දේශීය පුවත්

රෝහණ විජේවීරයන් ගොඩනැඟූ, සෝමවංශ අමරසිංහයන් සෙවණේ වැඩුණු ‘ජනතා විමුක්ති පෙරමුණ’ එහි වත්මන් නායක අනුර කුමාර දිසානායක නැමැත්තා විසින් ඔළුවෙන් සිටුවා ඇති බවත් එනිසා ‘වත්මන් ජනතා විමුක්ති පෙරමුණ’ වසර තුනක් තිස්සේ රට වළකට ඇද දැමූ රනිල් වික්‍රමසිංහ ගෙදර යැවීම ‘ව්‍යවස්ථා විරෝධී – ප්‍රජාතන්ත්‍ර විරෝධී – සදාචාර විරෝධී’ ක්‍රියාවක් යැයි අද මහා ඝෝෂාවක් නඟන බවත් ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි.

අද (04) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී එහි ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා මෙසේ පෙන්වා දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා, මෙසේද සඳහන් කළේය.

“ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත් කිරීම සහ පාර්ලිමේන්තුව දින 11ක් කල් දැමීම සම්බන්ධයෙන් එක්තරා කල්ලියක් විසින් රට තුළ ‘මහා ඝෝෂාවක් ’ සිදු කරමින් සිටිනවා. ඒ ඝෝෂාවේ පෙරගමන්කරු වී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණයි. එහිදී ජවිපෙ දිගටම තප්පුලනවා, ‘මහින්ද රාජපක්‍ෂ අගමැති ධුරයට පත් කිරීම ව්‍යවස්ථා විරෝධීයි, ප්‍රජාතන්ත්‍ර විරෝධීයි, සදාචාර විරෝධීයි කියා. ඒ වගේම පසුගියදා ‘රනිල් සමඟ නැගිටිමු’ කියා නුගේගොඩින් ‘රනිල් සුළ`ඟ’ නිර්මාණය කිරීමට ද ජවිපෙ මුල් වූවා. එතැනින් නතර නොවී, පසුගිය සිකුරාදා එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සමඟ කථානායකවරයා හමු වී ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් කියනවා ‘අපි මහින්ද රාජපක්‍ෂ අගමැති ලෙස පිළිගන්නේ නැහැ. තවමත් ව්‍යවස්ථානුකූලව පත් කළ අගමැති රනිල් වික්‍රමසිංහ. ඒ නිසා අපේ සහාය රනිල්ට’ කියා.

‘ජවිපෙ පැරණි සාමාජිකයන්ට සිහි කැඳවීමක්’

කෙසේ වෙතත්, මේ මොහොතේදී අනුර කුමාර දිසානායකලා, විජිත හේරත්ලා වැනි දේශද්‍රෝහී, අධිරාජ්‍යගැති, කුමන්ත්‍රණකාරී නායකයන් හැර රෝහණ විජේවීරයන් සහ සෝමවංශ අමරසිංහයන් නායකත්වය දුන් ජවිපෙ සාමාජිකත්වය දැරූ පිරිස්වලට අපට මතක් කර දීමට කතාවක් තිබෙනවා. 2001 දෙසැම්බර් 05 වැනිදා පැවති මහ මැතිවරණයේ ප්‍රතිඵල අනුව ඔබ අප සැම සාමාජිකත්වය දැරූ දේශප්‍රේමී, අධිරාජ්‍ය විරෝධී ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රී ධුර 16ක් ලැබුණා. එවකට රටේ ජනාධිපතිනිය වූයේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය. එම අවස්ථාවේ එක්සත් ජාතික පක්‍ෂය මන්ත්‍රීවරුන් 117ක් හවුල්කර ගෙන ආණ්ඩුවක් හැදුවා. එහි අගමැති වූයේ රනිල් වික්‍රමසිංහ. මේ ආණ්ඩුවට දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය ද තිබුණා. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ධුර 15 ද සමඟ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 132ක සහාය තිබුණා. එහෙම හයියක් හදාගෙන තමයි, මේ රනිල්ගේ ආණ්ඩුව 2002 පෙබරවාරි 22 වැනිදා ‘රනිල් – ප්‍රභා රට පාවා දීමේ ගිවිසුමට’ අත්සන් තැබුවේ.

ඒ ඊනියා සටන් විරාම ගිවිසුමත් සමඟම කොටින්ට ස්වයං පාලනයක් ලැබුණා. කොටි බැංකු, කොටි පොලීසි බිහි වුණා. ප්‍රභාකරන් උතුරේ පාලකයා බවට පත් වුණා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ ‘රිගේනිං ශ්‍රී ලංකා’ නැමති රට විකුණන නව ලිබරල්වාදී ආර්ථික වැඩපිළිවෙළක් දියත් කරමින් විදේශිකයන්ට මේ රටේ ආර්ථිකයේ දොරටු හරිමින් සිටියා. අද වගේම ජනතාව එමගින් හිඟාකන තත්වයකට පත් වුණා.

