දේශීය පුවත්

මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතිය, පකිස්ථානයේ මෙන් බටහිර රටවලට උවමනා පරිදි නැටවිය නොහැකි වනු ඇතැයි තමන් තවමත් විශ්වාස කරන බව නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

පසුගියදා ‘දේදුනු කුමන්ත්‍රණයේ අවසානය කුමක් ද?’ යන තේමාව යටතේ මහරගම යොවුන් රඟහලේදී පැවැති ජනසමුළුව අමතමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ සඳහන් කළේය.

“මේ මොහොතේ ජාතිය හමුවේ තිබෙන අභියෝගය සහ සටන කුමක්ද? කියා නිවැරදිව වටහාගත යුතුයි. නැතිනම් අපට ඊට අවශ්‍ය නිවැරදි ‘ඇඳුම’ අඳින්න බැරි වෙනවා. 2015 ජනවාරි 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ජයගනු ලැබුවේ අපේ ජාතිකවාදී කඳවුරෙන් සතුරා විසින් පැහැරගත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමයි. අපි 2015 පෙබරවාරි 18 වැනිදා නුගේගොඩින් ඇරඹි ‘මහින්ද සුළඟ’ දැවැන්ත ජන ගඟ ඉදිරියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගෙන් ඉල්ලා සිටියේ එළඹෙන මැතිවරණයෙන් පරගැති කඳවුරේ අගමැති රනිල් වික්‍රමසිංහ පලවා හැර අගමැති ධුරයට මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් පත් කරන ලෙසයි. එහෙම ඉල්ලීමක් එදා කළේ අපි දැනගෙන හිටියා කෙදිනක හෝ කුරුඳුවත්තේ රනිල් වික්‍රමසිංහ සහ පොළොන්නරුවේ මෛත්‍රීපාල සිරිසේන අතර සමනය කළ නොහැකි ප්‍රතිවිරෝධයක් ඇති වන බව. ඒ සමනය කළ නොහැකි සංස්කෘතිකමය – ප්‍රතිපත්තිමය ප්‍රතිවිරෝධතාව මහා ගැටුමක් වී පුපුරා යන බව අපි දැන සිටියා.

‘නිදන්ගත අර්බුදය එළියට ඒම’

අපි දැක්කා ඒ ගැටීම මහා පිපිරීමක් බවට පත් වෙමින් තිබෙන බව. ඒ තත්වය තුළ තමයි දිගින් දිගටම කල් දමමින් තිබූ පළාත් පාලන මැතිවරණයට දින නියම වෙන්නේ. ඒ මැතිවරණයෙන් ‘මහින්ද ලකුණ: පොහොට්ටුව’ විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා. ඒ ප්‍රතිඵලයත් සමඟම මේ යහපාලන ආණ්ඩුව තුළ නිදන්ගතව තිබූ රෝගය එළියට ආවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයා හැටියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ට ඒ මොහොතේ කියන්න සිදු වුණා, ‘මේ රටේ ආර්ථිකය කාබාසිනියා කළේ රනිල් වික්‍රමසිංහ. ආපු ගමන් එයාලා මහ බැංකු සුද්ධ කළා’ කියා. අපි කල් තියා දුටු ගැටුම, ප්‍රතිවිරෝධය ඉන් පසු දිනෙන් දින මුහුකුරා ගියා. ඒ අතර ජාතකවාදී විද්වතුන්, බුද්ධිමතුන් ගෙන ගිය මතය තමයි ‘මේ රාජ්‍යය ස්වදේශිකයාගෙන් උදුරාගෙන විදේශිකයාට අත්පත්කර දෙන මේ පරගැති ගමන නතර කළ හැක්කේ මෛත්‍රී – මහින්ද සුසංයෝගයකටයි’ යන්න. අපේ දේශපාලන කඳවුරේ ඇතමුන් ද මෙම කාරණය සිදු නොවන දෙයක් ලෙසයි දුටුවේ. රටට උවමනා දේශපාලන වෙනසට අනුව වෙනස් වීමට බැරි දේශපාලනඥයන් ද වඳ වී යන සත්ව කොට්ඨාසයකගේ ඉරණමට ලක් වීම වළක්වන්න බැහැ. කොසේ නමුත් රටට උවමනා දේශපාලන වෙනස, ඒ මහා පිපිරීම පසුගිය ඔක්තෝබර් 26 වැනිදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් විසින් මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් අගමැති ධුරයට පත් කරමින් සිදු වූවා.

