පුරවැසි කොලම

කොටින්ගෙන් සල්ලි ගත් සූකාගෙන් හමුදාවට යුද අපරාධ චෝදනා

⋆ ජර්මනියේ කොටි හිතවාදී ජේඩීඑස් සංවිධානයද බොරු සාක්කි සපයයි

⋆ ඉන්දීය සාම හමුදාවේ යුද අපරාධය සමරති

⋆ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 56 කට යුද අපරාධ චෝදනා

⋆ හමුදාව ජාති සංහාරයක් කළ බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිලි කළා – විග්නේෂ්වරන්

⋆ ලූතිනන් කර්නල් අමුණුපුර මෙරටට කැඳවීමේ සිද්ධියට මානව හිමිකම් කොමිසම සම්බන්ධ බවට සැකයක්

කොටි සංවිධානය පරාජය කළ ශ‍්‍රී ලංකාව හමුදාවට එරෙහි බොරු යුද අපරාධ චෝදනා ගැන විමර්ශනය කර තීන්දු ගෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ඉදිරිපත් කිරීමේ කොටි ඩයස්පෝරාවේ කොන්ත‍්‍රාත්තුව භාරගෙන ඇත්තේ එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්මින් සුකායි. ඇය අදටත් එක්සත් ජාතීන්ගේ උපදේශිකාවක් ලෙස සේවය කරයි.

ජාත්‍යන්තර සත්‍යය සහ යුක්තිය නමින් අටවාගත් රාජ්‍ය නොවන සංවිධානයක් මෙහෙයවන යස්මින් සුකා 2014 වසරේ සිටම වන්නි මෙහෙයුමට සම්බන්ධ හමුදා නිලධාරීන්ට යුද අපරාධ චෝදනා එල්ලවන වාර්තා ප‍්‍රකාශයට පත්කළාය. මේ බව මුලින්ම අපි හෙළි කළෙමු.

2017 වසරේදී ඇය ශ‍්‍රී ලංකාවට එරෙහිව වාර්තා 20 ක් 2018 වසරේදී වාර්තා 8 ක්ද එක්සත් ජාතීන්ගේ සංවිධානයට යොමු කළාය.

විශේෂ කාර්ය බළකාය, මේජර් ජෙනරාල් ජගත් ඩයස්, ජෙනරාල් ජගත් ජයසූරිය, මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු විවිධ හමුදා නිලධාරීන්ට එරෙහිව ගෙතූ සාක්‍ෂි මත මේ වාර්තා ඉදිරිපත් කර තිබුණි.

මේ වනවිට ඇය වන්නි මෙහෙයුමේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 56 කට විරුද්ධව බොරු යුද අපරාධ චෝදනා නගා ඇත.

යුරෝපා සංගමය, දකුණු අපි‍්‍රකානු රජය සහ කොටි ඩයස්පෝරාවේ අරමුදල් මත යැපෙන යස්මින් සුකා මුළුමනින්ම තක්කඩි කාන්තාවකි.

පසුගිය සැප්තැම්බර් මස ජිනීවා මානව හිමිකම් සැසිවාරය තුළ පැවැති සමාන්තර රැස්වීමකට ඇය පැමිණියේ කොටි ඩයස්පෝරා කි‍්‍රයාකාරීන් පිරිවරාගෙනය.

මේ සමාන්තර රැස්වීමේදී ඇය ශ‍්‍රී ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කරමින් ද්‍රවිඩයන් විශාල පිරිසක් ඝාතනය වූ බව කියා සිටියාය. එහෙත් රියර් අද්මිරාල් සරත් වීරසේකර, ජනෙත් විමල, සේනක රාජපක්‍ෂ සහ එරික් මාකවිට ඝාතනයට ලක්වූවන්ගේ අනන්‍යතාව හෙළිකරන ලෙස ඇයට අභියෝග කළවිට කටඋත්තර නැතිවිය.

මෙයට පෙරද සුකා මානව හිමිකම් කවුන්සලය තුළ සමාන්තර රැස්වීමක් පවත්වමින් ‘නවතිනු. මැයෙන් ශ‍්‍රී ලංකාවට එරෙහි මෙහෙයුමක් දියත් කළාය. ඊට 1971 හිටපු කැරලිකරුවකු වූ සුනන්ද දේශපි‍්‍රය හෙවත් රංජි මල්ලි නමැති ඇගේ බච්ච ගැටයා සහභාගි විය.

