පුරවැසි කොලම

රිවිර පුවත්පතේ රමේෂ් වරල්ලේගම සමග කරන ලද සාකච්ඡාවකදී කරුණා අම්මාන් විසින් ප‍්‍රකාශ කර තිබුණේ, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ බුද්ධි අංශ ප‍්‍රධානි ලෙස ක‍්‍රියා කරන ලද පොට්ටු අම්මාන් තවමත් ජීවතුන් අතර සිටින බවය. ඔහු නොර්වේ රටේ සැඟවී සිටින බවට ද කරුණා අම්මාන් විසින් එහිදී හෙළිදරව් කර තිබිණි.

පොටූ අම්මාන්එල්.ටී.ටී.ඊ.යෙ රහස් කරුණා ළග…?

යුද්ධයේ අවසන් සාමය වනවිට කරුණා අම්මාන් සිටියේ එල්.ටී.ටී.ඊ.යට එරෙහි ස්ථාවරයකය. ඔහුගේ සහය හිමිවූයේ ශ‍්‍රී ලංකා යුධ හමුදාවටය. ප‍්‍රභාකරන්ගේ මළ කුණ හඳුනාගැනීම සඳහා වෙල්ලිමුල්ලි වයිකාල් වෙත හමුදාව විසින් රැගෙන එන ලද්දේ කරුණා අම්මාන් සහ දයා මාස්ටර්ය. මේ නිසා යුද්ධය අතර වාරයේදී එල්.ටී.ටී.ඊ. අභ්‍යන්තරයේ තොරතුරු කරුණා වෙත ලැබෙතැයි සිතීම උගහටය. එසේම වර්තමානයේ එල්.ටී.ටී.ඊ. පාර්ශ්වය නියෝජනය කරන්නා වූ පිරිස සමග වුවද කරුණාට හොඳ ඇසුරක් තිබෙනවා යැයි සිතිය නොහැකිය. පොට්ටු අම්මාන් නොර්වේ හි සැඟවී සිටී නම්, එයට හේතුව විය හැක්කේ එක්කෝ ආරක්‍ෂාවය. නැතිනම් ඔහු විසින් වෙනත් රහස් මෙහෙයුමකට අර අඳිමින් සැලසුම් සකස් කරනවා විය යුතුය. මේ දෙකම නොවන්නේ නම්, ඔහු සිය යටගියාවට සම්පූර්ණයෙන්ම තිත තබා, අලූත් මිනිසෙක් ලෙස ජීවත් වනවා විය යුතුය. එසේ සිටින පොට්ටු අම්මාන්ගේ රහසිගතභාවය කරුණා වැනි එල්.ටී.ටී.ඊ. විරෝධියකු වෙත දැන ගැනීමට ලැබී ඇත්නම්, එයින්ම ඔහුගේ රහසිගත ජීවිතයේ අවසානය ලකුණු වන බව කිව හැකිය. අනිත් අතට ඔහු සැඟවී සිටීමේ හේතුව ද එයින්ම අහෝසි වන බව පැහැදිලිය.

සිය ප‍්‍රකාශය සඳහා කිසිදු සාධකයක් කරුණා විසින් ඉදිරිපත් කර නොමැති අතර, එය වචනයකට පමණක් ඔහු විසින් සීමා කර තිබේ. කරුණාගේ මෙම ප‍්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් පොට්ටු අම්මාන්් ජීවතුන් අතර නොමැති බව හිටපු එල්. .ටී .ටී.ඊ. සාමාජිකයින්ගෙන් සැදුම්ලත් පක්‍ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක හා නායක කේ. තුලසි පවසා සිටියේය. එල් .ටී .ටී.ඊ සංවිධානයේ ජීවත් වූ ප‍්‍රබල නායකයින් කිසිවෙක් ජීවත්ව නොසිටින බව අදාළ නායකයින් සමග සටන්වලට සහභාගි වි බේරුණු පුනරුත්තාපනය ලැබූවන් දන්නා බව ද තුලසි එහිදී පවසා සිටියේය.

