොයා ගැනීමට මග පෑදෙන්නේ ස්වභාවිකව පැන නගින ව්යසනයක් ගැඹුරින් අධ්යනය කොට ඊට හේතු වන හේතු කාරක කෘතිමව නිර්මාණය කිරීමට හැකියාවක් තිබෙන විටය. බොහෝවිට ජීවවිද්යාත්මක අවි ලෙස බහුලව යොදා ගැනෙන්නේ ඇසට නොපෙනෙන එහෙත් ජෛව ලෝකයට කෙටිකාලීන මහා විනාශයක් කළ හැකි බැක්ටීරියා සහ වෛරස් වර් ග බවට සාක්ෂි ඇත. එහෙත් ඊට වෙනස් තත්වයන් පිළිබඳ ඉතිහාසය සාක්ෂි දරයි.

ඊට හොඳම උදාහරණයක් වන්නේ 1840 දශකයේ දී කතෝලික බහුතර ජනතාවක් ජීවත්වන අයර්ලන්තයේ පැතිරුණු ‘අර්තාපල් සාගතයයි”. අර්තාපල් සාගතයට හේතුවන්නේ ‘අර්තාපල් බිලයිට්” නම් දිලීර රෝගය නිසා එම රටේ අර්තාපල් අස්වනු සම්පූර්ණයෙන්ම විනාශ වීමයි. එම වකවානුවේ අයර්ලන්ත ජාතිකයන්ගේ පමණක් නොව යුරෝපයේ බොහෝ ජාතීන්ගේ ප්රධාන ආහාරය වූයේ අර්තාපල්ය. අයර්ලන්තය ඉතා බරපතළ ලෙස මෙම උවදුරට ගොදුරු වන්නේ ඔවුන් ප්රධාන ආහාරය සඳහා එක් බෝගයක් මත යැපීම නිසා පමණක් නොව එම බෝගයේ එක් විශේෂ ප්රභේදයක් පමණක් බහුලව වගා කිරීම නිසාය. එම ප්රභේදය අදාළ රෝගයට ගොදුරු වීමේ විශේෂ ප්රවණතාවක් තිබූ බව පසුව අමෙරිකාව විසින් සොයා ගැණිනි. කෙසේ වෙතත් මෙම සාගතය නිසා ඉතා කෙටි කාලයක් තුල අයර්ලන්තයේ වැසියන් ලක්ෂ 10 කට ජීවත අහිමිවිය. මෙම සංඛ්යාව එරට ජනගහනයෙන් 20%කි. එම ඛේදවාචකය නිසා අයර්ලන්තයේ ජන පැතිරීමට සහ එහි සංයුතියට සේම රටේ ආර්ථිකයට ආපසු හැරවිය නොහැකි හානි සිදුවිය. එවැනිම තත්වයක් පළමු ලෝක යුද්දයෙන් පසුව ජර්මනියේ දී ඇති විය. මෙම සාගතයේදී ජර්මන් වැසියන් ලක්ෂ 7කට ජීවිත අහිමිවිය. අයර්ලන්ත සිදු වීමේ ප්රතිඵල දෙස බලන විට ඉන් වැඩි වාසි ලැබෙන රටවල් හා ලෝක බලවේග හඳුනා ගැනීමේ හැකියාවක් තිබුණි. නමුත් එම ප්රතිඵල ජීව විද්යාත්මක යුධ උපක්රම හෝ ජීව විද්යාත්මක අවි භාවිතා කිරීම මගින් සැලසුම්සහගතව අත්පත් කරගත් බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොවීය. එහෙත් එම ප්රතිඵලයම පළමු ලෝක යුද්දයෙන් පසුව ජර්මනියේ දී දක්නට ලැබෙන විට විවිධ පාර්ශව ඒ පිළිබඳව සැක උපදවමින් අදහස් පළ කළ බව වාර්තා වේ.

