පුරවැසි කොලම

ඔහු තවම රැඳී සිටින්නේ හිටපු ජනාධිපති ලෙස ඔහුට හිමිව ඇති නිල නිවසේය. එදා සේම අදත් විජේරාම මාවත වාහන සහ ජනී ජනයාගෙන් පිරී පවතී. ජනාධිපති තනතුර අහිමිවී මහින්ද රාජපක්ෂ සිය ගමට ගිය අවස්ථාවේ සේම, භික්ෂුන් වහන්සේ ප‍්‍රමුඛ ජනතාව අගමැතිවරයා වෙත සුබපැතුම් පුද කිරීම සඳහා පැමිණෙමින් සිටිති. අප ඔහුගේ නිවස තුළට යන විට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් සහ ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් සියලූ දෙනාම පාහේ, පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡාවක් සඳහා පැමිණ සිටියෝය. එම රැස්වීම ආරම්භ වන තෙක් ලැබුණු විරාමයේදී අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග දිවයින ඉරිදා සංග‍්‍රහය සිදු කරන ලද සාකච්ඡාවකි මේ.

ප‍්‍රශ්නය – සමහරු කියන්නේ ඔබ තවත් වතාවක් දේශපාලන ගැටයකට අසුවුණා කියලයි…

පිළිතුර – එහෙම ගැටවලට අහුවෙන්න තරම් ළද බොළඳ මිනිස්සුද අපි…? ඔහොම කතාවක් සමහරු කියාගෙන යනවා. එහෙම කියන්නේ එජාපයෙ පිරිස් බව අපිට ආරංචියි. ඒ අය තමන් ලබලා තියෙන පරාජය වහගන්න මේ වගේ කතා ප‍්‍රචාරය කරනවා. සමහරු කියන්නේ ”මේ තනතුර භාර ගත්තේ නැතුව හිටියා නම්, තව අවුරුදු දෙකකින් අපි පුදුම ජයග‍්‍රහණයක් ලබනවා… මේ අවස්ථාවේ අගමැතිකම භාරගෙන ඒ ජයග‍්‍රහණය අඩු කර ගත්තා…” කියලයි. ඔහොම කියන කවුරුවත් අපිට ඡන්දය දුන්න උදවිය නෙමෙයි. ඒ සියලූ දෙනාම අද පරාජය වෙලා ඉවරයි. ඒක නොකියා ඔවුන් කරන්නේ, අපේ ජයග‍්‍රහණය සැහැල්ලූ කරන එකයි. ඇත්තටම ගැටයකට අහුවුණේ අපි නෙමෙයි, එජාපය. ඔවුන්ට දෙවරක්ම ජනාධිපතිවරණය සඳහා තමන්ගේ කියලා නායකයෙක් තෝරා ගන්න බැරි වුණා. 2010 ජනාධිපතිවරණයට ඔවුන් ගෙනාවේ, සරත් ෆොන්සේකා, ඊළඟට 2015 දී ඔවුන් ගෙනාවේ පොදු අපේක්ෂකයෙක්… ඒ තමයි මෛත‍්‍රිපාල සිරිසේන මහත්මයා. එදා තමන්ට ජනාධිපතිවරණයක් දිනා ගන්න බැරි නිසා ගහපු පොදු අපේක්ෂක ගැටයට තමයි, අද එජාපය අහුවෙලා තියෙන්නේ. මෛත‍්‍රිපාල ජනාධිපතිතුමාගේ ජයග‍්‍රහණය සඳහා එජාපය දර දිය අදින්න ඇති. ඒත් පොදු අපේක්ෂකයෙක් ගෙනාවේ තමන්ට දිනන්න බැරි නිසානේ. එහෙම බැලූවම මේ ජනවරම ජයග‍්‍රහණයක් බවට පත් කර ගත්තේ මෛත‍්‍රිපාල ජනාධිපතිතුමානේ… එජාපයට ඕනෑ වෙලා තිබුනේ එතුමාව තමන්ට ඕනෑ විදිහට නටවන්න. ඒක කර ගන්න බැරි වුණහම, තානාපතිවරු ළඟ දණ ගහගෙන අඬ අඬා යනවා.

