පුරවැසි කොලම

කකුල කුණු වූ දියවැඩියා රෝගියකුගේ ජීවිතය බේරා ගැනීම සඳහා කකුල කපා දැමීමට සිදුවේ. රෝගියාට පමණක් නොව වෛද්‍යවරයාට ද එය බරපතළ තීන්දුවකි. නමුත් එම තීන්දුව ගැනීම සඳහා කල් යල් බැලීමට ඉඩක් නැත. පමාවන සෑම පැයකදීම රෝගියාගේ ජීවිතය අනතුරට ලක්වේ. නමුත් එම තීන්දුව ක‍්‍රියාත්මක කිරීමේදී ප‍්‍රධාන පැතිකඩ දෙකක් පිළිබඳව සැලකිලිමත්වීමට සිදුවේ. පළමුවැන්න ශල්‍යකර්මය නිසිලෙස සිදුකිරීමය. දෙවැන්න, ශල්‍යකර්මයෙන් පසු තුවාලය නිසිලෙස කළමනාකරණය කිරීමය. එම ක‍්‍රියාවලි දෙකෙන් කුමන එකක් වැරදුනද රෝගියාගේ ජීවිතය අනතුරට ලක්වේ. මෙම උදාහරණය වත්මන් දේශපාලන අර්බුදය විසඳීමේ ක‍්‍රියාවලියට ද ආදේශ කළ හැක. එහිදී කකුල කැපීමේ ක‍්‍රියාවලිය තුළ යම් අඩුපාඩුකම් තිබුණද බරපතළ ප‍්‍රශ්නයක් බවට පත්ව ඇත්තේ කකුල කැපීමෙන් පසු ඇතිවූ තුවාලය නිසි ලෙස කළමනාකරණය නොකිරීම බව පැහැදිලිව පෙනේ.

ශල්‍ය වෛද්‍යවරයා විසින් කකුල කැපීමෙන් පසුව තුවාලය කළමනාකරණය කිරීමට භාර දෙන්නේ කනිෂ්ඨ වෛද්‍යවරයාටය. එසේ වුවත් කකුල කැපීමේ තීන්දුව ගැනීමේදී ඔහු උපදෙස් ගන්නේ කනිෂ්ඨ වෛද්‍යවරයාගෙන් නොවේ. ඒ සඳහා රෝගියාගේ කායවෛද්‍ය විශේෂඥවරයාගේ උපදෙස් පැතිය යුතුය. එසේම ශල්‍යකර්මයට පෙර දියවැඩියාව පාලනය කිරීමේ වගකීමද එම වෛද්‍යවරයාට පැවරිය යුතුය. එසේම නිර්වින්දන වෛද්‍යවරයාට රෝගියාගේ තත්වය පිළිබඳ නිසි තක්සේරුවක් ලබාදීමේ වගකීම එම විශේෂඥයන් දෙදෙනාටම පැවරේ. කෙසේ වෙතත් ශල්‍ය කර්මය කිරීමෙන් පසුව කනිෂ්ඨ වෛද්‍යවරුන් විසින් තුවාලය නිසිලෙස කළමනාකරණය කරනවාද යන්න සොයා බැලීමේ වගකීම අවසාන වශයෙන් ශල්‍ය වෛද්‍යවරයාට මෙන්ම කායික වෛද්‍යවරයාට ද පැවරේ. නමුත් කනිෂ්ඨ වෛද්‍යවරයා විසින් වැඬේ අවුල් කළහොත් වරද පැටවෙන්නේ ශල්‍ය වෛද්‍යවරයාට ය. එහිදී ඇතිවන සංවාදය තුළ අවසානයේදී අභියෝගයට ලක්වන්නේ කකුල කැපීමේ තීන්දුව මිස තුවාලය රැකබලා ගැනීමේ වරද නොවේ. පවතින දේශපාලන අර්බුදයට අදාළ මහජන සංවාදය තුළ සිදුවන්නේ ද එයමය.

