පුරවැසි කොලම

නව රජයේ ඇමති මණ්ඩලය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. මෙවර දිවුරුම් දීම සාමාන්‍ය සම්ප්‍රදායට වඩා තරමක් වෙනස් ස්වරූපයක් ගෙන තිබුණේ පසුගිය සති කීපය පුරා පැවැති දේශපාලන අර්බුදය හේතුවෙනි.

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් පසුව ජනාධිපතිවරයා සමඟ සමුහ ඡායාරූපයක් ගැනීම සාමාන්‍යයෙන් සිදුවුවද මෙවර එවැන්නක් සිදු නොවීය.

ආරක්ෂක, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය ද නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයද තමා යටතේ තබා ගැනීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් නිසි පියවර වේගවත්ව නොගැනීම සම්බන්ධයෙන් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය යටතේ ඇති පොලිස් දෙපාර්තමේන්තුවට ජනාධිපතිවරයා කීපවරක්ම දෝෂාරෝපණය කර තිබිණි. ඒ අනුව පොලිසිය ජනාධිපතිවරයා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යාංශ විෂය පථය යටතේම ගැසට් කෙරෙනු ඇත.

පොලිසිය දිගටම ජනාධිපතිවරයා යටතට

මීට පෙර අභ්‍යන්තර කටයුතු, නීතිය හා සාමය පිළිබඳව වෙනම අමාත්‍යාංශයක් පැවතුණ ද මෙවර එහි අභ්‍යන්තර කටයුතු යන විෂය පමණක් ස්වදේශ කටයුතු සහ පළාත් පාලන හා පළාත් සභා ඇමැති වජිර අබේවර්ධන මහතාගේ අමාත්‍යාංශය යටතට පවරා ඇත.

ඔක්තෝබර් 26 වැනි දා ආණ්ඩු මාරුවට පෙර පොලිසිය නීතිය හා සාමය අමාත්‍යාංශය යටතේ පැවතුණ නමුත් ආණ්ඩු මාරුවත් සමඟ පොලිසිය ජනාධිපතිවරයා යටතට පත්කෙරිණි.

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමත් සමඟ පළමු කැබිනට් රැස්වීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

එහිදී ලබන වසරේ මුල් මාස තුන සඳහා මුදල් අනුමත කර ගැනීමේ අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතුරු සම්මත ගිණුමට අදාළ කැබිනට් සංදේශය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ තිබිණි.

ඒ අනුව අතුරු සම්මත ගිණුම මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

මෙම කැබිනට් රැස්වීම විනාඩි 20 කට පමණ සීමා විය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට මෙවර කැබිනට් මණ්ඩලයේ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීමේ හා පුනරුත්ථාපන කටයුතු, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන හා යෞවන කටයුතු යන අමාත්‍යාංශ හිමිවිය.

ඇමැති තනතුරු ගැන කලකිරීම්

නව ඇමැති මණ්ඩලය විසි නවයකට සීමා වී ඇති අතර මේ හේතුවෙන් බලාපොරොත්තු වූ ඇමැති තනතුරු නොලැබුණු ඇතැම් ඇමැතිවරු මෙන්ම ඇමැති තනතුරු නොලැබුණු මන්ත්‍රීවරු සිටින්නේ කලකිරීමෙනි. මේ නිසා මේ ඇමති මණ්ඩලය ඉදිරි දේශපාලන වෙනස්වීම් සඳහා යළිත් පාර කපන්නාක් වන බව ඇතැම් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පවසති.

සරත් ෆොන්සේකා, රවීන්ද්‍ර සමරවීර, විජේදාස රාජපක්ෂ හා ඩී. එම්. ස්වාමිනාදන් යන පසුගිය රජයේ හිටපු ඇමතිවරුන්ට මෙවර ඇමති ධුර හිමි නොවීය.

එසේම පුත්තලම, මාතලේ හා පොලොන්නරුව යන දිස්ත්‍රික්ක වලට එකම කැබිනට් ඇමති ධුරයක් වත් හිමි නොවීම කැපී පෙනේ.

