පුරවැසි කොලම

(ඉන්දීය ධවල විප්ලවයේ පියා හෙවත් වර්ගීස් කුරියන් සම්බන්ධයෙන් ලියැවෙන ලිපියේ දෙවන කොටස)

කිරි නිපදවීමේ පදනම සහ එහි ව්‍යුහය

කිරි හරකුන් වසරේ වැඩිපුර කිරි ලබාදෙන වක්වවානුවේදී ගොවියන්ට ගැනුම්කරුවන් සොයා ගැනීමේ දුශ්කරතාවයන්ට මුහුණ දීමට සිදු විය. කිරි ගොවීන්ගේ නිෂ්පාදන උච්ඡාවචනය වන කාල වකවානුවේදී කූරියන්ගේ විශ්වවිද්‍යාල සගයෙකු වන කිරි කර්මාන්තය සම්බන්ධ ඉංජිනේරු විද්‍යාව හැදැරූ එච්. එම්. දලයා අමෙරීකාවේ සිට ඉන්දියාවට නැවත පැමිණියේය. ඔහු කූරියන්ගේ ආරාධනයෙන් ආනන්ද් ප්‍රදේශයේ සංචාරයකට එක්විය. එම සංචාරය අතරතුර කූරියන් දලයාව ආනන්ද් ප්‍රදේශයේ නවතා ගැනීමට පොළඹවා ගැනීමට සමත් විය. එච් එම් දලයා එළකිරි වෙනුවට මී කිරිවලින් මුදවපු කිරි පිටි සහ උකු කිරි සෑදීමේ ක්‍රියාවලිය සොයා ගන්නා ලදී.

යුරෝපයේ මෙන් නොව ඉන්දියාවේ මී කිරි බහුල වූ අතර එළකිරි මී කිරි වලට සාපේක්ෂව හිඟ තත්වයක පැවතුනි. නව සොයා ගැනීම හේතුවෙන් ඉන්දියාවේ කිරි ගොවියා සමඟ ප්‍රමුඛතම තරඟකරු වන නෙස්ලේ සමාගම සමඟත් පසුව ළදරු ආහාර නිෂ්පාදන සමාගමක් වන ග්ලැක්සෝ සමාගම සමඟත් අමුල් කිරි ව්‍යාපාරය සාර්ථකව තරඟ වැදුනි. අමුල් කිරි ව්‍යාපාරය සාර්ථකව දැවැන්ත බහු ජාතික සමාගම දෙක සමඟ තරඟ කරමින් සිටින අතර තුර ජී එච් විල්ස්ටෙර් නම් පර්යේෂකයෙකු විසින් කරන ලද සාර්ථක පර්යේෂණයක් නිසා අමුල් සමාගම මී කිරි වලින් චීස් නිෂ්පාදනය කිරීමට ආරම්භ කළේය. නිෂ්පාදන වියදම් කපා හැරීම සඳහා, කුරියන් කිරි නිෂ්පාදන ඒකකයට අනුයුක්ත නව ඇසුරුම්-ටින් ඒකකයක් ගොඩ නැගීමට කටයුතු කළේය.

අමුල් ව්‍යාපාරය ගම්මානවල කිරි ගොවීන් මනාව සංවිධානය කර අතරමැදියන් තුරන්කර සෘජුවම වෙළෙඳ පොළේ පාරිභෝගිකයන් වෙත ඔවුන්ව සම්බන්ධ කිරීමට කටයුතු කළේය.ඒ අනුව කිරි ගොවියාට ඉතාම අඩු කාලයකදී ස්ථාවර සහ නිත්‍ය ආදායමක් සහතික කරනු ලැබීය. එලෙසම බොම්බේ නගරයේ විශාල වෙළෙඳපොළේ පාරිභෝගිකයන්ට තරගකාරී මිලකට වඩා හොඳ උසස් තත්ත්වයේ කිරි නිෂ්පාදන මිළදී ගැනීමට අවස්ථාව සලසා දුන්නේය. ඒ අනුව හොඳින් සකස් කළ “කිරි සපයන මාවත් ” සහ “කිරි ප්‍රවාහනයේදී අඩු උෂ්නත්වයකදී ප්‍රවාහනය කිරීම” හරහා බොම්බේ නගරයට ගම්වල ගොවියාගේ කිරි නිෂ්පාදන ළඟා වීමට කටයුතු සම්පාදනය කෙරුණි.

