දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පිරිස බලයට පැමිණ ගත වූ දින 10 තුළ ගනු ලැබූ ප්‍රධාන පියවර කිහිපයෙන් පැහැදිලි වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ධජය අඩකුඹු කිරීම බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අද නිවේදනයක් නිකුත් කරමින්ය.

අගමැතිතුමාගේ වාසනාවට අකුල් නොහෙලනු !

ප්‍රජාතන්ත්‍රවාදයේ ශුද්ධවන්තයන් ලෙස බටහිර ප්‍රජාවගේ නොමද ගෞරවයට පාත්‍රවූ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ පිරිස බලයෙහි පිහිටුවා ගතවූ දින දහයක කාලය තුළ ගනු ලැබූ ප්‍රධාන පියවර කිහිපයෙන් පැහැදිලිවනුයේ ප්‍රජාතන්ත්‍රවාදයේ ධජය අඩකුඹ කිරිම සඳහා ඔවුන් තුල තිබෙන සැබෑ ලැදියාව නොවේද? සැබැවින්ම, බලය ලබාගත් පළමු දින කිහිපය ඔවුන් නැවතත්, නැවත නැවතත් අප හමුවේ අවධාරණය කරනුයේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම සිඳලිම වෙනුවෙන්ම භෞතීස්ම වූ සිය දේශපාලන නග්න භාවයයි.

දෙසැම්බර් 16 පිළිබද ඔවුන්ගේ විග්‍රහය වූයේ දැවැන්ත සටනකින් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂාකරගත්, ප්‍රජාතන්ත්‍රවාදය නැවත අභිෂේක කරනු ලැබූ දිනය වශයෙනි. මන්ද, එය රනිල් වික්‍රමසිංහ මැතිතුමා නැවත අගමැති ලෙස දිවුරුම් දුන් දිනය වූ බැවිනි.

“යුක්තියේ හඬ” අරගලය හරහා නැවත අගමැති ලෙස හඬ අවදි කල රනිල් වික්‍රමසිංහ මැතිතුමා සිය පළමු රාජකාරිය ලෙස ඉටුකළේ කුමක්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (1) (අ) එනම්, “අමාත්‍ය මණ්ඩලයේ මුළු සාමාජික සංඛ්‍යාව තිහ (30) නොඉක්මවිය යුත්තේය.“ වගන්තිය අමු අමුවේ උල්ලංඝනය කරමින් කැබිනට් මණ්ඩලය සඳහා 36 දෙනෙකු පත්කරන ලෙස ජනාධිපතිවරයගෙන් ලිඛිතවම ඉල්ලා සිටීමයි. එහෙත්, අගමැතිතුමාගේ වාසනාවට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඬ නැගූ සියල්ලෝම නිහඬව සිටින්නෝය.

ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයා ලෙස කිරුළු දරමින් නැවත අගමැතිවරයා වශයෙන් පත්ව, දෙසැම්ර් 18 දින පාර්ලිමේන්තුවට හා හා පුරා ගිය වික්‍රමසිංහ මැතිතුමා සමාරම්භක කතාව ලෙස සිදුකළේ කුමක්ද? “කළු” ජනමාධ්‍ය වෙත “සුදු” අගමැතිවරයා ලෙස තර්ජනය කළ එතුමා මාධ්‍ය ගැලරිය දෙස ඇඟිලි දිගු කරමින් තරවටු කළේ “චෙක්පත්” සූදානම් කරගන්නා ලෙසයි. එහෙත්, වාසනාව තව දුරටත් අගමැතිතුමා තරයේ වැළඳ සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ යෝධ කුළුණක් ලෙස හැඳින්වෙන ජනමාධ්‍ය වෙත පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී කරනු ලබන තර්ජනය හමුවේ සාධාරණ සමාජයක් වෙනුවෙන් කෑ මොර දුන්නෝ නිහඬ වන පසුබිමකය.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් නොවන බැවින් ඇමති මඩුල්ල 32 ක් කරන බවට ආණුඩුවේ ඇමැත්තෝ ගුගුලති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 (3) “ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් ද අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ද වන්නේය.“ උපුටා දක්වමින් මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී දුෂ්ඨ උත්සාහයට එරෙහිවීමට කිසිඳු බලවේගයක් නැත. ප්‍රජාතන්ත්‍රවාදයේ ශුද්ධවන්තයින් සිටින්නේ මදන මෝදකය කෑ වුන් මෙන් අඩ සිහියෙන්දෝයි සැක මතුවිය හැක. මන්ද, අපේ අගමැතිතුමාගේ වාසනාව සියල්ලටම ඉහලින් තිබෙනා බැවිනි.

