GOSSIP

බස්නාහිර පළාත් සභාවේ පුටු ප‍්‍රශ්නය වූ කලී අපේ රටේ පසුගිය සතියේ තිබූ ජනප‍්‍රියම දේශපාලන මාතෘකාව හා දේශපාලන විහිළුව විය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක අත්තනගල්ලේ දී පසුගියදා රඟපානා ලද මාධ්‍ය භීතිකාව හා සම්බන්ධ අමුතු රඟපෑම පිළිබඳ පුවත සමාජයට එනතුරුම ඉසුර දේවප‍්‍රියගේ පුටු ප‍්‍රශ්නයට සමාජයේ ලොකු තැනක් හිමිව තිබුණු බව රහසක් නොවීය.

එක පුටුවක් රුපියල් 6,40,000 ක වටිනාකමකින් යුතුව පළාත් සභාව සඳහා අලූතෙන් පුටු ගෙන්වීමට මහ ඇමැතිවරයා ලෙස තමන් උපදෙස් දුන් බවද අවසානයේ මහ ඇමැතිවරයා පිළිගත්තේ මෙම පුවත සමාජයේ ඉතා ඉක්මනින් පැතිර ගිය පසුවයි…. පළාත් සභාවට පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරු පාවිච්චි කරන අන්දමේ පුටුවක් අවශ්‍ය වී ඇති බවද මහ ඇමැතිවරයා මේ සඳහා කියනු ලැබුවේ මන්ත‍්‍රීවරුන්ගේ වටිනාකමද තව තවත් ඉහළ නංවා පෙන්වා දෙමිනි.

මෙම පුවත සමහර මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ එක පුටුවක් ලක්ෂ හයහමාරක මිලක් වන බවය. එය දුටු දේශපාලනඥයෝ හොඳටම කිපී මාධ්‍යවලට දොස් පවරන්නට පටන් ගත්හ. ඔවුන් ඒ පුවත නිවැරදි කළෝය. පුටුවක මිල ලක්ෂ හයහමාරක් බඳු ඉහළ අගයක නොව, එය ලක්ෂ හයයි හතලිස් දහසක් ලෙස නිවැරදි විය යුතු බව දේශපාලනඥයෝ කීවේ මාධ්‍ය හිතාමතාම වටිනාකම වැඩි කර පෙන්වන්නට උත්සාහ දරන බවක් සමාජයට කියා පාමිනි.

මෙම ලාභ සුලබ උත්සාහය මාධ්‍ය සහ සමාජ වෙබ් අඩවි තව තවත් හාස්‍යයට ලක් කරමින් කතාබහ කරන්නට පටන් ගත්හ. එක්තරා සමාජ මාධ්‍යයක මෙම ආරංචියි පළවී තිබුණේ මෙසේය…

‘පලංචියේ ලී ඉරුවේ අපි එකට නොව, එකයි තිහට… පුටුවලට වියදම් කළේ හයයි පණහක් නොව, හයයි හතලිහක්… ..

පුටු අලකලංචිය ලොකු හාස්‍යයකින් යුතුව මේ ආකාරයට සමාජය පුරා ඉතා වේගයෙන් පැතිර යද්දී රජයට සිද්ධ වන අපහාසය හා අපහසුතාවය මග හරින්නට දෝ ආණ්ඩුකාරවරයා විසින් එම ඇනවුම වහාම අවලංගු කර දමනු ලැබූවේය. නිල වශයෙන් එම කතාව එතනින් ඉවර වුවත් සමාජයේ ඒ පිළිබඳව තිබුණු කතාබහ හා අවලාද අවසන් වූයේ නැත. අන්තිමේ මහ ඇමැති ඉසුර දේවප‍්‍රිය ට බස්නාහිර පළාතේ හෝ ඉන් පිට කිසිදු උත්සවයකට හෝ වැදගත් අවස්ථාවකට සහභාගි වන්නට බැරි තරමටම ඒ පුටු ප‍්‍රශ්නය නැගලා ගියේය…

ඉසුර නොකියාම
යන්න ගිහින්ලූ…

පසුගිය සතියේ මීගමුව ප‍්‍රදේශයේ පැවති එක්තරා මංගල උත්සවයකට සහභාගි වන්නට ද මහ ඇමැති ඉසුරට සිදුවිය… එහිදී ද යම් යම් අය මේ ප‍්‍රශ්නය පිළිබඳ ගැටලූ මතු කරන්නට වූ නිසා මහ ඇමැති ඉසුර තත්ත්වය නරක අතට හැරෙන්නට පෙර එතනින්ද ඉක්මනින් ඉවත් වන්නට කල්පනා කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ද මෙම මංගල උත්සවය සඳහා විශේෂ ආරාධනයක් කර තිබිණි. එම නිසා පසුගිය බදාදා මහින්ද මීගමුව බලා ගියේ හෙලිකොප්ටරයකිනි.

විවාහය පැවැත්වුණේ වෙරළබඩ හෝටලයකය. මහින්ද රැගත් හෙලිකොප්ටර් යානය වැල්ල ආසන්න ගොඩබාන ලදී. මහින්ද දුටු එහි සිටි විදේශිකයන් ඇතුළු බොහෝ පිරිස් ඡායාරූප ගැනීමට පොරකෑහ.

විවාහයේ දී එක් පාර්ශ්වයකින් මහින්ද අත්සන් තබන විට අනෙක් පාර්ශ්වයෙන් අත්සන් තැබුවේ ඉසුර දේවප‍්‍රියයි. ඉසුර සමග මහින්දට ද කතා කරන්නට උවමනා වී තිබිණි. එහෙත් අත්සන් තැබූ විගසම රෙජිස්ට‍්‍රාර්වරයා සුබපැතීමටත් පෙරාතුව මහින්ද වෙත ආ මනාල යුවල දණ ගසා වැඳ ආශිර්වාද ගන්නට පටන් ගත්හ.

සර්ගේ ආශිර්වාදය අපිට කාටත් වඩා වටිනවා කියමිනි. අනතුරුව මනාල යුවළත් නෑදෑ පිරිසත් ඡායාරූප ගත් නිසා මහින්දට පැයක් පමණ ගතවන තුරු විවේකයක් ලැබුණේ නැත.

ඡායාරූප ගැනීමෙන් පසුව මහින්ද පිරිසගෙන් ඇසුවේ…

‘‘දැන් මේ අපේ බස්නාහිර මහ ඇමැතිතුමත් මෙතන හිටියනේ… මට පොඞ්ඩක් එයත් එක්ක කතා කරන්න ඕන…

සංවිධායකයින් උත්සව භූමිය සිසාරා ඉසුර දේවප‍්‍රිය හෙව්වත් ඔහු සොයා ගන්නට නොහැකි විය…

කෝ මේ ඉසුර? නොකියම ගියාද? මහින්ද විමසන්නට විය. ඒ වන විටත් ඉසුර දේවප‍්‍රිය මහින්දටත් නොකියා පිටත්ව ගොස් තිබුණි.

‘ආ ඔව් සර් මහ ඇමැතිතුමා ගියා… මෙතන පුටු හරි නැහැ කියලා. එතැන සිටි අයකු කීවේ මේ දිනවල කතාබහට ලක්වෙමින් තිබෙන බස්නාහිර පළාත් සභාවේ පුටු ගනුදෙනුව ද සිහිපත් කරමිනි. එයට සැවොම සිනාසුණහ.

මේ පුටු හයියද… කියමින් පුටුවක් අල්ලා බලමින් මහින්ද එහි වාඩි වූයේ එතන හිටි අයට හොඳ විහිලූවක්ද කරමිනි….

මම මේ වටේම හෙව්වේ… අපේ මහ ඇමැතිතුමාව. එතුමා පුටු ගැන සැලකිලිමත් හින්දා එයා ළඟ වාඩිවෙන්න බයවෙන්න ඕන නැහැනෙ….

ඔව් සර්… දැන් එතුමට මහ ඇමැති නෙවෙයි කියන්නේ. කියන්නේ පුටුපති කියලනේ… කියමින් එම මේසයේ සිටි ආරාධිත ප‍්‍රභූන්ද එම විහිළුවට සහභාගි වූහ.

එජාප ඇමැතිවරයෙක්ම
මහින්දව පිළිඅරන්…

පසුගිය සති අන්තයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගාල්ල නගරයට ගියේ විශේෂ උත්සවයක් සඳහා සහභාගි වන්නට තිබූ ආරාධනාවක් නිසා ය…. උත්සවය පැවැත්වුණේ දකුණු පළාතේ නමගිය දේශපාලනඥයකු මෙන්ම මානව හිතවාදියකු ලෙස දිගු කලක් ජනතාවට සේවය කරමින් සිට ජීවිතයෙන් සමුගත් රිචඞ් පතිරණ මහතාගේ ගුණානුස්මරණ පින්කම ලෙසය… ජීවිතයෙන් සමුගෙන වසර 10 ක් ගතවීම නිමිත්තෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණේ රිචඞ් පතිරණ මහතා වෙනුවෙන් සැකසුණු විශේෂ නිර්පාක්ෂික කමිටුවක් විසිනි.

ඒ බැව් මනාව පිළිබිඹු වූයේ හිටපු ජනාධිපතිවරයා උත්සවයට යන විට ඔහුව පිළිගන්නට ඉදිරියට පැමිණේ එජාප දේශපාලනඥයාගේ සහභාගිත්වය නිසාය.

එම ගුණ සමරුවට ආ මහින්ද පිළිගත්තේ එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජේපාල හෙට්ටිආරච්චි විසිනි. විජේපාල කලක් රිචඞ් පතිරණගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළේය.

‘අපේ සර්ගේ උත්සවයට ආපු ඔබතුමා සාදරයෙන් පිළිගන්නවා. විජේපාල මහින්ද පිළිගනිමින් පැවසීය. උත්සවය අවසානයේ දී රමේෂ්, මොහාන්, විජේපාල සමඟ කතාකරමින් සිටින අතරතුර මහින්ද රිචඞ් සම්බන්ධ අතීත දේශපාලන කතා සිහිපත් කළේය. එසේම අධ්‍යාපන ඇමැතිවරයකු ලෙස රිචඞ්ගෙන් සිදු වූ සේවය ද මහින්දගේ ඇගයීමට ලක්විය.

