පුරවැසි කොලම

පළාත් පාලන මැතිවරණ පැවැත්වීම දැන් වසර දෙකකට වඩා අධික කාලයක් කල් දමා තිබේ. මේ අතර පැවැත්වීමට නියමිතව තිබූ පළාත් සභා මැතිවරණද කල් දමා තිබේ. මෙය සැබැවින්ම පැහැදිලිි ලෙස ප්‍රජාතන්ත්‍රවාදය
උල්ලංඝනය කිරීමකි. එම අත්දැකීමට අපට පළමු වරට මුහුණදීමට සිදුවන්නේ 1977 වසරේදීය. ඒ ජේ.ආර්. ජයවර්ධන විසින් ඡන්ද සිතියම අකුලන්නේය යන කතාවත් සමගය. ඉතිහාසය සමග බලන විට 1977න් පසුව මේ රටේ මැතිවරණ පැවැත්වීම හා මැතිවරණයකට සහභාගි වීමේ හා ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය යහපාලන ආණ්ඩුව විසින් උල්ලංඝනය කර තිබේ.

මැතිවරණයට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එයින් වෙන්ව ගිය කොටස් නැවත එක් කිරීමේ උත්සාහයක් පැවැතුණේය. මේ උත්සාහය අපි දුටුවෙමු. මේ රටේ ප්‍රධාන පක්ෂ දෙක ලෙස එක්සත් ජාතික පක්ෂයට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මැතිවරණයකදී ලැබෙන ඡන්ද බොහෝ විට පවතින්නේ සමාන මට්ටමකය. වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීමට හැකියාව ලැබෙන්නේ පාවෙන ඡන්දවලිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රාදේශීය මට්ටමේදී දෙකට බෙදීම නිසා පැහැදිලි ජයග්‍රහණයක් එක්සත් ජාතික පක්ෂයට ලබාගැනීමට හැකිවේය යන්න සරල ගණිතමය සූත්‍රයක් ලෙස ඉදිරිපත් කෙරේ. විශේෂයෙන් දකුණේ ජන කොටස් එක්සත් ජාතික පක්ෂයට ඡන්යද ලබාදේය යන උපකල්පනය මත මේ සාමාන්‍ය ගණිතමය තත්ත්වය තහවුරු කරයි. මෙය බැලූ බැල්මට එසේ යැයි කීවත් යම්කිසි ආකාරයකට වෙනස් ලෙස සිතිය හැකිය. ඒ පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම ඊට පසුව පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේනට ලැබුණ ඡන්ද ප්‍රමාණයත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ලැබුණ ඡන්ද ප්‍රමාණයත් අතර වෙනස ලක්ෂ හතරකි. ඒ ඡන්ද හැට දෙලක්ෂය තුළ උතුරු පළාතේ හා නැගෙනහිර පළාතෙ දෙමළ මුස්ලිම් ජන කොටස්වල ඡන්ද ප්‍රමාණයක් තිබේ. එසේ ගත් කල දෙමළ ජාතික සන්ධානය හා වෙනත් දෙමළ පක්ෂ මෙවර ප්‍රාදේශීය සභාවලට තනිව තරග කරයි. නැගෙනහිර පළාතේ හා මන්නාරමේ මුස්ලිම් පක්ෂ වෙනම තරග කරයි. මේ නිසා ඡන්ද හැට දෙලක්ෂයම ජනාධිපතිවරයාට පක්ෂ ඡන්ද ලෙස හැසිරෙන්නේ නැත. එසේ ගත් කළ දෙකට බෙදෙන්නේ හැට දෙලක්ෂයෙන් දෙමළ හා මුස්ලිම් පක්ෂවලට ඡන්දය ලබාදෙන සුළු ජාතික ඡන්ද කොටස්ය. එසේ ගණන් හැදූ කල මේ මැතිවරණයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බිඳුණ ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණට ලැබිය හැකි බව කිව හැකිය. උතුරුමැද දකුණ යන පළාත්වල ඇතුළු ඔවුන්ට වාසි ලබාගැනීමට හැකි ස්ථාන තිබේ. වැඩි ප්‍රාදේශීය සභා ප්‍රමාණයක් ඔවුන්ට ලබාගත හැකිය යනුවෙන් ගණිතමය පුරෝකථනයක් කළ හැකිය.

