පුරවැසි කොලම

කොටබෝව ඉංග්‍රීසි වධකාගාරය ඉදිරිපිටදී බූටාවේ රටේරාල එල්ලා මරා දමා 2018 ඔක්තෝම්බර් 20 දිනට හරියටම සියවස් දෙකකි. “බූටාවේ” යනු, ධවල අධිරාජ්‍යයේ ම්ලේච්ඡ ආක්‍රමණිකයන්ට එරෙහිව ඌව වෙල්ලස්ස ගිනියම් කළ මුල්ම ගිනි පුපුරයි. ඔහු, රාජ ප්‍රතිරූපකයෙකු ඉදිරියට තබා රජු වෙනුවෙන් නොව රාජ්‍යත්වය වෙනුවෙන් සටන් කළ සබුද්ධික විමුක්තිකාමියෙකි. වධ කඳවුරකදී පවා සිය සටන් සඟයන් පාවා නොදුන් ජාතික විමුක්ති අරගලයේ පරමාදර්ශයකි.

ජාතියේ පිතෘත්වය දේශපාලන වුවමනා එපාකම් මත සිල්ලර ආභරණයක් වී තිබෙන පසුබිමක බූටාවේ රටේරාලලා ගැන මතකය නැවතත් අවදි කර ගැනීම කාලෝචිත අවශ්‍යතාවයකි. එවන් වීරයන්ගේ ජිවන සිහිවටන අදටත් ජාතිමාමක හදවත් තුළ ආස්වාදජනක මතකයකි.

වෙල්ලස්සේ පැරැන්නන්ගේ මතකයන් අනුව බූටාවේ රටේරාලගේ නිජබිම වූ බූටාව ගම්මානය පිහිටා තිබෙන්නට ඇත්තේ බිබිල-කොටගම, කොටේරවෙල, බදුලුගම්මන යන ගම්මානයන් ආශ්‍රිතවය. ඉංග්‍රීසින් එහි සිදුකළ සංහාරයේ ප්‍රතිපලයක් ලෙස අද එහි බූටාව නමින් ගම්මානයක් තිබූ බවටවත් සාක්ෂියක් නැත. මෙලෙසම ඌව වෙල්ලස්සේ බොහෝ ජනාවාසයන් උඩරට මහ කැරැල්ල සමයේදී බ්‍රිතාන්‍ය හමුදා විසින් දවා හළු කරන ලදි. නොමැරී ඉතිරි වුණු පිරිස් නැගෙනහිර වෙරළ දෙසටම පලා ගිය අතර ඌව වෙල්ලස්ස යනු අදටත් ලංකාවේ දිළිදුතම කලාපයයි.

උඩරට රදළ නායකයන් විසින් නායක්කර් වංශික ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසින් වෙත අල්ලා දී තමන් අතුරින් එකෙකුට රජකම ලබාගැනීමට සිහින මවමින්, එකිනෙකා කා කොටාගනිමින් සිටින පසුබිමක ඌව සහ වෙල්ලස්ස මූලික කරගත් ජන නායකයන් විසින් 1816 වන විටත් ඉංග්‍රීසි විරෝධී සටනක පිබුරුපත් සකසමින් සිටියෝ ය. එම ජන නායකයන් අතර වූයේ බූටාවේ රටේරාල, කිවුලේගෙදර මොහොට්ටාල, කොහුකුබුරේ රටේරාල, ඉපලෝගම මොහොට්ටාල ප්‍රමුඛ පිරිසකි.