‘අධ්‍යාපනයට සියයට 6ක් වෙන් කරනවා කියලා ආපු ආණ්ඩුව දැන් අධ්‍යාපනය කප්පාදු කරන්න යනවා. පාසල්වල සංවර්ධන කටයුතු නැවතිලා. පාසල් දුවවන්න යන්නේ මවුපියන්ගෙන් සල්ලි එකතු කරලයි. මේ වෙලාවට තමයි රිචඞ් වගේ අධ්‍යාපන ඇමැති කෙනෙක්ගේ වටිනාකම තේරෙන්නේ. මහින්ද පැවසීය.

‘ඒක හරි. අපිටත් මතකයි අපේ සර් ඒ කාලේ වැඩ කරපු හැටි. අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩ කිව්වොත් වෙන දෙයක් මතකවත් නැහැ. ඒ තරම් කැපවීමකින් වැඩ කළා. විජේපාල ද පැවසීය.

‘දැන් කොහෙද ඒ වගේ ඇමැතිවරු. දැන් ඉන්නේ කොහොම හරි තියෙන දෙයක් විකුණලා අතපිහදාගන්න බලන අයනේ. රමේෂ් කීවේය.

‘දැන් ඉන්න අධ්‍යාපන ඇමැතිට අධ්‍යාපනයට වඩා කරන්න වැඩ තියෙනවානේ. ළමයින්ගේ දේවල් සොයා බලල කරන්නේ නැතුව වෙන වෙන ව්‍යාපෘති කරන්නනේ එයාලට ඕනේ. මොහාන් පැවසීය.

පසුදා සෙනසුරදා දිනයක් වූ බැවින් මහින්ද සිටියේ තංගල්ල කාල්ටන් නිවසේය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායමේ සුසිල්, චන්දිම, ජෝන්, තිලංග, සුමේධා, සුදර්ශනී එදින කාල්ටන් නිවසට පැමිණ සිටියේ මහින්ද මුණගැසීමටය. එම සාකච්ඡාව පැය එකහමාරකට ආසන්න කාලයක් පැවැති අතර එහිදී සාකච්ඡා වූ කරුණු හෙළිදරව් කෙරුණේ නැත.

එහෙත් සාකච්ඡාව නිමවා එළියට පැමිණි චන්දිම මාධ්‍යවේදීන්ට කීවේ තිබෙන ගැටලූ නිරාකරණය කර ගත් බවත් ඉදිරියේ දී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එකතු වී කටයුතු කිරීමට සූදානම් බවත්ය.

මේ තෙල් අර්බුදය
ඇමරිකාව නිසාලූ…

පසුගිය සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ දී බොහෝ කරුණු කාරණා ගැන කතා බහ කරන්නට මැති ඇමැතිවරු බලාගෙන සිටියත් ඒ සඳහා අවස්ථාවක් නොලැබුණේ කැබිනට් රැස්වීම ඉක්මනින් අවසන් වූ නිසා ය. ජනාධිපතිවරයා යම් අසනීප තත්ත්වයකින් පසු වන බව පවසමින් ඔහුට ඉතා ඉක්මනින් යෑමට අවශ්‍ය බව කියා සිටියේ ය. මේ නිසා පැය බාගයකට පමණක් කැබිනට් මණ්ඩල
රැස්වීම සීමා විය.

එම කාලය තුළ කතාබහ කළ කාරණා අතර වඩාත් වැදගත්ම කාරණය වූයේ රට හමුවේ ඇති බරපතළ ගැටලූවක් ලෙස පෙනෙන ඉරාන ඉන්ධන ගැටලූවයි. ඉරානයෙන් ශ‍්‍රී ලංකාවට බොරතෙල් ආනයනය කරද්දී ඔවුහු අපට සෑහෙන වාසියක් සලසා තිබිණි. ඉරානයට බොර තෙල් සඳහා විශාල මුදලක් අපෙන් වැය වුවත් ඉන් සැලකිය යුතු කොටසක් අපේ රටේ තේ සඳහා හිලව් කර ගන්නට අපට හැකි විය. ඉතිරි කොටස ඇමරිකන් ඩොලර් වලින් ඉරානයට ගෙවීමට අපට සිදුව තිබිණි. මේ සඳහා අර්බුදයක් පැන නගින්නට පටන් ගත්තේ ඇමරිකාව විසින් පසුගියදා ඉරානය වෙත සම්බාධක පනවන්නට පටන් ගැනීමත් සමගය. එතැන් සිට ඇමරිකන් ඩොලරය හරහා ඉරානය සමඟ ගනුදෙනු කරන්නට කිසිවකුටත් නොහැකි විය.

ලංකාවට තෙල් අර්බුදය පැන නගින්නට වූයේ එතැන් සිට ය. පසුගිය කැබිනට් රැස්වීමේදී මෙම තත්ත්වය වඩාත් ගැඹුරෙන් ගැඹුරින් සාකච්ඡාවට ගැනිණි.ඉරානයෙන් තෙල් ගන්න බැරි නම් අපට පහසුවෙන් තෙල් ගන්න පුළුවන් වෙනත් රටවල් හොයලා බලන්න… ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

ඉරානයෙන් අපි ගෙන්වාගන්නේ ‘මර්බන්. කියන වර්ගයට අයත් බොරතෙල් තමයි. මර්බන් කියන වර්ගය තමයි අපේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ තිබෙන තාක්ෂණයට ගැලපෙන්නෙ. ඉරානයෙන් නැතුව වෙන කොයි රටකින් හරි තෙල් ගේනවා නම් අපිට සපුගස්කන්ද වහලා දාන්නයි වෙන්නේ… අර්ජුන රණතුංග අර්බුදය පැහැදිලි කළේය….

අපිට ඇමරිකානු ඩොලර්නේ පාවිච්චි කරන්න බැරි…. එහෙමනං අපි බලමු ඉරානයත් එක්ක කතා කරලා අපේ රුපියල පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. එහෙම පුලූවන් උනා නම් ගැටලූවක් නැහැ…. සරත් අමුණුගම පෙන්වා දුන්නේ ය.

ඒ අනුව එම කරුණ පිළිබඳ ව ගැඹුරින් මැදිහත් වී සාකච්ඡා කරන්නට සරත් අමුණුගමගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපතිවරයා විශේෂ කමිටුවක් පත් කරනු ලැබී ය.

ඉන් පසුව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න සයිටම් ආයතනයේ වෛද්‍ය ශිෂ්‍යයන් ගැන විශේෂ පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

සයිටම් එකේ ඉගෙන ගත්ත වෛද්‍ය සිසුන් මේ වන විට කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයට අනුයුක්ත කරල තියෙනවා. ඔවුන් අතර ඉතාම දුප්පත් ළමයිනුත් ඉන්නවා. ඒ ගොල්ලෝ එක පාරක් සල්ලි ගෙව්වා. එහෙම තියෙද්දි ආයෙත් ලක්ෂ 13ක් ගෙවන්න ඒ ගොල්ලන්ට කරන්න බැරි වැඩක්. ඒක නිසා සහනයක් ලබාදෙන්න ඕන.

අපි මේ ප‍්‍රශ්නය ගැන අගමැතිතුමත් එක්ක සාකච්ඡා කරළ තීරණයක් ගමු. ජනාධිපතිවරයා කීවේය. එතනින් එහාට ගිය ලොකු සාකච්ඡා කිසිවක් මෙවර කැබිනට් මණ්ඩලය තුළ නොවීය. ජනාධිපතිවරයා ආපසු යන්නට ගිය බැවින් ඇමැතිවරු ද විසිර ගියහ.

දිගම්බරන් අගමැතිට
චරිත සහතිකයක්…

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ පසුගිය සතියේත් කාර්ය බහුලව සිටියේ මේ දිනවල තිබෙන අධික වැඩ රාජකාරි නිසා ය. කොළඹ තිබෙන පක්ෂයේ වැඩකටයුතු, රජයේ වැඩ කටයුතු ආදී සියල්ලට අමතර ව පිට පළාත්වල ද ඔහුගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු උත්සව හා නිල කටයුතු බොහෝ නිසා ඔහුට කොළඹින් බැහැරව යන්නට ද සිදු විය.

පසුගිය සතියේ ඔහු නුවරඑළිය බලා පිටත්ව ගියේ වතු කම්කරුවන් වෙනුවෙන් ඉන්දීය රජය ත්‍යාග කළ නිවාස ව්‍යාපෘතියක් මහජන අයිතියට පැවරීමේ උත්සවයකට සහභාගි වන්නට ය. ඉන්දීය මහ කොමසාරිස්වරයාගේත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේත් ප‍්‍රධානත්වයෙන් පැවැත් වුණු මෙම නිල උත්සවයට ඇමැති දිගම්බරම් ඇතුළු ප‍්‍රදේශයේ දෙමළ හා සිංහල දේශපාලනඥයෝ විශාල පිරිසක් සහභාගි වී සිටීම විශේෂත්වයක් විය.උත්සවයේ දී දෙමළ වතු කම්කරු ජනතාව අමතමින් ඇමැති දිගම්බරම් විශේෂ කතාවක් කළේය. ඔහු කීවේ පසුගිය ආණ්ඩුව කාලයේ සිටි අවස්ථාවාදී දෙමළ දේශපාලනඥයෝ කරනු ලැබුවේ රජයේ ප‍්‍රතිලාභ ලබාගෙන දෙමළ ජනතාව අතරේ ඒවා බෙදා හදා දෙනවා වෙනුවට තමන්ට කොටසක් වැඩිපුර බෙදා ගන්නා බවය. එහෙත් වර්තමානයේ මෙම රජයේ නායකත්වය යටතේ රජයෙන් ජනතාවට ලබාදෙන පහසුකම් හා ප‍්‍රතිලාභ සියල්ල ජනතාවටම දෙන්නට හැකියාවක් ලැබී ඇති බව දිගම්බරන් කීවේය. එපමණක් නොව, වතු කම්කරුවන්ට නිවාස දෙනවාට අමතරව පර්චස් 7 ක ඉඩමක් ලබා දී පොදු පහසුකම් ලෙස පාසල්, රෝහල් මාතෘ නිවාස ඇතුළු සියල්ල ඉටු කරමින් දෙමළ ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිට වන්නට තමන්ට හැකි වී ඇත්තේ අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රමුඛ රජයේ ක‍්‍රියාකලාපය නිසා බව දිගම්බරන් පෙන්වා දුන්නේය.