එහෙත් උතුරු නැගෙනහිර ඡන්ද හැසිරීම කෙසේද යන්න ගැන වැඩි පුරෝකථනයක් සිදුවන්නේ නැත. ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේනට ලබාදුන් ඡන්ද තවත් කිහිප පිරිසක් අතර බෙදීයයි. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය වැනි පක්ෂ තරග කරන නිසා ඔවුන් අතර එම ඡන්ද ප්‍රමාණය බෙදී යා හැකිය. එසේ ගත් විට ඡන්ද බෙදී යාම හා ප්‍රාදේශීය සභාවල බලය බෙදී යාම අතර වියවුල් තත්ත්වයක් ඇතිවිය හැකිය. මේ තත්ත්වය සමග මැතිවරණයෙන් පසුව කිසිදු පක්ෂයකට බලය ලබාගත හැකිද යන ප්‍රශ්නය මූලිකව මතුවේ. මේ මැතිවරණයෙන් පසුව ඇතිවිය හැකි තත්ත්වය සමාන වන්නේ 1992 හෝ 1993දී පැවැත්වූ පළාත් සභා මැතිවරණයටය. ලලිත් ඇතුලත්මුදලි හා ගාමිණී දිසානායකගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් බිඳී ආ කණ්ඩායමක් තරග කළ අතර බස්නාහිර පළාත් සභාවේ බලය කිසිවෙකුටවත් ලබාගැනීමට නොහැකි විය. මේ නිසා චන්ද්‍රිකා බණ්ඩාරනායක ලලිත් ගාමිණීගේ සහාය ඇතිව තමන්ගේ පළාත් සභාවක් පිහිටවූවාය. මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පසුව ඇතිවිය හැක්කේද මෙවැනි තත්ත්වයකි. එවැනි වාතාවරණයක් යටතේ ශක්තිමත් තුන්වැනි බලවේගයක් ලෙස ‍පොහොට්ටුවෙන් තරග කරන පිරිස මතුවිය හැකිය.
මේ නිසා මේ ආකාරයක මැතිවරණ ප්‍රතිඵලයක් පවතින

යහපාලන ආණ්ඩුව ශක්තිමත් කිරීමටද හේතුවේ. එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතුවී ප්‍රාදේශීය සභාවල බලය තහවුරු කරගැනීම මගින් මධ්‍යම ආණ්ඩුවේ පවතින තත්ත්වයද ප්‍රාදේශීය සභාවලද ඇතිවිය හැකිය. එසේ වුවහොත් යහ පාලන ආණ්ඩුවට වඩා ශක්තිමත් පදනමක් ලබාගැනීමට හැකිය. අනෙක් අතට මේ මැතිවරණ හරහා ඉදිරි කාලයේදී තවත් ජාතික මැතිවරණ ඇතිවේ. පළාත් සභා මැතිවරණ හා 2020 මැතිවරණ ඇතිවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වීමෙන් පමණක් එක්සත් ජාතික පක්ෂයට මැතිවරණ ජයග්‍රහණක් ලබාගැනීමට හැකි යැයි මේ සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිතීමට පටන්ගනු ඇත. එවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගි වීමේ අදහස වඩාත් ශක්තිමත්ව ඉදිරියට පැමිණෙනු ඇත. මේ අවස්ථාවේදී එය නිවැරදිව කිව නොහැක්කේ කුමක් වන්නේද යන්න තීරණය වන්නේ ප්‍රාදේශීය සභා මැතිවරණ ප්‍රතිඵල සමග බද්ධව ඇති නිසාය. මේ වන විට ගනු ලබන තීරණ ප්‍රතිපත්තිමය තීරණ මත නොවේ. එය තීරණය වන්නේ මධ්‍යම ආණ්ඩුවේ බලය කෙසේ හැසිරවීමට හැකිද යන්න මතයි. එසේ නොමැතිව දේශපාලන ආර්ථික සමාජ ආර්ථික ප්‍රතිපත්තිවල වෙනසක් මත සිදුවන්නක් නොවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් නොවූයේ ‍පොහොට්ටුවේ ඉල්ලීම වන ආණ්ඩුවෙන් ඉවත්වීම යන ඉල්ලීම ඉටු කිරීමට යහපාලන ආණ්ඩුව තුළ සිටින ඇමැතිවරු කැමැති නොවීම නිසාය. එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇති බල රාමුව මත මේ බලය තීරණය වේ.

