පුරවැසි කොලම

හම්බන්තොට වරාය චීනයට කල්බදු ක්‍රමයට විකුණා දැමූ යහපාලන රෙජිමය , මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉන්දියාවට දොර දන්දීමට කටයුතු කරමින් සිටී. යහපාලනය බලයට පත්වන්නේ මාස 60න් අළුත් රටක් හදන බවට වන ප්‍රතිඥ දෙමිනි. එම මාස 60 තුල නව රැකියා අවස්ථා ලක්ෂ 10 ක් නිර්මාණය කිරීම ද ආකර්ශනීය පොරොන්දුවකි.

යහපාලනය බලයට පත්ව වසර 3 1 / 2 ක් හෙවත් මාස 42 ක් ගෙවී ගොස් තිබේ. මේ ආණ්ඩුවේ පස් අවුරුදු නිල කාලය සම්පූර්ණ වීමට තව ඉතිරිව ඇත්තේ මාස 18 ක් තරම් කෙටි කාලයකි. බලය ලබාගන්නා විට පොරොන්දු වූ රැකියා දස ලක්ෂයෙන් මේ වන විට හත් ලක්ෂයකට රැකියා ලබා දී තිබිය යුතුය. ලක්ෂ හතකට මේ වන විට රැකියා ලබා දී තිබීම ,
කෙසේ වෙතත් , අදවන විට ලංකාවේ සේවා වියුක්ත අනුපාතය 13 % ක පමණ අගයක් ගෙන ඇත. 2005 දී 8.3%ක් වූ සේවා වියුක්තිය 2014 දී 4.3% දක්වා පහල හෙලන ලදී. 2015 ජනවාරි 08 න් ඇරැඹි යහපාලනය නැවතත් 2005 ට පෙර පැවති යුගයට රට ගෙනයමින් , විරැකියාව හෙවත් රැකියා නොමැතිකමේ අර්බුදයට රට ඇද දමා තිබේ.

2005 ට පෙර උද්ධමනට පැවතියේ ඉලක්කම් දෙකේ අගයකිනි .අඛණ්ඩව සමස්ථ මිලමට්ටම් ඉහල යෑම හා යුද්ධය ජනතාවගේ ජීවිතවල අවිනිශ්චිත බව උග්‍ර කලේය.යුද්ධය ද කරමින් සහ ජනතාවගේ ජීවන අරගලය වඩා පහසු කරනු පිණිස 2005 පසු පුරා මාස 72 කට වැඩි කාලයක් (වසර 6ක් ) උද්ධමන අනුපාතය තනි ඉලක්කමකින් පවත්වාගෙන යෑමට ඉකුත් රාජපක්ෂ පාලනය සමත් විය. අද උද්ධමනය යලිත් ඉලක්කම් දෙකෙහි අගය ක් ගෙන ඇත.

අති දැවැන්ත යුද්ධයක් ද කරමින් ආර්ථික වර්ධන වේගය 7 % කට වැඩි අගයකින් පවත්වා ගෙන යෑමට රාජපක්ෂ පාලනයට හැකි විය. අදරටේ සිවිල් යුද්ධයක් නොමැත. රට තුල වන්නේ සාමකාමී වටපිටාවකි. එය සැබවින්ම ,ආර්ථික වර්ධනයට ,ආර්ථික ස්ථායිකරණය ට ඉතාම සුදුසු ය. නමුත් ඉකුත්ජනවාරි 08 වැනිදායින් පසු රටේ ආර්ථිකය විශාල වශයෙන් අවගමනය වී තිබේ. 2015 ජනවාරි 08 ආණ්ඩු මාරුව වනවිට ඇමෙරිකානු ඩොලරය රුපියල් 131 ක් පමණ වූ අතර , අද ඩොලරයේ ගැණුම් මිල ශ්‍රි ලංකා රුපියල් 162 කි. රුපියලේ අගය දිගින්දිගටම පිරිහීමෙන් පෙන්නුම් කරන්නේ යහපාලන රෙජිමයේ අසාර්ථක ආර්ථික කලමනාකරනය නොවේද?.

ඉකුත් ජනාධිපතිවරණයේ දී යහපාලන වේදීකාවේ ජනප්‍රිය කියවීමක් වූයේ රාජපක්ෂ රෙජීමය , රටේ ආර්ථිකය ආලාපාළු කර ඇති බවයි. නමුත් යහපාලනයේ ගෙවී ගිය මාස 42 ට සමස්ථ ආර්ථිකය ම නැති භංග කර තිබේ. මේ මාස 42 ට පොදු ජනතාවගේ සනීපාරක්ෂාව වෙනුවෙන් යහපාලන රෙජීමය ‘ පොදු වැසිකිලියක් ‘ හෝ ඉදිකොට පවත්වාගෙන ගොස් නැත. කර ඇත්තේ ප්‍රධාන කාර්යය 2කි .ඉන් එක් කාර්යයක් නම් සංවිධානාත්මක දේශපාලන පලිගැනීම ය. දෙවැනි කාර්යය වන්නේ ඉකුත් රාජපක්ෂ පාලනය ජාතියට අළුතෙන් දායාද කරන ලද ප්‍රාග්ධන සම්පත් නොරටුන්ට විකුණා දැමීම ය.

