දේශීය පුවත්

අර්තාපල් අස්වැන්න වෙළෙඳපොළට එමින් තිබිය දී “රනිල් රාජපක්ෂ ආණ්ඩුව” ගනු ලැබූ ආනයනික සීමා ලිහිල් කිරීමේ තකතීරු කැබිනට් තීරණයෙන් ප්‍රයෝජන ගත් මහා පරිමාණ ආනයනකරුවන් හත් දෙනෙකු මේ වනවිට රටටම සෑහෙන තරමේ අර්තාපල් – ළූණු තොගයක් ගෙනැවිත් රට පුරා බෙදාහරිමින් ඇති බව ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ ජාතික ගොවි ව්‍යාපාරය පෙන්වා දෙයි.

ජානිපෙ දේශපාලන මණ්ඩල සභික, ජාතික ගොවි ව්‍යාපාරයේ ජාතික සංවිධායක කරුණාතිලක හේරත් මහතා එසේ පෙන්වා දෙමින් අවධාරණය කරන්නේ, ඉහත කී අල-ළූණු ඇතුළු මෙරට ගොවි ජනතාව වගා කරන කෘෂි නිෂ්පාදන ආනයනයේදී අවම වශයෙන් 100%ක බද්දක් පැනවීමට කටයුතු නොකළහොත් තම අස්වනු විකුණාගත නොහැකිව ලතවෙන ගොවි ජනතාව සමඟ පාරට බැසීම හැර වෙනත් විකල්පයක් ජාතික ගොවි ව්‍යාපාරයට නොමැති බවයි.

අද(10) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ගොවි ව්‍යාපාරයේ ජාතික සංවිධායකවරයා මෙසේද සඳහන් කළේය.

“ඌවපරණගම, වැලිමඩ, බණ්ඩාරවෙල යන ප්‍රදේශවල සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අර්තාපල් අස්වැන්න  මේ දිනවල වෙළදපොළට එමින් පවතිනවා. මෙහෙම තියෙද්දී ‘රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ’ තකතීරු  කැබිනට් මණ්ඩලය පහුගිය මාසයේ 14 වැනිදා ආනයන සීමා ලිහිල් කිරිමට පියවර ගත්තා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් මහා පරිමාණ ආනයනකරුවන් 07 දෙනෙකු පමණ අල, ළූණු විශාල තොගයක් කඩිමුඩියේ ලංකාවට ගෙනත් ගොඩබෑවා. දැන්  එම  මුළු තොගයම රට පුරා බෙදහරිමින් තියෙනවා. තව විශාල මෙට්‍රික් ටොන් ප්‍රමාණයක් අලුතෙන් රැගෙන ඒමට ඇණවුම් කරමින් තිබෙනවා. දවස ගාණේ අල කන්ටේනර් ගොඩබාමින් තියෙනවා එදා කිලෝ එකක් රුපියල් 340ක්ව තිබුණු දේශීය අල කිලෝව අද රුපියල් 200ට අඩු වෙලා. කැප්පෙටිපොළ බණ්ඩාරවෙල ආර්ථික මධ්‍යස්ථානයෙන් ඒ මිල තමයි ගොවියාට ලැබෙන්නේ. හැබැයි ඊයේ මහ බැංකුවේ මිල දත්තවල තියෙන්නෙ තාම රුපියල් 340ක මිලක් තියෙනවා කියලායි. කාවද මේ රවට්ටන්නෙ ?

ඌවේ අල ගොවියා අසරණ වෙද්දී කැබිනට් ඇමති සිරිපාල මර නින්දේ!

මෙහෙම ශෝචනීය තත්වයකයට දේශීය අල ගොවියා ඇද දමන තීරණ ගනිද්දී වැලිමඩ, ඌවපරණගම, බණ්ඩාරවෙල මිනිස්සුන්ගේ ජන්ද අරගෙන ආපු නිමල් සිරිපාලට, ගොවියාට යන කලදවස ගැන මතක් වුණේ නැද්ද ? පාර්ලිමේන්තුවේ ‘ගලි බවුසරය චාමර සම්පත්’ මේ ගැන නිකමටවත් වචනයක් කතා කළා ද? විරුද්ධ පාක්ෂිකයන්ට ‘අම්මට සිරි වෙන්න’ නෙළන්න කතා කරන ‘කුට්ටි බට්ටි’  නොහොත් ‘වම්බටු කුට්ටි’ මේ ගැන වචනයක් කතා කළා ද?

