පුරවැසි කොලම

මේ වන විට වර්ධනය වෙමින් පවතින දේශපාලන අර්බුදය තුළ පෙළගැසෙමින් පවතින, එහෙත් අනතුරට ලක්විය හැකි සුවිශේෂී දේශපාලන ප‍්‍රවණතාවයක් හඳුනාගත හැක. නමුත් එ් පිළිබඳව සමාජයේ අවධානයට ලක් වී ඇත්තේ මද වශයෙනි. එ් ප‍්‍රවණතාවය අන් කිසිවක් නොව මෛත‍්‍රි – මහින්ද සමගිය තුළින් නිර්මාණය වන දේශපාලන බලවේග වල නව පෙළගැස්ම හෙවත් ධ‍්‍රෑවීකරණයයි. ඇත්ත වශයෙන්ම එය පවතින දේශපාලන අර්බුදයේ උපත සමඟ ම මතු වන්නක් ලෙස සැලකිය හැක. නමුත් මෛත‍්‍රි – මහින්ද සමගිය සිදුවිය යුත්තක් ලෙස සමාජය තුළ යම් අපේක්ෂාවක් සහ කතිකාවක් පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසුව ගොඩනැගෙමින් පැවතුණි. එසේ වුවත් යම් පිරිසක් දැනුම්වත්ව ඊට එරෙහිව කතිකාවතක් ගොඩනැගීමට කටයුතු කළ බව ද රහසක් නොවේ.

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාගේ පැත්තෙන් ගත්විට 2014 නොවැම්බර් මාසයේ සිට ඉතා ප‍්‍රබල ලෙස ගොඩනැඟුණු මෛත‍්‍රී විරෝධය ජනාධිපතිවරණයෙන් පසුව යම් පමණකට සමනය වීම ආරම්භ විය. එම තත්ත්වය එක්තරා ආකාරයකට බලයට යටත් වීමක් ලෙස සහ වරප‍්‍රසාද ලබාගැනීමේ වුවමනාව මත සිදුවූවක් ලෙස අර්ථ දැක්වීමේ හැකියාව ද ඇත. එසේ වුවත් මහින්ද පාර්ශ්වය විසින් සටන අත් හැරීම නිසා ඊට පහසුකම් සැලසුනු බවට ද තර්ක කළ හැක. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම ජනාධිපතිවරයා සතු වන්නේ ඔහු හෝ ඇය එම පක්ෂයෙන් තර`ග කොට ජයග‍්‍රහණය කළහොත්ය. එම නිසා ජයග‍්‍රහණයෙන් පසුව එම පක්ෂයේ සභාපතිකම ඉල්ලා සිටීමට සදාචාර බලයක් මෛත‍්‍රී ජනාධිපතිතුමා සතුව නොතිබුණි. එසේම සභාපතිකම බන්දේසියක තබා ජයග‍්‍රාහී ජනාධිපතිවරයාට පිළිගැන්වීමට බලයක් පක්ෂ ව්‍යවස්ථාව මගින් පරාජිත අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී නොතිබුණි. එම කි‍්‍රයාවලියේ දිගුව බවට පත්වන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ විශේෂ බහුතර බලය අත තිබූ විපක්ෂය විසින් හතලිස් දෙදෙනෙකුගෙන් සමන්විත ආණ්ඩුවට උවමනා ආකාරයට 19වන සංශෝධනය සම්මතකර දීමය.