මහ චන්ද්රයාදැන් එම උදාහරණය වත්මන් දේශපාලන අර්බුදය පැනනැගීමේ සිට විසඳීම දක්වා වූ ක‍්‍රියාවලියට පියවරෙන් පියවර ආදේශ කළ හැක. ඒ අනුව පළමුවෙන්ම කකුල කැපීමේ තීන්දුව විමසා බැලිය යුතුය. පසුගිය වසර 30 – 40ක කාලය තුළ වූ ලංකාවේ දේශපාලන දේහය තුළ දියවැඩියා රෝගය ක‍්‍රමයෙන් උත්සන්න වූ බව සැබෑවකි. ඊට නිසි ප‍්‍රතිකාර නොකිරීම මෙන්ම ‘‘ගොඩ වෙදකම්’’ කිරීම නිසා රෝගය ක‍්‍රමයෙන් උත්සන්න වූ බවද පිළිගත හැක. එහෙත් පසුගිය වසර තුනක කාලය තුළ විජාතික දේශපාලන න්‍යාය පත‍්‍රයක් උස්මුරුත්තාවට පරිභෝජනය කිරීම නිසා සහ සැබෑ වෙදකම අත්හැරීම නිසා දියවැඩියාව උත්සන්න වූවා පමණක් නොව කකුලේ බරපතළ තුවාලයක් ද ආරම්භ විය. රෝගියා සහ තුවාලය උත්සන්න වීම එකවිට සිදුවිය. ජනාධිපතිවරයා තුවාලයට බෙහෙත් දැමීමට උත්සාහ කළ ද රෝගය පිළිබඳ අවධානය යොමු කරන බවක් නොපෙනුණි. තුවාලය ගැන පමණක් අවධානයෙන් පසුවූ ඔහුට එහි වර්ධනය ඉතා හොඳින් දැකගත හැකි විය. අවසානයේ රෝගියා බේරා ගැනීම සඳහා කකුල කැපීමේ තීන්දුව හෙවත් ආණ්ඩුව වෙනස් කිරීමේ තීන්දුව ගැනීමට ඔහුට සිදුවිය.

එම හදිසි තීන්දුව ගැනීමේදී නිර්වින්දන වෛද්‍යවරයා හෙවත් මහජනයා සමග මෙන්ම කාය වෛද්‍යවරයා හෙවත් විපක්‍ෂ බලවේග සමග පැහැදිලි එකගතාවයකට පැමිණීමට ඔහු අසමත් විය. එම සෙසු වෛද්‍යවරුන් දෙපළද වික්ෂිප්තව බලාසිටියා මිස ජනාධිපති ශල්‍ය වෛද්‍යවරයා සමග හොඳ සබඳතාවයක් ගොඩනගා ගැනීමට ක‍්‍රියා කළේ නැත. ඒ නිසා ශල්‍ය වෛද්‍යවරයාගේ තීන්දුව තනි තීන්දුවක් ලෙස පෙනුනි. එහෙත් ඔහු ශල්‍යකර්මය තාක්ෂණිකව නිවැරදිව සිදුකළ බවට විවාදයක් නැත. එම තීන්දුව ව්‍යවස්ථානුකූලව නිවැරදිව ගනු ලැබූ බව සහ රෝගියාගේ ඥාතීන්ට ඇඟිලි ගැසීමට නොහැකි ආකාරයට ක්ෂණිකව සිදු කළ බව දැන් රහසක් නොවේ. තීන්දුව ගැනීමේ ක‍්‍රියාවලියේ අවුල මිස තීන්දුවේ අවුලක් මහජනතාවට නොපෙනේ. එම කි‍්‍රයාවලිය තුළ සන්නිවේදන හිඩැසක් තිබුණද තීන්දුව පිළිබඳව පොදු මහජන විරෝධයක් පැනනැගුණේ නැත. එම තීන්දුව අධිකරණය හමුවේ අභියෝගයට ලක්වූයේ ද නැත. රෝගියාගේ ඥාතීන් සුළු පිරිසක් බීමත්ව රෝහල අසල ඝෝෂා කළද පොදු ජනතාවට එය ප‍්‍රශ්නයක් නොවීය.