මේ පසුබිම මැද යස්මින් සුකා ජර්මනියේ සිට කි‍්‍රයාත්මක වන ජේ. ඩී. එස් නමැති දෙදෙනකුට සීමාවූ තක්කඩි මාධ්‍ය සංවිධානය සහ කොටින්ගේ අරමුදල් මත යැපෙන ඇමරිකාවේ ඉනර් සිටි ප්‍රෙස් වෙබ් අඩවිය මෙහෙයවන මාටින් රසල්ලි සමඟ එක්ව කි‍්‍රයාකරමින් ශ‍්‍රී ලංකා හමුදාවට අවමන් කිරීමේ ව්‍යාපෘති මෙහෙයවනු ලැබීය.

පසුගිය සතියේ ඇය එක්සත් ජාතීන්ගේ සාම බළකා ප‍්‍රධානි ජින් පියරේ ලාංක‍්‍රායික්ස් වෙත පැමිණිල්ලක් කරමින් මාලි සාම හමුදා බළකාය වෙත යැවූ ශ‍්‍රී ලංකා බලමුළුවේ ප‍්‍රධානියාවූ ලූතිනන් කර්නල් කලණ අමුණුපුර යුද අපරාධ සිදුකර ඇති බව කියා සිටියාය.

සුකා මෙහිදී කි‍්‍රයාකළේ පැමිණිලිකරු, සාක්‍ෂිකරු සහ විනිසුරු ලෙසිනි. ඇගේ මෙම පැමිණිල්ල විභාග කරනු වෙනුවට සාම හමුදා බළකාය එම ශ‍්‍රී ලංකා හමුදා නිලධාරියාව ආපසු කැඳවන ලෙස මෙරට රජයට කියා සිටියේය.

එහෙත් ලූතිනන් කර්නල්වරයාට එරෙහිව පරීක්‍ෂණයක් සිදුකිරීමට එක්සත් ජාතීන්ගේ සාම හමුදා බළකාය කි‍්‍රයාකර නොතිබුණි.

එල්ල වී ඇති යුද අපරාධ චෝදනා කුමක්දැයි හෙළිකිරීමටද එක්සත් ජාතීන්ගේ සංවිධානය කි‍්‍රයාකළේ නැත. ඔහු 2017 දෙසැම්බර් මසද මාලි රාජ්‍යය වෙත ගොස් තිබුණි.

එහෙත් එල්ලවී ඇති චෝදනා කුමක්දැයි දැන් හෙළිවී ඇත.

1. 2009 පෙබරවාරි මස කොටි පාලනය යටතේ පැවැති පුදුකුඩිඉරිප්පු සහ 2009 මාර්තු මස පුතුමාතලන් නගරවලට ප‍්‍රහාර එල්ල කිරීම.

2. සිවිල් වැසියන්ට වධ හිංසා පැමිණවීම

3. එක්සත්ජාතීන්ගේ ස්ථානවලට ප‍්‍රහාර එල්ල කිරීම

එසේම 58 වැනි සේනාංකය භාරව සිටි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ දෙවැනියා ලෙස ලූතිනන් කර්නල්වරයා කි‍්‍රයාකර ඇති බවටත් යස්මින් සුකාගේ පැමිණිල්ලේ තවදුරටත් සඳහන් කර තිබුණි. ඔහු කාලතුවක්කු බතරොයි මෙහෙයවූ බවටද දක්වා ඇත.

මෙයට අමතරව ශ‍්‍රී ලංකා හමුදාවට එරෙහිව ජේ. ඩී. එස්. සංවිධානය මෙහෙයවන කොටි හිතවාදියකුවූ රෝහිත භාෂණ අබේවර්ධන නැමැත්තා සාවද්‍ය තොරතුරු රැසක් ඉනර් සිට් ප්‍රෙස් වෙබ් අඩවියේ නියෝජිත මාටින් රසල් වෙත යවා තිබුණි.

එසේ වූවත් යස්මින් සුකාගේ අභූත චෝදනාවලට යහපාලන රජය හෝ විදේශ කටයුතු බලධාරීන් අභියෝග එල්ල කිරීමට කි‍්‍රයාකළේ නැත. මෙය පුදුමයක් නොවේ.