අමාත්‍යවරයෙකුගේ වරප්‍රසාද වෙත කෙළ හලන මජර දේශපාලුවන් සන්තර්පණය කොට පාර්ලිමේන්තුවේ 113 බහුතරය හදා ගැනිමට ඊනියා “ජාතික ආණ්ඩුව” පිහිටුවීම සඳහා මුස්ලිම් කොන්ග්‍රසයේ තනි (1) මන්ත්‍රීවරයා ප්‍රමාණවත් යැයි ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දේවතාවුන් පවසති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (5) ඉතා පැහැදිලිය. “ජාතික ආණ්ඩුවක් යනු පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගන්නා දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම සහ පාර්ලිමේන්තුවේ අනිකුත් පිළිගත් දේශපාලන “පක්ෂ” හෝ ”ස්වාධීන කණ්ඩායම්” එකතුව පිහිටුවනු ලබන ආණ්ඩුව වන්නේය.” එහෙත්, එක් මන්ත්‍රීවරයෙකු සමඟ ගිවිසුම්ගතව, ඔහුට මුවා වී කැබිනට් මණ්ඩලය 30 සිට 50 දක්වා 20 කින් වැඩි කරගැනීමට දරණ නිර්ලජ්ජිත උත්සාහය ඉදිරිපිට ලැජ්ජාවට පත් වූ ප්‍රජාතන්ත්‍රවාදයේ උරුමක්කරුවන් සොයාගත නොහැක. අපේ අගමැතිතුමා කොතරම් වාසනාවන්තද?

අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දුන් වහා එක්සත් ජාතික පක්ෂයේ උප නායක සජිත් ප්‍රේමදාස මහතා රට හමුවේ දිව්රා ප්‍රකාශ කර සිටියේ මීට පසු රැකියා අවස්ථා ලැබෙනුයේ එජාප පාක්ෂිකයින්ට පමණක් බවයි. උස අයට සිකියුරිටි සහ මිටි අයට කම්කරු ලෙස හෝ ඒවා එජාප පාක්ෂිකයින් තුළ බෙදී යනු නියතය. රටේ නීති රිති සම්පාදනය විය යුත්තේ සහ ආණ්ඩුව තීන්දු තීරණ ගත යුත්තේ එජාප පාක්ෂිකයින්ට පමණක් අනාගතයක් නිර්මාණය කිරිමට ද? එහෙත්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කඩු / හෙල්ල අමෝරාගත් වීරෝදාර සෙබළුන් දැඩි නින්දකය. නිහඬය. අනේ, අපේ අගමැතිතුමා මොනතරම් වාසනාවන්ත ද?

අගමැතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා පත්කරගැනිම සඳහා දමිළ ජාතික සන්ධානය (TNA) විසින් දිවුරුම් ප්‍රකාශ 117 ක් ලබා දිමට ද ගරු කතානායකතුමා ඉදිරිපිට අත් ඔසවා සිය නමින් ඡන්දය පාවිච්චි කිරිමට ද නෛතිකව සහ ව්‍යවස්ථානුකූලව කටයුතු කරන ලදි. ඉන් අනතුරුව, සම්පන්දන් මැතිතුමා විපක්ෂ නායක වශයෙන් ද, (TNA) කණ්ඩායම විපක්ෂය ලෙස ද ආරක්ෂා කරගත යුතු යැයි එජාපය සහ මුස්ලිම් කොන්ග්‍රසය ගුගලද්දී මීට සති දෙකකට පෙර කේශර සිංහයන් ලෙස ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ගර්ජනා කළ ”බහුතර ප්‍රේමීන්” බටු මියන් සේ භූගත ගුල්තුලට ගාල් වෙමින් සිටි. එහෙත් මේ මොහොතේ වුව ද සිංහයන් බලු වී ඇතැයි උපකල්පනය කිරීමට කිසිවෙකුත් ඉක්මන් විය යුතු නොවේ.

ප්‍රජාතන්ත්‍රවාදය, ජනතා පරමාධිපත්‍ය, පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උඩු යටිකුරු වුව ද, ඒ සියල්ල සිදු නොවූවාසේ නොපෙනූ දෙනෙත්ව නොඇසූ දෙසවන්ව සිටිනා සිවිල් සමාජයක් නිර්මාණය කරගැනීමට ලොව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ කිසිම නායකයෙකු හෝ අසමත් විය. එනයින් බලන විට වික්‍රමසිංහ මැතිතුමාගේ වාසනාව කිසිවකුට ප්‍රශ්න කළ හැකිද?

දැන් ප්‍රශ්නය පැහැදිලිය. විරූපී බව තිබෙන්නේ කණ්නාඩියේ ද? රූපයේ ද? 2019 වසරේ කේන්ද්‍රීය ජාතික අධිෂ්ඨානය ලෙස කණ්නාඩියට පහරදී බිඳ දමන්නවුන්ට බුද්ධිය හා දේශපාලන ඉව ලැබේවායි ප්‍රාර්ථනා කිරීමින් අපි නව වසරේ එලිපත්තට පියවර තබමු ! අප එසේ ප්‍රාර්ථනා කරන්නේ 2019 ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ වඩාත් අර්බුදකාරී වසර විය හැකි බවට සියඵ පෙරමග ලකුණු දැනටමත් පහලවී ඇති බැවිනි.

ඩලස් අලහප්පෙරුම
පාර්ලිමේන්තු මන්ත්‍රී



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More