පුරවැසි කොලම

පසුගිය ඔක්‌තෝබර් 15 දා යහපාලන රජය අහෝසි කිරීමේ රහසිගත මෙහෙයුමක්‌ දියත් වී තිබුණි. මේ මෙහෙයුම ගැන බත්තරමුල්ලේ සිටින දේශපාලනඥයකුගේ නිවසේ රහස්‌ සාකච්ඡාවක්‌ පැවැත්වුණි. එම සාකච්ඡාවට කොටි සංවිධානය සමඟ දැඩි සබඳකම් පැවැත් වූ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියෙක්‌ ද සහභාගි විය. මේ එන්. ජී. ඕ. ප්‍රධානියා විසින් යහපාලන රජය පෙරළා දැමීමේ මෙහෙයුමක්‌ දියත්වන බව කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලයට දැනුම් දුන්නේය. එම රහස්‌ පණිවුඩයෙන් කලබලයට පත් ඇමෙරිකානු තානාපති බලධාරීන් විගස ඒ බව එ. ජා. ප. බලධාරියකුට දැනුම් දීමට ක්‍රියා කළහ. මෙලෙස රහස්‌ තොරතුරු පිටවීම නිසා ජනාධිපතිවරයා විගස රජය අහෝසි කිරීමේ මෙහෙයුම අවලංගු කළේය. මේ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියාට ජනාධිපති කාර්යාලය තුළ ද තොරතුරු සපයන්නන් ද සිටි බව හෙළිවිණි. එම තොරතුරු සපයන්නා ඔහුගේ රාජ්‍ය නොවන සංවිධානයේ උප සභාපතිවරයකු ලෙස සේවය කර තිබුණි. මේ පසුබිම මැද පසුගිය සිකුරාදා දෙවැනි වරටත් යහපාලන ආණ්‌ඩුව පෙරළීමේ මෙහෙයුම අතිශයින් රහසිගතව දියත් විය. එහෙත් ඉතා ප්‍රබල ඉන්දීය රෝ සංවිධානය ඉන්දීය ආරක්‍ෂක උපදේශක අජිත් ඩෙවොල්ටත්, (ඉන්දීය ඡේම්ස්‌ බොන්ඩ්) සහ ඇමෙරිකානු සී. අයි. ඒ. සංවිධානය ඒ බව දැන සිටියේ නැත.

කොළඹ ඉන්දීය රෝ නියෝජිතයාට තොරතුරු සපයන පාර්ශ්ව ද අන්දමන්ද වූයේ ඇති වූ පෙරළිය කල්තියා වර්තා නොවීමයි. මේ වනවිට ඉන්දීය රෝ නියෝජිතයා සහ රෝ සංවිධානයට තොරතුරු සපයන ඇමැතිවරු සිවුදෙනා කවුදැයි හෙළි වී ඇත. ශ්‍රී ලංකාව කෙරෙහි දෘෂ්ටිය යොමුකර සිටින ඉන්දීය ආරක්‍ෂක උපදේශක අජිත් ඩෙවොල් හට හිටිහැටියේ සිදු වූ ආණ්‌ඩු පෙරළියෙන් විශ්මයට පත්වූයේ ඔහුට කල්තියා තොරතුරු නොලැබීමයි. 2014 දී ඩෙවොල් එවකට සිටි ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ හමු වී කොළඹ පෝට්‌ සිටි ව්‍යාපෘතිය නතර කරන ලෙසත් ඉන් ඉන්දියාවේ ආරක්‍ෂාවට තර්ජනයක්‌ එල්ල වන බවත් කියා සිටියේය. එහෙත් ගෝඨාභය රාජපක්‍ෂ එම ඉල්ලීම ප්‍රතික්‌ෂේප කළේය. ඉන්පසු චීන සබ්මැරීනයක්‌ ඉන්ධන ලබාගැනීම සඳහා කොළඹ වරායට පැමිණි අවස්‌ථාවේ රෝ හිතවාදී තානාපති නිලධාරියෙක්‌ චීන භීතිකාවක්‌ ප්‍රචාරය කළේය. වන්නි මෙහෙයුම සමයේ රෝ සංවිධානයේ උපදෙස්‌ මත මෙහෙයුම නතර කරන ලෙස ඉන්දීය රජය එල්ල කළ බලපෑම එදා සිටි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඉවත දැමීය. එසේම කොටින්ට එරෙහිව යුද වැදීමට ශ්‍රී ලංකාව බර අවි ඉල්ලා සිටි අවස්‌ථාවේ වෝසෝර් අවි 80 (සැහැල්ලු අවි) පමණක්‌ ලබාදීමට ක්‍රියා කළේය. ඊට සමගාමීව කොටි ගුවන්යානාවල ආගමනය දැනගැනීමේ ඉන්ද්‍රd II රේඩාර් පද්ධතියක්‌ ද මෙරටට ලබාදුන්නේය. එහෙත් යුද ටැංකි, මිසයිල ඇතුළු බර අවි ලබාදීමට ක්‍රියා කළේ චීනයයි.

