දේශීය පුවත්

ප්‍රජාතන්ත්‍රවාදය යන වචනය ගණිකා වෘත්තියේ යොදවමින් රනිල් – අනුර – සුමන්තිරන් හවුල රට අස්ථාවර කරන පරගැති කුමන්ත්‍රණයක නියැලී සිටින මේ මොහොතේ වත්මන් විකෘති පාර්ලිමේන්තුව ප්‍රකෘතිමත් පාර්ලිමේන්තුවක් කිරීම වෙනුවෙන් මහ මැතිවරණයක් ඉල්ලා පාරට බසින ලෙස මෛත්‍රී – මහින්ද පාලනය සමඟ අත්වැල් බැඳගෙන සිටින මේ රටේ දේශප්‍රේමී බහුතර ජනතාවට තමන් ආයාචනය කර සිටින බව ජානිපෙ නායක, නිවාස සහ සමාජ සුබසාධන ඇමැති විමල් වීරවංශ මහතා පවසයි.

අද (27) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේද පැවසීය.

“අද ‘කථානායක’ කරු ජයසූරිය මන්ත්‍රීවරයා රනිල් – අනුර – සුමන්තිරන් හවුලේ කුමන්ත්‍රණය සඳහා පාර්ලිමේන්තු සභා ගැබ යොදා ගන්නා බව පළමුව කියන්න ඕනේ. මේ ආකාරයට ජනතා බදු මුදල්, රාජ්‍ය ආයතනයක් සතු ධනය තමන්ගේ සිතැගි පරිදි යොදා ගත් හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියගේ ස්වාමිපුරුෂයා පසුගිය දා අධිකරණය විසින් වරදකරුවකු බවට පත් කළා. අපි විශ්වාස කරනවා, පාර්ලිමේන්තුවේ කථානායක පුටුව අල්ලාගෙන සිටින කරු ජයසූරිය මහතාට නුදුරු අනාගතයේ දී ම එවැනි නඩු විභාගයට මුහුණ දෙන්න සිදුවේවි කියලා

සම්ප්‍රදායන් සියල්ල කෙලෙසනවා

අද පාර්ලිමේන්තුව රනිල් – අනුර – සුමන්තිරන් හවුලේ හොරණෑවක් බවට පත්කර ගැනීමට කරු ජයසූරිය මහතා ඉඩ සලසා දී තිබෙනවා. ඒ වගේම හැන්සාඞ් වාර්තාව තමන්ට උවමනා ආකාරයට සකසා ගන්නවා. ඒ වගේම පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සියල්ල කෙලෙසනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 152 වගන්තිය අනුව ඇමතිවරයකුට කැබිනට් මණ්ඩල අනුමැතිය ඇතිව පමණක් ගෙන ආ හැකි යෝජනාවක් වන අග්‍රාමාත්‍යතුමාගේ සහ අමාත්‍ය මණ්ඩලයේ වියදම් සම්බන්ධයෙන් වන යෝජනාවක් මන්ත්‍රීවරයකු විසින් ගෙන ආ විට මේ ‘කථානායකවරයා’ එය භාර ගත්තා. මේ අනුව පෙනී යනවා විදේශ බලවේගවල උවමනාව මත ක්‍රියාත්මක වන, මේ රට අස්ථාවර සහ අරාජික කරන සැලැස්මක කොටස්කරුවකු බවට මේ ‘කතානායකවරයා’ පත්ව සිටින බව.

ප්‍රජාතන්ත්‍රවාදය සහ ගණිකා වෘත්තිය

ගෙවී ගිය වසර තුන තුළ මේ ‘කතානායකවරයා’ කටයුතු කළේ ප්‍රජාතන්ත්‍රවාදීව ද? මුල් අවධියේ අපි පනහකට අධික පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් ලෙස කටයුතු කරන විට කරු ජයසූරිය මහතා අපේ අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කළා. අපේ ශබ්දය නොසලකා මන්ත්‍රී ධුර 16ක් තිබු අයට විපක්ෂ නායකකම දුන්නා. මන්ත්‍රී ධුර 6ක් තිබු අයට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය දුන්නා. ජානිපෙ මන්ත්‍රී කණ්ඩායම ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමක් ලෙස පිළිගන්නා ලෙස අපි ඉල්ලුවා. එහිදී නෑසුණු විදියට හිටියා. එදා ප්‍රජාතන්ත්‍රවාදය ගැන අබමල් රොනක තරම්වත් සැලකිලිමත් නොවූ මේ ‘කතානායක’ රනිල් වික්‍රමසිංහගේ අගමැති පට්ටම නැති වුණාම ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කරනවා. පසුගිය කාලය පුරා මේ රටේ තිබුණේ ‘සෙට්අප්’ පාර්ලිමේන්තුවක්. ආණ්ඩුවත් ආණ්ඩුවට හීලෑ විපක්ෂයත් එදා අන්‍යෝන්‍ය සහයෝගයෙන්, අවබෝධයෙන් කටයුතු කළා. ඒ නිසයි මේ සියලුදෙනා අද එකට එකතු වී ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන ඝෝෂා කරන්නේ. මේ අය සිදු කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනය ගණිකා වෘත්තියේ යෙදවීම මිස අන් යමක් නොවෙයි.

