මුහුණු පොතෙන්

1987 / 89 කාල වකවානුවේ ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ නැඟිටීමත් සමග රජය දියත් කළ ධවල භීෂණයට හසුනොවී අනූනවයෙන් ජීවිතය බේරාගත් ලියුම්කරු 1990 වසරේ සිට ජවිපෙ නැඟිටීම ඉතා විතක්‍ෂණශීලීව බලා සිට එයට අන්අයුරින් සහයෝගය දුන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යක‍්‍රියාකාරීයකු ලෙස මෙම ලිපිය ලිවීමට අදහස් කළෙමි.

1992 වසරේ නිදහස උදෙසා ජනතා ව්‍යාපාරය සමාජගතකරමින් ජවිපෙ දෙවන පෙළ නැඟිටීම හෙවත් වර්තමාන නායකත්ව පෙළ නිර්මාණය වීම ඉතා ක‍්‍රියාශීලී මෙන්ම ප‍්‍රශංසනීය විය. එම පිබිදීම ශ‍්‍රී ලාංකික දේශපාලනය ගෝස්තරවාදී වරදාන මත මුළුගැන්වෙන දේශපාලනයෙන් මිදී ජනසම්මතවාදී දේශමාමක දේශපාලනයක් කරා පෙළගැස්වීමට ඉමහත් ලෙස උපකාරී විය. එහිදී මගේ මතකයට අනුව දැනට ජවිපෙන් ඉවත් වී සිටියද විමල් වීරවංශ (එකලවිමලසිරි ගම්ලත් ලෙස) සුනිල් හඳුන්නෙත්ති( එවකට මගේ සමකාලීන ජපුර සරසවියේ ශිෂ්‍ය ක‍්‍රියාකාරිකයෙකි). නිහාල් ගලප්පත්ති, ලාල්කාන්ත වැන්නවුන් සහ පේරදෙණිය ඉංජිනේරු පීඨයේ රෝහිත තිලකරත්න , විද්‍යා පීඨයේ රත්තින් ද වැනි හිටපු ශිෂ්‍ය ක‍්‍රියාකාරීන්ගේ කැපවීම හා කාර්යභාරය මැනවින් කැපී පෙනුණි. එකල වත්මන් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක එතරම් කරළියේ නොපෙනෙන්නේ ඔහු මෙම කාලවකවානුවේ පූර්ණකාලීන ශිෂ්‍යයකු ලෙස කැලණිය සරසවියේ තමා අතපසු වුණු උපාධිය සම්පූර්ණ කරමින් සිටි නිසා විය හැකිය.

මෙම ජවිපෙ නැඟිටීම අප මාතෘභූමියට ලබාදුන් ජයග‍්‍රහණ බොහෝය …, චන්ද්‍රිකා රජය අලිමංකඩ මුලතිව් පරාජය වී ඕමන්තේ දක්වා පසු බසින විට එවකට ජවිපය කකුලෙන් ඇද්දේ නැත. සුනාමි සහන මණ්ඩල පිහිටුවා ත‍්‍රස්තවාදී සංවිධාන රජය හා සම මට්ටමේ පිළිගැනීමේ යෝජනා ඉදිරිපත් වූ විට බටහිර න්‍යාය පත‍්‍රයට අනුව එකල ජවිපෙ වැඩ කළේ නැත. 2001 වසරේ රනිල් වික‍්‍රමසිංහ රජය විසින් ඊනියා සාම ගිවිසුම් හරහා අප මාතෘ භූමිය දෙකඩ වීමේ අවදානම දැක, කොන්දේසි විරහිතව චන්ද්‍රිකා රජය සමග සිට ගත්තා පමණක් නොව, මෙවැනිම ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර ඇතිවූ තීරණාත්මක ගැටුමකදී එය මනාව කළමනාකරණය කරමින් දහහත් වන ව්‍යවස්ථා සංශෝධනය හරහා අප රටට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජයග‍්‍රහණ බොහොමයක් ලබා දෙන ලදී.

එයට කෘතගුණ සැලකීමක් වශයෙන් ශ‍්‍රී ලාංකීය කෘතවේදී ජනතාව ජවිපෙට පාර්ලිමේන්තු ආසන 39 කට අධික ප‍්‍රමාණයක් ලබා දෙමින් ජවිපෙය ව්‍යවස්ථාදායකයෙහි සාධනීය හසුරුවන්නා (remotcontrol) බවට පත් කරන ලදී.

ඉන්පසුව සිදුවූයේ කුමක්ද යන්න විග‍්‍රහ කිරීමට කාලය මිඩංගු නොකරමි. ජවිපෙ වත්මන් නායක අනුර කුමාර දිසානායකගේ දේශාපාලන තෝරාගැනීම් සියල්ලෙහි ප‍්‍රතිඵලයක් ලෙස අද ජවිපය ආසන හයකට පල්ලම් බැස ජනතා ඡුන්ද ලක්‍ෂ හයකට අඩු ප‍්‍රමාණයකට හිමිකම් කියයි.