එහෙත් කොටි ත්‍රස්‌තවාදීන්ගේ ස්‌ලින් ගුවන්යානාවල ආගමනය ඉන්ද්‍රd රේඩාර් පද්ධතියෙන් දැනගැනීමට නොහැකි වූයේ කොටි යානා පැමිණෙන අවස්‌ථාවේ එම රේඩාර් අක්‍රිය වීම නිසාය.

මේ නිසා රජය චීනයෙන් ත්‍රි ධාරා රේඩාර් පද්ධතිය ලබාගැනීමට තීරණය කළ විට ඉන්දියාව ඊට එරෙහි විය. මෙම ත්‍රී. ඩී. රේඩාරය ලබාගැනීමේ තොරතුරු කොළඹ රෝ ඒජන්තවරයාට ලැබී තිබුණේ හමුදා නිලධාරියකුගෙන් බව වාර්තා විය. එහෙත් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඉන්දීය විරෝධය නොතකා චීන රේඩාර් පද්ධතිය ලබාගැනීමෙන් කොටි ගුවන් යානාවල ආගමනය අසුවිය.

මේ අතර ඉන්දීය රජය හම්බන්තොට කොන්සල් කාර්යාලයක්‌ පිහිටුවීමට ද ක්‍රියා කළේය. ඊට හේතු වූයේ හම්බන්තොට වරාය චීන සමාගමක්‌ විසින් ඉදිකිරීමයි. ඊට අමතරව යාපනයේ ද කොන්සල් කාර්යාලයක්‌ ස්‌ථාපිත කිරීමට ක්‍රියා කළේය. හම්බන්තොට කොන්සල් කාර්යාලය යනු රෝ නිරීක්‍ෂණ මධ්‍යස්‌ථානයකි.

හම්බන්තොට බහාලු පර්යන්තය වසර 40 ක්‌ දක්‌වා පාලනය කිරීමට චයිනා හාබර් සමාගම සහ චයිනා මර්චන්ට්‌ සමාගම ඒකාබද්ධව ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු ඉන්දියානු රජය කැළඹීමකට පත්විය.

මේ පිළිබඳව වෙන්කවරාමන් ක්‍රිෂ්ණා නමැති මාධ්‍යවේදියා පැවසුවේ ඉන්දීය රෝ සංවිධානය ශ්‍රී ලංකාවේ මැතිවරණවලට ඉතා අනතුරුදායක ලෙස මැදිහත් වූ බවය.

එහෙත් ශ්‍රී ලංකාවේ බුද්ධිමත් පාර්ශ්ව සහ විද්වතුන් මිස සාමාන්‍ය ජනතාව ඉන්දීය රෝ සංවිධානයේ මෙන්ම ආරක්‍ෂක උපදේශක අජිත් ඩෙවොල්ගේ අබිහරස්‌ මෙහෙයුම් ගැන දැන සිටියේ නැත. මෙරට සාමාන්‍ය ජනතාව රෝ සංවිධානය යනු කුමක්‌ දැයි පවා නොදනී.

