පුරවැසි කොලම

අපේ ශක්තිය

August 15, 2018 6:44 pm | Lanka Lead News

සියවස් කාලකට පමණ පෙර අප කාලය සඟරාව ඇරඹූ අවධියෙහි දී අප සමග විවිධ පුද්ගලයන් සිටියා. කාලයට ලිපි සැපයු අය අතර මාක්ස්වාදීන් විවිධ සමාජවාදීන් දෙමළ ජාතිවාදීන් සිංහල බෞද්ධ විරෝධීන් සිටියා. එකල 1987 දී කිසිවකු මහින්ද ජාතිකවාදියකු ලෙස දැන සිටියේ නැහැ. ඔහුත් වාම කේන්ද්‍ර එනම් කේන්ද්‍රයෙන් වමට බර අයකු ලෙසයි හැඳිනගෙන තිබුණෙ. මා මෙහෙ ම කියන විට මහින්දවාදීන්ට කේන්ති යන බව මා දන්නවා. මා හිතන්නේ බැසිල් එකල ගාමිණී දිසානායක ළඟ වැඩ ඉගෙන ගත් අයෙක්. ඔහු එ ජා ප හිතවතෙක්. අද නාමල් රාජපක්‍ෂ ප්‍රශ්න අවුල් කරනවා. ඒ වෙන කිසිවක් නිසා නොවෙයි ඔහු මහින්දගේ පුතා වීම නිසයි. නාමල් කරන දෙයක් නැහැ. එහෙත් නාමල් නිසා මහින්ද ප්‍රශ්නවලට විසඳුම් දෙන්නේ නැහැ. ඒ බව දේශපාලනයේ යෙදෙන බොහෝ දෙනා දන්නවා. එහෙත් ප්‍රසිද්ධියේ කියන්නේ නැහැ. මහින්දට අවශ්‍ය 2024 වන තුරු කල් බලන්න. ඔහුත් අද ඉන්දියාවට විරුද්ධව එතරම් දෙයක් කියන්නේ නැහැ. මත්තල විකිණීමට විරුද්ධව ඵලදායී වැඩක් ඔහු කරනවා ද?

මෙයින් කියන්නේ රනිල් හෝ මෛත්‍රිපාල හෝ හොඳයි කියන එක යන නිගමනයට එළඹෙන්න පුළුවන් දරුණු ම ගණයේ මහින්දවාදියකුට පමණයි. ඉදිරි අවුරුදු පහක පමණ කාලය මෙරට දේශපාලනයේ අවුල් කාලයක්. අප එයට මුහුණ දෙන්නේ කෙසේ ද යන්න කල්පනා කරන්න ඕන. එය කුමක් ද කියන එක පැහැදිලි නැහැ. එහෙත් මේ බටහිරයන් දුන් දේශපාලනයෙන් ඉවත් වීමට කාලය පැමිණ තියෙනවා. අප ආධ්‍යාත්මික මගකට යොමු විය යුතුයි.

අද එක්තරා ආකාරයක බෞද්ධ ප්‍රබෝධයක් තියෙනවා. එහෙත් එහි හරය පිළිබඳ ප්‍රශ්න තියෙනවා. එහි හරය ප්‍රශ්නයක් නිසා තමයි අප වල්මත් වූවන් සේ එහෙ මෙහෙ දුවන්නෙ. ඒකාබද්ධ විපක්‍ෂයට කිසිම දැක්මක් නැහැ. මෙය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රශ්නයක් නො වෙයි. අද ඒකාබද්ධ විපක්‍ෂය පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමක් ගැන කියනවා. එහෙත් එසේ වුණොත් මන්ත්‍රීකම් නැති වීමේ ඉඩක් තියෙනවා. බැසිල්ගේ කීමට ඔවුන් 2015 දී වෙන ම තරග කෙළේ නැහැ. අද ඔවුන් පාර්ලිමේන්තුවේ ගැලරි කතා කරන්නන්ගේ තත්වයට පත් වෙලා. අද බැසිල්ගේ ව්‍යාපෘතිය රනිල් පවත්වාගෙන යෑමයි. ගාමිණි දිසානායක ඉන්දියාවත් සමග ගණුදෙනු කළ ආකාරය ඔහු දන්නවා. බැසිල් කවුද කියන එක බොහෝ දෙනා දන්නවා. එහෙත් බයට කතා කරන්නේ නැහැ. ගාමිණී දිසානායකට පසු ඉන්දියාව සමග ලංකාවට අවශ්‍ය ආකාරයට නොව ඉන්දියාවට අවශ්‍ය ආකාරයට ගණුදෙනු කරන්නේ බැසිල්.

