පුරවැසි කොලම

ශ්‍රී ලංකාවට ආනයනය කරන පිරිපහදු කළ පාම් තෙල් ප්‍රමාණය 2000 වසරේ සිට 2018 වන විට එනම් වසර 18ක් තුළ මෙට්‍රික්ටොන් 50,000 සිට මෙට්ට්‍රික් ටොන් 200,000 දක්වා හතර ගුණයකින් වැඩි වී ඇත. එසේම මෑත කාලීනව පිරිපහදු නොකළ තෙල් ආනයනයද ඉතා විශාල ලෙස වැඩිවී ඇත.

මේ වනවිට එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 120,000 දක්වා ඉහළ ගිය බව රේගු වාර් තා සාක්ෂි දරයි. එසේ බොරතෙල් ආනයනය ඉහළ යාමට හේතු විය හැක්කේ ලෝක වෙළඳපොලේ පිරිපහදු කළ පාම් තෙල් වලට වඩා බොර පාම් තෙල් මිල අඩුවීම සහ ඒ සඳහා වන ආනයන බදු අඩු මට්ටමක පැවතීම ය. ඊට අමතරව එසේ අඩු මිලට ලබා ගන්නා බොර පාම් තෙල් පිරිසිදු කළ තෙල් වශයෙන් ව්‍යාජ ලෙස ලේඛන සකස් කොට ආනයනය කිරීමට ද හැකියාව ඇත. නමුත් එවැනි තත්ත්වයක් වළක්වා ගැනීම සඳහා අදාළ තොග ගොඩබෑමට පෙර ඒවායේ සාම්පල පරීක්ෂාවට ලක් කිරීම සඳහා අවශ්‍ය පර් යේෂණාගාර පහසුකම් ශ්‍රී ලංකාවේ රේගුව සතු ව නැත. ඒ නිසා ආනයනකරුවන් විසින් ලබාදෙන ලේඛන මත යැපීමට සිදු වී ඇත.

මේ වන විට රේගුව විසින් එසේ ආනයනය කළ පිරිපහදු නොකළ පාම් තෙල් ලීටර් 400 ක් නිදහස් නොකර රඳවා තබාගෙන ඇත. එවැන්නක් සිදුවන්නේ එම බොර පාම් තෙල් තොගය නිදහස් නොකරන ලෙස අභියාචනාධිකරණය විසින් නිකුත් කරන ලද නියෝගයක් නිසා ය. එම නියෝගය පදනම් වන්නේ එම තෙල් තොගය නිදහස් කිරීම මගින් මහජන සෞඛ්‍යයට හානි සිදුවිය හැකි යන උපකල්පනයෙනි. එයට හේතුව පිරිපහදු නොකළ එම පාම් තෙල්වල 20% දක්වා ශරීරයට අහිතකර නිදහස් මේද අම්ල අඩංගු වන බවට යම් සාක්ෂි ඉදිරිපත් වීමය. නිදහස් මේද අම්ල යනු පිළිකා කාරකයක් බවට හඳුනාගත් කාබනික රසායනිකයකි. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව පිරිපහදු කළ එනම් ඔක්සිකරණය සහ ක්ලෝරීන්කරණය කොට පෙරාගත් පාම් තෙල්වල නිදහස් මේද අම්ල අඩංගු විය යුත්තේ 0.1% කි. ඒ අනුව පිරිපහදු නොකළ පාම් තෙල් පරිභෝජනය කිරීමට ඉඩ සැලසීම යනු බරපතල මහජන සෞඛ්‍ය ගැටලුවක් බවට විවාදයක් නැත.
එසේ වුවත් ශ්‍රී ලංකාවේ බොර පාම් තෙල් පිරිපහදු කරන මහා පරිමාණ කර් මාන්තයක් පවත්වාගෙන යන බවට සාක්ෂි නැත. ඒ අනුව බොහෝ විට සිදුවිය හැක්කේ අඩුමිලට සහ බදු වංචා කොට ශ්‍රී ලංකාවට ආනයනය කරන විස සහිත බොර පාම් තෙල් පිරිපහදු කළ පාම් තෙල් හා පොල් තෙල් සමඟ මිශ්‍ර කර වෙළඳ පොළට දැමීම ය. ඊට අමතරව ශ්‍රී ලංකාවට ආනයනය කරන පිරිපහදු කළ සහ එසේ නොකළ පාම් තෙල් ප්‍රමාණය හතර පස් ගුණයකින් ඉහළ යන්නේ කුමක් නිසාද? ඊට පිළිතුරු සොයා ගැනීම සඳහා පාරිභෝගික අධිකාරියේ හෝ සෞඛ්‍ය අංශ වලින් කිසියම් සමීක්ෂණයක් කරන බවක් වාර් තා වන්නේ නැත. බෝ නොවන රෝග පිළිබඳව හා ඊට හේතුවන රෝගකාරක පිළිබඳ විශේෂ අවධානයක් යොමුවී ඇති කාලයක දී එවැනි සොයාගැනීමක් නොකිරීමද ප්‍රශ්නයකි. එවැනි පර් යේශන කෙසේ වෙතත් සෞඛ්‍ය නිලධාරීන් ආහාර පනත යටතේ තමාට පැවරී ඇති මූලික නියාමන වගකීමක්වත් හරිහැටි ඉටු නොකිරීම ද ප්‍රශ්නයකි.

උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කරන සම්පූර් ණ යොදය සහිත කිරිපිටි වල අඩංගු විය යුත්තේ කිරි මේදය පමණක් බව 1980 අංක 26 දරන ආහාර පනත යටතේ 2003 දී නිකුත් කළ රෙගුලාසිවල ඉතා පැහැදිලිව දැක්වේ. ශ්‍රී ලංකාවට වසරකදී කිරිපිටි මෙ.ටො 80,000 සිට 90,000 දක්වා විශාල තොගයක් ආනයනය කෙරේ. ඒවායේ කිරි මේදය නොවන මේද වර් ග විශේෂයෙන්ම පාම් තෙල් අඩංගු වන්නේද යන්න පරීක්ෂාවට ලක් කරන්නේ නැත. අඩු තරමින් අදාළ සමාගම් විසින් එවැනි පරීක්ෂණ වාර් තා ඉදිරිපත් කළ යුතු බවට හෝ කොන්දේසි පනවා නැත. එවැන්නක් සිදුවන්නේ ආනයනික කිරිපිටි වල පාම් තෙල් අඩංගු වන බවට ප්‍රබල සාක්ෂි 2009 වසරේ සිටම ඉදිරිපත් වන තත්ත්වයක් තිබියදී ය. මව්බිම ලංකා පදනම විසින් වයඹ විශ්ව විද්‍යාලයේ ආහාර තාක්ෂණ පීඨයේ සහාය ඇතිව බ්‍රිතාන්‍යයේ එක්ලිප්ස් පරීක්ෂණාගාරය මගින් අදාළ පරීක්ෂණ සිදුකරනු ලැබීය. එම පරීක්ෂණ වාර් තා වල සඳහන් වූයේ එවකට වෙළෙඳපලේ තිබු ආනයනික කිරිපිටි අඩංගු සියලුම වෙළඳනාම වල කිරිපිටි වල කිරි මේදයෙන් 28% ක් දක්වා පාම් තෙල් අඩංගු වන බවය.

