රමේෂ්බාබූ ප්‍රඥානන්ද චෙස් ලෝක කුසලානයේ අනුශූරතාවය ජයග්‍රහණය කළා. දකුණු ඉන්දියාවේ ලාබාල තරුණයෙක් ලබා ගත්තු මේ ජයග්‍රහණය ගැන බටහිර මාධ්‍ය අපූරු දෙයක් දැකලා තිබුණා.
මේ ජයග්‍රහණය වාර්තා කරපු බටහිර, ප්‍රඥානන්දටත් වඩා කතා කළේ ඔහුගේ මව නාගලක්ෂ්මි ගැන. යොවුන් ඉන්දීය තරුණයෙක් මේ ලබා ගත්තේ ක්‍රිකට් ජයග්‍රහණයක් නොවෙයි. චෙස් ලෝක කුසලානයේ අනුශූරතාවය. ඉතින් ප්‍රඥානන්ද වටා කලාපීය බෙදීමක් නොමැතිව ලෝකයම බලාගෙන හිටියා.
එවැනි පසුබිමක චෙස් ලෝක කුසලානයේ අවසන් මහා තරග වල, විටෙක මැග්නස් කාර්ල්සන්ට පවා අවිනිශ්චිත හැඟීමක් ගෙන ආපු මේ තරුණයා පසුපසින්ම සිටි කාන්තාව බටහිර දැකලා තිබුණා.
සාම්ප්‍රදායික ඉන්දීය සාරියකින් සැරසිලා ප්‍රඥානන්ද පස්සෙම ඉන්න, අහිංසක ආඩම්බරයකින් ඔහු දිහා බලාගෙන ඉඳපු තරමක වියපත් කාන්තාවට ප්‍රඥානන්දටත් වඩා අවදානයක් ලැබුණා.
බටහිර මාධ්‍ය, බටහිර සමාජ මාධ්‍ය, බටහිර මිනිස්සු නාගලක්ෂ්මි ගැන පුදුමයෙන් කතා කළා. වයස අවුරුදු 18 සම්පූර්ණ වූ තරුණයෙක් පසුපස තවමත් ඔහුගේ මව පැමිණීමත්, තමන්ගේ ජීවිතය අමතක කරලා දරුවෙක් වෙනුවෙන්ම කැපවෙන අම්මා කෙනෙකුත් බටහිරට ටිකක් නුහුරු හැඟීමක් එකතු කරලා තිබුණා. ලෝකයේ මොන කොනක හිටියත් අම්මා කියන්නේ අම්මාට.
දරුවන් හදලා පෝෂණය කරන්නේ අම්මලා. ගොඩනගන්නේ අම්මලා.ලෝකය ගොඩනැගෙන්නේ මව්කිරෙන් සහ හිරු එළියෙන් කියලා රුසියානු ගත්කතුවර මැක්සිම් ගෝර්කි බොහෝ කාලෙකට පෙර ලිව්වෙත් ඒ නිසා.
මව් සෙනෙහස විශ්වීය බැඳීමක්.
හැබැයි අපි ශිෂ්ඨාචාරගත වෙලා තියෙන විදියට බටහිර දී සහ පෙරදිග දී මානව සම්බන්ධතා තරමක් වෙනස්. බටහිර පද්ධතිය ගොඩනැගිලා තියෙන්නෙ මිනිසුන්ට අවම සම්බන්ධතා ප්‍රමාණයකින් සර්වයිව් වෙන්න පුලුවන් විදියට. ඥාති සම්බන්ධතා බටහිර දුරස්තයි. අසල්වැසියන් අතර සබඳතා දුරයි.
ඒ විතරක් නෙවෙයි, පවුල් සම්බන්ධතා වලත් ලොකු වෙනසක් නැහැ. බටහිර ආර්ථික ක්‍රමය අනුව බොහෝ පවුල් වල මව සහ පියා දෙදෙනාම රැකියා කරනවා. එසේ නොකර ඒ පද්ධතියේ ජීවත් වීමට අපහසුයි.
