පුරවැසි කොලම

x ආදී ඉන්දියානුවන්ගේ ස්වර්ග ශාකය මෙයයි

x මී ගස් දස දහසක් වැවීමේ වැඩසටහනක් ඇරඹේ

x මී තෙල් ඖෂධයක් මෙන්ම ගුණැති ආහාරයක්

මලට නොයන බඹරෙකු නැත. එසේ නොයන්නේ නම් උන්ගේ වරිගයේ පැවැත්මක්ද නැත. එම සිරිතට උපායශීලීව අනුගත වෙමින්, බඹරා කැඳවාගෙන උගේ සිරුරු සාරයෙන් සැනහෙන ගහකොළ වලටද සොබාදහමේ ඉඩ ලැබී තිබේ. ලස්සනට පිපෙන බාඳුරා මල් කිනිත්ත එවැන්නකි. එය වෙතට ඇදෙන සන්ධිපාදිකයින් මියයන්නේ බාඳුරා පත‍්‍ර අගවූ කෙන්ඩියේ පිරී ඇති ජලයේ ගිලීමෙන්ය. සතා වැටුණු පසු කෙන්ඩියේ පියන වැසෙනවා කීම අතිශෝක්තියක් මිස සැබෑවක් නොවේ. දැන් ඉතින් මියගිය සිරුරේ ඇති දෑ බාඳුරා ගසටය. මලට ඇදෙන මී මැස්සන් හා බඹරුන් මරාදමන විෂ සහිත මල්පැණි ඇති ශාකයක් ගැන කලකට ඉහතදී ලොකුවට කතාබහ පැවතුනා මතකයට නැගේ. ඇකේසියා නම් වූ මෙම ශාකය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ආශීර්වාදයෙන් මෙහි ගෙනවිත් රුක් රෝපණ වැඩ සටහන්වලට පවා ඇතුළත් කර තිබුණි. රනිල කුලයේ ශාකයක් නිසා නිසරු භූමියන්හි වැවීම හරහා පසෙහි පෝෂණ ශක්තිය වැඩිකිරීමේ අරමුණක් එය පසුපස තිබුණේය. සරසවි ඇදුරෝත්, කෘෂිකර්මයේ හසල දැනුමැත්තෝත් එකතුවී මෙහි පැණි බී මියෙන බඹරුන් ගැන පර්යේෂණ පැවැත්වූහ. කෙසේ නමුත් ඕස්ටේ‍්‍රලියාව වැනි රටවල මී පැණි කර්මාන්තය උදෙසා වවන ශාක අතර ප‍්‍රධාන තැනක සිටියේ ඇකේසියා ශාකය බැවින් මෙරටදී එවන් ව්‍යසනයක් වූවානම් එය සෙවිය යුතුමය. මෙම විද්වත් දෙපිරිස ගත් නිගමනයන් එකිනෙක සමපාත වූ අතර, ඇකේසියා මල් පිපීමත්, එම කාලයට ඒ වටා රොද බඳින මී මැස්සන් ගස පාමුල මැරී වැටීමත්, එකිනෙකට ස්වාධීන සිදුවීම් දෙකක් බවත්, ඒ අතර සබඳතාවයක් නොමැති බවත් ප‍්‍රකාශ වුණි.

ස්වභාව ධර්මයාගේ අල්ලසක් ලෙසින් මල්වල පැණි බිහිවී ඇත්තේ පරාගනයට අවශ්‍ය කෘමීන්ව ගස වෙත කැන්දා ගැනීමටයි. පැණි බොන මැස්සා පරාගද ඇෙඟ් තවරාගෙන තව මලක් කරා පියඹා යන්නේ දුන් අල්ලසට සරිලන්නට පරපරාගන කර්තව්‍යය ඉටු කරන්නටය. එහෙත් පැණි බොන සතා, ගසමුල මැරී වැටේනම්, පරාගනයක්ද එතන නැතිවා පමණක් නොව, දුන් අල්ලසද අපතේ ගොසිනි. කාට වැරදුනත් සොබා දහමට මෙවැනි වැරදි සිදුවිය නොහැකි බැවින්, විද්වත් අනාවරණය ගැන සාමාන්‍ය ජනතාවටත් විවාදයක් තිබිය නොහැකිය.