මේ දේශපාලනය අද හෙට වෙනස් කරන්න බැහැ. එයට කාලයක් ගත වෙනවා. එහෙත් මා හිතනවා අවුරුදු පහකින් ඒ කාර්ය කරන්න පුළුවන් කියා. අප ඉදිරි අවුරුදු පහ ගැන නොවෙයි කතා කළ යුත්තේ අවුරුදු පහකින් පසු තත්වය ගැනයි. ඒ නාමල් රාජපක්‍ෂවත් වෙනත් ඇමති පුතකුවත් ජනාධිපති දියණියකවත් බලයට පත් කරන්න නො වෙයි. සිංහල බෞද්ධ රාජ්‍යයක් නැවත ඇති කරන්න. ඒ සඳහා ආධ්‍යාත්මික ශක්තියක් ඇති කර ගැනීමට අප වෙහෙසිය යුතුයි. මේ කියමනත් සමග මහින්දවාදීන් බොහෝ දෙනා මා සිරිසේනවාදියකු හෝ සිරිජාතිකවාදියකු හෝ යැයි කියමින් මට පරිභව කිරීමට පෙළඹෙන බවත් මා දන්නවා.

සියවස් කාලකට පමණ පෙර අප සමග සිටි බොහෝ දෙනා අපත් සමග අද නැහැ. කලක් කාලය සඟරාවේ ද ලක්මිණ පුවත්පතේ ද චිත්‍ර ඇන්දේ ජනරංජන. ඔහු මගේ පොත්වල පිටකවරය ද සකස් කළා. ඒ දිනවල ඔහු හිතන්න ඇති මා තවත් වාම කේන්ද්‍රිකයකු කියා. ඔහු පසුව අප යන මග දැන ගැනීමෙන් පසු අපෙන් ඉවත් වුණා. අප ඒ නිසා තවත් ශක්තිමත් වුණා. ඒ කාලයේ පශ්චාත්නූතනවාදී මත පඬියන් හා පඬි පෝතකයන් අතර ජනප්‍රිය වී තිබුණා. සමහරුන් හිතුවේ මා ඉදිරිපත් කරන මතය ද පශ්චාත්නූතනවාදී කියා. අප නිවසට එකල නිර්මාල් දේවසිරි පැමිණ එකට වැඩ කරමු කියා කීවා. වංගීස සුමනසේකර එකල බදියු කියවා නැතිව ඇති. කොහොමටත් මෙයිසු වැඩිම වුණොත් ගැටවර වියේ පසුවන්නකු වෙන්න ඇති. ඔහුත් හිතන්න ඇති මා ඊනියා ප්‍රගතිශීලි මතයක් ඉදිරිපත් කරනවා කියා. මා ඔවුන් සමග වැඩ කරන්න කැමති වුණේ නැහැ. අද ඔවුන් මා නාථ දෙවියන් කරා පසුබැස ඇති අයකු ලෙස හඳුන්වනවා. එවිට නාථ දෙවියන් මට තවත් උපකාර කරනවා.

අද තවත් පඬිවරයකු බවට පත් වී ඇති ලියනගේ අමරකීර්ති එක්සත් රාජ්‍යයන්ට ගොස් ලක්බිම පුවත්පතට ලියූ ලිපියක සඳහන් කෙළෙ තමා එරට ඉගෙනගන්නා දේ පළමුවෙන් දැන ගත්තේ මගෙන් බව. ඔහු ළඟ ඒ ලිපිය ඇති. අද ඔහු මා මන්දබුද්ධියකු ජාතිවාදියකු අන්තවාදියකු ලෙස හඳුන්වනවා වෙන්න පුළුවන්. එහෙත් ඔහුත් අපෙන් ඉවත් වීමෙන් අප තවත් ශක්තිමත් වී තියෙනවා.