එවකට තිබූ දේශපාලන තත්වය අනුව සටනක් සඳහා භේදබින්න වූ රදලයන්ගේ සහය ලබාගැනීම පිණිසද, 1815 උඩරට ගිවිසුම මගින් නිත්‍යානුකූලව ඉංග්‍රීසින්ට පවරා තිබූ රටේ රාජ්‍යත්වය පිලිබඳ නැවත හිමිකමක් මතුකරලීම පිණිසද රජෙකුගේ අවශ්‍යතාවය මෙම නායකයන්ට ඒත්තු ගොස් තිබිණි. ඉහගම රතනපාල තෙරුන් රජෙකු සොයමින් සියම් රට යාමට පවා සැරසෙන්නේ මෙවන් පසුබිමකය. එහෙත් එවකට මීගමුවේ සිරකොට සිටි රාජාධි රාජසිංහ රජුගේ මස්සිනාලා දෙදෙනෙකු පිළිබඳව ලැබෙන තොරතුරු මත ඔවුන් දෙදෙනා සිරගෙයින් මුදවාගෙන උඩරටට ගෙන ඒමේ වැඩපිළිවෙලකට ඉහගම හිමියන් යොමු විය. බාගදා ඇති වී තිබෙන හදිසි තත්වය මත සියම් රට දක්වා ගොස් කුමාරවරුන් කැන්දාගෙන ඒමට කාලයක් නැතැයි උන්වහන්සේට සිතෙන්නට ඇත. සිදු වූ ප්‍රමාදයකින් ඉහගම හිමියන්ගේ සැළසුම් ඉංග්‍රීසින්ට හෙළි වූ අතර ප්‍රතිපලය වූයේ උන්වහන්සේ අත්අඩංගුවට පත් වීමයි. එහෙත් කෙටි කලකින්ම ඉංග්‍රීසි අත්අඩන්ගුවෙන් පළා යාමට සමත්වන ඉහගම හිමියන් නැවත වෙල්ලස්සට පැමිණෙන්නේ රජෙකු ලෙස නම් කළ සාමාන්‍ය වැසියෙකුද සමඟිනි. මෙම සාමාන්‍ය මිනිසා ඒ වන විට මධුරාසියේ වෙල්ලෝරයට පිටුවහල් කළ ශ්‍රී වික්‍රම රාජසිංහගේ සහෝදරයෙකු වන දොරේසාමි බව ප්‍රචාරය කිරීමටත් ඉහගම රතනපාල හිමියන් සමත් විය.

සටන සැළසුම් කිරීමේදී උපායමාර්ගිකව යොදාගත් මේ බරපතල ‘රහස’ දැනසිටි නායකයන් ස්වල්පය අතුරින් කෙනෙකි බූටාවේ රටේරාල. සටන උඩරට පුරා ලැව්ගින්නක් සේ ඇවිල යෑමෙන් අනතුරුව ඊට එක් වූ සමහර නායකයන් පසුව සටන අතහැර කැලෑ වැදුණේ ද, තවත් අයෙක් දීන පාවාදීම්වල යෙදෙමින් ඉංග්‍රීසීන් වෙත යටත් වූයේද මේ බරපතල රහස හෙළිදරව් වීම නිසාය. එහෙත් මේ සියළු රහස් ඝාතනය වන මොහොත දක්වාත් ආරක්ෂා කළ “බූටාවේ” සටන් කළේ රජු නම් පංචස්කන්ධය වෙනුවෙන් නොවේ. ඔහු සහ ඔහුගේ මිනිසුන් සටන් කළේ සිංහලේ රාජ්‍යත්වය නම් උරුමය වෙනුවෙනි.

එවකට ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වූ රොබට් බ්‍රවුන්රිග්ගේ ලේඛන උපුටා දක්වමින් “උඩරට මහ කැරැල්ල” කෘතියේදී ආචාර්ය තේන්කෝන් විමලානන්ද මහාචාර්යතුමන් සඳහන් කරන අන්දමට වෙල්ලස්සේ සටන් නායකයන් අතුරින් අවසානයේදීම අත්අඩංගුවට පත් වූ නායකයා බූටාවේ ය. එසේම වෙල්ලස්සේදී අරගලයක පළමු වෙඩි පහර තැබුවේද බූටාවේ විසිනි. ඒ ඉංග්‍රීසි ආණ්ඩුව විසින් වෙල්ලස්සේ අයබදු එකතු කිරීම සඳහා පත් කොට එවූ හජ්ජි මුහන්දිරම් අත්අඩංගුවට ගනිමිනි. ඉන්පසුව හජ්ජි මුහන්දිරම් මුදාගැනීමට පැමිණි බදුල්ල ඉංග්‍රීසි ඒජන්ත ඩග්ලස් විල්සන් ට සහ ඔහුගේ සේනාංකයට පහර දුන්නේද බූටාවේගේ නායකත්වයෙනි.