වයස අවුරුදු 18ක් සම්පූර්ණ වූ පසුව දරුවන් පවුලෙන් වෙන් වෙනවා. ඉන්පසුව මව් පිය – දූ දරු සබඳතා දුරස් වෙනවා. රෑ කෑමකට එන්නත් වෙලාවක් වෙන් කරගන්නා තරමට දුරස් වෙනවා. දෙමව්පියන් රැකබලා ගැනීම බටහිර දරුවන්ගේ වගකීමක් නෙවෙයි. වැඩිහිටි තරුණයෙක් සිය මව හෝ පියා සමග එක නිවසේ ජීවත් වීම බටහිර සමාජයේ ලැජ්ජාවක් සේ සලකනවා. ඒ බටහිර ශිෂ්ඨාචාරගත වූ විදිය.
පෙරදිග ශිෂ්ඨාචාරය වෙනස්. විශේෂයෙන්ම අපේ ශ්‍රී ලංකාවේ, අසල්වැසි ඉන්දියාවේ, දකුණු ඉන්දියාවේ ක්‍රමය වෙනස්. අපේ පද්ධතියට අනුව මිනිසුන්ට ජීවත් වෙන්න මානව සබඳතා උපරිමයෙන් අවශ්‍යයි.
අපි පහසුවෙන් සම්බන්ධකම් ගොඩනගා ගන්නවා. එකිනෙකා පෝෂණය කරගනිමින්, එකට ගැටගැහිලා ජීවත් වෙනවා. ඉතා දුර ඥාතිකම් පවා අපිට බොහෝ සමීපයි. අසල්වැසියො, ගමේ මිනිස්සු, ප්‍රජාව අපිට එක පවුලක්. පවුලේ සම්බන්ධකම් ඉතා දැඩියි.
අපේ පද්ධතියේ ආර්ථිකය අනුව පවුලක් නඩත්තු වෙන්න මව සහ පියා දෙදෙනාම රැකියා කිරීම අත්‍යවශ්‍ය නැහැ. බොහෝ පවුල් වල පියා රැකියාව කරනවා. මව නිවසට වෙලා දරුවො බලාගන්නවා. ඒ අම්මාවරුන් දරුවන් වෙනුවෙන්ම ජීවත් වෙනවා. ඒ තමයි පෙරදිග අම්මා.
සම්ප්‍රදායික පෙරදිග “අම්මා” ට නාගලක්ෂ්මි හොඳ සංකේතයක්. බටහිරට ඇය පුදුමයක් වෙන්නෙත්, නුහුරු වෙන්නෙත් මේ සංස්කෘතික වෙනස නිසා. ප්‍රඥානන්ද කුඩා කල සිටම චෙස් තරගාවලි වලට රැගෙන ගියේ ඇය. ඒ පුරුද්ද තාමත් එහෙමයි.
ප්‍රඥානන්ද ට වයස අවුරුදු දහ අටක් වුනාට, නාගලක්ෂ්මිට තවමත් ඔහු ඒ දරුවාමයි. පෙරදිග අම්මාවරුන්ට දරුවන්ගේ වයස අංකයක් විතරයි. විදෙස් තරගාවලියකට පිටත් වෙද්දි ඔවුන්ගේ ගමන් මළු තුලට මුලින්ම දාගන්නේ ‘රයිස් කුකර්’ එකක් කියලා නාගලක්ෂ්මි කියනවා. එයට හේතුව රටින් පිට හිටියත්, හුරුපුරුදු කෑම කෑවම ප්‍රඥානන්ද ට හොඳින් ක්‍රීඩා කිරීමට එය පහසුවක් වීම කියලා ඇය කියනවා.
ප්‍රඥානන්ද ගේ ඉන්ටර්වීව් බැලුවත් ඔහු බොහෝ තැන් වල කතා කරන්නේ අම්මා ගැන. ඔහු සම්පූර්ණ කරන්නේ අම්මා. ඉතා නුදුරේදීම ලෝක චෙස් ශූරයා වෙන මේ යොවුන් තරුණයාගේ ජීවිතය හැඬ ගස්සලා තියෙන්නෙ ඔහුගේ අම්මා. ඔහුගේ ජීවිතය ගොඩනැගිලා තියෙන්නේ අම්මා වටේ. ඒ තමයි සාම්ප්‍රදායික පෙරදිග අම්මා.