එසේ වුවත් ග්ලෝබල් ටැමිල් නිව්ස්‌ ආයතනය මෙතෙක්‌ හෙළි නොවූ රහසක්‌ හෙළි කරමින් පැවසුවේ 2015 ජනවාරි මස ශ්‍රී ලංකා රජය වෙනස්‌ කිරීමේ මෙහෙයුමට ඉන්දීය ආරක්‍ෂක උපදේශක අජිත් ඩෙවොල් සම්බන්ධ බවත් රනිල් වික්‍රමසිංහ වෙනුවට මෛත්‍රිපාල සිරිසේන පොදු අපේක්‍ෂකයා කිරීමේ මෙහෙයුම පසුබිමේ ඩෙවොල් සිටි බවත් ඒ සඳහා ඉන්දීය මාධ්‍ය ලවා මහින්ද රාජපක්‍ෂට එරෙහිව ක්‍රියාදාමයක්‌ දියත් කළ බවයි.

ඉන්දීය රෝ සංවිධානය කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය මෙන්ම මඩකලපුව ගුවන්තොටුපළ වැඩිදියුණු කිරීමට යෑයි දන්වමින් ලබාගැනීමට ද පසුගියදා උත්සාහ කරනු ලැබීය.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පසුගියදා නවදිල්ලියට පැමිණි අවස්‌ථාවේ ස්‌වදේශ කටයුතු ඇමැති රන්ජිත් සිං සමඟ සාකච්ඡා පවත්වා ඇත. ඒ මඩකලපු ගුවන්තොටුපළ සම්බන්ධ වීම බව හෙළිවිය. තමිල්නාඩුවේ සිට මඩකලපුව ගුවන්තොටුපළ වෙත ඝෘජු ගුවන්සේවා පැවැත්වීමට කටයුතු කරන බව රන්ජිත් සිං හෙළිකර තිබුණි.

ඊට පෙර කන්කසන්තුරේ වරාය සහ පලාලි ගුවන්තොටුපළ ද වැඩිදියුණු කිරීමේ මුවාවෙන් ලබාගැනීමට ඉන්දියාව ක්‍රියා කළේය.

මේ නිසා ඉන්දියාවේ රෝ සංවිධානයේ මෙහෙයුම් ගැන අටුවාටීකා අවශ්‍ය නැත. 2010 වසරේදී මෙරට රෝ නියෝජිතවරිය ලෙස ප්‍රභාමූර්ති නමැත්තිය කටයුතු කළාය. ඇය එවකට ජනාධිපති ලේකම්ව සිටි ලලිත් වීරතුංග හමු වී තොරතුරු දැනගැනීමට කළ උත්සාහය ව්‍යර්ථ විය.

වන්නි මෙහෙයුම සමයේ නෝර්වේ සාම නියෝජිත එරික්‌ සෝල්හයිම් පැවසුවේ තමා එම මෙහෙයුමට අදාළ සියලු තොරතුරු රෝ සංවිධානයට දැනුම්දුන් බවයි. 2017 දී චීන ආරක්‍ෂක ඇමැති ජනරාල් චාන් මැන්තුවන් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් ඉන්දීය රෝ සංවිධානය මෙන්ම ආරක්‍ෂක උපදේශක අජිත් ඩෙවොල් ද කලබලයට පත්විය. ශ්‍රී ලංකාව චීනය දෙසට යොමුවන බව ඩෙවොල්ගේ මෙහෙයවීමෙන් ඉන්දීය මාධ්‍ය ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රචාරයක්‌ දියත් කළේය.

පාකිස්‌තානු මාධ්‍ය විසින් අජිත් ඩෙවොල් හඳුන්වනු ලැබුවේ අජිත් ඩෙවිල් (යක්‌ෂයා) යනුවෙනි.

මේ අතර පසුගිය ජනාධිපතිවරණයේදී කොළඹ රෝ ඒජන්තවරයාගේ ක්‍රියාකලාපය බුද්ධි අංශ විසින් එවකට සිටි ජනාධිපති වෙත අනාවරණය කරනු ලැබීය. ඔහු විරුද්ධ පක්‌ෂ දේශපාලනඥයන් සමඟ සාකච්ඡා පවත්වා ඇති බව බුද්ධි අංශ විසින් හෙළිකරගෙන තිබුණි. මේ නිසා රෝ ඒජන්තවරයාව වහාම ශ්‍රී ලංකාවෙන් ඉවත් කරගන්නා ලෙස එදා රජය ඉල්ලා තිබුණි.