තත්වය එසේ වුවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර අධිකාරිය අද වනතුරු ආනයනික කිරිපිටිවල කිරි මේදයේ සංයුතිය පිළිබඳව පරීක්ෂණ වාර් තා අවශ්‍ය බවට නියෝගයක් නිකුත් කරන්නේ නැත. එක් පැත්තකින් බෝ නොවන රෝග නිවාරණවාරණය සඳහා මහා ඝෝෂාවක් කරන පිරිස් මෙම බරපතළ කාරණය පිළිබඳ නිහඬතාවයක් අනුගමනය කරන්නේ කුමක් නිසාදැයි පැහැදිලි නැත. එක් පැහැදිලි කිරීමක් විය හැක්කේ ආහාර අධිකාරියේ ප්‍රධානියාට විශ්‍රාම ගැනීමෙන් පසුව කිරි පිටි ආනයනය කරන සමාගම්වල ඉහළ වැටුප් දරන තනතුරු ලැබීම විය හැක. කෙසේ වෙතත් පාරිභෝගික අධිකාරිය විසින් ඊට අදාලව යම් පියවර ප්‍රමාණයක් ගනු ලැබූ බව වාර් තා විය. එම අධිකාරිය විසින් ආනයනික කිරිපිටි වරායෙන් නිදහස් කිරීමට පෙර කිරි මේදයේ සංයුතිය පිළිබඳ පරීක්ෂණ වාර් තාවක් අවශ්‍ය බවට අදාළ සමාගම්වලට නියෝග කොට ඇතත් මේ වන තුරු සමාගම් විසින් ඊට යහපත් ප්‍රතිචාර දක්වා නැත. එහෙත් ඊට එරෙහිව එම තොග නිදහස් කිරීම නැවැත්වීම මඟින් ප්‍රතිචාර දැක්විය හැකි වුවත් එම බලවත් සමාගම්වලට එරෙහිව එවැනි පියවර නොගන්නා බව දැන් තහවුරු වී ඇත.

මෑතක දී එනම් 2018/08/16 දින පශු වෛද්‍ය එම්.පී කීර් ති කුමාර කුමාර මහතා ආනයනික කිරිපිටි වල අඩංගු වන පාම් තෙල් ප්‍රමාණය පරීක්ෂා කිරීම සඳහා පාරිභෝගික අධිකාරිය විසින් රසායනික පරීක්ෂණ සිදු කරනවා ද යන්න විමසා එම අධිකාරියට ලිපියක් යවා ඇත. තොරතුරු දැන්ගැනීමේ පනත යටතේ කරනු ලැබූ එම ඉල්ලීමට පාරිභෝගික අධිකාරිය විසින් 2018/ 11/12 දින මෙසේ ප්‍රතිචාර දක්වා ඇත. ‘පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වෙළඳපොලේ විකිණීමට ඇති සම්පූර් න යොදය සහිත කිරිපිටි වල අන්තර්ගත මේදය සම්බන්ධයෙන් රසාසායනාගාර පරීක්ෂණ සිදුකිරීම සඳහා රසායනාගාර කිහිපයකින් විමසීම් සිදුකරන ලද අතර දේශීය රසායනාගාරවල අදාළ පරීක්ෂණ පහසුකම් නොමැති බැවින් විදේශීය රසායනාගාර වලට යවා පරික්ෂා කිරීමට අවශ්‍ය කටයුතු කරමින් සිටිමු. දැනට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සතුව ආනයනික කිරිපිටි පරීක්ෂණ වාර් තා කිසිවක් නොමැති බව දන්වා සිටිමු. එහිදී ඔවුන් අදාළ සමාගම් විසින් එම වාර් තා සැපයිය යුතු බවට පැනවූ නියෝග වලට ලැබුනු ප්‍රතිචාර නොලැබුණු බව සඳහන් කරන්නේ නැත.