අවසානයේ දී සමීපතයින්ගේ හෙවත් අභ්‍යන්තර බලපෑම් නිසා පක්ෂයේ සභාපතිකම මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට මහින්ද රාජපක්ෂ මහතාට සිදුවිය. සභාපතිකම පක්ෂයේ ව්‍යස්ථාව අනුව මධ්‍යම කාරක සභාවේ යෝජනා සම්මතයකින් ලබාගන්නා ලෙස මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉල්ලා සිටියා නම් ඇතිවන්නේ වෙනස් තත්වයකි. එසේ වූවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මෛත‍්‍රී පාර්ශ්වය සහ මහින්ද පාර්ශවය ලෙස පාර්ශ්ව දෙකක් පෙනී සිටීම වැළැක්විය නොහැක. එසේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශව දෙකක් බිහි වී එකක් නිල පාර්ශවය ලෙසත් අනෙක නිල නොවන පාර්ශවය ලෙසත් පෙනී සිටියා නම් 2015 අගෝස්තු මාසයේදී බිහිවන්නේ වෙනස් ආකාරයේ සන්ධානයකි. කෙසේ වෙතත් කුමක් සිදු වූවා නම් රටට වඩා යහපත් විය හැකිව තිබුණා ද? යන්න මේ මොහොතේ සාකච්ඡුාවට ලක්විය යුත්තක් නොවේ. ඊට හේතුව දැන් යහපත් දේ සඳහා එනම් මෛත‍්‍රී – මහින්ද සමගියට පාර කැපීමට ඉතිහාසය විසින් අවස්ථාව නිර්මාණය කොට තිබීම ය. දැන් අවශ්‍ය වන්නේ එම තත්ත්වය ආපසු හැරවීමට විවිධ බලවේග විසින් ගනු ලබන උත්සාහය පරාජය කිරීමය.

මෛත‍්‍රී – මහින්ද සමගියට ලකුණු පහළ වීම සමග ඊට ප‍්‍රතිවිරුද්ධව පෙළගැසුණු බලවේග දෙස බලන විට එ් සමගිය රටට කෙතරම් වැදගත්ද යන්න පැහැදිලි වේ. අද රටේ දේශපාලන පොරපිටිය එම සමගිය මුල්කරගෙන අන්ත දෙකකට ධ‍්‍රැවීකරණය වී ඇති බව පැහැදිලිව පෙනේ. එක් පැත්තක මෛත‍්‍රී – මහින්ද ප‍්‍රමුඛ ජාතිකවාදී බලවේග පෙළ ගසෙන අතර අනෙක් අන්තයේ යූ.එන්.පී. ජේ.වී.පී. ටී.එන්.ඒ් ප‍්‍රමුඛ බටහිර රාජතාන්ත‍්‍රික සහ එන්.ජී. ඕ. බලවේග පෙළ ගැසෙමින් ඇත. එදා 2015 දී දක්නට ලැබූ ධ‍්‍රැවීකරණයට වඩා පැහැදිලි සහ ප‍්‍රබල ධ‍්‍රැවීකරණයක් අද සිදු වෙමින් තිබීම තුළින් පෙන්වන්නේ කුමක්ද? මෛත‍්‍රි – මහින්ද සමගිය නැමැති සාධකය විසින් අනාගතයේදී දේශපාලන සමීකරණය තුළ සිදුකිරිමට නියමිත වෙනස කුමක්ද? යන්න සහ එම සාධකය කෙතරම් බලවත් සහ තීරණාත්මක ද යන්න එ් තුළින් පැහැදිලි වේ.

කෙසේ වෙතත් එදා 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණය ආශ‍්‍රිතව සහ ඉන්පසුව ගොඩනැගුණු මෛත‍්‍රී – මහින්ද ගැටුම යහපත් දිසාවකට කළමනාකරණය කළ හැකි යැයි විශ්වාස කළේ ඉතා සුළු පිරිසකි. එක් පැත්තකින් සාමාන්‍ය මිනිස් සබඳතා පාලනය කරන සාධක අනුව බලන විට මෛත‍්‍රී – මහින්ද සමගියට කිසිදු ඉඩක් නොමැති බවක් දක්නට ලැබුණි. අනෙක් පැත්තෙන් මෛත‍්‍රී සහ මහින්ද පාර්ශවවල යම් පිරිස් එවැනි සමගියට එරෙහි ව කටයුතු කරන තත්ත්වයක් තුළ මහජන විශ්වාසය හීන වීම පුදුමයක් නොවේ. ඒ විශ්වාසය නැවත ගොඩනැගීම ආරම්භ වන්නේ 2018 පළාත් පාලන මැතිවරණ ප‍්‍රතිඵලය සමගය. එ් තුළ අනාගත ජයග‍්‍රහණ සඳහා මෛත‍්‍රී – මහින්ද සමගිය නැමති සාධකය තීරණාත්මක වන බව තවදුරටත් තේරුම්කර දීම අවශ්‍ය නොවීය. නමුත් පොදු ජන පෙරමුණ ලෙස ගොඩනැඟුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පාර්ශ්වයේ යම් පිරිස් අතර එම මතය සැබෑ ලෙසම නියෝජනය වන බවක් දක්නට නොලැබුණි. උදාහරණයක් ලෙස මෛත‍්‍රී පාර්ශවයේ ඇමැතිවරුන් සහ මන්ත‍්‍රීවරුන් 16 දෙනෙක් ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ අවස්ථාවේදී එ් බව පැහැදිලිව දක්නට ලැබුණි. රටට ඉතා වැසිදායක වූ එම බේදීම නිර්මාණය කළ මන්ත‍්‍රීවරුන් බදා වැළදගන්නවා වෙනුවට ඔවුන් දේශපාලන අනාතයන් බවට පත්කිරීමට යම් පිරිස් විසින් ගනු ලැබූ උත්සාහය තුළ එම තත්වය වඩා හොඳින් ප‍්‍රකට විය. නමුත් බිම් මට්ටමේ මහජන පීඩනය ක‍්‍රමයෙන් ඉහළට තල්ලූවීම තුළ නායකයින්ට ඊට පිටුපා ක‍්‍රියාකාරීමට තවදුරටත් ඉඩක් ඉතිරි නොවීය.