කල් ගතවෙත්දී බස්නාහිර පළාතේ ඇකේසියා ව්‍යාප්තවීමේ ප‍්‍රවණතාවය ගැන සොයා බැලූ වනසංරක්ෂණ නිලධාරීන්ට තේරුම් ගියේ සද්ද බද්දයක් නොමැතිවම මෙම ශාකය ක‍්‍රම ක‍්‍රමයෙන් පරිසරය තුළ වේගයෙන් පැතිරී යන බවයි. මෙම තොරතුරු මත ක‍්‍රියාත්මක වූ වගකිවයුතු පාර්ශ්වයන් ඇකේසියා වනාහී ආක‍්‍රමණ විභවයක් සහිත හානිකර ශාකයක් ලෙසට ලැයිස්තු ගත කරන ලදී. රුක් රෝපණ වැඩ සටහන්වලින්ද මෙය ඉවත්වුණි. අද වන විට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් ඇකේසියා සිටුවීම පිළිබඳව කිසිදු දිරි ගැන්වීමක් නොකරයි.

බඹරුන් නොව වවුලන් වැනි ක්ෂීරපායී සතුන්ව තමා වෙත ආකර්ෂණය කරගනිමින් පරාගනයත්, ඵල සහ බීජ ව්‍යාප්තියත් සිදුකරගන්නා අපූරු ශාකයක තොරතුරු ඇකේසියා කතාවට පිටුපසින් අප පෙළගස්වන්නේ මේ ශාකය හා බැඳුනු පෞරාණික වගතුග මෙන්ම ශාකයේ ආරක්ෂාවත් අවදානමකට ලක්වී ඇති පසුබිමකයි. ඈත අතීතයේ පටන් ඉන්දියාවේත්, ශ‍්‍රී ලංකාවෙත් ජනජීවිතය හා යහමින් බැඳුනු මෙය මී ශාකයයි. උද්භිද විද්‍යාත්මකව මධුකා ලොන්ගිෆෝලියා (Madhuca longifolia) සේ හඳුන්වන මෙය පෙර රජදවසදී ලැබූ ගරු බුහුමන් කෙමෙන් වියැකී යමින් තිබියදී කුමන හෝ පිරිසක් එය සංරක්ෂණය හා අගය පහදාදීමට ඉදිරිපත්වීම ජාතියේ වාසනාවකි. මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් ක‍්‍රියාත්මක වන ධර්මපාලවරු සහ ධර්මපාල පරපුර යන සංවිධානය විසින් ශ‍්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 154 වෙනි ජන්මදිනය යෙදී තිබුණු පසුගිය සැප්තැම්බර් 17 වෙනි දා මී ගස ප‍්‍රචලිත කිරීමේ වැඩසටහනක් දියත් කරන ලදී. ඒ ගැන විස්තර සැපයූ සංවිධානයේ ලේකම් අශේන් කිරිආරච්චි මහතා පැවසුවේ, ඊට පෙරදිනයේ (16 වෙනිදා) පාත‍්‍රයන්හි රෝපණය කරන ලද මී පැළ 238 ක් රිය පෙරහැරකින් අනුරපුරයට රැගෙන ගොස් රතුකුරුස සංවිධානය හරහා ගොවීන් වෙත බෙදා දුන් බවත්, ඉලක්කය මී පැළ දස දහසක් රෝපණය කිරීම බවත්ය. සංඝමිත්තා තෙරණිය විසින් පාත‍්‍රයක සිටුවා වැඩම කරන ලද ශ‍්‍රී මහා බෝ සමිඳු ශාඛාවෙන් පසු, පාත‍්‍රයක හිඳිමින් අනුරපුරයටම ගෙවදින්නට මී ගස ද වාසනාවන්ත වී තිබේ.

”මේ සංවිධානය ධර්මපාලතුමන්ගේ ගුණ ගායනා කරන එකක් නෙවෙයි. අපි ක‍්‍රියාත්මක කරන්නේ එතුමන්ගේ දැක්ම. මී ගස කියන්නේ ජාතියේ පොහොර ගස. පෙර රජදවස මී ගස කපන්නත් තහනම් කරලා තිබුණ. සුද්දෝ රට කරවන කාලේ මේ තහනම නැතිකරලා මී ගස කපල එහි ලීවලින් පාලම බෝක්කු හැදුව.” මහාචාර්ය ස්වාමීන් වහන්සේගේ අදහස එසේය.