මේ නිසා නිසැකවම වතු කම්කරු දෙමළ ජනතාව ඊළඟ වතාවේ අගමැති රනිල්ව මේ රටේ ජනාධිපති කරන එක නිසැක බව දිගම්බරන් කීවේ දෙමළ ජනතාවගේ ද වැඩි ප‍්‍රතිචාර මතය.

නුවරඑළිය දිස්ත‍්‍රික් නායක නවීන් දිසානායක මේ අතර තවත් විශේෂ උත්සවයක් නුවරඑළියේ සංවිධානය කර තිබිණි. ඒ වූ කලී නුවරඑළිය දිස්ත‍්‍රික් එජාප බල මණ්ඩලය පිහිටුවීමේ කටයුත්තයි. මේ සඳහා නවීන් පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම්ට ද ආරාධනා කර තිබිණි. අකිල හා නවීන් එකතු වී දිස්ත‍්‍රික් බල මණ්ඩලය කැඳවා එම රැස්වීම ද සාර්ථකව කළ බැවින් වතු කම්කරුවන්ට නිවාස බෙදා දීමේ උත්සවය සඳහා ඔවුන් දෙදෙනා පැමිණෙන විට තරමක් ප‍්‍රමාද වී තිබිණි.

එහෙත් අගමැතිවරයාට වතුකරයේ ජනතාව හා නායකයන් සහභාගි වන ඉතා සාර්ථක උත්සවයකට සහභාගි වන්නට මේ සියලූ දෙනා එකතු වී ඉඩකඩ සලසා තිබීම විශේෂත්වයක් ලෙස දැකගත හැකි විය.

පසුගිය සතියේ අගමැති රනිල් වික‍්‍රමසිංහ තවත් විශේෂ ආගමික උත්සවයකට සහභාගි වන්නට මන්නාරම ප‍්‍රදේශයට ගියේය. ඒ වූ කලී මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයයි. අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප‍්‍රධානත්වයෙන් මඩු දේවස්ථානයේ දී පැවැත්වුණු මෙම විශේෂ දේව මෙහෙයට හා උත්සවයට සහභාගි වන්නට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහට අමතරව දිවයිනේ සිටින කතෝලික දේශපාලනඥයින් විශාල පිරිසක් සහභාගී වී සිටීම ද විශේෂත්වයක් විය. මෙහිදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ පෙන්වා දුන් එක් විශේෂ වැදගත් කාරණයක් වූයේ මඩු දේව මාතාව එක් ආගමකට පමණක් සීමා වූ දේව මාතාවක් ලෙස ලාංකීය ජනතාව නොපිළිගන්නා බවයි. මඩු මාතාවට වන්දනාමාන කරන්නට කතෝලික ජනතාව මෙන්ම දෙමළ හින්දුන් ද සිංහල බෞද්ධයින් ද ඉස්ලාම් මුස්ලිම්වරුන්ද පැමිණෙන්නේ මේ සුවිශේෂී ලක්ෂණය නිසා බව රනිල් වික‍්‍රමසිංහ පෙන්වා දුන්නේය.

මැල්කම් රංජිත් හිමිපාණන් ද අගමැතිවරයාගේ එම අදහස අනුමත කරමින් විශේෂ කතාවක් කළේය. ඒ ආකාරයෙන් කාර්යබහුල වී සිටි අගමැතිවරයා බ‍්‍රහස්පතින්දා උදේ සුවිශේෂී විදේශ නියෝජිත පිරිසක් හමු වීමට ඉතා වේලාසනින් අරලියගහ මන්දිරයට ආවේය. ඔහුට එදින තම විශ්වාසවන්ත දේශපාලනඥයින් සමග කතාබහ කරන්නට ද බොහෝ කරුණු කාරණා තිබුණු බව පැහැදිලි විය.

‘‘හුස්ම ගත්ත වසර තුනක්….. කියලා අපි යොදාගත්ත තේමාව තුළින් හොඳ කතන්දර කීපයක්ම ඒත්තු

ගැන්වෙනවා…. ඒක හරි ලස්සන යෙදුමක් සජිත් පේ‍්‍රමදාස පෙන්වා දුන්නේය.

සජිත් එසේ කියද්දී නවීන් දිසානායක ද එම අදහස අනුමත කරමින් විශේෂ අදහස් දැක්වීමක් කළේය..

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම කියන පැත්තෙන් විතරක් නෙවෙයි… මේ රටේ දැවෙන ප‍්‍රශ්න විශාල ප‍්‍රමාණයක් විසඳලා ජනතාවට හුස්ම ගන්න නිදහස ලබා දුන්නු අවුරුදු තුනක් විදිහට තමයි අපි මේ අවුරුදු තුන නම් කරන්නේ… අමාත්‍යවරයා කීවේය.

අද මේ රටේ ජනතාව කොයිතරම් නිදහසක් භුක්ති විඳිනවා ද නිදහස් ආර්ථිකයක් තියෙනවා. නිදහස් අධ්‍යාපනයක් තියෙනවා. ගම්වල නගරවල පාසල්, ගෙවල් දියුණු කරන්න අපි කොයිතරම් මුදලක් වෙන් කරලා තියෙනවද?

”ගම හදන්න ම රුපියල් දස ලක්ෂ අසූ දාහක අති විශාල මුදලකුත් අපි ඊළඟ වසරේදීත් වෙන් කරනවා. රජයේ සේවකයන්ගේ පඩි පත පවා අපි රුපියල් 10 000 න් එකවර වැඩි කළා. සමෘද්ධි ආදායමත් වැඩි වුණා. විශ්වවිද්‍යාල දරුවන්ට දෙන ශිෂ්‍යත්ව අරමුදල් පවා වැඩි කරලයි තියෙන්නෙ. ඉස්සර ජාත්‍යන්තරය අපිට වට දාලා පහර දුන්නා. දැන් එහෙම ප‍්‍රශ්නයක් නෑ හැමෝම අපි දිහා යහපත් විදිහට බලන්න පටන් අරන්. ඒත් අර රාජපක්ෂ නඬේ ගොයියලා තවම එකිනෙකා මරා ගන්නවා.”

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ ලොකු විස්තරයක් කළේ පසුගිය වසර තුනක කාලය තුළ කළ කී දේවල් පිළිබඳ ව ය.

කොළඹ වටලන්න
එන්නේ බලාගෙනලූ…

ඒගොල්ල සැප්තැම්බර් 5 වෙනිදා ඒකාබද්ධ විපක්ෂය විදියට කොළඹම වටලන්න එනවා කියලයි තර්ජනය කරන්නේ… දැන් ඔය විදියට මේගොල්ල කීපාරක් කොළඹ වටලලා තියෙනවද? ආණ්ඩුවට පුංචි බලපෑමක්වත් කරන්න ඒ කිසිදේකින් එයාලට බැරි වුණා. සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කියාගෙන කියාගෙන ගියේය.

විරෝධතාවලට ඕන කෙනකුට ඉඩ තියෙනවා. හැබැයි ඉතින් ප‍්‍රචණ්ඩ ක‍්‍රියා කරලා එහෙම රාජ්‍ය දේපළ හානි කරන්න පටන් ගත්තොත් කාට උනත් නීතිය එකයි. රාජ්‍ය දේපළ හා සාමය රැක ගැනීම කියන එක තමයි ආණ්ඩුවක වගකීම… සජිත් පේ‍්‍රමදාස තරමක් වේගයෙන් දැඩිව කියා සිටියේ ය.

මොකක්ද අර නිවාඩු මාසවල ගුරු වැටුප් නවත්වනවා ය කියලා බොරුවක් ප‍්‍රචාරය වෙමින් තියෙන්නේ… අකිල එහෙම දෙයක් කියලා නැහැ… ඒක අලි බොරුවක්. අවස්ථාවාදීන් විසින් හැමතැනම පතුරවනවා. කවුද ඔය වගේ ආරංචි පතුරුවා හරින්නේ කියලා හොයලා බලන්න පොලිසියට උපදෙස් දෙන්න වේවි… නවීන් දිසානායක අදහසක් ලෙස අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.

රවුෆ් හකීම්ලා, මනෝ ගනේෂන්ලා ගිහිල්ලා මහින්ද හමුවෙලා කතාබහ කරලා තියෙනවා කියලත් කියනවා. ඒගොල්ලො එහෙම කළේ නැහැ කියන්නෙත් නැහැ. එතන මොකක් හරි දේශපාලනයක් තියෙනවද දන්නේ නැහැ නේද…දයා ගමගේ අගමැතිවරයාගෙන් ඇසුවේය…..

ඒගොල්ල මහින්ද හමුවෙන්නේ යන්න කලින් මාත් එක්ක කතා කළා. සමහරු කියන විදියට පිල් මාරුවක් හෝ ආණ්ඩු පෙරළියක් ගැන එයාලා කතා කරලා නැහැ. මට ඒගොල්ල කතා කරලා කිව්වා කතා කළේ මොනාද කියලත්… විස්තර කිව්වා.

