පුරවැසි කොලම

පඩි වැඩිවීම නවත්වන්න

August 5, 2018 11:33 am | Lanka Lead News

ශී‍්‍ර ලංකාව නම් වර්ග කිලෝමීටර් හැටපන්දහස් හයසිය දහයක භූමි වපසරියක පිහිටි කුඩා රටේ නාස්තිය, දූෂණය උපරිමයෙන්ම තිබේ. ඒ ගැන බයක් හැකක් නැතිව කතා කළ හැකිය. ඊට හේතුව පරණ ආණ්ඩුවේ දූෂණ වංචා ගැන අලූත් ආණ්ඩුවේ උදවිය කතා කිරීමත්, අලූත් ආණ්ඩුවේ දූෂණ වංචා ගැන පරණ ආණ්ඩුවේ උදවිය කතා කිරීමත්ය. ඒ දෙගොල්ලන්ගේම වැරැදි ජනතා විමුක්ති පෙරමුණත්, පෙරටුගාමී පක්‍ෂයත්, මදි පාඩුවට සිවිල් සංවිධානත් කතා කරන නිසා අප ඒ ගැන කතා කළාට ප‍්‍රශ්නයක් ඇතිවන්නේද නැත. කෙසේ හෝ මේ කාගේ කාගෙත් වැරැදිවලට පව් ගෙවන්නට සිදුව ඇත්තේ රටේ ජනතාවටය. පරණ ආණ්ඩුවේ ‘‘වැරැදි’’ නිසා රටේ ජනතාවට මේ දුක විඳින්නට සිදුව ඇතැයි කියමින් සොටු, කඳුළු පෙරමින් ආණ්ඩුවේම ඇමැතිවරු කතා කරන විට අපට අඬන්නට කඳුළු ද නැත.

එහෙව් ආණ්ඩුවේම පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන්ට ‘සැප’’ පිණිස විවිධ යෝජනා එයි. සම්මත කරගනී. පසුගිය සතිය වන විට එවැනි ‘‘සුබ ආරංචියක්’’ ගැන අපට අසන්නට ලැබිණි. ඒ, මැති ඇමැතිවරුන්ගේ වැටුප් විනිසුරු වැටුපට සමානුපාතිකව වැඩි කිරීමේ යෝජනාවක් කථානායකවරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවය. පසුගිය ජුලි 17 වැනිදා පැවැති පාර්ලිමේන්තු රැස්වීමේදී ගත් තීරණයකට අනුව මේ වැටුප් වැඩිවීම කරන බව දැනගන්නට තිබේ. විශේෂත්වය වන්නේ සියයට දෙසිය පහළොවකින් (215% කින්) ඉහළ නැංවීමට නියමිත මේ වැටුප් වැඩිවීම ජනවාරි මාසයේ සිට හිඟ වැටුප ද සමගින් ගෙවීමට යෝජනා වී තිබීමය. ඒ අනුව ඒ වැටුප් වැඩිවීම මේ ආකාරයෙන් සිදුවීමට නියමිතය. පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකුගේ වැටුප මේ වන විට රුපියල් 54,285 කි. එය රුපියල් එක්ලක්‍ෂ විසිපන්දහස (1,25,000) දක්වා වැඩිවීමට නියමිතය. නියෝජ්‍ය ඇමැතිවරයකුට මේ වන විට හිමිවන වැටුප රුපියල් 63,500 කි. එය නව වැටුප් වැඩිවීමට අනුව රුපියල් 1,35,000 (එක්ලක්‍ෂ තිස්පන්දහස) දක්වා ඉහළ දැමේ. ඇමැතිවරයෙක්ගේ හා රාජ්‍ය ඇමැතිවරයෙක්ගේ වැටුප මේ වන විට රුපියල් 65,000 ක් වන අතර එය රුපියල් එක්ලක්‍ෂ හතළිස්දහස (1,40,000) දක්වා වැඩිවීමට නියමිතය.

