පුරවැසි කොලම

යහපාලන ආණ්ඩුව ද්‍රවිඩ සංධානයේ සම්බන්ධන් මන්ත‍්‍රීවරයා විරුද්ධ පක්‍ෂයේ නායකයා ලෙස පත් කළේය. ඔහුගේ පක්‍ෂයට තිබුණේ ආසන 16 ක් පමණි. නමුත් යහපාලන රජය, තමන් ජාතික රජයක්ය යන මුවාවෙන් ඉතා වංචනික ලෙස ආසන 54 ක් තිබූ ඒකාබද්ධ විපක්‍ෂයට එම විරුද්ධ පක්‍ෂ නායක කම දීමෙන් වැළකුනි. ලෝකයේම පාර්ලිමේන්තු ක‍්‍රියාදාමයන්/ සම්ප‍්‍රදායයන් හෑල්ලූවට ලක් කරමින් අපේ පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක තුමා වසර 03 ක්ම ආණ්ඩු පක්‍ෂය විසින් ගෙන එන අය වැයට පක්‍ෂව ඡන්දය දුනි. එසේම නොබෝදා රනිල් වික‍්‍රමසිංහ සම්බන්ධයෙන් පැවැත්වූ ඡන්දයේදී ද්‍රවිඩ සංධානය රනිල්ට පක්‍ෂව ඡන්දය දුන් නිසා විරුද්ධ පක්‍ෂයක් විසින් ආණ්ඩු පක්‍ෂයේ අගමැති පත් කළ ප‍්‍රථම අවස්ථාව ලෙසද එම සිද්ධිය වාර්තාගත විය.

වර්තමාන රජයේද ඉතා පැහැදිලිව මහින්ද රාජපක්‍ෂ මහතාට විරුද්ධ පක්‍ෂ නායකකම ලබා දී තිබියදී එක් දුර්වල තාක්‍ෂණික හේතුවක් පෙන්වා දෙමින් සම්බන්ධන් මන්ත‍්‍රීවරයා සහ සුමන්දිරන් මන්ත‍්‍රීවරයා සමග එක් වෙමින් එ.ජා.ප.ය පවසන්නේ සම්බන්ධන් විරුද්ධ පක්‍ෂ නායකයා විය යුතුය කියාය. කුප‍්‍රකට දින සියයේ කාලය තුළ සම්බන්ධන් මන්ත‍්‍රීවරයා විරුද්ධ පක්‍ෂ නායකයා ලෙස පත් කිරීමට පෙර එවකට පාර්ලිමේන්තු වරයෙකුව සිටි මා විසින් කථානයක වරයා වූ චමල් රාජපක්‍ෂ මහතාට ලිඛිතව දන්වා සිටියේ ඔහුව එම පදවියට පත් කිරීම කිසිසේත්ම නුසුදුසු බවය. සම්බන්ධන් මන්ත‍්‍රීවරයා ඇතුළු සියලූ මැති ඇමති වරුන්ට පිටපත් කොට යැවූ එම ලිපියෙන් කිසිත් පලක් නොවූවද වර්තමානයේදීත් සම්බන්ධන් ඇතුළු එ.ජා.ප.ය ඔහුව විරුද්ධ පක්‍ෂ නායකයා බවට පත්කිරීමට කැස කවන බැවින් ජනතාවගේ දැන ගැනීම සඳහා මා විසින් එදා කථානයකතුමාට ඉදිරිපත් කළ කරුණු මෙසේ සඳහන් කරමි.

(අ.) 2012 මැයි මාසයේ 27 වැනිදා මඩකලපුවේදී පැවති ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්‍ෂයේ 14 වන ජාතික සමුළුව අමතා සම්බන්ධන් කළ ප‍්‍රකාශය පහත සඳහන් පරිදි වේ.

