මුහුණු පොතෙන්

හෙළ රජ දවස ලංකාව හැඳින් වූයේ ‘‘පෙරදිග ධාන්‍යාගාරය’’ ලෙස. පසුව ‘‘ ඉන්දියන් සාගරයේ මුතු ඇටය’’ නමිනි. එහෙත් දැන් ඇත්ත ඇති සැටියෙන්ම කියනවා නම් සිරි ලංකාවේ වත්මන් විරුදාවලිය මේ කිසිවක් නොව ‘‘Golden Boys in the Silver Beach’’ යන්නය. එහි අරුත ‘‘රිදී වෙරළේ රත්තරන් කොල්ලො’’ යන්නය. ඒ අපේ රටේ Beach boy සංස්කෘතියට පිං සිදු වන්නටය. මේ කියන්නට යන්නේ ඒ ගැන නොවේ. අපේ මේ කථාව විවෘත ආර්ථිකයේ බ්‍රේක් නැතුව පල්ලම් බසින ආර්ථික සමාජ දේශපාලන දේහය බිහි කළ තවත් එක් සමාජ පිළිකාවක් ගැනය. ඒ විදේශීය ලිංගික ශ‍්‍රමිකාවන් ලංකාවේ පැල්පැදියම් වීමෙන් ලාංකික කාන්තාවන් හෝ පුරුෂයන් ලිංගික ශ‍්‍රමිකාවන් ලෙස විදේශගත වීම හෝ විදේශ ගත වූ පසු කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ලිංගික ශ‍්‍රමිකාවන් ලෙස කටයුතු කිරීම ගැනය.

ලංකාවට පැමිණෙන විදේශීය ලිංගික ශ‍්‍රමිකාවෝ ඉන්දීය, රුසියන්, චීන, තායිලන්ත, පිලිපීන්, කොරියන් ආදී විවිධ රටවල් නියෝජනය කරති. විශේෂයෙන් රුසියානු ජාතික ලිංගික ශ‍්‍රමිකාවන් හා චීන ජාතික ලිංගික ශ‍්‍රමිකාවන් මෙහිදී ලාංකික සේවා ලාභී භවතුන් අතර ඉතා ජනප‍්‍රියය. චීන ජාතික කාන්තාවන්ගේ දේහ වර්ණයත් රුසියන් කාන්තාවන්ගේ නාරි දේහ ලක්‍ෂණත් ලාංකිකයන් ආකර්ෂණය කර ගැනීමට ඉවහල් වෙන ප‍්‍රධාන සාධකවේ.

ප‍්‍රධාන පෙළේ කැරොකේ ශාලා, රාත‍්‍රී සමාජ ශාලා, ප‍්‍රධාන පෙලේ ටෙක්නො සාද, තරු හෝටල්වල කොක්ටේල් සාද, සම්භාහන මධ්‍යස්ථාන, හික්කඩුව, ආරුගම්බෙ වැනි වෙරළාසන්න සංචාරක පුරවරයන් මොවුන් ගැවසෙන ප‍්‍රධාන ස්ථාන ලෙස හැඳින්විය හැකිය. කැරොකේ ශාලාවල බෙල් නර්තනය. ආදී නර්තන විධික‍්‍රම මගින් ගණුදෙනු කරුවන් ආකර්ෂණය කර ගැනීමට වෙර දරයි. උසස් රසවින්දනයකින් යුතු රූපලාවන්‍ය හා ඇඳුම් මෝස්තර භාවිතයක් ඔවුන් තුළ දක්නට ලැබේ. සමහරක් දෙනා අතිශය ස්වභාවික ආකාරයටත් තවත් අය අතිශය කෘතීම ආකාරයටත් රූපලාවන්‍ය භාවිත කරනු දක්නට හැකිය. මෙකී නර්තන සාදවල දොරටු විවර වන්නේ සුපිරි පැලැන්තියේ ‘‘උත්තමයන්ටය’’ තම සිත්ගත් රූමතියට රුපියල් නොව ඩොලර් මාල පැළඳවිය හැක්කේ ඒ උදවියට වීම එයට හේතුවයි. ලොකුම වටිනාකමින් යුතු ඩොලර් මාලය පැළඳ වූ තැනැත්තාට එදින රාත‍්‍රියේ ඒ රූමතිය හිමිය. රාත‍්‍රී සමාජ ශාලාවල, ටෙක්නො සාදවල, කොක්ටේල් සාදවල අන්දරය අඩුවැඩි වශයෙන් වීම සමානය.