‘එකම රෑනේ කුරුල්ලෝ’

2018 ඔක්තෝබර් 26 වැනිදායින් පසුව ලැබුණු ආර්ථික ජයග්‍රහණ බන්දුල ගුණවර්ධන ඇමතිතුමන් ඇතුළු මට පෙර කතා කළ කිහිපදෙනක්ම සඳහන් කරනු ලැබුවා. මා පවසන්නම් ලැබුණු දේශපාලන ජයග්‍රහණ කිහිපයක්. 2015 ජනවාරි 08 වැනිදායින් පසුව ආණ්ඩුව ලෙස එජාපය ඇතුළු පිරිසකුත් විපක්‍ෂය ලෙස දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණත් පාර්ලිමේන්තුව තුළ කටයුතු කළා. නමුත් ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු 54ක හඬට වඩා ලොකුවට එදා කථානායක කරු ජයසූරියට දෙමළ ජාතික සන්ධානයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ධුර 22ක හඬ ඇහුණා. හැබැයි ඔක්තෝබර් 26 වැනිදායින් පසුව පෙනී යනවා, මේ ගෙවී ගිය වසර තුනහමාර තුළ ආණ්ඩුව හා විපක්‍ෂය ලෙස කටයුතු කළේ ‘එකම රෑනේ කුරුල්ලෝ’ ටිකක් කියලා. දැන් ජවිපෙ අනුර කුමරුන් රනිල් හාමු රකින්න නොකරන දෙයක් නැහැ. ඊට සතියකට කලින් ‘ආණ්ඩුව ගෙදර යනු’ කියලා ජනතාව ගොනාට අන්දන්න උද්ඝෝෂණය කරපු ජවිපෙ නායකයන් අද අමු නිර්වස්ත්‍රයෙන් රනිල් හාමුට නැති වුණු අගමැතිකම යළි ලබා දෙන්න කියලා කඬේ යනවා. අපි කියනවා ‘අනුර කුමරුනි රනිල් හාමු ගෙදර යවන ශිෂ්ට සම්පන්න ක්‍රමය කුමක්දැයි කියා දෙනු මැනවි’ කියා.

දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරන්ලාගේ ද දැන් රෙදි ගැලවී තිබෙනවා. මේ රනිල් සමඟ අනියම් සබඳතා පැවැත්වූ අනුරලාගේ සහ සුමන්තින්ලාගේ නියම සබඳතා අද රට ඉදිරියේ හෙළි වී තිබෙනවා. රනිල් සමඟ පයුරු පාසානම් පැවැත්වූ ජවිපෙට අද මී පාසානම් කන්න වෙලා තිබෙනවා. ‘මේ ජාතික රාජ්‍යය රැකගත යුතුයි’ කියා සිතන එජාප පාක්ෂිකයන්ගෙන් අපි අහනවා ‘රට බෙදන ව්‍යවස්ථාවක් සම්මතකර දෙන බවට පොරොන්දු දී රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ජාතික සන්ධානය සමඟ කසාදයකට යනවාට ඔබලා කැමතිද?’ කියා.

‘නිරුවත් වූ එන්ජීඕ බත් බැලයෝ’