මෙහි අනෙක් පැත්තත් තියෙනවා. ඇතැම් ආභිධර්මික බෞද්ධයන් (ඔවුන් සමහර දෙනා ඕල්කට් බෞද්ධයන්) මා හැඳින්වූයේ බුදුදහමට පසමිතුරු පශ්චාත්නූතනවාදියකු ලෙස. දැනට අවුරදු තුනකට පමණ ඉහත දී ලංඩනයේ සිට ලංකාවෙබ් අඩවිය සංස්කරණය කරන නීල මහා යෝධයා නමින් ද පෙනී සිටින ධර්මසිරි වීරසිංහ මා පශ්චාත්නූතනවාදියකු ලෙස හඳුන්වා මගේ ලිපි ඔහුගේ වෙබ් අඩවියේ පළ කිරීම නවතා දැමුවා. අප ඉන් තවත් ශක්තිමත් වූවා. පශ්චාත්නූතනවාදයට බුදුදහම අහළකටවත් එන්න බැහැ. මා මගේ ලෝකය පළ කෙළේ පශ්චාත්නූතනවාදීන්ගේ පොත්පත් කියවා නො වෙයි. අඩු තරමෙන් මා පශ්චාත්නූතනවාදියකු ලෙසත් හැඳින්විය හැකි කාන්ට්වත් කියවා තිබුණේ නැහැ. නීට්ෂේලා හයිඩැගර්ලා ආදීන් ගැන මා දැන සිටියේ නමින් පමණයි. මා නාගර්ජුන හිමියන් ගැන ටිකක් දැන සිටියා. ක්වොන්ටම් භෞතිකය අවුලක් බව දැන සිටියා. කුන් ෆෙයරාබන්ඩ් ආදීන් නම් කියවා තිබුණා. එහෙත් ඒ සියල්ලට ම වඩා ඥානානන්ද හිමියන්ගේ කන්සෙප්ට් ඇන්ඩ් රියැලිටි පොත කියවා තිබුණා. එ පොත්පත්වලින් මා යම් යම් දේ ඉගෙන ගත්තා. එහෙත් ක්‍රමයෙන් මා මගේ ම වූ අනන්‍යතාවක් සහිත දැක්මක් ගොඩ නගා ගත්තා. එහි දී විවිධ පුද්ගලයන් මගෙන් ඈත් වුණා. ඒ සමග මා වඩාත් ශක්තිමත් වුණා. මා ඊනියා වාම කේන්ද්‍රිකයකු නොවන බව ඔවුන් දැන ගත්තා. ප්‍රංශ විප්ලවයෙන් ලැබුණු වම දකුණ සංකල්ප මට නැහැ. මා ඒවා ප්‍රැන්කු දශමයකටවත් යුරෝ දශමයකටවත් ගණන් ගන්නේ නැහැ.

බොහේ බටහිර අනුකරණය කරන පඬියන් පඬිපෝතකයන් බටහිර දාර්ශනිකයන්ගේ නම් දැනගත්තාට පෙරදිග බෞද්ධ දාර්ශනිකයන් ගැන එසේවත් දන්නේ නැහැ. මේ පඬියන් සියල්ල නවතා බ්‍රහ්මජාල සූත්‍රය කියවනවා නම් තමන් ජාලයේ ඉන්න තැන දැනගන්නට පුළුවන්. අපට මේ දරශන වැදගත් වන්නේ ඉන් ඉවත්වීමට මිස ඒ අනුගමනය කිරීමට නො වෙයි. මා දැන් නම් මෙයිසුත් කියවා තියෙනවා. ඔහුගේ එක් තර්කයකට මගේ ලෝකයේ පිළිතුරු දී තියෙනවා. ඔහුගේ තර්ක අලුත් තර්ක නොවෙයි. ඔහු ගණිතය ගැන කියන දේට මා පසුගිය ලිපි කිහිපයකින් පිළිතුරු දී ඇති. ගණිතය, බුද්ධිචාදය, හේතු හා හේතුවාදය මේ සියල්ල මිනිසුන්ගේ නිර්මාණ පමණයි. හැකිනම් ගණිතය මිනිසාගෙන් ස්වායත්ත ඊනියා පාරමාර්ථික වාස්තවික දැනුමක් කියා පෙන්වන්න.

ඒ කොහොම වෙතත් මහින්දවාදීන් ද යම් පිරිසක් දැන් මගෙන් ඈත් වී තියෙනවා. ඉදිරියේ දී තවත් අය ඇත් වේවි. ඒ සමග අප තව තවත් ශක්තිමත් වෙනවා. අපේ ශක්තිය ආධ්‍යාත්මික ශක්තියයි. අපට අවශ්‍ය ආධ්‍යාත්මික ශක්තියකින් යුත් රට කරවීමක් කරා යෑමටයි. මා එයට දේශපාලනය කියා කියන්නේ නැහැ. අඩු තරමෙන් මිහිඳු හිමියන්ගෙන් පසු අපට දේශපාලනයක් නැති බව තේරුම් ගත යුතුයි. බටහිරයන් දී ඇති දේශපාලනයෙන් අප ඉවත් විය යුතුයි.

– නලින් ද සිල්වා



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More