නමුත් තීන්දුව ගැනීමේ ක‍්‍රියාවලිය දෙස පොදු මහජන ඇසින් ආපසු හැරී බැලීමේදී පැහැදිලි අඩුපාඩුවක් දැකගත හැක. රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැතිධුරයෙන් නෙරපීමක් හෙවත් බලහත්කාරයෙන් කකුල කැපීම පිළිබඳ චෝදනා එල්ල කළ හැකිවූයේ ඒ සුළු අඩුපාඩුව නිසාය. එනම් නව අගමැති සහ නව කැබිනෙට්ටුව පත්කිරීමට සිදුවන්නේ පැවති ආණ්ඩුව බිඳ වැටීම නිසා යන කාරණය අවධාරණය නොවීම නිසාය. ජාතික ආණ්ඩුව බිඳවැටෙන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ විජාතික න්‍යාය පත‍්‍රය අනෙක් පාර්ශ්වයට දරාගත නොහැකි මට්ටමට බරපතළ වීම නිසාය. නමුත් එම න්‍යාය පත‍්‍රයේ අවුල හෙවත් තුවාලයේ දිග පළල ගැන රටට පැහැදිලි කිරීමක් සිදු නොවීය. එය මරණීය තුවාලයක් බව කකුල කැපීමට යම් කාලයකට පෙර මහජනයාට අවධාරණය කළානම් කකුල කැපීමේ තීන්දුව අබමල් රේණුවක තරමින් හෝ අභියෝගයට ලක්කීරීමට ඉඩ ලැබෙන්නේ නැත.

එනම් ජාතික ආණ්ඩුවේ බිඳ වැටීම සහ එමගින් අගමැතිවරයාට ධුරය අහිමිවීම පිළිබඳ පළමුව නිවේදනය කොට එය සමාජගතවූ පසුව අඩු තරමින් පැය කිහිපයකට පසුව දෙවන තීන්දුව හෙවත් නව ආණ්ඩුව පත්කිරීම නිවේදනය කළානම් රෝගියාගේ ඥාතීන්ට පැමිණිලි කිරීමට කිසිදු ඉඩක් ඉතිරිවන්නේ නැත. එම අඩුපාඩුව සිදු නොවූවානම් කුකුල කැපීමේ ශල්‍යකර්මය ජනතා අත්පොළසන් මැද සිදුකිරීමට ඉඩක් තිබුණි. එසේ වූවානම් ශල්‍යකර්මයට එරෙහිව විරෝධතා මතුවන්නේ නැත. එවිට ශල්‍ය වෛද්‍යවරයාට විවේක බුද්ධියෙන් යුතුව ශල්‍ය තුවාලය කළමනාකරණය කිරීමේ ක‍්‍රියාවලියට වැඩි අවධානයක් යොමුකළ හැකිව තිබුණි. එසේ වුවා නම් කනිෂ්ඨ වෛද්‍යවරයාගේ වරදවල් වලට ශල්‍ය වෛද්‍යවරයාට දොස් ඇසීමට සිදුවන්නේ නැත. රෝගියාගේ ජීවිතය හෙවත් රට බේරාගැනීම සඳහා ගනු ලැබූ නිර්භීත සහ නිවැරදි තීන්දුව අභියෝගයට ලක්වන්නේද නැත.

