පුරවැසි කොලම

1921 වර්ෂයේ නොවැම්බර් 26 වැනි දා මෙ ලොව එළිය දුටු වර්ගීස් කූරියන් (Verghese Kurien) සදහට ම දෑස් පියාගත්තේ 2012 සැප්තැම්බර් 9 වැනි දා ය. ඔහු උපත ලැබුවේ බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවැති මලබාර් දිස්ත්‍රික්කයේ කොසිකෝඩ (Kozhikode) ප්‍රදේශයේ ය. එ කල කැලිකට් (Calicut) යනුවෙන් ඉංග්‍රීසීන් විසින් හඳුන්වනු ලැබූ මෙය දැන් දකුණු ඉන්දියානු කේරළ ප්‍රාන්තයට අයත් ප්‍රදේශයකි. වර්ගීස් කූරියන්ගේ පියා සිවිල් ශල්‍ය වෛද්‍ය වූ පී. කේ. කුරියන් ය. මේ අය අයත් වී සිටියේ ඇන්ග්ලිකන් සූරියනි නස්රානි පවුලකට ය. (“නස්රානි” යනු ක්‍රිස්තියානින් හඳුන්වන අරාබි වචනයකි).

සමාජ ව්‍යවසායකයෙක් ලෙසින් ප්‍රචලිත වුණු වර්ගීස් කූරියන් ඔහු විසින් හඳුන්වා දුන් “ලීටර් බිලියනයක අභිප්‍රාය” නම් සංකල්පය මහා දැවැන්ත මෙහෙයුමක් බවට පත් කළේ ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ වන විට ඉන්දියාවේ විශාලතම ස්වයංපෝෂිත කර්මාන්තය බවට කිරි ගොවිතැන පත් වී ඇති අතර ග්‍රාමීය ආදායමෙන් තුනෙන් එකක් සපයන විශාලතම ග්‍රාමීය රැකියා අංශය බවට ද එය පත්විය. එපමණක් නොව මේ මෙහෙයුම තුළින් ඉන්දියාව ලොව විශාලතම කිරි නිෂ්පාදකයා බවට පත් කළේ ය. මේ අනුව එක් පුද්ගලයකුට පරිභෝජනය කළ හැකි කිරි ප්‍රමාණය දෙගුණයකින් වැඩි කරමින් වසර 30ක් තුළ සමස්ත ඉන්දීය කිරි නිෂ්පාදනය සිව් ගුණයකින් ඉහළ දමා තිබේ.

වර්ගීස් කූරියන් යනු ඉන්දීය කිරි සමූපකාරයේ ආනන්ද් ආකෘතියේ පුරෝගාමියා ය. මෙම ආකෘතිය තුළින් විවිධකාර වූ “ඉහළ-පහළ” සහ “පහළ-ඉහළ” යන දිශානති දෙක ම ඉලක්ක කරගත් ප්‍රවේශයන් හඳුන්වා දී ඒවා මත පදනම්ව සමස්ත ඉන්දියාව පුරා කිරි ගොවිතැන ප්‍රතිනිර්මාණය කිරීමට ඔහු සමත්විය. ඔහුගේ ක්‍රමවේදය තුළ කිසිදු කිරි ගොවියකුගේ කිරි නිෂ්පාදන ප්‍රතික්‍ෂේප නො කෙරුණු අතර පාරිභෝගිකයින් විසින් කිරි ලීටරයකට ගෙවන මිලෙන් මිලෙන් 70-80%ක පමණ කොටසක් කිරි ගොවියාට මුදල්වලින් ම ගෙවීමට අවශ්‍ය පිළිවෙත් හඳුන්වා දෙනු ලැබුවේ ය. ඒ සඳහා ඔහු කිරි සහ කිරි නිෂ්පාදන අලෙවිකිරීම, ප්‍රසම්පාදනය සහ සැකසීම පාලනය කළ හැකි ක්‍රමවේද කිරි ගොවීන් වෙත හඳුන්වා දුන්නේ ය. ඔහු හඳුන්වා දුන් අමුල් කිරි ව්‍යාපාරයේ එක් සොයාගැනීමක් වූයේ එළකිරි වෙනුවට මී කිරිවලින් කිරිපිටි නිෂ්පාදනය ය. එ මගින් ඉන්දියාවේ හිඟයක්ව පැවැති කිරිපිටි සුලබ පාරිභෝගික ද්‍රව්‍යක් බවට පත් කිරීමට ඔහුට හැකිවිය.