යුධ මෙහෙයුමේදී සියලූ එල්.ටී.ටී.ඊ. නායකයන්ගේ මළ සිරුරු පැහැදිලිව හඳුනාගත හැකි මට්ටමේ ඡායාරූප නිකුත් වුවත් එම ඡායාරූප ගොන්නේ පොට්ටු අම්මාන්්ගේ රුව දක්නට ලැබුණේ නැත. මෙම ඉඩ ප‍්‍රස්ථාව මගින් පොට්ටු අම්මාන්් තවමත් ජීවතුන් අතරය යන මතය දරන පිරිසක් සිටිති.

පොට්ටු අම්මාන් 3ෂන්මුගලිංගම් ශිවශන්කර්

පොට්ටු අම්මාන්ගේ උප්පැන්න සහතිකයේ තිබෙන නම ෂන්මුගලිංගම් ශිවශන්කර්ය. 1981 වසරේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයට, ඔහු එකතු වන්නේ සුසෙයි සමගය. තමිල්නාඩුවේ වේදර්නායම්වලදී අවි පුහුණුව ලබන ඔහු කළු කොටි බළකායේ සහ එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශය වන ටොසීස්හි ප‍්‍රධානියා බවට පත්වේ. ප‍්‍රභාකරන්ගේ සමීප සගයකු බවට පත්වීමට තරම් හා එම සංවිධානයේ බරපතළ වගකීම් ප‍්‍රමාණයක් දරන තැන දක්වා ඔහු පත්වන්නේ විශ්වාසය හා කැපවීම හේතුවෙනි.

1994 දෙසැම්බර් 28 වැනිදා ගෝපාලස්වාමි මහේන්ද්‍ර රාජා හෙවත් මහත්තයා ඇතුළු එල්.ටී.ටී.ඊ. කාඩරයන් 275 ක් මරා දැමීම සඳහා පෙරමුණ ගෙන තිබෙන්නේ ද පොට්ටු අම්මාන්්ය. ඉන්දීය රෝ ඔත්තු සේවයට අවනත වී පොට්ටු අම්මාන්් ඇතුළු එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ පිරිස් මරා දැමීම සඳහා මහත්තයා ඇතුළු පිරිසක් උත්සාහ දැරීම මෙයට ආසන්නම හේතුව බව සඳහන්ය. මහත්තයා ඇතුළු පිරිස දරන ලද ප‍්‍රයත්නයකදී පොට්ටු අම්මාන්්ගේ දෙවැනියා වූ බොස් බරපතළ තුවාල ලබා පණ බේරා ගෙන තිබිණි. විටක එල්.ටී.ටී.ඊ. යේ අභ්‍යන්තර ප‍්‍රශ්නවලදී තීරණාත්මක කාර්යයක් ඉටු කළ පොට්ටු තවත් විටෙක ජාත්‍යන්තරය හඳුනාගෙන තිබුණේ රජිව් ගාන්ධි ඝාතනය සඳහා ඉන්දියාවට අවශ්‍යව සිටි ප‍්‍රධාන සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු ලෙසය.

පොට්ටුගේ සගයකු වීමේ ආඩම්බරය

පොට්ටු අම්මාන්්ගේ කාර්යභාරය පිළිබඳව හොඳ කතාවක් රජිව් ගාන්ධි ඝාතනය පිළිබඳ පරීක්‍ෂණ වලදී හෙළිදරව් වී තිබිණි. ගාන්ධි ඝාතනයෙන් පසුව එල්.ටී.ටී.ඊ. කේත පණිවුඩ ඉන්දීය ආරක්‍ෂක අංශයන් හි පරීක්‍ෂණයට ලක්විය. ඉන්දියාවේ සිට ඝාතන ප‍්‍රයත්නය සඳහා නායකත්වය දුන් සිවරාසන් මැයි හතර වැනිදා හෙවත් ඝාතනයට සති දෙකකට පෙර මෙසේ පවසා තිබිණි.’’මම ආපසු යාපනයට යතොත්, ඒ යන්නේ ලෝක නායකයකු ඝාතනය කිරීමේ ඇදහිය නොහැකි වික‍්‍රමය පෑ පොට්ටු අම්මාන්ගේ සගයකු හැටියටයි’’. පොට්ටු අම්මාන්්ට එල්.ටී.ටී.ඊ.ය තුළ තිබූ තැන එතැනින්ම පැහැදිලිය.