බීජ – පොහොර මුදලාලිලාගේ ‘මරාල බෝනස්’

දැන් බලන්න, අනෙක් අතට මිල අඩු විමේ  වාසිය පාරිභෝගිකයාට නොදී පාරිභෝගිකයා උපරිම ලෙස ගසාකනවා. ඔහුට ජිවත් වීම එපා කරවනවා. ඒ වගේම ගොවියාට ගොවිතැන එපා කරවන වෙළඳපළ ක්‍රමයකුයි මේ ක්‍රියාත්මක වෙන්න. ශ්‍රී ලංකාව ආහාර අතින් ස්වයංපෝෂිත කරන්න කැපවෙන මේ ගොවියාව වට ගණනාවකින් සූරාගෙන කනවා.

පළමුවෙන්ම ගොවියා ණය වෙලා, අඹුදරුවන්ගේ කණකර උගස් කරලා වගා කරන්න බිම සකස් කරලා යනවා බීජ ටික හොයා ගෙන, බීජ මුදලාලි ගාවට.  එතැනදී බීජ මුදලාලි දෙතුන්ගුණයක් ලාබ තියාගෙන ගොවියාව ගසාගෙන කනවා. හැබැයි එතැනදී ගොවියාට ‘මරාල බෝනස්’ එකක් හම්බවෙනවා. බහුජාතික සමාගමේ බීජ එක්ක එන වයිරස, බැක්ටීරියා, දිලීර, පලිබෝධ සහිත ‘මරාල බෝනස්’ එකක් එක්ක තමයි බීජ  අර්තාපල් කිලෝ 50 රුපියල් 33,000ට, කැරට් බීජ ග්‍රෑම් 50 රුපියල් 8000කට, මුරියා මාළු මිරිස් ග්‍රෑම් 10 රුපියල් 6700කට, ලීක්ස් ග්‍රෑම් 100 රු 7000කට, ගෝවා  ග්‍රෑම් 10 රුපියල් 3700කට හම්බවෙන්නේ.

කොහොම හරි ගිහින් වගා කරන්නත්, වගා කළායින් පස්සෙත් පොහොර අවශ්‍යයිනේ. පසේ පොහොර ඕන විදිහ පරීක්ෂා කරගන්න ක්‍රමයකුත් නැහැනේ.  ඉතිං යනවා පොහොර මුදලාලි හම්බවෙන්න. එයත් විවිධ පොහොර වර්ග දීලා ගසාගෙන කනවා. බීජ මුදලාලිට දෙන්න බැරිවුණු ‘අතිරේක මරාල බෝනස්’ ටිකත් එයාගෙන් හම්බවෙනවා. ඒ කියන්නේ විවිධ ආක්‍රමණික වල් වර්ග, කෘමි වර්ග එයාගෙන් ලැබෙනවා. ඒ ලැබෙන , ‘මරාල බෝනස්’ වගාව ඇතුළේ ක්‍රියාත්මක වෙනකොට මතක් වෙන්නෙ කවු ද ? තෙල් බෙහෙත් වෙළෙන්ඳා.

තෙල් බෙහෙත් වෙළෙන්ඳාගේ අපූරු උපදෙස්

දැන් ඉස්සර වගේ වගා නිලධාරියා නැහැනේ; කෘෂි ව්‍යාප්ති සේවා නැහැනේ. ටවුමේ තෙල් බෙහෙත් කඩේ මුදලාලි නම් ඉන්නවා. එයා හම්බවෙන්න ගියාම එයා නිර්දේශ කරනවා, ‘අර අර කොම්පැනිවල අසවල් අස්වල් නම් සහිත තෙල් බෙහෙත් ටික ගන්න’ කියලා. හැබැයි ඒවායේ  මිල ඇහුවාම තමයි ‘හතරවරං දෙයියෝ’ මතක් වෙන්නේ. දැන් ඉතින් කරන්න දෙයක් නැහැනේ. කොහොම කරලා හරි වගාව බේරගන්න නම් එයා කියන විදිහට කරන්න වෙනවා. එයා ගොවියාගේ බෙල්ලෙන්ම අල්ලාගන්නවා එතැනදිත් ගොවියා පෙර වගේම හම ගහනවා.