පළාත් සභා ක‍්‍රමය, ඡුන්දෙ තියන හැටි ගැන ඒව තමයි කතා කරලා තියෙන්නේ… අනිත් එක පළාත් සභා පිළිබඳව මේ තියන අලූත් නීතිය අඩුපාඩු සහිතයි. ශ‍්‍රී ලංකා එක කියනවා ඒගොල්ලන් පරණ ක‍්‍රමයට කැමති නැහැ කියලා. ජී. එල්. පීරිස්ලා කියනවා ඕනෑම ක‍්‍රමයකට ඔට්ටුයි කියලා… හැබැයි අපි නම් කියන්නේ පරණ ක‍්‍රමයට ඡුන්දය තිව්වොත් ජනවාරියේදී ඡුන්ද තියන්න පුළුවන්…

අලූත් සීමා නිර්ණය වැඩපිළිවෙළට කැමතිද නැද්ද කියල අපිට පාර්ලිමේන්තුවේදී තර්ක කරල කතා කරන්න පුළුවන්… අගමැතිවරයා පැති ගණනාවක් පිළිබඳව තමා තුළ වූ අවබෝධය පැහැදිලි කළේය.

ඉන්පසුව සැවොම දුම්රිය සේවකයින්ගේ වර්ජනය ගැන කතා කරන්නට පටන් ගත්තේය. එහිදී ලක්ෂ්මන් කිරිඇල්ල පෙන්වා දුන්නේ දුම්රිය වර්ජකයෝ අසාධාරණ ලෙස කටයුතු කර අන්තිමේ දී ජනාධිපතිවරයා ගේ ඇෙඟ් එල්ලී වරදට සමාව ගත් බවය.

දුම්රිය කට්ටිය නම් නිකම්ම මට්ටු වුණා… ඒ පාර දැන් බස්කාරයෝ ටික පාරට බහින්න පටන් අරගෙන තියෙනවා… මේ දඩ වගයක් අල්ලගෙන.

උසස් පෙළ දරුවෝ ප‍්‍රාණ ඇපයට තියාගෙන මේ මිනිස්සු මේ දාන සෙල්ලම් ගැන ආණ්ඩුව සුළුවට තකන්න නරකයි… වජිර අබේවර්ධන දැඩි ක‍්‍රියාමාර්ග ගත යුතු යැයි පෙන්වා දුන්නේය.

ඉන්පසුව චමින්ද විජේසිරි කීත් නොයාර්ගේ පැහැරගෙන යෑම පිළිබඳව මහින්ද රාජපක්ෂගේ මැදිහත් වීම සම්බන්ධයෙන් විස්තර කියන්නට පටන් ගත්තේය.

ඊ. ටී. අයි. තැන්පත්කරුවන්ගේ ප‍්‍රශ්නය ගැනත් මැති ඇමැතිවරු අගමැතිවරයාගේ අවධානය යොමු කරමින් කතා කළහ.

ආණ්ඩුව මහ බැංකුව හරහා මේ ප‍්‍රශ්නවලට මැදිහත් වෙලා ඉවරයි… පුද්ගලික ආයතනයක් කරපු වරදකට ආණ්ඩුවට බැහැ ආණ්ඩුවේ මුදල් දාලා ජනතාවට වන්දි ගෙවන්න. ඒ ආයතනයට ගොඩක් දේපල තියෙනවා. ආණ්ඩුවට පුළුවන් නිසි ක‍්‍රියාමාර්ගයක් අරගෙන එම දේපල පාවිච්චි කරලා තැන්පතුකරුවන්ට උපරිම සාධාරණය ඉටු කරන්න. ඒ සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගනිමින් තමයි අපි ඉන්නෙ…. අගමැතිවරයා කීවේය.

ඉන්පසුව ලක්ෂ්මන් කිරිඇල්ල අමුතු ණයක් ගැන ප‍්‍රශ්නයක් මතු කළේය. රාජ්‍ය බැංකුවක අධ්‍යක්ෂවරයෙකු ලෙස ඉන්න කෙනෙක් රුපියල් කෝටි 1000 විශාල ණයක් ගැනීම සඳහා දරන උත්සාහයක් පිළිබඳව පත්තරවලින් අසන ප‍්‍රශ්න ගැන ඔහු විස්තර කළේය. මම බැංකු භාරගන්න කලිනුත් මේ දේවල් වෙලා තියෙනවා. ඒ බැංකු සභාපතිගෙන් මම මේක ඇහුවා…. කලින් ගත්තු ණය එයා හොඳට ගෙවලා තියෙන හින්දා මේ ණය ගැන බයක් නැහැ කියලා සභාපති මට සහතික වුණා… කිරිඇල්ල පෙන්වා දුන්නේය.

බැංකු අධ්‍යක්ෂකම් වල හිටියයි කියල නීතියට අනුකූලව එම බැංකුවේ ණයක් ගන්න කාට උනත් කිසිම බාධාවක් නෑ… ඒක ඉතින් නිසි ක‍්‍රමවේදයට කෙරෙන්න ඕන. ඒකයි වැඬේ… ඇමතිවරු කීහ.

මේ අයුරින් පසුගිය සතියේ දේශපාලන කටයුතු ගැන අගමැතිවරයා සමග කතා කරමින් බොහෝ වේලාවක් රැඳුණු ඇමැතිවරු විසිර යන්නට පටන් ගත්තේ අගමැතිවරයාට ද තවත් විශේෂ රාජකාරි කිහිපයක් කරන්නට ඉතිරිව ඇති බව බවට ලද සංඥාව නිසාය.

තනි වුණොත් මෙහෙමලූ
එකතු වුණොත් අරමලූ…

poli2දුම්රිය වර්ජනය බස් වර්ජනය ඇතුළු වෘත්තීය සමිති ක‍්‍රියාකාරිකයින්ගේ බලපෑම් රැසක් සමාජයට පසුගිය සතියේ තිබූ බැවින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමු වන්නට සමිති නියෝජිතයෝ රාශියක් ම උනන්දුවෙන් සිටියහ. සාකච්ඡාවක් සඳහා ඔවුන් හිටපු ජනාධිපතිවරයාගෙන් අවස්ථාවක් ඉල්ලමින් පසු වූහ.

ඒ අනුව වෘත්තීය සමිති නියෝජිතයන් සහභාගී වූ විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය 13 වැනිදා නාරාහේන්පිට අභයාරාමයේ දී පැවැත්විණි. වෘත්තීය සමිති සියයක පමණ නියෝජිතයන් සහභාගි වූ එම රැස්වීමට දිනේෂ්, වාසු, කොල්ලූරේ, ලොකුගේ ඇතුළු පිරිසක් ද සහභාගි වී සිටියහ.

එහිදී විශේෂයෙන් සාකච්ඡාවට ලක්කෙරුණේ ආණ්ඩුව වෘත්තීය සමිති ව්‍යාපාරය මර්දනය කිරීම සඳහා ගෙන යන ඒකාධිපති වැඩපිළිවෙළ සම්බන්ධයෙනි. ඒ සම්බන්ධයෙන් එක් එක් වෘත්තිය සමිතිය වෙන වෙනම කරුණු ඉදිරිපත් කළහ.

අපි ආණ්ඩුවේ මර්දනයට එරෙහිව තනි තනිව සටන් කරලා වැඩක් නැහැ. එකට එකතු වෙලා සටන් කළ යුතුයි. ශ‍්‍රී ලංකා නිදහස් දුම්රිය සේවක සංගමයේ නදීර මනෝජ් පෙන්වා දුන්නේය. ඒ කතාව ඇත්ත. මේ වගේ මර්දනකාරී පසුබිමක අපි හුදකලා සටන් කරන්න ගියොත් පරදිනවා. සියලූ බලවේග එකතු කරගෙන එක සටනක නියැළුණොත් ආණ්ඩුවට අපිව පරද්දන්න බැරි වෙනවා. වාසු පැවසීය.

‘පහුගිය කාලේ අපි ආණ්ඩුවට විරුද්ධව තනිව කරපු ඇතැම් සටන් දිනුවා. ඇතැම් සටන් පැරදුණා. දිනුව සටන්වලින් වුණත් අපි බලාපොරොත්තු වෙච්ච ප‍්‍රතිඵල ලැබුණේ නැහැ. ඒ නිසා අපේ සටන් මෙහෙයවන්න ඒකාබද්ධ වෘත්තීය සමිති සටන් මධ්‍යස්ථානයක් අවශ්‍යයි. ඩබ්ලිව්. එච්. පියදාස පෙන්වා දුන්නේය.

‘එහෙම මධ්‍යස්ථානයක් තිබුණොත් මේ සටන් මෙහෙයවන්න වගේම ජයග‍්‍රහණය කරන්නත් පහසුයි.

අපි තනි වෙලා ඉන්නකොට ආණ්ඩුවට අපිට ගහන්න ලෙසියි. අපි එකතු වුණොත් ආණ්ඩුව වුණත් අත දාන්න ඉක්මන් වෙන්නේ නැහැ. ඩලස් පැවසීය.

‘මේ වගේ ආණ්ඩුවලට එරෙහිව කටයුතු කරන කොට සියලූදෙනාම එකතුවෙන් කටයුතු කරන එක තමයි ලොකුම හයිය. ලොකුගේ කීවේය.

‘මමත් අවුරුදු ගණනාවක් වෘත්තිය සමිති එක්ක වැඩ කරපු කෙනෙක්. එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවල මර්දනකාරී වැඩපිළිවෙළ මම හොඳාකාරව දන්නවා. හොඳින් බැරි නම් නරකින් හරි වෘත්තිය සමිති පරාජය කිරීම තමයි එයාලගේ එකම අරමුණ. ඒ හින්දා අපි එකට එකතු වෙලා ඉමු. එකතු වෙලා ඉන්න කොට ආණ්ඩුවට අපිව මර්දනය කරන්න ලේසි නැහැ. මහින්ද පැවසීය.

‘ආණ්ඩුවේ දැන් එකම අරමුණ රාජ්‍ය ආයතන ටික විකුණලා දාන එකයි. ඒ නිසා අපි විකුණන්න නියමිත ආයතනවලට ගිහින් විරෝධය පාමු. දිනේෂ් කී කතාවට කාගෙත් අනුමැතිය ලැබුණු අතර ඒ අනුව තීන්දු කෙරුණේ ලබන සතියේ දුම්රිය දෙපාර්තමේන්තුවට ගොස් විරෝධය පෑමටය.

