විදේශ පුවත්

මූල්‍ය වංචා කිරීමේ චෝදනාවට ලක්ව සිටින ඉන්දියාවේ ප්‍රබල ව්‍යාපාරිකයෙකු වූ විජේ මල්යා (Vijay Mallya) බ්‍රිතාන්‍යයේ සිට යළි ඉන්දියාවට පිටුවහල් කළ හැකි බව ලන්ඩන් අධිකරණයක් තීන්දු කර තිබේ.

ඔහු පිටුවහල් කිරීමට අදාළ නියෝගයට අනුමැතිය ලබා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය දේශීය කටයුතු අමාත්‍යංශයේ ලේකම් වෙත යැවීමට නියමිතය.

කිංග්ෆිෂර් (Kingfisher) බියර් සමාගමේ ද හිමිකරු වූ විජේ මල්යා, අමෙරිකානු ඩොලර් බිලියනයකට අධික ණය ගෙවීම පැහැර හරිමින් 2016 වසරේ මාර්තු මාසයේදී ඉන්දියාවෙන් පිට වී තිබේ.

තමන් ඉන්දියාවෙන් “පළා ගිය” බවට වන චෝදනා ප්‍රතික්ෂේප කරන ඔහු පවසන්නේ, “කොන්දේසි විරහිතව” ජූලි මාසයේදී සියලු මුදල් ආපසු ගෙවන බවට තමන් දැනුම් දී ඇති බවය.

විජේ මල්යා සඳුදා වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු විභාගයට සහභාගි විය.

නඩු විභාගයෙන් අනතුරුව එම තීන්දුවට එරෙහිව අභියාචනයක් කරන්නේ ද යන්න පිළිබඳව ඔහු අනාවරණය කළේ නැත.

“මේ තීන්දුව සම්බන්ධයෙන් මගේ නීතිඥයින් විශ්ලේෂණයක් කරයි. ඔවුන්ගේ උපදෙස් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා,” ඔහු පැවසීය.

ඉන්දියාවේ ධනවත් ම පුද්ගලයින් අතර ඉහළ ස්ථානයක රැඳී සිටි විජේ මල්යාගේ ගෞරවය බිඳ වැටුණේ ඉතාමත් ශීඝ්‍රයෙනි.

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව සහ ෆෝමියුලා 1 මෝටර් රථ තරග සම්බන්ධයෙන් ආයෝජනය කිරීමට පෙර, ඔහු සිය වත්කම් ඉහළ දමා ගත්තේ, කිංෆිෂර් බියර් සමාගම හරහාය. ඔහු 2005 වසරේදී කිංෆිෂර් ගුවන් සමාගම ආරම්භ කළ අතර මේ වන විට එය ක්‍රියාත්මක නොවේ.

කිංග්ෆිෂර් ගුවන් සමාගමේ මූල්‍ය වංචා සම්බන්ධයෙන් ඔහුට චෝදනා රැසක් එල්ල විය. ඔහුගේ මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම විමර්ශන කාර්යංශය සහ මූල්‍ය අපරාධ පිළිබඳව විමර්ශනය කරන ආයතනය පරීක්ෂණ පැවැත්වීය.

බ්‍රිතාන්‍ය රාජකීය නීතිඥ සේවාවේ පිටුවහල් කිරීම් සම්බන්ධ නීති අංශයේ හිටපු ප්‍රධානී නික් වමෝස් ප්‍රකාශ කළේ, මෙම නඩු තීන්දුව “ඉන්දීය රජයට බෙහෙවින් බලපාන තීන්දුවක් වන,” බවය.

“විජේ මල්යා අසමත් වුණා ඔහුට එරෙහිව නඩු පවරා ඇත්තේ දේශපාලනික හේතු මත කියලා තහවුරු කරන්න. ඒත් ඉන්දියාවේ බලධාරීන් මේ තීන්දුව ලබා ගැනීම වෙනුවෙන් සියල්ල කළා.”

“මොනවා වුණත් මේ තීන්දුවට එරෙහිව අභියාචනයක් කරන්න ඔහුට දින 14ක කාලයක් තියෙනවා,” නික් වමෝස් පැවසීය.

2012 වසරේදී විජේ මල්යා තමනට අයත්ව තිබූ United Spirits සමූහයේ කොටස්වලින් වැඩි කොටසක් බ්‍රිතාන්‍යයේ දැවැන්ත බීම සමාගමක් වන Diageo සමාගමට විකුණා දැමූ අතර, එම මුදල් යොදවා අදාල සමාගමේ ණය ගෙවා දැමීමටත් කිංග්ෆිෂර් ගුවන් සමාගමට ආයෝජනය කිරීමටත් පියවර ගත්තේය.

2012 වසරේදී කිංග්ෆිෂර් ගුවන් සමාගමේ ගුවන් ගමන් ආරම්භ කළ අතර ඊළඟ වසරේදී ඔහුට ගුවන් යානා බලපත්‍රය අහිමි විය. ඉන්පසු ඔහු වසර 5 ක් වාර්ෂිකව පාඩු ලැබූ අතර ඒ සඳහා ණය දීම ද මූල්‍ය ආයතන ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම ගුවන් සමාගම සම්පූර්ණයෙන් නතර කෙරිණි.

නොගෙවූ වැටුප්, මෙහෙයුම් වියදම් ඇතුළත්ව විජේ මල්ල්යාගේ ඇස්තමේන්තුගත සමස්ත ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවයි.

මීට වසර කිහිපයකට පෙර ඉහළ පෙළේ චරිතයක් වූ විජේ මල්ල්යා හඳුන්වනු ලැබුවේ, “ඉන්දියාවේ රිචර්ඩ් බ්‍රැන්සන්” ලෙසය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More