මුහුණු පොතෙන්

‘රෙන්ට බර වෙලා පිටි හොයනවා වගේ’ යනුවෙන් අපේ ජනවහරේ උපහැරණයක් තිබේ. මේ උපහැරණය මතක් වුණේ අගමැතිවරයා ඇතුළු වර්තමාන ආණ්ඩුවට ඊනියා යහපාලනය බඩඑළිය යන්නට පටන් ගෙන ඇති නිසා ය. බඩඑළිය යන්නට පටන් ගත්තේ අද ඊයේ නොවේ. යහපාලන ආණ්ඩුව බලයට ආ කාලයේ ම ය. ඒත් යහපාලනය ගේන්නට ඡන්දය දුන් සහ නුදුන් හුදී ජනයාට ඒ බව නොපෙන්වා බඩඑළිය යන්නේ රාජපක්ෂගේ කාලයේ ණය හින්දා යැයි කියමින් ආණ්ඩුව ජාම බේරා ගෙන සිටියේ ය. ඒත් ඊයේ පෙරේදා බඩඑළිය යෑම පාචනයක් බවට පත් වුණේ ය. එහෙම වුණේ රුපියල කඩා වැටෙන වැටිල්ලට ය. කඩා වැටිල්ල කොයි තරම් සැර වෙලා දැයි කියතොත් දැන් ආණ්ඩුවට අතීසාරය ම වැළඳී ඇත. නිකම් ම අතීසාරය නොවේ. ආණ්ඩුව නිකම් ම නිකම් ආණ්ඩුවක් නොව යහපාලන ආණ්ඩුවකි. ඒ නිසා වැළඳී ඇත්තේ ද යහපාලන අතීසාරයයි.

බඩඑළිය යන්නට පටන් ගන්නකොට ආණඩුව හිතුවේ ‍මේක නිකම් බඩ බුරුල් කරලා යෑමක් විතරක් වෙන්ට ඇතැයි කියා ය. ඒ නිසා ඒ ගැන ගණන් ගත්තේ නැත. අනික් අතට යූඇන්පී ආණ්ඩුවේ ඉන්නේ ආර්ථික ඔස්තාද්ලා නිසා බඩ බුරුල් කරලා යෑමක් මහ ලොකුවට ගණන් ගන්නට දෙයක් නැතැයි ආණ්ඩුව සිතන්නට ඇත. ඒත් යැවිල්ල නැවතුණේ නැත. රුපියල කඩා වැටීම දවසින් දවස දරුණු වෙන්නට වෙන්නට විය. මේක නම් නිකම් ම නිකම් බඩ බුරුල් වීමක් නොවන බව ආණ්ඩුවේ නළුවෙක් නොවන මොළයක් යැයි කියන අගමැතිට ද දවස් කීපයක් යන තුරු තේරුණේ නැත. තේරෙන විට බඩ බුරුල් වීම අතීසාරයක් දක්වා ම දරුණු වී තිබුණේ ය.

ඒ අතීසාරයට පිටි හොය හොයා ඉන්නට වත් ආණ්ඩුවට වෙලාවක් තිබුණේ නැත. මොන දේ කරන්නටත් කලින් බඩඑළිය යෑම පාලනය කර ගත යුතු ය. කරන්නට ම දෙයක් නැති තැන ආණ්ඩුව අනාගතේ ප්‍රයෝජනයට ගන්නට මහ බැංකුව ඉතිරි කර ගෙන තිබූ ඩොලර් සංචිතයෙන් ඩොලර් මිලියන 155ක් අරගෙන ඇබයක් ගැසුවේ ය. අතීසාරය දවසකට නවත්තා ගන්නට පුළුවන් විය. ඒත් ඇබ ගහලා අතීසාරය නවත්තන්නට නොහැකි ය. පාලනය කර ගන්නට පුළුවන් ය. ඒක හැම දා ම කරන්නට බැරි ය. පිටරට ආයෝජකයන් තමන්ගේ ආයෝජන ඉවත් කර ගෙන යන්නේ ඩොලර්වලින් නිසා ඇබ ගැහුවාට වැඩක් වෙන්නේ නැත. දැන් ආණ්ඩුව අතීසාරයට අමුඩ ගසන්නට පටන් ගෙන ඇත්තේ ඒ නිසා ය.