මේ අතර මෙම සාකච්ඡාවට එක්ව සිටි මහින්ද කහඳගමගේ වලියක් ඇද ගත්තේ ත‍්‍රීරෝද රථ සංගමයේ සභාපතිවරයා සමගය. කහඳගමගේ කීවේ තමන් රිමාන්ඞ් කරවීමට දායක වූ අයත් මෙම සාකච්ඡාවට පැමිණ සිටින බවය. එවැනි අය සමග එකට කටයුතු කළ නොහැකි බවත් ඔහු පැවසීය.

‘මේක ඕවා ගැන කතා කරන වේලාවක් නෙමෙයි. අපි කවුරුත් මහන්සි වෙන්නේ ආණ්ඩුවක් හදන්න. ආණ්ඩුවක් හදන්න නම් අපි කැමැති අය විතරක් එකතු කරගෙන බැහැ. ඒකට ආණ්ඩු විරෝධී සියලූ පාර්ශ්ව එක වේදිකාවකට ගේන්න ඕනේ. එතැන අපි කැමැති අය වගේම අකැමැති අයත් ඉන්න පුළුවන්. හැබැයි අපි පෞද්ගලික කෝන්තර අමතක කරලා එකමුතුව වැඩ කරන්න ඕනේ. එහෙම නැතුව මේ සටන දිනන්න බැහැ. මහින්ද දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.

සැප්තැම්බර් මාසයේ එක්සත් ජාතික පක්ෂයෙත් ඉන් පසුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේත් පක්ෂ සම්මේලන උත්සව පැවැත්වෙන බව නොදන්නා කෙනෙකු නැති තරම් ය. පක්ෂ දෙකම පසුගිය දවස්වල යම් යම් තැන්වල දී මේ සම්මේලන උත්සව පවත්වන්නේ කෙසේද කියා සාකච්ඡා කරන්නට පටන් ගත්හ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ ද ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය දිනවල මේ පිළිබඳව සාකච්ඡා වාර කිහිපයක් ම පවත්වනු ලැබූහ.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලනඥයෝ පසුගිය දිනවල ? දවල් නොබලා වෙහෙසෙන්නට වූයේ ලබන සැප්තැම්බර් 5 වැනිදා පැවැත්වීමට බලාපොරොත්තුව සිටින කොළඹ වැටලීමේ මහජන බලවේගය සාර්ථක කර ගැනීම සඳහා ය. විපක්ෂනායක පුටුව සඳහා පසුගිය දිනවල කරනු ලැබූ සංවාදවලින් හොඳටෝම හෙම්බත් වී සිටි විපක්ෂයේ දේශපාලනඥයෝ සියල්ලෝම එකාවන් ව මෙම කටයුත්තට ගම් මට්ටමට ගොස් ජනතාව සංවිධානය කරන අයුරු අපට පසුගිය සතියේ දැක ගත හැකි විය.

තිස්ස අත්තනායක
අලූත් කරළියකට…

මේ අතර අපේ දේශපාලන කතිකාවේ අලූතෙන් කතාබහ කරන්නට පටන් ගෙන තිබෙන කාරණයක් ද විය. ඒ වූ කලී තිස්ස අත්තනායකගේ වර්තමාන දේශපාලන ක‍්‍රියාන්විතයයි. පසුගිය වසර තුනක හතරක කාලය තුළ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක පසු වූයේ නිහඬ දේශපාලන පිළිවෙතක ය. ඔහු නිහඬව සිටිමින් දේශපාලනයේ සිදුවෙන නොයෙකුත් ආකාරයේ හැලහැප්පීම් හොඳින් අධ්‍යයනය කරමින් සිටියේය.

එක්සත් ජාතික පක්ෂයෙත්, ඉන් ඔහු ඉවත් වී සම්බන්ධ වූ මහින්ද බලවේගයේත් ශක්‍යතා මෙන්ම දුර්වලතා ඔහුට හොඳින් පෙනෙන්නට පටන් ගත්තේ මේ කාලය අතරතුරයි. නඩුහබ හා නීතිමය වැඩකටයුතු නිසා තිස්ස බොහෝසේ හිටියේ තම දේශපාලන මතය හා අභිමතාර්ථය පිටස්තර ලෝකයාට සන්නිවේදනය නොකරන තත්ත්වයකය. එහෙත් එම ප‍්‍රතිපත්තියේ සැමදාම කටයුතු කළ නොහැකි බව අවසානයේදී තිස්ස අත්තනායක තේරුම් ගත්තේය. ඔහු ස්වාධීනව තමන්ගේ දේශපාලන වටපිටාව හෙළිපෙහෙළි කර ගනිමින් අලූත් ගමනක් යන්නට සූදානම් වූයේ ඉන් පසුවයි.

ඉදිරියේදී ඕනෑම වෙලාවක ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන ජනාධිපතිවරණයකදී ජනාධිපති අපේක්ෂකයකු ලෙස සහභාගී වන්නට දැන් තිස්ස අත්තනායක සූදානම්ය. ඔහු පසුගිය කාලය මුළුල්ලේම පසුවූයේ ඒ පිළිබඳව අධ්‍යයනයක ද නිරත වෙමිනි. එක්සත් ජාතික පක්ෂයේ පසුගිය කාලයේ හා වර්තමානයේ සිටින මහලේකම්වරුන් මෙන් නොව, තිස්ස අත්තනායකට එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ පටන් ඉහළම මට්ටම දක්වා දශක තුනක පමණ කාලයක් තිස්සේ වර්ධනය වුණු සම්බන්ධතා බහුලය. මේ සියලූ සාධක ගොනු කොට ගනිමින් නව ගමනකට මුල පුරන්නට තිස්ස කල්පනා කළේ රටේ ප‍්‍රධාන දේශපාලන ප‍්‍රවාහයන් දෙකම පසුගිය කාලයේ තිස්සගෙන් ප‍්‍රයෝජනයක් ගන්නට කල්පනා නොකළ පසුබිමක් තුළය.

ඔහු කියන අන්දමට තිස්ස අත්තනායකට එක්සත් ජාතික පක්ෂයේ ඡුන්ද පොළ මට්ටමේ පටන් ඉහළට තිබෙන සම්බන්ධතාව උපයෝගී කරගනිමින් රටපුරාම එක් ඡුන්ද මධ්‍යස්ථානයකින් ඡුන්ද 25 බැගින් ලබාගත්තත් අවසාන ඡුන්ද ප‍්‍රතිඵලය ලක්ෂ ගණනාවකි.

එවන් ප‍්‍රතිඵලයක් ලබාගැනීමට තිස්සට අමාරු නොවනු නිසැකය. ඔහු දේශපාලනයට නව මාවතකින් පිවිසියේ එම ශක්තිය තමන්ට ඇති බව හොඳාකාරව පැහැදිලි කර ගනිමිනි.

පසුගිය සතියේ තිස්ස අත්තනායක මේ රටේ දේශපාලන ක්ෂේත‍්‍රයේ ඉහළ සම්බන්ධතා ඇති උගතුන් ගණනාවක් සමග සාකච්ඡා කළේ ය. ඔහු තම අදහස ඔවුන් සමග සාකච්ඡාවට ලක් කළේය. ඒ සෑම තැනකදීම තිස්සට ඉතා හොඳ ප‍්‍රතිඵල ලබාගත හැකි විය. මේ නිසා ඔහු පසුගිය සතියේ දන්නා හඳුනන මිතුරන් හැමෝටම කීවේ නිසැකවම ඊළඟ ජනාධිපතිවරණයට තුන්වන පාර්ශ්වය ලෙස තමන් ඉදිරිපත් වීමට කල්පනා කරන බවයි.

තිස්සගේ මේ ඉදිරිපත් වීම ගැන මධ්‍යස්ථ දේශපාලන නිරීක්ෂකයෝ ද පසුගිය සතියේ යම් යම් දේශපාලන තුලනාත්මක මත අප‍්‍රසිද්ධියේ පළ කරන්නට පටන් ගෙන සිටියහ. එක්තරා මතයක් ඒ අතර පළවිය. ඒ මතයට අනුව තිස්සගේ වැදගත්කම නිසැකවම දැනෙන්නේ නුදුරු ජනාධිපතිවරණයේදී ය. යම්හෙයකින් කිසිදු අපේක්ෂකයෙකුට ඡුන්ද ප‍්‍රතිඵලයේ 50% ප‍්‍රතිඵල ප‍්‍රතිශතය ඉක්මවන්නට නොහැකි වූ අවස්ථාවකදී තිස්ස අත්තනායක වැනි තුන්වැන්නකුගේ මැදිහත්වීම ඉදිරියේදී ඉතා වැදගත් වනු ඇති බවය. මෙවන් සාකච්ඡා රැසකට ඉලක්ක වෙමින් තිස්ස අත්තනායක ද පසුගිය සතියේ ඉතා ක‍්‍රියාකාරී සමාජ කර්තව්‍යයන් රැසකට සහභාගිවෙමින් කාර්ය බහුලව සිටි බව පැහැදිලි විය.

සී අයි ඞී එකෙන්
මහින්ද කැඳවා නෑ…

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීම 14 වැනිදා විජේරාම පෙදෙස් නිල නිවසේ දී පැවැත්වුණේ මහින්දගේ ප‍්‍රධානත්වයෙනි. මෙම හමුව තීරණාත්මක හමුවක් බවට පත්ව තිබුණේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ලබාගැනීමට නම් ස්වාධීන වනවා ද නැද්ද යන අවසන් තීන්දුව ගැනීමට නියමිතව තිබුණු නිසාය.

සාකච්ඡාව ආරම්භ වීමට පෙර පවිත‍්‍රා, මහින්දානන්ද, සී. බී., ප‍්‍රසන්න ඇතුළු පිරිසක් මහින්ද සමග ඇතුළු කාමරයක සුහද කතාබහක නියැළෙමින් සිටියහ. ඒ අතරතුර මහින්දට

හිතවතකුගෙන් ඇමතුමක් ලැබුණේය. ඇමතුම දුන් කෙනා ප‍්‍රශ්න කළේ මහින්ද සී. අයි. ඞී. එකට කැඳවා තිබෙනවාද කියාය.