ආහාර සඳහා භාවිතා කෙරෙන තෙල් වර්ගවලින් ඉන්දියාව ස්වයංපෝෂිත කෙරෙන අයුරින් ඒවා නිෂ්පාදනයට අවශ්‍ය බීජ නිෂ්පාදනය කිරීමට ද වර්ගීස් කූරියන් මුල් වූයේ ය. එම ක්‍ෂේත්‍රය තුළ ආධිපත්‍යය පවත්වා ගැනීම සඳහා කූඨ සහ ප්‍රචණ්ඩ ක්‍රම භාවිතා කළ “තෙල් රජවරුන්ට” එරෙහිව ද නො බියව සටන් කිරීමට ද ඔහු ඉදිරියට ආවේ ය.

ඉංජිනේරුවාගේ “වංචාව”

වයස අවුරුදු 14 දී මදුරාසි විශ්ව විද්‍යාලයට අනුබද්ධ ලොයෝලා විද්‍යාලයට ඇතුලත් වූ වර්ගීස් කුරියන් භෞතික විද්‍යාව පිළිබඳ උපාධිය ලබා ගත් අයෙකි. එයින් වසර තුනකට පසු (1943 වසරේ දී) ඔහු යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් ද ලබාගත්තේ ය. පසුව ඉංජිනේරුවකු ලෙසින් හමුදාවට බැඳීමට වර්ගීස් කුරියන් සූදානම් වූ නමුත් ඔහුගේ මව ඔහුව වෙනත් මාර්ගයකට යොමු කළේ ය. ඒ, ටාටා සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂවරයකු වූ ඔහුගේ මාමාගේ නිර්දේශයක් ලබාගැනීමෙනි. ඒ අනුව ජම්ෂෙඩ්පූර්හි ටාටා වානේ කාර්මික ආයතනයට සම්බන්ධ වීමට වර්ගීස් කුරියන්ට අවස්ථාව ලැබුණු අතර 1946 දී ඔහු එම ආයතනයෙන් ද උපාධියක් ලබාගත්තේ ය.

එයින් පසු වර්ගීස් කුරියන්ට උවමනා වුණේ ඉන්දියානු රජය විසින් ලබාදෙන ශිෂ්‍යත්වයක් ලබාගෙන ඒ උදව්වෙන් කිරි ඉංජිනේරු විද්‍යාව පිළිබඳව හැදෑරීමට ය. ඒත් එවකට මුදල් අමාත්‍යවරයා වූ ජෝන් මතායි (මේ ඇමැතිවරයා වර්ගීස් කුරියන්ගේ මාමා කෙනෙකි) ඔහුට ඇප අත්සන් කිරීම ප්‍රතික්‍ෂේප කළේය. ඒ වෙනුවට ඔහුව බැංගලෝරයේ සත්ව පාලන ඉම්පීරියල් ආයතනයට යවන ලදී. (මෙය දැන් බැංගලෝර දකුණු ප්‍රදේශයේ පිහිටි ජාතික කිරි පර්යේෂණ ආයතනය බවට පත් කර තිබේ).

එහි දී රජයේ ශිෂ්‍යත්වයක් ලබාගත් වර්ගීස් කුරියන් මිචිගන් ජනපද විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබීම සඳහා ඇමරිකාවට පිටත්ව ගියේය. ඔහු නැවත ඉන්දියාවට පැමිණීමට පෙර මාස නවයක් ඇමෙරිකාවේ ගත කළේය. ඔහු 1948 දී නැවත ඉන්දියාවට පැමිණියේ න්‍යෂ්ටික භෞතික විද්‍යාව පිළිබඳව උප විෂ‍යක් සහිතව යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව (ලෝහ විද්‍යාව) පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබාගෙන ය.