එහෙත් සම්බාහන මධ්‍යස්ථානවල නැතිනම් ස්පාවල කතාව මීට වෙනස්ය. ‘‘ස්පා’’ඇත්තේ සුපිරි පැලැන්තියටම පමණක් නොව ඉහළ මධ්‍යම පන්තියට හා මධ්‍යම පන්තියටය. විශේෂයෙන්ම තායි ළඳුන්ගේ සේවය මෙහිදී විශේෂයෙන් ලබාගත හැකිය. ඇත්තෙන්ම එය නිල වශයෙන් සැ`ගවුණු ප‍්‍රසිද්ධ රහසකි.

lingika2මේ ආකාරයට ලංකාවට පැමිණෙන විදේශීය ලිංගික ශ‍්‍රමිකාවන් එම සමාජවල තුන්වන සමාජ පන්ති නියෝජනය කරන පිරිසය. ඔවුන්ට තම උපන් බිමේ ලිංගික ශ‍්‍රමිකාවක් ලෙස ක‍්‍රියා කරනවාට වඩා ලංකාවේ ලිංගික ශ‍්‍රමිකාවක් ලෙස ක‍්‍රියා කිරීම වාසිදායකය. විශේෂයෙන් ලංකාව තුළ විදේශීයකුට ජීවත් වීම පහසුය. සරලවම ඩොලර් තුනකින් තුන් වේළ පිරිමසාගත හැකිය. සිරි ලංකාව ඒ තත්ත්වයට පත් කළ අපේ දේශපාළුවන්ට හා නිලධාරී අම්බරුවන්ට රුපියලේ අගය අපගමනය වීමට හොඳ දෙයක් ලෙස කියා මාධ්‍ය හමුවකදී තප්පුලෑමට මෙය කදිම නිර්නායකයකි. මේ නිසාත් ලංකාවේ සංචාරක කර්මාන්තයට ඇති වල් බූරු නිදහස හෝ අවධානයක් නොමැති වැල යන අතට මැස්ස ගහන ප‍්‍රතිපත්ති නිසාත් ඔවුන්ට ලංකාව සකළ සිරින් පීරි සිරි ලංකාවක්මය.

ලංකාවේ පිරිස් විදේශීය ලාංකික ශ‍්‍රමිකාවන්ට ආශක්ත වීම කරුණු කිහිපයක් බලපෑ ඇත. ඒ අතර ශරීර වර්ණය, දේහ ලක්‍ෂණ, මෙන්ම කණ්ඩායම් ලිංගික ක‍්‍රියා හා ඕනෑම ලිංගික ක‍්‍රියාවකට සූදානම් වීම, ලාංකික කාන්තාවන්ට වඩා විදේශීය කාන්තාවන් ලිංගික දැනුමෙන් ඉහළ වීම, සක‍්‍රීය වීම හා ශක්තිමත් වීම, ඔවුන් සමග නිතර සම්බන්ධ වීමට අවස්ථාව නොලැබීම ආදී හේතූන් දැක්විය හැකිය.