මෙයින් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර පක්ෂ දෙකක් එක්වී කරන ආණ්ඩුවක් යන අදහසට වඩා එක් පක්ෂයක් විසින් කරන ආණ්ඩුවක්ය යන අදහස ජනතාව තුළට පැමිණිය හැකිය. එවිට ජනතාවගේ සියලුම බල විරෝධයන් එක් කරගැනීමට ‍පොදුජන පෙරමුණට හැකියාව ලැබෙනු ඇත. දේශපාලන ධාරාවක් ලෙස පැරණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලැබූ තැන ලබාගැනීමට ඔවුන්ට හැකියාව ලැබෙනු ඇත.
අනෙක් අතට ජනතා විමුක්ති පෙරමුණට අත්වන ඉරණම කුමක්ද යන්න ගැනත් අපේ අවධානය යොමුවිය යුතුය. ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරයද මූලික වශයෙන් ප්‍රතිපත්තිමය මැතිවරණ ව්‍යාපාරයක් නොවන බව ඔවුන්ගේ හැසිරීම් දෙස බලන විට පෙනී යන කරුණකි. එකම එක වැදගත් සාධකයක් මත පමණක් ඔවුන් සටන් කරති.එනම් දූෂණ විරෝධයයි, දූෂණ විරෝධය වැදගත් දෙයකි. එහෙත් දූෂණ විරෝධය මතම කේන්ද්‍ර ගතවූ දේශපාලන වැඩසටහනකින් රටේ ඇති දේශපාලන ආර්ථික හා සමාජීය ප්‍රශ්න එකකටවත් විසඳුම් ලැබෙන්නේ නැත. යම් ප්‍රමාණයකට ආණ්ඩුවෙන් කලකිරුණ හා මහින්ද රාජපක්ෂගේ බලවේගයන්ට යාමට අකමැති පිරිස් ජනතා විමුක්ති පෙරමුණ සමග එක්වීමට හැකිය. එහෙත් ඔවුන්ට ප්‍රාදේශීය සභා එක දෙකකවත් බලය ලබාගැනීමට නොහැකි වනු ඇත. එහෙත් ආසන කිහිපයක බලය ඔවුන්ට ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව දෙගුණ වී ඇත. මේ නිසා ආණ්ඩුව ගෙනයාමේ වියදම අතිශයින් වැඩිවීමේ හැකියාව තිබේ. මෙය නරක තත්ත්වයකි. අද වන විට ආණ්ඩු ගෙනයාමේ වියදම අද තිබෙන විශාල ප්‍රශ්නයකි. මේ වසරේ අයවැය ‍ලේඛනය සම්මතවීමට නියමිතව තිබියදී ආණ්ඩුව ගෙනයාමේ වියදම් පියවීමට පරිපූරක ඇස්තමේන්තුවක් ගෙන ආවේය.
මේ නිසා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ඡන්ද ලබාදීමේදී බරපතළ ලෙස කල්පනා කළ යුතු කරුණු කිහිපයක් තිබේ.

දූෂණය නැති කිරීමට ගත් ව්‍යායාමයත් ආණ්ඩු කිරීමට ගනු ලබන වියදම් වැඩි කිරීමත් ආණ්ඩුවේ වියදම්වල පිරිමැසුම්භාවයක් නොමැතිවීම ගැනත් සැලකිල්ලට ගත යුතුය. එසේ නොමැති නම් ප්‍රාදේශීය සභාවලින් බලා‍පොරොත්තු වන ප්‍රාදේශීය ගැටලු විසඳාගැනීමට වඩා යහපාලන ආණ්ඩුව පිළිගන්නවාද නැද්ද යන්න තීරණය කරන මැතිවරණයක් බවට පත්විය හැකිය. ඒ නිසා මෙවර මැතිවරණය ප්‍රාදේශීය සභාවලට ඇති සංකල්පීය වැදගත්කම ගැන වැඩි අවධානයක් යොමු නොකරන මැතිවරණයක් බවට පත්වීමට හැකිය. ප්‍රාදේශීය ප්‍රශ්න යට ගසා රටේ සාමාන්‍ය දේශපාලන තරගය ප්‍රධාන පක්ෂ අතර තරගයක් බවට මේ මැතිවරණය පත්වීමට වැඩි ඉඩකඩක් තිබේ.

ආචාර්ය සුමනසිරි ලියනගේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More