සමහරුන්ට ඇමැති ධුර නෑ

මුදල් අමාත්‍යාංශය ලබා දෙන බවට රවි කරුණානායක මහතාට පොරොන්දු දී තිබුණද ඔහුට ලැබුණේ විදුලිබල හා බලශක්ති, ව්‍යාපාර සංවර්ධන ඇමති ධුරයන්ය. විශේෂයෙන්ම පසුගිය දේශපාලන අර්බුදයේදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රැකගැනීම සඳහා වෙහෙසුණු රවි කරුණානායක එම අමාත්‍යාංශය බලාපොරොත්තුවෙන් සිටියද ඔහුට එය ලබා දුන්නේ නැත. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යළිත් මංගල සමරවීර ඇමැතිවරයාටම හිමි විය. කෙසේ වෙතත් දේශපාලන අර්බුදයේදී ජනාධිපතිවරයාට දැඩි වාග් ප්‍රහාර එල්ල කළ හරීන් ප්‍රනාන්දු හට විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම්, ක්‍රීඩා හා විදේශ රැකියා යන ප්‍රබල අමාත්‍යාංශ ගණනාවක් හිමිවිය. තමන්ට ඇමති ධුර අනවශ්‍ය බව කී මලික් සමරවික්‍රමට ඔහු මීට පෙර දැරූ සංවර්ධන උපායමාර්ග, අන්තර්ජාතික වෙළඳ යන අමාත්‍යාංශවලට අමතරව විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය ද හිමි විය. එසේම සාගල රත්නායක හට තිබූ අමාත්‍යාංශ වලට අමතරව වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයද, පී. හැරිසන් හට අලුතින් කෘෂිකර්ම, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශ ද කබීර් හෂීම්හට මෙතෙක් පැවති අමාත්‍යාංශ වලට අමතරව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයද හිමි විය. රවුෆ් හකීම් හට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ද රිෂාඞ් බදුර්දීන් හට සමුපකාර අමාත්‍යාංශය ද අලුතින් හිමිව ඇත්තේ ඔවුන් මෙතෙක් දැරූ අමාත්‍යාංශ වලට අමතරවය.

නව ලේකම්වරු හා විෂය පථ

නව අමාත්‍යාංශ ලේකම්වරුන් අද ( 21 දා ) අලුතින් පත්කරන්නට නියමිතය.

මේ අතර නව කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන්ට පැවරෙන විෂය පථයන් හා ආයතන ඇතුළත් ගැසට් නිවේදනය ලබන සඳුදා (24 දා) නිකුත් කිරීමට නියමිතය.

නව ඇමති මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා එක්සත් ජාතික පක්ෂය අතර කිසියම් මත ගැටුමක් මුලදී පැවතිනි. නව කැබිනට් මණ්ඩලය සඳහා පත් කිරීමට යෝජිත මන්ත්‍රීවරුන් 36 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත මුලදී යවන ලදී.

පැනපු අයට මොකද වුණේ?

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිට ආණ්ඩු පක්ෂයට එක්වූ පියසේන ගමගේ, ඒ. එච්. එම්. ෆවුසි, විජිත් විජිතමුණි සොයිසා සහ ලක්ෂ්මන් සෙනෙවිරත්න යන මන්ත්‍රීවරුන් හතර දෙනාගේ නම්ද ජනාධිපතිවරයාට යවා ඇති එම ලැයිස්තුවට ඇතුළත්ව තිබූ අතර ජනාධිපතිවරයා ඔවුන්ට ඇමැති ධුර ලබාදීම ප්‍රතික්ෂේප කරන ලදී.

ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ගේ නම ද ඇමැති ධුරයක් සඳහා නම් කර ජනාධිපතිවරයා වෙත යවා තිබුණද ඔහුට ඇමති ධුරයක් ලබා දීමද ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කරන ලදී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට එජාප ආණ්ඩුවට එක්වූ මන්ත්‍රීවරුන්ට සහ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ඇමැතිධුර ලබා නොදෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ද ප්‍රකාශ කර තිබිණි.

මේ අතර එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවට එකතුවූ මන්ත්‍රීවරුන් පක්ෂයෙන් ඉවත් කළ යුතු බවට ඉදිරිපත්වූ යෝජනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම මීළඟ මධ්‍යම කාරක සභා රැස්වීම දක්වා කල් තබා ඇත.

ඉන්ධන මිල සූත්‍රයෙන් මිල අඩු වේද?

තමන් කලින් මුදල් ඇමැති ධුරයේ සිටියදී ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන ලද ඉන්ධන මිල සුත්‍රය යළි ක්‍රියාත්මක කරන බව නව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසා තිබේ.

සිය ඇමති ධුරයේ වැඩ ආරම්භ කරමින් ඔහු මේ බව කියා සිටි අතර එසේ වුවහොත් ඉන්ධන මිල විශාල ලෙස අඩුකරන්නට ඔහුට හැකි වනු ඇත.