‘ජවිපෙ ඔළුවෙන් සිටුවා ඇත’

මේ රට බෙදන – රට විකුණන රනිල්ගේ ගමනට විරුද්ධ සටනේ එදා පෙරගමන්කරු වූයේ සෝමවංශ අමරසිංහයන් නායකත්වය දුන් ජනතා විමුක්ති පෙරමුණයි. එවකට ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංගට එදා අමාත්‍යාංශ පවරා ගන්නා ලෙස බල කළේ කවුද? ජනතා විමුක්ති පෙරමුණ. ඒ රනිල්ගේ දේශද්‍රෝහී, අධිරාජ්‍යගැති ගමනට විරුද්ධවයි. ඒ අනුව එදා රනිල්ගේ ආණ්ඩුවේ ප්‍රබලම අමාත්‍යාංශ 03ක් පවරා ගැනීමට චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය කටයුතු කළා.

‘ රනිල් ගෙදර යැවීම – අමාත්‍යාංශ පවරා ගැනීම’

ඉන්පසුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ජනතා විමුක්ති පෙරමුණ එක්ව එක්සත් ජනතා නිදහස් සන්ධානය ගොඩනැඟුවා. 2004 පෙබරවාරියේදී පාර්ලිමේන්තුව විසුරුවා හැර ජනාධිපතිනිය මහ මැතිවරණයක් කැඳවූවා. ජවිපෙ හා ශ්‍රී ලනිපය එක්ව තරඟ වැදී 2004 අප්‍රේල්වල දී එජනිස ආණ්ඩුවක් ද පිහිටුවනු ලැබුවා. එදා චන්ද්‍රිකා ජනාධිපතිවරිය අමාත්‍යාංශ 03ක් පවරා ගැනීම, මන්ත්‍රීවරුන් 132කගේ සහයෝගය තිබූ ආණ්ඩුව ගෙදර යවමින් වසර 02කට පසු මහ මැතිවරණයක් කැඳවීම ජවිපෙ අපට ව්‍යවස්ථා විරෝධී – ප්‍රජාතන්ත්‍ර විරෝධී – සදාචාර විරෝධී ක්‍රියාවක් වූවා ද? කිසිසේත්ම නැහැ. ඒ තීන්දු, රනිල්ගේ දේශද්‍රෝහී – අධිරාජ්‍යගැති ගමනට එරෙහිව ජවිපෙ බල කිරීම් මත මංගල සමරවීර වැනි එවකට ශ්‍රී ලනිප ප්‍රබලයන්ගේ මැදිහත්වීමෙන් චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය ගත් රටට හිතකර තීන්දුයි. අදත් රනිල් වික්‍රමසිංහගේ රට බෙදන – රට විකුණන ගමනට විරුද්ධවයි වත්මන් ජනාධිපතිවරයා තීන්දු ගත්තේ. මේ තීන්දුත් දේශද්‍රේහී, අධිරාජ්‍යගැති කඳවුරට එරෙහිව ගත් තීන්දු. ඒ නිසා අද ජවිපෙට සිදුව ඇති දේ පැහැදිලියි.

එදා ජවිපෙ සිටියේ දේශප්‍රේමී,, අධිරාජ්‍ය විරෝධී කඳවුරේ පෙරගමන්කරු ලෙසයි. එවිට රනිල් විරෝධී සටනේ පෙරගමන්කරු වන්නේ ද ජවිපෙයි. අද ජවිපෙ ඉන්නේ ඒ දේශප්‍රේමී, අධිරාජ්‍ය විරෝධී කඳවුරේ නොවෙයි. රනිල් වික්‍රමසිංහගේ දේශද්‍රෝහී, අධිරාජ්‍යගැති කඳවුරේයි. ඒ නිසා තමයි මම කීවේ, අනුර කුමාර දිසානායක නැමති ද්‍රෝහියා ජවිපෙ ඔළුවෙන් සිටුවා ඇති බව.

ඒ වගේම ‘මේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීන්දු, ප්‍රජාතන්ත්‍ර විරෝධී – ව්‍යවස්ථා විරෝධී- සදාචාර විරෝධී නම්, ඒකමතිකව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඡන්දය දෙමු’ කියා අපි මේ එජාප – ජවිපෙ – ටීඑන්ඒ මන්ත්‍රී රැළට කියනවා. එවිට ජනතාව ඊළඟ මහ මැතිවරණයේ දී නිවැරදි කවුදැයි තීන්දු කරාවි. ඒ නිසා ‘බොරු ඝෝෂා නොකර ඒ වැඬේ කරමු’ කියා අපි යළිත් මේ දේශද්‍රෝහී, අධිරාජ්‍යගැති බත්බැලයන්ට කියනවා”

මෙම මාධ්‍ය හමුවට ජානිපෙ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා මන්ත්‍රී හේමසිරි අමරසිංහ මහතා ද එක්ව සිටියේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

.

රෝහණ විජේවීරයන් සහ සෝමවංශ අමරසිංහයන් නායකත්වය දුන් ජවිපෙ සාමාජිකත්වය දැරූ පිරිස්වලට අපට මතක් කර දීමට කතාවක් තිබෙනවා.- ජයන්ත සමරවීර (පා.ම)

Gepostet von Lanka Lead News am Sonntag, 4. November 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More