රනිල් ප්‍රජාතන්ත්‍රවාදියකු ද?

ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඝෝෂා කරන රනිල් වික්‍රමසිංහ ද අබමල් රොනක තරම්වත් ප්‍රජාතන්ත්‍රවාදය අගයන කෙනෙක් ද? එහෙමනම් හරීන්ලා – සජිත්ලා ලොම් හැලුණු අය සමඟ තවදුරටත් ඉදිරියට යන්න බැහැ කියද්දී තවමත් එජාප නායක පුටුවේ ඉදීවි ද? 2001 අගමැති පුටුවට ඇවිත් 2004 යන්න වුණු, මෙවරත් අවුරුදු තුනෙන් පුටුවට ‘ආයුබෝවන්’ කියන්න වුණු, මේ දුර්වල නායකයා තවත් රැඳී ඉන්නේ තමන් ප්‍රජාතන්ත්‍රවාදය අගයන නිසා ද? ජවිපෙ මන්ත්‍රීවරුන්ට මේ රනිල් වික්‍රමසිංහ පෙනෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදියකු, ජනසම්මතවාදියකු ලෙස ද?

19 සම්මත කළ හැටි

ඒ වගේම රනිල්ගේ ආණ්ඩුව කටයුතු කළේ ප්‍රජාතන්ත්‍රවාදීව ද? 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ අවස්ථාවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය, ‘2/3 මදි. ජනමතවිචාරණයක් අවශ්‍යයි’ කියූ වගන්ති මේ අය උදේ ඉවත් කළා. රෑ 11.30ට කාරක සභා අවස්ථාවේදී ඒවා යළි ඇතුළු කළා. මම එක උදාහරණයක් කියන්නම්. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාගේ බලතල අහිමි වන අවස්ථාවක කථානායකවරයාට ඒ බලතල හිමිවන ආකාරයටයි උදේ තිබුණේ. නමුත් රාත්‍රියේ දී එය වෙනස් වෙලා පසුදා උදේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පතට කතානායකවරයා සිය අත්සන යෙදූ පසුව එහි අන්තර්ගතව තිබුණේ කුමක් ද? ජනාධිපතිවරයාට බලතල අහිමි වූ අවස්ථාවක එම බලතල අගමැතිවරයාට හිමි බවයි. රනිල්ගේ ආණ්ඩුව එවැනි දේ කළ ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුවක්. ඒ වගේම ඔවුන් රණවිරු දඩයම් පනත්, කොටින්ට වන්දි ගෙවන පනත්, කළු සල්ලි සුදු කරන පනත්, බදු පනත් ආදී සියල්ල ගෙනාවේ ජනතාවගේ ඇස්වලට වැලි ගහලා. ඒ වගේම සිංගප්පූරු ගිවිසුමට අත්සන් තැබුවේ කැබිනට් මණ්ඩල අනුමැතිය පවා නොමැතිව. අනුර කුමාරගේ ලොජික් එක අනුව එවැනි අශිෂ්ට ක්‍රම භාවිතා කළ ආණ්ඩුවක් පන්නා දැමීමට ශිෂ්ට සම්පන්න ක්‍රම භාවිතා කළ යුතු ද? ඒක මගේ මතය නොවෙයි අනුර කුමාරගේ මතයයි.

ප්‍රජාතන්ත්‍ර විරෝධී අවුරුදු තුනහමාරක්

පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රී ධූර 50කට වැඩි ප්‍රමාණයක් තිබූ ඒකාබද්ධ විපක්ෂයට, පක්ෂ නායක රැස්වීමට පක්ෂ නායකයකු ලෙස සහභාගි වීමට පැවති රනිල්ගේ ආණ්ඩුව දිනේෂ් ගුණවර්ධන මහතාට ඉඩ දුන්නේ නැහැ. පාර්ලිමේන්තු වරප්‍රසාද, සම්ප්‍රදායන් කිසිවක් නොතකා හරිමින් තමයි මේ අය අවුරුදු තුනහමාරක් පාර්ලිමේන්තුව තුළ කටයුතු කළේ. එවැනි බලය අසීමාන්තිකව යොදාගත් ප්‍රජාතන්ත්‍රවිරෝධී ගමනක් තමයි පසුගිය ඔක්තෝබර් 26 වැනිදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා, මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති ලෙස පත් කිරීමෙන් නතර කළේ.