ඔක්තෝබර් 26 වැනිදායින් පසුව, රනිල් හාමුට එතෙක් කලක් හොර රහසේ කඬේ ගියපු එන්ජීඕ බත් බැලයන් ද නිරුවත් වී තිබෙනවා. දඹර අමිල හිමියෝ මෙතෙක් කලක් ගමන්කර ඇත්තේ ධර්මයේ ආනුභාවයෙන් නොවෙයි, ලිට්රෝ ගෑස් එකේ අනුභාවයෙන් කියා හෙළිදරව් වී තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ මුවාවෙන් රනිල් හාමු රකින්න දඹර හාමුදුරුවෝ එන්නේ එයාට 95,000 නැති වෙන නිසයි. සරත් විජේසූරිය මහත්තයාට ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ලක්‍ෂ ගණන් ලැබුණු නිසයි එයා කඬේ ගියේ කියා දැන් රටම දන්නවා. ගාමිණි වීයන්ගොඩලාට, සමනලී ෆොන්සේකාලාට සැල – සිනේ ආයතනයෙන් ලක්‍ෂ 270ක් ලැබී තිබෙන බව දැන් රටම දන්නවා. මේ පරපුටු එන්ජීඕ හවුල් නඩත්තු කළේ මේ පරගැති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව බව හෙළදරව් වුණේ ඔක්තෝබර් 26 වැනිදා සිදු වූ බල පෙරළිය නිසයි. ඔවුන්ට තමන්ගේ රෙදි ගැලවුණු පසු ප්‍රජාතන්ත්‍රවාදය මතක් වී තිබෙනවා.

‘ගැහුවේ රනිල්ට – වැදුණේ සුද්දාට’

මේ දිනවල පාර්ලිමේන්තු ගැලරියට බටහිර තානාපති කාර්යාලවල නිලධාරින් එනවා. ඔවුන් බරපතළ ලෙස කැලඹී සිටිනවා. මීට වසර 200කට පෙර සුද්දා ‘ගම්පාලු ප්‍රතිපත්තිය’ ගෙනවිත් මේ රටේ දේශප්‍රේමී තරුණතරුණියන් මරා දමා සිතැඟි පරිදි පාලනයක් ගෙන ගියා. යළිත් එවැනි ගමනක් යන්නයි 2015 ජනවාරි 08 වැනිදා බල පෙරළියකට ඔවුන් පාර කැපුවේ. අපි එවැනි දේශද්‍රෝහී – පරගැති ගමනක් තමයි රනිල් අගමැති ධුරයෙන් ඉවත් කරලා නතරකර දැමුවේ. ඒ නිසයි ගැහුවේ රනිල්ට වුණාට සුද්දාට වැදිලා – රිදිලා තිබෙන්නේ. දැන් මේ සුද්දො ටික අරලියගහ මඩමටත් යනවා. රනිල්ව රකින්න සාකච්ඡා කරනවා. එදා මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් අරලියගහ මැදුරට සමු දී ගියාම ලක්‍ෂ සංඛ්‍යාත ජනකායක් ඔහු සොයාගෙන මැදමුලනට ගියා. නුගේගොඩට ලක්‍ෂ සංඛ්‍යාත ජන ගඟක් එක්ව ‘මහින්ද සුළඟ’ ඇරඹුවා. අද අරලියගහ මඩමට එන පිරිස තුන්වේල සරිකර ගන්නවා මිසක් මොන කෙංගෙඩියකවත් කරන්නේ නැහැ. ජවිපෙ නුගේගොඩින් අරඹපු ‘රනිල් සුළඟ’ ලත් තැනම ලොප් වී තිබෙනවා.

‘ස්වදේශිකත්වය සහ පරදේශිකත්වය අතර සටන’

මීට වසර 200කට කලින් අලුපොත නැමති ගමේදි සුද්දන්ගේ ඌව පළාත් අධිකාරම් ධුරය දැරූ වීර මොනරවිල කැප්පෙටිපොළ නිලමේතුමන් 1818 ජාතික නිදහස් අරගලයට පණ පෙවූ නායකයන් සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව තම සේනාව සුද්දා වෙත හරවා යවා එම ජාතික නිදහස් අරගලයට නායකත්වය දීමට තීරණය කළා, දිවිහිමියෙන් නායකත්වය දුන්නා. ඒ වගේම සතුරාගේ කඳවුර විසින් පැහැර ගනු ලැබූ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටත් ඒ සටන වෙනත් මුහුණුවරකින් වසර 2000කට පස්සේ ඇරඹී ඇති මොහොතක ජාතිකවාදී කඳවුරේ සිට ගැනීමට කිසිම බාධාවක් නැහැ.