කෙසේ වෙතත් දැන් කුකුල නොකපා හිටියානම් ශල්‍ය තුවාලයක් ඇති වන්නේ නැති බවට චෝදනා මුඛයෙන් කතා කරන්නේ තුවාලය කළමනාකරණය කිරීම අවුල් කරන කනිෂ්ඨ වෛද්‍යවරුන්මය. ඔවුහු තම වරද වසා ගැනීම සඳහා මහජනයා ඉදිරියේ ශල්‍ය වෛද්‍යවරයාට ඇඟිල්ල දිගු කරති. එම ශල්‍ය තුවාලයට බෙහෙත් දැමීම බාරගත් කනිෂ්ඨ වෛද්‍යවරුන් එවැනි තුවාලයක් කළමනාකරණය කිරීමේ න්‍යායාත්මක මුලධර්මයන්ට පටහැනිව ‘‘ගොඩ වෙදුන්’’ සේ ක‍්‍රියාකිරීම නිසා දැන් රෝගියාගේ ජීවිතය අවදානමට ලක් වී ඇත. ඒ මූලධාර්මික වැරදි නිසා ශල්‍ය වෛද්‍යවරයාට රෝගියා නැවත වතාවක් ශල්‍යාගාරයට ගෙන දෙවන වරටද ශල්‍යකර්මයක් කිරීමට සිදුවිය. එනම් කකුලෙන් කොටසක් කපා ඉවත් කිරීමට සිදුවිය. නව ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව දෙවනුව පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට සිදුවන්නේ ඒ ආකාරයටය. නව ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව සැබෑ ජනතා බලය පෙන්වා මනෝවිද්‍යාත්මක යුද උපක‍්‍රම නිසිලෙස යොදා ගත්තානම් කථානායකවරයාට ව්‍යවස්ථා විරෝධීව කටයුතු කිරීමට දේශපාලන ධෛර්යයක් ලැබෙන්නේ නැත. එමෙන්ම විදේශීය තානාපති මැදිහත්වීම්වලට හිටපු ජනපති පේ‍්‍රමදාස මහතාගේ ආදර්ශයෙන් පිළිතුරු දුන්නානම් ඇතිවන්නේ වෙනස් තත්වයකි. විපක්ෂයේ දෙස් විදෙස් මිත‍්‍ර බලවේග වල බලපෑම් වලට බලවත්ව මුහුණ දුන්නානම් දේශපාලන අර්බුදය ව්‍යවස්ථා කුමන්ත‍්‍රණයක් බවට පරිවර්තනය කිරීමට කථානායකවරයාට ඉඩ ලැබෙන්නේ නැත.

එසේ වුවානම් ආණ්ඩුව විසිරුවා හැරීමට අවශ්‍යතාවයක් නැතිවන්නටද ඉඩ තිබුණි. එසේ කළා නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර කැමැත්ත ලබාගන්නා තත්වයකට විපක්‍ෂ බලවේග තල්ලූ කිරීමට ඉඩත් තිබුණි. කුමන ආකාරයට හෝ දෙවන ශල්‍යකර්මය හෙවත් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම යනු රෝගියා හෙවත් රටට යහපත් දෙයකි. එය බලවත් මහජන බලවේගයක ඉල්ලීම සහ වුවමනා මත සිදුවූවානම් ඊට අධිකරණයේදී අභියෝග කිරීමට ඉඩක් ලැබෙන්නේ නැත. අධිකරණ තීන්දුවලට මහජන මතය සහ දේශපාලන තත්වයේ ගුණ අගුණ බලපාන බව රහසක් නොවේ. ධුරය අහිමි වූ අගමැතිවරයා නව ආණ්ඩුවක් පිහිටුවීමේ ගැසට් නිවේදනයට එරෙහිව අධිකරණයට නොයන්නේ ඒ නිසාය. එනම් ඊට එරෙහිව අධිකරණ නියෝගයක් ලබාගැනීම සඳහා අවශ්‍ය දේශපාලන සක්‍යතාවය නොතිබූ නිසාය. එසේ නැතහොත් අදාළ තීන්දුව අභියෝගයට ලක්කිරීම සාධාරණීකරණය කළ නොහැකි නිසාය. නමුත් දෙවන ගැසට් නිවේදනය හෙවත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය අධිකරණය හමුවේ අභියෝගයට ලක්කිරීමට ඔවුන්ට ධෛර්යයක් ලැබුණි. එය අසාමාන්‍ය තත්වයකි. මහජනයාට පරමාධිපත්‍යයේ බලය නැවත ලබාදීම අභියෝගයට ලක්කිරීම පහසු නැත. එය කළ හැකිවූයේ එනම් පළමු ශල්‍ය කර්මයට අධිකරණය හමුවේ විරෝධය පළ නොකොට දෙවන ශල්‍ය කර්මයට විරෝධය පළකිරීමට හැකිවන්නේ ඉහතකී කනිෂ්ඨ වෛද්‍යවරුන්ගේ වරද නිසා නොවේද? එම වැරදි සිදුවන්නේ ඔවුන්ගේ නොදැනුවත්කම නිසාද එසේ නැතහොත් නොසැලිකිල්මත් බව නිසාද යන්න පැහැදිලි නැත. සමහරවිට එවැනි දේ වැඩබැරිකම හෝ හිතාමතා සිදුකරන කඩාකප්පල්කාරී ක‍්‍රියාවකට ගොදුරුවීම නිසාද සිදු විය හැක. ඒ කුමක් වුවත් එසේ ශල්‍ය තුවාලය පැසවීමෙන් රෝගියාගේ ජීවිතය අනතුරට ලක්කෙරෙන ක‍්‍රියාකාරකම් කිහිපයක් හඳුනාගත හැක.