අද වන විට ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල පවතින්නේ බැරලයක් ඇමරිකානු ඩොලර් 47 ක පමණ මිලකටය. ඒ අනුව ඉන්ධන ලීටරයක් මෙරටට ගෙන්වීමට වැයවන්නේ රුපියල් හැටකටත් වඩා අඩු මුදලකි. කෙසේ වෙතත් ඉදිරි කාලය මැතිවරණ බහුල කාලයක් වන බැවින් මංගල සමරවීර ඇමතිවරයාට ජීවන වියදමට පිළියම් යොදන වැඩපිළිවෙලක් සඳහා ඉක්මනින් යෑමට සිදුවනු ඇත.

හදිසි මහ මැතිවරණයක් ගැන එජාපයේ කතාබහ

මේ අතර රටේ පවතින තත්වය හා එක්සත් ජාතික පක්ෂයේ සියලු පාර්ශ්ව පසුගිය අර්බුදය හමුවේ එක්ව සිටීමත් නිසා ජනතාවට හැකිතාක් සහන ලබාදී ඉක්මන් මහමැතිවරණයකට යෑම සුදුසු බව එක්සත් ජාතික පක්ෂය තුළ සාකච්ඡා වී තිබේ. එසේම සියලු පාර්ශ්ව එක්කරගෙන පිහිටුවා ගෙන ඇති ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හරහා ඉදිරි මැතිවරණ සඳහා තරග කිරීමට නියමිතය.

එසේ වුවහොත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් යෝජනාවක් සම්මත කරගෙන පාර්ලිමේන්තුව විසුරුවිය හැකිය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ද විපක්ෂනායක මහින්ද රාජපක්ෂ පාර්ශ්වයේද අරමුණ මහමැතිවරණයක් බැවින් ඒ සඳහා ඔවුන්ගේ සහය පහසුවෙන් ලබාගත හැකි වනු ඇත.

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලියාපදිංචි කෙරේ

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලියාපදිංචි කිරීම සඳහා අනුමැතිය ගැනීමේ යෝජනාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පුළුල් පෙරමුණක් බිහි කිරීම නව පෙරමුණ බිහි කිරීමේ මූලික අරමුණ බවත් වඩාත් ශක්තිමත්ව ඉදිරි අභියෝගවලට මුහුණදීම සඳහා පිහිටුවන මෙම නව පෙරමුණට ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු පක්ෂ සහයෝගය දීමට නියමිත බවත් එක්සත් ජාතික පක්ෂය පවසයි.

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පිහිටුවීම සඳහා වන කෙටුම්පත නීති විශාරදයන් විසින් සකස් කර තිබේ. මෙම පෙරමුණ සඳහා ජනතා විමුක්ති පෙරමුණ එක්කර ගත යුතු බව ඇතැම් එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයන් පවසා ඇති අතර ඇතැමුන් ඊට විරුද්ධ වී තිබේ. ඒ හරහා වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගත හැකි බව ඊට පක්ෂ පිරිස් පවසා ඇති අතර එවැනි තත්ත්වයකදී ජනතා විමුක්ති පෙරමුණ මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ සන්ධානයක් සමග එක්ව මන්ත්‍රී ධුර 39 ක් ලබා ගත් ආකාරයේ සිදුවීමක් යළිත් සිදු විය හැකි බවත් එවිට එක්සත් ජාතික පක්ෂයට ජනතා විමුක්ති පෙරමුණේ තීරණ මත යැපෙන්නට සිදුවන බවත් ඇතැම් පිරිස් අතර සාකච්ඡා වී තිබේ. කෙසේ වෙතත් මේ කිසිවක් ජනතා විමුක්ති පෙරමුණ තුළ සාකච්ඡාවට බඳුන්වී නොමැත.

මේ සියල්ල අතරේ ඉදිරි 2019 වසර මැතිවරණ කීපයක් පවත්වන වසරක් වනු ඇති බවට අනාවැකි රැසක් පළවී තිබේ. තාවකාලිකව සමනය වී ඇති බව පෙනුනද දේශපාලන අර්බුදය අළු යට ගිනි පුපුරු මෙන් තවමත් එලෙසම ඇති බව පෙනේ. එම නිසා ජනතාව වෙත ගොස් ජනවරමක් ලබා කවුරුන් හෝ ස්ථාවර රජයක් බිහි කිරීම රටටත් ජනතාවටත් හොඳ බව අපගේ අදහසයි.

ජනිත සෙනෙවිරත්න



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More