පුරවැසි කොලම

ඝාතන සහ ඝාතන කුමන්ත්‍රණ …

November 1, 2018 9:11 am | Lanka Lead News

මහසෝන් බලකායේ අමිත් වීරසිංහ ගේ හෙළිදරව්වෙන්, මෙරට දේශපාලනයේ යටිතලය එළියට පැමිණෙමින් තිබේ. ඔහු පවසන ආකාරයට මෙතෙක් කලක් මෙරට දේශපාලනය කැළඹූ නාමල් කුමාර යනු, මුදලට මිනිසුන් පාවා දෙන්නෙකි. ඔහු වැඩ කර තිබෙන්නේ ත්‍රස්ත විමර්ශන අංශයේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා යටතේ ය. නාලක සිල්වා, හිටපු අගමැති ගේ සහචරයෙකි.

නාමල් කුමාර මුදලට මිනිසුන් පාවා දෙන්නෙකු බව, මේජර් අජිත් ප්‍රසන්න ද පවසා තිබේ. දැන් දැන් නාමල් කුමාර මාධ්‍ය සාකච්ඡා පවත්වන්නේ, දෙපස එක්කෝ ස්වාමින් වහන්සේලා තබා ගෙන ය. නැත්නම් මාපියන් තබා ගෙන ය. එයින් පෙනී යන්නේ ඔහු ගේ හෘදසාක්ෂිය ඔහුට කරදරයක් වෙමින් තිබෙන බව ය. අනෙක් අතට, අමිත් විරසිංහ නිදහස්වීම පිළිබඳ ව සිය සතුට, නාමල් කුමාර විසින් ද ප්‍රකාශ කෙරී තිබේ. එසේ ම ඔහු නාලක සිල්වා, මේ චෝදනාවලින් නිදහස් කර, එහි වරද හිටපු අගමැතිට පවරන ලෙස ද ඉල්ලා සිටී.

අමිත් වීරසිංහ ගේ ප්‍රකාශවලට අනුව, මහනුවර දිගන සිදුවීම, එක්සත් ජාතික පක්ෂයට ඇදුණු ලොතරැයියකි. ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන එන ලද දෝෂාභියෝගය, එක්සත් ජාතික පක්ෂය ගොඩ දමාගෙන ඇත්තේ දිගන සිදුවීම නිසා ය. දිගන සිදුවීමට සම්බන්ධ යයි කියමින්, මහසෝන් බලකායේ අමිත් වීරසිංහ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ, තමන් සමඟ එකට සිටි, නාමල් කුමාර ගේ බොරු ඔත්තුවකිනි.

දිගන සිදුවීමට, ඒකබද්ධය සම්බන්ධ බවට, රාජිත සේනාරත්න එකල මාධ්‍ය ඉදිරියේ දිවුරා කෑ ගැසූ අතර, පසුව දිලුම් අමුණුගම ඊට සම්බන්ධ බවට ප්‍රචාරයක් දියත් කෙරිණි. ‘ඒකාබද්ධෙට සම්බන්ධ චූදිතයන් අපි ලබන සතියේ අත්අඩංගුවට ගන්නවා’ යයි රාජිත සේනාරත්න පැවසුව ද, එහි ප්‍රගතියක් අපට දැකගැනීමට නොලැබිණි.

මහනුවර මුස්ලිම් පල්ලිවලට පහර දෙන එක් වීඩියෝ පටියක් එකල සමාජජාලාවල වයිරල් වූ අතර, එයින් පැහැදිලි වූයේ, එකී ප්‍රහාර ආණ්ඩුවේ සහ පොලීසියේ අනුදැනුම මත, සිදුවෙමින් තිබුණු බවකි.

පසුගිය රජය කාලේ දර්ගා නගරයේ ද මෙවැනි සිදුවීමක් වූ අතර, රාජිත සේනාරත්න ගේ ආසනය ඊට ආසන්න ය. මේ ආණ්ඩුව සමයේ සිදු වූ ගිංතොට ගැටුමට ද, එක්සත් ජාතික පක්ෂයේ දේශපාලකයෝ සම්බන්ධ වී සිටිය හ.

ඒ අතර, පසුගිය යහපාලන ආණ්ඩුව බිඳ වැටීමට ප්‍රධාන හේතුව, නාමල් කුමාර ගේ ප්‍කාශ බව, ජනාධිපතිවරයා පවසා තිබේ. ඊට සම්බන්ධ වැදගත් තොරතුරු රැසක් තමන් සතුව පවතින බව ද ඔහු පවසයි. ඒ අනුව, ජනාධිපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීම එකී කුමන්ත්‍රණයේ අරමුණු වී තිබී ඇත. එහි චෝදනාව එල්ල වී ඇත්තේ රනිල් වික්‍රමසිංහට ය.