ඉන් පළමු වැන්න මහජනයා කෙරෙහි විශ්වාසය තබා මහජන බලය සහ ආණ්ඩුවේ පෞරුෂය පෙන්වා පරාජිත පාර්ශ්වය බිත්තියට හේතුත් කිරීමට අසමත්වීමය. ඊට ප‍්‍රධාන වශයෙන්ම හේතු වන්නේ උගුරට හොරා බෙහෙත් බීමට උත්සාහ කිරීම බව පෙනේ. එනම් පරාජය කළ න්‍යාය පත‍්‍රයේ භයානක කම සහ දුෂ්ට බව සංවාදයට ලක්කිරීමට මැලිවීමය. එය හරියට කළා නම් පරාජිත පාර්ශ්වවලට අධිකරණ නියෝග හරහා නැවත බලයට ඒමේ සිහින දැකීමට මහජනයා ඉඩ තබන්නේ නැත. දෙවැන්න අධිකරණ ක‍්‍රියාවලියට බලවත් ලෙස ප‍්‍රතිපිළිතුරු නොදීමය. එහිදී ජ්‍යෙෂ්ඨ විනිසුරු වරුන්ගෙන් සමන්විත සම්පූර්ණ විනිසුරු මඬුල්ලක් විසින් පෙත්සම් විභාග කළයුතු බවට ඉල්ලා සිටීමට පැහැදිලි ඉඩක් තිබුණි. ජනාධිපතිවරයාට අගවිනිසුරුවරයා හරහා එවැනි ඉල්ලීමක් කිරීමට ඉඩ තිබුණි. එසේම වගඋත්තරකරුවෙකු ලෙස අගමැතිවරයාටද නීතිිඥවරුන් හරහා ඒ සඳහා බලපෑම් කළ හැකිව තිබුණි. අපරාධ නඩුවකදී වුවද විනිසුරුවරුන් පිළිබඳව ප‍්‍රතිවිරෝධතා ඉදිරිපත්කිරීමට චූදිතයාට ඉඩ ලැබේ. ඒ අනුව පැහැදිලි වන්නේ අධිකරණ ක‍්‍රියාවලිය පිළිබඳව නිසි සැලකිල්ල දක්වා නොමැති බවය. එසේ නැතහොත් ප‍්‍රතිඵලය පිළිබඳ ව්‍යාජ සුබවාදී මනසකින් ක‍්‍රියාකිරීමද ඊට හේතුවූවා විය හැක. හේතුව කුමක් වුවත් ශ‍්‍රී ලංකාවේ ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ජනාධිපතිවරයකු විසින් ව්‍යවස්ථානුකූලව ගනු ලැබූ පරමාධිපත්‍යයේ බලයට ඍජුව අදාළවන තීන්දුවකට එරෙහිව අතුරු තහනම් නියෝගයක් දැන් ලැබී ඇත.