ඒ අනුව පැහැ පැහැදිලි වන්නේ ඉහත සඳහන් කළ ආකාරයට අධිකරණ නියෝගයක් මගින් විෂ සහිත පාම් තෙල් තොගය රඳවා නොගත්තානම් ඒවායේ මේදෙය පිළිබඳ පරීක්ෂාවන් සාමාන්‍ය තත්වයෙන් යටතේ සිදුනොකෙරෙන බව නොවේද? මහජන සෞඛ්‍යයට අදාලව ආහාර ආනයනය පාලනය කිරීම සඳහා පනත් 3ක් යොදා ගත හැකි වුවද කටයුතු සිදුවන්නේ ඒ ආකාරයටය. රට තුළට ආනයනය කරන පාම්තෙල් තොග හතර පස් ගුණයකින් වැඩි වන්නේ කෙසේද යන්නට පිළිතුරු සොයා ගැනීමේදී පාම් තෙල් පරිභෝජනයට අදාළ ජාත්‍යන්තර දත්ත පරීක්ෂා කිරීමෙන් යම් පිටුවහලක් ලැබේ. අප රටට ප්‍රධාන වශයෙන් කිරිපිටි ආනයනය කරන නවසීලන්තයේ පාම් තෙල් ආනයනය විශ්මිත ලෙස ඉතා ඉහළ මට්ටමක පවතී. ජනගහනය මිලියන් 3ක් වන එම රටේ 2003 දී පාම් තෙල් ආනයනය පැවතියේ මෙ.ටො 96,000 මට්ටමේය. එම ප්‍රමාණය 2018 වන විට 2300,000 දක්වා විසි පස් ගුණයකින් වැඩි වේ. ඊට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ අපනයනය සදහා කිරිපිටි නිෂ්පාදනය කිරීමේ දී කිරි මේදය ඉවත් කොට ඒ වෙනුවට පාම් තෙල් යෙදීම බවට බරපතල ලෙස චෝදනා එල්ලවේ.

2009 වසරේ දී ආනයනික කිරි පිටි වල කිරි මේදයේ පාම් තෙල් අඩංගු බවට කිරිපිටි සමාගම් වලට චෝදනා එල්ල වූ අවස්ථාවේදී නවසීලන්තයේ ප්‍රධාන පෙළේ කිරිපිටි අපනයන සමාගමක ප්‍රධානියා විසින් එම සමාගමේ වෙබ් අඩවියට ප්‍රකාශයක් කොට තිබුණි. එහි සඳහන් වූයේ දුප්පත් රටවල ජනතාවට අඩු මිලට කිරිපිටි ලබාදීම සඳහා කිරි මේදයේ සංයුතිය වෙනස් කරන බවය. එම කතාව තේරුම් ගැනීමට එතරම් ගණිත දැනුමක් අවශ්‍ය නැත.දේශීය වෙළඳපොලේ කිරි මේදය හෙවත් බටර් කි.ග්‍රෑ එකක් රුපියල් 850 ක් වන විට පාම් තෙල් කි.ග්‍රෑ එකක් රුපියල් 200කට මිලදී ගත හැක. ඒ අනුව කිරි වලට පාම් තෙල් කි.ග්‍රෑ එකක් ඇතුල් කොට කිරි මේදය කි.ග්‍රෑ එකක් ඉවත් කර ගත් විට ලැබෙන ලාභය කොපමණද? එම රටට වසරකට කිරිපිටි මෙ.ටො 80,000 කට වැඩි ප්‍රමාණයක් ආනයනය කරන අතර එය කි.ග්‍රෑ වලින් ගත් විට මිලියන 1000කි. කිරි පිටි වල කිරි මේදය 30% කි. ඒ අනුව පාම් තෙල්වලින් කෘතීමව කිරිපිටි සෑදීමේ කර් මාන්තය කෙතරම් ලාභදායක ද යන්න පැහැදිලි වේ.