edifea2පළාත් සභා, පළාත් පාලන, පාර්ලිමේන්තුව ආදී වශයෙන් ගත් විට වැඩිම වරප‍්‍රසාදවලට හිමිකම් කියන ජනතා නියෝජිතයන් සිටින්නේ පාර්ලිමේන්තුවේය. මන්තී‍්‍ර දීමනාව වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් කෝටි 25 ඉක්මවන බව කියැවේ. මේ වන විට පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරු 225 දෙනාගේ දීමනා වෙනුවෙන් දිනකට වැය කරන මුදල රුපියල් විසිහයලක්‍ෂ හැටපන්දහසක (26,65,000 ට) වැඩිය. ඒ ගණන් හිලවුවලට අනුව ඉදිරියේදී රටේ ජනතාවට පැටවෙන බර තවත් ඉහළ යෑමට නියමිත බව සියයට සියයක්ම පැහැදිලිය.

පසුගිය 02 වැනිදා (බ‍්‍රහස්පතින්දා) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සරවීර ප‍්‍රකාශ කර තිබුණේ මේ අවස්ථාවේදී මැති ඇමැතිවරුන්ගේ තබා කිසිවකුගේවත් වැටුප් වැඩි කිරීමට තමා විරෝධය දක්වන බවය. ඔහු කියන පරිදි මේ ගැන කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවීද නැත.

‘‘මෙය වැටුප් වැඩි කිරීමට අවස්ථාවක් නොවෙයි. කාගේ වුණත් මේ මොහොතේ වැටුප් වැඩි කිරීමට මම විරුද්ධයි. මැති ඇමැතිවරුන්ගේ වැටුප් වැඩි කි{jcomments on}රීමක් ගැන මම දන්නේ නෑ. එවැනි යෝජනාවක් කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කළෙත් නෑ. ඒත් 2016 දී විනිශ්චයකාරවරුන්ගේ වැටුප් වැඩි වූ බව මම දන්නවා. කොහොම වුණත් ඕනෑම වැඩිකිරීමක් භාණ්ඩාගාරයට එන්න ඕනෑ. එහෙම ආවාම බලමු මොකද කරන්නේ කියලා.’’

මංගල සමරවීර ඇමැතිවරයා එවැනි ‘‘හිත නිවන’’ වර්ගයේ කතාවක් කීවද ලැබෙන ආරංචි මාර්ග අනුව මේ වන විට වැඬේ ‘‘පත්තුවී’’ හමාරය. ඒ නිසා මේ කතාවේ ඉතිරිය පෙළ ගැස්සවිය යුත්තේ ඊට විරෝධය දක්වා ‘‘අකුරුවලින් පිකටිං’’ කරන්නට නොව තත්ත්වය පැහැදිලි කර ගැනීමටය. කාලයකට ඉහතදී පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් පනතට අනුව අධිකරණවල විනිසුරුවරුන්ගේ වැටුප් වැඩිවීම්වලට සමපාතව මැති ඇමැති වැටුපද ඉහළ දැමිය යුතුය. ඒ අනුව 2016 වර්ෂයේ විනිසුරු වැටුප් ඉහළ ගිය මුත් මැති ඇමැති වැටුප ඉහළ ගියේ නැත. මේ කරළියට පැමිණ තිබෙන්නේ ඒ ‘‘ඇරියස්’’ එක බව පැහැදිලිය. එහෙත් අප දන්නා පරිදි වැටුප් වැඩිවීමක් සිදු නොවුණ ද මන්තී‍්‍රවරුන්ට ලැබෙන වරප‍්‍රසාද දීමනාවල අඩුවක් වූයේ නැත.