ප‍්‍රශ්නය – 113 ක බහුතර බලයක් නැතිව ඔබ විසින් පස්ස දොරෙන් අගමැති තනතුර භාරගත්ත ක‍්‍රමය නිවැරදිද…?

පිළිතුර – කවුද පස්ස දොරෙන් අගමැතිකම ගත්තේ…? 2016 අගෝස්තු මාසයේ පවත්වපු මහමැතිවරණයෙන් කිසිවෙකුට බහුතර බලයක් ලැබුණේ නැහැ. ඒ අනුව එක්කෝ සභාගයක් හෝ සුළුතර ආණ්ඩුවක් හදන්න වෙනවා. එජාපයට සභාගයක් හදන්න සිදුවුණා. ඒ එජනිසය සමගයි. අනිකුත් පක්ෂ සමග සභාගයකට යන්නත් බැහැ, මොකද දෙමළ සන්ධානය සහ ජවිපෙ විපක්ෂ නායක තනතුර සහ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායකකම අරගත්තා. එජනිසය ජාතික ආණ්ඩු ගිවිසුමෙන් ඉවත්වීමත් සමග, එජාපය සුළුතරය බවට පත්වුණා. ඒ සමග රනිල් වික‍්‍රමසිංහ මහතාව අගමැති තනතුරෙන් ඉවත් කරලා, අගමැති ලෙස වැඩ භාරගන්න කියලා, ජනාධිපතිතුමා මට ආරාධනය කළා. එහෙම ගිහිල්ලා අගමැතිකම ගන්නේ පස්ස දොරෙන් වෙන්නේ, කොහොමද…? 2015 ජනවාරි නව වැනිදා රනිල් අගමැතිකම ගත්තේ නම්, පස්ස දොරෙන්. අගමැති විදිහට හිටපු දි.මු.ජයරත්නට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබුණා. එහෙම තියෙද්දී මන්ත‍්‍රීවරු හතළිස් දෙකක් තියාගෙන කිසිම ලැජ්ජාවක් නැතුව රනිල් අගමැතිකම ගත්තා. ඒවා තමයි, පස්ස දොරෙන් ගත්තා කියන වැඩ…

ප‍්‍රශ්නය – කොහොම වුණත් ඔබ හදිස්සි වුණා වැඩි නැද්ද…?

පිළිතුර – කිසිම හදිස්සියක් වුණේ නැහැ… අපි විපක්ෂය. විපක්ෂයේ කාර්යභාරය මොකක්ද…? ආණ්ඩුව පෙරළන එක. ඔබගේ පුවත්පත සමග මීට පෙර කරපු සාකච්ඡාවේදී මම මොකක්ද කිව්වේ… ”අතට අහුවුණු දේකින්, හැකි ඉක්මනින් අපි ආණ්ඩුව පෙරළනවා” කියලා. මම ජනතාවට කිව්වේ, තව පෝය දෙකක් යන්න ඉස්සෙල්ලා, අපි ආණ්ඩුව පෙරළනවා කියලයි. මේ කළේ ඒ දේ තමයි. අපි පක්ෂයක් විදිහට හෝ පුද්ගලයෙක් විදිහට කල්පනා කරන්න ඉස්සෙල්ලා, රටක් ජාතියක් විදිහට කල්පනා කරලා ඉන්න ඕනේ. එජාපය තව ටික කලක් ආණ්ඩු කරා නම්, මේ රට බෙදෙන ෆෙඩරල් ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගේනවා. ගෙනහල්ලා සම්මත කර ගන්නවා. එහෙම වුණා නම් රටට මොකද වෙන්නේ… ජිනීවා යෝජනාවට සම දායකත්වය ලබා දීලා, අපේ රටට විරුද්ධව අපිම, එජා මානව හිමිකම් කොමිසම ඉදිරියට ගියා.එහෙම කළේ එජාපයේ විදේශ ඇමැති. එහෙම කරලා මේ රටේ රණවිරුවන්ට විරුද්ධව නඩු අහන්න, ජාත්‍යන්තර විනිසුරුවරුන් ගේන්නේ හැදුවා. මේ රටට සේවය කරපු රණවිරුවන් හිරේ දැම්මා. රණවිරු දඩයම එන්න එන්නම වැඩි කළා. මේවා තව අවුරුද්දක් කරගෙන ගියා නම් අපිට රටක් ඉතුරු වෙයිද…? මේ රටේ ජනතා දේපළ අත යට සල්ලි වලට, කොමිස් කුට්ටි වලට කුණු කොල්ලයට විකුණලා දැම්මා. බදු පොදි ගහලා, ජනතාවගේ කර මත පැටෙව්වා. විදේශ රටවල දුක් මහන්සි වෙලා හම්බු කරන අපේ ජනතාව ගෙදරට සල්ලි එවන කොට ඒවාට බදු ගැහැව්වා. වෙන එකක් තියා, ළමා ඉතුරු කිරීමේ ගිණුම් වලටත් ඒ අය බදු ගැහැව්වා. මේ වගේ වෙලාවක, දේශපාලන හඳහන් බල බල තමන්ගේ පක්ෂය ගැන හිතන එකද හරි, රට ජාතිය ගැන හිතලා, ආණ්ඩුව පෙරළන එකද…නිවැරදි ?