මානුෂීය මෙහෙයුමේ අවසාන දින කිහිපය

ගත වුණේ එල්.ටී.ටී.ඊ. යේ නායක පොදිය දඩයම් කිරීම සඳහාය. ප‍්‍රධාන පෙළේ සියලූ නායකයන් එතැනදී ඝාතනය වූ අතර ඔවුන්ගේ මළ සිරුරු ද හඳුනා ගනු ලැබීය. මළ සිරුර නොමැති වීමෙන් තවමත් ජීවත් වන බවට කතාවක් ඉතිරි කර තැබූ නායකයා වූයේ පොට්ටු අම්මාන්්ය. ශ‍්‍රී ලංකා රජය විසින් නිල වශයෙන්ම සනාථ කර තිබෙන කාරණයක් වන්නේ පොට්ටු අම්මාන්් මළගිය ඇත්තන්ගේ ගොඩට එකතුවී ඇති බවයි.

ශ‍්‍රී ලංකා රජයේ සහතිකය

2009 සැප්තැම්බර් මස කොළඹ මහාධිකරණයේදී විභාග වූ ලක්‍ෂ්මන් කදීර්ගාමර් ඝාතන නඩුවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කපිල වෛද්‍යරත්න (පසුව ආරක්‍ෂක ලේකම්වරයා බවට ද පත්විය.) විසින් අධිකරණයේදී කියා සිටියේ එම නඩුවේ ප‍්‍රධාන විත්තිකරුවන් දෙදෙනා වන වේළුපිල්ලේ ප‍්‍රභාකරන් හා පොට්ටු අම්මාන්් මියගොස් ඇති බවය. රජිව් ගාන්ධි ඝාතනය සඳහා ප‍්‍රධාන සැකකරුවෙක් ලෙස පොට්ටු නම් වී තිබුණ බැවින්, පොට්ටු හා ප‍්‍රභාකරන් ජීවතුන් අතර නොමැති බවට ශ‍්‍රී ලංකා රජයේ සහතිකයක් ඉන්දියාවට අවශ්‍ය වී තිබිණි. එම සහතිකය ලබා දෙමින් ශ‍්‍රී ලංකා රජය විසින් දන්වා යවා තිබුණේ මානුෂීය මෙහෙයුමේ අවසන් අවස්ථාවේදී මෙම දෙදෙනාම ජීවිතක්‍ෂයට පත්වූ බවය.

ශ‍්‍රී ලංකා රජයේ හා අධිකරණය ඉදිරියේ වගකිවයුතු මරණ සහතිකයක් පොට්ටු අම්මාන්්ට ලැබී තිබුණත් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවේ සමහරෙක් ඔහු ජීවත් කරවන්නේ ”අවසාන මොහොතේදී පොට්ටු අම්මාන්් පැන ගත්තා” යන තර්කය ඉදිරිපත් කරමිනි. කරුණාගේ කනට වැටී ඇත්තේ ද මෙවැනි කතාවක් විය හැකිය.

පොට්ටුට මොකද වුණේ?

පොට්ටු අම්මාන්්ට ඇත්තටම වුණේ කුමක්ද යන්න උපකල්පන හතරක් ඔස්සේ සලකා බැලිය හැකිය.

1. මානුෂීය මෙහෙයුමේ අවසාන අදියරේදී හමුදා ප‍්‍රහාරයකින් මරණයට පත්විය.

2. අවසාන මොහොතේදී සිය දිවි හානි කරගත්තේය.

3. හමුදා යටතට පත්වී රඳවා තබා ගෙන සිටියි.

4. දිවි බේරාගෙන පැන ගත්තේය.