කෙසේවෙතත් අර්තාපල් බලයිට් රෝගයට හේතවූ දිලීරය පිළිබඳව ඇමරිකාව දීර්ඝ කාලයක් තිස්සේ පර්යේෂණ කරනු ලැබීය. 1950 දී ඇමෙරිකාවේ ජීවවිද්යාත්මක අවි පිළිබඳ පර්යේෂණ ව්යාපෘතිය නවතා දැමූ බවට ප්රකාශයට පත් කරන තෙක් එම පර්යේෂණ සිදු වූ බව රහසක් නොවේ. ඒ වන විට මෙම දිලීරයේ සම්පූර්ණ ජාන සැලසුම් හඳුනාගෙන තිබූ අතර ජාන ඉංජිනේරු තාක්ෂණය අනුව මෙම දිලීරය පාලනය කිරීම හෝ පැතිරීම පිළිබඳ පර්යේෂණ සිදු කළ බවද වාර්තා වේ. එම රෝගයේ උපත අර්තාපල් බෝගයේ උපත සිදු වූ බවට හඳුනාගන්නා දකුණු ඇමරිකානු අන්දීස් කඳු ප්රදේශයේ සිදු වූ බවට සාක්ෂි ඇතත් මෙම රෝගය පළමුවෙන්ම බහුලව පැතිරෙන්නේ උතුරු ඇමරිකාවේය. අයර්ලන්තයට රෝගය පැතිරෙන්නේ බ්රිතාන්ය පාලනයට යටත්ව තිබූ ඇමරිකාවේ සිට යැවූ අර්තාපල් බීජ වලින් බව ඔප්පුවී ඇත. එසේ වුවත් එවැනි තත්වයක් ඕනෑම රටකින් තවත් රටකට බීජ හෝ පුරෝහන ද්රව්ය අපනයනය කරන විට පැන නැගිය හැකි නිරෝධාගත ගැටලුවක් ලෙස පෙන්විය හැක.

නමුත් එම ඉතිහාස කතා අප වැනි ලෝකයේ වැදගත්ම යුදමය මර්මස්ථානයක පිහිටි රටකට වැදගත් වන්නේ එම රටේ ජනතාවට සැකයෙන් බියෙන් ජීවත්වීම සඳහා නොවේ. ඉතිහාස අත්දැකීම් සහ වර්තමාන අත්දැකීම් වැදගත් වන්නේ ස්වාභාවික විපත් ලෙස පෙනෙන එහෙත් යුදමය වැදගත්කමක් සහිත තත්ත්වයන් පිළිබඳ ගැඹුරු අවබෝධයෙන් කටයුතු කිරීම සඳහාය. උදාාහරණයක් ලෙස අයර්ලන්තය තමා මුහුණදුන් විපත නැවත සිදු නොවීම සඳහා තම ආහාර සංස්කෘතිය, ආහාර විවිධත්වය සහ බෝග ප්රභේද විවිධත්වය මෙන්ම නිරෝධායන උපායමාර්ග ආදී ඉතා පුළුල් ක්ෂේත්රවල වෙනස්කම් සිදුකරනු ලැබීය. අප රටද සේනා දළඹුවා කියාදෙන පාඩම අනුව නිරෝධායන උපායමාර්ග දෙස පමණක් නොව සමස්ත ආහාර සුරක්ෂිතතාවයට අදාළ උපායමාර්ග දෙස නැවත ආපසු හැරී බැලීමට කාලය පැමිණ ඇත. ඊට අදාළ සංවාදය බලධාරීන්ගේ වසාගත් කාමරවල පමණක් නොව මහා සමාජය තුළ ද සිදුවිය යුතුය. අඩු තරමින් ආහාර සුරක්ෂිතතාවය ජාතික ආරක්ෂාව තරමට වැදගත් කොට සැලකිය යුතුය යන සාකච්ඡාව උඩට ගැනීමට හැකි නම් අප විසින් අනාගතයේ ද ගෙවිය යුතු වන්දිය අඩුකර ගැනීමට ඉඩක් විවර වනු ඇත.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More