ප‍්‍රශ්නය – තවමත් ඔබට පාර්ලිමේන්තුවේ බහුතර බලය හදාගන්න බැරි වෙලා තියෙනවා. ඉතා පැහැදිලිවම අනිත් පැත්තට මන්ත‍්‍රීවරු 123 දෙනෙක් සිටිනවා. එසේ තබාගෙන බලහත්කාරයෙන් අගමැති පදවියේ රැඳී සිටීම නිවැරදිද…?

පිළිතුර – මම එදා කිව්වා වගේම මට මේ තනතුරු ලොකු නැහැ. මම අවුරුදු නවයක් මේ රටේ ජනාධිපති… ඇමැතිකම්, අගමැතිකම් දැරුවා. තනතුරු සියල්ල නැතිව හිටියා. මගේ දරුවෝ, සහෝදරයා හිරේ දැම්මා. මගේ පාක්ෂිකයෝ, ඒ අයගේ පවුලේ අය හිරේ දැම්මා. මගේ ලේකම්වරයා, මා යටතේ සේවය කළ නිලධාරීන් හිරේ දැම්මා. ඒ සියල්ල විඳවපු මට ඔය තනතුරු නෙමෙයි වැදගත්… අපි මේ රටට ලබා දුන්න ජයග‍්‍රහණ සියල්ල ආපසු හැරෙව්වා. අපේ රණවිරුවන් බේරා දුන්න රට, කලාප රාජ්‍ය වලට ව්‍යවස්ථාවෙන් වෙන් කරන්න හදන එක නවත්වන එකයි සියල්ලට වඩා වැදගත් කියලා මම හිතන්නේ… ඒ වෙනුවෙන් තමයි අපි මේ තනතුරු භාර ගත්තේ. ඒ මිසක් අපි මේ කිසි තනතුරක බලහත්කාරයෙන් එල්ලිලා ඉන්නේ නැහැ. ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල එන්නත් ඉස්සෙල්ලා මම අරලියගහ මන්දිරයෙන් ගියේ, තනතුරු වැදගත් නැති හින්දයි.

ප‍්‍රශ්නය – අනිත් පැත්තෙන් ඔබට එල්ල කරන අභියෝගය වන්නේ 113 පෙන්වන ලෙසයි…

පිළිතුර – අපි තවම ඉන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබෙනකන්… දෙසැම්බර් හත්වෙනිදාට ඒ තීන්දුව ලැබෙයි. ඒ තීන්දුව අනුව අපට බහුතරය පෙන්වන්න සිදුවුණොත් අපි අනිවාර්යෙන්ම පෙන්වනවා.