මෙයින් පළමු කාරණා දෙකම තිබෙන්නේ පොට්ටු ජීවත්වන බවට නොව ඔහු මරණයට පත්වූ ආකාරය පිළිබඳවය. පොට්ටු අම්මාන් පිළිබඳව මෙම උපකල්පන පිළිබඳ සාධනය කිරීම පොදුවේ පිළිගන්නා කාරණයකින් ඇරඹිය හැකිය.

2009 මැයි 16 වැනිදා ශ‍්‍රී ලංකා යුද හමුදාව සමස්ත භූමිය අත්පත් කරගැනීමේ අවසාන තැනට එළැඹ සිටියේය. මේ වන විට ඉතිරිව සිටි කොටි නායකයෝ සියලූ දෙනාම පාහේ නන්දිකඩාල් කලපුව අසල රැඳී සිටියහ. එදින පෝක් ප‍්‍රදේශයේ පිහිටි මුහුදු තීරයේදී බි‍්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුත් 58 වැනි සේනාංකය හා බි‍්‍රගේඩියර් ප‍්‍රසන්න සිල්වාගේ නායකත්වයෙන් යුත් 59 වැනි සේනාංකය එකිනෙකාට හමුවීම සිදුවිය. මෙම ඓතිහාසික හමුවීම මගින් ශ‍්‍රී ලංකා වෙරළ තීරය එල්.ටී.ටී.ඊ. ග‍්‍රහණයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් විය.

මෙම අවස්ථාව වන විට ඉතිරිව සිටි කොටි නායකයෝ සියලූ දෙනාම නන්දිකඩාල් කලපුව අවට රැඳී සිටියෝය. මැයි 16 වැනිදා, සෙනසුරාදා දිනයේ සමස්ත මුහුදු තීරය හමුදාව යටතට පත්වීම සමග තමන්ට පැන ගැනීමට තිබූ මඟ වැසී ගිය බව කොටි ප‍්‍රධානීන් තේරුම්

ගන්නට ඇත. එදින රාත‍්‍රියේ 59 වැනි සේනාංකය රැඳී සිටි ඉදිරි ආරක්‍ෂක වළල්ලට ත‍්‍රස්තවාදීන් විසින් පහර දෙනු ලබන්නේ, තමන් වටකර ඇති හමුදා බැම්මේ කුමන හෝ තැනක් බිඳ ගැනීමේ අරමුණින් යුක්තවය. 59 වැනි සේනාංකය සිටි තැනින් ‘බැම්ම බිඳ මුලතිව් කැලෑ තීරයට ඇතුළු වීමේ උපාය මාර්ගයක් මෙතැනදී එල්.ටී.ටී.ඊ. නායකයන්ට අවශ්‍යවන්නට ඇත. එම අසාර්ථක උත්සාහය විසින් කොටි ත‍්‍රස්තවාදීන් ගණනාවකගේ මරණය තීන්දු කර තිබිණි.

අවසාන සටනේ කණ්ඩායම් තුනක්…

මැයි 17 වැනිදා උදෑසන 5 වන විට වර්ග කිලෝමීටර් 800 කට පමණ සීමාවේ තිබූ යුධ මුක්ත කලාපය තුළ සිටි සිවිල් වැසියන් බේරා ගැනීමේ මෙහෙයුමේ මේජර් ජනරාල් කමල් ගුණරත්නගේ නායකත්වයෙන් යුත් 53 වැනි සේනාංකය හා බි‍්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුත් 58 වැනි සේනාංකය යෙදී සිටියහ. මෙම මෙහෙයුමේ ප‍්‍රතිඵලයක් ලෙස යුධ මුක්ත කලාපයේ කොටු වී සිටි ජන සන්නිපාතයෙන් කොටසක් මුදා ගැනීමට එම සේනාංක සමත් විය. අනතුරුව කොටි නායකයෝ ඇතුළු 800 කට ආසන්න පිරිසක් හමුදා වළල්ල තුළට කොටු වන්නට පටන් ගත්හ. මෙම පිරිස කණ්ඩායම් තුනක් ලෙස විසිරී සිටියහ. බානු, සුසෙයි ඇතුළු පිරිස එක් කණ්ඩායමක් ලෙසත්, ප‍්‍රභාකරන් ඇතුළු පිරිස තවත් කණ්ඩායමක් ලෙසත්, පොට්ටු අම්මාන්් හා ඔහුගේ බිරිය ඇතුළු පිරිස අනෙක් කණ්ඩායමක් ලෙස මෙලෙස ස්ථානගත වී සිටියහ.