ඉන්දීය දේශපාලනය , සමාජ තත්වයන් සහ කිරි

කුරියන්ගේ සහ ඔහුගේ උපදේශකයා වූ ත්‍රිභුවන්දාස් පටෙල්ගේ පුරෝගාමී සමුපකාර ආකෘතියේ හැකියාව දුටු සමහර ඉන්දීය දේශපාලන නායකයින් සහ නිලධාරීන්ගේ දැවැන්ත සහාය එම දෙපලට ලැබුණි. අගමැති ජවහල්ලාල් නේරු මෙහිදී කැපී පෙනෙන මෙහෙයක් ඉටු කරනු ලැබීය. එලෙසම කිරි ගොවීන් කිරි නිෂ්පාදනයේදී එකට එකතු වීමට මෙන්ම ගොඩ නැගුනු සමුපකාරයේ හිමිකරුවන් ලෙස හිඳිමින් එය වෘත්තිකයන් විසින් මෙහෙයවීමට සම්බන්ධයෙන් දැඩි අනුකූලතාවයක් දැක්වීය.

බෝග විනාශයෙන් පෙළෙන ගොවීන්ගෙන් අසාධාරණ ලෙස ඉඩම් බදු “කප්පම්” ගන්නා පාලකයන් වැජඹෙන යටත් විජිත බලයකින් ඉන්දියාව දේශපාලන නිදහස ලබාගෙන ගතවී තිබුණේ සුළු කාලයකි. එම පාලන කාලය තුළ ඉන්දියාවේ බොහෝ සාගත ඇති වූ බැවින් බොහෝ ඉන්දීය ජන නායකයින් ඉන්දීය ජනයාගේ ආහාර සුරක්ෂිතතාව ගැන සැලකිලිමත් විය. අලුතින් ස්වාධීන වූ ජාතියක් ලෙස, තමන් පරිභෝජනය කරන නිෂ්පාදන තමන්ම නිපදවා ගනිමින් ස්වයංපෝෂිත ජාතියක් වීමේ ආශාවකින් ජාතිය පෙළීම ආනයන වෙනුවට දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීමට තල්ලුවක් ලැබුණි. එපමණක් නොව, මෙම ඉන්දීය ජාතිකවාදී නායකයින්ට ප්‍රාග්ධන වත්කම් ගොඩනැගීමට වඩා සෝවියට් රුසියාවේ ජයග්‍රහනය කළ සමාජ ප්‍රාග්ධනය ගොඩනැගීමේ සමාජවාදී පරමාදර්ශයන් බලපෑවේය.තමන් සතු වූ සම්පත් අධිරාජ්‍යවාදීන් විසින් කොල්ල කෑම හේතුවෙන් සම්පත් සීමා වූ ජාතියකට මහා පරිමාණ නිෂ්පාදනය සාර්ථක කරවීමේ අභිලාශය ජයග්‍රහණය කළේ මහජනයා විසින් ප්‍රාග්ධනය නිෂ්පාදනය කිරීමේ සිද්ධාන්තයට පණ පෙවූ ගාන්ධිවාදී දර්ශනයයි. ඒ අතරම, නව රජයේ ප්‍රතිපත්ති අලුත් ප්‍රවීණයන්ගේ කුසලතා සහ හැදෑරීම්, පර්යේෂණ, තාක්‍ෂණික දක්ෂතා මෙන්ම ලෝකයේ සෙසු රටවලින් ලැබෙන ආධාර සහ අනුශාසන වෙත නොමදව විවෘත විය. මෙහිදී සමාජවාදී සෝවියට රුසියාව කැපි පෙනෙන තීරණාත්මක සහයක් ලබා දුන්නේය.

කිරි ගොවි සමුපකාරයේ පළමු ගොවීන් කණ්ඩායමේ සියල්ලෝම පටෙල් අයත්වන ඉහල කුලයට අයත් වූයේය. එමගින් අනෙකුත් කුලවල ගොවීන් කිරි ගොවිතැන ඉහළ නැංවීමට උනන්දුව ඇති වීමට සහ ඒ සඳහා සහභාගී වීමට පෙර ඔවුන් සියල්ලන්ම ඉක්මනින් එක් කිරීමට කිරි ගොවි සමූපකාරයට හැකි විය. කුල හා පන්ති ගැටුම් ඉවත් කිරීම කෙරෙහි සෘජුවම අවධානය යොමු කරනවා වෙනුවට, පටෙල් අවධානය යොමු කළේ ගම තුළ ජීවත්වන සියලුම කොටස්වල ආර්ථික ස්වයං අභිලාෂයන් ඔවුන්ගේ සමුපකාරය වර්ධනය කිරීම සඳහා එකට පෙළ ගැසෙනු ඇතැයි යන විශ්වාසය මතය.