ප‍්‍රශ්නය – අද රට තිබෙන්නේ කැලඹිලි තත්ත්වයක… පාර්ලිමේන්තුව කිසිදු වැදගැම්මකට නැති තැනක් බවට පත්වෙලා. මේ වාතාවරණය තුළ ඔබ අගමැති තනතුර භාර ගත්තත් කිසිවක් කර ගන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා…

පිළිතුර – අපි බලයට එනවට බය පිරිසක් ඉන්නවා. ඒ තමයි මේ රටට හතුරු පිරිස… මම 2005 දී මේ රට භාර ගන්න කොට, රටේ ආර්ථිකය තිබුණේ බිමටම වැටිලා. ඒ මදිවාට ලෝකයේ දරුණුම ත‍්‍රස්තවාදීන් සමග අපිට යුද්ධයක් කරන්නත් වෙලා තිබ්බා. හිටපු යූ. එන්. පී මුදල් ඇමැතිවරයා කියනවා ආණ්ඩුව වෙනස් කරපු නිසා රටේ ආර්ථිකය පිරිහෙනවයි කියලා. පසුගිය ආණ්ඩුව යටතේ ආර්ථිකයේ වෙච්ච දරුණු පරිහානිය නිසා තමයි ජනාධිපතිතුමා මට රට බාරදුන්නේ. මේ වගේ තත්ත්වයක් ඇති වුණාම ඕනම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක කරන්නේ මහමැතිවරණයක් පවත්වලා අලූත් ආණ්ඩුවක් පත් කරගන්න එකයි. ජනාධිපතිතුමා අපේ ආණ්ඩුවේ හිටපු නිසා දන්නවා අපි අසීරු තත්ත්වයන් පාලනය කළේ කොහොමද කියලා. යුද්ධය කරන්න අපි සල්ලි හොයාගත්තා. දශක ගණනාවක් තිස්සෙ කාටවත් කරන්න බැරි වුණ මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘති විශාල ගණනක් අපි සම්පූර්ණ කළා. 2007 ලෝක ආහාර අර්බුදය ජනතාවට දැනෙන්නවත් ඉඩ හැරියේ නෑ. 1930 ගණන් වලින් පසු ලෝකයේ ඇති වූ දරුණුම ආර්ථික අවපාතය 2008 දී ඇති වුණත් ලංකාවේ මිනිස්සු ඒවගේ දෙයක් වුණයි කියලවත් දැනගෙන හිටියෙ නෑ. ඒ කාලේ ලෝක තෙල් මිල ඉතිහාසයේ කවරදාකටත් වඩා ඉහළ මට්ටමක පැවතියත්, ඒකත් අපි කළමනාකරණය කරගත්තා.

මම අවුරදු 9 ක් ඇතුළත මේ රටේ ඇමරිකානු ඩොලර්, ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් වැඩි කළා. ඒ කාලේ ආර්ථිකයේ සාමාන්‍ය වර්ධන වේගය 7.4% ක්. ඩොලරයක මිල රුපියල් 131 යි. දළ ජාතික නිෂ්පාදිතයට සාපේක්ණය බර තිබුණෙ 70% ක අගයක. අපි 2015 ජනවාරි 9 වැනිදා අලූත් ආණ්ඩුවට බාර දුන්නේ ආර්ථික වශයෙන් ඉතාම ස්ථාවර රටක්. නමුත් අවුරුදු 4 ක අවපාලනයෙන් පස්සෙ, අද මුළු ආර්ථිකයම දැඩි අවදානම් සහගත තත්ත්වයකයි තියෙන්නෙ. අද මේ රට මුහුණපාල තියෙන ආර්ථික අර්බුදයේ භයානකම පැත්ත තමයි විදෙස් විනිමය ණය බර. මම 2005 දී මුල් වරට ජනාධිපති වෙනකොට රටේ යුද්ධයක් තිබුණ. නමුත් ආර්ථිකය ඇත්ත වශයෙන්ම මේ තරම් දරුණු තත්ත්වයක නෙවෙයි තිබුණෙ. ඒ කාලෙත් දළ ජාතික නිෂ්පාදිතයට සාපේක්‍ෂ ණය ප‍්‍රතිශතය 90% ක් තරම් ඉහළට නැගලයි තිබුණෙ. නමුත් එදා ඒ තිබුණ ණය අතරෙ අද තරම් විදේශීය ණය ප‍්‍රමාණයක් තිබුණෙ නැහැ.

