පුරවැසි කොලම

මෙවර එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතා එක්සත් රාජ්‍යයන්හි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ කතාව අලුත් ලෝකයකට දේශපාලන වශයෙන් මුල පුරන කතාවක්. ට්‍රම්ප් 2016 දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වල කාලයේ දී ම ඔහු අලුත් මගක් ගන්නා බව පෙනී ගියා. ඒ මග ජාතිකත්වයේ මග. මා ඒ බව ඒ දිනවල ම සඳහන් කළා. ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතා කළ දෙවැනි කතාවෙන් තම ප්‍රතිපත්තිය ලොවට ම ඇහෙන්න කිව්වා.

ට්‍රම්ප් කියා සිටියේ තමන් ගෝලීයවාදය ප්‍රතික්‍ෂෙප කරන බවත් දේශප්‍රේම පිළිගන්නා බවත්. දේශප්‍රේමය හා ජාතිකවාදය අතර වෙනසක් ඇති බව බටහිරයන් කියනවා. සැමුයෙල් ජොන්සන් කියා තිබෙනවා දේශප්‍රේමය යනු තක්කඩියකුගේ අවසන් රැකවරණය කියා. ඔස්කාර් වයිල්ඩ් වැන්නන් ද දේශප්‍රේමය හෙළා දැක තිබෙනවා. දේශප්‍රේමය යනු තක්කඩියකුගේ අවසන් රැකවරණය කියා ගත්තත් එයින් කියැවෙන්නේ නැහැ සෑම දේශප්‍රේමියකු ම තක්කඩියකු කියා. තක්කඩීන් දේශප්‍රේමීන් අතර ඉන්න පුළුවන්. තක්කඩීන් ඊනියා සමාජවාදීන් අතරත් ඉන්න පුළුවන්. සමාජවාදය යනු තක්කඩියකුගේ අවසන් රැකවරණය කියාත් කියන්න පුළුවන්. මෙරට ඉන්න ඇතැම් සමාජවාදීන් ගැන හිතල බලන්න.

ජනතා සේවය යනුත් තක්කඩියකුගේ අවසන් රැකවරණය යැයි කියන්න පුළුවන්. මෙරට දේශපාලනඥයන් ජනතා සේවය සඳහා කැප වී සිටිනවා. ඔවුන් අතර තක්කඩීන් කොපමණ සිටිනවා ද කියා අප දන්නවා. නිරාගමිකවාදය යනුත් තක්කඩියකුගේ අවසන් රැකවරණය කියා කියන්න පුළුවන්. තමන් මහා ප්‍රාඥයන් ලෙස පෙනී සිටින්න දඟලන තක්කඩීන් තමන් නිරාගමිකයන් බව කීමෙන් පොරවල් වීමට හදනවා වෙන්න පුළුවන්. සැමුයෙල් ජොන්සන්ගේ ප්‍රකාශය හිස් ප්‍රකාශයක් පමණයි. එයින් කිසි දෙයක් කියැවෙන්නේ නැහැ. A යනු B යන්නකු යෑයි කීමෙන් B යනු A යන්නකු යැයි කොහොමටත කියැවෙන්නේ නැහැ.

මෙරට පඬියන් දන්නේ බටහිර සංකල්පයක් ප්‍රවාදයක් පුනරුච්චාරණය කිරීමට පමණයි. ඔවුන් සම්ම ජාතියේ අලුත් සංකල්පයක් ප්‍රවාදයක් නිර්මාණය කරන්නේ නැහැ. ඔවුන්ට එසේ කරන්නත් බැහැ. ඔවුන් සමහරකු තම තක්කඩිකම වසා ගන්නේ තමන්ටත් අනුන්ටත් නොතේරෙන වචන පාවිච්චි කිරීමෙන්. ඔවුන් දන්නේ ලිබරල්වාදයේ දෙවැනි ඉනිම, නව ලිබරල්වාදය, ගෝලීයකරණය, භූදේශපාලනික යථාර්ථය වැනි වචන පමණයි. කලකට පෙර නම් ඔවුන් පශ්චාත්නූතනවාදය යන්නත් නොසෑහෙන්න යොදා ගත්තා. අනෙකා පැරඩිය ෆැන්ටසිය කියැවීම වැනි දේත් ඔවුන්ගේ කෝෂවල තියෙනවා.

