මුහුණු පොතෙන්

Hulking සමාජය සහ රටේ හෙට දවස …!

August 16, 2018 10:26 am | Lanka Lead News

නො ලියා බැරි සිදුවීමක් නිසා ලියමි.

මෑතකදී අන්තර්ජාලයේ සහ මුහුණුපොතේ වයිරල් වූ චරිත දෙකක් අළලා යමක් පැහැදිලි කිරීමේ අවශ්‍යතාවක් මට ඇත.

මා ගේ මිතුරන් විසින් දැනුම්වත් කරන ලද සහ මට ද අසන්නට, දකින්නට ලැබුණු මේ ඡායාරූපයේ දැක්වෙන ස්ත්‍රී පුරුෂ චරිත දෙක, සමාජය කියවා ගැනීම සඳහා ප්‍රමුඛ සාක්ෂි සපයති.

පිරිමියා, පොත් ලියන්නෙකි. ගැහැනිය, නිරූපණ ශිල්පිනියක, සැලොන්කාරියක සහ ගණිකාවක ලෙස පෙනී සිටින්නියකි.

තවත් ආකාරයකට පැහැදිලි කරන්නේ නම්, පිරිමියා සිංහල ය. ගැහැනිය දෙමළ ය.

ඔවුන් දෙදෙනා ම යොදා ගන්නා භාෂාව පාදඩකරණයට ලක් වූවකි. දෙදෙනා ම වයස අවුරුදු 35-40 වයසේ පසුවන්නෝ ය. පිරිමියා විසින් ලියන ලද පොත බෞද්ධ සමාජය ඉලක්ක කළ එකකි. ස්ත්‍රිය විසින් පවත්වා ගෙන යනු ලබන සැලොන් එක සහිත වීඩියෝවල පසුබිමින් පිරිත් හඬ ඇසේ. පිරිමියා පිරිම දරුවකු සමඟ ගන්නා ලද ඡායාරූපයක් සහිත පොතක් එළිදක්වා තිබේ. ගැහැනිය තමන් ගේ දියණිය සමඟ පෙනී සිටින වීඩියෝ එකක් එළිදක්වා තිබේ.

මේ අනුව ගත් විට දෙදෙනා අතර, අඩුවැඩි වශයෙන් බොහෝ සමානකම් තිබේ.

මොවුහු කවරහු ද?

ඩඩ්ලි ගේ ප්‍රභූවාදී (?) දේශපාලනයට එරෙහි ව JR විසින් UNP තුළ ගෙන යන ලද පාදඩ දේශපාලනය මුදුන් පත් කර ගැනුණේ 77දී ය. 77 මැතිවරණ ජයග්‍රහණය මට මතක ය. ගාල්ලේ, එවකට මා විසූ දෙල්ගහවලකන්දේ UNP මැරයන් කඩු, කිනිසි අමෝරා ජයග්‍රහණය සැමරූ ආකාරය මම ඇසින් දුටුවෙමි.

මුළු රට පුරා සිටි මැරයන් ජාතික දේශපාලනයට පිවිසියේ JRගේ දේශපාලනයෙනි. සොත්ති උපාලිලා, ක්‍රිස්ටෝපර්ලා, කලු ලකීලා UNP පක්ෂයේ නොනිල නායකයන් බවට පත් වූයේ ඒ අනුව ය. එයට නව ජවයක් ලැබුණේ ප්‍රේමදාස ගේ කෙසෙල්වතු දේශපාලනයේ දී ය. සකල සමාජ ධාරා උඩුයටිකුරු කළ JR-ප්‍රේමදාස යුගයේ උච්චතම කාලය, 80 දශකය ය.

80 දශකය යනු ලාංකික Hulking සමාජයේ ප්‍රසූත අවදියයි. Hulking සමාජය යනු, අනෙකක් නො ව, මිනිසුන් හිටිවන සල්ලිකාරයන් බවට පත් වී, ඉදිමී සමාජයේ ප්‍රධාන ස්ථානවලට පොළා පැන ආ ක්‍රියාවලියයි. Incredible Hulk චිත්‍රපටියේ Hulk චරිතය, මෙහි රූපකයයි.

එතෙක් සමාජයේ පහළ ස්තරයේ කලා වීරයෙකු බවට පත් ව සිටි ජෝතිපාලට එරෙහි ව එකල මතු වූ එක් සමාජ කතාබහක්, මෙයට සෘජු ව අදාළ කර ගත හැකි ය.

ප්‍රබන්ධයක් වන එය කෙටියෙන් මෙලෙස ය.

ප්‍රේමදාස ගේ එක් සංගීත සංදර්ශනයකට ජෝතිපාල පැමිණ තිබේ. එහිදී එක් මැරයෙකු ‘ජෝති අයියා අර මෝරා ගේ සින්දුව කියන්න’ යයි කෑ ගසා තිබේ. මැරයා එලෙස ඉල්ලා ඇත්තේ ‘සිරියා මෙ සාරා නැගේවි හද මෝරා’ නම් වූ ජෝතිපාල ගේ ජනප්‍රිය ගීතයයි.

ජෝතිපාල ගේ ම ගීතයක් පාදක කර ගනිමින් ‘තේරුණේ දැන් තමයි – එකොළහයි’ යනුවෙන් මේ අදහස ම අළලා ප්‍රබන්ධ කරන ලද යාන්හෑල්ලක් හේමා ප්‍රේමදාස වෙනුවෙන් ද එකල ප්‍රචාරය වෙමින් තිබිණි.

