පුරවැසි කොලම

2018 ඔක්තෝබර් 26 දින මේ රටේ ඓතිහාසික දිනයක් විය. ඒ 2015 ජනවාරි 08 පටන් මේ රටට හතුරුකම් කල දෙස් විදෙස් හතුරු බලමුලු වල න්‍යාය පත්‍රයට අනුගත වෙමින් ආ ගමන් මග ආපසු හැරවීමට ජනපති මෛත්‍රීපාල සිරිසේනයන් විසින් මහින්ද රාජපක්ෂයන් නැවත අග්‍රාමාත්‍ය ධූරයෙහි පිහිටුවීම නිසාය. මෙම තීන්දුව ගනු ලැබුවේ ඔහු තනි මතයට නොවන අතර මහා සංඝරත්නය ඇතුලු ජාතික බලවේග වලත් , මහින්ද රාජපක්ෂ පෙරටු කොටගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදයද ඇතුවය. මහින්ද රාජපක්ෂයන් අගමැතිධූරයේ දිවුරුම් දීමට ප්‍රථමයෙන් පොදුජන පෙරමුණේ නිල නොවන නායක හා මෙහෙයුම්කාර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂයන් කිහිප විටක්ම හමුවී සාකච්ඡා කල බවත් අවශ්‍ය බහුතරය වුවමනාවටත් වඩා ඇති බවට විශ්වාසය පලකල හෙයින් පලමුව යහපාලන රජයෙන් එනම් ජාතික ආණ්ඩුවෙන් එක්සත් ජනතා නිදහස් සන්දානය ඉවත් විය. ඒත් සමගම එකගතා ගිවිසුමට අනුව රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ඇමති මණ්ඩලය බිද වැටීමත් සමගම මහින්ද රාජපක්ෂයන් අගමැතිධූරයෙහි දිවුරුම් දීමට කටයුතු සැලැස්වීය. ඊට සමගාමිව නව අමාත්‍ය මණ්ඩලයක්ද පත් කෙරිණි.

ඒ හේතුවෙන් වඩාත්ම කලබලයටත් භීතියටත් පත් වූයේ බෙදුම්වාදී න්‍යාය පත්‍රය ක්‍රියාවට නංවන දෙමළ ඩයස්පෝරාව ඇතුලු රටට හතුරු දෙස් විදෙස් බලවේගයන්ය. ඒ අතර ප්‍රධාන භූමිකාවට පණ දුන්නේ ඇමරිකාව, බ්‍රිතාන්‍යය , නෝර්වේ ඇතුලු තවත් බටහිර තානාපතිවරුන් ය. පලමුව සටන දියත් වන්නේ අරලිය ගහ මන්දීරයෙන් රනිල් වික්‍රමසිංහ ඉවත් නොවීමය. එයට සමගාමිව ප්‍රජාතන්ත්‍රවාදය ලේබලය යටතේ රටට හතුරු සිවිල් සංවිධාන මාෆියාව වීදියේ සටන ආරම්භ කෙරිණි. උද්ඝෝෂණ , සත්‍යග්‍රහ , සිදු කෙරිණි. මෙකි නොකී සියල්ල සිදුවූයේ දෙමළ ඩයස්පෝරාවේත් බටහිර තානාපති නිලධාරින්ගේත් ආශිර්වාදය ඇතුවය. රටටත් ජාත්‍යන්තරයටත් ඔවුන් පැවසුවේම මහින්ද රාජපක්ෂයන්ට බහුතරය නැති බවටය. එසේම මෛත්‍රීපාල සිරිසේනයන් කලේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බවය .