මැති ඇමැතිවරු ලබන දීමනා වරප‍්‍රසාද මොනවාද?

edifea3මන්තී‍්‍රවරයකුට සංග‍්‍රහ දීමනාව රුපියල් 1000 කි. ප‍්‍රවාහන දීමනාව රුපියල් 10000 (දසදහසකි.) පාර්ලිමේන්තු සැසියක් වෙනුවෙන් දිනකට දීමනාව රුපියල් 2500 කි. මසකට දින අටක් පාර්ලිමේන්තුව රැස්වේ. එවිට අදාළ දින ගණනට අනුව රුපියල් 20,000 ක දීමනාවක් මන්තී‍්‍රවරුන්ට හිමිවේ. දුරකථන දීමනාව රුපියල් 50,000 කි. බස්නාහිර පළාත් සීමාවට යටත් ඇමැතිවරයකුට පෙට‍්‍රල් වාහනයක් සඳහා මාසයකට දීමනාව රුපියල් 50,000 කි. ඞීසල් වාහනයක් නම් රුපියල් 20,000 ක් හිමි වේ. බස්නාහිර පළාතෙන් පිට ඇමැතිවරයකුට පෙට‍්‍රල් වාහනයකට රුපියල් 75,000 ක් ද ඞීසල් වාහනයකට රුපියල් 30,000 ක් ද හිමි වේ. බස්නාහිර පළාත තුළ නියෝජ්‍ය ඇමැතිවරයකුට පෙට‍්‍රල් වාහනයක් සඳහා රුපියල් 40,000 ක් ද ඞීසල් වාහනයක් සඳහා රුපියල් 20,000 ක් ද හිමිය. මේ කිසිදු ඇමැතිවරයකුගේ, මන්තී‍්‍රවරයකුගේ කාර්ය මණ්ඩලය නඩත්තු වන්නේ ඔහුගේ පුද්ගලික මුදලින් නොවේ. ඊට වැය කරන්නේ ද ජනතාවගේ බදු මුදල්ය. ඇමැතිවරයකුට කාර්ය මණ්ඩලය ලෙස 15 දෙනෙකු යොදවා ගත හැකිය. නියෝජ්‍ය ඇමැතිවරයකුගේ කාර්ය මණ්ඩලය 10 දෙනෙකි. ඇමැතිවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකුට වැටුප් අතිකාල දීමනා හිමිය. වාහනය සඳහා පෙට‍්‍රල් ලීටර් 218 ක් ද හිමිය. අමාත්‍ය කාර්ය මණ්ඩලයට වාහන පහකි. නියෝජ්‍ය ඇමැති කාර්ය මණ්ඩලයට ද වාහන තුනක් හිමිය. අපේ රටේ මැති ඇමැතිවරු බොහෝ දෙනෙක් මේ කාර්ය මණ්ඩල නඩත්තුව ද තමන්ගේ ගොඩ වැඩිකර ගැනීමේ කාර්ය වෙනුවෙන් අපූරුවට යොදා ගනී. ඒ නිසාම බිරිඳ, දුව, පුතා, බිරිඳගේ ඥාතීන්, දුවගේ පෙම්වතා, පුතාගේ පෙම්වතිය පවා කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් ලෙස බඳවාගෙන තිබේ. ඒ අනුව ඇමැති කාර්ය මණ්ඩලයේ අයකුට හිමි වන රුපියල් 20,000 ක වැටුපට අමතරව වසර පහක සේවා කාලයකින් පසුව විශ‍්‍රාම වැටුපකට ද හිමිකම් කියන්නට මේ උදවියට හැකියාව ලැබේ. ඇමැතිවරයකුට කාර්යාල දීමනාව ද රුපියල් 50,000 (රුපියල් පනස්දහසක) ක් හිමි වේ. මේ වනවිට මන්තී‍්‍රවරුන් සඳහා විශ‍්‍රාම වැටුප් ගෙවීමට මසකට රුපියල් ලක්‍ෂ 145 ක් වැය වන බවත්, විශ‍්‍රාම වැටුප් ලබන මන්තී‍්‍ර සංඛ්‍යාව හත්සියයක් පමණ වන බවත් කියැවේ. 1977 අංක 01 දරණ පාර්ලිමේන්තු විශ‍්‍රාම වැටුප් පනතට අදාළව පාර්ලිමේන්තු නියෝජිතයන්ට ඒ අවස්ථාව හිමිවේ. 1982 වර්ෂයේ සිට මන්තී‍්‍රවරුන්ගේ වැන්දඹු බිරින්දෑවරු සඳහා ද විශ‍්‍රාම වැටුප් හිමිය.