එසේ වුවත් මෛත‍්‍රී – මහින්ද සමගිය ගැන කතා කිරීමේදී අභ්‍යන්තර සාධක එනම් එම පාර්ශව දෙක තුළ ක‍්‍රියාත්මක වන සාධක වලට වඩා බාහිර සාධක තීරණාත්මක වන බවට විවාදයක් නැත. ඊට හේතුව රනිල් – මෛත‍්‍රී සමගිය මගින් දියත් කෙරුණු න්‍යායපත‍්‍රය ආරක්ෂා කරගැනීම සඳහා ඊට මුල් වූ දෙස් විදෙස් බෙදුම්වාදී බලවේග උපරිම ශක්තිය යෙදවීම ය. එම බාහිර බලවේග විසින් මෛත‍්‍රී සහ මහින්ද පාර්ශවවල අභ්‍යන්තර සාධක ද කළමනාකරණය කිරීමට විශාල බරක් යොදවන බවට විවාදයක් නැත. එහිදී ඔවුන් රනිල් සාධකය නියතයක් හෙවත් කළමනාකරණය කිරීම සඳහා විශේෂ මැදිහත්වීමක් අවශ්‍ය නොවන සාධකයක් ලෙස සලකන බවටද සැකයක් නැත. අද බටහිර තානාපති නිලධාරීන් ඇතුළු සකලවිධ බෙදුම්වාදී බලවේග රනිල් වික‍්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටින ආකාරය දෙස බලන විට එ් බව හොඳින් පැහැදිලි වේ. නමුත් එම බලවේග වලට එදා 2003 දී චන්ද්‍රිකා – රනිල් සමගිය කළමනාකරණය කිරීමට නොහැකි වූ ආකාරයටම අද වසර පහළොවකට පසුව මෛත‍්‍රී – රනිල් සමගිය කළමනාකරණය කිරීමට නොහැකි වී ඇත. රනිල් සාධකය නියතයක්ව පවතිද්දී එනම් එම බලවේගවල න්‍යාය පත‍්‍රය වෙනුවෙන් ඔහු කොන්දේසි විරහිතව පෙනී සිටිද්දී එදා මෙන්ම අදත් දෙවන සාධකය කළමනාකරණය කිරීමට එම බලවේග අසමත් වී ඇත.