2015 ජනවාරිවල ඉඳලා යූ.එන්.පී ආණ්ඩුව ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, සවරින් බොන්ඞ්, සින්ඩිකේටඞ් ලෝන්, කරන්සි ස්වැප් වගේ නොයෙක් මූලාශ‍්‍ර වලින් ලබාගත්ත විදෙස් විනිමය ණය ප‍්‍රමාණය ගැන විටින් විට ලිඛිතව මහජනතාව දැනුවත් කරන්න මම පියවර ගත්තේ නැවත අපි බලය ගත්ත දවසට, අපිට මුහුණ දෙන්න වෙන ලොකුම ප‍්‍රශ්නය මේ ණය ගැනීම බව මම දැනගෙන හිටිය නිසයි. අවුරුදු තුන හමාරක් ඇතුළත යහපාලන ආණ්ඩුව සමස්තයක් ලෙස ඇමරිකානු ඩොලර් 20.7ක විදෙස් විනිමය ණය පමණක් අරගෙන තියෙනවා. මේ ණය වින්නැහිය නිසා මේ රට ගොඩගන්න කාලයක් ගතවෙනව. මහ මැතිවරණයක් නොපවත්වා, පැවතුණු ආණ්ඩුව දිගටම පවත්වාගෙන යන්න හදන අයට මේ රට ගොඩගන්න බැරි බව කාටත් පැහැදිලි වෙන්න ඕන. ගොඩ අරගෙන තිබ්බ රට ප‍්‍රපාතයට දැම්මේ ඒගොල්ලො තමයි. ඒකයි මැතිවරණ වලට ඔය තරම් බය.

ප‍්‍රශ්නය – මහ මැතිවරණයක් පිළිබඳ අදහස ඔබ මතු කරනවා. මහ මැතිවරණයක් අවශ්‍ය නම්, එජාපයේ බලයේ සිටියදීම ඒ සඳහා පියවර ගන්න තිබුණා. එසේ නොකර ඔබ අග‍්‍රාමාත්‍ය තනතුර භාරගෙන මහමැතිවරණයක් සඳහා ගමන් කරන්නේ, ඔබට පාර්ලිමේන්තුවේ බහුතරය නැති නිසා නේද…?

පිළිතුර – ජනාධිපතිතුමා විසින් ජාතිය අමතමින් කරන ලද කතාවේදී, මට අගමැතිකම භාර ගන්න ආරාධනා කරන ලද හේතු පිළිබඳව සඳහන් කළා. එතුමාව ඝාතනය කිරීම සඳහා එක්තරා පිරිසක් කුමන්ත‍්‍රණයක් සිදු කළ බවට එතුමා චෝදනා කළා. එවන් අවස්ථාවක අගමැති ඉවත් නොකළා නම් මොකද වෙන්නේ…? කවුද ඒ කුමන්ත‍්‍රණයෙන් මේ රටේ අගමැති වෙන්නේ…? ඒවගේම බෙදුම්වාදී ව්‍යවස්ථාව… එය හදිස්සියේ සම්මත කර ගත්තා නම් මේ රට ඉවරයි. මහමැතිවරණයක් කැඳවන තුරු අපි රට භාර ගත්තේ ඒකයි.

ප‍්‍රශ්නය – ඔබ කිහිපවිටක්ම සඳහන් කර තිබුණා මේ කරගෙන යන්නේ භාරකාර ආණ්ඩුවක් කියා. මහ මැතිවරණයක් බැරි නම් මේ භාරකාර ආණ්ඩුව යටතේ පළාත් සභා මැතිවරණයට වුවත් යා හැකියි නේද…?

පිළිතුර – අපි බලයේ සිටින කාලයේත්, විපක්ෂයේ සිටින කාලයේත් මැතිවරණ වලට බය වුණේ නැහැ. අපි හැමවිටම ජනතා මතයට ගරු කළා. මේ ආණ්ඩුව ස්වාධීන මැතිවරණ කොමිසමක් පත් කරලා, මැතිවරණ කල් දැම්මා. අපේ කාලයේ මැතිවරණ කොමසාරිස්වරයෙක් ඉද්දි වෙලාවටත් කලින් මැතිවරණ තිබ්බා.

පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මහ මැතිවරණය අවසන් වෙනකන් පවතින අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම පමණයි අප කළේ. මේ ආණ්ඩුවෙන් දිගටම රට පාලනය කරන්න අපේ බලාපොරොත්තුවක් නෑ. මුළු රටටම පේනවා ඒකාබද්ධ විපක්‍ෂේ ආණ්ඩුවේ තනතුරු දරන්නේ බොහොම සුළු පිරිසක් කියලා. ඒ, මේක තාවකාලික ආණ්ඩුවක් නිසයි. අපේ ඒකායන පරමාර්ථය මැතිවරණයක් පවත්වලා අලූත් ආණ්ඩුවක් පිහිටුවාගන්න එකයි කියලා, මම අගමැති ලෙස දිවුරුම් දීපු අවස්ථාවේ ඉඳලා කිවුවා. එජාපය ඇතුළු හවුල් කල්ලියේ එකම බලාපොරොත්තුව මොනම මැතිවරණයක්වත් නොපවත්වා, අර පරණ ආණ්ඩුවම තව පුළුවන් තරම් ඇදගෙන යෑමයි. ඕක තමයි මෙතන තියෙන ගැටුම.

ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවලා මහ මැතිවරණයක් පවත්වන්නත් මඟ පෑදුවා. ඒත් යූ. එන්. පී හවුල උසාවියේ නඩු දාලා, පවත්වන්න ගිය මහමැතිවරණය කල් දාගත්තා. ජනාධිපතිතුමාගේ ගැසට් එක අනුව කටයුතු කළා නම් මේ වෙනකොට නාමයෝජනා භාර දෙන්නත් පටන් අරගෙන. මහ මැතිවරණයක් පැවැත්වීමෙන් කාගේ හෝ අයිතීන් උල්ලංඝනය වෙනවාද නැද්ද කියන කරුණ ශ්‍රේෂ්ඨාධිකරණය විසඳන තුරු යූ. එන්. පී හවුල මේ කඩාකප්පල්කාරී වැඩ දිගටම කරයි.

ප‍්‍රශ්නය – ජනවරමක් නොමැති තත්ත්වයක් තුළ, දිගින් දිගටම රට අස්ථාවර කරමින් අගමැති තනතුරේ ඔබ රැඳී සිටීම නිසා, රටේ දේශපාලන අස්ථාවරභාවයක් මතුවෙලා තිබෙනවා…

පිළිතුර – ජනවරම තියෙන්නේ අපට… ජනතාව විසින් අවසාන වතාවට ලබා දුන්න ජනවරම වන්නේ පළාත් පාලන මැතිවරණ ප‍්‍රතිඵලයයි. එහිදී බහුතරය ලැබුණේ අපිට. පොහොට්ටුවට සහ එජනිසයට ලැබුණු ඡන්ද ප‍්‍රමාණය ලක්ෂ හැට හතරක් පමණ වෙනවා. එජාපයට ලැබුණේ ඡන්ද ලක්ෂ 36 යි. එහෙනම් මේ රටේ බහුතරය තියෙන්නේ කාටද…? ජනවරම තියෙන්නේ කාටද…? අපිට… මේ රටේ ආණ්ඩුවක් පළාත් පාලන මැතිවරණයකින් පරාජය වූ පළවෙනි වතාව තමයි, ගිය පාර පුංචි ඡන්දය. තමන්ට ජනතා වරම අහිමි වුණු ඒ වෙලාවේ මේ ආණ්ඩුව හරි නම් ගෙදර යා යුතුව තිබුණා. ලැජ්ජා නැතුව මේ අය ඔය තනතුරුවල එදා ඉඳලා එල්ලිලා හිටියා. අඩුම ගානේ අපිට විපක්ෂ නායක කමවත් නොදුන්න මේ අය අද අපිට ශිෂ්ටත්වය උගන්වන්න එනවා. අපි මේ තනතුරු බාර ගත්තේ රට අස්ථාවර කරන්න නෙමෙයි. ආණ්ඩුව අස්ථාවර කරන්න. එදා අපිට විරුද්ධව හිටපු දෙගොල්ලෝ අපි දෙකට වෙන් කළා. ඒ විතරක් නෙමෙයි, එජාපයත් ආණ්ඩුවෙන් අයින් කළා. මේක ජයග‍්‍රහණයක් නෙමෙයිද…? එයින් රට ස්ථාවර වුණා. කොටස් වෙළෙඳ පොළ වර්ධනය වුණා. අපි ලැහැස්ති වුණේ මහමැතිවරණයකට යන්න. ජනතාවගේ ඒ තීන්දුවෙන් පසුව මේ රට තවත් ස්ථාවර වෙන්නයි තිබ්බේ. ඒක නැවැත්තුවේ, එජාපය, ජවිපෙ සහ දෙමළ සන්ධානය කියන හවුල.

