අපේ සමස්ථ භූමි ප්‍රමාණයෙන් සියයට 43.69ක් (43.69%) කෘෂිකර්මය සඳහා යොදාගන්නවා. ජනාවාස, මහාමාර්ග, ඉදිකිරීම්, වැඩබිම්, වනාන්තර, රක්ෂිත ආදියෙන් වෙන් කළ විට එම කෘෂිකාර්මික භූමි ප්‍රදේශය සීමා සහිතයි. එසේ නම් එහි පස සංරක්ෂණය වන අයුරින් කටයුතු කිරීම ඉතාම වැදගත්. නැවත නැවතත් එම පස වගාව සඳහා යෝග්‍ය වන ලෙස භාවිතා කළයුතුයි. නමුත් අදවන විට අප විසින් ම අපට කරගෙන ඇති හානිය අතිමහත්.
පසුගිය දිනවල කෘෂිකර්මාන්තය සඳහා යොදාගන්නා කඳුකර ජල පෝෂක ප්‍රදේශවල පසේ ගුණාත්මක භාවය, පාංශු සංරක්ෂණය, විධිමත් භූමි පරිභෝජනය ආදී කරුණු බොහොමයක් පිළිබඳව යම් පර්යේෂණ කිහිපයක් කරන්නට සිදුවුණා. ගොවීන් සිය හිතු මනාපයට පොහොර භාවිතා කිරීම නිසා මේ වනවිටත් කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවල පස භාවිතයට නොගතහැකි තරම් විනාශ වී අවසන් බවත් පසේ අඩංගු විය යුතු රසායනික සංඝටකයන් තිබිය යුතු ප්‍රමාණයටත් වඩා 300%න් පමණ ඉහළ ගොස් ඇති බවත් අපකළ පර්යේෂණ වලින් පැහැදිලි විය. මේ තත්වය ශාක වල වර්ධනයට, අස්වැන්න අඩුවීමට බෙහෙවින් ම බලපායි. කඳුකර ජල පෝෂක ප්‍රදේශ යනු රටේ හදවත බඳු පෙර රජදරුවන් විසින් පවා සුරකින්නට කටයුතුකළ ප්‍රදේශයන් බව අප නිරන්තරයෙන් සඳහන් කර ඇත්තෙමු. එහෙත් මොනයම් හෝ ආකාරවලින් රටට ආනයනය කරන පොහොර, කෘෂි රසායනික ඉවක් බවක් නැති ව යොදන්නට ගොවීන් මැලිනොවන්නේ ඔවුන්ට ද වෙනත් විකල්පයක් පෙනෙන තෙක් මානයේ වත් නොමැතිකම නිසා වියහැකි ය.
මෙහි අනිටු ප්‍රතිවිපාකයන් සමස්ත රටවැසියාටම අත්විඳීමට සිදු ව තිබෙන බව දිවයිනේ බොහෝ ප්‍රදේශයන් කරා ව්‍යාප්ත ව ඇති වකුගඩු රෝගයෙන් මනාව පැහැදිලි වේ. එසේම අවිධිමත් භූමි පරිහරණය නිසාවෙන් නායයෑම්, පස සෝදාපාළු වීම්, ගංගා ද්‍රෝණිවල රොන්මඩ තැන්පත් ආදී බොහෝ ගැටලු මේ වනවිටත් පැනනැගී ඇතිබව අමුතුවෙන් මතක් කළයුතු නැත. එසේ නම් අප කළයුත්තේ කුමක් ද?
අප තවදුරටත් අධික පොහොර භාවිතය නවතා පස යළි යෝග්‍ය තත්වයට ගෙන ඒමට කටයුතු කළ යුතුය. සාමාන්‍ය ගොවිමහතුන් හට පමණක් මෙය තනි ව කළ හැක්කක් නොවේ. නවීන පාංශු සංවේදක, දත්ත රැස්කරන, දුරස්ථ නියාමන ක්‍රමවේද යොදාගත යුතුය.
ලෝකයේ පැවැත්මට නිල බලය, ධන බලය වැදගත් නොවන බවත් පරිසරය රැකුණහොත් අප සැම රැකෙන බවත් සිහිකොට මනාය. එසේ නොවුනහොත් ජාතියේ මළගම වැඩි ඈතක නොවන බව ද සිහියේ තබාගත යුතු ය.
පොහොර ගැන සිහි කරන විට අප අමතක කර දමා ඇති තවත් ජාතික සම්පතක් පිළිබඳ ව ද සඳහන් කරනු කැමැත්තෙමි. ඒ එප්පාවල පොස්ෆේට් නිධිය යි. එප්පාවල පොස්පේට් නිධියේ ඉතිහාසය අදින් වසර 48ක් පමණ ඈතකට දිවයන්නක්. එය මුලින් ම අනාවරණය කරගන්නේ 1971 දී. ඒත් එදා මෙදා තුර ඉන් භාවිතයට ගෙන ඇත්තේ ඉතා ම සුළු ප්‍රතිශතයක්. මේ වනවිට එප්පාවල පොස්පේට් නිධිය යොදාගන්නේ තේ පොල් රබර් වැනි දිගු කාලීන භෝග සඳහා පමණක් වුවත් ඉතාමත් අවම පිරිවැයක් යොදා යම් රසායනික ක්‍රියාවලියක් මගින් එහි ද්‍රාව්‍යතා ගුණය වැඩිකර කෙටි කාලීන භෝග සඳහා ද සාර්ථක ව යොදාගැනීමට හැකියි. එසේ ම මෙය පරිසර හිතකාමී ව සිදුකිරීමට ද හැකියි.
එප්පාවල පොස්ෆේට් නිධිය මෙට්‍රික් ටොන් මිලියන 40ක් පමණ වන බව සැලකෙයි. (ජයවර්ධන, 1976 භූ විද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව). මෙහි ඇති පොස්පරස් ප්‍රමාණය 40%ක් පමණ ඉහළ අගයක්. ද්‍රාව්‍යමය ප්‍රාථමික ස්ඵටික සහ ද්‍රාව්‍යමය ගුණයෙන් අඩු අයන් ඔක්සයිඩ්, ඇලුමිනියම් ඔක්සයිඩ් අඩංගු ද්විතීයික පොස්ෆේට් අනුකෘතීන් වල පොස්පරස් පෙන්ටොක්සයිඩ් p2o5 30%-43% පමණ වනවා. එසේ ම මෙයින් පොහොර දේශීය ව නිෂ්පාදනය කිරීමෙන් තවත් සියවස් කිහිපයකට ප්‍රමාණවත් පොහොර නිෂ්පාදනය කිරීමට ද පොහොර සඳහා රජය වියදම් කරන මුදල ඉතිරිකර ගැනීමට ද හැකිය. ලෝකයේ පොස්ෆේට් සංචිත හිඟවෙමින් තිබෙන මෙවන් වකවානුවක මෙතරම් සම්පතක් දෑස් මානයේ ම තබාගෙන අප තවත් ණයකාරයන් විය යුතු ද?
Dimuthu S Lokuge
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...