2002 දී චන්ද්‍රිකා – රනිල් සමගිය මත පදනම්ව ආරම්භ කළ බෙදුම්වාදි න්‍යාය පත‍්‍රය 2003 දී අවුල් වන්නේ චන්ද්‍රිකා සාධකය කළමනාකරණය කිරීමට එම බල බලවේග අසමත් වීම නිසාය. 2010 දී ‘නොරාඞ්’ හෙවත් නෝර්වේජියානු ජාත්‍යන්තර ආධාර සංවිධානය විසින් ප‍්‍රකාශයට පත් කළ ‘සාමයේ ඉත්තෝ’ වාර්තාවේ එ් බව සඳහන් වේ. එම සංවිධානය විසින් එම පර්යේෂණ වාර්තාව කැඳවන්නේ ඔවුන් විසින් සුඩානයට සහ ශ්‍රී ලංකාවට සකස් කළ පොදු සැලසුම සුඩානයේ දී සාර්ථක වීමට සහ ශ්‍රී ලංකාවේ දී අසාර්ථක වීමට අදාළ හේතු සොයා බැලීම සඳහාය. වෙනත් වචනවලින් කියනවා නම් නොර්වේජියානු සැලසුම මගින් එනම් සටන් විරාම ගිවිසුම හරහා තාවකාලික ආණ්ඩුවක් පිහිටුවීම මගින් සුඩානය බෙදා වෙන් කිරීමට හැකි වුවත් ශ්‍රී ලංකාවේ දී එසේ කිරීමට නොහැකි වූයේ කුමක් නිසාදැයි සොයා බැලීමට ය. එම වාර්තාව මගින් පෙන්වා දෙන්නේ් රනිල් සාධකය නියතයක් වුවත් චන්ද්‍රිකා සාධකය කළමනාකරණය කිරීමට නොහැකි වූ නිසා 2003 දී ආණ්ඩුව බිඳ වැටී බෙදුම්වාදී මාර්ග සිතියම අවුල් වූ බවය.

එ් අනුව ඉහත සඳහන් කළ ආකාරයට අද වසර 15කට පසුව එ් ආකාරයටම රනිල් සාධකය නියතයක්ව තිබියදී මෛත‍්‍රී සාධකය කළමනාකරණය කිරීමට බෙදුම්වාදී බලවේග අසමත් වීම නිසා එදා මෙන්ම ඔවුන්ගේ මාර්ග සිතියම අවුල් වී ඇත. එහිදී අද සිදුවන ක‍්‍රියාවලිය තුළ වෙනස්කම් දෙකක් හඳුනාගත හැක. එදා බෙදුම්වාදි න්‍යාය පත‍්‍රය ඉදිරියට තල්ලූ කරනු ලැබුවේ යුද්ධයක් තුළ ආයුධ බලය පෙන්වමිනි. නමුත් දෙවන වටයේදී බෙදුම්වාදී මාර්ගසිතියම ඉදිරියට යන්නේ ඊනියා සාමකාමී තත්වයක් තුල ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලියක් හරහා ය. දෙවන වෙනස වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ භූමිකාවයි. එදා චන්ද්‍රිකා – රනිල් සමඟිය පළුදු කොට ආණ්ඩුව පෙරළා බෙදුම්වාදී මාර්ගසිතියම අවුල් කිරීමට මුල් වූයේ සෝමවංශ අමරසිංහයන් විසින් නායකත්වය දුන් ජනතා විමුක්ති පෙරමුණය. නමුත් අද මෛත‍්‍රී – රනිල් සමගිය රැුකීම මගින් හෙවත් අවසානයේ දී රනිල් රැුකීම මගින් එදා අවුල් කළ බෙදුම් බෙදුම්වාදී මාර්ග සිතියම අද ආරක්ෂා කර දීමට ඉදිරිපත් වන්නේද ජනතා විමුක්ති පෙරමුණයි. නමුත් අද ඊට නායකත්වය දෙන්නේ වෙනත් අයෙකි.

