ප‍්‍රධාන පුවත්

‘දැන්වත් ගෙදර පලයල්ලා’ කියා පෙබරවාරි 10 වැනිදා ජනතාව දුන් පණිවිඩය තේරුම් නොගෙන වෙනදාටත් වඩා තම රටට හතුරු ගමන වේගවත් කළ මේ නරුම ආණ්ඩුව ගෙදර යවන දිනය සැප්තැම්බර් පස්වැනිදා බවත් ඒ දැවැන්ත මහජන ක්‍රියාකාරීත්වයේ කොටස්කරුවකු වීම රටට ආදරය කරන කාගේත් යුතුකම බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

අද (17) කොළඹ පදනම් ආයතනයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ මාධ්‍ය හමුවේ දී ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

”මේ රටේ බොහෝ තැන්වල ‘පොහොට්ටුවත්’ මහරගමදී ‘බයිසිකලයත්’ ආදී වශයෙන් වන මහින්ද ලකුණ විශිෂ්ට ලෙස දිනවලා පෙබරවාරි 10 වැනිදා මේ රටේ ජනතාව දුන්නු පණිවිඩය, මේ ආණ්ඩුව තේරුම්ගත්තු ආකාරයක් පෙනෙන්නේ නැහැ. ඒ ප්‍රතිඵලයෙන් පස්සේ මේ ආණ්ඩුවේ රටට හතුරු මෙහෙයුම නතර වෙනවා වෙනුවට එය තවත් වේගවත් වෙලා තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය වළලමින් පළාත් සභා මැතිවරණ අනන්තය තෙක් කල් දමමින් තිබෙනවා. ජනතාව මත ඉසිලිය නොහැකි බදු බරක් පටවා තිබෙනවා. ස්වදේශික ජනතාව මත බදු පිට බදු පටවන ගමන් විදේශිකයන්ට බදු සහන දෙමින් තිබෙනවා. සිංගප්පූරුව සමග අත්සන් කළ වෙළඳ ගිවිසුමින් ශ්‍රී ලංකාව තුළට න්‍යෂ්ටික අපද්‍රව්‍ය රැගෙන ඒමට බදු සහන ලබා දී තිබෙනවා. තමන්ගේ රටට න්‍යෂ්ටික අපද්‍රව්‍ය රැගෙන එන්න බදු සහන දීපු ලෝකයේ එකම රට බවට දැන් ශ්‍රී ලංකාව පත් වෙලා ඉවරයි.

අපේ දවස සැප්තැම්බර් 05 වැනිදා

‘රටේ ඉතිහාසය මකන, රටේ ඒකීයභාවය අහෝසි කෙරෙන ව්‍යවස්ථා සංශෝධන රැගෙන එන, උතුරේ ගොඩනැගී තිබූ සාමකාමී තත්ත්වය – නිදහස මරා දමන, පාතාල කල්ලිවලට හැම අතකින්ම නැගිටින්නට ඉඩ දීලා තිබෙන, ආරක්ෂක හමුදාවලින් පලිගන්න, හමුදාවේ මිනිස් බලය 25%කින් කප්පාදු කරන, හමුදා කඳවුරු ගලවා ඉවත් කරන, මත්තල ඇතුළු මේ රටේ ආර්ථික මර්මස්ථාන විකුණා දමන මේ ආණ්ඩුවේ ගමන දැන්වත් නතර කර දැමිය යුතුයි’ කියා සිතන මිනිසුන්ට දවසක් එනවා. ඒ තමයි 2018 සැප්තැම්බර් 05 වැනිදා.