බදුල්ලේ ඒජන්තවරයා ඝාතනය වූ පසු ඌව වෙල්ලස්ස තුළ අරගලය මැඩ පැවැත්වීම සඳහා ඉංග්‍රීසින් විසින් සේනාංක සහ අවි ආයුධ සහිතව එවූ මොණරවිල කැප්පෙටිපොළ දිසාව ඉංග්‍රීසි ආණ්ඩුවේ පදවි තානාන්තර අතහැර සිංහල පෙරමුණට එක් වන්නේ මේ කාලයේදීය. උඩරට වාසලේ කීර්තිමත් නිලධාරියෙකු වූ කැප්පෙටිපොළ නිලමේගේ ආගමනය ඌව වෙල්ලස්ස විමුක්ති අරගලයට නව හැඩයක් එක් කළේය. සෙංකඩගල වංශවත් නිළමේලාගේ වලව්‍ එළිපත්තට ඌව වෙල්ලස්සේ බුර බුරා නැගෙන විමුක්ති අරගලයක උණුසුම දැනුණේ ඒ ආගමනයත් සමඟිනි.

අසමගිකමින්, සැළසුමක් නොමැති කමින් 1818 මැද භාගය වන විට උඩරට මහ කැරැල්ල දෙදරා ගියේය. සිංහලේ සෑම පෙරමුණකින්ම පරාජයන් සහ අහිමි වීම් පමණක් වාර්තා වෙමින් තිබියදීත් බූටාවේ වෙල්ලස්සේදී හුදෙකලාව ඉංග්‍රීසි ආක්‍රමණිකයාට අභියෝග කළේය. 1818 සැප්තැම්බර් 03 දින මධ්‍යම රාත්‍රියේදී මේජර් කොක්සන්ගේ සේනාංකයට මොණරාගල මරගල කන්දේදී බූටාවේ රටේ රාල හසු වන විට ඔහුගේ ශරීරය පුරා තුවාල සහ තුවාල කැළැල් විසිරී තිබූ බව පැවසේ. එය ඔහුගේ සංග්‍රාම ඉතිහාසය පිළිබඳව ඉංග්‍රීසින්ට සාක්ෂි සපයන්නට ඇත.

1818 සැප්තැම්බර් 25 දින ඉංග්‍රීසි යුධාධිකරණය විසින් වෙල්ලස්ස ප්‍රදේශයේ ඉංග්‍රීසි විරෝධී සටනේ මුළු වගකීම බූටාවේ රටේරාල විසින් භාරගත යුතු බවට තීන්දු කරන ලදි. ඒ අනුව 1818 ඔක්තෝම්බර් 20 කැටබෝව ඉංග්‍රීසි වධකාගාරය ඉදිරිපිට බූටාවේ රටේරාල නම් නිර්භීත මිනිසාව එල්ලා මරා දමන ලදි. ඔහුගේ මරණය නැරබීම පිණිසද පිරිස් රැස් වී සිටි බව ඉංග්‍රීසි වාර්තා සඳහන් කරයි.

බදුල්ල ඒජන්ත ඩග්ලස් විල්සන් ප්‍රහාරයට ලක් වීමට පෙර බූටාවේ වලව්වට ගොස් භාෂා පරිවර්තකයෙකු මාර්ගයෙන් බූටාවේ රාල සමඟ සාකච්ඡා කළේය. එහිදී බූටාවේ විසින් ඩග්ලස් විල්සන් ඒජන්තවරයා වෙත පවසා සිටියේ “මිත්‍රයෙකු වශයෙන් ඔබ හමුවීමට අපි සූදානම් නොවෙමු, එමෙන්ම සතුරෙකු ලෙස ඔබට මුහුණ දීමට අපි බිය නොවෙමු” යනුවෙනි. ඔහුගේ ඒ වදන් වලින් ප්‍රකට වන්නේ අසාධාරණය ඉදිරියේ බලවන්තයන් අභියස වුව දණ නොනමන ජාතියේ කශේරුකවයි. ඔහුගේ ජිවන සුසුම් තුළින් වහනය වන්නේ ජාතියේ පිතෘත්වයේ සුවඳයි. එකී පිතෘත්වය සිනමාපට වලින් හෝ පුවත්පත් තීරු ලිපි තුළින් වෙනවුන් මත ආරෝපණය කළ හැකි නොවේ. එය දැනෙන්නේ අපේ හදවතටය. ලේ ඇට මිදුළු තුළටය.

– පැතුම් රණසිංහ –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More