දේශීය පුවත්

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවටත් එහි සුවච කීකරු ගෝලයකු වන දෙමළ ජාතික සන්ධානය හා දෙමළ ඩයස්පෝරාවටත් මේ මොහොතේ සිංහල – මුස්ලිම් ගැටුමක් ඇවිලවීමේ උවමනාවක් ඇති බවත් එම පාපී අරමුණ පැරදවීම සඳහා බුද්ධිමත්ව කටයුතු කරන ලෙස තමන් සිංහල බෞද්ධ සහ මුස්ලිම් ජන කොටස් වෙතින් ඉල්ලා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවසුවේ අද(28) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

“මාවනැල්ල, මහනුවර ප්‍රදේශවල ඉතාමත් සංවේදී සිදුවීම් ගණනාවක් වාර්තා වෙමින් තිබෙනවා. සංවිධානාත්මකව, යම් අරමුණක් සහිතව යම් පිරිසක් බුදු පිළිම වහන්සේලාට හානි කරමින් යාම එහිදී දැකගත හැකියි. යම් දේශපාලන කුණාටුවකින් පසුව අපට මෙවැනි තත්වයන් පසුගිය කාලය තුළ දැකගත හැකි වුණා. මේ ආණ්ඩුව 2018 පෙබරවාරි 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ලබපු අන්ත පරාජය ජනතාවට අමතක කරන්න දිගන – අම්පාර ප්‍රදේශවල සිංහල – මුස්ලිම් ගැටුම් ඇවිල වූ බව මේ වන විට අනාවරණය වී තිබෙනවා.

‘පොලිසිය ප්‍රතික්ෂේප නොකළ චෝදනා‘

විශේෂයෙන් පොලිස් ඔත්තුකරුවකු වන නාමල් කුමාර නමැත්තා හඬපට ද සමග රට හමුවේ අනාවරණය කළා දිගන රජවැල්ල ප්‍රදේශයේ ඇතිවූ සිංහල – මුස්ලිම් ගැටුම පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ උවමනාව මත ඇති කළ බව. ඒ සඳහා දෙමළ ඩයස්පෝරාව සමග සම්බන්ධ වී සිටින තුෂාර නමැත්තකු මුදල් එවූ බවත් ඒවාට අදාළ රිසිට්පත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ලබා දුන් බවත් එහිදී හෙළි කළා. මෙම බරපතළ චෝදනා කිසිවක් අද වනතෙක් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා හෝ පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් ප්‍රතික්ෂේප කර නැහැ.

එදා තමන්ගේ ආණ්ඩුවට අත්වූ ලැජ්ජාසහගත පරාජය වසා ගන්න රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවට වුවමනා වුණා. ඔවුන් ඒ පරාජය සිංහල – මුස්ලිම් ගැටුමකට අවධානය යොමුකරවා යටපත් කරවීම පොලීසියේ අංශයක් වූ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාර කළා. ගැටුමට අදාළ මෙන්ම කිසිම අදාළත්වයක් නැති තරුණ පිරිස් ද අත්අඩංගුවට ගෙන වරද ඔවුන් පිට පටවා ආණ්ඩුව එදා අත පිසදා ගනු ලැබුවා. ඔවුන් කටයුතු කළේ මේ ගැටුමේ මහමොළකරුවන් ලෙසයි. මාවනැල්ලේ සිදු වූ බුදු පිළිම කැඩීමත් එවැනි ගැටුමක් ඇවිලවීමේ සාහසික ක්‍රියාවක් ද, යන සැකය අප තුළ මතු වී තිබෙනවා.

‘ආණ්ඩුවේ සුවච කීකරු ගෝලයන්’

මේ ආණ්ඩුවටත් එහි සුවච කීකරු ගෝලයකු වී සිටින දෙමළ ජාතික සන්ධානයටත් මේ මොහොතේ ද අවශ්‍යව ඇත්තේ සිංහල – මුස්ලිම් ගැටුමක්. ඒ නිසා අපි සිංහල ජනතාවගෙන් ඉල්ලනවා ‘කිසිම ලෙසකින් ඔබ නීතිය අතට ගෙන ක්‍රියා කරන්න එපා’ කියා. ඒ වගේම මුස්ලිම් ජනතාවට කියනවා ‘කවරකුගේ හෝ බලපෑමෙන් සිදුවන මේ ක්‍රියාවන් ජාති ආගම් බේදයෙන්තොරව පිටුදකිමු’ කියා. අපි සියලුදෙනාම ජාති ආගම් බේදයෙන් තොරව බෙදා හදාගෙන පාවිච්චි කරන්නේ එකම හිරු එළිය, එකම පෘථිවිය, එකම අහස. ඉතින් එහෙනම් ඇයි අපට අනිකාගේ ආගමික නිදහස ඉවසන්න බැරි ? බුදුරජාණන්වහන්සේගේ පිළිමයකට හානි කළා කියලා ථේරවාදී බුදුදහමට හානියක් කළ හැකි ද ? මේ මොහොතේ මේ පාපී බලවේග සූදානම් වෙන්නේ ගැටුමක් අවුලුවා සිංහල බෞද්ධ ජනතාව ගැටුම්කාරී පිරිසක් බවට ඔවුන්ට ලේබලයක් ගැසීමටයි. කිසිවකුත් ඊට ඉඩ නොතැබිය යුතුයි.