මේ යාන්හෑලිවලින් කියවෙන බරපතළ සමාජ යථාර්ථයක් තිබේ. එනම් ජෝතිපාල ගේ ගීත රසවිඳින්නටත් නො දන්නා, කලා විහීන සමාජ ස්තරයක් සමාජයේ ඉහළට එකවර පැමිණ ඇති බව ය.

Hulking සමාජය යනු, එයයි.

අනෙක් අතට මහමග මිනිසුන් බුරුතු පිටින් ඝාතනය කෙරෙන සමාජයක් එකල UNP-JVP දේශපාලනය විසින් නිර්මාණය කරන ලදී.

එසේ ම නිහාල් සිල්වා ගේ නල්ලතම්බි නාට්‍යයට JR ජනාධිපති සම්මාන ලබා දෙන්නේ ද මේ කාලයේ ය. මහාචාර්ය සරච්ච්න්ද්‍රයන්ට කානුවක දමා පහර දීමට තරම් මැරයන්ට හැකියාවක් ලැබෙන්නේ මේ කාලයේ දී ය.

අජිත් තිලකසේන ‘සංස්කෘතික කාන්තාරයක් කරා’ කෘතිය ලියා සිදුවෙමින් තිබෙන සමාජ විලම්බෑසියට එරෙහි ව හඬක් අවදි කරන්නේ ද මේ කාලයේ ය.

ඡායාරූපයේ දැක්වෙන චරිත උපත ලබා තිබෙන්නේ 80 දශකයේ මෙලෙස සිදුවෙමින් තිබෙන මහා සමාජ ව්‍යසනය සිදු වන අතර ය. වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, මේ 80 දශකයේ පාදඩ දරුවෝ ය.

දැන් ඔවුහු 80 දශකයේ පාදඩ පරපුර නියෝජනය කරති. පිරිමියා, මේ රටේ සංස්කෘති සම්ප්‍රදාය තවදුරටත් විනාශමුඛයට ඇද දමනු සඳහා, ‘බුදුන් ගේ රස්තියාදුව’ නමින් පඩංගු පොතක් එළිදක්වා තිබේ.

අදාළ ගැහැනිය, එවැනි විසංස්කෘතික සමාජ පරිසරයක අපරාධ, ‘ආගමක් බවට පත් කර ගන්නා ආකාරය’ (Religion of Crimes), දරුවන්ට පහදා දෙන්නීය.

මොවුහු අනාගත අපරාධ සමාජයේ මාපිය චරිත නියෝජනය කරති.

මේ පිළිබඳ ව අවධානය යොමු කළ යුතු වන්නේ රටක රාජ්‍ය තන්ත්‍රයයි. ඊට හේතුව, අවසානයේදී මේ සියල්ල රටේ පොදු ජනතාව ගේ ඉහමතට කඩා වැටෙන නිසා ය.

බිල් ක්ලින්ටන් ගේ අවධියේ අමෙරිකාවේ ඉස්මතු වූ Teenage Crimes සමාජ ප්‍රවණතාව පිළිබඳ ව එවක අමෙරිකානු රජයේ උසස් නිලධාරියෙකු විසින් එවක රජයට ඉදිරිපත් කරන ලද පූර්ණ වාර්තාවක් තිබේ.

එය මේ රටේ සිටින ගොබ්බ දේශපාලුවන් ගේ ද, ටයි දමා ගෙන පුටු රත් කරන, මැටිමෝල් රාජ්‍ය නිලධාරින් ගේ අත්පොතක් බවට පත් කළ යුතු ය.

අමෙරිකාවේ නව ලිබරල්වාදය උඩ තියා ගෙන සිටින ලංකාවේ ගොබ්බ දේශපාලුවන්ට සහ රජයේ නිලධාරින්ට, ක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබෙන ව්‍යසනකාරී සමාජ ප්‍රවණතා පෙනෙන්නේ නැත.

මේ ඡායාරූපයේ දැක්වෙන කුඩා දරුවන් දෙදෙනා ගේ අනාගතය, ඔවුන් ගේ මාපියන් ගේ ජීවිතවලට වඩා විකෘති සහ අපරාධකාරී විය හැකි ය. දැනටමත් ඡායාරූපයේ දැක්වෙන ස්ත්‍රිය, තමන් ගේ දියණිය ගේ ජීවිතය ගොඩනගන ආකාරය, ප්‍රසිද්ධියේ පවසා තිබේ. එය ව්‍යසනකාරී ය. අනෙක් දරුවා ගේ දරුවා ගේ අනාගතය ද තවමත් ප්‍රශ්නාර්ථයකි.

අවසානයේදී ‘අනාගත පාදඩ දරුවන්’ විසින් සිදු කිරීමට නියමිත අපරාධවලට ගොදුරු වන්නේ, මේ කිසිවකට සම්බන්ධ නැති අහිංසක මාපියන් ගේ යහපත් දරුවෙකු විය හැකි ය. එවැනි පුවත් දැනටමත් සමාජයේ ප්‍රචලිත වෙමින් තිබේ.

කෙසේවෙතත් අනාගතයේ සිදු වීමට නියමිත Teenage Crimes කිසිලෙසකින්වත් සුළුපටු අපරාධ වන්නේ නැත. ඇතැම් විට chain killer ප්‍රවනතාවක් විය හැකි ය.

එවිට ඒවා හැඳින්විය යුතු වන්නේ, ව්‍යුහාත්මක අපරාධ – structural crimes නමිනි.

ඒවාට වගකිය යුතු වන්නේ සමස්ත රාජ්‍යයයි.

– කුමාර ලියනගේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More