ඉන්දියාවේදී නම් එදා යුරෝපීයයන් කටයුතු කර ඇත්තේ මීට වෙනස් ආකාරයකටය. සාම්ප‍්‍රදායිකව ඉන්දීය ජන ජීවිතය හා මී ගසෙහි ඇති බැඳීම තේරුම් ගත් ඔවුන් එහිදී මී ගස ආරක්ෂා කිරීමට කටයුතු කළ බව වාර්තා පෙන්වා දෙයි. එදා ගත් එම තීරණයන් පසුපසින් දේශීය බලධාරීන්ද ක‍්‍රියාත්මක වූ නිසා අද මී ඇට හා මල් ඉන්දියාවේ දුප්පතුන් සවිමත් කරනා ධන උල්පතකි. මෙම ජනතාව ටොන් මිලියනයකට වැඩි ප‍්‍රමාණයක් ඉන්දියාව තුළ මී මල් එකතු කරති. ඇටද එකතු කරති. ප‍්‍රාන්ත රජයන් ඒවාට සහතික මිලක් ලබාදෙමින් මිලදී ගනී. අවාසනාවකට එදා සුද්දන් ඉවතලූ තහනම යළි පනවන්නටවත් අපේ ඇත්තන්ට නම් අමතක වී තිබේ. පළමු පන්තියේ දැව ගණයට ගැනෙන මී ගසෙහි අරටුව වෙනුවෙන් මේ වටිනා ශාකය හෙළා දැමීමට අද දවසේ කිසිවෙකුගෙන් අවසර ගතයුතු නැත. ඒ නිසා දැනට පවතින පැරණි මී ගස් රැකගැනීමටද පියවර ගැනීම, අලූතින් ගස් සිටුවනවා සේම වැදගත් කරුණකි.

පැරණි පන්සල්වල සහ නිවෙස්වල සදහටම පදිංචි වී සිටින වවුලන් ගැන විමසිලිමත් වූ ඉන්දීය ජීව විද්‍යාඥයෙකි. ඔහු පර්තසාර්තී නම්වේ. තම ශිෂ්‍ය වල්ලිඅප්පන් මහේන්ද්‍රන් හා එක්ව මී ගස හා වවුලා අතර ඇති බැඳීම සම්බන්ධයෙන් ඔහු පර්යේෂණ පැවැත්වීය. ඉහත දැක්වූ ස්ථානවල වවුලන් විසින් ගෙනැවිත් හපකර දමනාලද මී ගෙඩි හා ඇට කොටස් බහුලව තිබෙනා නමුත් අහල පහළ පේන තෙක් මානයකවත් මී ගස් නම් තිබුණේ නැති නිසා ඔවුන් උනන්දුවූයේ මී ගස් සොයා යන වවුල් ගමනේ රහස් සොයන්නටය. වවුලන් ඇතැම්විට සැතපුම් ගණනාවක් ඈතට මී ගස් සොයාගොස් තිබිණ. සොබා දහමේ ගහකොළ මැව්වේ කවුරුන්ද, ඔහු විසින් මී ගස මවා ඇත්තේනම් වවුලා හා සහජීවනයෙන් දීග කන්නට යයි නොකියා ඉන්නට බැරි තරමට කරුණු කාරණා පෙනෙන්නට තිබේ. වර්ණවත් මල්පෙති වලට සමනලූන් හා බඹරුන්ද, තද පැහැයට ඉදෙන ගෙඩිවලට කුරුල්ලන්ද ඇදෙනා බව උද්භිද විද්‍යාත්මකවද සත්‍යයකි. එහෙත් මී ගසට මේ ධර්මතාවයන් අදාළ නොවන්නාසේය. නිශාචර වවුලාට වර්ණවත් මල්පෙති හෝ රත්පැහැ ගැන්වී දිලිසෙන ඉදුණු ගෙඩි හෝ පෙනෙන්නේ නැත. අඳුරේ වුවද පහසුවෙන් වවුල් නෙතට හසුවන්නට හැකි වන පරිදි මී මල් පෙති, කහ පැහැයට හුරු සුදකින් යුක්තවෙන අතර කොළපාට පැසුණු ගෙඩි වර්ණයක් මතුකරනවා වෙනුවට වවුලාට දැනෙන සැර සුවඳක් මුදා හරින්නේ, සහායකයාට තමා වෙතට එන්නට කෙරෙන ආරාධනයක් පරිද්දෙනි. පත‍්‍ර අතරින් පිටතට, පැසුණු ගෙඩි එල්ලා හැලෙන්නේද පියාඹන වවුලන්ට පවා ඩැහැගැනීමට විය හැකිය. හෙළ රජ දරුවන් ඉතා උනන්දුවෙන් මී ගස ආරක්ෂා කෙරුවේ ගොවිතැනට ඉන් මහත් සෙතක් සැලසෙන බැවිනි. මී ගෙඩි බුදින්නට එන වවුලන් අවට පරිසරය පුරා පියාසර කරමින් හෙලන වසුරුවල යහගුණය ලැබෙන්නේ, පහළින් පිහිටි කුඹුරටය.