‍මෙයට සම්බන්ධ කළ හැකි අතීත සිදුවීම් කිහිපයක් තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ පෙළේ නායකයන් වන, ආර්. ප්‍රේමදාස, ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී අතුකෝරාළ ආදින් ගේ මරණ අදටත් අභිරහස් වී තිබේ.

ඒ පිළිබඳ ව තොරතුරු රැසක් බ්‍රැඩ්මන් වීරකෝන් සහ වික්ටර් අයිවන් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.

ආර්. ප්‍රේමදාස ඝාතනය කෙරුණු බවට සැක කරන ලද බාබු ගේ සිරුර යනුවෙන් ඉදිරිපත් කරන ලද මළ සිරුර, බාබු ගේ නොවන බව, බ්‍රැඩ්මන් වීරකෝන් මහතා පවසයි. ගාමිණී දිසානායක ගේ ඝාතනයට පාතාළය සම්බන්ධ ව සිටි ආකාරය, වික්ටර් අයිවන් පෙන්වා දී තිබේ. ලලිත් ඇතුළත්මුදලි ගේ ඝාතනය සිදු කළා යැයි පැවසුණු ඝාතකයා ඊට සම්බන්ධ නොවූ අහිංසකයෙකු බව, පසුව හෙළිදරව් වී තිබිණි. ඒ පිළිබඳ තොරතුරු බ්‍රැඩ්මන් වීරකෝන් මහතා දක්වා ඇත. ගාමිණී අතුකෝරාළ මහතා ගේ සිදු වී තිබෙන්නේ, වස දීමකින් යයි පැවසේ. එකල සිරස මාධ්‍ය ආයතනය ගිනි තබන ලද්දේ, එකී වස බීම වීදුරුව ගාමිණී අතුකෝරාළට ලබා දෙන ආකාරය, එහි පටිගත වී තිබුණු නිසා බව, ප්‍රචාරය විණි.

‍මේවා නීතිය ඉදිරියේ අදටත් විසඳී නැත.

යහපාලන ආණ්ඩුවේ ඡන්ද මැෂිං බවට පත් වූ ලසන්ත, තාජුඩීන්, එක්නැලිගොඩ ආදින් ගේ ඝාතන තවමත් අවසන් නැත. ඒවා ඝාතනය කළ රාජපක්ෂලා හිරේ දමන බවට කී රාජිත සේනාරත්නලාට, වසර 3ක් තිස්සේ ඒවා ඔප්පු කර ගැනීමට නොහැකි විණී. තාජුඩීන් ගේ අස්ථි කොටස් හංගා තිබුණේ, රාජිත සේනාරත්න බෙහෙවින් සම්බන්ධකම් පැවැත් වූ සයිටම් මෘත ශරීරාගාරයේ ය. මේවා පුදුමසහගත ය.

‍මේ පිළිබඳ නිශ්චිත චූදිතයන් ගේ නම්, රාජපක්ෂ පවුලෙන් හෙළිදරව් වී නොමැති වුවත්, රාජපක්ෂලා සමඟ ජන්මාන්තර වෛරයකින් පෙළෙන රාජිත සේනාරත්න, පාඨලී චම්පික, සරත් ෆොන්සේකා වැන්නන් ඇමතිකම් දැරූ ආණ්ඩුවක් යටතේ ද, අදාළ පරීක්ෂණවලට නො බිය ව අදහස් දක්වමින් සිටි බවක් පෙනී යයි. එහෙත් ඒවාට සිදු වූ දේ පැහැදිලි නැත. නාමල් කුමාරලා වැනි, මුදලට පුද්ගලයන් පාවා දෙන්නන් එළියට එන්නේ මෙවැනි වාතාවරණයක් තුළ ය.

මේ ඝාතන සහ ඝාතන කුමන්ත්‍රණ අතිශය සංකීර්ණ සිදුවීම් මාලාවක් ඔස්සේ දිව යන බව පැහැදිලි ය. ඒවා පිටුපස සිටින්නන් අදටත් නිශ්චිත ව හඳුනා ගැනීමට, අප රටේ ස්වාධීන යයි කියන, පොලීසිය හෝ අධිකරණය සමත් වී නැත.

එහෙත්, මේවාට සමකාලීන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ගේ ඝාතනය සම්බන්ධ ව, දුමින්ද සිල්වා එල්ලුම් ගසට නියම වි තිබේ. මේ ආණ්ඩුව යටතේ සිදු වූ බැඳුම්කර වංචාවට සම්බන්ධ පරිවාර සැකකරුවන් සිරගත කර තිබේ. මහමොළ නිදැල්ලේ ය.

‍පොලීසිය සහ අධිකරණය සිදු කරමින් සිටින්නේ කුමක් ද?

– කුමාර ලියනගේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More