උතුරු පළාත් සභා ඇමැතිනි ආනන්දි සසිතරන් මේ වසරේ දිනෙක සිය අමාත්‍ය කාර්යාලය යුද අපරාධ චෝදනා සඳහා සාක්කි සටහන් කරගැනීමේ මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කළාය.

ඇය වන්නියේ කාන්තාවන් තම කාර්යාලයට කැඳවා යස්මින් සුකා සමඟ වීඩියෝ සාකච්ඡා ක‍්‍රමවේදය ඔස්සේ ඇයට සාක්කි ලබාදුන්නාය. මේ සඳහා වැය වූයේ ආනන්දියගේ මුදල් නොව රජයේ මුදල්ය.

මේ නීතිවිරෝධී කි‍්‍රයාව ගැන රජය අද වනතුරු විමර්ශනයක් කළේ නැත. විදේශ කාන්තාවක්වූ සුකා වෙත සාක්කි ලබාදීම රාජද්‍රෝහී කි‍්‍රයාවකි. එහෙත් සසිතරන්ට රාජද්‍රෝහී කි‍්‍රයා එල්ලවූයේ නැත.

එහි ප‍්‍රතිඵල ලූතිනන් කර්නල්වරයාට ආපසු මාලි රාජ්‍යයේ සිට මෙරටට එවන ලෙස සාම බළකා ප‍්‍රධානියා දැනුම්දී තිබේ.

සුකා විසින් ලූතිනන් කර්නල් අමුණුපුරට එරෙහිව කෙටුම්පත් කළ එම වාර්තාව පසුගිය ජුලි මාසයේදී බි‍්‍රතාන්‍යයේ ගාඩියන් පුවත් පතටද ලබාදී තිබුණි. එම පුවත්පත් වාර්තාවෙන් චෝදනා එල්ලවන හමුදා නිලධාරියා කවුදැයි නම්කර තිබුණේ නැත.

ලූතිනන් කර්නල් අමුණුපුරට එල්ලවූ බොරු යුද අපරාධ චෝදනාවට සමගම මේ වසරේ පෙබරවාරි මස යස්මින් සුකා ලෙබනනයේ සාම සාධක බළකායට එක්වූ ලූතිනන් කර්නල් හේවගේටද එල්ල කළාය.

ඇය සාම සාධක බළකායේ ප‍්‍රධානි ලාක්‍රොයික්ස් වෙත ඉතාමත් හදිසියි මැයෙන් පැමිණිල්ලක් යවමින් පැවසුවේ පුදුකුඩිඉරිප්පු හමුදා පෙරමුණේ හේවගේ සිටි බවත් ඔහු 57 වැනි සේනාංකය භාර මේජර් ජෙනරාල් ජගත් ඩයස් සමගින් ක‍්‍රියාත්මක වූ බවත් පළ කළාය.

ඒ සඳහා ඇය සාක්‍ෂි ලෙස ඉදිරිපත් කළේ සිංහ රෙජිමේන්තු වෙබ් අඩවියේ වාර්තාවයි.

ලූතිනන් කර්නල් හේවගේ කිලිනොච්චි ප‍්‍රහාරයට සහභාගිවී ඇති බවද සුකා සිය පැමිණිල්ලේ තවදුරටත් දන්වා ඇත.

මේ නිසා මෙම නරුම කාන්තාව වන්නි මෙහෙයුමේදී කොටි පාලනයේ පැවැති ප‍්‍රදේශ මුදාගැනීමට මෙහෙයුම් දියත් කළ සියලූ හමුදා ප‍්‍රධානීන්ට චෝදනා එල්ල කර තිබේ.

එහෙත් යහපාලන රජය නිහඬව සිටියි. මේ අන්දමට බි‍්‍රතාන්‍යය සහ ඇමරිකානු හමුදා නායකයන්ට චෝදනා එල්ල වූයේද?

2019 වසරේ ඇය කාලස් කැස්ටුසනා නමැති ස්පාඤ්ඤ නීතිවේදියා සමඟ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණියේ හිටපු හමුදාපති ජගත් ජයසූරියට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීමටය.

මෙහිදී රියර් අද්මිරාල් සරත් වීරසේකර ස්පාඤ්ඤ නීතිවේදියාගෙන් ජගත් ජයසූරියට එරෙහිව සාක්‍ෂි ඉදිරිපත් කරන ලෙස පැවැසූ විට ඔහු නිහඬ විය.