x ”අප විසින් යම් දේවල් ගැන දක්වන නම්‍යශීලිභාවය සහ යම් එකඟතාවන්ට එලඹීම හුදෙක් ජාත්‍යන්තර ප‍්‍රජාව දිනා ගැනීම සඳහා කරන්නාක් පමණි. එයින් හැෙඟන්නේ අපි අපගේ මූලික අරමුණ අත හැරියා යන්න නොවේ. අපගේ බලාපොරොත්තුව වන්නේ එකීය රටක් යන්නෙන් බැහැරව එක්සත් රටක, දෙමළ ජනතාවට තම අභිමානය රැක ගනිමින් පූර්ණ බලතල සහිතව ආණ්ඩු කළ හැකි දේශපාලන විසඳුමකි. අපට සන්නද්ධ අරගලයකින් ලබා ගැනීමට නොහැකි වූ දෙමළ ජනතාවගේ එම අභිලාශයන්, ජීවිත හානියකින් තොරව ලබා ගැනීමට, ජාත්‍යන්තර ප‍්‍රජාව, අපට සහාය ලබා දේ යැයි අප සිතනවා”

(ආ.) මෙහි ”සන්නද්ධ අරගලය” යනු කොටි ත‍්‍රස්තවාදය වේ. කොටි ත‍්‍රස්තවාදය දියත් කළේ දෙමළ ඊලාම් රාජ්‍යයක් ලබා ගැනීමටයි. එසේනම් සම්බන්ධන්ගේ අරමුණත් එයම වේ. වෙනසකට තිබෙන්නේ ඔහු එය ලබා ගැනීමට යන්නේ ජීවිත හානියකින් තොරව වීමයි.

(ඇ.) සම්බන්ධන් විසින් කරන ලද ”එකීය රටක් යන්නෙන් බැහැරව එක්සත් රටක් දෙමළ ජනයාගේ අභිලාශයන්” යන ප‍්‍රකාශය 1976 වඩුක්කොඩෙයි සම්මුතියේ සඳහන් වූවකි. වඩුක්කොඩෙයි සම්මුතිය බෙදුම්වාදී සන්නද්ධ අරගලයේ ආරම්භය ලෙස සැලකේ.

(ඈ.) වඩුක්කොඩෙයි ප‍්‍රකාශනය වචනයේ පරිසමාප්තියෙන්ම බෙදුම්වාදී සම්මුතියකි. එහි අවසන් අරමුණ වන්නේ වෙනම දෙමළ රාජ්‍යයකි. එබැවින් ”එක්සත්” ශ‍්‍රී ලංකාවක් තුළ ඔවුන් කියන්නාක් මෙන් පූර්ණ බලතල සහිත දෙමළ ප‍්‍රාන්තයක් බිහිවුවද එය වඩුක්කොඩෙයි සම්මුතිය මුල් කරගෙන කරන්නක් බැවින් අවසානයේ අත්‍යවශ්‍යයෙන්ම ඒ අනුව වෙනම රජ්‍යයක් කරා යෑමට ඉඩ තිබේ.

(ඉ.) සම්බන්ධන් මන්ත‍්‍රීතුමා ඉලංගෙයි තමිල් අරුසු කච්චි යන පක්‍ෂයේ ප‍්‍රබල සාමාජිකයෙකි. එම පක්‍ෂ ව්‍යවස්ථාවේ මෙසේ සඳහන් වේ. (2015/1981)

x අරමුණ – එක්සත් පෙඩරල් ශ‍්‍රී ලංකාවක ස්වයං පාලන අයිතිය සඳහා ආර්ථික, දේශපාලන, සංස්කෘතික පූර්ණ නිදහස සමග ස්වාධීන දෙමළ රාජ්‍යයක් බිහි කිරීමය.

මෙයට 27/04/2008 වන දින ”දෙමළ නිජබිමෙහි සථාපනය වන දෙමළ රාජ්‍යයේ ජීවත් වන සුළු ජාතීන්ගේ පැවැත්ම සහතික කරමු” යන්නද එක්කොට තිබේ.

(ඊ.) වඩුක්කොඩෙයි සම්මුතියේ මෙසේද සඳහන් වේ.

x ”මේ රටේ දෙමළ ජාතියේ පැවැත්ම උදෙසා නිදහස්, ස්වාධීන අනාගමික සමාජීය දෙමළ ඊලමක් ස්ථාපිත වනු ඇත”

(උ.) ඉහත ෙඡ්දයන්ගෙන් සනාථ වන්නේ ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්‍ෂයේ ව්‍යවස්ථාවේ සඳහන් අරමුණු වඩුක්කොඩෙයි සම්මුතියෙහි එන අරමුණු හා සමාන බවයි.