ප‍්‍රශ්නය – මේ අස්ථාවරභාවය නිසා ඔබ ලබා ගත්ත අගමැතිකමත්, ඇමැති මණ්ඩලයත් කිසිදු වැදගැම්මක් නොමැති තත්ත්වයකට පත්වෙලා නේද…?

පිළිතුර – අපි මේ දින කිහිපයේදී රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් කොයිතරම් තීරණ ගත්තාද…? අපි ඔක්තෝබර් 26 ආපු ගමන්ම ඉන්ධන මිලත්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කීපයකත් මිල අඩු කළේත්, පොහොර සහනාධාරයත් යළි ස්ථාපිත කරලා කෘෂිකර්මයෙන් ලැබෙන ආදායම් බදු වලින් නිදහස් කරන්න පියවර ගත්තෙත් ජනතාවගේ පීඩනය අඩුකරලා නිෂ්පාදනය වැඩි කරන්නයි. දරුවන්ට ලැබෙන පාසල් නිල ඇඳුමට වවුචරයක් දීලා, කරපු වැඬේ මතකද…? අපි ඒ නිල ඇඳුම් වවුචරය අහෝසි කළා. හැම මාසයේම ජනතාව බය කරපු තෙල් මිල සූත‍්‍රය අහෝසි කළා. අපි මේ ගන්න උත්සාහය ලංකාවට ගොඩයන්න තියෙන අන්තිම අවස්ථාවයි. මැතිවරණ නොපවත්වා දිගටම බලයේ ඉඳගෙන රට විනාශ කරන්න වලිකන බලවේග අපි හැමෝම එකතුවෙලා පරාජය කරලා මේ රට නැවත හරි මඟට ගමු, කියන එක තමයි මම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ප‍්‍රශ්නය – ඔබ බලයට ආපු ගමන් නවීන බෙන්ස් රථයක් සිය පාවිච්චිය සඳහා මිලට ගත් බවට චෝදනා එල්ල වුණා…

පිළිතුර – ඔය එන්නේ එදා ආපු මඩමනේ… අපිව එදා පරාජය කළේ ඔය වගේ මඩ ප‍්‍රචාර යවලනේ… එහෙම ආරංචි පළකරපු අය ඊළඟ සතියෙම ඒක නිවැරදි කරානේ… මම ජනතාවට කියන්නේ, ඔය වගේ මඩවලට ආයෙත් රැවටෙන්න එපා කියන එකයි. මේ අය අසත්‍යය සහ අපවාදය තමයි අපිට එරෙහිව භාවිත කළේ. රටේ ආර්ථික ආපදා තත්ත්වයක් තිබෙන ලෙස තමයි අපිට කටයුතු කරන්න වෙන්නෙ. යූ. එන්. පී ආණ්ඩුව කරපු ආකාරයට ජනතාව මත බදු පටවන අතර මැති ඇමැතිවරුන්ට සුඛෝපභෝගී වාහන ගෙන්වන එකට, නොයෙක් උත්සව වලට වියදම් කරන එකට, විදේශීය ගමන්වලට අධික වියදම් කරන එකට, තිත තියන්න ඕන. ඊළඟ මහ මැතිවරණයෙන් පස්සෙ, බලය පවත්වාගෙන යන්න පුළුවන් වෙන ආකාරයට අපි ඇමැතිවරු සුදුසු ගණනක් පත් කරනවා. මම ඒක කල් තියාම කියන්න ඕන. අනිත් හැම දේකටම කලින් රටේ ස්ථාවර ආණ්ඩුවක් තියෙන්න ඕන. ඒ අලූත් ආණ්ඩුවෙන් වියදම් කපා හරින්න උපරිම ලෙස කටයුතු කරනවා. ඒ වගේම තමයි, බැඳුම්කර කොල්ලය ඇතුළු එජාප ආණ්ඩුව විසින් කරන ලද සියලූ දූෂණ සෙවීමට අපි කටයුතු කරනවා.

සාකච්ඡා කළේ – මනෝජ් අබයදීර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More