රාජපක්ෂ ආණ්ඩුව සිය දසවසරක පාලන කාලය තුල ජාතියට විශාල ප්‍රාග්ධන සම්පත් ප්‍රමාණයක් දායාද කලේ ය. හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ, සූරිය වැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ,දක්ෂිණ අධිවේගී මාර්ගය, නොරොච්චෝල තාප විදුලි බලාගාරය,කොළඹ වරාය නගරය, නොළුම්පොකුණ රඟහල, නෙලුම් කුළුණ යනු එසේ ජාතිය ට අලුතින් එකතු කල ප්‍රාග්ධන වත්කම් ය. එකී සියලු ප්‍රාග්ධන ජාතික සම්පත් පිලිබඳ විවේචන කල එවක විපක්ෂය වූ , වත්මන් යහපාලන රෙජීමය , මේ වන විට , 2005 න් පසු ජාතියට අලුතෙන් එකතු වූ ප්‍රාග්ධන සම්පත් විජාතික කරණයට කටයුතු කරමින් සිටී.

යහපාලනය බලයට පත්වූයේ නිසි ආර්ථික වැඩපිලිවෙලක් ,ආර්ථික දැක්මක් තමන්වෙත පවතින බව ප්‍රකාශ කරමිනි. එලෙසම රනිල් වික්‍රමසිංහ යනු ආර්ථික කලමනාකරනය පිලිබද හසල දැනුමක් හා අවබෝධයක් ඇති රාජ්‍ය තාන්ත්‍රිකයකු බවට වන මතයක් ද ගොඩනගා තිබුණි. නමුත් ඒ සියල්ල අද පුස්සක් බවට පත්ව තිබේ. ජාතිය සතු සම්පත් විජාතිකයන් ට විකිණීම කවර නම් ආර්ථික කලමනාකරනයක් ද ?. මේ වනාහී රනිල් – මෛත්‍රී යහපාලන රෙජීමයේ නොහැකියාව නොවන්නේ නම් වෙන කුමක් ද ?.

ලාංකීය දේශපාලන ඉතිහාසයේ බලයට පත් අසාර්ථකම ආණ්ඩුව රනිල් -මෛත්‍රී යහපාලන රෙජීමය යි. ගෙවීගිය වසර් 3 1/2 ක කාලය හෙවත් මාස 42 ක කාලයට රටේ ආර්ථිකය අවගමනය වී තිබෙන අතර,සමස්ථ ආර්ථිකය ම මේවන විට ආලාපාළු වී තිබේ. සිගන්නන්ගෙන් ද බදු අයකල යුතු බවට මංගල සමරවීර මුදල් අමාත්‍යවරයා කරන ප්‍රකාශ වලින් තහවුරු කරන්නේ , මේ ආණ්ඩුව සහ ගහන බදු නොව හෙන හත ගහන බදු ගසා හෝ රාජ්‍ය වියදම පියවා ගැනීම ට පෙලබී තිබෙන බවයි.

සිය නොහැකියාව ඉකුත් රජය මත පැටවීම රනිල් – මෛත්‍රී රෙජීමයේ උපක්‍රමය වී තිබේ.හම්බන්තොට වරාය කල්බදු ක්‍රමයට චීනයට විකුණුවේ , සහ මත්තල ගුවන්තොටුපොළ විකිණීමට සැරසෙන්නේ ද එපරිද්දෙනි. ජනවාරි 08 බලපෙරලිය හුදෙක් හැටදෙලක්ෂයේ කැමැත්ත ම පමණක් නොවේ. ඒ තුල අසල්වැසි ඉන්දියාව ,ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර බලවේග වල අබිලාෂන් ද වන්නේය. යහපාලන රෙජීමය මේ කරන ආර්ථික ඝාතණ ක්‍රියාවන්ගෙන් නිරූපනය කරන්නේ තමන් බලයට ගෙන ඒමට වෙහෙසුණු ජාත්‍යන්තර බලවේගවල අවශ්‍යතාවයද ? කියන සැකයක් ඇතිවන්නේ ය.

අද වනවිට ශ්‍රි ලංකාව යනු බටහිර ධන වැද්දන්ගේ හා ඉන්දීය ව්‍යප්ත වාදයේ ගොදුරු බිමක්ව තිබේ.ඉන්දියානු ව්‍යප්තවාදය පිලිබඳ දේශණ පැවැත් වූ ජනතා විමුක්ති පෙරමුණ මත්තල ඉන්දියාවට පැවරීම පිලිබඳ මුනිවත් රැකීම පුදුම උපදන සුළුය.අද වන විට එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ එකම කාසියේ දෙපැත්ත මෙන් , බටහිර බලවේගවල මනදොල සපුරමින් සිටී . රටට ඉදිරි දැක්මක් නැත. රටට ඉලක්කය ක් නැත. නූල කැඩී ගිය සරුංගලයක් මෙන් රට ඉබාගාතේ හෝ නන්නත්තාරේ යන තත්වයට පත්ව තිබේ.