දැන් බලනවා අධිකරණයත් තමන්ට උවමනා විදියට නටවන්න. රන්ජන් රාමනායකගේ කටින් පිටවුණේ අරලියගහ මඩමේ කතා වුණු දේවල්. මේ බටහිරගැති විජාතික පරඩැල් ටික අධිකරණයේ ස්වාධීනත්වයට ඇඟිලි ගසමින් තිබෙනවා. අපි දැක්කා, පසුගිය කාලයේ පකිස්ථානයේ සිදු වූ දෙය. බටහිර රටවල් පකිස්ථාන අධිකරණයේ ඉහළම තැන් තමන්ට උවමනා ආකාරයට ආන්බාන් කරන්න පටන් ගත්තා. නොසිතූවිරූ තීන්දු දෙන්න පටන් ගත්තා. පකිස්ථානය, චීනය සමඟ සුහදව ගනුදෙනු කරන නිසා එම රට අස්ථාවර කිරීමේ උවමනාව බටහිර රටවලටත් අසල්වැසියා වූ ඉන්දියාවටත් තිබුණා. සමහර රටවල් යටත්කර ගැනීම සඳහා බටහිර රටවල් ඉහත කී රටවල ව්‍යවස්ථාදායකය පමණක් නොවෙයි අධිකරණය ද තමන්ට උවමනා පරිදි නටවනවා. නමුත් අපි විශ්වාස කරනවා මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්තු මිනිස්සු ඉන්න මේ රටේ අධිකරණය, වරදානවලට යට වී බටහිරට උවමනා දේ නොකරයි කියලා. පකිස්ථානයේ අධිකරණය බටහිර රටවල් විසින් නැටවූව ද මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතිය බටහිර රටවලට උවමනා පරිදි නැටවිය නොහැකි වනු ඇතැයි අපි විශ්වාස කරනවා.

‘සරත් ෆොන්සේකාට ලණුව කවපු හැටි’

ඇමෙරිකන් තානාපති කාර්යාලයේ ලණු කන අයට අත්වන ඉරණම පිළිබඳ ජීවමාන උදාහරණය තමයි හිටපු හමුදාපති සරත් ෆොන්සේකා, ඔහු තුළ ඇමරිකන් තානාපති කාර්යාලය ජනාධිපති සිහිනය මැව්වා. අවසානයේ ඔහුට ලණුව වමාරන්න බැරිව ගියා. අවසානයේදී ඡන්ද 5000ක් ගන්න බැරි තැනට ඇද වැටුණා. අපි විශ්වාස කරනවා ‘මේ රටේ අධිකරණ පද්ධතිය ඇමරිකන් තානාපති කාර්යාලයේ ලණු කන අධිකරණයක් පද්ධතියක් නොවේවි’ කියලා.

‘මේක අලුත් සටනක් නොවෙයි’

අද මේ අප ඉදිරියේ තිබෙන සටන රනිල් – මෛත්‍රී හෝ රනිල් – මහින්ද අතර සටනක් නොවෙයි, එය ‘ස්වදේශිකත්වය ද, විදේශික පරගැති හවුලකට යටත් වෙනවා ද?’ කියන කාරණය සම්බන්ධයෙන් වන පුළුල් සටනක්. මේ සටන, අලුත් සටනක් නොවෙයි. මීට අවුරුදු 2000කට පෙර අපේ ඌව – වෙල්ලස්සේ සටන්කාමී මුතුන්මිත්තන් මුහුණ දුන්නෙත් මෙවැනිම සටනකට. මැතිවරණයක් ඉල්ලා මේ කරන සටනේ අවියක් බවට පත්වෙමු. සටනේ කෙළවර මේ රටට ජයග්‍රහණ ගෙන එමු”

අබර

2018.12.03

“දේදුනු කුමන්ත්‍රණයේ අවසානය කුමක්ද?”මහරගම යොවුන් රඟහලට රොදබැඳි ජන සමුළුව…

Gepostet von Lanka Lead News am Samstag, 1. Dezember 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More