මැයි 18 වැනිදා පාන්දර යාමය වනවිට පොට්ටු අම්මාන්ගේ කණ්ඩායම, කුඩා කඩොලාන තීරයක් වෙත පැමිණ සිටි අතර කළු කොටි බළඝනයක් විසින් ඔවුන්ට ආරක්‍ෂාව සපයමින් තිබී ඇත. එදින උදෑසන පහ පමණ වනවිට මෙම පිරිස වෙරළ තීරය අද්දරට පැමිණ සිටියෝය. උදෑසන 5.30 වනවිට පොට්ටු අම්මාන්ට ද තුවාල සිදුවී තිබූ අතර ඔහු සිය බිරිඳට ද වෙඩි තබා සියදිවි හානි කරගත් බවට වාර්තා විය. යුද බිමෙන් ලද තොරතුරු මේ සඳහා අදාළ කරගෙන තිබෙන අතර මෙම එක් ලියුම්කරුවකු එම මොහොතේ ඉදිරි සටන් බිමේ සිට යුධ පුවත් වාර්තාකරණයේ යෙදී සිටීම නිසා අදාළ තොරතුරු සජීව ලෙස ලබාගත් ඒවා ලෙස සැලකිය හැකිය.

ප‍්‍රශ්නය තිබෙන්නේ එසේ නම් පොට්ටු අම්මාන්ගේ සිරුරේ ඡායාරූප නොමැත්තේ ඇයි යන්නය. මියගිය පොට්ටු අම්මාන්ගේ බිරියගේ ඡායාරූපය ඇතත් පොට්ටුගේ ඡායාරූපයක් නොමැතිවීමට හේතු කිහිපයක් සඳහන් කළ හැකිය.

පොට්ටුගේ සිරුර….

ඔහු විසින් සිය දිවි නසා ගත්තේ බෝම්බයක් වැනි සිරුර කැබලි වී යන ආකාරයකින් නම්, එතැනදී මළ සිරුර පිළිබඳ සාධක ඉතිරි වන්නේ නැත.

තමන් යුධ බිමේදී මියගිය හොත් තම මළ සිරුර සතුරා අතට පත් නොවන්නට එල්.ටී.ටී.ඊ. ප‍්‍රධානීන් විසින් අනුගමනය කරන ලද ‘වික‍්‍රමාන්විත ක‍්‍රමයක්’ පිළිබඳව ද මෙහිදී මතකයට නඟා ගත යුතුය. ප‍්‍රභාකරන් විසින් තමන් සටනේදී මියගිය හොත්, සිය මිනිය ගිනි තබා දැමීම සඳහා පෙට‍්‍රල් කෑනයක් සහිත කාඩර්වරයකු රඳවා තබා ගත්තේය. මෙය පොට්ටු ද අනුගමනය කළ ක‍්‍රමයක් විය. එල්.ටී.ටී.ඊ. ය හා ඉන්දීය හමුදාව අතර සටන් ඇවිලෙද්දී මෙම කටයුත්තේ ප‍්‍රභාකරන් යෙදී සිටින බව ප‍්‍රසිද්ධ විය. පොට්ටු අම්මාන්් හට මරණය අත්වන විට ඉහත ආකාරයෙන් හෝ වෙනයම් ආකාරයකින් පොට්ටු අම්මාන්්ගේ සිරුර විනාශ කිරීම සඳහා ඉතිරිව සිටි එල්.ටී.ටී.ඊ. කාඩරයන්ට අවස්ථාව තිබිණි. මෙතැනදී නැෙඟන තර්කය වන්නේ, එම ක‍්‍රියාදාමය ප‍්‍රභාකරන් විෂයෙහි සිදු නොවුණේ ඇයි ද යන්නය. ප‍්‍රභාකරන් මියයන මොහොත වන විට එවැනි ක‍්‍රියාවක් සඳහා වග කිවයුතු පුද්ගලයකු ඉතිරි නොවන්නට ඇත. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අංක 001 දරන තහඩු පත කර පැළඳි ප‍්‍රභාකරන්, එහි අවසානය ලෙසින්ම, අවසානයේදීම විනාශයට පත්වූ බව කිව හැකිය. මේ නිසා ඔහුගේ මළ සිරුරට ගිනි තැබීමක් හෝ විනාශයක් කිරීමට පුද්ගලයකු ඉතුරු නොවුණ බව හෝ තිබුණු තත්ත්වය හමුවේ එවැනි ක‍්‍රියාදාමයකට ඉඩ ප‍්‍රස්ථා නොතිබුණු බවද කිව හැකිය.