සුඛෝපභෝගී වාහන ආනයනය නැවැත්වීම ඉන් එක අමුඩයකි. (ඒත් අගමැතිට රුපියල් කෝටි පනස් අටේ වාහන දෙකක් ගෙන්වන්නට යන නිසා ඒ අමුඩයේ හිලක් ඇති වී තිබේ.) ආනයනික වයින්, චීස් වැනි දේවල් පරිහරණය නවතා දැමීම තවත් අමුඩයකි. ඒ අතරේ දේශීය කර්මාන්තවලට උදවු කිරීමේ අමුඩයක් ද ගසන්නට ඕනෑ යැයි මුදල් ඇමැති ඊයෙ පෙරේදා රෝයල් එකේ දී කීවේ ය.කොටින් ම අගමැති රනිල් වික්‍රමසිංහ කියන්නේ ආනයන සියල්ල සීමා කිරීමේ මහ අමුඩය ම ගසන්නට ඕනෑ බව ය. පිටරටවල ඉන්න ශ්‍රී ලාංකිකයන් සතු මුදල් කිසිදු ප්‍රශ්න කිරීමකින් හෝ බදු අය කිරීමකින් තොරව (කළු සල්ලි වුණත්) ලංකාවට ගෙන ඒමට අවසර දීමේ අමුඩය ගසන්නට ඕනෑ යැයි යැයි ස්වදේශ කටයුතු අැමැති වජිර අබේවර්ධන යෝජනා කර තිබේ. ඒ අතර රාජපක්ෂ ආණ්ඩුව කාලයේ මුදල් ආමාත්‍යාංශයේ හිටපු ලේකම් පී.බී. ජයසුන්දර ආපහු ගෙන්වා ගත්තොත් හොඳ අමුඩයක් ගසා ගන්නට පුළුවන් බව කියන අය ද සිටිති.

ඊනියා යහපාලන ආණ්ඩුව කියන විදියට මේ අතීසාරයට හේතුව අමෙරිකාව ය. අගමැති රනිල් කියන්නේ රුපියල කඩා වැටෙන්නේ අමෙරිකාව තමන්ගේ පොලී අනුපාත ඉහළ දැමීම නිසා බව ය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග කියන්නේ අමෙරිකාවේ ‘ට්‍රම්ප් උන්නැහේ කරපු ගොන් වැඩක් නිසා’ රුපියල කඩා වැටෙන බව ය. දැන් මේ කියන විදියට ඊනියා යහපාලන ආණ්ඩුවට අතීසාරය වැළඳී ඇත්තේ අමෙරිකාවේ ජනාධිපති ට්‍රම්ප් නිසා ය. ඒ අනුව අමෙරිකාවේ ජනාධිපති තමන්ගේ රටේ පොලී අනුපාත වැඩි කරන්නේ නැති ව සිටියා නම් යහපාලන ආණ්ඩුවට අතීසාරය වැළඳෙන්නේ නැත.

ඒත් ඇත්ත කතාව එය නොවේ.

මේ ආණ්ඩුවට බඩඑළිය යන්නට පටන් ගත්තේ බලයට ආ ගමන් හදා ගත් බැඳුම්කර අජීර්ණය නිසා ය. ඒ අජීර්ණය අවුරුදු තිහක් පවතින්නට හදා ගත් එකකි. ඒ අතරේ හරිහමන් ප්‍රතිපත්තියක් නැති ව ආර්ථිකය රස්තියාදුවේ යැවීම නිසා බඩඑළිය යෑම ටිකෙන් ටික වර්ධනය වෙමින් තිබුණේ ය. රටේ කිසි ම ක්ෂේත්‍රයක පලදායිතාවක් නැති වීම නිසා ආර්ථිකයේ ශක්තිය ද ඒ සමඟ ම පිරිහෙමින් තිබුණේ ය. තිබෙන ජාතික සම්පත් ටික ද ව්කුණනන්ට පටන් ගැනීම නිසා ආර්ථිකයේ දරා ගැනීමේ ශක්තිය ද දුර්වල වෙමින් පැවතුණේ ය. ජනාධිපති වගේ වගක් නැති ව හීනෙන් කඩුව වනමින් සිටියා මිසක් මේ ප්‍රශ්න ගැන ඇහැක් ඇරලා බැලුවේ වත් නැත. (මෙලෝ හසරක් නොදන්නා ඔහු ජනාධිපති වුණේ ඔහුගේ ඕනෑකමට නොවන නිසා ඔහුට දොස් පැවරීමත් එක අතකින් වැරැදි වැඩකි.)

අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඩොලරය ශක්තිමත් කරන්නට පියවර ගත්තේ ඔය අල්ල පනල්ලේ ය. එසේ කරන විට ලංකාවේ ඊනියා යහපාලන ආණ්ඩුවට බඩඑළිය යමින් තිබුණු බවට හාංකාවිසියක් වත් ඔහු දැන සිටියේ නැත. දැන සිටියා වුණත් ඔහුට කරන්නට දෙයක් ද නැත. ඔහු අමෙරිකාවේ ජනාධිපති ය. එබැවින් ඔහු ශක්තිමත් කළ යුත්තේ අමෙරිකාවේ ඩොලරය මිසක් ලංකාවේ රුපියල නොවේ. ට්‍රම්ප් ජනාධිපති වුණ විගස ම කියා සිටියේ ජාතික ආර්ථික ශක්තිමත් කළ යුතු බව ය. අමෙරිකාවේ නිෂ්පාදන වැඩි වැඩියෙන් පරිභෝජනයට යොමු වන්නැයි ඔහු තම රටවැසියන්ට කියා සිටියේ ය.

