ප‍්‍රධාන පුවත්

නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කරගැනීමට නම් සෘජූ තීරණ ගතහැකි නායකත්වයක් පත් කරගත යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පොළොන්නරුවේ පුලතිසි බුද්ධි මණ්ඩපයේ දී පසුගියදා පැවති එළිය වැඩසටහනට (සැප්. 22) සහභාගි වෙමින් මෙසේ අදහස් පළ කළේය.

අද, රටේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ගේ ඉදලා, අපේ ජනතාව මහින්ද රාජපක්ෂ මැතිතුමා වටා එක්රොක් වෙලා ඉන්නේ එතුමා ගෙනගිය, ඉදිරියට ගෙනයන පැහැදිලි ප්‍රතිපත්ති මාලාව නිසයි. එදා බණ්ඩාරනායක ශ්‍රීමතාණන් ගෙන ආ ඒ ප්‍රතිපත්ති මාලාව පදනම් කරගෙන, ඒ මත ගොඩනැගුණු මහින්ද චින්තනය පැහැදිලි ප්‍රතිපත්තියක් ඔස්සේ ඉදිරියට ගිය නිසා සියලුම දෙනා ඒ වටා යළිත් එකතු වෙනවා.

රාජපක්ෂ පාලනය පැවති පසුගිය අවුරුදු නවය තුළ ගෙනගිය ප්‍රතිපත්ති තුළ ප්‍රධාන වශයෙන්ම මේ රටේ ස්වෛරීත්වය, ඒකීයභාවය සහ ආරක්ෂාව යන කරුණු අන්තර්ගත වුණා. ත්‍රස්තවාදය, භීෂණය, අන්තවාදී ක්‍රියාකාරකම් මැඩපවත්වා මේ රටේ ජීවත් වන සිංහල, දමිළ, මුස්ලිම් ආදී සෑම ජනවර්ගයකටම බියෙන් සැකෙන් තොරව ජීවත් වීමට පැහැදිලි ප්‍රතිපත්තියක්, අයිතිවාසිකමක් හැදූ නිසයි ඔබසැම පොදුජන පෙරමුණ වටා රැදී සිටින්නේ.

එදා එතුමා මහින්ද චින්තනය ක්‍රියාත්මක කරමින් ඒ ඔස්සේ හදුනාගෙන තිබුණා මේ රටේ කෘෂිආර්ථිකය නගාසිටුවන්නට අවශ්‍ය බව. ඒ නිසා තමයි ගොවියා වෙනුවෙන්, කෘෂිකර්මය වෙනුවෙන් එතුමා විශාල වැඩ කොටසක් කරගෙන ගියේ. ඒ වගේම දේශීය ව්‍යාපාරිකයන් ආරක්ෂා කළා. ඔබ දන්නවා ඉතා විශාල ප්‍රමාණයේ සංවර්ධන කටයුතු වරායවල්, ගුවන්තොටුපොළවල්, මහාමාර්ග වැනි ව්‍යාපෘති ඔස්සේ රටේ ආර්ථිකය විශාල ලෙස ගොඩනැංවුවා.

අපි දන්නවා අද සෑම දෙනෙක්ම කතා කරන්නේ ආර්ථිකයේ කඩාවැටීම ගැන. ඔබ සැමට අමතක නෑ කියලා හිතනවා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ යුද්ධයට විශාල ධනස්කන්දයක් වැය කළත් මේ රටේ ආර්ථිකය කඩාවැටීමකින් තොරව ඉදිරියට ගෙන ගිය හැටි. එතුමා ගොවි ජනතාවට පොහොර සහනාධාරය ලබාදුන්නා. පුලතිසි පුරවරයේ ජනතාව හොදින් දන්නවා ඒ දේවල් නිසා මේ රට සහලින් ස්වයංපෝෂිත වුණ විදිහ.

නමුත් ජනවාරි 08 ඇතිවුණ පෙරළියත් සමග රට බාරගත් අයට කිසිම සැලැස්මක් නොතිබුණු නිසා එදා කරගෙන ගිය සංවර්ධනය, යටිතල පහසුකම් ඇණහිටලා, මේ අයගේ අදූරදර්ශී ක්‍රියාමාර්ග නිසා රටේ ආර්ථිකය හොදටම කඩාගෙන වැටිලා තිබෙන බව පුන පුනා කියන්න අවශ්‍ය නෑ. පසුගිය වසර වල ව්‍යාපෘති නැවතීම තුළ ක්ෂේත්‍රයේ කොන්ත්‍රාත්කරුවන්, සැපයුම්කරුවන්, කම්කරුවන් ආදී හාරලක්ෂයකට වැඩි පිරිසකගේ රැකියාවන් අහිමි වුණා. ව්‍යාපාර කඩාවැටුණා.