පසුගිය දිනවල අපි දුටුවා, බටහිර රටවල තානාපතිවරුන් තමන්ගේ ඉත්තා රනිල් වික්‍රමසිංහගේ අගමැති පට්ටමට තට්ටු වෙන්න හදනකොට දඟලපු දැඟලිල්ල. මේ පරගැති පාලනය තම ප්‍රාණය රැක ගත්තේ බටහිර හාම්පුතුන්ගේ හයියෙන්. එවැනි පාලකයන් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ඕනෑම සාහසික ක්‍රියාවක් කිරීමේ ඉඩකඩක් ඇති බව මේ රටට ආදරය කරන සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව තේරුම් ගත යුතුයි. මේ පරගැති පාලනය තමන්ගේ පැවැත්ම වෙනුවෙන් සිංහල – මුස්ලිම් ගැටුම් පමණක් නොවෙයි සියලු ජනකොටස් අතර ගැටුම් හැදීමට ද ඉඩ තිබෙනවා.

‘ලක්මාතාවගේ සියලු දරුවන් රකින හමුදාවක්’

දෙවැනි කාරණය ලෙස මෙහිදී සිහිපත් කළ යුතුයි පසුගියදා උතුරු නැගෙනහිර ප්‍රදේශවල ආපදා තත්වයක් ඇති වූ අවස්ථාවේදී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් කටයුතු කළ ආකාරය. ඔවුන් තමයි එම ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් වූ දෙමළ, මුස්ලිම් ජනතාවගේ දිවි බේරා ගනු ලැබුවේ. ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසනු ලැබුවේ. ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් යළිත් වරක් ඔප්පු කළා ‘අපි කිසියම් ජාතිවාදී පදනමකින් බිහි වූ හමුදාවක් නොවෙයි, අපි ශ්‍රී ලංකා ජාතිය රකින්න ඉන්න හමුදාවක්’ කියලා. ඇතැම් අන්තවාදී ජාතිවාදීන් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව සලකන්නේ ‘සිංහල හමුදාවක්’ ලෙසටයි. ඔවුන් එසේ ‘සිංහල හමුදාවක්’ යැයි කීමට පදනම හදාගන්නේ මේ රටේ බහුතර ජනකොටස වන සිංහල ජනතාවගේ දරුවන් වැඩිදෙනකු මෙම හමුදාව තුළ සිටීමයි. මේ අන්තවාදී ජාතිවාදීන්, බහුතරය සිංහල වන හමුදාවට ‘සිංහල හමුදාව’ කියනවා නම් ඔවුන්ගේ ඒ තර්කය අනුව සිංහල බහුතරය සිටින රට ‘සිංහල රට’ විය යුතුයි. නමුත් ඒක නම් ඔවුන් පිළිගන්නේ නැහැ. සිංහල රට කියා නොහිතන මේ අන්තවාදීන් ‘සිංහල හමුදාව’ කියා කීමට නම් කිසිවිටෙක පසුබට වෙන්නේ නැහැ.

මේ ආකාරයට මේ රටේ ආරක්ෂක හමුදාවන් මේ රටේ සුජාත දූපුතුන් රකින්න කටයුතු කළේ දෙමළ ජාතික සන්ධානයේ නායකයන් ‘නත්තල් සුදිය’ භුක්ති විඳින්න බටහිර රටවලට ගිහින් සිටියදීයි. මේ විපතේ දී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව කටයුතු කළ ආකාරය දෙස බලා සිටි සාමාන්‍ය දෙමළ ජනතාව සහ දෙමළ ජාතික සන්ධානයේ නායකයන් අතර උතුරෙන් හමුදා කඳවුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් මත දෙකක් ඇති වීම වළක්වන්න බැහැ. දැන් බලන්න ‘අම්පාර තිරුක්කෝවිල් හමුදා කඳවුර ඉවත් කරන්න එපා’ කියා ඒ අවට දෙමළ ජනතාව ඒ කඳවුර ඉදිරිපිට උද්ඝෝෂණය කරමින් සිටිනවා. ඔවුන් කියනවා, ‘අපේ දරුවන් මත්කුඩු, ස්වාභාවික ආපදා ආදියෙන් ගලවා ගන්න නම් අපට මේ කඳවුර ඕනේ’ කියා. ඒ තමයි සාමාන්‍ය දෙමළ ජනතාවගේ මතය. බෙදුම්වාදී, ජාතිවාදී, අන්තවාදී දෙමළ ජාතික සන්ධානයේ නායකයන්ගේ මතයට විරුද්ධ මතයකයි අද සාමාන්‍ය දමිළ ජනතාව ඉන්නේ. ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා, ‘තිරුක්කෝවිල් හමුදා කඳවුර පමණක් නොවෙයි සාමාන්‍ය දෙමළ ජනතාවගේ හඬට කන් දීලා ඔවුන් ආපදාවකදී බේරාගන්න සමත් හමුදා කඳවුරු සියල්ල ඉවත් කිරීම නතර කරන්න’ කියා. අද උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීමට සූදානම් වන්නේ එජාපය හා දෙමළ ජාතික සන්ධානය අතර ඇති කරගත් ගිවිසුමක් අනුවයි. අපි මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව උතුරේ හා නැගෙනහිර ආපදාවන්ට ලක්වූ ජනතාව බේරා ගැනීම සඳහා කළ කැපවීම වෙනුවෙන් ඔවුන්ට ශීර්ෂ ප්‍රණාමය පුද කරනවා.