බටහිරට නාගලක්ෂ්මි ලා නුහුරු වීම පෙන්වීමට තවත් උදාහරණ ඕනෑ තරම් තියෙනවා.
පසුගිය කාලයේ ස්කැනේඩියානු රටවලට සංක්‍රමණය වූ දකුණු ආසියාතික පවුල් වල දරුවන්, සැලකිය යුතු පිරිසක් එම රටවල රජයන් විසින් පරිවාස භාරයට ගත්තා.
එයට හේතු වුනේ නාගලක්ෂ්මි ලාගේ මේ සංස්කෘතික ආදරය.
දරුවන්ට අතින් කැවීම, දරුවන්ගේ අධ්‍යාපනයට අනවශ්‍ය ලෙස මැදිහත් වීම, දරුවන්ට දඬුවම් කිරීම වැනි සිදුවීම් අරඹයා එම රටවල අධිකාරීන් දකුණු ආසියාතික දෙමාපියන්ගෙන් දරුවන් වෙන් කළා.
එහිදි ඔවුන් නිගමනය කළේ මේ දෙමාපියන්ට, ආරක්ෂිත යහපත් පසුබිමික දරුවන් ඇති දැඩි කිරීම කළ නොහැකියි කියලා. අතින් කැවීම බලහත්කාරයෙන් කැවීමක් ලෙසත්, අධ්‍යාපනයට මැදිහත් වීම මානසික පීඩාවක් ලෙසත් ඔවුන් දැක්කා. එම තීරණයන්ට හේතු වුනේ මේ සංස්කෘතික වෙනස පමණයි. නාගලක්ෂ්මි ලාගේ ආදරය වටහා ගැනීමට ඔවුන් අපොහොසත් වුණා.
එවැනි සිදුවීම් අරඹයා පසුකාලීනව චිත්‍රපට පවා හැදුනා. “සෙනෙහස” පාදම කරන් ගොඩ නැගුනු අපේ සංස්කෘතියේ, අම්මලා දරුවන් වෙනුවෙන් බොහෝ සතුටින් ජීවිතයම කැප කරනවා. බටහිරට නාගලක්ෂ්මි ලා නුහුරක් වුනාට, අපිට නාගලක්ෂ්මි ලා නුපුරුදු නැහැ. අපේ රටේ හැම ගෙදරකම පාහේ නාගලක්ෂ්මි කෙනෙක් ඉන්නවා.
දරුවන්ගේ පස්සෙන්ම ඉන්න, ඔවුන් වෙනුවෙන්ම ජීවත් වෙන, දරුවන්ගේ ලෝකය ගොඩ නගන්න මහන්සි වෙන නාගලක්ෂ්මි කෙනෙක් ඉන්නවා.
අපේ සංස්කෘතිය ඇතුලේ දරුවන්ටත් ගෙදර බුඳුන් වෙන්නේ අම්මා. ප්‍රඥානන්ද ලඟම හිටපු ඔහුගේ මවගේ ඡායාරූප අපිට අමුත්තක් නොවුනේ ඒකයි.
නාගලක්ෂ්මි අපිට අලුත් කෙනෙක් නෙවෙයි. අපි අපේම නාගලක්ෂ්මි කෙනෙක් දැක තිබෙනවා.
අපේ ජයග්‍රහණ වලදි දිලිසෙන ඇස්, ඒ වෙනුවෙන්ම දිය කරන ඇයගේ ජීවිතය අපි මින් පෙර දැක තියෙනවා. චෙස් ලෝක කුසලානයේ සිදුවුනු කුඩා සිදුවීමක්, සංස්කෘතීන් දෙකක් විසින් ග්‍රහණය කරපු විදිය ඒ සංස්කෘතින් අතර සියුම් වෙනසක් අපිට පෙන්වා දෙනවා.
– ඉරේෂාන් සිරිවර්ධන –
(මුහුණුපොතෙන් උපුටා ගැනින)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...