පඬියන් ජීවත්වන්නේ 1930න් එහා ලෝකයක. ඔවුන්ගේ භාෂාවෙන් කියනවා නම් පූර්ව චතුර්ථ දශක ලෝක දෘෂ්ඨියක. ක්වොන්ටම් භෞතිකය, ගර්ඩ්ල් ප්‍රමේයය ආදිය මගින් කරන ලද වෙනස පඬියන්ට සම්ම ජාතියේ තේරුම් ගන්න බැහැ. ඇතැමුන් ඒ සඳහා ගණිතය ඉගෙන ගන්න උත්සාහ කළ බවත් මා දන්නවා. ඔවුන් කාලෝ ෆොන්සේකා හමු වුණා නම් ගණිතය නොදැන ඒ ගැන කතා කරන්නෙ කොහොමද කියලා ඉගෙන ගන්න තිබුණා. පඬියන් 1776 ඇමරිකානු විප්ලවය, 1789-99 ප්‍රංශ විප්ලවය 1917 රුසියන් විප්ලවය විසින් සකස් කෙරුණු ලෝකයක ජීවත් වෙනවා. රුසියන් විප්ලවයේ ඇටකටු ක්‍රෙම්ලිනයේවත් නැහැ. ලෙනින්ග්‍රෑඩ් සෙන්ට් පීටස්බර්ග් වෙලා. එය සෙන්ට් පීටරස්බර්ග්වලින් පෙට්ට්‍රොගෑඩ් බවටත් අනතුරුව ලෙනින්ග්‍රෑඩ් බවටත් පත් වී දැන් යළිත් සෙන්ට් පීටර්ස්බර්ග් බවට පත්වෙලා. බර්ලින් තාප්පය කැඩීමෙන් පසු සමාජවාදය තක්කඩින්ට භාර දිය යුතු යැයි මා කියන්නේ නැහැ.

දැන් ප්‍රංශ විප්ලවයේ අදහසුත් කැඩෙමින් බිඳෙමින් පවතිනවා. ප්‍රංශ විප්ලවයට පංශූකූලය දීම තරමක ප්‍රශ්නයක් බව මා දන්නවා. ඒක සංස්කෘතික ප්‍රශ්නයක්. ඒ වෙනුවෙන් දේව මෙහෙයක් පැවැත්වීමට කියමු. අද ඊනියා සහෝදරත්වය, සමානත්වය, නිදහස ආදිය පමණක් නොව බුද්ධිවාදය (හේතුවාදය), ආලෝකනය ආදියත් අවලංගු වෙමින් පවතිනවා. ඊනියා වාස්තවිකත්වයක්, පූර්ණ පද්ධතියක් ආදිය පිළිබඳ අදහස් අද වලංගු නැහැ. ද්විකෝටික න්‍යාය මදි වෙලා. එක් අංශුවක් එකවිට දෙතැනක ඉන්නේ කෙසේ ද යන්න ද්විකෝටිකයෙන් විවරණය කරන්න බැහැ. මාක්ස්වාදයත් ජ්‍යොතිෂයත් ඊනියා විද්‍යා නොවේ යැයි තවත් කාල් කෙනකු, එනම් කාල් පොපර් කිව්වා. ප්‍රංශ විප්ලවයෙන් ද පෝෂණය වූ මාක්ස්වාදයේ සමස්ත ලෝක ඉතිහාසය විකාශය වන්නේ කෙසේ දැයි කියන්න හැදුවා. ජ්‍යොතිෂය එතරම් භාරදුර අනාවැකි කියන්න යන්නේ නැහැ. එහි ඇත්තේ ඒ ඒ පුද්ගලයන්ට කියන අනාවැකි. මේ අනාවැකි ඵල දැරීම පිළිබඳ අවසන් කතාව (ශේෂ පත්‍රය) කොහොම ද? මාක්ස්වාදය බිංදුවයි. ජ්‍යොතිෂය බිංදුවට වඩා බෙහෙවින් වැඩියි. ඕනෑම තක්කඩියකුටත් දැන් ඕනෑම එකක් බය නැතිව තෝරාගන්න පුළුවන්. පොපර් විතරක් නොවෙයි කූන් ෆෙයරාබන්ඩ් ආදීන් ඔක්කොම මැරිලා.

