දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඊයේ (14) යොමුකරන ලද ලිපිය හා එහි ඇමුණුම් සම්බන්ධයෙන් ඊට පිළිතුරු වශයෙන් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ කතානායකවරයාට ඊයේ (14) යොමුකරන ලද පිළිතුරු ලිපිය මෙසේ ය.

2018 නොවැම්බර් 14 දිනැතිව පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් ඔබතුමන් විසින් මා වෙත යොමු කරන ලද ලිපිය හා එහි ඇමුණුම් කෙරෙහි මාගේ අවධානය යොමු කළෙමි. ප්‍රථමයෙන් පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් නීතිය ඉදිරියේදී විනිශ්චයට භාජනය වී ඇති අවස්ථාවකදී ඔබතුමා විසින් ගත් ක්‍රියාමාර්ගය එකී නඩුවේ හරයට අගතිදායක වන බව දන්වනු කැමැත්තෙමි.

ඔබගේ ලිපියේ සඳහන් ගැසට් නිවේදන, මවිසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව නිකුත් කර ඇති බව පෙන්වා දෙමි.

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළයුතු ආකාරය සහ එය සම්මත කර ගැනීමට අනුගමනය කළයුතු ක්‍රියාපටිපාටිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ ස්ථාවර නියෝගවල සඳහන්ව ඇති නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, ස්ථාවර නියෝග සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් යන සියල්ල නොසලකා හැර ඔබ ක්‍රියාකර ඇති බව පෙනීයයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි මවිසින් අග්‍රාමාත්‍යවරයකු පත් කිරීමේදී මාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට විධිවිධාන ඇති නමුත්, අග්‍රාමාත්‍යවරයාට හෝ ආණ්ඩුවට බහුතරයක් ඇති බව හෝ නැති බව පෙන්වීමේ අවශ්‍යතාවයක් හෝ පාර්ලිමේන්තු සම්ප්‍රදායක් නොමැති බව දැනුම් දෙනු කැමැත්තෙමි.

එසේම, පාර්ලිමේන්තුව විසින් නිසි ලෙස සහතික නොකළ අත්සන් ලේඛනයක් මා වෙත යොමු කරමින් අදාළ යෝජනාව සම්මත වූ බවට කරුණු තහවුරු කිරීමට ඔබතුමා විසින් ගත් උත්සාහය ගැනද මාගේ කනගාටුව ප්‍රකාශ කරමි.

එසේම, 2015 ජනවාරි මස 09 වන දින එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ගරු දි. මු. ජයරත්න මැතිතුමාට පාර්ලිමේන්තුවේ ආසන 162ක් තිබියදී එතුමා ඉවත් කර, පාර්ලිමේන්තුවේ ආසන 41 පමණක් හිමිව තිබූ එක්සත් ජාතික පක්ෂ නායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන ලද්දේ ඔබ නියෝජනය කරන දේශපාලන පක්ෂයේ ඉල්ලීම මත බවද මතක් කරමි.

මා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයන්හි ව්‍යවස්ථානුකූලත්වය නිර්ණය කිරීමට පාර්ලිමේන්තුව වෙර දැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැවරුණු තනි සහ අනන්‍ය බලය අතික්‍රමණය කිරීමක් බව ද එයින් ඔබතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙස අවධානය යොමු කර නොමැති බවද පෙනේ.

අවසාන වශයෙන් කථානායකවරයා වශයෙන් පත්වන තැනැත්තා කුමන දේශපාලන පක්ෂයක් නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණියත් උත්තරීතර පාර්ලිමේන්තුවේ ගෞරවයත්, ඒ පිළිබඳව ජනතාව තබා ඇති විශ්වාසයත් ආරක්ෂා කර ගැනීම පිණිස ස්වාධීනව කටයුතු කිරීමේ වගකීම, කනගාටුවෙන් වුවත් ඔබට සිහිපත් කිරීමට සිදුව ඇත. ඔබතුමා මා වෙත එවන ලද ඉහත කී ලිපියේ යෝජනා අංක 1 මගින් දක්වා ඇති කරුණ එනම් එහි සඳහන් පත්වීම් සහ නියෝග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට දක්වා ඇති ප්‍රකාශය මා තරයේ ප්‍රතික්ෂේප කරමි. එම අංක 1 යෝජනාවේ මා ගත් ක්‍රියාමාර්ග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ නීතිමය තීරණයන්ය. ඔබතුමා එවා ඇති මන්ත්‍රී අත්සන් ලේඛනයේ මුල් පිටපතෙහි පරණ දිනයක් මකා ඒ උඩ නොවැම්බර් මස 14 දිනය ලෙස යොදා ඇත.

තවද, අගමැතිවරයකු පත් කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟව පූර්ණ බලධාරියා වන්නේ ජනාධිපතිවරයා බවද වැඩිදුරටත් කාරුණිකව දන්වමි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More