මෙවැනි කුඩා තලයකට පල්ලම් බැස්ස ද ජවිපෙ පොදු මහජනතාව අපේක්‍ෂා කරන දේශපාලන ධාරාවකි. ඔවුන්ගේ වර්තමාන දේශපාලන භාවිතය හේතුවෙන් ඡුන්දයෙන් ජනතාව ප‍්‍රතික්‍ෂේප කළ ද දෛනික සමාජීය දේශපාලන ක‍්‍රියාවලියේ දී ජවිපෙය පොදු මහජනතාවට මහත් පිටිවහලක් සපයයි.

අද අසාධාරණයක්, දූෂණයක්, සමාජවිෂමතාවයක් සමාජගත කිරීමට, ඒ සඳහා සාධාරණය ඉෂ්ට කරගැනීමට පොදු මහජනතාවගේ පළමු තේරීම ජවිපෙ පාර්ලිමේන්තු කණ්ඩායමයි. ඕනෑම සාධනීය දෛනික ප‍්‍රශ්නයක් ( ජාතික ප‍්‍රශ්න නොව ) දේශපාලනික විසඳා ගැනීමට ජවිපෙ කණ්ඩායම තරම් ප‍්‍රබල ශක්තියකින් යුතු කණ්ඩායමක් පාර්ලිමේන්තුව තුළ නොමැති තරම්ය.

කෝප් කමිටු සභාපති ලෙස මා මිත‍්‍ර හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාගේ කාර්යභාරය ඉතා ප‍්‍රශංසනීයය. මහබැංකු මංකොල්ලය වැනි ජාතික මූල්‍ය අපරාධ මෙතරම් ප‍්‍රබලව සමාජගත වූයේ ජවිපෙ පාර්ලිමේන්තු කණ්ඩායම නිසා බව අමුතුවෙන් කිව යුතු නොවේ.

දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය සිදුවූයේ කුමක්ද?, සැබෑ ලෙසම එය පොදු මහ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අපේක්‍ෂාවන් තීව‍්‍ර කළේ ද? පොදුමතය අනුව දහනව වැනි සංශෝධනය රාජපක්‍ෂ පවුල දේශපාලනයෙන් අතුගා දැමීමටත් ඒ තුළින් වික‍්‍රමසිංහ සහ ඔහුගේ පැලැන්තියට (බහුතර එක්සත් ජාතික පාක්‍ෂිකයන්ට නොව) බලය ලබා ගැනීම ඉලක්ක කර සකස් කරන හුදු ලියවිල්ලක් විනා මේ රටට ලබාදුන් කිසිදු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජයග‍්‍රහණයක් නොමැත. මෙමගින් විධායක ජනාධිපතිවරයා ගේ බලතල අවුල් කර තිබේ. ජේ. ආර්. ගේ ව්‍යවස්ථාවටත් ඊට ඔබ්බෙන් ගිය මට්ටමකින් ජනාධිපතිවරයාගේ බලතල අර්ථනිරූපණය සිදුවෙමින් පවතී. ඒ අනුව ජනාධිපති ක‍්‍රියාමාර්ග තෝරයි. මෙමගින් බලයේ සීමාවන් පිළිබඳ මූලික සිද්ධාන්ත අවුල්සහගත තත්ත්වයකට පත් කර ඇත.

jvp1මෙහි මූලික වරදකරු වත්මන් ජනාධිපති වුවද ඔහුගේ ජනාධිපතිධුරයේ නොමේරූ අවධියේ සිදුවූවක් ලෙස සහ මෙය හුදෙක්ම ඔහුගේ දර්ශනයට නොගැළපෙන කේවට්ටයන්ගේ උපදෙස් වලට අනුව හදිසියේ සිදු වූ ව්‍යවස්ථා සංශෝධනයක් විනා කල් යල් බලා සිදුවූවක් නොවේ. ඒ පිළිබඳ වර්තමාන ජනාධිපතිට දොස් නැඟීීමෙන් දැන් පලක් නැත.

දැන් සියලූ ප‍්‍රශ්න විසඳීම ජනතා අධිකරණය වෙත ඉදිරිපත්වී ඇත. ජනාධිපතිවරයා රටේ වර්තමාන නියම බහුතරය පිළිබිඹු වන නව පාර්ලිමේන්තුවක් පත් කර ගැනීමට ජනතාවට වරමක් දී ඇත.

මෙම කැඳවීම එජාපයට සහ බටහිර තානාපති කාර්යාල වලට අනුව ව්‍යවස්ථා විරෝධී ක‍්‍රියාවක. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මරු පහරකි… සැබෑ ලෙසම මෙම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සළුපිළිවෙන් සහ විවිධ ව්‍යවස්ථා අර්ථකථනයන්ගෙන් සැඟවී ඇත්තේ කුමක්ද?

