දේශීය පුවත්

13 වැනි සංශෝධන ක්‍රියාත්මක නොකරන ලෙසට හා එහි අනිසි ප්‍රතිඵල විස්තර කර අමරපුර හා රාමඤ්ඤ නිකායවල මහ නායක හිමිවරුන් ඒකාබද්ධ ලිඛිත ප්‍රකාශයක් ජනාධිපතිවරයා වෙත ලබාදුන්නද එය නොසලකා හැර ඇති බව පෙනීයන බව අමරපුර හා රාමඤ්ඤ නිකායික සංඝ සභාව පවසති.

මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංඝ සභාව පැවසුවේ ආර්ථික අර්බුදය හමුවේ අසරණ වී සිටින ජනතාවට 13 ගැන අවබෝධයක් නැති බවත්, ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වගකීමක් ලෙස සලකන බවත් ය.

1987 දී උතුරු නැගෙනහිර ගැටලුවට විසඳුමක් ලෙස ඉන්දීය රජයේ මැදිහත් වීමෙන්  13 වැනි සංශෝධනය ගෙන ආ බවද, ආණ්ඩුකාරවරුන්ගේ හා පළාත් සභා විසුරුවා හැරීමේ බලය මධ්‍යම ආණ්ඩුවට ඇති බැවින් 13 වැනි සංශෝධනයේ ගැටලු යටගොස් ඇති බවද එම සංඝ සභාව පෙන්වා දෙති.

1989 දී ඉන්දු- ලංකා ගිවිසුමට ජනතා සහාය නොලැබුන බවද, එකල පාලනයේ සිටි ජේ.ආර්. ජයවර්ධන මහතා මේ සම්බන්ධයෙන් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර ඔවුන්ගේ මතය විමසා සිටි බවද, ඔවුන්ගේ මතය වූයේ ජනමත විචාරණයක් හෝ විධායක බලතල උපයෝගීකර ගනිමින් ගිවිසුම අත්සන් කළ යුතු බව යැයිද එම සංඝ සභාව පවසති.

අවසානයේ විධායක බලය යොදා ගිවිසුම අත්සන් කළ බවත්, ජනමත විචාරණයක් නොපැවැත් වූ නිසා එය අසාර්ථක වූ බවත් උන්වහන්සේලා පෙන්වා දෙති.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමරපුර හා රාමඤ්ඤ නිකායික සංඝ සභාව,

“13 ගැන විමසා බැලුවොත් දෙමළ අන්තවාදී දේශපාලඥයන්ගේ වුවමනාවන් හොදින්ම තිබෙන බව පේනවා. 13 දුන්නොත් දෙමළ ජනතාවගේ දුක නිවන්න පුලුවන් කියලයි ඔවුන් කියන්නේ. 1949 දී ඉලංගෛයි තමිල් අරුසු කච්චි පක්ෂය පිහිටුවද්දී ඔවුන් ඉල්ලීම් 4ක් ඉදිරිපත් කළා.

දෙමළ ජාතිය වෙනම ජාතියක් ලෙස පිළිගැනීම, උතුරු නැගෙනහිර පළාත්වලට නිජබිම් සංකල්පය ලබාදීම, උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම, දෙමළ ජනතාවගේ ස්වයං තීරණ අයිතිය පිළිගැනීම ඒවායි.

මේ ඉල්ලීම් 1957 දෙමළ පක්ෂ සම්මේලනයේ දී සම්මත කළා. 1976 දෙමළ එක්සත් විමුක්ති සංවිධානය ද මෙම යෝජනා සම්මත කළා. මෙයින් පේනවා මෙම යෝජනා කාගේ වුවමනාවට සිදුවෙනවා ද කියලා.

අන්තවාදී දෙමළ නායකයෝ අහිංසක දෙමළ තරුණයන්ට ඉගැන්නුවා සටන් කරලා හරි මේ අයිතීන් දිනාගන්න ඕන කියලා. එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රභාකරන්ලා බිහිවුනා. ඔවුන් සටන් කළා. ඔවුන්ගේ ජීවිත නැති වුණා. එහෙත් අන්තවාදී දෙමළ දේශපාලනඥයෝ තාම අවිදින්න බැරි වුනත්, පාර්ලිමේන්තුවේ රජ සැප විඳිනවා. මේවා ගැන සාමාන්‍ය දෙමළ ජනතාව දැනුවත් වෙන්න ඕන. මෙතන තියෙන්නේ රජ සැප විඳීමේ ප්‍රශ්නයක් මිස දෙමළ, සිංහල ජනතාවගේ ප්‍රශ්නයක් නෙවෙයි.

