දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරය ලබා දුන්නේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට සහ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන නායකයෙකු ලෙසින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රනිල් වික්‍රමසිංහ මහතා නව අග්‍රමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව නව අග්‍රාමාත්‍යවරයා සහ පැමිණ සිටි එක්සත් ජනතා පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් අමතමිනි.

පාර්ලිමේන්තුවේ 225 ම අත්සන් කළත් රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරය ලබා නොදෙන බවට තමා සිදුකළ ප්‍රකාශය තම පෞද්ගලික දේශපාලන මතය වන අතර, එම මතය අදත් එළෙසම වන නමුත් පාර්ලිමේන්තු සම්ප්‍රදායට සහ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන නායකයෙකු ලෙස තමන් රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රමාත්‍ය ධූරය ලබාදීමට තීරණය කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අගමැතිවරයෙක් නම් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවට හෝ අධිකරණයට බලයක් හිමිව නොමැති අතර, එම බලය ඇත්තේ විධායක ජනාධිපතිවරයාට බව සිහිපත් කළ ජනාධිපතිතුමා නමුත් රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධූරය ලබාදෙන ලෙස පාර්ලිමේන්තුවේ 117 ක් ඡන්දය භාවිතා කරමින් බහුතරයකගේ මතය ප්‍රකාශ කිරීම හේතුවෙන් සදාචාරවත් සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරන නායකයෙක් ලෙස තමා එම තීරණයට එකඟ වූ බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, වාර අවසන් කිරීම, අගමැති ඉවත් කිරීම, අගමැති පත් කිරීම ඇතුළු සියලූ පියවර තමා ගත්තේ, තම තනි කැමැත්තට නොව රටේ ඉහළම නීති විශාරදයන්ගේ උපදෙස් ලබා ගනිමින් බව සඳහන් කළ ජනාධිපතිවරයා එය රට සහ මාතෘ භූමිය වෙනුවෙන් ඉතාමත් සද්භාවයෙන් යුතුව ගත් පියවරයන් බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමේ කිසිදු අයහපත් චේතනාවක් තමා තුළ නොතිබූ බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

එසේම රට තුළ ඇතිවූ දේශපාලන අර්බුදයේ දී එය විසදා ගැනීමට ඇති හොඳම ක්‍රමය ඡන්දයකට යාම බව තමා විශ්වාස කරන අතර, පාර්ලිමේන්තුවේ 122 කට වඩා රටේ ලක්ෂ 155 ක් වූ ඡන්ද දායකයින්ගේ ඡන්දය ජනතා පරමාධිපත්‍යයේ තීරණාත්මක සාධකය සහ රට සහ ලෝකය පිළිගන්නා බැවින් තමන් ලක්ෂ 155 ක් වූ ඡන්ද දායකයන්ට බලය ලබාදීමට ගැසට් නිවේදනයක් නිකුත් කළ බව ද ජනාධිපතිවරයා පවසයි.

19 වන සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමට හැකිවීම යහපත් පැතිකඩක් වුවත් එහි අනෙත් පස දේශපාලන ආරවුලක් බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා මහ බැංකු බැඳුම්කර වංචාවේ චූදිතයන්ට දඩුවම් කිරීම සඳහා සහ එම මුදල් ආපසු ලබා ගැනීම සඳහා අවශ්‍ය වූ අල්ලස් කොමිෂමට අදාළ පණතෙහි සංශෝධන සිදුකිරීම පාර්ලිමේන්තුව තුළ දින නියමයක් නොමැතිව කල් දැමීම, මැතිවරණ ප්‍රකාශයේ සඳහන් කර තිබුණ ද අමාත්‍යාංශ වෙන් කිරීමේ විද්‍යාත්මක පදනම අනුගමනය කිරීමට කටයුතු නොකිරීම.