එම තීන්දුව ලැබීමෙන් පසුව කථානායකවරයා විසින් එය වැරදියට අර්ථකථනය කිරීම මගින් විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුවක් නැවත කැඳවීමට ක‍්‍රියාකළේය. ඒ සඳහා ඔහු විසින් නිවේදනය නිකුත් කළ අවස්ථාවේදීම නීතිපතිවරයා හරහා අධිකරණයට පැමිණිලි කිරීමට ඉඩක් තිබුණි. එසේ නැතහොත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 129වගන්තිය අනුව ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය හැක. නමුත් ඒ දෙකම සිදුවූයේ නැත. වරද එපමණකින් නතර වන්නේ නැත. එසේ නීති විරෝධීව පාර්ලිමේන්තුව රැස්කිරීමට එරෙහිව අධිකරණ සහ දේශපාලන ක‍්‍රියාමාර්ග හරහා විරෝධය පළකරනවා වෙනුවට නීති විරෝධී පාර්ලිමේන්තු සැසියට සහභාගීවීමට තීන්දු කිරීම පුදුම සහගතය. විපක්‍ෂය අධිකරණය හමුවට යන්නේ අවසාන ප‍්‍රතිඵලය ලෙස පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ ගැසට් නිවේදනය අවලංගුකොට පාර්ලිමේන්තුව නැවත කැඳවීමට අවශ්‍ය නීතිමය අවසරය ලබාගැනීමටය. ඒ පූර්ව කොන්දේසිය ඉටුකර ගැනීමෙන් තොරව පාර්ලිමේන්තුව කල්තැබීමේ ගැසට් නිවේදනය අනුව කැඳවීමේ දිනය ලගාවුවද පාර්ලිමේන්තුව කැඳවීමට ඉඩක් නැත. එනම් අතුරුතහනම් නියෝගය අවසාන නඩු තීන්දුව ලෙස විග‍්‍රහකර ගැනීමට කථානායකවරයාට බලයක් නැත. අතුරුතහනම මගින් කියවෙන්නේ පෙත්සම් ඉදිරිපත් කරන අවස්ථාවේ තිබූ තත්වය එසේම පැවතිය යුතු බවය. එනම් ඉදිරියට යාමට හෝ පසුපසට යාමට නොහැකි බවය. ඒ අනුව අතුරුතහනම් නියෝගය පනවන අවස්ථාවේ පවතින්නේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ තත්වයකි. එම නියෝගය මගින් සීමා පනවෙන්නේ මැතිවරණ ක‍්‍රියාවලිය තවදුරටත් ඉදිරියට ගෙනයාම පිළිබඳව පමණි. මැතිවරණ කොමසාරිස්වරයාටද නියෝගයක් නිකුත් කෙරෙන්නේ ඒ නිසාය. ඒ අනුව කථානායකවරයා විසින් මන්ත‍්‍රීවරුන්ව කැඳවීම සදහා දැනුම් දීම කළ හැක්කේ නීතිපතිවරයාගේ මතය විමසීමෙන් පසුව පමණි.

ආණ්ඩුව විසින් සිදුකළ තුන්වන වරද වන්නේ අතුරුතහනම් නියෝගය පිළිබඳ නිවැරදි නිර්වචනයකින් තොරව නීති විරෝධීව රැස්කළ පාර්ලිමේන්තුවට සහභාගීවී ඊට සුජාතභාවය ලබාදීමය. ඒ අනුව කනිෂ්ඨ වෛද්‍යවරුන් විසින් සිදුකරන තුවාලය පැසවීමට හේතුවන හතරවන වැරැද්ද කුමක්ද? එය තුන්වන වරදට පෙර සිදුකළ වරදකි. එනම් අධිකරණ නියෝගයට හිස නමා දෙසැම්බර් මාසයේදී තීන්දුව ලබාදෙනතෙක් වහාම පාර්ලිමේන්තුව කල්තැබීමේ ගැසට් නිවේදනය දීර්ඝ නොකිරීමය. ජනාධිපතිවරයාට තමා විසින් නියම කළ දිනය දින 2 කින් ආපස්සට ගෙනයා හැකිනම් දින දෙකකින් ඉදිරියට ගෙනයාමටද හැකිවිය යුතුය. ව්‍යවස්ථානුකූලව මාස දෙකක් දක්වා උපරිම කාලයකට කල්තැබීම දීර්ඝ කිරීමේ බලය ජනාධිපතිවරයා සතුවේ. එසේ දීර්ඝ කිරීමේදී අභිනවයෙන් කල්තැබීමේදී අදාළවන කොන්දේසි අදාළ නොවේ.