මේ පසුබිම මැද රෝ සංවිධානය ගැන යළිත් මෙරට දේශපාලන කරළියට පැමිණියේ මර්සලි තෝමස්‌ නමැති ඉන්දීය ජාතිකයා රෝ ඔත්තුකරුවකු බවට වාර්තාවීමෙන් මොහු මන්දබුද්ධිකයෙක්‌ යෑයි හැඳින්වීමට ඉන්දීය තානාපති කාර්යාල බලධාරීන් උත්සාහ කළහ.

ඔහු ශ්‍රී ලංකාවට පැමිණියේ කෙසේද? සහ ඔහුට උදව් කළේ කවුද යන්න මෙතෙක්‌ හෙළි වී නැත.

එහෙත් තෝමස්‌ නමැත්තා මානසික ආබාධයකින් පෙළෙන තැනැත්තකු බවට ජනතාව අතර ප්‍රචාරයක්‌ දියත් කිරීමට බටහිර තානාපති කාර්යාල සමඟ දැඩි සබඳකම් පවත්වන මාධ්‍යවේදිනියක්‌ උත්සාහයක යෙදුණි.

පලස්‌තීන නායකයාව සිටි යසර් අරපත්ගේ රියෑදුරා පවා ඊශ්‍රායල් මොසෑඩ් බුද්ධි සේවාවේ ඔත්තුකරුවකු නම් තෝමස්‌ රෝ ඔත්තුකරුවකු විය නොහැකිද?

මෙයට වසර ගණනකට පෙර රෝ ඔත්තු සේවාව ඉන්ජිනියර් නමින් හඳුන්වන රෝ ඔත්තුකරුවකු යාපනයට එවා තිsබුණි. ඉන්ජිනියර් කළු කොටි නියෝජ්‍ය නායක මහේන්ද්‍ර රාජා හෙවත් මහත්තයා සමඟ පවත්වන සාකච්ඡා කොටින්ගේ බොයි බුද්ධි සේවාවට අසුවිය. එහි ප්‍රතිඵලයක්‌ වූයේ ඉන්ජිනියර් සහ මහේන්ද්‍රරාජා අත්අඩංගුවට ගෙන මරුමුවට පැමිණවීමයි.

මෙවන් පසුබිමක්‌ මැද තෝමස්‌ නමැත්තා වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඝාතන සැලසුමට සම්බන්ධ යෑයි වාර්තා වී තිබේ.

එම ඝාතන සැලසුමට සම්බන්ධ ඇමැතිවරයකු ගැන ද අනාවරණය වී තිබේ.

එහෙත් ඔහුගේ අබිරහස්‌ ක්‍රියා ගැන මෙතෙක්‌ විමර්ශනයක්‌ සිදු වී නැත. මුලින්ම රෝ සංවිධානයට චරිත සහතිකයක්‌ දුන්නේ එම ඇමැතිවරයායි. අද රෝ සංවිධානයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ අනිල් දහස්‌මානායි. එසේ වුවත් ජනාධිපතිවරයා මේ ඇමැතිවරයාගේ අතීතය විමර්ශනයට ලක්‌ කළේද?

මේජර් ජෙනරාල් සුමිත් මානවඩු හිසේ පරාලයක්‌ වැදීමෙන් මියගිය බවට වාර්තා විය.

එහෙත් එම අනපේක්‌ෂිත මරණය සිදුවීමට පෙර මේජර් ජෙනරාල් මානවඩුවට තර්ජනය කළ හිටපු හමුදා නිලධාරියකුගේ දියණියක්‌ ගැන හෙළිවිය. එය මරණීය තර්ජනයකි. “බලනවා තමුසෙට වෙන දේ” යෑයි කියමින් ඇය හමුදා නිලධාරීන් රැසක්‌ ඉදිරියේ කළ තර්ජනය ගැන පොලිසිය විමර්ශනය කළේ නැත. ජෙනරාල් මානවඩුගේ මරණය ගැන හිටපු හමුදා නිලධාරීන් පැවසුවේ ශ්‍රී ලංකාවේ මුල්වරට පරාලයක්‌ හිසේ වැදී මරණයක්‌ සිදුකළ මුල් අවස්‌ථාව ජෙනරාල් මානවඩුගේ මරණය බවයි.

මේ නිසා වත්මන් අගමැති මහින්ද රාජපක්‌ෂට ජෙනරාල් මානවඩුගේ නියම ඝාතකයා කවුරුන්දැයි දැන්වත් සෙවීමට ක්‍රියා කළ යුතුය.