මේ රජය ගෙනයන වැරදි ක්‍රියාමාර්ග ආර්ථික, ආරක්ෂාව, නීතිය ආදී කුමන අංශයකින් වුවද, මේ සෑම අංශයක්ම අපි විවේචනයට ලක්කරන අතරම ඉදිරියේ දී මහින්ද රාජපක්ෂ මැතිතුමා වටා ගොඩනගන රජයක දී කුමන ආකාරයෙන් කටයුතු කරනවා ද යන්න ගැන දැනටමත් අපි ප්‍රතිපත්ති හදාගෙන යනවා.
මේ රටේ ඉන්න වියතුන්ට, බුද්ධිමතුන්ට, වෘත්තිකයන්ට අවස්ථාවක් දෙමින් ඔවුන්ගේ අදහස් විමසලා ඉදිරියට රටේ ආර්ථිකය ගෙන යා යුත්තේ කෙසේ ද, කුඩා සහ මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකයන් නගාසිටුවන්නේ කොහොමද, රටේ ආරක්ෂාව, නීතිය තහවුරු කරන්නේ කොහොමද යන කරුණු පිළිබද සාකච්ඡා කරනවා.

වර්තමාන පාලකයන්ගේ මූලික අරමුණ වුණේ දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පළිගැනීම. රාජ්‍ය සේවයේ නිලධාරීන් විශාල පිරිසකට මාරුවීම් ලබාදුන්නා, නීති විරෝධී ආකාරයෙන් එෆ්.සී.අයි.ඩී. එකක් ඇති කරලා දේශපාලකයන්, ව්‍යාපාරිකයින්, රාජ්‍ය සේවයින් විශාල පිරිසක් මෙතැනට ගෙනැල්ලා කරදර කරන්න පටන් ගත්තා. රාජ්‍ය සේවය බිය වැද්දුවා. මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී රාජ්‍ය සේවකයාට අවංකව තීරණ ගැනීමේ නිදහස ලබාදුන්නා. ඒ නිසා රාජ්‍ය සේවයේ වැඩ ක්‍රමානුකූලව සිදුවුණා. අද ඒ නිදහස නෑ.

අද රට තුළ කොපමණ අපරාධ සිදුවෙනව ද, කුඩු කොච්චර පැතිරිලා ද, පාතාලය කොතරම් දුරට හිස ඔසවලා ද කියන එක සියලුම දෙනා හවසට ප්‍රවෘත්ති වලින් දකිනවා. අපි දන්නවා පොලිසියේ දක්ෂ අවංක නිලධාරීන් සිටිනවා. ඔවුන් නිසා තමයි එදා යුද සමයේ කොළඹ ආරක්ෂාව තහවුරු කරගන්න පුළුවන් වුණේ. උතුරේ හමුදාව යුද්ධ කරනකොට දකුණේ නගර ආරක්ෂා කළේ පොලිස් නිලධාරීන්. අද ඔවුන්ට මොකද වෙලා තියෙන්නෙ. පළිගැනීම් වලට ලක්කරලා සිරගත කරලා. හමුදාවේ බුද්ධි අංශ ප්‍රධානියාගේ සිට විශාල නිලධාරීන් පිරිසක් සිරගත කරලා. ඔවුන් මේ රට වෙනුවෙන් විශාල සේවයක් කරපු නිලධාරීන්.