එහෙත් ඒ පිළිබඳව මත දෙකක් තිබෙන බව පෙනේ. නමුත් නීතිඥවරුන්ගෙන් අසා දේශපාලන තීන්දු ගැනීම ප‍්‍රඥාගෝචර ක‍්‍රියාවක් නොවේ. හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධන මහතාගෙන් ඉගෙන ගන්නවා නම් කළ යුත්තේ දේශපාලන තීන්දු ගැනීමෙන් පසුව එය ක‍්‍රියාත්මක කිරීමට එරෙහිව පවතින නීතිමය බාධක ඉවත්කර ගන්නේ කෙසේදැයි නීති විශාරදයන්ගෙන් විමසීමය. ඒ සඳහා තෝරාගන්නා නීති විශාරදයන්ට එය කළ නොහැකි නම් කළ හැකි අයෙක් සොයාගත යුතුය. ජේ.ආර්.ගේ දේශපාලන මූලධර්මය එයයි. කෙසේවෙතත් දැන් නීතිවිරෝධීව රැස්වූ පාර්ලිමේන්තුව නීතිවිරෝධීව න්‍යාය පත‍්‍රය පවා වෙනස්කොට ස්ථාවර නියෝගවලට පටහැනිව විශ්වාසභංග යෝජනාවක් සම්මතකොට ඇත. ගැම්බියාව වැනි විවිධ වර්ණවල මාබල් බෝල වලින් ඡන්දය දමන රටක හෝ හඩ අනුව බහුතරය නිර්ණය කරන කථානායකවරුන් සිටිය හැකිද? කථානායකවරයා විසින් ව්‍යවස්ථාව, ස්ථාවර නියෝග සහ සම්ප‍්‍රදාය කඩකරමින් සිදු කරන්නේ ව්‍යවස්ථානුකූලව පිහිට වූ ආණ්ඩුවක් පෙරලා වෙනත් ආණ්ඩුවක් පිහිටුවීමට උත්සාහ කිරීමය. එය ව්‍යවස්ථා අර්බුදයක්ද එසේ නැතහොත් කුමන්ත‍්‍රණයක්ද යන්න සොයා බැලිය යුතුය. නමුත් ආණ්ඩුපක්‍ෂය එම නීතිවිරෝධී ක‍්‍රියාවලියට දායක වෙමින් පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගී වන්නේ කුමක් නිසාදැයි සොයාගත නොහැක.

දැන් කළ යුත්තේ ගැටුම් ඇති කරමින් රට අස්ථාවර කිරීමට පාර්ලිමේන්තුව යොදාගැනීමට ඉඩ නොදී අධිකරණ තීන්දුව ලැබෙන තෙක් පාර්ලිමේන්තුව කල් තැබීම නොවේ ද? වැරදීම් සියල්ල නිවැරදි කිරීමට නම් කළ යුත්තේ ශල්‍ය තුවාලයට ප‍්‍රතිකාර කිරීමට බාරගත් කනිෂ්ඨ වෛද්‍යවරුන්ගේ හැසිරීම් සහ ක‍්‍රියාවලිය දැඩි මහජන අධීක්‍ෂණයට ලක්කිරීමය. අවසාන වශයෙන් පවතින දේශපාලන අර්බුදය විසඳිය හැක්කේ මහජන පරමාධිපත්‍ය බලය තුළිනි. ඒ නිසා මැතිවරණය පැවැත්වීමේ තීන්දුව ආපසු හැරවීමට ඉඩක් නැත. අධිකරණ තීන්දුව කුමක් වුවද ජනමත විචාරණයක් මගින් හෝ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමෙන් තොරව පවතින අර්බුදයෙන් ගොඩ එ්මට හෙවත් අර්බුදයේ විපත සනිටුහන් කිරීමට ඉඩක් නැත.

වෛද්‍ය වසන්ත බණ්ඩාර



One thought on “මහ ජන්දයක්ද? ආණ්ඩු පෙරළියක්ද? වෙන්නේ මොකක්ද?”

  1. What u wrote is totally wrong. Any one should participate for such discussion could have taken all possible consequence prior to take a decision.
    Any matters arising after decision is not worth. If there is no clear cut agenda considering all positive and negative facts, no one should take such a foolish act.
    Who participate for such decision destroy all the possibility of gaining future victory.
    This is similar to think as Gotabaya is most suitable candidate for next president election.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More