(ඌ.) මෙයින් පෙනී යන්නේ ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්‍ෂයේ ප‍්‍රබල සාමාජිකයෙකු වන ආර්. සම්බන්ධන් මන්ත‍්‍රීවරයාද උක්ත අරමුණු සඳහා පෙනී සිටින බවයි.

(ඒ.) කරුණු එසේ බැවින්, ආර්. සම්බන්ධන් විපක්‍ෂ නායක බවට පත් කරන්නේ නම් ඊට පළමු ඔහු විසින් වඩුක්කාඩෙයි සම්මුතිය පූර්ණ වශයෙන්, විවෘතව, ප‍්‍රතික්‍ෂේප කළ යුතු බැව් මගේ හැඟීමයි.

මගේ මෙම විරුද්ධ තාවය නොසලකා සම්බන්ධන්ව විරුද්ධ පක්‍ෂයේ නායකයා ලෙස පත් කරන ලදි. ඔහු අද වන තුරුත් වඩුක්කාඩෙයි සම්මුතිය ප‍්‍රතික්‍ෂේප කර නොමැත. එසේ නම් වසර 3 1/2 ක් රටේ 4 වන පුරවැසියා ලෙස සියලූම වරප‍්‍රසාද ලබා දුන්නේ, දේශීය සහ විදේශීය ගරු බුහුමන් ලැබීමට අවස්ථාව සලසා දුන්නේ උතුරේ වෙනම දෙමළ ඊලාම් රාජ්‍යයක් ස්ථාපනය කළ යුතු යැයි විවෘතව කියන පුද්ගලයෙකුටය. අප රටේ බලයේ සිටීම සඳහා තම මාතෘභූමිය පාවාදෙන නින්දිත පාලකයෝ සිටින බවට මීටත් වඩා හොඳ සාක්‍ෂියක් වෙන තිබේද ?

රනිල් වික‍්‍රමසිංහ නැවත බලයට ගෙන ඒමට මූලිකව කටයුතු කළේ ද්‍රවිඩ සංධානයේ සුමන්දිරන් මන්ත‍්‍රී වරයාය. ඔහු දැන් හැසිරෙන්නේ මුළු පාර්ලිමේන්තුවේම අධිපති ලෙසිනි. එදා ඔහු පාර්ලිමේන්තුවේ දී තම අසුනින් නැගිට රනිල් වික‍්‍රමසිංහගේ ඇඟට උඩින් අත දමා අසුන් ගෙන සිටි කිරිඇල්ලට දඹරැගිල්ල දිගු කොට තර්ජනය කළේ සියලූම ලෝකවාසීන් ඉදිරිපිටය. කිරිඇල්ල බිය වූ අතර, රනිල් වික‍්‍රමසිංහ බිම බලා සිටිනු අප දුටුවෙමු. කාරණය කුමක් වුණත් පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ද්‍රවිඩ සංධානය විසින් එක්සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට කළ එම නිග‍්‍රහය ඉදිරියේ අනෙක් එ.ජා.ප. මන්ත‍්‍රී වරුන්ද සිටියේ කසාය බිව් ගොලූවන් සේය. ගෝල්පේස් හී කටමැත දෙඩූ එක් දේශපාලඥයෙක්වත් එදා සුමන්දිරන්ට කිසිත් නොකිවුවේය. ඔවුන් එතරම් සුමන්දිරන්ට බයය. සුමන්දිරන්ලා තරහා කර ගත්තොත් රජයක් පිහිටුවා බලය ලබා ගැනීමට නොහැකිය. එබැවින් බලය ලබා ගැනීම සඳහා සුමන්දිරන්ට තම ආත්ම ගෞරවය පමණක් නොව තමන්සතු ඕනෑම ජීවි, අජීවි වස්තුවක් පරිත්‍යාග කිරීමට අද එ.ජා.ප. මන්ත‍්‍රීවරු සියලූම දෙනා සැදී පැහැදී සිටී.