මහින්ද රාජපක්ෂ ඇතුලු අමාත්‍ය මංඩලය දිවුරුම් දීමත් සමගම ඔහුට අවශ්‍ය පාර්ලිමේන්තුවේ බහුතරය සකසා ගැනිමේ ඔලුගෙඩි සටන ඇරඹුවද එය එය සිදු වූයේද මන්දගාමි ලෙසිනි. එජාපයේ කලකිරීමට පත්ව සිටි සමහර ඇමතිවරු, මංත්‍රීවරු මහින්දගේ ආණ්ඩුවට එකතු වන්නට සැදි පැහැදී සිටි බවට ප්‍රබල සාක්ෂිද ඇත. කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රබල ඇමතිවරයෙක් ඊට හොදම නිදසුනය. කෙසේ වෙතත් පොදුජන පෙරමුනේ සමහර දේශපාලන ප්‍රබලයන් මහින්ද මෛත්‍රී සුසංයෝගය තමන්ගේ පුද්ගලික දේශපාලන බල ව්‍යාප්තියට අනාගත අනතුරක් බව දැන බහුතරය ගොඩනැංවීම මගහරින බව නොපෙන්වා මග හැරීමට කටයුතු සැලැස්වීය. එහි වාසිය හිමි වූයේ රනිල් වික්‍රමසිංහයන් ඇතුලු බෙදුම්වාදී ජාතිවාදි කල්ලි කණ්ඩායම් වලටය. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පසුපසද එවැනිම වූ ජාත්‍යන්තර කොන්ත්‍රාත්තුවක්ද තිබූ බවට සාක්ෂි සහිතව ඔප්පු කල හැකි කරුණු කාරණා බොහෝය. ඒවා සියල්ල ඉදිරියේදි අවශ්‍ය මොහොතක රටට හෙළිකරන්නටද පසුබට නොවන බවට ප්‍රධාන පෙලේ නීතීවේදින් ප්‍රකාශ කර ඇත.

කෙසේ වුවද මෙකී අලකලංචි මැද පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය රනිල් වික්‍රමසිංහ ට ඇති බව තහවුරු කලේ දෙමළ ජාතික සංදානයේ මංත්‍රීවරුන්ගෙන් හා ජාතිවාදි රාහුෆ් හකීම්ගේත් රිසාද් බදූර්දීන්ගේත් සහයෙනි.. රනිල් වික්‍රමසිංහයන් නැවත බලයට ගෙන ඒමට ජවිපෙ කල සුවිසල් කොන්ත්‍රාත් භූමිකාවද අතිවිශිෂ්ඨය.

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයෙහි පිහිටුවීමත් සමගම රටතුල හිස ඔසවමින් තුබූ බෙදුම්වාදය නැවත ආපසු හැරවිණි. ජාතික සම්පත් නොරටුන්ට විකිණීමේ ජාතික අපරාධය ආපසු හැරවිණි. රටට ආදරය කරන සකල විධ දේශප්‍රේමින්ට රට ගැන අලුත් බලාපොරොත්තු ඇතිවූවාට කිසිදු සැකයක් නොමැත. බැදුම්කර හොරුන්ට නිශ්චිතවම දඩුවම් ලැබේයැයි ස්ථීරසාර බියක් දැනුනු බවද සැබෑවකි.