ප්‍රංශ විප්ලවයේ අදහස් මත තමයි ගෝලීයවාදය, ජාත්‍යන්තරවාදය, වාස්තවිකත්වය ආදී සංකල්ප වර්ධනය වුණේ. බටහිර යුරෝපය ලෝකය ම පාලනය කරන ඊනියා වාස්තවික දැනුම් පද්ධතියක්, ජාත්‍යන්තරවාදී සුපිරිව්‍යුහ සංස්ථාපනයක් (establishment) , ඊනියා මානව අයිතිවාසිකම් ආදිය උපයෝගී කරගනිමින් අප වැනි රටවල් පාලනය කෙරෙනවා. ඒ සඳහා ලිබරල්වාදය, ධනවාදය, සමාජවාදය, කම්කරු පංති ආඥාදායකත්වය ආදී සංකල්ප නිර්මාණය කෙරී තිබෙනවා. අද මේ සංකල්ප එකක්වත් වලංගු නැහැ. කම්කරු පංතිය තියෙන්නෙ කොහෙද කියලා කවුරුවත් දන්නෙ නැහැ. ඒක බෙහෙතකටවත් හොයාගන්න බැහැ.අද දන්නේ දුම්රියේ දෙවැනි තුන්වැනි පංති, ගුවන් යානාවල ව්‍යාපාර පංතිය සකසුරුවම් පංතිය ආදිය පමණයි. පාසලෙත් දැන් පංති නැහැ. ඇත්තේ ශ්‍රෙණි. උපකාරක පංති නම් තියෙනවා. ඇතැම් සමාජවාදීන් ගමන් කරන්නේ ගුවන් යානාවල ව්‍යාපාර පංතියේ කියල කියනවා. ඔවුන් තක්කඩියන් ද කියන්න මා දන්නෙ නැහැ. ලිබරල්වාදයෙ දෙවැනි ඉනිම කොහොම වෙතත් දෙරණෙ උපකාරක පංති හරහාත් ගොඩනැගෙන දෙවැනි ඉනිමක් නම් තියෙනවා.

ඒ කොහොම වුණත් මේ ඊනියා ජාත්‍යන්තර බැඳීම් සහෝදරත්ව දැන් කැඩෙනවා. ජාතිය ජාතිකත්වය ජාතිකවාදය දේශප්‍රේමය ආදිය දැන් කරළියට ඇවිල්ලා. ජාතිකවාදය හා දේශප්‍රේමය අතර බටහිරයන් වෙනස්කම් දකින්නේ ඔවුන්ට රට ජාතිය ආදිය හරිහැටි තේරුම් ගන්න නිර්වචනය කරන්න බැරි නිසා. අද බටහිර යුරෝපීය රටවල සංස්කෘතිය මත වූ ජාතිකත්වය (වෙනත් ජාතිකත්වයක් නැහැ. තියෙන්නේ අර පාස්පෝට් ජාතිකත්වය පමණයි. ශ්‍රී ලාංකික යන්න ද පාස්පෝට් ජාතිකත්වයක්. එහි හැඟීමක් නැහැ.) පැතිරෙනවා. බ්‍රෙක්සිට් ද එහි ප්‍රතිඵලයක්. යුරෝපා සංගමය වැඩි කලක් පවතින එකක් නැහැ. ට්‍රම්ප් නේටෝවෙන් ගිය ගමන් නේටෝවත් යුරෝපා සංගමයත් කඩා වැටෙනවා. ට්‍රම්ප් හිතන්නේ ඇමරිකානුවකු ලෙස මිස ඊනියා ජාත්‍යන්තරවාදියකු ලෙස නො වෙයි. ඔහු කියන්නේ තම රටට වැඩක් නැතිව පිටරටවලට ආධාර කිරීම නවත්වනවා කියා. ඔහු අද චීනය සමග වෙළෙඳ ආරෝවක් ඇති කර ගෙන. අද ඩොලරය ශක්තිමත් වෙනවා. රුපියල පහත යන්නේ ඩොලරය ශක්තිමත්වීමත්, අපේ ආනයන ආර්ථිකයත්, ණය ගැනීමත්, සම්මතය ඉක්මවා යන කොමිස් ගැහිල්ලත් නිසා.