ඒකාබද්ධ කිරීම

අමුල් සමුපකාර කිරි නිෂ්පාදන ව්‍යාපාරය ක්‍රම ක්‍රමයෙන් ජනප්‍රිය විය. ප්‍රභූන්, පර්යේෂකයන්, අභ්‍යාසලාභීන් සහ සාමාන්‍ය ජනතාව ඒ ගැන වැඩිදුර දැන ගැනීමට ආනන්ද් ප්‍රදේශය වෙත පැමිණෙන්නට විය. අගමැති ජවහර්ලාල් නේරු, ආසියාවේ විශාලතම කිරි නිෂ්පාදන කර්මාන්තශාලාව වන අභිනවයෙන් ඉදිවුනු අමුල් කිරි නිෂ්පාදන කර්මාන්තශාලව විවෘත කිරීම සඳහා ආනන්ද් ප්‍රදේශය වෙත පැමිණ, කුරියන්ගේ පෙරළිකාර වැඩ ප්‍රශංසා කිරීමට කටයුතු කළේය. එපමණක් නොව අමුල් කිරි ව්‍යපාරය සාර්ථක කර ගැනීමට කළයුතු දේශපාලන මැදිහත්වීම ඉහළින්ම ලබා දීමට කටයුතු කළේය.

1956 දී කුරියන් ස්විට්සර්ලන්තයේ වාණිජ හා කර්මාන්ත අමාත්‍යවරයාගේ ආරාධනයෙන් ස්විට්සර්ලන්තයේ නෙස්ලේ සමාගම වෙත ගියේය. එහිදී ඔහු සමාගමේ පාලන අධිකාරියෙන් ඉල්ලා සිටියේ ඉන්දියාවට නෙස්ලේ නිෂ්පාදන ආනයනය අඩු කර ඔවුන්ගේ කර්මාන්ත ශාලාවලට තව තවත් ඉන්දියානුවන් බඳවා ගන්නා ලෙසයි. එහෙත් සමාගමේ පාලනාධිකාරිය පවසා සිටියේ උකු කිරි නිෂ්පාදනය “ස්වදේශිකයන්ට ලබාදීම කළ නොහැකි” බවයි. කූරියන් නැවත ඉන්දියාවට පැමිණ අමුල් ව්‍යාපාරයේ උකු කිරි නිෂ්පාදනය සහ ඉන්දීය වෙළඳපොළ තුල අමුල් උකු කිරි අලෙවි කොටස ඉහළ නැංවීය.ඉන් වසර දෙකකට පසු ඉන්දීය රජය උකු කිරි ඉන්දියාවට ආනයනය කිරීම තහනම් කළේය. විශේෂයෙන් නවසීලන්තයෙන් ආනයනය කරන ලද බටර් නිෂපාදන වලින්ද අමුල් ව්‍යාපාරය බරපතල තරඟයකට මුහුණ දුන්නේය. කුරියන් කෙරෙහි විශ්වාසය තැබූ නේරු, බටර් හිඟය තුරන් කිරීම සඳහා ඔහුගේ නිෂ්පාදනය වර්ධනය කරන බවට කූරියන් ලබා දුන් පොරොන්දුව කෙරෙහි විශ්වාසය තබා පිටරටින් බටර් ආනයනය අත් හිටුවීමට කටයුතු කළේය.එලෙසම 1962 හටගත් ඉන්දු-චීන යුද්ධයේදී ඉන්දීය හමුදාවට කිරි ආශ්‍රිත නිෂ්පාදන සැපයීම සඳහා ඉන්දීය රජය කුරියන් මත විශ්වාසය තබා අමුල් ව්‍යාපාරයට අවස්ථාව ලබා දුන්නේය. ඒ අනුව කූරියන්ට ඔහුගේ සිවිල් වෙළඳපොලෙන් තම නිෂ්පාදන ඉවතට හරවා ගැනීමට ඔහුට සිදු විය. පොල්සන් විදේශ සමාගම අමුල් ව්‍යාපාරයේ වෙළඳපල කොටස අත් පත් කර ගැනීමට පටන් ගත් විට, පොල්සන්ගේ නිෂ්පාදන මාර්ග අවහිර කරන බවට ඉන්දීය රජය කූරියන්ට සහතික විය.

– මතු සම්බන්ධයි –
ජීවන්ත ජයතිස්ස



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More