මෙය ස්වදේශිකත්වය පෙරටුකරගත් ජාතිකත්වය අගයන ජනයා සහ විජාතික බලවේග පෙරටුකරගත් ජාතිකත්වය අගය නොකරන ජනයා අතර ඇති බල අරගලය යි. මෙය, අවස්ථාවකමක්වුවත්, ව්‍යවස්ථානුකූල අර්ථකථන කෙසේ නිරූපණය කළත්, විසඳා ගැනීමේ බලය ජනතා අධිකරණය සතු ය. ඒ සඳහා අවස්ථාව ජනාධිපතිවරයා ලබා දී ඇත.

මෙහිදී ජවිපෙ කාර්යභාරය කුමක්ද? එජාපයට සහ බටහිර තානාපති කාර්යාලවලට අනුව ඔවුන්ට ගැළපෙන අයුරින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හිරිඔතප් බිඳ වැටීම. අධිකරණය ඉදිරියේ විසඳා ගැනීමට ඉඩ හැර ඉන් ඉවත්ව සිටීමයි.

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය අන් කවරෙකුටත් වඩා ජවිපෙට තීරණාත්මකය. පසුගිය පෙබරවාරි පළාත් පාලන ඡුන්ද ප‍්‍රතිඵල අනුව ගත්කල ජවිපෙ පාර්ලිමේන්තු නියෝජනය අවසන් අදියරට පැමිණ ඇත.

මෙහිදී ජවිපෙ ද බටහිර තානාපති කාර්යාල නිර්දේශ මත යමින් ලබාදී ඇති කෙටි කාලයෙන් ජනතාව තමා වෙත දිනා ගැනීම පසෙක ලා අධිකරණවල රස්තියාදු වෙමින් කාලය කා දැමුවුවහොත් සිදුවන්නේ සැබෑ ඡුන්දය දී ජවිපෙ එක්සත් ජාතික පක්‍ෂ බටහිර මතධාරී පිල හා සංසන්දනය වී ජනතාව වෙතින් පහව යෑමයි.

එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී බටහිර ලැදි බහුතර නාගරික ජනයා සහ බටහිර තානාධිපති කාර්යාල මත යැපෙන සියලූ පුරවැසි බලයන් එජාපය වටා කඳවුරු බැඳීම නැවැත් විය නොහැක. සෑමවිටම ග‍්‍රාමීය, අර්ධනාගරික බහුතර ජනයා නියෝජනය කරන්නේ ජාතිකවාදී ස්වදේශික දේශපාලන ධාරාව විනා බටහිර ලැදි පරදේශික දේශපාලන ධාරාව නොවේ. මෙම පිරිසෙන් තමාගේ ගොඩ වැඩි කර ගැනීමට ජවිපෙ වහ වහා කඳවුරු බැඳ යුතුය. ඒ සඳහා දේශපාලන ක‍්‍රියාමාර්ග තේරිය යුතුය.

ඒ කඬේ බඩු පරණය,ි මේ කඬේ බඩු ෂුවර් නෑ, යන අඥාන සංකල්පයන්ගෙන් මිදී සැබෑ ජනතා හිතවාදී ජාතිකවාදී පක්‍ෂයක් ලෙස මෙම මැතිවරණයේදී ජවිපෙ ඉදිරියට ආ යුතුය එය බටහිරයන්ගේ න්‍යාය පත‍්‍රයට අනුව දිගහැරෙන,ප‍්‍රජාතන්ත‍්‍රවාදී විගඩමේ දිගුවක් නොවිය යුතුය. එය එසේ සිදු නොවුවහොත් පොදු මහ ජනතාවගේ අපේක්‍ෂාවන්ට පයින් ගැසීමකි.

මෙම ලිපිය අවසන් කිරීමට මත්තෙන් මාගේ විශ්වවිද්‍යාල සමකාලීනයකු වූ එවකට ජවිපෙ නැඟිටීම සඳහා සක‍්‍රීය ලෙස දායක වූ ශිෂ්‍ය ක‍්‍රියාකාරිකයකු වූ මිත‍්‍රයකු මා සමග කියූ කතාවක් ගෙනහැර දැක්වීමට කැමැත්තෙමි.

මචං අපි හැදූ ජවිපෙ පොදු මහජනතාවට සෙවණක් වුණා. අපේ සෙවණට මහජන ගංගා පැමිණියා…. මුන් දැනේ ජවිපෙ කුඩයක් කරලා … වැස්සෙන් නො තෙමෙන්නත්, අව්වෙන් බේරෙන්නත් විතරයි මිනිස්සු එළියට ගන්නේ …

මචං මතක තියාගනින් කුඩයක ඇණ දිරා ගොස් රෙද්ද ඉරී ගියාම අලූත්වැඩියා කරලා පාවිච්චි කරන පුරුද්දක් අපිට නෑ… එතකොට රෙද්ද නැති කුඩය පාවිච්චි කරන්නේ වාරුවක් නැති විට ඇවිඳින්නත්, හෙණගහන කොට එළියට දාන්ටත් විතරයි මම ඔහුට ඌනපූර්ණයක් එක් කළෙමි….

චමින්ද වනිගරත්න



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More