එසේම සුකා ස්විස්ටර්ලන්තය ඇතුළු යුරෝපා රටවල් 5 ක සිටින හිටපු කොටි මිනීමරුවන් 51 කගෙන් සාක්කි ලබාගෙන එම සාක්කි මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කරනු ලැබීය.

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා උසස් කිරීම ගැනද ඇය කෝපයට පත්වූවාය.

එහෙත් යහපාලන රජය සුකාගේ ශ‍්‍රී ලංකා විරෝධි කොටි මෙහෙයුමට ප‍්‍රතිචාර දැක්වූයේ නැත.

ඒ වෙනුවට රජය ඇයට ශ‍්‍රී ලංකාවට පැමිණෙන ලෙස ඇරයුම් කළාය. මේ ඇරයුම ශ‍්‍රී ලංකා හමුදාවට අවමානයකි. රජයේ ඇරයුම ඇය පිළිගත්තේ නැත.

පසුගිය සැප්තැම්බර් මස ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ ශාලාවකදී දකුණු අපි‍්‍රකානු සුකා පැවසුවේ ශ‍්‍රී ලංකාවට පැමිණියහොත් සිංහලයන් තමාව මරාදමන බවයි.

ශ‍්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් යුද අපරාධකරුවන් බවට චෝදනා එල්ලකරමින් සුකා දියත්කර ඇති මෙම භයානක කි‍්‍රයාදාමය ගැන ඉරිදා දිවයින 2017 ඔක්තෝබර් මස විශේෂයෙන් අනාවරණය කරනු ලැබීය.

මේජර් ජෙනරාල්ලා ඇතුළු හමුදා නිලධාරීන් විදේශ රටවලදී අත්අඩංගුවට ගන්නැයි සුකා විදේශ රටවලින් ඉල්ලා ඇති බවටද එදා අපි තවදුරටත් හෙළි කළෙමු.

සුකා මෙම ඉල්ලීම කළ බව ශ‍්‍රී ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩී ග්‍රෙයිප් අනාවරණය කර තිබුණි.

එහෙත් රජය එහි බරපතළකම තේරුම් ගත්තේ නැත.

ඒ වෙනුවට රජයේ මාධ්‍ය විසින් ජිනීවා මානව හිමිකම් අර්බුදය සදහට නවතී යනුවෙන් ජනතාව නොමඟ යැවීමට කි‍්‍රයාකරනු ලැබීය.

එසේම වසර ගණනකට පෙර නිදහස් මාධ්‍ය ව්‍යාපාරික ජාලයේ කි‍්‍රයාකාරියෙක් ජිනීවා වෙත යැවීම සඳහා තොග පිටින් පෙත්සම් එවකව සිටි එ.ජා.ප. මන්ත‍්‍රී ජයලත් ජයවර්ධන වෙත භාරදුන්නේය. මේ අතීතය අද වසන් කර ඇත.

ජිනීවා යෝජනාවේ ප‍්‍රතිඵලය නම් ලූතිනන් කර්නල් අමුණුපුරට ආපසු සිය රටට ඒමට සිදුවීමයි.

එක්සත් ජාතීන්ගේ සාම සාධක බළකා මහලේකම් කාර්යාලය තවදුරටත් දක්වා ඇත්තේ ශ‍්‍රී ලංකා රජයේ වියදමින් ලූතිනන් කර්නල් අමුණුපුර ශ‍්‍රී ලංකාවට කැඳවන ලෙසයි. මේ පිළිබඳව ශ‍්‍රී ලංකා හමුදා බලධාරීන් පැවසුවේ එක්සත් ජාතීන්ගේ එම තීරණයට එරෙහිව කරුණු දක්වන බවයි.

එසේවූවත් එය අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වසා දැමීම වැනි කි‍්‍රයාවකි.

ඇමරිකාවේ සිට කි‍්‍රයාත්මක වන ඉනර් සිටි ප්‍රෙස් මෙහෙය වන්නාවූ මාටින් රසල් ලී සාම සාධක බළකා ප‍්‍රධානි ලාක්‍රොයික්ස් වෙත සංදේශයක් යවමින් ශ‍්‍රී ලංකා හමුදාව යුද අපරාධ චෝදනාවලට ලක්වූවන් 49 ක් සාම සාධක බළකාය වෙත එවා ඇති බවත් ඒ ගැන විමර්ශන කරන ලෙසත් ඉල්ලා තිබේ.