ඉන් ඔබ්බර වසුරු වැටුනත් වැස්සට සෝදාගෙන ලියැද්දටම පැමිණේ. ඊට අමතරව වියලී වැටෙන පත‍්‍ර ඉක්මනින් නොදිරා ඉතිරිවන නිසා පසෙහි වාතනය දියුණු කරමින් භෞතික සංයුතියද ඉහළ නංවයි. කුඹුරු අක්කරයකට එක මී ගසක් තිබීම ප‍්‍රමාණවත් කියනා තරමට පැරණි ගොවියා මී ගස කෙරෙහි විශ්වාසය ඇතුළුව පුළුල් පාංශු පරාසයක වර්ධනය වන මී ගස, කුඹුරු අද්දරින් සිටුවා ගැනීමෙන් මෙම ස්වභාවික පොහොර සම්පත නෙළා ගැනීමට නූතන ගොවියා උනන්දු වේනම් පිටරටින් එන පොහොර ඉල්ලා මෙතරම් හඬා වැටෙන්නට අවශ්‍ය වන්නේද නැත. පසේ පෝෂණය වැඩිකරන රනිල කුලයේ ගසක් නොවූවාට අප කලබල විය යුතු නොවේ. මී ගසේ මුල් සමග සහජීවීව දිලීර වර්ග වැඩෙන අතර ඒවා හඳුන්වන්නේ දිලීරක මූල කියාය. ඒ මගින්ද රනිල ශාකවල මූලගැටිතිවලින් කෙරෙන්නාක් සේම පසේ පෝෂණය දියුණු කරවයි. එසේනම් මී ගස ආකාර දෙකකින්ම පස සාරවත් කරන බව පෙනේ.

”මහපොළොවට අපි වහ දාල මැරුව. දැන් මහපොළොව අපිට වහදීල මරනවා” ධම්මරතන හිමියන් එසේ පවසා සිටී. ඒ අනුව අප හැකි පමණ විගසින් අප මහපොළොව වනසන්නේ නැති බවට පොරොන්දු වී පස සමග ගිවිසුම් ගත විය යුතුය. පාර්ශව දෙක අතර සංහිඳියාවක් ඇතිකිරීමට මී ගස හොඳ අතරමැදියෙකි.

මී ඇටවලින් තෙල් ලබාගත් පසු ඉතිරිවෙන රොඩ්ඩද සරු පොහොරකි. එහි ඇති රසායනිකයන් මගින් බෝගයන්ට වදදෙන පාංශු වටපනුවන්ද මර්දනය කරයි. මී මල්වලින් පැණි බීමට එන මී මැස්සන්ගේ ගුමු ගුමු නදින් කෘමීන් පලවා හැරෙන නිසාත්, ඇතැම් කෘමීන්ව වවුලන් විසින් කා දැමීම නිසාත්, ගොයමේ කෘමි හානියටද මී ගස ලබාදෙන්නේ පරිසර හිතකාමී විසඳුමකි. කාබනික ගොවිතැන, වසවිස නැති යහගුණැති ආහාර ගැන පුළුල් කතිකාවක් නිර්මාණය වී ඇති පසුබිමක ගොවිතැනට සම්බන්ධ රාජ්‍ය ආයතනද වැඬේට බසින්නේ නම්, එය මතුකරගත් මිණිකැට තවත් ඔපමට්ටම් කිරීමක් වනු ඇත. ආරම්භක පියවරක් වශයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් ගොවිපොළවල්හි කුඹුරු ඉඩම් ආශ‍්‍රිතව මී ගස් කීපයක් සිටුවීමෙන් මේ වනස්පතියට සලකන්නටත්, ඒ හරහා බිහිවෙන පරිසර සුවය අනාගත පරපුරට උරුම කර දෙන්නටත්, ගොවිපොළ බලධාරීන් උනන්දු වන්නේ නම් සැබැවින්ම එය රට ජාතිය වෙනුවෙන් කරන මහඟු මෙහෙවරකි. කොඩිවැල්, ඝෝෂා, සැරසිලි, ආරාධිතයින් අවශ්‍ය නැත. පුද්ගලික මට්ටමෙන් තිබෙන උනන්දුව පමණක් හොඳටම ප‍්‍රමාණවත් වේ.