‘නැහැ මට නම් එහෙම කැඳවීමක් ලැබිලා නැහැ. මහින්ද කීවේය.

‘කීත් නොයාර්ට පහරදීම ගැන ප‍්‍රකාශයක් ගන්න ඔබතුමා කැඳවලා තියෙනවා. හිතවතා පැවසීය.

‘මම නම් එහෙම එකක් දන්නේ නැහැ. එහෙම කැඳවීමක් ලැබුණා නම් අපි යනවා. රාජපක්ෂලා ඕවට බය නැහැ. මම සී. අයි ඞී එකට උත්තර දෙන්න ඕනේ වෙලාවක ලැහැස්තියි. මහින්ද පැවසීය.

දුරකතනය විසන්ධි කළ මහින්ද එහි සිටි කාර්ය මණ්ඩලයේ අයගෙන් ප‍්‍රශ්න කළේ සී. අයි. ඞීයෙන් කැඳවීමක් ලැබුණා ද කියාය. එහෙත් කාර්ය මණ්ඩලය කීවේ එවැනි ඇමතුමක් නොලැබුණු බවය. මහින්ද යළිත් වතාවක් දුරකථනය ගෙන සී. අයි. ඞීයේ ප‍්‍රධානියකුට ඇමතුමක් ගත්තේය.

‘ඔයාලට මගේ ප‍්‍රකාශයක් ගන්න ඕනේකමක් තියෙනවාද? මහින්ද ඇසුවේය.

‘ඔව් සර්. හැබැයි අපිට ඔබතුමාගෙන් වෙලාවක් ලැබුණේ නැහැ. ප‍්‍රධානියා කීවේය.

‘ඔයාලා කාටද කතා කළේ? කවුද වෙලාව නොදුන්නේ? මහින්ද ප‍්‍රශ්න කළද ප‍්‍රධානියා ඊට පිළිතුරු දීමට අදිමදි කළේය.

‘මට නම් එහෙම දැනුම් දීමක් කරලා නැහැ. මම මේ රටේ නීතියට ගරු කරනවා. ඕනේ වෙලාවක මම ප‍්‍රකාශයක් දෙන්න සූදානම්. හැබැයි සිරිසේන හරි රනිල් හරි ගන්න තීන්දු ගැන මම දන්නේ නැහැ. ඒවා ඔය අනුර කුමාරලා එහෙම දන්නවා ඇති. මොකද ඒ අය එකට සම්බන්ධ නිසා. හැබැයි මගේ එයාලත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. ඒ නිසා මම ඒවා දන්නේ නැහැ. ඒ හින්දා ප‍්‍රශ්නයක් තියෙනවා නම් මගෙන් කෙළින් අහන්න. මම ඕනේ වෙලාවක ඒවට උත්තර දෙනවා. දැන් කවද්ද මම එන්න ඕනේ. මට සිකුරාදා නම් උදේ 10ට එන්න පුළුවන්. මහින්ද පැවසීය.

‘ඉන්න සර් මම බලලා කියන්නම්. කී ප‍්‍රධානියා මොහොතකට පසු දුරකථන ඇමතුමක් ගෙන කීවේ මහින්ද සී. අයි. ඞීයට පැමිණීම අනවශ්‍ය බවත් එහි නිලධාරීන් විජේරාම පෙදෙසේ නිල නිවසට සිකුරාදා උදෑසන පැමිණ ප‍්‍රකාශය සටහන් කරගන්නා බවත්ය.

මහින්දානන්ද ගොස්
වෙල්ගම වැළඳගෙන…

මහින්ද මෙම කාරණාව අනෙකුත් මන්ත‍්‍රීවරුන් සමග සාකච්ඡා කරමින් සිටින අතරතුර වෙල්ගම ආවේ පක්ෂ නායක රැස්වීමට සහභාගී වීමටය. වෙල්ගම එනු දුටු මහින්දානන්ද වහා අසුනෙන් නැගිට මහින්දට කීවේ ‘අනේ සර් මට පොඩි වෙලාවක් දෙන්න. අපේ ලොකු අයියා එනවා. මට එයාගෙන් සමාව ගන්න ඕනේ. කියාය.

එසේ කී මහින්දානන්ද වෙල්ගම පැමිණෙන පෙරමඟට ගොස් වෙල්ගම වැළඳ ගත්තේය. ‘අයියේ මට සමාවෙන්න. මහින්දානන්ද ඉල්ලා සිටියේය.

‘අයියෝ මල්ලි සමාව ගන්න දෙයක් නැහැ. ඔයා මට දෙයක් කිව්වා. ඒකට මම උත්තර දුන්නා. ඒකට සමාව ගන්න ඕනේ නැහැ. වෙල්ගම උත්තර දුන්නේය. විරසක වී සිටි දෙදෙනා වැළඳගෙන සිටිනු දුටු දිලූම් වහා දිව ඇවිත් සිය දුරකථනයෙන් ඡායාරූපයක් ගත්තේ ‘අපිට පේන්න රණ්ඩු වෙලා දැන් මෙයාලා බදාගෙනත් ඉන්නවා. කියමිනි.

ඒ අතර සාකච්ඡාවට සහභාගි වීමට පැමිණෙමින් සිටි සුසිල්, එස්. බී, තිලංග ඇතුළු පිරිස ද දෙදෙනාට විහිළු කරන්නට ගත්තේ අයියලා මල්ලිලා බොරුවට රණ්ඩු වෙලා කියමිනි.

‘අපි බැණ ගත්තේ ජනතාවගේ දේවල්වලට මිසක් පුද්ගලික කාරණාවලට නෙමෙයි. අපිට මෙතැන බෙදාගන්න දේවල් නැහැ. සමහරුන්ට නම් චූන් වෙන්න ඇති අපි රණ්ඩු වෙනකොට. හැබැයි ඔය චූන් එක වැඩිකල් තියෙන්නේ නැහැ. මහින්දානන්ද පැවසීය.

අනතුරුව පක්ෂ නායක රැස්වීම ආරම්භ කෙරුණේ මහින්දගේ ප‍්‍රධානත්වයෙනි. ‘ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී අපි තීන්දුවක් ගත්තා පාර්ලිමේන්තුවේ දී වෙනම කණ්ඩායමක් විදියට ඉන්නවද නැද්ද කියන තීන්දුව පක්ෂ නායක රැස්වීමේ දී ගන්නවා කියලා. අපි ඒ ගැන සාකච්ඡා කරන්න ඕනේ. දිනේෂ් කරුණු පැහැදිලි කළේය.

‘ගැටලූව තියෙන්නේ විපක්ෂ නායකකමත් ලක්ෂ 62 ගොඩටම බෙදාගත්ත එකයි. ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ නියෝජනයක් නැහැ. ජනාධිපති, අගමැති, විපක්ෂ නායක, විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක කියන ඔක්කොම තනතුරු බෙදිලා ගිහින් තියෙන්නේ එකම මතවාදයක් දරන කණ්ඩායමක් අතරයි. ඒක ප‍්‍රජාතන්ත‍්‍රවාදයට විරුද්ධයි. මහින්ද පැහැදිලි කළේය.

‘නීතිමය පැත්තෙන් බැලූවොත් මෙතැන දී මත දෙකක් තියෙනවා. මුලින්ම මේ මන්ත‍්‍රීවරුන් ස්වාධීනව කටයුතු කරන්න ගියොත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව මන්ත‍්‍රී ධුරය අහෝසි වෙනවා කියලා කාරණයක් තියෙනවා. අනෙත් පැත්තෙන් මේ අය පාර්ලිමේන්තු ආවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මිස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නොවෙයි.

ජාතික ආණ්ඩු ගිවිසුමට අත්සන් කරලා තියෙන්නෙත් නිදහස් පක්ෂය මිසක් සන්ධානය නොවෙයි. ඒ නිසා සන්ධානයේ මන්ත‍්‍රීවරුන් ජාතික ආණ්ඩුවට එකතු වෙලා නැහැ කියන තර්කයත් තියෙනවා. මගේ අදහස නම් තවදුරටත් මේ ගැන හොයලා බලලා කටයුතු කරන්න ඕනේ කියන එකයි. ජී. එල්. නීතිමය තත්ත්වය පෙන්වා දුන්නේය.

‘පක්ෂයේ නියෝජනය අහිමි වීම නිසා අපිට මහජනතාවගේ මතය නිවැරැදිව ඉදිරිපත් කරන්නට බාධා සිද්ධ වෙලා තියෙනවා. කථානායකවරයා කටයුතු කරන්නේ පක්ෂග‍්‍රාහීවයි. කථානායක අපිව නොසලකා හැරලා ආණ්ඩුවේ කීමට විතරක් වැඩ කරනවා. ගම්මන්පිල චෝදනා කළේය.

.මොනවා වුණත් අපිට ඡුන්ද දීපු ජනතාවගේ මතය පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කරන්න අවස්ථාවක් නැති නම් මේ මන්ත‍්‍රී ධුර දරලා වැඩක් නැහැ. මම නම් කියන්නේ මන්ත‍්‍රීකම් නැති වුණත් කමක් නැහැ කියලා අපි ස්වාධීනව කටයුතු කරන්න ඕනේ කියලයි. ප‍්‍රසන්න පැවසීය.

‘මමත් ඒ අදහසට එකඟයි. අපේ ජනතාව නියෝජනය කරන්න බැරි නම් මන්ත‍්‍රීකමෙන් වැඩක් නැහැ. පවිත‍්‍රා පැවසුවාය.

මිනිස්සු අපිව පාර්ලිමේන්තුවට එවලා තියෙන්නේ ඒ අයගේ අදහස කියන්න මිසක් කථානායකගේ බණ අහගෙන ඉන්න නෙමෙයි. කථානායකගේ යුතුකම තමයි අපේ ජනතාවටත් සාධාරණ අවස්ථාවක් දෙන එක. එතුමා සම්පූර්ණයෙන් කරන්නේ ආණ්ඩුවේ පදයට නටන එකයි. රංජිත් සොයිසා කීවේය.