එසේ වූවත් මාටින් රසල්ලිගේ හෝ යස්මින් සුකාගේ කි‍්‍රයාදාමයන්ට නිසි ප‍්‍රතිචාර දැක්වීමක් සිදුවූයේ නැත.

මෙය පුදුමයක් නොවේ යහපාලන රජය සමයේ ශ‍්‍රී ලංකා හමුදාවට අද සිදුවී ඇත්තේ සාම සාධක බළකාවලට හමුදා නිලධාරීන් යැවීමට ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් අවසර ගැනීමයි. මේ මානව හිමිකම් කොමිෂන් සභාව එදා සිටියේ නම් වන්නි මෙහෙයුම දියත් කිරීමට පෙර ඔවුන්ගෙන් අවසර ගැනීමටද සිදුවේ.

මෙවන් පසුබිමක් මැද යස්මින් සුකා අදවනතුරු එකදු කොටි හමුදා නායකයකුට හෝ කොටි කි‍්‍රයාකාරියකුට එරෙහිව යුද අපරාධ චෝදනා ඉදිරිපත් කර නැත.

එහෙත් ගෝලීය ශ‍්‍රී ලංකා සංසදය කොටි යුද අපරාධ මුල්වරට ජිනීවා නුවරදී ප‍්‍රදර්ශනය කළේය.

කොටි ජිනීවාහිදී ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක, ආර්. පේ‍්‍රමදාස, චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්‍ෂ, මෛත‍්‍රිපාල සිරිසේන, රනිල් වික‍්‍රමසිංහ, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ වෙත ප‍්‍රසිද්ධියේම යුද අපරාධ චෝදනා එල්ල කරද්දී යහපාලන රජයේ ජිනීවා තානාපති කාර්යාලය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය බලා සිටියේය.

මෙලෙස වත්මන් රජය පමණක් නොව පසුගිය රජයද යස්මින් සුකා මෙරටට අභූත චෝදනා එල්ල කරද්දී බලාසිටියේය.

2012 ඔක්තෝබර් මස දිනෙක හිටපු බී. බී. සී. වාර්තාකාරි ප‍්‍රැන්සස් හැරිසන් තවමත් මියගිය සංඛ්‍යාව ගණන් කරනවා මැයෙන් සිය ග‍්‍රන්ථය ලන්ඩන් නුවර එළිදැක්වූ අවස්ථාවට සුකාද සහභාගි විය.

එහිදී ඇය පැවසුවේ මියගිය ද්‍රවිඩයන් සංඛ්‍යාව 40000 ක් නොව 75000 ක් විය හැකි බවයි.

එසේම 2017 වසරේ මාර්තු මස ඇය හමුදා නිලධාරීන් පස්දෙනකුට එරෙහිවද යුද අපරාධ චෝදනා එල්ල කළාය.

ඇය ඉදිරිපත් කළ වාර්තාවෙන් වව්නියාවේ ජෝශප් හමුදා කඳවුර වධකාගාරයක් බවත් ජගත් ජයසූරිය, කමල් ගුණරත්න, සුමේධ පෙරේරා සහ බොනිපස් පෙරේරා සහ රුවන් කුලතුංග වධ හිංසා සිදුකිරීම් වලට වගකිවයුතු බවත් සඳහන් කර තිබිණි.

මේ හැර කමල් ගුණරත්න මෙහෙයවූ 53 වැනි සේනාංකය රූපවාහිනී නිවේදිකා ඉසිපි‍්‍රයා ඝාතනයට සම්බන්ධ බවද සුකා සිය වාර්තාවේ දක්වා තිබුණේ එම සිදුවීම් ඇසින් දුටුවාක් මෙනි.

සුකා මෙන්ම මේ වසරේ ජුලි 14 දා මානව හිමිකම් කි‍්‍රයාකාරීන් යැයි හඳුන්වාගත් පිරිසක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ විදේශ රටවල්වලට සංදේශයක් යවමින් යුද අපරාධ චෝදනා එල්ලවූවත් එක්සත් ජාතීන්ගේ සාම සාධක බළකායක් වෙත ඇතුළත් කර ගැනීමෙන් වළකින ලෙස ඉල්ලා සිටියේය.