ආදී දකුණු ඉන්දියානුවෝ මෙම ශාකය ”ස්වර්ග ශාකය” සේද හඳුන්වා තිබේ. ඔවුන්ගේ කියමනකට අනුව ”මධුවිත පෙරා ගැනුමට හැකි මී ගස ඇත්නම් එතන දෙව්ලොවකි. එය නොමැත්තේනම් නරකාදිය එතැනය.” යයි කියවෙන්නේ මී ගසෙන් සාදන දේශීය මත්පැන් වර්ගයක් නිසාය. ”මහුආ දාරු” නමින් හඳුන්වාදෙන 20% – 40% ක් දක්වා මද්‍යසාර අඩංගු පානය ආදී ඉන්දියානුවන් සැලකුවේ තමාගේ සංස්කෘතික උරුමයක් ලෙසයි. පිරිමින් හා ගැහැනුන් එක්ව සහභාගිවන උත්සවයන්ට මහුආ දාරු එකල නැතිවම බැරි අංගයක් විය. ජපානයේ සාකේවලට පෙනුමෙන් හා රසයෙන් සමාන මෙය මී මලේ සුවඳ රඳවාගත් බීමකි.

මී මල් හොඳටම පැණිරසය. ඉන්දියානුවන් සීනි නැතිවිට පැණිරස කාරකයක් ලෙසද මී මල් යොදාගෙන ඇත්තේ ඒ නිසාය. එම අතීත අත්දැකීම්වලට නව ජීවයක් කැවූ ඔරිස්සා ප‍්‍රාන්තයේ කෘෂිකර්ම හා තාක්ෂණික විශ්වවිද්‍යාලය මෑතකදී මී මල් ආශ‍්‍රිතව අගය එකතුකළ නිපැයුම් රැසක් බිහිකිරීමට කටයුතු යොදන ලදී. ඒ අතර රසකැවිලි, ලොසින්ජර, ටොෆි, කේක්, ලඩ්ඩු (ඉන්දීය ආහාරයකි) ආදිය ප‍්‍රධානය.

පොල්තෙල් අගුණයි කියා බටහිරෙන් ලැබුණු දිරච්ච ලනුව ගිලගත් අපේ ඇත්තෝ විකල්පයක් ලෙස තෝරාගත්තේ නිෂ්පාදන අතිරික්තයක් නිසා විකුණා ගැනීමට නොහැකිව එතෙර පල්වෙන පාම් තෙල්ය. පොල්තෙල් බැරලයේ බිල්ලන් මැවූ උන් හීන් සීරුවේ දැන් තමන් සතු පාම් තෙල් අතිරික්තය අපට විකුණා ගනිති. අගනා මී තෙල් ටිකක් කෑමට නොව, හතර හන්දිවලවත් උලන්නට සොයාගත හැක්කේ සිංහල බෙහෙත් කඩයකින් පමණය. මී ඇටය තලා මිරිකීමෙන් ලබාගන්නා මී තෙල්වල, රුධිරගත කොලෙස්ටෙරෝල් අඩුකරන, හදවතට හිතවත් අසන්තෘප්ත මේද අම්ල 55% ක් පමණ අන්තර්ගතවන නිසා කෑමට ඉතා ගුණදායී තෙලකි. සංයුතිය තවත් විස්තර ඇතුව කියනවානම් ඔලෙයික් අම්ලය 42% ක්ද, ලිනොලෙයික් අම්ලය 12% ක්ද තිබෙන බව පැවසිය හැකිය. තමා තරුණ කල නැවතී සිටි බෝඩිමකදී කෑමට ලැබුණු මී තෙලෙන් තෙම්පරාදු කර පිසින ලද පොලොස් මැල්ලූමේ සුවඳ මා අබියසදී මතකයට නැංවූ විශ‍්‍රාමික කෘෂි විද්වතෙකුගේ නාස්පුඩු නලියනු දුටුවේ යළි යළිත් එම සුවඳට ඉව අල්ලන්නාක් පරිද්දෙනි.