දේදුනු පාලක රොත්ත

අද පාතාලය මර්දනය වෙනවා. උතුර ඇතුළු මේ රටේ සෑම තැනම නීතිය හා විධානය ක්‍රියාත්මක වෙනවා. රටේ ආර්ථික පිබිදීම ඇති කරන අන්දමේ බදු සහන ලබා දෙන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙනවා. ගොවියාට පොහොර සහනාධාරය යළි ලැබෙනවා. සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට අපි ලබන සිකුරාදා අදාළ දෙපාර්තමේන්තු පත්වීම් ලබා දෙනවා. මෙමගින් පෙනී යන්නේ මේ රටේ පොදුජන අපේක්ෂාවන් හඳුනා නොගත්තු පාට, පාට දේදුනු ලෝකෙක හිටපු පාලකයන්ගේ කෙරුවාව අවසන් වී ඇති බව නොවේ ද? අද තේ ගොවියාට, එනසාල්, ගම්මිරිස් නිෂ්පාදකයාට තම අඳුරු සහගත ඉරණමෙන් මිදෙන්න හැකි වෙමින් තිබෙනවා. මේ වෙනස මේ දේදුනු පාලක රොත්තේ හාම්පුතුන් වූ බටහිර බලවතුන්ට රුස්සන්නේ නැහැ. ඒ නිසයි පාර්ලිමේන්තුවේ මහජන ගැලරියට, ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ එම රටවල තානාපති නිලධාරීන් තමන්ට ඕනෑ දේ වෙනවාද, කියා විමසිලිමත් වෙන්නේ.

බහුතර ජනතාව අප සමගයි

‘කථානායක කරු’ මොන දේ කළත් බටහිර තානාපති කාර්යාල ව්‍යවස්ථාදායකයට හා අධිකරණයට ඇඟිලි ගසන්නට හැදුවත් මතක තබාගන්න මේ රටේ බහුතර ජනතාව අප සමඟයි. ජනතාවගේ ගැටලු විසඳමින් මේ ආණ්ඩුව ඉදිරියට යාම කිසිවකුටත් වළක්වන්න බැහැ. ඒ නිසා මේ රටේ හෘදසාක්ෂියක් ඇති සියලු ජනතාවගෙන් අපි ඉල්ලනවා, ‘මහ මැතිවරණයක් ඉල්ලා පාරට බහින්න’ කියා. අපි හැදුවේ අන්තර්කාලීන ආණ්ඩුවක්. ඒ ආණ්ඩුව යටතේ අපි මහ මැතිවරණයක් පවත්වා මේ විකෘති පාර්ලිමේන්තුව ප්‍රකෘතිමත් පාර්ලිමේන්තුවක් බවට පත්කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ජනතාවට ලබා දුන්නා. මේ විකෘති පාර්ලිමේන්තුව ප්‍රකෘතිමත් කළ හැක්කේ මේ රටේ ජනතාවට පමණයි. වෙන කවර දොස්තර කෙනකුට වුවත් එය කරන්න බැහැ.

‘අමු නිරුවතින් සිටින්නා’

එදා 2004 දී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය රනිල්ගේ ආණ්ඩුවේ අමාත්‍ය ධුර පවරා ගෙන භාරකාර ආණ්ඩුවක් යටතේ මහා මැතිවරණයට යන විට ජවිපෙ බුලත් කොළයෙන් ඡන්දය ඉල්ලුවා. එදා එය ශිෂ්ටසම්පන්න නම් අද අශිෂ්ට ඇයි? මෙතැන දී සිදු වී ඇත්තේ ජවිපෙ සිතන පතන ආකාරය වෙනස් වීම පමණයි. අශිෂ්ට ලෙස ප්‍රජාතන්ත්‍රවාදී සළුපිළි උනා දමා අමු නිරුවතින් සිටින කරු ජයසූරිය ‘කථානායකට’ සළුපිළි ඇන්දවීමට පාර්ලිමේන්තු සභා ගැබට යාමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සූදානම් නැහැ. ඒ නිසා කරු ජයසූරියගේ මේ පහත් ක්‍රියා කලාපය අවසන් වන තෙක් අපිට පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට සිදු වෙනවා.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More