‘අපි මේ මතවලට එකඟයි. කණ්ඩායමක් විදියට ගන්න ඕනෑම තීන්දුවකට අපි එකඟ වෙනවා. එස්. බී. පැවසීය.

‘ස්වාධීන වෙනවා කියලා පෞද්ගලිකව ලියුම් දෙන්න කියලා අමරවීර කියන්නේ ඒ ලියුම් අරගෙන අපිව පාර්ලිමේන්තුවෙන් එළියට දාගන්න උපක‍්‍රමයක් විදියටයි. සුසිල් පෙන්වා දුන්නේය.

‘නිදහස් පක්ෂයේ ලේකම් අභියෝග කරලා තියෙනවා පුළුවන් නම් ස්වාධීන වෙලා පෙන්නන්න කියලා. එකම ඡුන්දයකටවත් ඉදිරිපත් වෙලා නැති එයා කොහොමද අපිට අභියෝග කරන්නේ. ප‍්‍රසන්න විමසුවේය.

‘දැන් ඉතින් එයාටත් බැඳගත් බෙරේ ගහනවා ඇර වෙන කරන්න දෙයක් නැහැ. දැන් නිදහස් පක්ෂයේ වගේම සන්ධානයෙත් ඉන්නේ මොන්ටිසෝරි ලේකම්ලා. රෝහිත පැවසීය.

මිනිස්සු අපෙන් ඉල්ලන්නේ ආණ්ඩුවට විරුද්ධව ගන්න පුළුවන් හැම ක‍්‍රියාමාර්ගයක්ම ගන්න කියලයි. අපි හැම පැත්තක්ම බලලා කටයුතු කරන්න ඕනේ. ඒ වගේම මහජන මතයටත් කන්දෙන්න ඕනේ. මහින්ද පැවසීය.

ඒ අනුව තීන්දු කෙරුණ් ජී. එල්., සුසිල්, දිනේෂ් ඇතුළු මන්ත‍්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර මේ සම්බන්ධයෙන් තවදුරටත් නීතිමය තත්ත්වය ඇතුළු අනෙකුත් කාරණා සොයා බලන්නටය. එම කරුණු සොයා බලා පක්ෂ නායකයන් වෙත වාර්තාවක් සැපයීම ජී. එල්. වෙත පවරන ලදී.

ආණ්ඩුව විසින් හොර රහසේ සම්මත කර ගැනීමට යන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡාවට ලක්කෙරිණි. එහිදී මහින්ද පැවසුවේ ‘ආණ්ඩුව මේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගේන්න හදන්නේ රටට ආදරේට නෙමේ. අපි මේ ගැන මීට වඩා පුළුල්ව බලන්න ඕනේ. ඒ වගේම රට තුළ මේ ගැන විද්වත් කතිකාවක් ඇති කරන්න ඕනේ. මේ යෝජනාව පරද්දන්න ගන්න පුළුවන් නීතිමය ක‍්‍රියාමාර්ගත් හොයලා බලන්න ඕනේ. කියාය.

සැප්තැම්බර් මස 05 වැනි දා ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙයවීමෙන් කොළඹ දී පැවැත්වීමට නියමිත ජනබලය කොළඹට උද්ඝෝෂණය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි. නාමල් මේ දිනවල විදෙස්ගතව සිටින බැවින් ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට දිලූම් කැඳවා තිබුණි.

සියලූ පක්ෂ නායකයන් වෙත ෆයිල් කවර බෙදාදෙමින් දිලූම් උද්ඝෝෂණයේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් පැහැදිලි කරන්නට විය.

‘මේක ඓතිහාසික උද්ඝෝෂණ ව්‍යාපාරයක්. මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන්න ගම් මට්ටමින් ලොකු වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කෙරෙනවා. අපි එදාට ලොකු සෙනඟක් ගෙනත් කොළඹ වට කරනවා. දිලූම් කීවේය.

‘ගම්පහ, කොළඹ, කලූතර කියන දිස්ත‍්‍රික්කවල ජනතාවගේ ලොකු සහභාගිත්වයක් අපි බලාපොරොත්තු වෙනවා. ඒ දිස්ත‍්‍රික්කවල රැස්වීම් මාලාවක් කරලා ජනතාව දැනුවත් කරනවා. ප‍්‍රසන්න පැවසීය.

‘ජන සටන පාගමනටත් තරුණයන් අතර ලොකු උනන්දුවක් තිබුණා. මේ පාර ඊටත් වඩා උනන්දුවක් තියෙනවා. මහින්දානන්ද කීවේය.

‘උද්ඝෝෂණය පුළුවන් උපරිමයෙන් සාර්ථක කරගන්න මහන්සි වෙන්න. මහින්ද උපදෙස් දුන්නේය.

චන්ද්‍රිකාගේ ලෙඩ ගැන
එස් බී ගෙන් විස්තර…

poli3පක්ෂ නායකයන්ගේ රැස්වීමෙන් පසුව මහින්ද සහ එස්. බී., සුසිල්, ඩලස්, ජී. එල්. ඇතුළු පිරිසක් සුහද කතාබහක නියැළෙමින් සිටියහ. ඔවුන් කතාබහ කරමින් සිටියේ පළාත් සභා ඡුන්ද විමසීම කල්දැමීම ගැනය. ප‍්‍රසන්න එතැනට ගියේ මහින්දට ගිහින් එන්නම් කියා එන්නටය.

‘එන්න එන්න අපි මේ කතා කර කර හිටියේ පළාත් සභා ඡුන්දෙ ගැන. මහින්ද ප‍්‍රසන්නට කතා කළේය.

‘පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල කට්ටිය හොඳට වැඩ ටික කරගෙන යනවා. අපිට පුළුවන් ඡුන්දෙ කල්දාන එකට පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල විරෝධය දක්වන වැඩපිළිවෙළක් හදන්න. ප‍්‍රසන්න පැවසීය.

‘අපි කතා කළෙත් ඒ ගැන තමයි. පළාත් පාලන ආයතනවල යෝජනා සම්මත කරගන්න පුළුවන් නම් අපිට රටේම මේ ගැන මතයක් හදන්න පුළුවන්. මහින්ද කීවේය.

‘අපි මේ ගැන කන්සෙප්ට් එකක් හදලා දුන්නා නම් ඒ අය වැඬේ ඇදගෙන යයි. ප‍්‍රසන්න පැවසීය.

ඒ අනුව තීන්දු කෙරුණේ පළාත් සභා ඡුන්දය කල්දැමීමට විරුද්ධව පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල යෝජනා සම්මත කිරීමේ වැඩපිළිවෙළක් හදන්නටය. එම කටයුතු සම්බන්ධීකරණය කිරීම මහින්ද පැවරුවේ ප‍්‍රසන්නටය.

‘මොකක්ද අර අත්තනගල්ලේ වුණයි කියන්නේ? මහින්ද ඇසුවේය.

‘අත්තනගල්ල ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිනිය චන්ද්‍රිකා. එයා තමයි මාධ්‍යවේදීන් ආවයි කියලා කචල් එක දාලා තියෙන්නේ. හැබැයි මාධ්‍යවේදීන්ට ආරාධනා කරලා තියෙන්නේ ප‍්‍රාදේශීය ලේකම්තුමා. ප‍්‍රසන්න පැහැදිලි කළේය.

‘චන්ද්‍රිකා නෝනට ඉතින් කොහොමත් මාධ්‍ය පෙන්නන්න බැහැනේ. එයාගේ හොඳ කියන අය විතරයි මාධ්‍යවේදීන් කියලා එයා හිතාගෙන ඉන්නේ. ඩලස් පැවසීය.

‘ආණ්ඩුව මාධ්‍ය නිදහස ගැන ලොකු කතා කියනවා. හැබැයි අද ආණ්ඩු කරන රනිල්ලා, චන්ද්‍රිකාලා ඒ කාලේ මාධ්‍යවේදීන්ට කරපුවා කාටත් අමතක වෙලා. ප‍්‍රසන්න කීවේය.

‘එක්නැලිගොඩලා ගැන හොයන අය රිචඞ් ද සොයිසා, පේ‍්‍රමකීර්ති, සාගරිකා ගෝමස් වගේ අය වචනයක්වත් කියන්නේ නැහැ. එදා මාධ්‍යවේදීන් මැරුවේ බුරුතු පිටින්. අද සිල් ගත්තා වගේ ඉන්න ජනතා විමුක්ති පෙරමුණත් මාධ්‍යවේදීන් මරලා දැම්මා. මහින්ද සිහිපත් කළේය.

‘මානව හිමිකම්, මාධ්‍ය නිදහස ගැන වැඩියෙන්ම කතා කරන්නේ වැඩිපුරම ඒවා විනාශ කරපු අයමයි. ඩලස් කීවේය.

‘අද කිඹුල් කඳුළු හෙළන කවුරුත් ඒ භීෂණ කාලේ අහිංසක මිනිස්සු ගැන කතා කළේ නැහැ. අපි තමයි විස්තර හොයාගෙන ඒ මිනිස්සු වෙනුවෙන් කතා කළේ. මහින්ද සිහිපත් කළේය.

‘චන්ද්‍රිකා ඉතින් දා ගත්තොත් ලෙඩක් තමයි. දැන් නම් එයාගේ වයර් මාරු වෙලා තියෙන්නේ. එස්. බී. කී කතාවට කවුරුත් සිනාසුණහ.

ඇමති රාජිතට
උතුරෙන් සහතික…

අමාත්‍ය රාජිත සේනාරත්න පසුගිය බ‍්‍රහස්පතින්දා ගුවන් මගින් යාපනයට ගියේ යාපනය ශික්ෂණ රෝහලේ ව්‍යාපෘති රැසක් විවෘත කිරීම සඳහා ය .ඉන් පසුව අමාත්‍යවරයා යාපනයේ ශික්ෂණ රෝහලේ ඔසු හල විවෘත කිරීමට සහභාගි විය. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව ඔසු හල විවෘත කිරීමෙන් අනතුරුව යාපනයේ ජනතාවට සහන මිලට හා විශ්වාසවන්ත ලෙස ඖෂධ ලබා ගැනීමට හැකි වීම විශේෂ කාරණයක් ලෙස හැඳින්විය හැකි විය.