පොට්ටු අම්මාන්්ගේ සිරුර ගිනි තබා විනාශ කළා යැයි උපකල්පනය සඳහා තවත් ඉඩක් තිබෙන්නේ හිට්ලර් සිය සිරුර විනාශ කිරීම සඳහා අනුදැන වදාළ ක‍්‍රමවේදය ද එයම වීම නිසාය. එල්.ටී.ටී.ඊ. ය වැනි ත‍්‍රස්ත සංවිධාන එවැනි පරමාදර්ශ අනුව කටයුතු කරනාකාරය නිරන්තරයෙන්ම දැකිය හැකිය.

හමුදාවට යටත් වී හෝ ඔවුන් විසින් අල්ලාගෙන සිටීමේ කාරණය පොට්ටු විෂයෙහි අදාළ නොවන බවට වන සාධකය ශක්තිමත්ය.

කලාපීය බලවතාට කී ඇත්ත

ඉන්දියාව වැනි ඔත්තු සේවා ශක්තිය ප‍්‍රබල, වගකිවයුතු කලාපීය බලවතකුගේ විමසීමක් සඳහා ශ‍්‍රී ලංකා රජය විසින් අසත්‍ය කාරණා ගොනු කරන්නේ නැත. රජිව් ගාන්ධි සිද්ධියේ වරදකරුවකු ලෙස පොට්ටු ජීවතුන් අතර දැයි ඉන්දියාව කළ විමසීමේදී ශ‍්‍රී ලංකා රජය විසින් රාජ්‍ය වගකීම සහිතව ප‍්‍රකාශ කළේ පොට්ටු මියගොස් ඇති බවය. හමුදාව භාරයේ සිටින්නකු ගැන එවැනි ප‍්‍රකාශයක් කිරීමේ අවශ්‍යතාවක් ශ‍්‍රී ලංකාවට තිබිය නොහැක. කේ.පී. අත්අඩංගුවට ගෙන, ශ‍්‍රී ලංකා ආරක්‍ෂක අංශ විසින් ඒ ගැන ලෝකයට වසන් නොකළේ නම් පොට්ටු ගැන වසන් කරන්නේ කුමකට ද? එල්.ටී.ටී.ඊ. හමුදා නායිකාව කමලනි හමුදා භාරයේ සිට සිරගත කර තිබුණි. දයා මාස්ටර්, ජෝර්ඡ් මාස්ටර් ද එසේය. ඔවුන් සියලූ දෙනා පිළිබඳවම කටයුතු සිදු වූයේ එළිපිටය. පොට්ටු හමුදා අත්අඩංගුවේ සිටියා නම් ඔහුට ද එම තත්ත්වය පොදුය.