කැරෝකේ ශාලා හිමිකරුවන්, රාත‍්‍රී සමාජ ශාලා හිමිකරුවන්, ස්පා ආයතන හිමිකරුවන් ලිංගික ශ‍්‍රමිකාවන් කල්ලි වශයෙන් ලංකාවට ගෙන්වා ගනිති. විශේෂයෙන් සීසන් එකට (සංචාරකයින් වැඩි වශයෙන් පැමිණෙන කාලයට) මෙසේ ලිංගික ශ‍්‍රමිකාවන් කණ්ඩායම් වශයෙන් පැමිණීමේ වැඩිවීමක් ඇත. ඒ සැක සිතීමේ අවස්ථාව අවම කර ගැනීමටය. මෙහි දෙවන වර්ගය නම් තරුණ කල්ලි විසින් ලංකාවට ලිංගික ශ‍්‍රමිකාවන් ගෙන්වා ගැනීම හා ඔවුන්ව අලෙවි කිරීමය. එය කරන්නේ ඉහළ මධ්‍යම පන්තියේ පීරිස් විසින් පහළ මධ්‍යම පන්තිය උදෙසාය. විදේශ සංචාරවලදී හඳුනා ගන්නා ලිංගික ශ‍්‍රමිකාවන්ට ඔවුන් ලංකාවට ගෙන් වන්නේ නවාතැන් හා කෑම බීම පහසුකම් පවා දෙන පොරොන්දුව මතය. ඒ හිලවුවට ඔවුන් ලිංගික ශ‍්‍රමිකාව උපයන මුදලින් කොටසක් ද ඔවුන් සමග එක්වීමට අවස්ථාවද හිමි කරගනියි. පහළ මධ්‍යම පංතිකයන්ගෙන් විදේශ සංචාරයන්ට යෑමට අවශ්‍ය මුදල් නැති මුත් විදේශීය ලිංගික ශ‍්‍රමිකාවන්ගේ සේවාව ලබා ගැනීමට කැමති අය ඉලක්ක කොට මෙය මෙහෙය වේ. මෙය තෙපාර්ශවයටම ඉතා වාසිදායක ජාවාරමකි. මෙහි තෙවන වර්ගය නම් තැරැවුකරුවන් නොමැතිව ලංකාවට පැමිණ තනිව සිය වෘත්තීය කරගෙන යන පිරිසය. මොවුන්ව හඳුනාගත හැක්කේ විදේශීය ලිංගික ශ‍්‍රමිකාවන් ඇසුරු කර ඇති අය පමණි, මන්දයත් ඔවුන් ඉ`ගි හැසිරීමේ රටාව ආදී ඇඳුම් පැළඳුම්, වර්ණ භාවිතය ලාංකීය ලිංගික ශ‍්‍රමිකාවන්ට වඩා වෙනස් වන නිසාය. මේ ක‍්‍රියාවලිය තුළ ලිංගික ශ‍්‍රමිකාවන් ලෙස තරුණියන් වරදවා වටහා ගැනීමේ අවස්ථාද නැත්තේම නොවේ. අපි කිසිසේත්ම අනුමත නොකරන්න එමෙන්ම සාධාරණීකරණය නොකරන මුත් සමාජ ශාලාවල, ටෙක්නෝ හාෘන්‍ සාදවල මුහුදු තීරවල විදේශීය තරුණියන්ට ලිංගික අතවර කිරීම්වලට මෙයද හේතුවක් වී ඇත. අපේ රටේ රජයන්ට අපේ මිනිස්සු වටින්නේ නැතුවාට වෙනත් දේශයන්හි සිය රටේ රටවැසියන්ගේ ආරක්‍ෂාව ගැන තම රට තුළ මෙන්ම විදේශයන්හිදී ද සැලකිලිමත් වෙයි. අපේ රට ‘‘බ්ලැක් ලිස්ට්’’ වෙන්නට පෙර අපේ රටේ පාලකයෝ සැලකිලිමත් විය යුත්තේ මේ නිසාය.

සකල සිරියෙන් පිරි සිරි ලංකාවේ හුදී ජනයා අතරේ සිය පාන් සම්බෝලය පිණිස ලිංගික ශ‍්‍රමිකාවන් ලෙස විදේශගත වෙයි. මැද පෙරදිග රටවල්, සිංගප්පූරුව, මැලේසියාව, කොරියාව මෙසේ ලිංගික ශ‍්‍රමිකාවන් ඉලක්ක කොටගත් රටවල්ය. වෙනත් හැම ප‍්‍රශ්නයකදී මෙන්ම මෙයටද හේතුව මේ විස්ම ලන්තයේ ආර්ථික, සමාජ, දේශපාලන, පසුබිමය. මේ රටේ ස්වාමි පුරුෂයාණෝ සිය ප‍්‍රියම්භිකාව විදේශ ගත කොට සිය සොඳුරිය එවන පණම්වලින් මල් පැණි නොව කුඩුද කොකේන්ද එයිනුදු නොනැවතී, අයිස්ද, ක්‍රොකඩයිල්ද, අනුභව කරනේය. පවුල විසිරි යන්නේය. එවන පණම්වලට සිය සොඳුරිය කායික ශ‍්‍රමය මෙන්ම ලිංගික ශ‍්‍රමයද වගුරුවන බව හෙතෙම නොදන්නේය. දැනගන්නත් අදාළ නැත. ඔහුට අදාළ ‘‘මුදල’’ පමණි.