ඔසුහල විවෘත කිරීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයා පුනරුත්ථාපන රෝහල සඳහා මුල්ගල තැබීම, හෙද නේවාසිකාගාරය සඳහා මුල්ගල තැබීම ආදී අවස්ථාවන් ගණනාවකටම සහභාගි වන්නට ගියේ ය. මෙම උත්සව සඳහා උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා මෙන්ම තවත් අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ වූ කලී විජයකලා මහේෂ්වරන් මන්ත‍්‍රීවරියයි. යාපනය දේශපාලනඥයන්ගෙන් රාජිතට හොඳ පිළිගැනීමක් ලැබී තිබිණි.

දැන් ඔබතුමා යාපනයේම ද පදිංචි වෙලා ඉන්නේ…? යනුවෙන් රාජිත එහිදී විග්නේෂ්වරන් මහඇමැතිවරයාගෙන් විමසුවේය. ගොඩක් දුරට දැන් මම මෙහෙ තමයි ඉන්නේ…. මාසෙකට සැරයක් විතර රාජකාරි කටයුතුවලට කොළඹට ගිහිල්ලා එනවා. එසේ විස්තර කියන අතර යාපන අර්ධද්වීපයේ හා උතුරු පළාතේ සෞඛ්‍ය කටයුතුවල ප‍්‍රගතිය සම්බන්ධයෙන් ප‍්‍රධාන අමාත්‍යවරයා විශේෂ ස්තුතියක් ද රාජිත වෙත කරනු ලැබුවේය.

රෝගීන්ට පිහිට වෙන එක උතුම් පින්කමක්. රෝගීන්ට පිහිට වෙන්නේ දෙවියෝ. එහෙම බලනකොට ඔබත් දෙවියෙක්…. විග්නේෂ්වරන් රාජිතට කීවේය.

මම හැමදාම මේ රටේ සියලූම ජනතා කොටස්වල අයිතිවාසිකම් වෙනුවෙන් කැප වෙච්ච කෙනෙක්. අපේ ප‍්‍රතිපත්තිය මම කවදාවත් අතහැරියෙ නෑ. රාජිත පැහැදිලි කළේය.

ඉන්පසුව විජයකලා මන්ත‍්‍රීවරිය පැමිණ රාජිත සමග නඩුවක් කියන්නට පටන් ගත්තේ තමන්ට පසුගිය දිනවල සිද්ධ වූ අකරතැබ්බය පිළිබඳවය. රාජිත ඊට කිසිවක් නොකියා මාවෙයි සේනාධිරාජා දෙස බලමින් දැන් විජයකලා හරිම ප‍්‍රසිද්ධයි රටේම…. කියා සිනාසෙමින් කීවේය.

ඒකනම් ඇත්ත ඇමැතිතුමා… මෙහෙත් එහෙම තමා… සේනාධිරාජා කීවේය.

මෙයත් ඉතින් මෙයාගේ මහත්තයා මහේෂ්වරන් වගේම තමයි…. අවශ්‍ය වෙලාවට වැඬේ දෙනවා. ඒකයි මෙයාගේ විශේෂත්වය… රාජිත විජයකලා අගය කරමින් කතා කළේය.

කතාවෙන් කතාව වේලාව ද ගෙවී ගියේය… ඉන්පසු රාජිත අමාත්‍යවරයා උතුරේ සෞඛ්‍ය බලධාරීන් සමග ද වෙනම නිල සාකච්ඡාවක් පවත්වනු ලැබුවේ ය. සියල්ල අවසානයේ චාවාකච්චේරි රෝහලේ තවත් එක් විශේෂ ඒකකයක් විවෘත කිරීමකට සහභාගි වූ අමාත්‍යවරයා ගුවන් මගින් යළි කොළඹ එන්නට ගමන පටන් ගත්තේය.

සිංගප්පූරු කුණු කසළ
දොම්පේ ඉඩමකට…

දොම්පේ කෑරගල ප‍්‍රදේශයේ අක්කර 140 ක ඉඩමක් සම්බන්ධයෙන් පසුගිය සතියේ සිසිර ජයකොඩි හෙළිදරව්වක් කළේය. මෙම ඉඩම, ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩමකි. එහි පර්චසයක් රුපියල් 40 බැගින් ආයෝජන මණ්ඩලයේ අනුමැතිය සහිත ව්‍යාපෘතියකට බදු දී ඇති බව සිසිර පැවසීය.

මෙම ඉඩම පසුගිය දිනවල ශුද්ධ පවිත‍්‍ර කරන්නට පටන් ගත් අතර එහි තිබූ පොල් ගස් 1500 ක් පමණ කපා දමා තිබුණි. සිසිරට දැනගන්නට ලැබුණේ මෙම ඉඩම සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම යටතේ සිංගප්පූරුවෙන් ආනයනය කෙරෙන කුණු කසළ එක්රැස් කිරීමේ ව්‍යාපෘතියකට භාර දී ඇති බවය.

ඒ අනුව මාධ්‍ය හමුවක් කැඳවූ සිසිර මෙම කරුණ හෙළි කළේය. ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් නිදහස් කර ගැනීමට මුදල් අමාත්‍යාංශය ප‍්‍රමාද කර තිබුණු අවස්ථාවක දී ඇමැති මලික් සමරවික‍්‍රම පෞද්ගලිකවම මැදිහත් වී එම කටයුතු කඩිනම් කරගෙන තිබුණු බවත් සිසිර කීවේ සිංගප්පූරු ගිවිසුම ද මලික්ගේ වැඩක් බැවිනි.

එදින සවස සිසිරට දුරකතන ඇමතුමක් ලැබුණේ හර්ෂණ රාජකරුණා ගෙනි. ඔහු සිසිරට බැණ වදින්නට වූයේ දොම්පේ ඉඩමේ සිංගප්පූරු කුණු නොදමන බව කියමිනි. එම ඉඩම ලබාගත්තේ වෙනත් ව්‍යාපෘතියකට බවත් හර්ෂණ කීවේය. මොකක්ද ඒ ව්‍යාපෘතිය යැයි සිසිර ඇසු විට හර්ෂණ කීවේ අර්ධ රාජ්‍ය විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට යන බවය. එහෙත් ව්‍යාපෘතිය සම්බන්ධ වැඩි විස්තරයක් හර්ෂණ ද දැන සිටියේ නැත.

මාධ්‍ය ප‍්‍රධානීන්
කථානායක හමුවෙලා…

පසුගිය බ‍්‍රහස්පතින්දා හවස කථානායක කරු ජයසූරියගේ නිල නිවාසයට විශේෂ අමුත්තන් පිරිසක් පැමිණ සිටියහ. මෙසේ පැමිණ සිටියේ රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතනයන් හි ප‍්‍රධාන මාධ්‍යවේදීන් පිරිසකි. කථානායකවරයාගේ විශේෂ ආරාධනාවක් අනුව පැමිණීමේ මාධ්‍යවේදීන් පිරිස සමග කථානායක කරු ඉතා සුහද සාකච්ඡාවක් පවත්වනු ලැබුවේය.

‘මේ සාකච්ඡාව දේශපාලනයෙන් තොර යි ඒ වගේම ඔබට ආරාධනා කළේ මම මගේ පුද්ගලික ප‍්‍රතිරූපය පිළිබඳව යමක් පළ කරවා ගන්න හෙම නං නෙවෙයි…. කථානායක කරු ජයසූරිය සාකච්ඡාවට වාඩිවෙන්නට ප‍්‍රථම කියා සිටියේ එසේ ය…

කෙසේ වෙතත් මෑත කාලීනව රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා පාර්ලිමේන්තුව පැත්තෙන් ගෙන තිබෙන පියවර හා පසුගිය කාලයේ සම්මත කරගනු ලැබූ ජනතාවාදී හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අණපනත් පිළිබඳව කථානායකවරයා ලොකු විස්තරයක් කළේ මාධ්‍ය ප‍්‍රධානීන් තුළ ද ඒ පිළිබඳව තිබූ ලොකු උනන්දුව නිසා ය.

රටේ ජාතිවාදී ප‍්‍රශ්න පැන නැගුණු අවස්ථාවලදී ඉතා ඉක්මනින් ඒ ගිනි නිවා දමන්නට පාර්ලිමේන්තුවේ සර්වපාක්ෂික සහභාගිත්වයෙන් නිමවන ලද ‘ජාතික හා ආගමික සංහිඳියා කමිටුව. සම්බන්ධයෙන්ද කරු ජයසූරිය විස්තර කීවේය. ඒ අතර 17 වන සංශෝධනයෙන් දිනාගත් සමාජ අයිතිවාසිකම් හා අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ද ලොකු සාකච්ඡාවක් මේ පිරිස සමග කථානායකවරයා ඇතිකර ගත්තේ දෙපැත්තටම කරුණු කාරණා හුවමාරු වන පරිදිය.

කථානායක කරු තොරතුරු දැනගැනීමේ පනත ලංකාවට ගෙන එන්නට හැකි වීම සම්බන්ධයෙන් ආඩම්බරයකින් කථා කළේය. උසස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක ලක්ෂණ පිළිබිඹු කිරීමට මාධ්‍යවලින් ද ඉටු වන සේවාව අගයමින් කතා කළ කරු ඉදිරියේදීත් මේ සියලූ අවශ්‍යතා සඳහා මාධ්‍ය මගින් ලබාදෙන සහයෝගය මෙන්ම මිත‍්‍රත්වය ඉතා ඉහළින් අගය කළේය.

මාධ්‍ය ප‍්‍රධානීන් හා කථානායකවරයා අතර පැවති මේ සාකච්ඡාව ඉතා ඵලදායක සුහද සාකච්ඡාවක් ලෙස අවසන් විය. කථානායකවරයා පැමිණ සිටි මාධ්‍ය ප‍්‍රධානීන් වෙනුවෙන් අනර්ඝ තත්ත්වයේ සංග‍්‍රහයක් ද සූදානම් කර තිබීම විශේෂත්වයකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More