මේ අතර යහපාලන රජය හිටි හැටියේම වෙනස්‌වීමෙන් මෙතෙක්‌ මෙරට ජාතික ආරක්‍ෂාව ඇතුළු සියලු දේශපාලන කටයුතුවලට මැදිහත් වූ එන්. ජී. ඕ. ජාලය ඇද වැටුණි. මෙය බරපතළ ඇදවැටීමකි. ශ්‍රී ලංකාවට එරෙහිව එන්. ජී. ඕ. ක්‍රියාකාරිනී නිමල්කා ප්‍රනාන්දු සමඟ ජිනීවා ගිය සුදර්ශන ගුණවර්ධන, පාක්‍යසෝති සර්වනමුත්තු, ජෙහාන් පෙරේරා ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් ඉන් දැඩි අසරණ තත්ත්වයට පත්විය. එසේම සංහිඳියාව ගැන දෙඩවූ මනෝගනේෂන් ද බිම ඇද වැටුණි.

මොවුන් පසුගිය වසර 3 1/2 තුළ වැජඹුණේ රටේ ආරක්‍ෂාව සහ දේශපාලනය මෙහෙයවීමට ඉදිරිපත් විය.

එම වසර 3 1/2 කාලය තුළ කොටි ක්‍රියාකාරීහු යාපනයට පැමිණියහ. හමුදා කඳවුරු රැසක්‌ වෙනත් ස්‌ථානවලට මාරු කෙරුණි. ආවා කල්ලිය නමින් මැර කල්ලියක්‌ බිහිවිය. උතුරේ කොටි හිතවාදීන්ට ජිනීවා ගොස්‌ ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීමට හැකිවිය. විදේශ තානාපතිවරුන්ට උතුරට ගොස්‌ මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට ඉඩ ලැබුණි.

එසේම එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන්ට කොටි ත්‍රස්‌තවාදීන් හමු වී කටඋත්තර ගැනීමට ද ඉඩ ලැබුණි.

මේ හැර විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඇතැම් බලධාරීන් ජිනීවාහි කොටි ක්‍රියාකාරකම් මුළුමනින්ම වසන් කරනු ලැබීය.

එසේම 2016 ජුනි මස යහපාලන රජය විදේශ කටයුතු අමාත්‍යාංශය, ආරක්‍ෂක අමාත්‍යාංශය සහ යුද හමුදාපති සහ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී නවරත්න සමඟ පැවැති සාකච්ඡාවෙන් පසු හමුදා නිලධාරීන් විදේශගත කිරීමට පෙර මානව හිමිකම් කොමිෂන් සභාව වෙතින් නිෂ්කාශන වාර්තා ලබාගැනීමේ එකඟතාවන් ඇතිකරගනු ලැබීය.

එම වසර 3 1/2 ක යහපාලන රජය යටතේ හිටපු විදේශ ඇමැති මංගල සමරවීර ශ්‍රී ලංකාවේ හමුදාව මුළුමනින්ම පාවාදුන්නේය. ඒ ජිනීවා යෝජනාවට සම අනුග්‍රාහකත්වය ලබාදීමෙනි.

ඉන් ශ්‍රී ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල වී පසුව යහපාලන රජය සංහිඳියා කමිටුවක්‌ පත්කරනු ලැබීය. මේ කමිටුවෙන් ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහි යුද අපරාධ චෝදනා විමර්ශනයට හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත කළ යුතු බවට නිර්දේශ කළේය.

ඉන්පසු 2016 පෙබරවාරි මස ආරක්‍ෂක අංශ සකස්‌ කළ බොරු වාර්තාවක්‌ රජය වෙත ඉදිරිපත් විය. කළු කොටි බළකාය වැනසුවේ සටන් විරාම ගිවිසුම නිසා යෑයි හිටපු අගමැතිට ලබාදුන් එම බොරු වාර්තාවේ සඳහන් විය. එහෙත් සටන් විරාම ගිවිසුමින් පසුත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර ක්‍රියාත්මක විය.