මී ගස වේගයෙන් වැඩෙන ගසකි. තුරුලතාවන්හි දේශීය ජාන තටාකය පීරා යමින් පර්යේෂණ පවත්වන කෘෂි විද්වතුන් ගම් තුළට වැදී, පැරණි ගැමියන් හමුවී සොබා දහම තුළින් ඔවුන් තෝරාගත්, හොඳ හැඩරුවැති මී ගස් හඳුනාගෙන පටක රෝපණ ක‍්‍රමවේදයන් හරහා ශීඝ‍්‍ර ගුණනයෙන් මී පැළ සෑදිය යුතුය. පරිසරයට හිතකාමී අතලොස්සක් වූ දේශපාලන හස්තයන්ගේ සවියෙන් ඔවුන්ව තවදුරටත් ප‍්‍රාණවත් කළ යුතුය. කරුණු කාරණා යහපත් ලෙස පෙළ ගැසෙන්නේ නම් මී තෙලෙන් පිසූ පොලොස් මැල්ලූමක් තලූ මරන්නට මැදිවිය ඉක්මවන අපටද ඉදිරියේදී හැකිවීම නිසා, ඒ වෙනුවෙන් රන්දෙරණේ යළි උපදින තෙක් බලා සිටින්නට සිදු නොවනු ඇත.

ගොවියාට පොහොර ගසක් වෙනවා සේම, ආදිවාසී යුගයේ සිටම මී ගස පිදුම් ලැබුවේ බෙහෙත් ගසක්ද වශයෙන්ය. පොතු, මල්, ඇට ආදී මී ගසේ සියලූ කොටස්වලට දේශීය වෛද්‍ය විද්‍යාවේදී ඇත්තේ ඉහළ පිළිගැනීමකි. දකුණු ඉන්දියානුවන් පාචනය සුවවීම සඳහා මී ගසේ පොතු තම්බා එම සාරය දිනකට දෙවරක් පානය කළ බව වාර්තා වන අතර, මෙවැනි ප‍්‍රතිකර්මයන්හි තිබෙන විද්‍යාත්මක පසුබිම අනාවරණය කරගැනීම උදෙසා ඉන්දියාවේදී සතුන් යොදා ගනිමින් පර්යේෂණ රැසක් පවත්වා තිබේ. සතුන්ගේ තුවාලවලට යෙදූ පොත්තෙහි හා පත‍්‍ර සාරයන් හමුවේ තුවාල ඉක්මනින් සුවවිය. පොත්තේ අන්තර්ගතයන් විසින් රුධිරගත සීනි පාලනය කිරීමට සමත් වුවා යනු, පොත්ත දියවැඩියා රෝගීන්ටද සුව ඔසුවකි. මී මල් අක්මා රෝග වලටත් අසාත්මිකතාවයටත් ප‍්‍රතිකාරයක් වනවා මෙන්ම ඇටයේ සාරය හමුවේ පිළිකා ෙසෙල වර්ධනය අඩපණ වෙන බවද මෙම පර්යේෂණ දාමය හරහා පෙන්වා දී තිබේ. මීට අමතරව උගුරේ ආබාධ, ලාදුරු, සර්පවිෂ ආදී මෙකී නොකී සියලූ රෝග නිවාරණයන් සඳහාවූ හැකියාව නිසාම ආයුර්වේදයේ මී ශාකය නම්කර ඇත්තේ ”විශ්ව සර්ව රෝග නාශකය” වශයෙනි.

යකඩ වැනි දැඩි කඳක් තිබුණත්, දම්වැල් කියතේ පහස විඳගනු බැරිව මේ වනස්පතිය, අකීකරු මිනිසා අබියස ජීවිත දානය අයැදිමින් සිටී. එය බෙහෙත් ගසකි. පොහොර ගසකි. ස්වර්ග ශාකයකි. රැකගතයුතු වනස්පතියකි.

සනත් එම්. බණ්ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More