ද්‍රවිඩ ජාතික සංවිධානය බිහි කළේ ප‍්‍රභාකරන් ඇතුළු කොටි ඩයස් පෝරාවයි. ඒ 2001 සැප්තැම්බර් මස 11 වැනිදා ඇමරිකාවට එරෙහිව දියත් කළ දැවැන්ත ත‍්‍රස්ත ප‍්‍රහාර හේතුවෙන් ලෝකයේ සියලූම රටවල් ත‍්‍රස්තවාදීන්ට එරෙහිව අවි අමෝරාගත් නිසාය. 2001 සැප්තැම්බර් 11 වන දින ප‍්‍රහාරයට පසුව ද්‍රවිඩ සංධානය බිහි වුණේ 2001 ඔක්තෝබර් 22 වැනි දිනය. මුළු ලෝකයේම සහාය ලබා ගෙන කොටින්ට විරුද්ධව ප‍්‍රහාරයන් දියත් කොට උන් විනාශ කිරීමට අනගි අවස්ථාවක් එමගින් උදා වුණත් අපේ නිවට පාලකයන් (රනිල් වික‍්‍රමසිංහ ඇතුළු) කළේ කොටි සමග සාම ගිවිසුමක් අත්සන් කිරීමය. (2002 පෙබරවාරි මස) බියෙන් මුසපත්ව සිටි කොටින්ට මීළඟ දැවැන්ත ප‍්‍රහාරය සඳහා ආර්ථීක, දේශපාලන, සමාජීය සහ යුදමය වශයෙන් ශක්තිමත් වීමට අවස්ථාව ලැබුනේ මෙම ඊනියා ගිවිසුම මගිනි.

2004 මැතිවරණයට ද්‍රවිඩ සංවිධානය ඉදිරිපත් විය. කොටි ත‍්‍රස්තයන් විසින් අනෙක් එකදු දෙමළ දේශපාලන පක්‍ෂයකට ඉදිරියට ඒමට අවස්ථාව ලබා නොදුනි. යුරෝපීය සංගමයේ මැතිවරණ නිරීක්‍ෂණ මණ්ඩලයේ ප‍්‍රධානී ජෝන් කුලනන්ගේ වාර්තාවේ එය සාක්‍ෂි සහිතව පැහැදිලිව සඳහන් වී තිබේ. එවර ඔවුන් ආසන 22 ක්් දිනාගත් අතර, ඔවුන් සියලූම දෙනාම ප‍්‍රථමයෙන් දිවුරුම් දුන්නේ ප‍්‍රභාකරන් ඉදිරියේය.

ද්‍රවිඩ සංවිධානය කිසි දිනකවත් කොටින් විසින් කරන ලද මනුෂ්‍ය ඝාතන හෙලා දුටුවේ නැත. මිනිස් පලිහවල් යොදා නොගන්නා ලෙස කොටින්ගෙන් ඉල්ලූවේ නැත. කුඩා ළමුන් 3000 ක් පමණ තම හමුදාවට බඳවා මැරෙන්න සලස්වද්දී කොළඹට වී තමන්ගේ ළමයි කොළඹ රාජකීය විද්‍යලයට ඇතුළත් කොට සුවසේ සිටියහ. අදටත් ද්‍රවිඩ සංවිධානය එ.ජා.සංගමයේ 1373 වගන්තියට අනුව තහනම් කොට ඇති කොටි දෙමළ රාජ්‍ය නොවන සංවිධාන සමග සමීප සම්බන්ධතා පවත්වති. සුමන්දිරන් නිරතුරුවම කියන්නේ ඔවුන්ට පෙඩරල් වලටත් එහා ගිය කොන්ෂිඩරල් රාජ්‍යයක් ( ඕනෑම මොහොතක වෙන්විය හැක) අවශ්‍ය බවය.

අද එ.ජා.ප. මන්ත‍්‍රීවරුන් බලය සඳහා දනින් වැටී සිටින්නේ එවන් වූ ද්‍රවිඩ සංවිධානයේ සුමන්දිරන් අභියසයි. රටට, මාතෘභූමියට ආදරේ කරන, ආත්ම ගෞරවය ඉහළින් තබා ඇති එ.ජා.ප. පාක්‍ෂිකයිනි, ඔබ ගෙන් එක් කරුණක් ඇසීමට කැමැත්තෙමි. සුමන්දිරන් වැනි රට දෙකඩ කිරීමට මාන බලන බෙදුම් වාදියෙක් සමග අත්වැල් බැඳදෙන එ.ජා.ප. රජයක් බිහි කිරීමට දායක වනවාද? එසේ නැතහොත් මාතෘභුමියේ අනාගතය ගැන සලකා බලා දේශපේ‍්‍රමීන් සමග එක් වනවාද යන්නයි.

රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More