2017 වසරේ ඔක්‌තෝබර් 01 දා අන්තර් ජාතික උගුලකට රට කොටුකරන මහින්දගේ වෑයම යන ශීර්ෂය යටතේ කරුණු දැක්‌වූ එන්. ජී. ඕ. ක්‍රියාකාරියෙක්‌ මහින්ද රාජපක්‍ෂ අන්තවාදී දෙමළ ඩයස්‌පෝරාව සමඟ එකම වේදිකාවේ ගමන් කරන බවට අවමන් කළේය. ද්‍රවිඩ නිජබිම පිළිගත යුතු යෑයි පැවසුවේ මේ එන්. ජී. ඕ. ක්‍රියාකාරියායි.

ප්‍රභාකරන් බෝම්බ පුපුරුවමින් බිහිසුණු ක්‍රියා සිදුකරද්දී වචනයක්‌වත් ප්‍රකාශ නොකළ පිරිස්‌ ද යහපාලන රජය ආරම්භවීමත් සමඟම ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ කලාකරුවෝ යනුවෙන් අටවාගත් සංවිධානයක්‌ මගින් සංහිඳියාව ගැන හඬනැඟීමට ඉදිරිපත් වූහ.

එම ගත වූ වසර 3 1/2 කාලසීමාවේදී කොටි ඩයස්‌පෝරාවට උතුරේ දොර විවෘත විය.

නේතන් ශාන්, ගැරි ආනන්ද සංගරී, රාධිකා ඩී. නායමෙයිසන්, එම්මානුවෙල් පියනම ඇතුළු කොටි හිතවාදීන් කිසිදු අවහිරයකින් තොරව උතුරට පැමිණ කොටි හිතවාදීන් හමුවීමට ද ඉඩ ලැබුණි. මේ සමයේ හිටපු විදේශ ඇමැති මංගල සමරවීර ගෝලීය ද්‍රවිඩ සංසදයේ නායක එමානුවෙල් පියනම පැවැත් වූ දිවා භෝජනයකට ද සහභාගි විය.

කොටි ත්‍රස්‌තයකු වූ පුලිතේවන්ට මචං යෑයි පැවසූ පුද්ගලයාට ද රජයේ ඉහළ ධුරයක්‌ ලැබුණි. වත්මන් අගමැති මහින්ද රාජපක්‍ෂ මේ පුද්ගලයා ගැන කුමන පියවරක්‌ ගන්නේ ද යන්න ගැන දේශප්‍රේමී ජනතාව බලා සිටී.

මේ අතර නව අගමැති ලෙස මහින්ද රාජපක්‍ෂ පත්වීම ගැන කොටි ඩයස්‌පෝරාවට ඇමෙරිකානු, ප්‍රංශ, ජර්මානු, ස්‌විසර්ලන්ත සහ බ්‍රිතාන්‍ය තානාපතිවරු ද කම්පනයට පත් වී ඇතැයි වාර්තා වේ.

ඊට මුල් වී ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා එල්ලවන ජිනීවා යෝජනාවයි.

මෙම ජිනීවා යෝජනාව රටවල් 67 කගේ සහායෙන් ඉවත් කරන ලෙස ඉල්ලීමට නව රජයට හැකිවේ.

මෙම ෙද්‍රdaහි යෝජනාව පිළිබඳව 2015 සැප්තැම්බර් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සමාන්තර රැස්‌වීමක්‌ පැවැති අතර ඊට එන්. ජී. ඕ. ක්‍රියාකාරීන් වූ නිමල්කා ප්‍රනාන්දු, සුදර්ශන ගුණවර්ධන, ෂෙරින් සරුර්, ඉරාන් ඇන්කටෙල් ද සහභාගි වූහ. එය මෙහෙය වූයේ කොටි හිතවාදී ඩේවිඩ් මෙහෙලිය. රයිට්‌ස්‌ නම් සංවිධානය මෙහෙයවන සුදර්ශන ගුණවර්ධන නමැත්තා එම සමාන්තර රැස්‌වීමේදී පැවසුවේ මානව හිමිකම් කොමසාරිස්‌ගේ වාර්තාව සාමුහික ක්‍රියාමාර්ගයක ප්‍රතිඵලයක්‌ බවයි. නිමල්කා ප්‍රනාන්දු නමැත්තිය රැස්‌වීම අමතමින් යුද්ධයේදී බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බව කියා සිටියේය.