‘‘පොට්ටු දිවි බේරාගෙන පැන ගත්තේය’’ යන්න, දෙමළ වර්ගවාදීන් හා එල්.ටී.ටී.ඊ.යේ ඉතිරි මිතුරු පිරිස අසන්නට කැමතිම කතාව වුවත් ඒ සඳහා තිබෙන එකම සාධකය වන්නේ මියගිය නායකයන් අතර පොට්ටු අම්මාන්ගේ ඡායාරූපය නොමැති වීම පමණය. ඒ හැර අන් සියලූ සාධක පවතින්නේ පොට්ටු අම්මාන් අපායේ ජීවත් වන බවටය. මේජර් ජනරාල් කමල් ගුණරත්න විසින් පොට්ටු අම්මාන්්ගේ අවසානය පිළිබඳව දිවයින පුවත්පත සමග කරන ලද සාකච්ඡාවකදී පවසා සිටියේ ”නන්දිකඩාල් කියන්නේ විශාල කලපුවක්… පස්සේ අපි මිනී හොයනකොට ඉදිමුණු, කුණුවෙච්ච මිනී ඕනෑ තරම් හම්බු වුණා. සති දෙකක් විතර යනකං අපිට මිනී හම්බු වුණා… ඒ අතර පොට්ටු අම්මාන් ඉන්න ඇති කියලා අපි සැක කරනවා. ඒ වගේම පොට්ටු අම්මාන් මැරුණ බවට ඇසෙන් දුටු සාක්‍ෂි අපිට හමුවුණා.”

මෙම කාරණා බලන විට පොට්ටු අම්මාන්් මියගිය බවටත් ඔහුගේ සිරුර විනාශ වී ගිය බවටත් සැක කළ හැකිය. ගැඹුරට එරෙනා කලපු බිමක සිරුරකට අත්විය හැකි ඉරණම ද මෙහිදී සිහියට නඟාගත යුතුය.

අවසාන මොහොතේ පැන ගත්තාද?

හමුදාව විසින් අවසාන මොහොතේ මුහුදු තීරය අත්පත් කරගෙන ඉතිරිව සිටි නායකයන් රොත්ත කොටුකර ගැනීමත් සමග පැන යෑම යන්න, යථාර්ථයට වෙනස් කතාවක් බවට එල්.ටී.ටී.ඊ. නායකයන් විෂයෙහි පත් විය. අනෙක් අතට සයුර දෙසට, වෙරළ තීරයේ යුධ හමුදා තීරයෙන් මිදී පැන ගත්ත ද පළපුරුදු ශ‍්‍රී ලංකා නාවික හමුදාවෙන් ගැලවීම, ඉටුකර ගත නොහැකි අරමුණකි. එවැනි ඉරණමකට මුහුදු කොටි නායක සුසෙයිගේ බිරිඳ හා දරුවන් පත් විය. ඔවුහු නාවික හමුදා අත්අඩංගුවට පත්වී අදත් ජීවතුන් අතර සිටිති.

පොට්ටු අම්මාන්ට සිදු වූයේ කුමක් ද යන ප‍්‍රශ්නය විෂයෙහි කේ.පී. ලබාදී තිබෙන පිළිතුර වැදගත් වන්නේ ඔහු ඒ මොහොත ගැන අවබෝධයක් සහිතව ජීවත්ව සිටින ප‍්‍රධානම එල්.ටී.ටී.ඊ. නායකයා නිසාය. 2010 අගෝස්තු මස 20 වැනි දින ප‍්‍රසිද්ධ කර තිබෙන, කේ.පී. සමග ඞී. බී. එස්. ජෙයරාජ් කර තිබෙන සාකච්ඡාවකදී පොට්ටු අම්මාන් මිය යන්න ඇති බවත් ඔහුගේ මළ සිරුර විනාශ කරන්නට ඇති බවත් කේ.පී. විසින් ප‍්‍රකාශ කර තිබුණි. එවිට ජෙයරාජ් විසින් කේ.පී. ගෙන් යළි ප‍්‍රශ්න කර ඇත්තේ පොට්ටු අම්මාන් පැන යෑමේ ඉඩ ප‍්‍රස්තාවක් තිබුණා නේද යනුවෙනි.

කේ.පී. ඒ සඳහා දී තිබෙන පිළිතුර පොට්ටු අම්මාන්ගේ ඉරණම පිළිබඳව ලබාදුන් හොඳ තීන්දුවක් ලෙස ගත හැකිය.

‘‘තර්කයක් ලෙස එයට පිළිතුර ඔව්… නමුත් යථාර්ථයේදී එයට පිළිතුර නැත.’’

මනෝජ් අබයදීර – එරික් ගාමිණී ජිනප‍්‍රිය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More