කෙසේ වෙතත් අවසානයේ දී 2003 දී මෙන්ම 2018 දී ද ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේගවලට වැරදිී ඇති බව පිළිගැනීමට සිදුවේ. එදා චන්ද්‍රිකා සාධකය සහ රනිල් සාධකය අතර බරපතළ පන්තිමයි සහ සංස්කෘතිමය ප‍්‍රතිවිරෝධතා තිබුනේ නැත. එම දෙපළ එක්ව ඉටුකළ යුතු කාර්යභාරය එනම් බෙදුම්වාදි න්‍යාය පත‍්‍රයට පහසුකම් සැලසීම නම්වූ කාරණයේ දී ඔවුන් අතර කිසිදු ප‍්‍රතිවිරෝධයක් නොතිබූ බවද ප‍්‍රකට කරුණකි. එම දෙපළ අතර ප‍්‍රබල ලෙස මතු වූයේ පෞරුෂ අතර ප‍්‍රතිවිරෝධය බව පිළිගැනීමට සිදුවෙයි. නමුත් මෛත‍්‍රී – රනිල් ප‍්‍රතිවිරෝධයන් ගැන සැලකීමේදී පන්තිමය වශයෙන් සහ සංස්කෘතික වශයෙන් මෙන්ම පෞරුෂ අතර ද බරපතළ ප‍්‍රතිවිරෝධයක් තිබිය හැකි බවට විවාදයක් නැත. ඊට අමතරව න්‍යාය පත‍්‍රයට අදාළව මෛත‍්‍රී – රනිල් සාධක අතර බරපතළ ප‍්‍රතිවිරෝධතා පැනනැගීමේ විභවය තිබූ බව පැහැදිලිව දක්නට ලැබිණි.

නමුත් චන්ද්‍රිකා රනිල් සමගිය බිඳ වැටීමෙන් පසුව ඇති වූ තත්ත්වයට වඩා මෛත‍්‍රි – රනිල් සමගිය බිඳ වැටීමෙන් පසුව ඇතිවූ තත්ත්වය බෙදුම්වාදී බලවේග වලට බරපතළ ලෙස අවාසිසහගත බව පෙනේ. ඊට හේතුව මෛත‍්‍රි – රනිල් සමගිය බිඳ වැටීම තුල ගොඩනැෙඟන මෛත‍්‍රි – මහින්ද සමගිය විසින් නව තත්වයක් නිර්මාණය කිරීමය. එම නව තත්වය ගුනාත්මක සහ සංඛ්‍යාත්මක යන පැතිකඩ දෙකටම අනුව ඉතා සුවිශේෂී වේ. ගුණාත්මක වශයෙන් ගත් විට මෛත‍්‍රී – මහින්ද සමගියට ආවඩන පිරිස හෙවත් එය අපේක්ෂා කරන පිරිස බෙදුම්වාදී විරෝධී මහා සංඝරත්නය ප‍්‍රමුඛ ජාතික බලවේගයයි. සංඛ්‍යාත්මකව ගත් විට පසුගිය පළාත් පාලන මැතිවරණ ප‍්‍රතිඵලයට සාපේක්ෂව මෛත‍්‍රි මහින්ද සමගිය යනු රටේ ඡුන්දය ප‍්‍රකාශ කරන ඡුන්ද දායකයන්ගෙන් 52.5% ගේ ප‍්‍රාර්ථනාවයි. එ් අනුව ඉදිරි මැතිවරණය කුමක් වුවත් එය මෛත‍්‍රි මහින්ද සමගිය තුළින් බිහිවන බලවේගය විසින් ජයග‍්‍රහණය කරන බවට කිසිදු සැකයක් නැත. එම ඡුන්ද ප‍්‍රතිශතය තුළ සුළු ජාතික ඡුන්ද යම් ප‍්‍රතිශතයක් අඩංගු වුවද එම ඡුන්ද බෙදුම්වාදී ජාතිවාදී කප්පම්කරුවන්ට යටත් වන ඡුන්ද නොවන බව ඉතා පැහැදිලිය. එනම් සම්බන්ධන්, හකීම්, රිෂාඞ් තුන් කට්ටුවට හැසිරවිය හැකි ඡුන්ද ඒ තුළ අඩංගු නොවන බවය. එවැනි තත්වයක් තුල ඉතිහාසයේ කිසි දිනක සිදු නොවූ ආකාරයට බෙදුම්වාදී ජාතිවාදී කප්පම් කරුවන්ගේ කේවල් කිරීමේ බලයට යටත් නොවී ජයග‍්‍රහණය කිරීමේ විභවය මෛත‍්‍රි – මහින්ද සමගිය සතුව ඇත.