යහපාලන රජය පැමිණීමත් සමඟම සුදර්ශන ගුණවර්ධන ගුවන්විදුලි සභාපති සහ පසුව ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ විය. නිමල්කා ප්‍රනාන්දු අතුරුදන් වූවන්ගේ කොමසාරිස්‌වරියක්‌ ලෙසට පත්කෙරුණි.

එහෙත් දෙදෙනාම බලයෙන් ඇදවැටුණි. මේ තත්ත්වය මැද මහින්ද රාජපක්‍ෂ මහතා නව අගමැති ලෙස පත්වීමේ සිද්ධිය ලැව්ගින්නක්‌ මෙන් ජිනීවා නුවර පැතිර ගියේය. ඉන් දැඩි කම්පනයක්‌ ඇතිවූයේ හිටපු කැරලිකරු සුනන්ද දේශප්‍රිය, කොටි ජාත්‍යන්තරයේ 11 වැනියා වූ කිරුබාකරන්ය. ජිනීවාහිදී කොටි වෙනුවෙන් හඬ නඟන බ්‍රිතාන්‍ය ජාතික ඩේවිඩ් වෙහෙලි ද අන්දමන්ද විය.

පසුගිය සැප්තැම්බර් මස ජිනීවා නුවර පැවැති මානව හිමිකම් සැසිවාරයේ දී ඩේවිඩ් වෙහෙලි මා වෙත පැමිණ තර්ජනාත්මක ප්‍රකාශයක්‌ කළේය. අගමැතිවරයා මගේ මිත්‍රයෙක්‌ මා සටන් විරාමයට උදව් කර තිබෙනවා. ඒ වගේම මානව හිමිකම් කවුන්සිලයේ මහලේකම්ට සහ ශ්‍රී ලංකාවේ පුවත්පත් ආයතනයටත් නුඹ ගැන පැමිණිලි කරනවා. නුඹ මට විරුද්ධව ලියනවා යෑයි කියා සිටියේය.

එහෙත් මා වෙහෙලිට ප්‍රතිචාර දක්‌වමින් පැවසුවේ නුඹට කළ හැකි දෙයක්‌ නැති බවයි.

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය නෝර්වේ අරමුදල් ලබන එන්. ජී. ඕ. සංවිධානයක්‌ බවත් ඔවුන්ට ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට එරෙහිව පියවර ගැනීමට නොහැකි බව මා වෙහෙලිට පැවසූ විට ඔහුට කටඋත්තර නැති විය.

මේ අතර 2019 මාර්තු මස පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සැසිවාරයට පෙර මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශ කණපිට හැරෙනු ඇත. ඒ ජිනීවා යෝජනාව ගැන මෙතෙක්‌ අනුගමනය කළ පිළිවෙත වෙනස්‌වීමයි.

මේ පසුබිම මැද කොටි හිතවාදියකු වූ තමිල්නාඩුවේ ඩී. එම්. කේ පක්‌ෂයේ නායක ස්‌ටාලින් ප්‍රකාශයක්‌ කරමින් මහින්ද රාජපක්‍ෂ අගමැති දෙමළ ජනතාවට තර්ජනයක්‌ බව කියා සිටියේය.

මේ නිසා ඉන්දීය රෝ සංවිධානයේ ඉන්දීය බුද්ධි සේවාව සී. අයි. ඒ. සංවිධානය සහ එම්. අයි. බුද්ධි සේවාව ශ්‍රී ලංකාවේ සිදුවීම් නිරීක්‍ෂණය කරමින් සිටිති.

එසේම ශ්‍රී ලංකාවේ යහපාලන රජය පෙරළීම ගැන නෝර්වේ රජය ද කලබල වී තිබේ.

ඊට අමතරව ශ්‍රී ලංකාවේ උතුරේ ෆෙඩරල් පාලනයක්‌ ඇති කිරීම සඳහා ස්‌විට්‌සර්ලන්තයේ ප්‍රිබුග් සිට ෆෙඩරල් විශේෂඥයන්ට මෙරටට ගෙන්වා දුන් කොළඹ – ස්‌විස්‌ තානාපති බලධාරියකුට සිදුවූයේ කුමක්‌ ද යන්න තේරුම් ගැනීමට අපොහොසත්ව සිටියි.

