ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තු තවදුරටත් දුරස් කරමින් ඊයේ (26දා) පැවැති මීටර් 400 පිරිමි ඉසව්වේ අවසන් තරගයට සහභාගි වූ කාලිංග කුමාරගේ තත්. 46.49 කාලයක් සටහන් කරමින් 8 වැනි ස්ථානයට පත් විය. එහි රන් පදක්කම තත්. 44.89ක කාලයක් සටහන් කළ කටාර් රාජ්‍යයටත්, රිදී හා ලෝකඩ පදක්කම් පිළිවෙළින් ඉන්දියාවට (තත්.45.69) හා බහරේනයටත් (45.70) හිමිවිය.

ඒ අනුව පසුගිය සෙනසුරාදා (25දා) මීටර් 400 පිරිමි ඉසව්වේ පළමු මූලික වටයට පිවිසි කාලිංග කුමාරගේ ඔහුගේ දිවියේ හොඳම කාලය වන තත්. 45.99 ක කාලයක් වාර්තා කරමින් අවසන් පූර්ව වටයට පිවිසි අතර, අවසන් පූර්ව වටයේදී තත්. 46.21ක කාලයක් වාර්තා කරමින් අවසන් මහා තරගයට පිවිසීමට සමත්විය. ඊයේ (26දා) පැවැති අවසන් තරගයේදී පළමුවැනි මංතීරුවෙන් තරග වැදුණු කාලිංග පළමු මීටර් 300 තුළදී තරගකාරීත්වයක් ලබා දුන්නද අවසන් මීටර් 100 තරගය ඔහුගෙන් ගිලිහුණු බව පෙනිණි.

කෙසේ වෙතත් මීටර් 400 ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව මහත් බලාපොරොත්තුවක් තැබූ අරුණ දර්ශන මූලික තරගයේදී තත්. 46.97ක කාලයක් සටහන් කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් අතර, එම වටයේදී තත්. 46.53ක කාලයක් සටහන් කළද අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට එම කාලය ප්‍රමාණවත් නොවීය.
පිරිමි දුර පැනීමේ ඉසව්වට ඊයේ සහභාගි වූ ජනක විමලසිරි මීටර් 7.86ක දුරක් සටහන් කරමින් එහි 7 වැනි ස්ථානය හිමිකරගැනීමත් සමග ශ්‍රී ලංකාවට තවත් පදක්කම් බලාපොරොත්තුවක් ගිලිහී ගියේය.

ඇමෙරිකාවේ සිට මහත් බලාපොරොත්තුවක්ද සහිතව ඉන්දුනීසියාවට පැමිණ මීටර් 10,000 කාන්තා ඉසව්වට පෙරේදා (25දා) සහභාගි වූ හිරුණි විජේරත්න වට පහක් පමණ තරගයේ යෙදී වේලාසනින්ම තරගයෙන් ඉවත්වීම කැපී පෙනුණි.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩක-ක්‍රීඩිකාවන් අතුරින් යම්කිසි සාර්ථකත්වයක් පෙන්වූයේ පිරිමි යුගල තරගාවලියට සහභාගි වූ බුවනෙක ගුණතිලක හා සචින් ඩයස් යුගලය පමණි. එහිදී සචින් _බුවනෙක යුගලය විසින් අවසන් 32 වටයේදී මැකාවෝ රාජ්‍යය තරග වට 2-0කින්ද, අවසන් 16 දෙනාගේ වටයේදී පාකිස්තානය තරග වට 2-0කින්ද පරාජය කළද ඊයේ පැවැති අර්ධ අවසන් පූර්ව වටයේදී පිරිමි යුගල ලෝක ශේ්‍රණිගත කිරීම්හි හිටපු ලෝක ශූරයන් වූ (වර්තමානයේදී ලොව 5 වැනි තැන) චීනයේ ලි ජුන්හුයි හා ලියු යුචෙන් හමුවේ තරග වට 2-0ක (21/12, 21/15) පරාජයක් ලැබීය. අනෙක් අවසන් 16 දෙනාගේ තරග වටවලදී දිනුක කරුණාරත්න පිරිමි කේවල තරගයකදී හොංකොං හමුවේ තරග වට 2-0කින්ද, කාන්තා කේවල තරගයකදී කවිඳි ඉෂාදිකා තායිලන්තය හමුවේ තරග වට 2-0කින්ද පරාජය ලැබීය.

ඊයේ (26දා) පැවැති කි.ග්‍රෑ. 60 කරාතේ (පිරිමි) අවසන් 16 දෙනාගේ වටයකදී ඇෆ්ගනිස්තානය ලකුණු 4-2කින් පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි ප්‍රසංග වීරකෝන් එම වටයේදී මලයාසියාවේ ප්‍රේම්කුමාර් හමුවේ ලකුණු 3-1ක තියුණු පරාජයක් ලබාගනිද්දී කි.ග්‍රෑ. 67 බර පන්තිය යටතේ අවසන් 16 දෙනාගේ වටයට තරග වැදුණු ශ්‍රී ලංකාවේ අකිහිරෝ ලොකුගේ ජපාන ක්‍රීඩක සිනොහාරා හිරෝටෝ ලකුණු 6-2කින් පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසුනද එම වටයේදී කසකස්තානයේ අමිරලී ඩිඩර් හමුවේ ලකුණු 10-0 පරාජය ලැබීය.