මේ මානව හිමිකම් කි‍්‍රයාකාරීන් යැයි හඳුන්වා ගත් පිරිස කවුරුන්ද? හර්ෂණ කොඩිතුවක්කු යැයි නම සඳහන් අයද පැවසුවේ යුද අපරාධ චෝදනා එල්ලවූවන් ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය නිසිලෙස නිරීක්‍ෂණය කර නැති බවයි.

එසේම ශ‍්‍රී ලංකාව සමඟ හමුදා සබඳතා ඇතිකර ගැනීමට පෙර එල්ල වී ඇති චෝදනා ගැන විමර්ශනය කළ යුතු බවද එම කි‍්‍රයාකාරීන් තවදුරටත් ප‍්‍රකාශ කර ඇත.

එහෙත් කොටි සිදුකළ යුද අපරාධ ගැන නිරීක්‍ෂණය කරන ලෙස මොවුන් ඉල්ලා නැත. මේ අතර සුකා මානව හිමිකම් කවුන්සිලයට තවත් පැමිණිල්ලක් කර තිබුණි. ඒ ශ‍්‍රී ලංකා හමුදාව කොටි සුසාන භූමි විනාශ කර ඇති බවයි.

මෙම පසුබිම මැද 2018 නව ත‍්‍රස්ත මර්දන පනතට ත‍්‍රස්තවාදී කි‍්‍රයා සඳහා මරණ දඬුවම පැමිණවිය යුතු බවට දැක්වෙන වගන්තිය ඇතුළත් නොකරන ලෙස හියුමන් රයිට්ස් වොච් සංවිධානය රජයට නිර්දේශ කර ඇත.

ඉන්දියාව පවා ත‍්‍රස්තවාදීන්ට මරණ දඬුවම පමුණුවන අවස්ථාවේ රජය එන්.ජී. ඕ කි‍්‍රයාකාරීන්ගේ නිර්දේශවලට එකඟ විය යුතුද?

මේ තත්ත්වය මැද කොටි මිනීමරුවන් බේරාගැනීම සඳහා යාපනයේ සිට අනුරාධපුරයට පැමිණි කොටි හිතවාදී සරසවි සිසුන් අතර සිටි අබිරහස් පුද්ගලයන් 20 ක් ගැන තොරතුරු හෙළිවිය. මේ විසිදෙනා තම හැඳුනුම්පත් බන්ධනාගාර බලධාරීන්ට ලබාදීම ප‍්‍රතික්‍ෂේප කරනු ලැබීය. එසේ නම් මොවුන් පුනරුත්ථාපනය නොවූ කොටිද? එසේත් නැත්නම් තමිල්නාඩුවේ සිට යාපනයට පැමිණි පිරිසක්ද?

මේ අතර ලූතිනන් කර්නල් අමුණුපුර මාලි රාජ්‍යයේ සිට ආපසු කැඳවන ලෙස සාම සාධක බළකා ප‍්‍රධානි ලාක්‍රොයිස් කළ දැනුම්දීම ගැන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන කනගාටුව පළකර ඇත. මෙම සිද්ධියට ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සම්බන්ධ බවට රජයට සැකයක් මතුවී ඇත.

ශ‍්‍රී ලංකා හමුදාවට එරෙහි සතුරන් කොළඹ සහ යාපනයේ සිටින බව රජය නොදන්නේද?

යස්මින් සුකාට වීඩියෝ ක‍්‍රමවේදය ඔස්සේ බොරු සාක්කි ලබාදීමට කි‍්‍රයාකළේ ආනන්දි සසිතරන් නොවේද?

මේ පසුබිම මැද යාපනය ශික්‍ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය මෙයට වසර 31 කට පෙර ඉන්දීය සාම හමුදාව විසින් යාපනය රෝහලේ වෛද්‍යවරු ඇතුළු 21 ක් ඝාතනය කිරීමේ ම්ලේච්ඡු සිද්ධිය සැමරීමට කි‍්‍රයාකරනු ලැබීය.

ඉන්දීය සාම හමුදාව සිදුකළ මේ බිහිසුණු අපරාධය ගැන ද්‍රවිඩ සන්ධානය නිහඬ වී ඇත.

කිර්ති වර්ණකුලසූරිය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More