මැදපෙරදිග රටවල ලක් ලියන් කැමැත්තෙන්ද අකමැත්තෙන්ද ලිංගික සූරාකෑම්වලට ලක්වෙති. විටක හාමු පුතාගේද ඔහුගේ නෑදෑ හිතමිතුරන්ගේද ලිංගික බලපෑම්වලට ලක්වෙයි. සමහර විට ඇය සිය කැමැත්තෙන්ම ලිංගික ශ‍්‍රමිකාවක් ලෙස කටයුතු කරයි. මැලේසියාව සිංගප්පූරුව වැනි රටවල රැකියා දෙන බවට පොරොන්දු වී බලහත්කාරයෙන් ලිංගික ශ‍්‍රමික නිවෙස්වලට විකුණන ආයතන ඇත. එමෙන්ම ඒ රටවලදී පළමුව බලහත් කාරයෙන්ද දෙවනුව කැමැත්තෙන්ද ක‍්‍රියා කරන අයුරු ලිංගික ශ‍්‍රමිකාවක් ලෙස විදේශගත වන බවත් පෙනෙන්නට තිබේ.

ලංකාවෙන් ලිංගික ශ‍්‍රමය සඳහා පිටත්ව යන්නේ කාන්තාවන් පමණක් නොවේ. විරුද්ධ ලිංගික, සමලිංගික හා ද්වි ලිංගික වශයෙන් ක‍්‍රියා කරන්නට පුරුෂ පාර්ශවයේ පිරිස්ද විදේශගත වෙයි. මොවුන් බොහෝ විට පහළ මධ්‍යම පන්තියේ හෝ තුන්වන පංතියේ වෙරළබඩ කලාපයේ ජීවත්වන පිරිස්ය. කොරියාව, ජපානය, ඉතාලිය මොවුන්ගේ ප‍්‍රධාන ගමනාන්තය. සංචාරක ව්‍යාපාරය නිසා විවිධ ජාතීන් පැමිණෙන මාලදිවයිනට පවා ඔවුන් යනෙන තැන්වලින් එකකි. හෝටල් සේවකයින්, වේටර්වරුන්, සිකියුරිටිවරුන්, සුපර්මාර්කට් වල සේවකයින් නැව්වල සේවකයින්, පිරිසිදු කරන්නන් ලෙස මොවුන් සිය වෘත්තිය ලෙස කරගෙන යන අතරතුර ලිංගික ශ‍්‍රමිකයින් ලෙසද ක‍්‍රියා කරයි. කනගාටුවට කරුණක් නම් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ලෙස විදේශගත වූවන්ද කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ කාර්යය කිරීමය. අපි මේ කියන්නේ විදේශගතවන සියලූ දෙනා ගැන නොවේ. ඉන් සමහර අයට අත්වන ඉරණම ගැනය.

අප ලිංගික ශ‍්‍රමික වෘත්තිය කිසිසේත්ම හෑල්ලූ නොකරන්නෙමු. එහි සමාජීය, ජීව විද්‍යාත්මක අවශ්‍යතාවය එයින් ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වයට ඇතිවන බලපෑම, ලිංගික අපරාධවලට බලපෑම ගැන සොයා බැලීම අපි සමාජ විද්‍යාවට භාර කරන්නෙමු. අපිට පීතෘ මූලික වික්ටෝරියානු සදාචාරවාදී පවුල් සමාජ ක‍්‍රමයේ ඇති පුහු සදාචාර න්‍යායන් ගැන කතා කිරීමට ඔබේ කාලයත් අපේ කාලයත් නාස්ති කරන්නට අදහසක් නැත්තෙමු.

72 ස්වාධීන රාජ්‍යයක් වී ඒ පැත්ත බලා මේ පැත්ත බලන්නට පෙර 77 දී රටේ ආර්ථිකයේ වහලය ගලවා බිමින් තැබීමේ සිට, අයාලේ යන ආර්ථික ප‍්‍රතිපත්ති, අතීසාරෙට අමුඩෙගහන, වැලයන අතට මැස්ස ගහන, ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලා, වක්කඬේ හකුරු හංගන ජාතික ප‍්‍රතිපත්ති, වැටත් නියරත් ගොයම් කන පන්නයේ විධායක, ව්‍යවස්ථාදායක අධිකරණ පද්ධතිය, මුර බල්ලා වෙනුවට හුරතලා වී ඇත. ජනමාධ්‍ය මෙන්ම බොහෝ සමාජ මාධ්‍ය ද මෙයට අඩු වැඩි වශයෙන් වගකිව යුතුය. කෙතරම් තිත්ත වුවත්, රළු වුවත්, කටෝර වුවත් හිත රිදුනත් ඇත්ත ඇත්තමය. ලංකාව ‘ආසියාවේ ගණිකා මඩම’ වන දවස වැඩි ඈතක නැත.

මධුෂාණි කොඩිතුවක්කු



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More