කෙසේවෙතත් ජාතිවාදී බෙදුම්වාදී කප්පම්කරුවන්ට යටත් නොවීම යනු සුළු ජාතික ඡුන්ද නොසලකා හැරීමක් ලෙස හෝ සැබෑ ලෙසම සුළු ජාතික ජනතාවට කුඩම්මාගේ සැලකිලි දැක්වීමක් ලෙස අර්ථදැක්වීම බලවත් වරදකි. එම නිසා කප්පම්කරුවන්ට යටත් නොවී මැතිවරණ ජයග‍්‍රහණය කිරීමේ විභවය මත පිහිටා එම කප්පම්කරුවන්ට යටත් නොවන සුළු ජාතික ඡුන්ද දිනා ගැනීම සඳහා දියුණු උපායමාර්ගික ප‍්‍රවේශයක් අනුගමනය කළ යුතුය. පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ටී.එන්.ඒ. පක්ෂයට දිනාගත හැකි වූයේ උතුරු පළාතෙන් 34% ක් සහ නැගෙනහිර පලාතෙන් 24% කි. එ් අනුව අති බහුතරයක් සුළු ජාතික ජනතාව බෙදුම්වාදී ජාතිවාදී කප්පම්කරුවන්ට හැසිරවිය නොහැකි බව පැහැදිලි ව පෙනේ. එහෙත් උපායමාර්ග විශේෂඥයන් යැයි කියන පිරිස් මන්ත‍්‍රයක් සේ ජප කරන්නේ සුළු ජාතික ඡුන්ද යම් ප්‍රතිශතයක් හැසිරවීමේ බලය සහිත ජාතිවාදී කප්පන් කරැවන්ගේ සහය නැතිව අපිට දිනන්න බැහැ යනුවෙනි. ඔවුන් කල්පනා කරන්නේ කපුවා නොමැතිව දෙවියා ඇමතිය නොහැකි බවට ය. එනම් කපුවන් ලෙස ක‍්‍රියාකරන කප්පම්කරුවන්ගේ සහාය නොමැතිව දෙවියන් ලෙස සැලකිය හැකි ඡුන්දදායකයා ඇමතිය නොහැකි බවය.

මෛත‍්‍රී මහින්ද සමගි සංධානයට අනාගතයෙ නියත ජයග‍්‍රහණයේ වාසිය මත පිහිටා සැබෑ ලෙසම බෙදුම්වාදයට යටත් නොවන බව ප‍්‍රකාශ කිරීමේ හැකියාව ඇත. එ් නිසා උගුරට හොරා බෙහෙත් බීමට අවශ්‍ය වන්නේ නැත. එ් නිසාම එම සන්ධානයට ඉතිහාසයේ කිසිදු කලෙක නොවූ ආකාරයට සිංහල බහුතර ජනතාවගේ සහාය ලබා ගැනීමේ හැකියාව ඇත. එම හැකියාව නිසා කිසිදු මානසික බාධකයකින් තොරව සැබෑ ලෙසම සුළු ජාතික ජන කොටස්කොටස්වලට සමානාත්මතාවයෙන් සැලකීමේ වැදගත්කම අවධාරණය කිරීමේ හැකියාව ඇත. උතුරේ වෙල්ලාලයන්ගේ කුල පීඩනයට යටත්ව ජීවත්වන අති බහුතරයක් ජනතාව ඉන් ගලවා ගැනීමේ විභවය ඇත්තේද කප්පම්කරුවන්ට යටත් නොවන දේශපාලන සන්ධානයකට පමණි. එ් සියලූ අර්ථයන්ගෙන් ගත්විට මෛත‍්‍රි මහින්ද සමගිය තුළින් බිහිවන සන්ධානයට ශ්‍රී ලංකාවේ ඉතිහාසය වෙනස් කිරීමේ විභවය තිබෙන බව අවිවාදයෙන් පිළිගත් හැක. ඊට එරෙහිව සියළු ප‍්‍රතිගාමී බලවේග නැගී සිටිනු ඇත්තේ ද එ් නිසාය. මෛත්‍රී _ මහින්ද සමගිය අවසන් කිරීම සදහා වන පුර් ව කොන්දේශිය වන්නේ එම සුසංයෝගය විසින් ආරම්භ කළ ව්‍යාපෘතිය කඩා බිද වැට්ටවීමයග බාහිර සහ අභන්තර සියලු සතුරැ බලවේග දැන් මාරාවේශයෙන් එකාමෙන් පෙළගැසෙන්නේ ඒ සදහායග

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More