ඒත් යහපාලන ආණ්ඩුවේ වාහෙලා කළේ කුමක් ද? ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම නොවේ. ‘එළුවාගේ බිජ්ජ වැටෙන තුරු’ බලා සිටි මොකා ද එකා මෙන් ට්‍රම්ප්ගේ දෙපරැන්ද අස්සෙන් වැටෙන්නේ මොකක් දැයි බලා සිටීම ය. ඒ බලාගෙන ඉඳිල්ලේ විපාකය දැන් විඳින්නට සිදු වී තිබේ. මේ පාඩම යහපාලන ආණ්ඩුවට විතරක් නොවේ. අනාගතයේ පාලනය ගන්නට බලාගෙන ඉන්නා උන්දැලාටත් එක්ක ම ය.

රුපියල කඩා වැටුණේ ඩොලරය ශක්තිමත් වූ නිසා ය. කඩා වැටී ඇත්තේ ලංකාවේ රුපියල පමණක් නොවේ ය. වෙනත් රටවල මුදල් ඒකක ද කඩා වැටී ඇත කියමින් සංඛ්‍යා ලේඛන, රූප සටහන් පවා පෙන්වමින් මේ බුකියේ සම්භාව්‍ය විග්‍රහ ඉදිරිපත් කරන මැට්ටෝ ද සිටිති. ඒ විග්‍රහ හරියට ‘අපේ ගමේ විතරක් නෙවෙයි අල්ලපු ගමේ අයටත් බඩඑළිය යනවා. ඒක එච්චර ගණන් ගන්න දෙයක් නෙවෙයි’ කියනවා වගේ ගොන් කතාවකි.

අවසානයේ කිව යුත්තේ මෙයයි.

අමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් අපට පාඩමක් කියා දී ඇත. ඒ පාඩම නම් අන් කිසිවක් නොව අපේ ජාතික ආර්ථිකය ශක්තිමත් කර ගත යුතු බවයි. එසේ නොකර ලෝකයේ ඇති වන විපර්යාසවලට අපට මුහුණ දිය නොහැකි ය. අපේ වැනි කුඩා ආර්ථිකයක් ඇති රටවලට ලෝක විපර්යාස හමුවේ නොසැලී සිටිය නොහැකි ය. එහෙත් ශක්තිමත් ජාතික ආර්ථිකයක් ඇත්නම් අර්බුධයක දී සැලුණත් කඩා නොවැටී සිටිය හැකි ය. අර්බුධයක දී පැලැස්තර අලවා ලබා ගත හැක්කේ තාවකාලික විසඳුමක් පමණකි.

එහෙත් ජාතික ආර්ථිකයක් ඇති කර ගැනීම මත්තල ඉන්දියාවට විකුණන තරම් හෝ පාර්ලිමේන්තුවේ පඩි වැඩි කර ගන්නා තරම් හෝ සුව පහසු වැඩක් නොවේ. කිරිපිටි මිල, ගෑස් මිල අඩු කර ගන්නා තරම් හෝ මේ ආණ්ඩුව වෙනුවට වෙන ආණ්ඩුවක් පත් කර ගන්නා තරම් හෝ ත්‍රිල් වැඩක් ද නොව්. 20 සම්මත කර ගන්නට සටන් කරන තරම් ටොයිස් වැඩක් ද නොවේ.

ජාතික ආර්ථිකයක් ඇති කර ගැනීම එක පරම්පරාවක සියලු දෙනාගේ ම ඇඟ රිදෙන තරම් කැපවීමක් ඕනෑ කරන වැඩකි. අද දියුණු යැයි සම්මත සෑම රටක් ම එතැනට ආවේ අතීතයේ එක් පරම්පරාවක් තමන්ගේ රට වෙනුවෙන් එසේ කැප වූ (සමහර විට තම ජීවිත කාලය ම) නිසා ය. එහෙත් ලේ බින්දුවක් වත් නෙසොල්වා නිදහස ලබා ගත්තා යැයි කියමින් ජනතාව ඇන්දූ නායකයන්ට පින් සිදු වන්නට අපේ රටේ මිනිසුන් එවැනි කැපවීමක් කළේ නැත. අප මේ විඳවන්නේ ඒ කැපවීම නොකළ නිසා ය. අපේ පරම්පරාවටත් ඒ කැපවීම කළ නොහැකි නම්, කිසි දු සැකයක් නැත. අනාගත පරම්පරාවන් ගණනාවකට ම මීටත් වඩා විඳවන්නට සිදු වනු ඇත.

Dharma Sri Kariyawasam



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More