නාමල් කුමාර නමැත්තා ජනපති සහ හිටපු ආරක්‍ෂක ලේකම් ඝාතන සිද්ධිය හෙළිකිරීමට පෙර වත්මන් ජනාධිපතිවරයා මුහුණපා සිටියේ ඇමෙරිකාවේ ඒබ්‍රහම් ලින්කන් ජනාධිපති මුහුණපා සිටි තත්ත්වයටය. ඒ චරපුරුෂයන්ට සහ ෙද්‍රdaහීන්ට මැදිවීමයි.

දැන් එම බරපතළ අනතුරුදායක තත්ත්වයත් වත්මන් අගමැතිට ද එල්ල වී ඇත. මේ අතර බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව යන රටවල සහයෙන් ද්‍රවිඩ සන්ධානය රටේ ව්‍යවස්‌ථාව වෙනස්‌ කිරීමට ද සැලසුම් කළේය. එමගින් උතුරේ ඉඩම් හා පොලිස්‌ බලතල ලබාගැනීම ඔවුන්ගේ අරමුණ විය. එහෙත් රටේ ජනතාවගේ වාසනාවට ඇති වූ පෙරළිය නිසා නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා කෙටුම්පත අහෝසි වන තත්ත්වයට පත් වී ඇත. ද්‍රවිඩ සන්ධානයේ ඉදිරි පිළිවෙත නව රජය පත්වීමෙන් කඩාකප්පල් වී නැතත් බරපතළම ප්‍රහාරය එල්ල වූයේ සාධාරණ සමාජය සහ පුරවැසි බලය නමින් අටවාගත් සංවිධානවලටය.

මේ සංවිධානවල ක්‍රියාත්මක වූ එන්. ජී. ඕ. ක්‍රියාකාරියෙක්‌ මහා හොරු පරදවමු මැයෙන් පොත් පිංචක්‌ ප්‍රකාශයට පත් කළේය. අද ඔහු ගලේ පැහැරූ බළලෙක්‌ගේ තත්ත්වයට පත් වී ඇත. මහා හෙණය යෑයි ඔහු හැඳින්වූයේ හිටපු ජනාධිපති හා වත්මන් අගමැතිටය.

මේ අන්දමේ පසුබිමක්‌ මැද නව අගමැතිවරයා රාජකාරී භාරගත් අවස්‌ථාවට ස්‌විට්‌සර්ලන්තයේ කොටි හිතවාදී වෙබ් අඩවියක නියෝජිතයකු ද සම්බන්ධ විය. මේ බව ආරක්‍ෂක නිලධාරීහු නොදනිති. මේ වෙබ් අඩවිය මෙහෙයවන්නේ කිළිනොච්චි මන්ත්‍රී ශ්‍රී ධරන්ගේ සොහොයුරු ශ්‍රී කූගන්ය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සමයේ වීරකේසරී පුවත්පතේ මාධ්‍ය හැඳුනුම්පතකට සමාන හැඳුනුම් පතක්‌ රැගෙන ඇගේ මාධ්‍ය සාකච්ඡාවට මුහුන්දන් නමැති කොටි ක්‍රියාකාරියකු පැමිණ සිටි බව අනාවරණය විය. මේ අතර යහපාලන රජය තුළ සිටි රෝ සංවිධානයට තොරතුරු සැපයූ පාර්ශ්ව මේ වනවිට හෙළි වී ඇත. මේ අතර වියානා සම්මුතිය උල්ලංඝනය කරමින් ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, කැනඩාව, යුරෝපා සංගමය සහ ඉන්දියාව ඇති වූ පෙරළියට මැදිහත් වී තිබේ.

කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ කාර්ය භාර නිලධාරි රොබට්‌ හිල්ටන් කථානායකවරයා හමුවී වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඉල්ලා ඇත.

මෙම ඉල්ලීම නීති විරෝධී ක්‍රියාවකි. මේ තත්ත්වය මැද නව රජයට එරෙහිව ටියුනීසියාවේ ඇති වූ අරාබි වසන්තයට සමාන මෙහෙයුමක්‌ දියත් කිරීමේ සැලසුම අසාර්ථක විය.

kirthi warnakulasuruya



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More