කැබිනට් තුන්කට්ටුවේ ප්‍රහාරය

කොහොමින් කොහොම හරි වන සතුන් එක්ක පොර බදලා, සොබාදහමත් එක්ක පොර බදලා, කෘමි සතුන් එක්ක පොර බදලා මොකක් හරි අස්වැන්නක් නෙළන කොට කැබිනට් තුන්කට්ටුවක් එකතු වෙලා ගොවියාට අතිබිහිසුණු ප්‍රහාරයක් එල්ල කරනවා. ආණ්ඩුවේ මුදල් ඇමතිලා, වෙළඳ ඇමතිලා, කෘෂිකර්ම ඇමතිලා බිලිබාගෙන ඉන්න ආනයනකරුවෝ දන්නවා ‘නාඩිය මොකක්ද?’ කියලා. අමාත්‍යාංශවල නිලධාරීනුත් මේ අවනඩුව දන්නවා; එත් දන්නේ නැහැ වගේ ඉන්නවා. කොහොමහරි අස්වැන්න නෙළලා වෙළඳපොළට දාන්න හදන කොටම මෙන්න තමන් සපයන්න ඉන්න නිෂ්පාදන අඩු මිලට වෙළඳපොළේ ගොඩගහලා. එතැනදී ආණ්ඩුව ගොවියාට අන්ත තුච්ඡ විදිහටයි සලකන්නේ.

වෙළඳ මාෆියාවේ ගොදුරක්!

ගොවියා නොවිඳිනා දුක් විඳලා වෙළඳපොළට තම නිෂ්පාදන රැගෙන ගිය විට ආනයන භාණ්ඩ සමග තරග කිරිමට සිදු වීම නිසාම මිලකර ගැනීම පිළිබදව උභතෝකෝටිකයකට මුහුණ දීමට සිදු වෙනවා. ගොවිබිමෙන් මිලදී ගන්නා වෙළෙන්දා, සහ ආර්ථික මධ්‍යස්ථානයට එන තොග වෙළෙන්දා යන දෙන්නාම ගොවියා හම ගහනවා. අන්තිමට ලැබෙන මොනවාහරි දෙයක් මිට මොලවගෙන එතැනින් එළියට ආවට පස්සේ කතාව ඉවර වෙනවා ද ? නැහැ. ඉතුරු මාරක පිම්ම පනින එක නම් ලේසි වෙන්නෙ නැහැ.

ක්ෂුද්‍ර මූල්‍ය සමාගමේ ‘පොලී පොල්ල’

ගොවියාට මේ වැඩ ටික කරගන්න ප්‍රාග්ධනය පොලියට දෙන ක්ෂුද්‍ර මූල්‍ය බැංකුව ගොවියාට දෙන්නෙ තරු පෙනෙන පොලියක්. එතැන තමයි ගොවියාට ගැලවෙන්නම බැරි උගුල. එතැන අසමත් නම් එක්කෝ නඩු, නැත්තම් වස බෝතලය, නැත්තම් කඹයක්,නැත්තම් ගඟකට, මුහුදකට පනින්න වෙනවා. මේක තමයි ගොවියා මුහුණ දෙන කටුක යථාර්ථය. ගොවියාට අන්තිමට තම ඉඩම විකුණා දැමීමට සිදු වෙන මේ විෂම චක්‍රය තමයි හැම ගොවිබිමකම ඇහෙන්නේ.

පාරට බැසීම හැර වෙනත් විකල්පයක් නැහැ

කෘෂි යෙදවුම් ගොවියාට සාධාරණව ලැබෙන ක්‍රමයක්, කෘෂි නිමැවුම් අලෙවි කිරිමේ ක්‍රමයක් නිවැරදිව සැකසෙන තෙක් ගොවියා මේ විෂම චක්‍රයෙන් ගලවා ගැනීම ගැන හිතන්නවත් බැහැ. අඩුම වශයෙන් අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ  මේ අස්වැන්න නෙළන කාලයටවත් පිටරටින් ආනයනය කරන, මෙහේ ගොවියෝ වගා කරන නිෂ්පාදනවලට 100%ක බද්දක් පනවන ලෙසයි. එසේ නොවන්නේනම් ගොවියා සමග මේ අවනඩුවට එරෙහිව පාරට බැසීම හැර වෙනත් විකල්පයක් නැහැ.”

මෙම මෙම මාධ්‍ය හමුව සඳහා ජාතික ගොවි ව්‍යාපාරයේ විධායක සභික යූ. ධනවංශ, කුඩා තේ වතු අංශයේ සංවිධායක අජිත් ගලගම යන මහත්වරු ද එක්ව සිටියහ.

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2023-09-10



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More