නමුත් අප රටට අධික ලෙස පාම් තෙල් ආනයනිකය කිරීමේ රහස ඒ ආකාරයට පැහැදිලි කළ නොහැක. අප රටේ කිරිපිටි නිෂ්පාදනය කරන සමාගම් දෙකක් තිබෙන අතර එකක් රාජ්‍ය සමාගමකි. එම සමාගම් දෙක විසින් නිෂ්පාදනය කරන දේශීය කිරිපිටි වල පාම් තෙල් අඩංගු නොවන බව සාක්ෂි සහිතවව ඔප්පු වී ඇත. එම සමාගම් වලින් ඒ සඳහා පරීක්ෂණ වාර් තා ලබා ගැනීමේ බාධාවක් ද නැත. එසේ නම් ශ්‍රී ලංකාවේදී සිදුවන්නේ නවසීලන්තයේදී මෙන් යම් ප්‍රතිශතයක් කිරි මේදය ඉවත් කොට ඒ වෙනුවට පාම් තෙල් දැමීම නොව එනම් සම්පූර්ණ කිරි මේදය පාම් තෙල් වලින් සංයුක්ත වන ආකාරයට අංගසම්පූර් ණ ලෙස කෘතීමව කිරි සෑදීම බව පිළිගැනීමට සිදු වේ. එය ප්‍රසිද්ධියේ පිළිගත නොහැකි නම් එසේ සිදුවන බව කනගාටුවෙන් වුවද තේරුම් ගැනීම්ට සිදුවෙයි. එම නිසා ආනයනික කිරිපිටි වල කිරි මේදය තුල අඩංගු වන පාම් තෙල් ප්‍රමාණය පිළිබඳව පරික්ෂා කිරීමට අමතරව රට තුළට ආනයනය කරන පාම් තෙල් වලට කරන්නේ කුමක්දැයි සොයා බැලීමද වැදගත් වේ. ඒ සියල්ලට වඩා විෂ සහිත බොර පාම් තෙල් ආනයනය කිරීම වැළැක්වීම ද වැදගත් වේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග වැළැක්වීමේ වැඩසටහන්, ආහාර ආනයනය ප්‍රමාණාත්මකව පාලනය කිරීම, ආනයනික ආහාර වල ගුණාත්මක භාවය පාලනය කිරීම පමණක් නොව දේශීය ආහාර සංස්කෘතියට මහජනතාව පෙළඹවීම් ද ඇතුලත් වන ලෙස පුළුල් උපායමාර්ගික ප්‍රවේශයක් තුළ නැවත ස්ථානගත කිරීමෙන් තොරව මෙම ප්‍රබල මහජන සෞඛ්‍ය ගැටළුවට පිළිතුරු සෙවිය හැකිද? තේ, පොල්, රබර් ගලවා පාම් ගස් සිටුවිය යුතුයි කියන ඇමතිලා සිටින රටක එවැන්නක් පහසු වන්නේ නැත. ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යංශයේ මුළුතැන් ගෙවල් සහ ආපන ශාලා වලට පමණක් හෝ ආහාර ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට අසමත් ආයතනයකට සමස්ත රටකට ආහාර ප්‍රතිපත්තියක් හඳුන්වා දිය හැකි ද? අඩුම තරමින් පාසල් දරුවන් සදහා පාසල් මුල්කර ගෙන හඳුන්වාදුන් ආහාර ප්‍රතිපත්තිය කැන්ටින් මුදලාලිට බියේ හකුලා ගන්නා විදුහල්පතිවරුන් බහුල රටක දරුවන්ට මේ ප්‍රබල මහජන සෞඛ්‍ය ප්‍රශ්න පිළිබඳ අවබෝධයක් ලබා දෙන්නේ කෙසේද? අවසාන වශයෙන් ගත් විට ආහාර ආනයනය කරන සමාගම් වලට අසීමිතව මහා පරිමාණයෙන් බදු සහන ලබාදෙන රටක හෙවත් සමාගම් වල ලාභයට එකතු කිරීම සඳහා රටේ බදු මුදල් ආපසු එම සමාගම්වලට ගෙවන රටක එම අධික ලාභය යොදාගනිමින් මිලදී ගත නොහැක්කේ මොකාද?

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More