අපේ රජය යටතේ සිටි පොලිස්පතිවරු ඉතා වැදගත් ලෙස වැඩකටයුතු කළා. එක් අවස්ථාවක දී කටුනායක ඇති වුණ සිද්ධියක් නිසා හිටපු පොලිස්පතිවරයා සේවයෙන් විශ්‍රාම ගැනීමට වසර දෙකක් තියෙද්දි සේවයෙන් ඉල්ලා අස්වුණා. නමුත් අද පොලිස්පතිවරයාගේ හැසිරීම ඔබතුමන්ලා මාධ්‍ය මගින් දකිනවා. එතුමා අද විහිළුවකට ලක්වෙලා. පොලිසිය බාර ඇමතිවරයා කියනවා නැටුවට කමක් නෑ කියලා, අපි පොලිස්පතිවරයෙකුගෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ පෙරහැරේ නටන්න, රැස්වීම් වල සින්දු කියන්න. ඔහුගේ වගකීම ඒක නෙවෙයි. පොලිසියේ ඉහළ නිලධාරියෙක්ගේ ක්‍රියාකාරකමක් පසුගිය දවස්වල අපට අසන්නට ලැබුණා. මෙවැනි දේවල් නීතිය ආරක්ෂා කරන පොලිසිය තුළින් සිදුවෙන්නට බෑ.
ඔබ දන්නවා අලුත් උසාවියක් හැදුවා. ඒකේ පරමාර්ථය රටේ ආර්ථිකය කඩාවැටීමට ලක්කළ දූෂණ පිළිබද නඩු ඉක්මණින් අහලා දඩුවම් දෙන එක. නමුත් ඒකට මුලින්ම ඉදිරිපත් කළ නඩුවක් තමයි ඩී. ඒ. රාජපක්ෂ ස්මාරකය හැදුව එක ගැන. ඒක මිලියන තිස්තුනක රජයේ ආයතනයක් සමග කොන්ත්‍රාත් පදනමට එළඹුණ ගිවිසුමක්. කොන්ත්‍රාත් පදනමට අදාළ මුදල් මේ වන විට ගෙවලත් ඉවරයි. එතකොට මේ ආර්ථිකය, රුපියල කඩාගෙන වැටෙන්න මූලික හේතුව වෙලා තියෙන්නේ ඩී. ඒ. රාජපක්ෂ ස්මාරකය හැදීම. මේවා තමයි විහිළු, ඒක තමයි රජයේ ප්‍රතිපත්තිය.
වර්තමාන පාලකයින් කියනවා දැන් ඔවුන් සාමය ගෙනැල්ලා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළා කියලා. 2015 ජනවාරි 08 වැනිදා ඔවුන් ගෙනාව සාමය මොකක් ද ? එදා බිහිසුණු යුද්ධයක් නිමා කරලා රටට සාමය ගෙනැල්ලා, ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමා කියලා කාටත් අමතක වෙන්න විදියක් නෑ. එතුමා රජය බාරදෙන අවස්ථාවේ වර්තමාන පාලකයින්ට කිසිම තර්ජනයක් තිබුණේ නෑ. දෙවුන්දරතුඩුවේ ඉදලා පේදුරුතුඩුවට කරදරයකින් තොරව යන්න පුළුවන් රටක් හදලා තමයි එතුමා ගියේ.
නීතියක් නැති රටක නිදහසක් නෑ. රටේ ආරක්ෂාව වෙනුවෙන් හදපු බුද්ධි වැඩසටහන, ආරක්ෂක වැඩසටහන සම්පූර්ණයෙන්ම කඩාවැටිලා. හමුදා බුද්ධි අංශ කියන කිසිම දෙයක් අද ගණන් නොගන්නා තත්ත්වයකට පත්වෙලා.

අපි ජනතාව ඉදිරියට ඇවිල්ලා යම් කිසි පොරොන්දුවක් දෙන්නේ මීට පෙර දුන්න පොරොන්දු ඒ ආකාරයෙන් ඉටුකරලයි. යුදමය ක්‍රියාදාමයකින් ඉවර කරන්න බෑ කියපු වසර 30 ක් ඇදුණ යුද්ධය වසර 3 කින් අවසාන කළා. ඒ සමගම ආර්ථිකය ගොඩනැගුවා. අපට විශ්වාසයි කෙළින් තීරණ ගන්න නායකයෙක් සමග මේ රට නැවත ගොඩගන්නට පුළුවන් කියලා. ඉදිරියේ දී මහින්ද රාජපක්ෂ මැතිතුමා වැනි සෘජු තීරණ ගන්න පුළුවන් නායකයෙක් සමග රජයක් බිහිකොට රට නැවත ගොඩනගන්නට අප සමග අත්වැල් බැදගන්න යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වැඩිදුරටත් ඉල්ලා සිටියා.

– එළිය මාධ්‍ය ඒකකය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More