ඒ මොකක් වුවත් පහළොස්වැනි සියවසේ ඇරඹි චින්තන විප්ලවයත් සමග වර්ධනය වූ ආකල්ප සංකල්ප ඇතුළු දැනුම අද කඩා වැටෙනවා. විසිවැනි සියවසේ තිස් ගණන්වල ඇරඹි චින්තන විප්ලවය තවමත් ළදරු වියේ. ඒ චින්තනයට මග පෙන්වන්න පුළුවන් ථෙරවාදයට පමණයි. එහෙත් අපේ පඬියන්ට එ ගැන හාන්කවිසියක් නැහැ. ඔවුන් උපන්ගෙයි අනුකාරකයන්. ඔවුන් අනාථ වෙලා නාථ දෙවියන්ට සමච්චල් කරනවා. ඔවුන් තැත් කරන්නෙ බටහිර යල්පැන ගිය දැනුම් කෑලිවලින් සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දී පොරවල් වීමට. අද එක් අයකුට ඉනියවන් නිපදවලා නියවන් ඉන්න වෙලා. මේ ලෝකය ද්වෛත මගින් විස්තර කළ කාලය ඉවරයි. කළු කුමාරයා කළු ද කුමාරයෙක් ද? කාලි අම්මා පාපී ද දෙවඟනක් ද? මා දැක්කා එක් පඬියකු තමා දන්නා විධියට ඒ වචනවල නිරුක්ති හොයනවා. ඒ නිරුක්ති කතාවක් නො වෙයි. ද්වෛතයක් එකට යෙදීමක්. සබරගමුවෙ කතාවක් තියෙනවා මහාබඹාට මුහුණු දෙකයි කියලා.

ඩෙරීඩාට ද්වෛත පිළිබඳ ඉවක් තිබුණා. ෆැන්ටසි පැරඩි ගැන කී විසිවැනි සියවසේ බටහිර උගතුන් තමන්ට මේ සියල්ල මායාවක් බව කියා ගන්න බැරිව ඒ ඒ තැන්වල ලැගුම් ගත්තා. මායා යථාර්ථවාදය අනුමාන යථාර්ථවාදය ආදියෙන් කියැවෙන්නෙ ඊනියා යථාර්ථයක් නැති බව පිළිගැනීමට බටහිර උගතුන් දක්වන අකමැත්තයි. මෙරට පඬියන් ඒ සංකල්ප යොදාගන්නේ බටහිර දැනුමෙන් මත් වී සිහි විකල්වීමෙන්. ට්‍රම්ප් නව අදහස් සහිතව අලුත් ලෝකයක් දේශපාලනික ව ගොඩ නගන්න හදනවා. එය වසර හතරකින් පහකින් සාර්ථක වේය කියා මා කියන්නේ නැහැ. අද ධනවාදය සමාජවාදය ලිබරල්වාදය පංති අරගලය වැනි සංකල්පවලින් නම් කිසිවක් තේරුම් ගන්න බැහැ. පඬියන්ට පුහු පොරවල්වීමට පමණක් එ සංකල්ප ආධාර වෙනවා. පඬියන් ඔය ඔක්කොම පැත්තකින් තියලා ඉලෙක්ට්‍රෝනයක් එක්වර සිදුරු දෙකකින් යන්නෙ කොහොමද කියල දෙරණෙ දෙවැනි ඉනිම නරඹන ගමන්වත් හිතනවා ද?

නලින් ද සිල්වා



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More