‘පාතාලයට යළි පණ ඇවිත්’

පසුගිය දින 51 තුළ නිහඬ වූ පාතාලය, රනිල් වික්‍රමසිංහගේ අගමැති පට්ටම ආරක්ෂා වුණාට පසුව යළිත් පණගසා නැගිටලා දිනපතා මිනීමරනවා. දැන් මාලිගාවත්ත පැත්තෙ වයස අවුරුදු හතේ දරුවන් දූෂණය කරන තරමට පාතාලය දරුණු වී තිබෙනවා. මේ පිළිබඳව පැමිණිලි පොලීසිය භාරගන්නේ නැහැ. ඊට හේතුවී ඇත්තේ ඒ ප්‍රදේශයේ සිටින ආණ්ඩුවේ ප්‍රබල දේශපාලනඥයකු විසින් පොලීසියට බලපෑම් කිරීමයි. මේ ආණ්ඩුව පසුගිය දිනවල ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා කෑගැසුවා. දැන් මේ ආණ්ඩුව මිනිසුන් තැනතැන මරමින් යන්න පාතාල කල්ලිවලට ප්‍රජාතන්ත්‍රවාදය ලබා දී තිබෙනවා. ඒ වගේම මත්කුඩු බහුල කරන්න ප්‍රජාතන්ත්‍රවාදය ලැබී තිබෙනවා. තමන් අකමැති ජනමාධ්‍යවලට ‘කළු ජනමාධ්‍ය’ කියා පාර්ලිමේන්තුව තුළ තර්ජනය කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදය දැන් ලැබී තිබෙනවා. ඒ විතරක් නොවේ රංගේ බණ්ඩාර, රාධක්‍රිෂ්ණන් යන එජාප මන්ත්‍රීවරුන්ට ‘අනේ අපටත් ඇමතිකමක් දීපල්ලා’ කියා වැලපීමේ ප්‍රජාතන්ත්‍රවාදය දැන් ලැබී තිබෙනවා.

‘උතුරු සංවර්ධන අමාත්‍යාංශයේ වැඩ කෙරෙන හැටි’

හිටපු අමාත්‍ය ස්වාමිනාදන් මහත්මයාට ද ඇමතිකම අහිමි වී තිබෙනවා. ඔහුට උතුරු සංවර්ධන අමාත්‍යාංශය නොදී අගමැතිවරයා එය ඔහුගේ අතේ තබාගෙන සිටිනවා. එය සිදුව ඇත්තේ එජාප නායකයා හා දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරන්ලා අතර ඇතිකරගත් ගිවිසුම අනුවයි. ඒ අනුව උතුරු සංවර්ධන අමාත්‍යාංශය වෙත වෙන් කරන මුදල් වැය කළ යුත්තේ දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරන්ලා කියන වැඩවලට විතරයි. දෙමළ ජාතික සන්ධානයේ වුවමනාව අනුව කටයුතු කිරීමට ස්වාමිනාදන් මන්ත්‍රීවරයා අකැමති වීම නිසයි ඔහුට මේ අමාත්‍යාංශය නොදී එය අගමැතිවරයා අතේ තබාගෙන ඇත්තේ. දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරන්ලා කැබිනට් අමාත්‍යාංශයක් ලබා නොගත්තාට උතුරු සංවර්ධන අමාත්‍යාංශය රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලවා පාලනය කරවනවා. අද රනිල් වික්‍රමසිංහ මහත්තයා සාමාන්‍ය දෙමළ ජනතාවට හිමි මුදල් ජාතිවාදී, අන්තවාදී දෙමළ සන්ධානයේ උවමනාවන් වෙනුවෙන් යොදවනවා. ඒකත් මේ මහත්වරුන් සටන් කරලා ලබාගත්තු ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්”

මෙම මාධ්‍ය හමුවට ජානිපෙ කඩුවෙල මහනගර සභා මන්ත්‍රී යූ. ධනවංශ මහතා ද සහභාගී විය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More