එයට අමතරව කි.ග්‍රෑ. 61 බර පන්තිය යටතේ කරාතේ අවසන් 16 දෙනාගේ වටයකදී ජෝර්දානයේ ජබීර් හුදා හමුවේ තාරිකා සමන්මලී ලකුණු 8-0ක පරාජයක් ලබා ගනිද්දී මෙවර තරගාවලියේදී නොසිතූ ලෙස දස්කම් දැක්වූ ශ්‍රී ලංකා පිරිමි හොකී කණ්ඩායම ඊයේ (26දා) සත්කාරක ඉන්දුනීසියා කණ්ඩායමද ගෝල 3-1කින් පරාජය කරමින් ඔවුන් ලැබූ දෙවැනි ජය සටහන් කරගත්තේය. ඊට පෙර ඔවුන් ගෝල 4-1ක් ලෙස හොංකොං කණ්ඩායම පරදා පළමු ජය වාර්තා කරමින් වසර 40කට පසුව ආසියානු ක්‍රීඩා උළෙලක ශ්‍රී ලංකාව ලබාගත් හොකී ජයග්‍රහණය සටහන් කළේය.

පෙරේදා පැවැති තරගවලදී පැහැදිලි දක්‍ෂතාවක් දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ට නොහැකි වූ නමුත් පිරිමි වොලිබෝල් කණ්ඩායම පමණක් ප්‍රබල චීනය හමුවේ එක් වටයක් ජයගැනීමට සමත්වීම කැපී පෙනුණි. එහිදී 25/25, 20/25, 25/14ක් හා 25/17ක් ලෙස තරග වට 3-1ක පරාජයක් ශ්‍රී ලංකාවට හිමිවූ හෙයින් 13 වැනි ස්ථානයේ සිට 20 වැනි ස්ථානය දක්වා තීරණය කිරීමේ සටනකදී ඊයේ (26දා) මාලදිවයින තරග වට 3-1කින් පරාජය කිරීමට ශ්‍රී ලංක කණ්ඩායම සමත්විය.

තවද කි.ග්‍රෑ. 49 ලයිට් ෆ්ලයි පිරිමි බොක්සිං තරගයකට සහභාගි වූ තිවංක සඳරුවන් ඉන්දුනීසියාව හමුවේ ලකුණු 5-0කින්ද, පිරිමි කි.ග්‍රෑ. 60 බර පන්තිය යටතේ තරග වැදුණු අයෝමා දුලාංජලී ටජිකිස්තානය හමුවේ ලකුණු 5-0ක් යටතේද පරාජය ලබද්දී කි. ග්‍රෑ. 64 ලයිට් වෙල්ටර් බර පන්තිය යටතේ දිනිඳු සපරමාදු ටජිකිස්තානයේ උස්මොනෝව් බකදූර්ට එරෙහිව තරග වැදුණද සපරමාදු තරග නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ටජිකිස්තානයට ජයග්‍රහණය ප්‍රදානය කිරීමට විනිසුරුවරුන් තීරණය කිරීමද විශේෂත්වයකි.

කාන්තා බාස්කට් බෝල් තරගයකදී කොරියාව හමුවේ ලකුණු 21-08ක පරාජයක් ලබාගත්තද ඊයේ සිරියාවට එරෙහිව ලකුණු 15-12ක සියුම් ජයක් ලැබීමට ශ්‍රී ලංකා බාස්කට් බෝල් කණ්ඩායමට හැකිවූ අතර, පෙරේදා පැවැති කරාතේ කාතා (පිරිමි) තරගයකදී ශ්‍රී ලංකාවේ නියෝන් තරිඳු කොරියාව හමුවේ ලකුණු 5-0ක පරාජයක් අත්විඳගත්තේය.

මේ අතර කාන්තා පිහිනුම් ඉසව්වලින් රන් පදක්කම් 6ක් හා රිදී පදක්කම් දෙකක් දිනාගනිමින් මෙම ක්‍රීඩා උළෙලේ මේ වනවිට වැඩිම පදක්කම් ප්‍රමාණයක් දිනූ ක්‍රීඩිකාව බවට පත්වීමට ජපානයේ ඉකී රිකාකෝ සමත්වූවාය.

ඊයේ (26දා) අටවැනි දිනය වන විට චීනය තවදුරටත් පදක්කම් සටහනේ පෙරමුණ ගෙන සිටින්නේ රන් පදක්කම් 72ක්, රිදී පදක්කම් 57ක් හා ලෝකඩ පදක්කම් 33ක් දිනාගනිමිනි.

රන් පදක්කම් 39ක්, රිදී පදක්කම් 32ක් හා ලෝකඩ පදක්කම් 44ක් දිනා සිටින ජපානය දෙවැනි තැනත්, රන් 25ක් රිදී 29ක් හා ලෝකඩ 37ක් දිනා සිටින කොරියාව තෙවැනි තැනට පත්ව සිටී.
ඡායාරූප _ අංජන කලුආරච්චි

-mawbima



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More