මේ මැති ඇමැත්තෝ අගහිඟකම් වලින් පෙළෙන නැති බැරි ඇත්තෝ නොවන බව සියල්ලෝ දනිති. මැතිවරණයකට වියදම් කරන මුදල් කන්දරාව ගැන වැටහීමක් ඇති කාහට වුවද ඒ ගැන අමුතුවෙන් කිව යුතු නැත. එහෙව් මැති ඇමැතිවරුන්ගේ වැටුප් වැඩිකිරීම ගැන රටේ ජනතාවට ප‍්‍රශ්න ඇත්තේ එබැවිනි.

මැති ඇමැති වැටුප් වැඩි කිරීම ගැන නොව කාට වැටුප් වැඩි කළ ද ඒ ගැන රටේ ජනතාවට ද්වේශයක් නැත. එහෙත් ප‍්‍රශ්නය වන්නේ මේ හදිස්සියේ මැති ඇමැති වැටුප් වැඩි කිරීමට තරම් සුඛිත මුදිත තත්ත්වයක රට තිබේද යන්නය. 2015 ජනවාරි 08 වැනිදා මේ ආණ්ඩුව බලයට පත්වී දින සියයක් මධු සමයෙන් පසු පළමු අයවැය ඉදිරිපත් කරන මොහොතේ රටේ ජනතාවට කීවේ ‘‘පටි තදකර ගන්නා’’ ලෙසය. ජනතාව පසුගිය වසර තුනක කාලය පුරාම ඒ පටිය තදකරගෙන සිටි බව අමුතුවෙන් සිහිපත් කළ යුතු නැත. පටිය තදකර ගෙනම හිඳින්නට යැයි කී ආණ්ඩුව නහුතයක් බදු ජනතාව පිට පැටවීය. දැන් බඩු මිල වැඩිය. බස් ගාස්තු වැඩිය. රටේ ප‍්‍රශ්න එමටය. ආණ්ඩුව කියන ආකාරයට පහුගිය ආණ්ඩුව ආර්ථිකය විනාශ කර දමා තිබේ. ඒ නිසාම එය ගොඩදැමිය යුතුය. ඒ වෙනුවෙන් වරාය, ගුවන්තොටුපළ නොව සියලූම සම්පත් විකුණා දැමිය යුතුය. ලෝක බැංකු ණය ආධාර ද ලබාගත යුතුය. ඒ මුදල් සියල්ල යොදවා කළ යුත්තේ මැති ඇමැති වැටුප් වැඩි කිරීමත්, කෝටි හතරක් පහක් නොව ඊටත් වඩා වටිනා වාහන තීරු බදු රහිතව ගෙන්වා මැති ඇමැතිවරුන්ට ලබා දීමත් නම් අපට කමක් නැත. මේ සියල්ල සිදුවන්නේ රටේ අපමණ නාස්තිකාර වියදම් රැසක් සිදුවන මොහොතක බව අප අමතක කළ යුතු නැත. දේශපාලනඥයන් බොරු බේගල් ඇද බාන විට රටේ ජනතාව දෙපිළකට තුන්පිළකට බෙදී ඒ ගැන ‘‘චූන්’ වෙමින් හිඳී. නින්දට යන්නේ ද ඒ චූන් එක පිටමය. ඒ ප‍්‍රබෝදය පිටම නින්දට ගොස් ඇහැරෙන උදවියට අවදිවන විට රටක් ඉතිරිව තිබේද යන්න ගැන නිනව්වක් නැත.

උදේශ සංජීව ගමගේ
udeshamedia@gmail.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More