කෙසේ වුවද පොදුජන පෙරමුණේ ඇතැම් ප්‍රබලයන්ගේ මව්බිමේ ඉරණම පසෙකලා කූටෝපක්‍රමයන් නිසාම නොවැම්බර් 16 වන දින නැවත රනිල් වික්‍රමසිංහයන් නැවත අගමැතිධුරයෙහි දිවුරුම් දි ඇමති මංඩලයද පත්වූ අතර යලිදු වතාවක් රටට හතුරු බෙදුම්වාදී න්‍යාය පත්‍රය ක්‍රියාවට නැංවීමේ අවකාශයටද තිබුනාටත් වඩා හොදින් ඉඩ සැලසිනි. සුමන්තිරන් මංත්‍රීවරයා නිල නොවන අගමැතිවරයා ලෙස කටයුතු කරන බවටද අපට පසුගිය දිනවල දක්නට ලැබුනි. ඒ නිසාය ඔහු ප්‍රකාශ කරන්නේ එළඹෙන පෙබරවාරි 04 වෙනිදාට පෙර ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවය. ඒ සදහා අවශ්‍ය තුනෙන් දෙකේ බහුතරය නිර්මාණය කිරිමට ශ්‍රිලනිප මංත්‍රීවරු 21ක් ලබාගැනීමේ මෙහෙයුම දියත් වී හමාරය. වෙසෙසින් රටතුල පුලුල් සන්දානයක් මෛත්‍රී මහින්ද සුසංයෝගයෙන් නිර්මාණය නොවීමම මෙයට ප්‍රබල හේතුවක් බවද ඔවුන් පවසයි. යන යකා කොරහා බිදගෙන ගියාට නම් කම් නැත. එහෙත් යන්නේ යක්කුද නොවන්නේය. බිදගෙන යන්නේ කොරහද නොවන්නේය.. යන මංත්‍රීවරු යන්නේ රට බෙදුම්වාදී මර උගුලට ඇදගෙනය. මව්බිමේ මරණ සහතිකයට අත්සන් තබන්නටය යන්නේ. මෙය විපක්ෂයේ ප්‍රබලයන්ට නොතේරෙන්නේද නොවේ. රට වෙනුවෙන් හිතලා රටට සිදුවෙන අනතුර වළකාලීමේ ක්‍රියාන්විතයෙන් ඈත්වන්නට මාන බලන්නේ කාගේ බල අරමුණ වෙනුවෙන්දැයි ප්‍රබල සැක සංකා මතුවේ. එසේම රටට හිතැති ජනී ජනයා අස්වසාලන්නට ඔවුන් කියන්නේද අමුතු කතාවකි. එය හරියට “අමුතු බත් දීම අත ඇල්ලුමෙන් දනී ” වගේය. ඔය ශ්‍රිලනිප යේ 21 දෙනා ගියාට එජාපයෙන් ඊට වඩා පිරිසක් එන්න ඉන්න බවත් ඒ අය එක්ක අලුත් ආණ්ඩුවක් හදන බවය. මේක හතරබීරි කතාවක් වගේම ඔලමොට්ටල කතාවකි. මහින්ද රාජපක්ෂ ඇතුලු බොහෝ මංත්‍රීවරු එකපාරටම තක හනියෙන් පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීම පාරාවලල්ලක් බවට පත්ව ඇත. එය ඉක්මන් වීමේ විපාකය අප නුදුරු දිනකදී අත් විදිනු ඇත.

අප දැන් මුහුණ දී සිටින්නේ අන් කවරදාකටත් වඩා රුදුරු ඉරණමකටය. ඒ පිරබාහරන්ට යුද්ධයෙන් දිනාගන්න බැරි වූ ඊළම සම්බන්ධන්ලා සුමන්තිරන්ලා පෑනෙ බලයෙන් පාර්ලිමේන්තුව තුලින්ම ලැබිමට ඉඩ සැලසීමය. ඒ වෙනුවෙන් වගකිව යුත්තෝ කවරහුද..? සමහර විටෙක පිරබාරන්ගේ ත්‍රස්තවාදයෙන් රට බේරාගැනීමට මහින්ද රාජපක්ෂයන්ගේ දෑත් ශක්තිමත් කල නායක කාරකාදීන් ද විය හැකිය.
මව්බිම අනතුරේ හෙලා හෙට දවසේ ලබන දේශපාලන ජයග්‍රහණයන් වලින් රටටත් ජනතාවටත් අත් වන සෙතක් නොමැති බව අප වහ වහා පසක් කරගත යුතුය. බල්ලා ඩැහැගෙන ගිය පොල් බෑය බේරාගන්නට කරවල කූරියගෙන් ගහන තකතීරුකම් වලින් අත් මිදී පොල් බෑයත් කරවල කූරියත් රැකගැනීමේ ක්‍රමෝපායන් ක්‍රියාවට නැංවිය යුතුය. විපක්ෂයේ බලවතුන් හා න්‍යාය චාරින් මේ මොහොතේ බෙදුම්වාදී අනතුර නිශ්චිත දිග පළලකින් වටහාගෙන එය පරාජය කල යුත්තේය. එසේ නොවුනොත් සිදුවන්නේ රටත් ජනතාවත් මහා උගුලක සිරවීමය. මේ ඒ සදහා වන අන්තිම අවස්ථාවද මෙය වනු ඇත.

රජරට අනුරාධ තෙන්නකෝන්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More