1986 පැවති තිම්පු සාකච්ඡාවේදී ඉහත ඉල්ලීම් 4 පිළිබඳව කරුණු ඉදිරිපත් වුනා. ඒ වෙලාවේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා කිව්වේ මෙම මාතෘකා කතා කරන්නවත් තරම් සුදුසු දේවල් මෙහි නෙව බව කිව්වා. එතුමා ප්‍රතික්ෂේප කළ මෙම 13 ක්‍රියාත්මක කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ සිට ගෝඨාභය ජනාධිපතිවරයා දක්වා විධායක ජනාධිපතිවරු 07 දෙනෙක් මේ රට පාලනය කළා. ඒ අය නොකළ 13 ක්‍රියාත්මක කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කටයුතු කරන්නේ කොහොම ද කියලා අපි ඇහුවා.

13 දුන්නොත් රටට වෙන අවාසි අපි හඳුනගන්න ඕන. 13 බලාත්මක වුනොත් වෙනම ඉඩම් බලතල, පොලිස් බලතල, මහ ඇමැති අරමුදල් පිහිටුවීමේ බලතල, මහ ඇමැතිට ලැබෙනවා. එම අරමුදල් පිළිබදව ලංකාවේ මහ බැංකුවට වගකියන්න ඕන නැහැ. පොලිස් නිල ඇඳුම පවා වෙනස් වෙන්න පුලුවන්.

පළාත් එක්වීමෙන් වෙනම පරිපාලනයක් උතුරේ වගේම දකුණේත් හැදෙන්න පුලුවන්. ජාත්‍යන්තර ගැටලු මතු වේ. සුඩානය වෙන් වූ රාජ්‍යයක්. එහි ගැටලු පවතිනවා.

ඉන්දියාවට අවශ්‍ය ලංකාව යටත්කරගැනීමටයි. ඉන්දියාවේ සැලසුමක් තියෙනවා ලංකාව සමග භූ ගෝලීය සම්බන්ධතා ඇතිකර ගන්න. මහා මාර්ග හා දුම්රිය මාර්ග ඉදිකිරීමට සැලසුමක් තියෙනවා.

මෙහෙම බෙදුනොත් පුරාවිද්‍යා ස්ථාන විනාශ වෙනවා. රට බෙදෙනවා.

මේ වන විට කොළඹ ඇතුළු රටේ සෑම ප්‍රෙද්ශයකම දෙමළ ජනතාව ව්‍යාපාර කරගෙන ඉතා සාමකාමීව ජීවත් වෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. 13 ක්‍රියාත්මක වුනොත් දෙමළ ජනතාව හා සිංහල ජනතාව අතර අනවශ්‍ය ගැයුම් නිර්මාණය වීම වළක්වන්න බැහැ. සිවිල් යුද්ධ ඇති වෙනවා.

මුස්ලිම්වරුන්ද වෙනම අයිතීන් ඉල්ලන්න පුලුවන්. ඇයි නැති ප්‍රශ්න ඇති කරන්නේ. පැය 7-8 ඇතුළත ලංකාවේ එහා මෙහා යන්න පුලුවන්. බෙදන්න ඕන නැහැ. අන්තවාදී අමනෝඥ දේශපාලනඥයන්ගේ වැඩ නිසා රට විනාශ වෙනවා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නිතරම කියන කතාවක් තමයි 13 දීමේ යෝජනාව මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා පමණයි, සම්මත කිරීමේ අයිතිය තියෙන්නේ පාර්ලිමේන්තුවට කියලා. ඒ නිසා අපි රටට හිතැති සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කියනවා බැරිවෙලාවත් මේ යෝජනා ආවොත් රට විනාශ කරන මේ යෝජනාවලට සහාය දෙන්න එපා කියලා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More