සියළු සම්පත් බටහිර හා වෙනත් විජාතික මුල්‍ය ආයතනවල අවශයතා මත දොරදන් දීමට ආණ්ඩුව ක්‍රියා කරමින් සිටී.රටට ජාතික වැඩපිලිවෙලක් නොමැත. බටහිර දක්ෂිණාංෂික ලිබරල් ආර්ථික පිලිවෙතේ කොලනියක් බවට අද ලංකාව පත්ව තිබේ. ඉකුත් ජනවාරි 08 සිට මේ දක්වා යහපාලන් දෙමුහුන් රෙජීමය ආර්ථික වැඩසටහන් දහයක් පමණ ඉදිරිපත් කර තිබේ . නමුත් ඒ එකදු වැඩපිළිවෙළකින් හෝ සාර්ථක ප්‍රතිලාභයක් පොදු මහජනතාවට මේ දක්වා ලැබී නොමැත.

සිදුවී ඇති එකම් දෙය නම් රට දිනෙන් දිනම අරාජිකත්වය කරාගමන් කිරීම පමණි. 2017 වන විට මැදි ආදායම් ලබන රටක් බවට පත්වීමේ ඉලක්කය පසු කිරීමට සූදානම්ව සිටි ශ්‍රි ලංකාව , රනිල් -මෛත්‍රී රෙජීමය 2025 දී, ආර්ථික ප්‍රගතිය ඇති කරන බව පවසා මැදි ආදායම් ඉලක්කය තවත් වසර 7කට කල් දමා ඇත. දැන් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පවසන්නේ ශ්‍රි ලංකාව 2050 දී සංවර්ධිත රටක් බවට පත්කරන බවයි. මේ වනාහි රනිල්වි ගේ මනෝරාජික යුටෝපියාවක්‍ පමණි . ඔහුගේ මේ ප්‍රකාශය නිසි සැලසුමක් මත කරන ඒවා නොවන බව පැහැදිලි ය.

රටේ ඉදිරි අනාගතය අතිශයින් බියකරුය. යහපාලන රෙජීමය රටේ ආර්ථිකය ප්‍රපාතයක් කරා ගෙන ගොස් තිබේ.විවිධ සුරංගනා කතා කියමින් 2019 ජනාධිපතිවරණයේ දී ජනතාව යලී මුලා කොට ඡන්දය ඩැහැ ගැනීම උපක්‍රමය වී ඇත . දැන් කලඑළි බසින්නේ එවැනි වැඩසටහන් ය. එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා , ගම්පෙරළිය යනු ඊට උදාහරණයන් ය. මාස 42ක් මුලුල්ලේ කිසිවක් කරකියාගත නොහැකිව සිටිආණ්ඩුව සිය නිල කාලය අවසන් වීමට තව මාස 18 තිබියදී ගම පෙරලන්නට සූදානම් වන්නේ කුමක් සඳහා ද?. මේ වනාහි හුදු ඡන්දය උප්පරවැට්ටියක් ම පමණි. මෙරට ජනයා රෑ වැටුනු වලේ යලි දහවල් වැටෙනු ඇතැයි සිතිය නොහැක. යහපාලුවන්ට මෙරට ජනයා යලි ජනවරමක් දීමට අපේක්ෂා නොකරයි. නිදහසින් පසු මෙතරම් අසාර්ථක ආණ්ඩුව ක් ලංකාවේ බලයට පත්ව නැත .

රටේආර්ථිකය මේතරම් ආලාපාලු වූ යුගයක් තවත් නොමැත. මේ තරම් ආර්ථිකය අවගමනය වූ යුගයක් තවත් නොමැත. එලෙසම ජාතික සම්පත් නොරටුන්ට විකිණීම මත ම රාජ්‍ය වියදම පියවා ගැන්මට යත්න දැරූ වෙනත් ආණ්ඩුවක් නොමැත.එලෙසම බලයට පත්ව පළමු දින 100 ඇතුලත විශාලතම මූල්‍ය හොරකම් කල ආණ්ඩුවක් වන්නේද ඒ යහපාලන දෙමුහුන් ආණ්ඩුව ම පමණි . මේ අසාර්ථකත්වය පිටු දැකිය යුතුය.මේ අසමත්කම පිටු දැකිය යුතු ය. අසාර්ථකත්වයන් සාර්ථකත්වයට , අසමත් කමින් සමත් කමට ප්‍රවේශ වීමට සකල ලංකාවාසීන්ට ම දැන් සුදුසු කාලය ලඟා වෙමින් තිබේ. ඉදිරි කවර හෝ මැතිවරණය ක් යනු මේ අසාර්ථකත්වයත් , මේ අසමත්කමත් පිටුදකින ස්වර්ණමය අවස්තාවයි.

ඉන්දික ජයරත්න.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More