මහ බැංකු මංකොල්ලය සහ ඒ සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රිත්මක නොකිරීම මෙන්ම භික්ෂු සමාජය අහිමිකර ගැනීම සහ රණවිරුවන් සිරගත කිරීම වැනි අදුරදර්ශී ක්‍රියාවන් සිදු කරමින් පසුගිය වසර හතරකට ආසන්න කාලය තුළ රජය කටයුතු කළ ආකාරය පිළිබඳ තමා තුළ තිබුණේ දැඩි කළකිරීමක් බව සඳහන් කළ ජනාධිපතිවරයා පසුගියදා ගත් දේශපාලන තීන්දු තීරණවලට එවැනි තත්ත්වයන් ද දැඩි බලපෑමක් ඇති කළ බව සිහිපත් කළේය.

කවුරුන් කුමන ප්‍රකාශ සිදුකළත් තමා ඉකුත් සති කිහිපය තුළ මාතෘ භූමිය වෙනුවෙන් තීන්දු තීරණ ගත්තේ රටත් ජනතාවත් වෙනුවෙන් බව සඳහන් කළ ජනාධිපතිවරයා තමාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන බවට ඇතැම් පිරිස් සිදුකරන ප්‍රකාශ පිළිබඳව ද අදහස් දක්වමින් කියා සිටියේ තමා සිරගත කළ ද, පිරිසිදු චේතනාවෙන් සහ සද්භාවයෙන් රටත් ජනතාවත් වෙනුවෙන් ගත් නිවැරදි තීන්දු තීරණ ගලේ කෙටු අකුරක් සේ ඉතිහාසයේ ලියවෙනු ඇති බවයි.

ගඩාෆි මෙන් තමා ඇදගෙන ගොස් මරා දමන බවට ඇතැම් කථිකයන් පසුගිය දිනවල කළ ප්‍රකාශ පිළිබඳව ද සිහිපත් කළ ජනාධිපතිවරයා පැවසූවේ දැඩි පාලකයෙක් වූ ජේ.ආර්. ජයවර්ධන යුගයේ සිට බිහි වූ කිසිදු නායකයෙකුට කිසිවෙකුත් එවන් ප්‍රකාශ සිදු නොකළ බවත් ඒ එසේ සිදුකළානම් එම අදහස් දක්වන පුද්ගලයන්ට අත්විදිමට සිදුවන අභාග්‍ය සම්පන්න සිදුවීම් ඔවුන් දැන සිටි නිසා බවත් පැවසූ ජනාධිපති අද ඔවුන් තමන්ට එසේ ප්‍රකාශ කළේ තමා රට තුළ ගොඩනැගු නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය නිසාම බව ද කියා සිටියේය.

මෙම සිදුවීම් සමග ගැටුමකින් තොරව රජයේ කටයුතු ඉදිරියට ගෙනයාම තම අපේක්ෂාව වන අතර ගැටුම් ඇති කර ගැනීම තුලින් රට ආපස්සට ඇද වැටෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා හෙට දවස වෙනුවෙන් රට ගොඩනැගීමට අවශ්‍ය වෙන්නේ දූෂණයෙන් තොර දේශපාලන ව්‍යාපාරයක් බව ද කියා සිටියේය.

අසාර්ථක වූ සහ අමු අමුවේ විනාශ කළ යහපාලන දේශපාලන සංකල්පය ඉටුකරගත හැක්කේ රටට ආදරය කරන, සංස්කෘතික වටිනාකම් සහ සමාජ හර පද්ධතිවලට ගරු කරන දේශපාලන ව්‍යාපාරයක් තුළින් පමණක් බව මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මින් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා ද සභාව ඇමතු අතර එහිදී ඒ මහතා සඳහන් කළේ ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට කිසිදු අවස්ථාවක එක්සත් ජාතික පක්ෂය ඇතුළු තම කණ්ඩායම සූදානම් නොමැති බවත්, ඉදිරියේ දී ජනාධිපතිවරයා සමඟ සහයෝගයෙන් රජයේ කටයුතු සාර්ථකව පත්වාගෙන යාම අපේක්ෂාව වන බවයි.

ජනාධිපතිතුමන් සිදුකළ සම්පූර්ණ කතාව මෙන්න



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More