තමන්ගේ උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් පසු කාලක දී වර්ගීස් කුරියන් පවසා තිබුණේ “ඉතුරු වූ එකම රජයේ ශිෂ්‍යත්වය මත මාව කිරි ඉංජිනේරු විද්‍යාව හැදෑරීමට අමෙරිකාවට යවනු ලැබුවා. ඒත් මම ඒක වංචා කරලා වෙන දෙයක් ඉගෙනගත්තා, ඉක්මනින්ම ස්වාධීන රටක් බවට පත්වන මගේ රටට සහ ඇත්ත වශයෙන්ම, මට බොහෝ දුරට ප්‍රයෝජනවත් විය හැකි විෂයයන් ලෙස සළකලා මම ලෝහ විද්‍යාව සහ න්‍යෂ්ටික ඉංජිනේරු විද්‍යාව හැදෑරුවා” යනුවෙන් ඔහු ඒ “වංචාව” ගැන අදහස් දක්වා තිබේ.

වර්ගීස් කුරියන් ඉන්දියානු කිරි කර්මාන්තයට අවතීර්ණ වූයේ මෙ ලෙස ඉංජිනේරු ක්‍ෂේත්‍රයේ ඉහළ ම අධ්‍යාපනයක් ලබාගැනීමෙන් අනතුරුව ය. පසුව ඕස්ට්‍රේලියාවට ගොස් එහි දී අමුල් කිරි ව්‍යාපාරය පිහිටුවීමට අවශ්‍ය දැනුම ලබාගැනීමට ඔහු කැපැවී තිබේ.

නියම පාරට

1949 දී, කිරි අංශයේ නිලධාරියකු ලෙස වසර පහක් සේවය කිරීම සඳහා වර්ගීස් කුරියන්ව බොම්බේ පළාතේ ආනනද් ප්‍රදේශයේ (මෙය දැන් ගුජරාට් ප්‍රාන්තයට අයත් ප්‍රදේශයකි) පිහිටි ගරා වැටුණු, පර්යේෂණාත්මක ක්‍රීම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් වෙත යවන ලදී. එහෙත් ඔහු සති අන්තයේ බොම්බේ නගරයට ගොස් වැඩ කරන මුවාවෙන් එහි කාලය ගත කළේ ය. 1946 දී ඇතිවූ වැඩවර්ජනයකින් පසු ත්‍රිභුවන්දස් පටෙල්ගේ ප්‍රාථමික කිරි නිෂ්පාදන උපකරණ සහිත කර්මාන්තශාලාව ප්‍රතිසංස්කරණය කිරීමට කූරියන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය. ත්‍රිභුවන්දස් පටෙල් ඒ වන විට වැඩවර්ජනය හේතුවෙන් විනාශයට පත්ව තිබූ ප්‍රදේශයේ ගොවීන්ගේ කිරි සැකසීමට කූරියන්ගේ සහාය පැතූ අයකු වූ අතර ඔහු අසල කයිරා (දැන් කේඩා) ප්‍රදේශයේ ගොවීන්ගේ කිරි මිලදී ගැනීමට සමුපකාර ක්‍රමයක් ද ගොඩ නගා තිබුණි.

මේ වැඩ කරන අතරමග දී වර්ගීස් කුරියන් රජයේ රැකියාවෙන් ඉවත් වී ආනන්ද් ප්‍රදේශය හැර යාමට තීරණය කළ නමුත් රජයේ සේවයෙන් ඉවත් වූ පසු ඔහුව තමන් සමඟ රඳවාගැනීමට ත්‍රීභුවනදාස් පටෙල් සමත්විය. තමන්ගේ කිරි සමුපකාරය දියුණු කිරීම සඳහා වර්ගීස් කුරියන්ගේ උදව් ලබාගැනීමට පටෙල් ක්‍රියා කළේ ය. කුරියන් විසින් 1950 දී කිරි සමුපකාරය, කයිරා දිස්ත්‍රික් සමූපකාර කිරි නිෂ්පාදකයින්ගේ සංගමය ආනන්ද් ප්‍රදේශයේ දී පිහිටුවන ලදී. මේ වන විට “අමුල් – ආනන්ද් මිල්ක් උත්පාදක් ලිමිටඩ්” (Amul – Anand Milk Utpadak Ltd) ලෙසින් ලෝ පතල වී ඇත්තේ වර්ගීස් කුරියන් විසින් ඇති කළ එම සමූපකාර සංගමයයි.

(මතු සම්බන්ධයි)
ජීවන්ත ජයතිස්ස

(පෙරදිග දේශපාලන විද්‍යායතනයේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගැනිනි)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More