‘දැන් හොඳටම ඇති ගෙදර යන්න’

මේ පරගැති හිඟන ආණ්ඩුවට මේ විදිහට යන්න දීලා නිහඬව බලා සිටීමට මේ රටට ආදරය කරන කිසිවකුටත් බැහැ. අපට නාමමාත්‍රික විපක්ෂ භූමිකාවක් රඟදක්වමින් සිටින්නට බැහැ. ඒ නිසා තමයි ඒකාබද්ධ විපක්ෂය සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ නායකත්වය සැප්තැම්බර් 05 වැනිදා දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු සූදානම් කරන්නේ. එදා ගාලුමුවදොර පිටිය ලක්ෂ සංඛ්‍යාත සෙනගකින් පිරුණාටත් වඩා වැඩි ජන සන්නිපාතයකින් සැප්තැම්බර් 05 වැනිදා කොළඹ පාරවල් පිරේවි. එදාට ඒ ජනසන්නිපාතය කොළඹට එන්නේ මේ ආණ්ඩුවට ‘දැන් හොඳටම ඇති ගෙදර යන්න’ කියන්නයි. ඒ වගේම ‘මේ මව් පොළොව විකුණන්න නුඹලාට ඉඩ දෙන්නේ නැහැ’ කියන්නයි ඔවුන් එන්නේ. ‘මේ බදු බර තවදුරටත් උසුලන්න අපි ලෑස්ති නැහැ, සිංගප්පූරු ගිවිසුමින් මේ රට පාවාදීමට අපි විරුද්ධයි’ කියා කියන්නයි මේ මහා ජනගඟ එදාට කොළඹට එන්නේ. අපි ආණ්ඩුවට කියනවා, ‘මහත්තුරුනි කැමතිනම් කිසිවක් නොවූ ආකාරයට ඔබලාගේ මේ නරුම පාලනය ඉදිරියට ගෙන යන්න. නමුත් සැප්තැම්බර් 05 වැනිදා ජනතාව ඔබලාට ඔප්පුකර පෙන්වාවි, ජනතා නැගිටීම් කොතරම් බලවත් ද ?’ කියා.

පුරාවස්තූන් ඩෝසර් කරලා නිදන් කොල්ලකන විට, අපට නිදහසේ හුස්ම ගන්න ඉඩ හදා දුන් රණවිරුවන් හිරේ දාන විට, පන්සලේ පින් කැටේට බදු ගහන කොට, බුද්ධ පුත්‍රයන් චීවරය ගලවලා හිරේ දමන කොට, ගේ මුල්ලේ, කඬේ පිලේ, වැඩබිමේ, කන්තෝරුවේ මේ ආණ්ඩුවට බැන වැදුණු මිනිස්සුන්ට දවසක් එනවා. ඒ තමයි සැප්තැම්බර් 05 වැනි දා. ඔව්, ඒ තමයි ආණ්ඩු විරෝධීන්ගේ දවස – මේ තක්කඩි ආණ්ඩුව එළවන්න ඕන කියා හිතන මිනිස්සුගේ දවස. සැප්තැම්බර් 05 වැනි දා කොළඹට ගලන ජන ගඟේ ඔබේ පා පහස නොතිබුණොත් ඒක ඔබට සදාකල් හිතට වද දෙන ප්‍රශ්නයක් වේවි. ඒ නිසා පක්ෂ පාට භේදයකින් තොරව අපි සියලු ශ්‍රී ලාංකික ජනයාට ආරාධනා කරනවා,‘පස් වැනිදා කොළඹට එන්න. මේ මූසල, හිඟන, නිහීන ආණ්ඩුව එළවා දමන මහා ක්‍රියාන්විතයේ මම ද කොටස්කරුවකු වුණා, කියන දැවැන්ත සතුට ලබන්න’ කියා.”

මේ මාධ්‍ය හමුව අමතා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්, හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ මන්ත්‍රී කණ්ඩායම වෙනුවෙන් නාමල් රාජපක්ෂ යන මහත්වරු ද අදහස් දැක්වූහ.

ඒකාබද්ධ විපක්ෂයේ සියලු පක්ෂ නායකයෝ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ විශාල පිරිසක් ද මෙම විශේෂ මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2018/08/17



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More